ලංකාවේ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම

විකිපීඩියා වෙතින්
සී/ස එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ලේක්හවුස්)
වර්ගයරාජ්‍ය ආයතනයකි
මූලස්ථානයකොළඹ, ශ්‍රී ලංකාව
කර්මාන්තයමාධ්‍ය
නිෂ්පාදිතයන්පුවත්පත්, සඟරා
වෙබ්අඩවියwww.lakehouse.lk

සී/ස එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (Associated Newspapers of Ceylon Limited - ANCL) හෙවත් ලේක්හවුස් (LakeHouse) ආයතනය මෙරට ක්‍රියාත්මක වන ප්‍රමුඛතම පුවත්පත් ආයතනයක් ලෙස පෙන්වා දිය හැකිය. වර්තමානයේ දී සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම ප්‍රකාශන නිකුත් කරනු ලබන මෙම ආයතනය රාජ්‍ය හිමිකාරිත්වය යටතේ ක්‍රියාත්මක වන ආයතනයකි.

වර්තමානයේදී මෙම ආයතනය මඟින් දිනපතා සහ සති අන්තයේ පළ කරනු ලබන දිනමිණ, සිළුමිණ, තිනකරන්, Daily News හා Sunday Observer ආදී වූ ප්‍රවෘත්ති පත්‍රවලට අමතරව “සරසවි” නම් සිනමා පුවත්පත, “මිහිර” ළමා පුවත්පත, “බෞද්ධයා” පුවත්පත, “සුබසෙත” ජ්‍යෝතිෂ්‍ය පුවත්පත හා “මාංචු” නැමැති අපරාධ පිළිබඳ පළවන පුවත්පත ආදී වූ සතිපතා පළවන පුවත්පත් මෙන්ම ක්‍රීඩා සහ නවයුගය සඟරා ද්විත්වය ද ප්‍රකාශයට පත් කෙරේ. පුවත්පත් හා සඟරාවලට අමතරව වර්තමානයේ දී රජයේ පාසල් පෙළපොත් වර්ග ද ලේක්හවුස් ආයතනයෙන් මුද්‍රණය කරනු ලබයි. තව ද Sri Lanka Telecom ආයතනයේ දුරකතන නාමාවලිය (Directory) සහ වෙතන් පෞද්ගලික ආයතනවල සඟරා ද මෙම ආයතනය තුළ මුද්‍රණය කෙරේ.

ආරම්භය හා ඉතිහාසය[සංස්කරණය]

මෙරට ප‍්‍රකට ව්‍යාපාරිකයෙකු වූ ඩී.ආර්.විජේවර්ධන මහතා විසින් ලේක්හවුස් ආයතනය පිහිටවනු ලබන්නේ වර්ෂ 1926 දී ය.

මෙරට ප්‍රමුඛතම දිනපතා පුවත්පතක් වන "දිනමිණ” පුවත්පත ආරම්භ වූයේ 1909 වර්ෂයේ දී එච්.එස්.පෙරේරා මහතාගේ කර්තෘත්වය හා රොබට් බටුවන්තුඩාවේ මහතාගේ කළමනාකාරිත්වය යටතේය. එහෙත් එම පුවත්පත නතර වන තත්වයක් උද්ගත වූ නිසා වර්ෂ 1914 දී ඩී.ආර්.විජේවර්ධන මහතා විසින් තම සොහොයුරා සමඟ එක්ව එම පුවත්පත මිලට ගන්නා ලද අතර එම වර්ෂයේ පටන් පුවත්පතක් ලෙස එය නැවත පළවන්නට විය.

දිනපතා පළ කරනු ලබන ඉංග‍්‍රීසි පුවත්පතක් ආරම්භ කිරීමට අපේක්ෂාවෙන් සිටි ඩී.ආර්.විජේවර්ධන මහතාට The Ceylonese පුවත්පත වෙන්දේසි කරන බවට ලද ආරංචිය මත එය මිලට ගෙන Daily News නමින් 1918 වර්ෂයේ සිට ප‍්‍රකාශයට පත් කරන ලදි. ඉන් පසුව එම පුවත්පත එවකට ජනප‍්‍රියව පැවති Morning Leader පුවත්පත සමඟ කරට කර සටනක නියැලී නොබෝ කලකින්ම එම පුවත්පත අභිබවා යාමට සමත් විය.

දිනපතා පළකරනු ලැබූ පුවත්පත් පවත්වාගෙන ගිය ද ඉරිදාට පමණක් පළවන පුවත්පතක් නොතිබුණු නිසා එම අඩුව සම්පූර්ණ කරමින් ලේක්හවුස් ආයතනයෙන් සිළුමිණ පුවත්පත 1930 වර්ෂයේ දී අරඹන ලදි. එම පුවත්පතේ ප‍්‍රථම කර්තෘත්වයට පියසේන නිශ්ශංක මහතා පත් කිරීම තුළ එම පුවත්පතට ශාස්ත‍්‍රීය මුහුණුවරක් එක්වීම ඔස්සේ "ශත දහයේ විශ්වවිද්‍යාලය” නමින් එම පුවත්පත ප‍්‍රකට විය. තව ද කාලයක් පුරා පළවුණු Ceylon Observer පුවත්පත මිලට ගෙන එය ඉරිදා දින පළවන ලංකාවේ ප‍්‍රථම ඉංග‍්‍රීසි පුවත්පත බවට පත් කළේය. එසේම ද්‍රවිඩ බස භාවිත කරන පාඨකයින් වෙනුවෙන් 1932 දී ”තිනකරන්” පුවත්පත අරඹන ලදි.

ලේක්හවුස් ගොඩනැගිල්ල

මෙසේ භාෂා ත‍්‍රිත්වයෙන්ම මෙරට ජනතාව වෙත පුවත් හා දැනුම සම්පාදනය කළ මෙම පුවත්පත් සමූහය වර්ෂ 1938 දී ලේක්හවුස් ගොඩනැඟිල්ල තුළ ස්ථානගත වීම මඟින් එවකට ක‍්‍රියාත්මක වූ ප‍්‍රබලතම පුවත්පත් ආයතනය බවට මෙම ආයතනය පත්විය.

1973 අංක 28 දරණ විශේෂ විධිවිධාන පනත ප‍්‍රකාරව ලේක්හවුස් ආයතනයේ කොටස්වලින් 75% ක ප‍්‍රමාණයක් රජයට පවරා ගන්නා ලදි. ඒ අනුව වර්තමානයේ දී මෙම ආයතනය රාජ්‍ය හිමිකාරිත්වය යටතේ පවතින පුවත්පත් ආයතනයක් ලෙස ක‍්‍රියාත්මක වේ.

ආයතනයේ විවිධ අංශ[සංස්කරණය]

පිටු සැකසුම් අංශය[සංස්කරණය]

මෙම අංශය තුළ සිදුවන්නේ පුවත්පතක මුද්‍රණය සඳහා ලබා දිය යුතු මෘදු පිටපත (Soft Copy) සකස් කිරීමයි. එනම් පුවත්පතේ අන්තර්ගත අංකිත පිටපතක් වශයෙන් සැකසීමට භාජනය කිරීමයි. එහිදී පාඨ කොටස් (Texts), ඡායාරූප සහ පින්තූර (Photos / Images) අන්තර්ගත කරමින් අන්තර්ගතය සකස් කරනු ලබන අතර ඒ සඳහා Adobe InDesign, Adobe PageMaker වැනි මෘදුකාංග භාවිත කෙරේ. තව ද රූපමය අන්තර්ගතයන් සකස් කිරීම සඳහා Adobe Photoshop, Adobe Illustrator සහ CorelDraw වැනි මෘදුකාංග ද භාවිත කෙරේ.

පරිගණකය මඟින් පුවත්පතක සිටු සැළසුම් කිරීමට ඒ සඳහා ඩමියක් (Dummy) හෙවත් කඩදාසි මඟින් සකසා ගන්නා ලද ආකෘතියක් භාවිත කිරීම ද දක්නට ලැබේ. එය තුළ පාඨ කොටස් සහ ඡායාරූප ඇතුළත් විය යුතු ස්ථාන පිළිබඳව සටහන් කරනු ලබන අතර සෑම පාඨ කොටසකටම සහ සෑම ඡායාරූපයකටම යොදනු ලබන විශේෂ හඳුනා ගැනීමේ අංකයක් මඟින් ඒවා පුවත්පතේ අන්තර්ගත විය යුතු ස්ථාන මෙසේ සකස් කරනු ලබන ඩමිය භාවිත කරමින් සැලසුම් කෙරේ. ඉන් අනතුරුව එම ඩමිය සැලසුම් කළ ආකාරයට පරිගණකය භාවිතයෙන් පුවත්පතේ පිටු සැලසුම් කරනු ලබන අතර විශේෂ හඳුනාගැනීමේ අංකය සහිතව නාමකරණය කරන ලද පාඨ කොටස් සහ ඡායාරූප ආයතනය තුළ ක්‍රියාත්මක වන අභ්‍යන්තර පරිගණක ජාලය ඔස්සේ පිටු සැකසුම් අංශයට ලැබීමට සලස්වනු ලැබේ. මෙහි දී පුවත්පත තුළ දැන්වීම් අන්තර්ගත වන ස්ථාන පිළිබඳව ද විශේෂ සැලකිල්ලක් යොමු කරනු ලබන අතර බොහෝ විට දැන්වීම් සඳහා අවශ්‍ය ඉඩ ප්‍රමාණය වෙන් කළ පසු අනෙකුත් ලිපි පළ කිරීම සඳහා වෙන් කළ යුතු ඉඩ තීරණය වේ. කෙසේ වුවත් ඇතැම් විට මෙසේ කඩදාසි ඩමි වෙනුවට පරිගණකය තුළ අංකිත ක්‍රමයට සකස් කර ඇති ඩමි ද භාවිත කෙරේ.

ඡායාරූප සැකසුම් අංශය[සංස්කරණය]

මෙම ආයතනය විසින් පළ කරනු ලබන පුවත්පත් සහ සඟරාවන්හි පළ කිරීම සඳහා අවශ්‍ය ඡායාරූප මෙම අංශය මඟින් සකසනු ලැබේ. එනම් වාර්තාකරුවන් විසින් ආයතනය වෙත විවිධ ක්‍රම මාර්ගයෙන් එවනු ලබන ඡායාරූප මෙම අංශය තුළ දී මුද්‍රණයට සුදුසු අයුරින් සකස් කෙරේ. එහි දී විද්‍යුත් තැපෑල මාර්ගයෙන් නැතහොත් වෙනත් කවර හෝ ක්‍රමයක් ඔස්සේ ලැබෙන ඡායාරූපයේ අංකිත පිටපත මෙන්ම මුද්‍රණය කළ ඡායාරූප ලෙස එවනු ලබන ඡායාරූප ද පුවත්පතේ හෝ සඟරාවේ අදාළ වාර්තාවට අනුව සංස්කරණය කිරීම මෙම අංශයට පැවරී ඇති වගකීම වේ. විශේෂයෙන්ම අංකිත පිටපතක් නොවන ආකාරයෙන් එවන ලද ඡායාරූප පරිලෝකන යන්ත්‍රයක් (Scanner) මඟින් පරිලෝකනය (Scan) කර ඡායාරූපයේ අංකිත පිටපතක් (Digital Copy) පරිගණකය තුළට ලබා ගෙන එය සංස්කරණය කරීම සිදු කෙරේ.

මෙම අංශය තුළ ඡායාරූප සංස්කරණය කිරීම සඳහා භාවිත කරනු ලබන ප්‍රමුඛතම මෘදුකාංගය වන්නේ Adobe Photoshop නැමැති මෘදුකාංගයයි. එය අමතරව CorelDraw, Illustrator වැනි මෘදුකාංග ද අවශ්‍යතාව අනුව භාවිත කෙරේ. කෙසේ වුවත් මෙහි දී ඡායාරූප සංස්කරණය තුළ විශේෂයෙන්ම අවධානය යොමු කළ යුතු කරුණක් වන්නේ ඡායාරූපයේ විභේදන තීව්‍රතාව (Resolution) යි. එනම් විභේදන තීව්‍රතාව ඉහළ ඡායාරූපයක ගුණාත්මකභාවය නැතහොත් එම ඡායාරූපයේ අන්තර්ගත තොරතුරු ප්‍රමාණය ඉහළ අගයක් ගන්නා අතර විභේදන තීව්‍රතාව අවම ඡායාරූපයක ගුණාත්මකභාවය (Quality) නැතහොත් එම ඡායාරූපයේ අන්තර්ගත තොරතුරු (Details) අවම වේ. එනිසා පුවත්පතක හෝ සඟරාවක පළකිරීම සඳහා භාවිත කරනු ලබන ඡායාරූපය ඉහළ විභේදන තීව්‍රතාවක් සහිත විය යුතුය. එනිසා එම විභේදන තීව්‍රතාවයේ අගය 200 ක් සහිතව ඡායාරූප සංස්කරණය සිදුකරන අතර ඇතැම් විට ක්‍රීඩා වැනි සඟරා සඳහා මෙම අගයට වඩා ඉහළ විභේදන තීව්‍රතාවයෙන් යුතු ඡායාරූප යොදා ගැනීමට කටයුතු කරනු ලබන්නේ අදාළ මුද්‍රිත ප්‍රකාශනයේ ගුණාත්මකභාවය ඉහළ තත්වයක රඳවා ගනු පිණිසය.

ඡායාරූප සංස්කරණය කිරීමට අමතරව මෙම අංශය තුළ දැකිය හැකි වූ තවත් සුවිශේෂී කර්තව්‍යයක් වන්නේ පුවත්පත් තුළ පළකරනු ලබන කාටූන් වර්ණ ගැන්වීමයි. එනම් කාටූන් ශිල්පියා විසින් අතින් නිර්මාණය කර එවනු ලබන කාටූන් (චිත්‍රකතා) පරිලෝකනය (Scan) කර Adobe Photoshop මෘදුකාංගය ඔස්සේ වර්ණ ගන්වනු ලබයි. එමඟින් පුවත්පත් පිටු අතර පාඨකයා වැඩි රුචිකත්වයකින් යුතුව කියවනු ලබන චිත්‍රකතා වඩාත් මනරම්ව පාඨකයා හමුවට පැමිණේ.

මුද්‍රණ අංශය[සංස්කරණය]

පිටු සැකසුම් අංශය මඟින් සකස් කර එවනු ලබන පුවත්පතක් මුද්‍රණය කරනු ලබන්නේ මෙම අංශය විසිනි. එනම් කර්තෘ මණ්ඩලය ඇතුළු බොහෝ පිරිසකගේ දායකත්වය සහිතව මෘදු පිටපතක් (Soft Copy) වශයෙන් සකස් වූ පුවත්පත සාමාන්‍ය පාඨකයා වෙත මුද්‍රිත නැතහොත් දෘඩ පිටපතක් (Printed Copy / Hard Copy) වශයෙන් ගෙන යාමට අවශ්‍ය තාක්ෂණික කාර්යාවලිය සිදු වන්නේ මෙම අංශය මඟිනි.

මූලික වශයෙන් ලොව පුරා මුද්‍රණ ක්‍රමවේද තුනක් භාවිතයට ගනී. එනම් ලෙටර් ප්‍රෙස් හෙවත් උස්තල මුද්‍රණය ක්‍රමය (මෙම ක්‍රමය වර්තමානයේ දී රජයේ මුද්‍රණාලය තුළ භාවිත කරන අයුරූ අපට දැක ගත හැකි විය.), ලිතෝග්‍රැෆි හෙවත් සමතල මුද්‍රණ ක්‍රමය (Offset) සහ ග්‍රැවියෝ හෙවත් අවතල මුද්‍රණ ක්‍රමවේදයයි. මෙම ක්‍රමවේද ත්‍රිත්වය අතරින් ලෝකය පුරා මුද්‍රණ කර්මාන්තය තුළ 90% කට වඩා වැඩි ප්‍රමාණයක් භාවිත කරනු ලබන්නේ සමතල හෙවත් Offset මුද්‍රණ තාක්ෂණයයි.

ඒ අනුව ලේක්හවුස් ආයතනය තුළ ද පුවත්පත් මුද්‍රණය සඳහා භාවිත කරනු ලබන්නේ සමතල මුද්‍රණ ක්‍රමවේදය වේ. එය ජලය සහ තෙල් එකිනෙක මිශ්‍ර නොවන න්‍යාය මත පදනම් වී තිබේ. මෙම ක්‍රමය අනුව මුද්‍රණය කිරීම සඳහා පළමුව වර්ණ තහඩු සකස් කර ගත යුතුය. එසේ වර්ණ තහඩු සකස් කර ගනු ලබන්නේ මුද්‍රණ තාක්ෂණයේ දී භාවිත කරනු ලබන CMYK වර්ණ ආකෘතියට අනුකූලවය. එනම් පරිගණකය මඟින් පිටු සැලසුම්කරණය කළ පුවත්පතක පිටුවක් Cyan, Magenta, Yellow හා Black ආදී ලෙස මූලික වර්ණ හතරට විභේදනය කර වෙන් වෙන් වශයෙන් තහඩු 4 ක් ලබා ගනු ලැබේ. මේ සඳහා වර්තමානයේ දී භාවිත කරනු ලබන්නේ CTP (Computer to Plate) නැමැති යන්ත්‍රයයි. එම ක්‍රමවේදයට අමතරව තහඩු සකස් කර ගැනීම සඳහා වෙනත් ක්‍රමවේද ද ඇති නමුත් CTP ක්‍රමවේදය එම සියලු ක්‍රමවේද අතරින් තහඩු සකස් කර ගැනීම සඳහා අවම කාලයක් වැය වන උපකරණය වේ. එනිසා මෙම ඇති ඉතා ඉහළ තාක්ෂණ භාවිතාව හේතුවෙන් වායුසමනය කරන ලද කාමරයක් තුළ මෙම යන්ත්‍රය භාවිතයට ගැනීම දැක ගත හැකි විය. තව ද මෙසේ සකස් කරගනු ලබන තහඩුවක Image Area සහ Non Image Area යනුවෙන් ප්‍රදේශ ද්විත්වයක් ද හඳුනා ගත හැකිය. මෙම ප්‍රදේශ ද්විත්වය සහිතව තහඩු මුද්‍රණ යන්ත්‍රයට සවි කළ පසු පින්තූර සහිත ප්‍රදේශය (Image Area) තුළ තීන්ත ආලේප වන අතර පින්තූර රහිත ප්‍රදේශය (Non Image Area) තුළ ජලය එනම් වතුර ආලේප වේ. ඉන් අනතුරුව Image Area තුළ ආලේප වූ තීන්ත පමණක් රබර් බ්ලැන්කට් එකක තැවරේ. මන්ද යත් රබර් සඳහා ජලය ආකර්ෂණය නොවීම එයට හේතුව වේ. මෙසේ අවසාන වශයෙන් කඩදාසිය මත මුද්‍රණය වන්නේ මෙම රබර් බ්ලන්කට්ටුව මත ආලේප වූ තීන්තය. කඩදාසිය මත වර්ණ හතරම මුද්‍රණය වීම ඔස්සේ වර්ණ හතරම සහිත පත්තර පිටුවක් මුද්‍රණ ද්වාරයෙන් එළියට පැමිණේ. මෙම Offset මුද්‍රණ ක්‍රියාවලිය සරලව පහත රූප සටහන මඟින් පෙන්වා දිය හැකිය.

විශේෂයෙන්ම මෙහි දී පුවත්පත් මුද්‍රණය සඳහා භාවිත කරනු ලබන කඩදාසිය පිළිබඳවද සටහනක් තැබීම වැදගත්ය. එනම් මේ සඳහා භාවිත කරනු ලබන කඩදාසි රෝල් විදේශ රටවලින් ගෙන්වනු ලබයි. එසේ ගෙන්වනු ලබා එක් කඩදාසි රෝලකින් පත්තර පිටු 20,000 ත් 21,000 ත් අතර ප්‍රමාණයක් මුද්‍රණය කළ හැකිය. ලේක්හවුස් ආයතනය පුවත්පත් සඳහා භාවිත කළ තරමක අඳුරු පැහැයෙන් යුතු කඩදාසි වර්ගය වෙනුවට මෑතක සිට තරමක සුදු පැහැයෙන් යුතු කඩදාසි වර්ගයක් භාවිත කිරීමට හේතුව කුමක්දැයි මා එහි සිටි නිලධාරියෙකුගෙන් ප්‍රශ්න කළ විට දී එයට පිළිතුරු ලෙස ඔහු පැවසුවේ මුලින් භාවිත කළ එම කඩදාසි වර්ගය රුසියාවෙන් ගෙන්වන ලද බව සහ වර්තමානයේ භාවිත කරනු ලබන නව කඩදාසිය චීනයෙන් මෙරටට ගෙන්වන්නක් වන බවයි.

දැන්වීම් අංශය[සංස්කරණය]

දැන්වීම් අංශය එක්තරා දුරකට පුවත්පත් ආයතනයක හදවත වශයෙන් හඳුන්වා දීම ද වැරදි නොවේ. මන්ද යත් පුවත්පතක් පවත්වාගෙන යාමට මූලිකවම අවශ්‍ය වන ප්‍රාග්ධනය සපයා දෙනු ලබන්නේ පුවත්පත් ආයතනයේ දැන්වීම් අංශයේ කළමනාකරණය ඔස්සේ ලැබෙන දැන්වීම් පුවත්පතේ පළ කිරීම මඟිනි. එනිසා දැන්වීම් අංශය පුවත්පත පවත්වාගෙන යාමෙහි ලා උපයෝගී වන තවත් වැදගත් අංශයක් ලෙස පෙන්වා දිය හැකිය.

ඒ අනුව දැන්වීම් අංශය ඔස්සේ විවිධ ප්‍රමාණවල, විවිධ වර්ගවල දැන්වීම් මූලිකවම පුවත්පත තුළ පළකිරීමට අවශ්‍ය සම්බන්ධීකරණය සිදු කරනු ලබයි. එහි දී පුවත්පතක නම් එහි එක් පිටුවක් තීරුවලට (Columns) බෙදා සලකනු ලබන අතර එම තීරු මඟින් විශාල ප්‍රමාණයේ දැන්වීමක ප්‍රමාණය තීරණය කරනු ලබන අතර ඒ අනුව අදාළ දැන්වීමේ ගාස්තුව අය කරනු ලබයි. තව ද වචන පමණක් අන්තර්ගත වන කුඩා ප්‍රමාණයේ දැන්වීම් පළ කරවා ගැනීම සඳහා පාරිභෝගිකයා තුළ ඉහළ ඉල්ලුමක් පවතී. විශේෂයෙන්ම මෙවැනි දැන්වීම් සඳහා නිදසුනක් වශයෙන් මංගල දැන්වීම් පෙන්වා දිය හැකිය. මෙහි දී වචන ප්‍රමාණයට අය කරනු ලබන එවැනි දැන්වීම් විශාල වශයෙන් පාඨකයින් විසින් කියවනු ලැබීම එවැනි දැන්වීම් සඳහා පළ කරවා ගැනීම සඳහා පවතින උනන්දුවට හේතුවේ. මෙහි දී සඳහන් කළ යුතු සුවිශේෂතම කරුණක් වන්නේ මංගල දැන්වීම් පළ කිරීමේ දී අනෙකුත් දැන්වීම්වලට වඩා සුවිශේෂී ක්‍රියාවලියක් ඔස්සේ එය සිදුවීමයි. එනම් මංගල දැන්වීමට අදාළව එය පළකරන්නා සම්බන්ධ කර ගත හැකි දුරකතන අංක ආදිය පෞද්ගලික හේතු මත දැන්වීම තුළ පළ නොකරනු ලබන අතර අදාළ දැන්වීම සඳහා ලබා දෙනු ලබන කේතය (Code) මඟින් එම දැන්වීමට අදාළව ලැබෙන සියලු පිළිතුරුපත් එම දැන්වීම පළ කරන්නන් වෙත යොමු කිරීමට පුවත්පත් ආයතනය කටයුතු කරනු ලබයි. එහි දී දැන්වීම පළ කිරීම සඳහා මුලින් අය කළ මුදලට අමතරව කිසිදු මුදලක් පුවත්පත් ආයතනය විසින් අය නොකරනු ලබන අතර සියලු තැපැල් වියදම් පුවත්පත් ආයතනය විසින්ම දරනු ලැබේ. මෙම සුවිශේෂී ක්‍රියාවලිය මංගල දැන්වීම්වලට අදාළව ක්‍රියාත්මක වීම සුවිශේෂ කරුණක් වශයෙන් පෙන්වා දිය හැකි වන්නේ එබැවිනි.

බෙදාහැරීමේ අංශය[සංස්කරණය]

ලේක්හවුස් ආයතනය මඟින් මුද්‍රණය කරනු ලබන ප්‍රකාශන රට පුරා බෙදා හරිනු ලබන්නේ මෙම අංශය විසිනි. මෙහි දී එක් එක් ප්‍රදේශවලින් ලැබෙන ඇණවුම් අනුව යන්ත්‍රානුසාරයෙන් මිටි බැඳ එක් එක් ප්‍රදේශ කරා ලොරි රථ මඟින් පුවත්පත් ප්‍රවාහනය කෙරේ. ඒ ඒ ප්‍රදේශ වෙත ගමන් කරනු ලබන ලොරි රථ සඳහා පුවත්පත් යොමු කිරීම සිදු කරනු ලබන්නේ පීලි ක්‍රමයක් මඟිනි. එනම් එක් එක් ප්‍රදේශවලට අදාළව පීලි සකස් කර ඇති අතර එම පීලිවලට සම්බන්ධ වන සේ ලොරි රථ නැවැත්විය හැකි අතර අදාළ පීල්ලට යොමු කරනු ලබන පුවත් පත් අදාළ ප්‍රදේශය වෙත ගමන් කරනු ලබන ලොරි රථ තුළට යොමුවේ.

මෙම අංශය මඟින් සිදු කරනු ලබන බෙදාහැරීම මූලික වශයෙන් අවස්ථා ත්‍රිත්වයක් යටතේ සිදුවේ. එනම් නිදසුනක් වශයෙන් පෙන්වා දෙනු ලැබුවහොත් පසුදා පළවන පුවත්පත රට පුරා අවස්ථා තුනක් යටතේ සිදු කිරීම දක්නට ලැබේ. එනම් පළමුව බෙදාහැරීම සිදු කරනු ලබන්නේ කොළඹින් ඉතා දුර බැහැර ප්‍රදේශ වෙත (නිද: යාපනය) වන අතර එම පුවත්පත් පුවත්පත පළ විය යුතු දිනට පෙර දින සන්ධ්‍යාවේ මුද්‍රණය සිදු වේ. ඉන් අනතුරුව කොළඹින් තරමක් දුර බැහැරව පවතින ප්‍රදේශ (නිද: මහනුවර) කරා පුවත්පත් බෙදාහැරීම සිදුවන අතර පළමු වර්ගයේ පුවත්පත් මුද්‍රණය කිරීමෙන් පසු මෙම පුවත්පත් මුද්‍රණය කෙරේ. අවසාන වශයෙන් කොළඹ අවට ප්‍රදේශ කරා පුවත්පත් බෙදාහරිනු ලබන්නේ ඉහතින් සඳහන් කරනු ලැබූ අවස්ථා ද්විත්වයෙන්ම අනතුරුවය. එනිසා තෙවනුව මුද්‍රණය වනු ලබන මෙම පුවත්පත් තුළ පෙර අවස්ථා ද්විත්වයේ පුවත්පත් තුළ අන්තර්ගත නොවූ වඩාත් නැවුම් පුවත් ඇතුළත් විය හැකිය. කෙසේ වුවත් මෙම පුවත්පත් ප්‍රවර්ග ත්‍රිත්වය හඳුනා ගැනීම සඳහා තරු ක්‍රමයක් භාවිත කෙරේ.

මේ අනුව බෙදාහැරීමේ අංශය ද පුවත්පත් ආයතනයේ ඉතා වැදගත්ම අංශයක් ලෙස පෙන්වා දිය හැකි වන අතර පසුදා පහන් වීමට ප්‍රථම එදිනට නියමිත පුවත්පත රට පුරා බෙදාහැරීමට කටයුතු කිරීම මෙම අංශයේ වගකීම වේ.

නව ප්‍රවණතා[සංස්කරණය]

අද්‍යතනය වන විට මෙරට පුවත්පත් කර්මාන්තයේ නිර්මාණය වී ඇති තරඟකාරීත්වය සහ පුවත්පත් මාධ්‍යය ද අන්තර්ජාලය සහ ජංගම දුරකථන වැනි මාධ්‍යයන් ඔස්සේ අභිසරණයට (Convergence) ලක්වීම තුළ ලේක්හවුස් ආයතනයද එම කාලීන තත්වයන්ට මුහුණ දීම සඳහා නව ප්‍රවණතා ගණනාවක් හඳුන්වා දී තිබේ. ඒ ඔස්සේ විශේෂයෙන්ම ජංගම දුරකථනය භාවිතයෙන් ලුහුඩු දැන්වීම් පුවත්පත් තුළ පළ කිරීම සඳහා අවස්ථාව ලබා දීම සහ Android, Windows Mobile සහ iOS නැමැති ස්මාර්ට් ජංගම දුරකථන සඳහා භාවිත වන මෙහෙයුම් පද්ධති ත්‍රිත්වය තුළම භාවිත කළ හැකි යෙදුම් මෘදුකාංග (Mobile Applications) හඳුන්වා දී තිබේ. එම යෙදුම් මෘදුකාංග ඔස්සේ පාඨකයා වෙත නවතම පුවත් රැගෙන යාමට කටයුතු කෙරේ.

මෙහි දී දැන්වීම් පළකිරීම සම්බන්ධව හඳුන්වා දී ඇති නව ප්‍රවණතා පිළිබඳ සාකච්ඡා කිරීමේ දී අතීතයේ එය සිදුවූ ආකාරය පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත්ය. එහිදී දැන්වීමක් භාරදීමට පැමිණෙන පුද්ගලයෙකු මුලින්ම නිවැරදි දැන්වීම් පත්‍රිකාව තෝරාගෙන එය නිවැරදිව පුරවා ඊට අදාළ ගාස්තු දැන ගැනීම පිණිස එක් නිලධාරියෙක් වෙතට ද එම ගාස්තුව ගෙවීම සඳහා තවත් නිලධාරියෙක් වෙතට ද යා යුතු විය. එහෙත් වර්තමානයේ දී AdPro මෘදුකාංගය හඳුන්වා දීමෙන් පසු දැන්වීම්කරණයේ නව පෙරළියක් සිදුවී තිබේ. එහි දී එකම කවුන්ටරයක් තුළ දී දැන්වීම් පිළිබඳ සියලු කාර්යයන් ඉටු කරවා ගැනීමට හැකියාව උදා වී ඇත. එසේම එම පියවර තවත් පුළුල් කරමින් 2012 e-Booking නැමැති නව මෘදුකාංගයක් දිවයින පුරා විසිරී සිටින අලෙවි නියෝජිතයන් වෙත හඳුන්වා දීමට ලේක්හවුස් ආයතනය කටයුතු කොට තිබේ. එමඟින් එම අලෙවි නියෝජිතයන් තම ආයතනයේ නිෂ්පාදන ක්‍රියාවලිය සමඟ සෘජුව සම්බන්ධ කර ගැනීමට හැකියාව ලැබෙන බව ලේක්හවුස් ආයතනය පවසයි. තව ද 2013 වර්ෂයේ මැයි මාසයේ දී දැන්වීම්කරණයේ තවත් ඉදිරි පියවරක් තබමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ජංගම දුරකතන පද්ධතියේ දැවැන්තයින් වන Dialog, Mobitel, Etisalat සහ Airtel නම් ආයතන එකම වේදිකාවකට ගෙන ඒමට ද ලේක්හවුස් ආයතනය සමත් විය. ඒ ඔස්සේ ජංගම දුරකතන මඟින් #429# අමතා ලුහුඩු දැන්වීම් ඉතා පහසුවෙන් පුවත්පත් තුළ පළකර ගැනීමට අවස්ථාව සලසා දෙන ලදි. ඉන් නොනැවතී 1949 නැමැති කෙටි දුරකථන අංකය මඟින් ලේක්හවුස් දැන්වීම් පිළිබඳ විමසීමට ද අවකාශය ලබා දී තිබේ.

මෙසේ ලේක්හවුස් ආයතනය දැන්වීම් කලාවේ සිදුකළ පෙරළියට සමගාමීව පුවත්පත් කලාව තුළ ද නව පෙරළියක් ඇති කිරීමට කටයුතු කර තිබේ. ඒ නවතම මෘදුකාංගයක් වන Liberty නැමැති මෘදුකාංගය හඳුන්වා දීමත් සමඟ පුවත්පතක පිටු සැකසුම් ක්‍රියාවලිය තුළ සිදු වූ පෙරළියයි. ඒ ඔස්සේ ඉතා පහසුවෙන් ලොව වටා රට වටා සියලු පුවත් පරිගණක තිරය මතට ගලා ගෙන ඒමට අවකාශය සැලසුණි. එසේම ලක්ෂ ගණනක් වන ආයතනයේ පුස්තකාලය සතු සේයා රූ ද මෙම මෘදුකාංගය සමඟ ඒකාබද්ධ වූ AssetPro මෘදුකාංගය ඔස්සේ පහසුවෙන් අවශ්‍ය ස්ථානය කරා ගෙන ඒමට හැකිවිය. මෙසේ තෝරා ගත් සේයා රූ සකසා ගැනීමේ හැකියාව ද Liberty මෘදුකාංගය මඟින් ලබා දී ඇත්තේ පත්‍ර කලාවේදියාගේ, සම්පාදකයාගේ සහ ඡායාරූප සංස්කරණ ශිල්පියාගේ භූමිකාවන් එකම තලයකට ගෙන එමිනි.

එසේම මෙහි මුද්‍රණ අංශය යටතේ අවධානය යොමු කරනු ලැබූ CTP (Computer to Plate) නැමැති තාක්ෂණය ලේක්හවුස් ආයතනයට ලබා ගැනීම ද නව ප්‍රවණතාවක් ලෙස පෙන්වා දිය හැකි වන්නේ එම තාක්ෂණයට පෙර වර්ණ තහඩු (Plates) සකස් කිරීම සඳහා ගතවූ පැය 4 ක් වැනි විශාල කාල ප්‍රමාණය මෙම CTP තාක්ෂණය ඔස්සේ විනාඩි 12 ක් වැනි ඉතා සුළු කාලයකට කෙටි වීම හේතුවෙනි.

තව ද ලේක්හවුස් ආයතනය විසින් හඳුන්වා දී ඇති නවතම විශේෂාංගය වන අන්තර්ජාල ගුවන්විදුලි නාලිකාව (Web Radio Channel) මඟින් ලේක්හවුස් ආයතනය වටා රොදබැඳ සිටි පාඨක ප්‍රජාව ශ්‍රාවකයින් බවට පත් කර තිබේ. www.dinamina.lk ඔස්සේ මෙම ගුවන්විදුලි නාලිකාවට සවන්දීම සිදු කළ හැකිය. මේ පිළිබඳව අදහස් දැක්වූ මෙහි නිලධාරියෙක් පවසන ලද්දේ විදේශ රටවල වාසය කරන ශ්‍රී ලාංකිකයින්ගෙන් මෙම නාලිකාව සඳහා ඉතා ඉහළ මට්ටමේ ප්‍රතිචාර ලැබෙන බවයි. ඒ අනුව ඉකුත් අවුරුදු සමයේ දී ඒ වෙනුවෙන් විශේෂ වැඩසටහන් ගණනාවක් ඉදිරිපත් කළ බව ද ඔහු පැවසීය. එසේම නුදුරු අනාගතයේ දී මෙම නාලිකාවට ගුවන්විදුලි තරංග ඔස්සේ ප්‍රවේශ වීමට අවස්ථාව සැලසීමට ද එහි කාර්ය මණ්ඩලය අපේක්ෂා කරයි. එතෙකින් නොනැවතී රූපවාහිනී නාලිකාවක් ආරම්භ කිරීමට ද අනාගතයේ දී කටයුතු කරන බව ඔවුන් අප සමඟ ප්‍රකාශ කරන ලදි.

මේ අනුව පැවසිය හැකි වන්නේ ලේක්හවුස් ආයතනය දැනුමෙන් සහ තොරතුරුවලින් සන්නද්ධ පාඨක ප්‍රජාවක් බිහිකිරීමෙන් ඔබ්බට ගොස් බුද්ධිමත් ශ්‍රාවක සහ ප්‍රේක්ෂක පිරිසක් ද රටට බිහි කිරීමට පෙරමුණ ගනිමින් කටයුතු කරන බවයි. විශේෂයෙන්ම ලේක්හවුස් පුවත්පත් තුළින් ප්‍රකාශන මාධ්‍යයන් ඔස්සේ ඔස්සේ ඉටුකළ සමාජ මෙහෙවර නුදුරු අනාගතයේදීම විකාශන මාධ්‍යයන් ඔස්සේ ද උත්කර්ෂයට නැංවීම උත්සාහ දැරීම සතුටට කරුණකි. එය වඩාත් සාර්ථක වනු දැකීම බුද්ධිමත් පාඨක සැමගේ බලාපොරොත්තුවයි.

මේවාද බලන්න[සංස්කරණය]

ආශ්‍රිත මූලාශ්‍ර[සංස්කරණය]

  • බාලසූරිය, අරුණ. (2003). ඩී.ආර්.විජයවර්ධන සහ ශ්‍රී ලාංකීය පුවත්පත් කලාව, ඇස් ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ 10.
  • අබේසිංහ, නිහාල් පී. (2007). මුද්‍රිත සන්නිවේදනයේ සංවර්ධනය, ඇස් ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ 10.