මුලාන් (2009 චිත්‍රපටය)

විකිපීඩියා වෙතින්
මුලාන්: රයිස් ඔෆ් අ වොරියර්
නිල පෝස්ටරයක්
අධ්‍යක්‍ෂණයජිංග්ලේ මා
තිර රචනයෂෑං ටිං
නිශ්පාදනයජිංග්ලේ මා
වැන්ග් ටියෑන්-යුන්
ජෙෆ්රි චෑන්
නි යිං
ලි ලි
රංගන ශිල්පීන්ෂාඕ වෙයි
යු රොංගුවාං
චෙන් කුන්
හු ජුන්
ජේසී චෑන්
නිකී ලී
විටාස්
සිනෙමාරූපණයටෝනි ච්‍යූං
සංස්කරණයත්වොං චි-ල්‍යුං
සංගීතයලී ෂිහ් ෂිඔං
ලී වෙයි සොං
යි ජියායැං
ච්‍යුං ආ-තුං
ටෑන් ඩුන්
ෂියාඕ කේ
Production
companies
ස්ටාර්ලයිට් ඉන්ටර්නැෂනල්
මීඩියා ගෲප්
බෙයිජිං ගැලොපිං හෝර්ස්
චිත්‍රපට සහ රූපවාහිනී නිෂ්පාදනය

හුනාන් ටීවී ඇන්ඩ් බ්‍රෝඩ්කාස්ට් ඉන්ටර්මීඩියරි කම්පනි ලිමිටඩ්
ෂෑංහයි ෆිල්ම් ගෲප්
PKU ස්ටාර්ලයිට් ගෲප්
බෙයිජිං පොලිබෝනා ෆිල්ම් පබ්ලිෂිං කම්පනි ලිමිටඩ්
නිකුත්වූ දින
  • නොවැම්බර් 26, 2009 (2009-11-26) (මැලේසියාව)
  • නොවැම්බර් 27, 2009 (2009-11-27) (චීනය)
තිර කාලය
මිනිත්තු 113
රටචීනය
භාෂාවමැන්ඩරින්

මුලාන්: රයිස් ඔෆ් අ වොරියර් (සම්ප්‍රදායික චීන: 花木蘭;සරල චීන: 花木兰 ;පින්යින්: හුවා මුලාන්) හෙවත් මුලාන්: ලෙජන්ඩරි වොරියර් යනුවෙන් හැඳින්වෙන්නේ 2009දී ප්‍රදර්ශනය ඇරඹි චීන චිත්‍රපටයකි. මෙහි මුලාන් නැමැති ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ ෂාඕ වෙයි විසින. මෙහි අධ්‍යක්ෂක වන ජිංග්ලේ මා විසින් විස්තර කොට ඇත්තේ මෙය 1998 වෝල්ට් ඩිස්නි සජීවීකරණ චිත්‍රපටයට වඩා බෙහෙවින් වෙනස් බවත්, එය සිය සිතුවිලි අනුව නිර්මාණය කළ බවත් ය.[1] හුවා මුලාන්ගේ චරිතයට මා විසින් පළමුව ෂෑං සියි, මිෂෙල් යෝහ් සහ ලියු යිෆෙයි යන නිළියන් පිළිබඳ අවධානය යොමුකොට තිබුණ ද, අවසානයේ ෂාඕ වෙයි තෝරාගැනිණි.[1]

කථා පුවත[සංස්කරණය]

ක්‍රි.ව. 450දී චීනයේ පාලන රාජවංශය වෙත රෞරන් ගෝත්‍රවලින් නිරන්තර තර්ජන එල්ල වෙයි. චීන හමුදාව දීපව්‍යාප්ත හමුදාවක් සංවිධානය කරයි. මේ හේතුවෙන් විශ්‍රාමික සෙබල හුවා හු හට සිය රාජ්‍යය වෙනුවෙන් සටන් කිරීමට කැඳවීම් ලැබෙයි. ඔහුගේ ලාබාල දියණිය වන හුවා මුලාන් (ෂාඕ වෙයි) ඉතා බුද්ධිමත්, සටන් කලාවෙහි දක්ෂ තැනැත්තියකි. ඇය කාන්තාවක වූ හෙයින් ඇයට ඊට එක්විය නොහැකි විය. සිය පියාව උපක්‍රමයකට හසු කරගන්නා ඇය පියාගේ සන්නාහ සහ ආයුධ සොරකම් කොට පිරිමියකු මෙන් වෙස්වලා ගෙන සිය පියා වෙනුවට වෙයි හමුදාවට ඇතුළත් වෙයි. එහි දී ඇගේ මිතුරකු වන ෂියාඕහු විසින් ඇයව හඳුනාගත්ත ද, ඔහු එම රහස රැකීමට පොරොන්දු වෙයි.

දැඩි යුධ පුහුණුවකින්, මුලාන් ධෛර්යවන්ත, විචක්ෂණශීලී සහ නොනැවැත්විය හැකි පුද්ගලයකු බව දක්නට ලැබෙන අතර, ඇය හමුදා මැරවරයන්ගෙන් සෙස්සන්ව ආරක්ෂා කරගැනීමට තැත් කරයි. ඇය හමුදා ඛණ්ඩයේ උප සෙන්පතියා වන වෙන්තායි (චෙන් කුන්) ගේ අවධානයට යොමු වේ. ඔවුන් නොබෝ කලකින්ම හොඳ මිතුරන් වන අතර, එකිනෙකා කෙරෙහි ප්‍රියතාවයක් ගොඩනැගෙයි.

එක් රැයක, වෙන්තායි උණුදිය උල්පතක ස්නානය කරමින් සිටියි. ඔහු හදිසියේම මුලාන් වෙත ගමන් කරයි. සුළු ආරවුලකින් පසු සිය අනන්‍යතාව හෙළිනොකර මුලාන් පලා යයි. කෙසේනමුත්, වෙන්තායි සෙබලුන් අතර සැඟව සිටින කාන්තාව අනාවරණය කිරීමට ඉටා ගනියි. මේ අතර, තත්ත්වය තවත් උග්‍ර කරමින් හමුදා සෙබලකු සතු ජේඩ් පදක්කමක් නැති වේ. එහි දී ඇඳුම් ඉවත් කර සෝදිසි කිරීමක් සඳහා අණ කෙරේ. තමන් කාන්තාවක බව හෙළිවී පියාගේ කීර්ති නාමයට කැළලක් ඇතිවේ යැයි බියවන මුලාන් මෙම සොරකමේ වරද තමන් පිට පටවා ගනියි.

සිරභාරයේ දී, ඇය වෙන්තායිට සත්‍යය පවසයි. අවසානය තෙක්ම ඇගේ රහස රැකීමට වෙන්තායි පොරොන්දු වේ. මේ අතර, රෞරන් ගෝත්‍රිකයන් විසින් හදිසි ප්‍රහාරයක් එල්ල කරන අතර, වෙන්තායි මුලාන්ව නිදහස් කරයි. නමුත් මුලාන් සටන් කිරීම පිණිස රැඳී සිටියි. දිවි රැකගන්නා ඇය උප සෙන්පතියකු ලෙස උසස් කෙරෙයි. ක්‍රමයෙන් වෙන්තායි මෙන්ම මුලාන් ද සෙන්පතීන් බවට පත්වෙති.

මේ අතර වෙන්තායි සහ ඔහුගේ මිනිස්සු රහස් පහර දීමක් සඳහා රැක සිටිති. වෙන්තායි මුලාන්හට ආරක්ෂකයන්ට පසුපසින් හිඳ හමුදාවේ සැපයුම් ආරක්ෂා කරන මෙන් පවසයි. නමුත් වෙන්තායි පිළිබඳ බියවන මුලාන් වෙනත් සෙබලකු ඒ සඳහා පිටත් කර වෙන්තායි පසුපස හඹා යයි. ඒ වනවිට සැපයුම් ආරක්ෂා කරමින් සිටි මිනිසුන්ට හදිසි ප්‍රහාරයක් එල්ල වෙයි. සිය වරද නිසා සිදු වූ මරණ පිළිබඳ මුලාන් පසුතැවෙයි. යුධ බිම තුළ එතරම් හැඟීම්බර නොවන මෙන් වෙන්තායි මුලාන්ට පවසයි. තමාට එසේ සිදුවුවහොත් ඔහු ද එසේසේ සිදුකරයි ද යනුවෙන් ඇය අසන විට, වෙන්තායි පවසන්නේ "එසේ නොවේ" යනුවෙනි. මුලාන් හමුදාව අත්හැර සෙන්පති තනතුරින් ඉවත් වීමට කල්පනා කරන විට, වෙන්තායි ඇයට සිහිපත් කරන්නේ තමන් කිසිවකුවත් සටනට අකමැති බවත්, සිය වගකීම ඉටුකළ යුතු බවත් ය.

‍තවත් සටනකින් පසුව, ෂියාඕහු මුලාන් වෙත දන්වන්නේ වෙන්තායි මියගිය බවයි. ඔහු ඇයට ධෛර්යමත් වන ලෙස පවසයි. වික්ෂිප්තභාවයට පත්වන මුලාන් මධු පානයෙහි නියැළෙමින් හමුදා පුහුණු කිරීම නවතා දමයි. ෂියාඕහු ඇයට ඇගේ වගකීම ඉටු කරන ලෙස පවසයි. ඉන් අනතුරුව, සිය හමුදා ප්‍රතිසංවිධානය කරන මුලාන්, ‍ජයග්‍රහණ රැසක් අත් කරගැනීමට සමත් වන්නී ය. නමුත් සැබැවින්ම වෙන්තායි ජීවත් වෙයි. ඔහු සහ ෂියාඕහු මෙය රහසක්ව තබා ගත්තේ මුලාන්ට හැඟීම්බර නොවී ශක්තිමත්ව කටයුතු කිරීමට ඉඩදීම සඳහායි.

වෙයි හමුදාවන්ට එරෙහිව සටන් වැදීමට තරම් ශක්තිමත් හමුදාවක් නිර්මාණය කිරීමට රෞරන් ගෝත්‍රය අසමත් බව දැක, බල ලෝභී මුදන් කුමරු සිය පියාව ඝාතනය කොට සිහසුන පැහැර ගනියි.

මේ අතර මුලාන්ගේ හමුදා රෞරන්වරුන්ට එරෙහිව දැඩිව සටන් වදියි. නමුත් මුලාන් ඇතුළු බොහෝ දෙනකු ගිනි ඊතල හේතුවෙන් තුවාල සිදු වේ. හදිසියේම විෂ මකරා යනුවේන හැඳින්වුණු දූවිලි කුණාටුවක් යුධ බිම වසාගනියි. ඔවුන් නැවත සිහිය ලබන විට, මුලාන් සහ වෙන්තායි යළි එක්වන අතර, මුලාන් සිට හමුදාවන්ට වැසුණු දොරුව වෙත පසුබසින්නට නියෝග කරයි. සැපයුම් නොමැතිව මුලාන් පීඩාවට පත්වන අයුරු දැකීමට අපේක්ෂා කරන මුදන් කුමරු, දොරුවේ දොරටුව අසල වැටලීමක් සිදු කරයි. මුලාන් දැඩි ලෙස ගිලන්ව සිටියි. ජල සැපයුම් අවසන් වූ හෙයින් වෙන්තායි ඇයට ඔහුගේ රුධිරය පානයට ලබා දෙයි.

හමුදා ආඥාපතිවරයා තමන්ව ගලවා ගැනීමට සේනා නොඑවන බවත්, තමන්ව මියයනු පිණිස දමා ගොස් ඇති බවත් වටහා ගන්නා මුලාන්, සිය හමුදාවන්ට රට වෙනුවෙන් මියයන තෙක් සටන් කිරීමට පවසයි. නමුත් යුධ පෙරමුණ වෙත යන වෙන්තායි තමන් වෙයි රාජවංශයේ 7වන කුමරුන් බව හෙළි කරයි. මුලාන් සහ ඇගේ සෙබලුන්ට නිහස ලබාදෙන්නේ නම් තමන් සිරභාරයට පත්වන බව ඔහු පවසයි. ඔහුව සිරකරුවකු ලෙස තබාගන්නා මුදන්, මුලාන් සහ ඇගේ සෙබලුන්ට සැපයුම් සහ වෛද්‍ය ආධාර සපයයි.

සිය යුධ නිල ඇඳුම ඉවත් කොට රෞරන් කාන්තාවන්ගේ ඇඳුමක් හැඳගන්නා මුලාන් වෙන්තායි බේරාගැනීමට පිටව යයි. රෞරන් කුමරිය හමුවන මුලාන්, තමන් කාන්තාවක බවත් යුද්ධය නවත්වා සාමය උදා කිරීම පිණිස තමන් ඇයට ඇගේ සිහිනය ඉටු කරගැනීමට උපකාර වන බවත් පවසයි. කුමරියගේ උපකාර ඇතිව වෙන්තායි නිදහස් කරගන්නා මුලාන් ‍නැවත වෙයි අගනුවර වෙත පැමිණෙයි. එහිදී ඇය තමන් කාන්තාවක බව හෙළි කරයි. මුලාන් නැවත සිය ගම්මානය වෙත පිටත් වී සිය රෝගී පියාව රැකබලා ගැනීමට අවසර ඉල්ලන අතර, රෞරන් සහ වෙයි රාජ්‍ය අතර සමගිය ඇති කිරීම සඳහා වෙන්තායි සහ රෞරන් කුමරිය අතර සරණ මංගල්‍යයක් පැවැත්වෙන බව අධිරාජයා නිවේදනය කරයි. මුලාන්ගේ උපන් ගම වෙත පැමිණෙන වෙන්තායි ඇයට තමන් සමග පලා එන මෙන් පවසයි. නමුත් සිය පාරිශුද්ධ ප්‍රේමය වෙනුවට මුලාන් සිය චීන රාජ්‍යය තෝරා ගනියි. ඔහු ඇගේ තීරණයට ගරු කරයි. වෙන්තායි සහ ඇය වෙන්වන මොහොතේ දෙදෙන ප්‍රේමණීය හාදුවක් හුවමාරුකර ගනිති.

චිත්‍රපටය අවසන් වන්නේ මුලාන්ගේ පහත ප්‍රකාශයත් සමගයි, "ඇතැමකු වරක් පැවසූයේ ඔබ නිවසින් ඈත්ව ගියහොත් ඔබට ඔබේ මුල් අහිමි වේවි. බොහෝ මිනිසුන් මරන්න, ඔබට ඔබවම අමතක වේවි. ඔබ සටනක දී මියගිය හොත්, ඔබගේ දිවිය වැස්සක් මෙන් භුමියේ කිඳා බැස, සලකුණකුදු ඉතිරි නොවේවි. ඒ කාලයේ ඔබ තවකෙකු සමග ප්‍රේමයෙන් බැඳුණහොත්, බලාපොරොත්තු පොළොවෙන් විකසිත වී දිවිය ප්‍රේමයෙන් වැළඳ ගනීවි. ස්තූතියි වෙන්තායි."

චරිත නිරූපණය[සංස්කරණය]

බෙයිජිං චිත්‍රපට ඇකඩමියේ ශිෂ්‍යයන් දෙපලක වූ ෂාඕ වෙයි සහ චෙන් කුන් පේන්ටඩ් ස්කින් චිත්‍රපටයෙන් පසු එක්ව රංගනයෙහි යෙදෙන දෙවන අවස්ථාව මෙයයි.

පිළිගැනීම[සංස්කරණය]

බෙයිජිං තිරයේ මෙම චිත්‍රපටය දිගහැරුණු ප්‍රථම දිනයේ, චීන රජය විසින් මුලාන් ඇගයුමට ලක්කෙරිණි:[2] 2011දී, මුලාන් චිත්‍රපටය ඉහළම ව්‍යාපෘති ත්‍යාග පහ අතරට තේරීම හේතුවෙන් 9වන හෙනාන් පළාත් රජයේ සම්මානය - සිනමා ප්‍රවර්ගය හිමි කරගන්නා ලදී.[3]

තේමා ගීතය[සංස්කරණය]

මෙහි අවසන් තේමා ගීතය ගායනය කරනු ලබන්නේ ස්ටෙෆනී සුන් විසිනි. එය "මුලාන් ක්විං" (木蘭情; "මුලාන් ප්‍රේමය") නම් විය. මෙය නිර්මාණය කළේ ලී ෂිහ් ෂියොං විසින් වන අතර, එහි පද රචනය කෙවින් යී විසින් සිදුකරන ලදී. 29වන හොං කොං චිත්‍රපට සම්මාන උළෙලේදී එය හොඳම මුල් ගීතය සඳහා නිර්දේශ විය.

විටාස් විසින් එය ඉංග්‍රීසි බසින් "Beneath the Glory" යනුවේන ආවරණය කරන ලදී.[4]

"මුලාන් ෂිං" (木蘭星; "මුලාන් තරුව") නැමැති ඇතුළත් කළ තවත් ගීතයක් ජේන් ෂෑං විසින් ඉදිරිපත් කරන ලදී.

සම්මාන සහ නිර්දේශ[සංස්කරණය]

සම්මාන
සම්මානය ප්‍රවර්ගය නාමය ප්‍රතිඵලය
10වන චංචුන් චිත්‍රපට උළෙල හොඳම නිළිය ෂාඕ වෙයි දිනාගති
21වන ගෝල්ඩන් මෙලඩි සම්මාන තනි ගීයක් සඳහා හොඳම අධ්‍යක්ෂක ලි ෂිහ් සොං, යී කාර් යුං නිර්දේශිත
29වන හොං කොං චිත්‍රපට සම්මාන හොඳම නිළිය ෂාඕ වෙයි නිර්දේශිත
හොඳම මුල් චිත්‍රපට ගීතය ලි ෂිහ් සොං, යී කාර් යුං සහ ස්ටෙෆනී සුන්
30වන හන්ඩ්‍රඩ් ෆ්ලවර්ස් සම්මාන හොඳම චිත්‍රපටය දිනාගති-දෙවන ස්ථානය
හොඳම නිළිය ෂාඕ වෙයි දිනාගති
හොඳම සහාය නළුවා ජේසී චෑන් නිර්දේශිත
19වන ෂැංහයි ෆිල්ම් ක්‍රිටික්ස් සම්මාන හොඳම නිළිය ෂාඕ වෙයි දිනාගති
වියට්නාම් DAN චිත්‍රපට සම්මාන ප්‍රියතම චීන චිත්‍රපටය දිනාගති
ප්‍රියතම චීන නිළිය ෂාඕ වෙයි

මේවාත් බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. 1.0 1.1 "ෂාඕ වෙයි ඊස් 'මුලාන්'". CRI ඉංග්ලිෂ්. 2009-02-11. සම්ප්‍රවේශය 2010-05-22.
  2. 第十四届"北京放映"开幕 《花木兰》受表彰Ent.163.com 08 සැප්තැම්බර් 2010
  3. 河南省第九届精神文明建设“五个一工程”入选优秀作品公示 河南日报 2011年09月27日
  4. "විටාස්' මුලාන්". CRI ඉංග්ලිෂ්. 2009-12-08. සම්ප්‍රවේශය 2010-01-07.

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=මුලාන්_(2009_චිත්‍රපටය)&oldid=387618" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි