ලියෝ ටෝල්ස්ටෝයි

විකිපීඩියා වෙතින්
ලියෝ ටෝල්ස්ටෝයි

ලෙව් නිකොල්විච්(නිකොලායි) ටෝල්ස්ටෝයි (1828 සැප්තැම්බර් 09 - 1910 නොවැම්බර් 20), යනු ‍ශ්‍රේෂ්ඨ රුසියානු සාහිත්‍යකරුවෙකි. ඔහු විටෙක නවකතාකරුවකු, විටෙක නිබන්ධකයකු, විටෙක නාට්‍ය රචකයකු සහ තවත් විටෙක දර්ශණවාදියකු ලෙස තම ජීවන දර්ශණය ලොවට ඉදිරිපත් කළේය. මෙම සාහිත්‍යකරුවා ලෝකය තුළ වඩාත් ප්‍රචලිතව ඇත්තේ ලියෝ ටෝල්ස්ටෝයි යන නමිනි. මොහු පැසිස්ට්වාදී ක්‍රිස්තියානි විරුද්ධවාදියකු ලෙසද, අධ්‍යාපන සංස්කාරකයකු ලෙසද ප්‍රසිද්ධය. වංශවත් ටෝල්ස්ටෝයි පවුලේ සිටි වඩාත් නිර්මාණශීලි පුද්ගලයා වුයේ මොහුය.

ලියෝ ටෝල්ස්ටෝයිගේ ප්‍රශස්ත නිර්මාණ ලෙස සලකනු ලබන්නේ යුද්ධය සහ සාමය හා ඇනා කැරනිනා යන කෘතීන්ය. මෙම කෘතීන් ද්විත්වය 19 වන ශතවර්ෂයේ රුසියානු ජන ජීවිතය පිළිබඳ යථාරූපීව විස්තර කරනු ලබන යථාර්ථවාදී ආකෘතියෙන් ලියන ලද කෘතීන් වේ. දර්ශණවාදියකු ලෙස ඔහු තම කෘතීන් හරහා ඉදිරිපත් කළේ, අවිහිංසාව පිළිබඳ දර්ශණයයි. මෙම අදහස් ඔහු විසින් ලියන ලද ‘The Kingdom of God is within you’ කෘතියෙන් මොනවට පැහැදිලි වේ. මෙම අදහස් විසිවන ශතවර්ෂයේ මෙලොව පහළ වූ ශ්‍රේෂ්ඨ මිනිසුන් වන මහත්මා ගාන්ධී, මාටින් ලූතර් කිං, ජේ.ආර්. යන අයගේ දර්ශණයන්ටද විශාල ලෙස බලපෑම් කළේය.

Yasnaya Polyana වල පිහිටි ටොල්ස්ටෝයිගේ සුසාන භූමිය

ටෝල්ස්ටෝයි තම කෘතීන් හරහා ඉදිරිපත් කරනු ලැබූ ජීවන දර්ශණය එවකට පැවති රුසියානු සමාජයේ පිළිබිඹුවක් බඳු විය. මැතිව් අනෝල්ඩ් විසින් වරෙක ප්‍රකාශ කරන ලද්දේ ටෝල්ස්ටෝයිගේ නිර්මාණ වූ කලී කලාවක් නොව ජීවිතයෙන් කොටසක් බවයි. මොහුගේ කීම සනාත කරමින් ඉසැක් බාබෙල් වරෙක කියා සිටියේ තමන්ට ලිවීමට හැකි නම් ලෝකය තම පෑනෙන් ලියනු ඇත්තේ ටෝල්ස්ටෝයි ලියූ ආකාරයටම බවයි. ප්‍රකට ගත්කතුවරියක වන වර්ජිනියා වුල්ෆ්, 'ටෝල්ස්ටෝයි යනු ලෝකයේ සියළු නවකතාකරුවන්ගේ විශිෂ්ඨතමයා බව' කියා සිටියාය.

ටෝල්ස්ටෝයිගේ ප්‍රථම ග්‍රන්ථ ප්‍රකාශනය වුයේ ස්වයංචරිතාපදාන නවකතා ත්‍රිත්වයකි. ඒවා ළමාවිය, ගැටවරිය සහ තරුණ විය (1852 - 1856) ලෙස හැඳින්වීය. මෙම කෘතිවලින් කියැවෙන්නේ ධනවත් ඉඩම් හිමියකුගේ පුතකු විසින් තමා සහ තමාගේ පවුල යටතේ සේවය කරන්නන් අතර ඇති වෙනස වටහා ගත් ආකාරයයි. පසු කාලීනව ටෝල්ස්ටෝයි විසින් මෙම කෘති භාවාත්මක ඒවා බව කියමින් නොසලකා හැර ඇති නමුත්, එම කෘතීන් ටෝල්ස්ටෝයිගේ ජීවිතය පිළිබද වැදගත් සිද්ධීන් මතු කර ගැනීමේදී වැදගත්කමක් උසුලයි. එමෙන්ම මෙම කෘති මනුෂ්‍යයකු වර්ධනය වීමේදී ඔහුගේ ජීවන දර්ශණය කෙබඳු ආකාරයෙන් වෙනස් වේදැයි පෙන්වා දීමට හැකි විශ්ව සාධාරණීය කෘති ලෙස සැලකේ.

"https://si.wikipedia.org/w/index.php?title=ලියෝ_ටෝල්ස්ටෝයි&oldid=586988" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි