මතුගම

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
මතුගම
රටශ්‍රී ලංකාව
පළාතබස්නාහිර පළාත
දිස්ත්‍රික්කයකළුතර දිස්ත්‍රික්කය
සරිය
 • මුළු105 කිමී2 (41 සතරැස් සැත)
උස16.7 මී (54.8 අඩි)
වේලා කලාපශ්‍රී ලංකා සම්මත වේලා කලාපය (UTC+5:30)
තැපැල් කේතය12100

කලුතර දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන මතුගම නගරය පැරණිදේශ සීමා බෙදීම් අනුව පස්යොදුන් කෝරළයට අයත් වෙයි.කෝට්ටේ සයවන පරාක්‍රම බාහු රාජ්‍ය කාලයේ දී ඔහුගේ අප්‍රකට අග බිසව වූ මධුරා නොහොත් මිහිරි දේවියට ශ්‍රී වර්ධන නම් කුමාරයෙකු විය. රජු මේ කුමරු ට ප්‍රතිරාජ තනතුර ලබා දී පස්යොදුන් කෝරළයට පිටත් කර එවීය. එහි පාලන බලය උසුලන අතර තුර සිය මව වූ මිහිරි දේවියද සිය බල පෙදෙසට ගෙන්වා ගන්නට ප්‍රතිරාජයන්ට සිදු විය. එයට හේතු වූයේ රජ වාසලේ වූ කුමන්ත්‍රණ ව්‍යායාමයයි. මෙයින් පසු පස්යොදුන් කෝරළයේ වත්මන් අගලවත්ත සහ මතුගම ට සීමා වන කලාපයේ වාස ග්‍රහණය කළ මේ බිසව නිසා මේ පෙදෙසට මාතෘ ග්‍රාම නම ව්‍යවහාර විය. එය පසුව මතුගම වූ බව පැවසේ. ක්‍රි.ව. 1766 දී මතුගම ගමට ලියවුණු ලන්දේසි තෝම්බුවකට අනුව මුණසිංහ පෙළපතටමේ පෙදෙසහි ඉඩම් කීපයක් අයත්ව පැවති බව පෙනේ. අද මෙය දියුණු නගරයකි. මතුගම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය එහි සීමාවයි.රන්වලා ගල කඳු සිඛරය මෙහි පවතින දර්ශණීය ස්ථානයකි. එම කන්දේ පෝෂක ප්‍රදේශයෙන් ගලා එන මැණික් ගොඩ ඇළ එකතුවන්නේ බෙන්තර ගංගාවටයි. මෙම පෙදෙසේ විශාල වපසරියක් රබර් වගාවට යට වී ඇත. එයට අමතරව කුඩා තේ වතු වැවිල්ලෙන් සිය ආදායම සරි කර ගන්නා ජනතාවකට මතුගම වාස භූමි වෙයි. පාරම්පරික ජීවන වෘත්තිය වී ගොවිතැන නමුත් වර්තමානයේ දී මෙහි ආර්ථිකය විවිධාංගීකරණය වී ඇත.

  * මතුගම ඇතුළු පස්දුන් රට ඉතිහාසය

වර්තමාන මතුගම ප්‍රදේශය පුරාණ බෙදීම් වලට අනුව මායා රටට හා දක්ඛිණ දේශයට අයත් වේ.පසුකාලීනව බෙදීම් අනුව පංචයෝජන ( පස්‍ යොත්න ) හෙවත් පස්‍ යොදුන් කෝරළයට අයත් වේ.ඒ අනුව දිගින් යොදුන් 5 ක් ද පළලින් යොදුන් 5ක් ද වූ (යොදුන් 1 ක් සැතපුම් 16 ක් වේ.) විසල් ප්‍රදේශය පස් යොදුන් කෝරළය හෙවත් පස්දුන් රට ලෙස හැදින්වේ. එය නැගෙනහිරින්  සබරගමු කඳුකරයේ බටහිර බෑවුමින්ද, බටහිරින් මහ සාගරයද, උතුරින් කලු ගඟේ දකුණු ඉවුරද, දකුණේ බෙන්තර ගඟින් ද මායිම් වේ. මෙකී විසල් පස්යොදුන් රට කේන්ද්‍රීය මධ්‍යස්ථානය හෙවත් අගනගරය ලෙස හැඳින්වෙන්නේ මතුගම  නගරයයි. මතුගම යන නාමය පබැඳීම කෙරෙහි මුල් වන කාරණා කීපයක් ජනවහරේ වෙයි.

          කෝට්ටේ රාජධානි සමයේ 6 වන පැරකුම්බා රජ දවස ඔහුගේ ප්‍රියතම බිසවක් වූ මධුරා හෙවත් මිහිරි දේවියට ශ්‍රී වර්ධන නම් පුත් කුමරෙක් විය.රජු වර්ධන කුමරා ප්‍රතිරාජ පදවිය දුන් අතර පස්දුන් රට  පාලනය පිණිස මේ ප්‍රදේශයට එවීය.රජවාසල කුමන්ත්‍රණයක් නිසා කුමරා තම මව වන මධුරා දේවිය තම ප්‍රදේශයට ගෙන්වා මවට මැදුරක් කරවා එහි වාසයට කටයුතු යෙදීය.මව වාසය කල ප්‍රදේශය මාතෘ ගාම නම් විය.පසුව එය මාතු ගාම වී කල් යත්ම මතුගම නම් විය.       තවද ප්‍රදේශය පුරා ම පහත්බිම් දෙනි ගොඩැලි වගුරු බිම් හා ගම් බිම් වේ.ඒ සියල්ල ට වඩා උස්වූ බිමෙහි මත්තෙහි පිහිටි ගම මතුගම නම් වූ බවද කියවේ.         ඉහත කතා වලට අමතරව දැක්වෙන ජනවහරක කියවෙන්නේ එක් රජෙකු සේනා සමග අතරමංව ගමන් ගන්නා අතරතුර එක්වරම උස්බිමක පිහිටි ගමක් මතුවූ බවත් එනිසා එම ගම මතුගම නම් වූ බවත් ය.          ග්‍රාම නාමය පටබැඳීමට පාදක වූ ඓතිහාසික වශයෙන් ඉහත සිදුවීම් ද,තවත් ඓතිහාසික සිදුවීම් රාශියකට පස්දුන් කෝරළය සබැඳී පවතී.    පලමු වරට පස්දුන් රට ගැන සදහන් වන්නේ පොළොන්නරු අවධියේදී ය.පොළොන්නරුවේ මහා පැරකුම්බා රජදවස එතුමාගේ පුත් මානාභරණ කුමරු පස්දුන් රටට පැමිණ සේනා සංවිධානය කරමින් ප්‍රදේශය අස්වද්දා සංවර්ධනය කල බව ඉතිහාසගතය.        තවද මහා විජයබාහු රජු ද්‍රවිඩ ආක්‍රමණයෙන්  පොළොන්නරුව බේරා ගැනීමට රුහුණේ සිට සේනා සංවිධානය කර ගමන් කල මාර්ග තුනෙන් එක් මාර්ගය ක්ද පස්දුන් කෝරළය හරහා වැටී තිබේ.          කෝට්ටේ යුගයේ රණශූරයෙක් වූ වීදිය බණ්ඩාර හෙවත් වේධය කුමරු සිරගෙයින් පලාවිත් පස්දුන් කෝරළයේ මතුගමට නුදුරු පැලැන්ද ප්‍රදේශය ආශ්‍රිතව බලකොටුවක් තනා එහි සිට සේනා සංවිධානය කල අතර වර්තමාන එම ප්‍රදේශය පාලින්ද නුවර නොහොත් බදුරලිය නම් වේ.        දඹදෙණි හා පොළොන්නරු යුගවල රජකල දෙවන පරාක්‍රමබාහු රජුගේ  අමාත්‍යවරයකු  වූ දේවපතිරාජ ඇමති පස්දුන් කෝරළයේ කැකුලන්දල සිටි අතර අගලවත්ත කැකුලන්දල පතිරාජ පිරිවෙන් පුරාණ ටැම්පිට විහාරය ඔහු කරවූවකි.                     පස්දුන් රට ජනාවාස වීම ප්‍රාග් ඓතිහාසික යුගය දක්වා දිවෙන්නකි. ඊට මනා සාක්ෂි සපයන ස්ථානයකි පස්දුන් කෝරළයේ බුලත්සිංහල පාහියන්ගල.වසර 38000 කට වඩා පැරැණි මානව පොසිල ඉන් හමුවී ඇත.          මතුගම ප්‍රදේශය ජනාවාස වීම ගැන තොරතුරක් ද වේ.එනම් සීතාවක රාජසිංහ රජුගේ උදහසට ලක්වූ ප්‍රභූ පවුලක සොහොයුරන් දෙදෙනෙකු රහසිගතව වනාන්තර ගිරිදූර්ග ගහන නිරතුරුව වැසි ලැබෙන මෙකී පස්දුන් රටට පැනවිත් මතුගම ආසන්න හොරපැලයවත්ත නම් ප්‍රදේශය තුළ වාසය කල අතර ඔවුන් ආවාහ විවාහ කරගෙන මෙහිම වාසය කළහ.ඔවුනගෙන් ආරම්භ වූ පරම්පරාව සුප්‍රකට මුණසිංහ පරම්පරාව වේ.

  • දේශගුණය හා පරිසරය

        පහතරට තෙත් කලාපයේ පිහිටි මතුගම ඇතුළු පස්දුන් කෝරළය සම සීතෝෂ්ණ දේශගුණයකට හිමිකම් කියයි. වාර්ෂික වර්ෂාපතනය ද ඉහල මට්ටමින්  පවතින අතර ප්‍රදේශයේ ජලයද ගුණාත්මක බවින් ඉහළය. නිරිතදිග මෝසම් වර්ෂාවෙන් ප්‍රධාන ව වැසි ලැබේ. සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 28 ක් 32 ත් අතර මට්ටමේ පවතී.නමුත් වර්ෂයේ දෙසැම්බර් හා ජනවාරි කාලයේ උෂ්ණත්වය පහල බැසීම සමග සීතල කාලගුණයක් පවතී. උදෑසන පවතින මීදුම් තත්ත්වයද දුලබ නොවේ. මතුගම ප්‍රදේශය මුහුදු මට්ටමේ සිට සාමාන්‍ය උස මීටර් 16.7 ක් වේ. මීටර් 16 සිට මීටර් 700 තෙක් විවිධ උස මට්ටමින් යුතු භූවිෂමතා ලක්ෂණ දැකිය හැකිය .           

  • ස්වභාව සෞන්දර්ය හා ඓතිහාසික ස්ථාන

                  පස්දුන් කෝරළය වනාහි කඳු  මිටියාවත්  වනාන්තර වගුරු බිම් ගහන ජල පෝෂක ප්‍රදේශ ගහන ප්‍රදේශය කි. කළු ගඟ හා බෙන්තර ගඟ ප්‍රධාන ගංගා වන අතර අතුරු ගංගා ලෙස මඟුරු ගඟ,කුකුලේ ගඟ ආදිය වේ.  කුකුලේ ගඟ ඇසුරු කර ජල විදුලි බලාගාරයක් පවතින අතර කුකුලේ ගඟ නිවාඩු නිකේතනය මෙන්ම හමුදා කඳවුරක් ද වේ. ඊට අමතරව මතුගම ආසන්නව කෙටි කලකින්  ලඟාවිය හැකි දියඇලි රාශියක් වේ. ඒ අතර ප්‍රචලිත තුඩුගල ඇල්ල,මාකෙලි ඇල්ල මෙන්ම කපුරු කන්ද ඇල්ල , රජාමැරුණු ඇල්ල,පොල්ගම්පළ ඇල්ල , ගිනිගෙදර ඇල්ල අහස්බෝක්කු ඇල්ල , කබරගොයිදොල ඇල්ල , තඹදොල ඇල්ල ,ඇලි හත , පුවක් දොල ඇල්ල යන දියඇලි වන අතර තවත් අප්‍රකට කුඩා දියඇලි රාශියක් වේ.මේ හැර බුලත්සිංහල පාහියන්ගල,මතුගම ආසන්න යක්ගිරිලෙන ආදි ප්‍රාග් ඓතිහාසික ස්ථාන ද කලුගල ආරණ්‍යය, පහුරුකන්ද ආරණ්‍යය, මණ්ඩාගල ආරණ්‍යය , ස්වර්ණලෙන ආරණ්‍යය , වරකාගොඩ ලෙන් රජමහා විහාරය ,කැකුලන්දල ටැම්පිට රජමහා විහාරය , පැලැන්ද බලකොටුව නටඹුන් , නයි හත්දෙනා උපන් මතුගම ගුරුදොල පත්තිනි දේවාලය, පැලැන්ද රජමහා විහාරය ඓතිහාසික වේ.සුප්‍රකට චිත්‍ර ශිල්පී එම්.සාර්ලිස් ගේ සිතුවම් ඇති පාන්තිය මංගලාරාම පුරාණ විහාරය ද නගරාසන්නව ඇත. තවද සුප්‍රකට බේවිස් බාවා උද්‍යානය, අලුත්ගම කන්දේ විහාරය,කළුතර බෝධිය,කෙටි වේලාවක් තුළ ලඟාවිය හැකි ස්ථාන වේ. යගිරල රක්ෂිතය , කලුගල රක්ෂිතය මෙන්ම සිංහරාජ රක්ෂිතයේ කොටසක් ද එහි මායිම් වනාන්තර ද පස්දුන් කෝරළයට අයත් වේ. මතුගම නගරයේම පසෙක ඇති මතුගම්කන්දේ පිහිටි කොඩිගල ද  හාත්පස පෙනෙනා බැලුම්ගලකි. එසේම මෑතකදී නගරාසන්න බටමුල්ලකන්ද රක්ෂිත කඳු ශිඛරය මත ඉදිවුණු දකුණු ආසියාවේ මෙන්ම ලංකාවේ උසම හිටි බුද්ධ ප්‍රතිමා වහන්සේ ප්‍රදේශයට ආශිර්වාදයකි .

මතුගම කඳු ගණනාවකින් වටවූ වල ගොඩැලි සහිත මද තැනිතලා බිමකි . මතුගම් කන්ද , බටමුල්ල කන්ද, පෙත්ත කන්ද , සාම කන්ද ,  රන්වලාගල කන්ද , දේවාල කන්ද , උගුල්වැටි කන්ද , බෝපිටිය කන්ද ඒ අතරවේ.

  *ආර්ථිකය  

     පස්දුන් කෝරළය වනාහි කෘෂිකාර්මික අර්ථ ක්‍රමයකට උරුමකම් කියන්නකි. ප්‍රධාන ව රබර් වගාව ද වී වගාව හා පහතරට තේ වගාව ද සිදු කෙරේ. අමතරව කුරුඳු , ගම්මිරිස් , බුලත් ආදිය වගා කෙරේ.   වර්තමානයේ පරිධි කලාපයේ මෙවැනි කෘෂි ආර්ථික රටාවක් පැවතුනද මතුගම නගරය සීඝ්‍ර නාගරිකකරණයට ලක්වීම නිසා මතුගම නගරය ඇතුළු තදාසන්න ප්‍රදේශය කර්මාන්ත , සේවා මත රැදෙන  ආර්ථික රටාවකට යොමුව ඇත.ඇඟළුම්,තේ,රබර්,ප්ලාස්ටික් නිෂ්පාදන,කුළුබඩු,රසකැවිලි,හඳුන්කූරු,ජෑම්,පොහොර ආදී කර්මාන්තශාලා හා ගෘහස්ථ වශයෙන්ද කර්මාන්ත පවතී. මතුගම වැලිපැන්නේ ලංකාවේ නවීනතම මෝටර්රථ එකලස් කිරීමේ මහින්ද්‍රා අයිඩියල් කර්මාන්ත අංගනයද ඇත. මතුගම මීගම පහේ කණුව ප්‍රදේශයේ කර්මාන්තපුරයක්ද ස්ථාපිතය.

  • පිහිටීම හා වැදගත්කම

කළුතර දිස්ත්‍රික්කයේ මධ්‍යගතව පිහිටි මතුගම නගරය දිස්ත්‍රික්කයේ සියලුම දිශාවන් හා බස්නාහිර දකුණු හා සබරගමු පළාත් කරා විහිදෙන මාර්ග ජාලයක් ඒකාබද්ධ කරන කේන්ද්‍රීය මංසන්ධියකි. එසේම එය දිස්ත්‍රික්කයේ ප්‍රධානතම වෙළඳ හා පරිපාලනමය නගරයකි. කළුතර දිස්ත්‍රික්කයේ මුල්ම මැතිවරණ කොට්ඨාස හතරෙන් එකක්ද වන මතුගම ආසනය මතුගම හා දොඩම්ගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස වලින් සමන්විත වේ. මතුගම ප්‍රදේශය මතුගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් සහ මතුගම ප්‍රාදේශීය සභාව මගින් පාලනය වේ. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනගහනය 90000 ක් පමණ වන අතර සියලුම ජාතිකයන් වාසය කරයි.ග්‍රාම නිලධාරි වසම් 57 කින් සමන්විතය.ප්‍රදේශය වපසරිය ව.කි.මී 105ක් පමණ වේ.ආශ්‍රිතව පිහිටි අනෙකුත් ප්‍රදේශ ලෙස කලුතර,දොඩන්ගොඩ, අගලවත්ත , බුලත්සිංහල , වලල්ලාවිට , පාලින්ද නුවර හා අලුත්ගම වේ. මතුගම නගරය ප්‍රධාන පරිපාලන මූල්‍ය හා වෙළඳ  නගරය වන අතර අගලවත්ත හා දොඩන්ගොඩ ප්‍රධාන උපනගර ද්විත්වය වේ.

  • මාර්ග පරිවහනය

    කලුතර දිස්ත්‍රික්කයේ මධ්‍යගතව පිහිටි ප්‍රධාන නගරය වන්නේ මතුගම යි.ප්‍රධාන මාර්ග 4ක් නගර මධ්‍යයට එක්වන අතර  මතුගම කලුතර මාර්ගය හා මතුගම අලුත්ගම මාර්ගය,මතුගම අගලවත්ත මාර්ගය හා මතුගම නෑබඩ හරහා හොරණ මාර්ගය එම මාර්ග වේ. මීට අමතරව යටදොල හරහා අලුත්ගමට හා පයාගලට මාර්ග දෙකක්ද,අගලවත්ත හරහා හොරණට මාර්ගයක් ද,අගලවත්ත හරහා කලවාන හා රත්නපුරයට ද, පැලවත්ත හරහා නෙලුව ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයටද, මතුගම සිට පහසුවෙන් ගමන් කල හැකිය. එමෙන්ම දක්ෂිණ අධිවේගී මාර්ගයටද මතුගම සිට දොඩන්ගොඩ පිවිසුම හරහා සහ වැලිපැන්න පිවිසුම හරහා විනාඩි 10ක් වැනි කෙටි කලකින් පිවිසිය හැකිය. දුර ප්‍රමාණයන් දැක්වීමේදී කලුතර නගරයට 20 km, අලුත්ගම නගරයට 22 km,හොරණට මාර්ග දෙකකින් 32 km හා 42 km, අගලවත්තට 6 km,කොළඹට ප්‍රධාන මාර්ගය ඔස්සේ 64 km හා අධිවේගී මාර්ගය ඔස්සේ ද 64 km වේ. රත්නපුරයට 75 km වන අතර ගාල්ලටද 75 km පමණ වේ.දක්ෂිණ අධිවේගී මග ඔස්සේ කොළඹට විනාඩි 40 කින් කඩවතට විනාඩි 45 කින් හා ගාල්ලට පැයකින් පමණ ගමන් කල හැකිය.දක්ෂිණ අධිවේගී මාර්ගයේ ප්‍රධානතම පිවිසුම් 2ක් වන දොඩන්ගොඩ හා වැලිපැන්න පිහිටා ඇත්තේ මතුගම ආසනය තුළ වීම විශේෂිත වේ.එසේම අධිවේගී මගේ සේවා කලාපය ද මතුගම වැලිපැන්නෙ පිහිටා ඇත.ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් ඩිපෝවක්ද මතුගම සතු වන අතර  ප්‍රදේශයේ ප්‍රවාහන කෂේත්‍රයේ අවාසනාවට මෙන් 2001 වසරේ  මතුගම ඉදිකිරීමට යෝජිතව තිබූ ජාත්‍යන්තර ගුවන් තොටුපළ ද, ඒ සමගම  ඉදිකිරීමට තිබූ දුම්රිය මාර්ගයද මහජන සහයක් නොලැබීම හා දේශපාලන ප්‍රතිපත්ති, තීරණ මත මතුගමට අහිමි විය.

  • මතුගම සිට ක්‍රියාත්මක බස් සේවා

  මතුගම - කොළඹ, සාමාන්‍ය, මතුගම - කොළඹ A/C, මතුගම - කොළඹ (අධිවේගී මාර්ගය), මතුගම - මහරගම(අධිවේගී මාර්ගය), මතුගම - කඩවත (අධිවේගී මාර්ගය) මතුගම - මාතර (අධිවේගී මාර්ගය), මතුගම - ගාල්ල (අධිවේගී මාර්ගය), මතුගම - කළුතර , මතුගම - අළුත්ගම (හොරවල හරහා), මතුගම - අළුත්ගම (යටදොල  හරහා), මතුගම - කලවාන , මතුගම - අගලවත්ත , මතුගම - බදුරලිය , මතුගම - හොරණ (නෑබඩ  හරහා) , මතුගම - හොරණ (බුලත්සිංහල   හරහා) , මතුගම - නෙළුව , මතුගම -  පැලවත්ත (අගලවත්ත හරහා ), මතුගම -  පැලවත්ත (හොරවල හරහා ), මතුගම - ගාල්ල , මතුගම - මහනුවර , මතුගම - කුරුණෑගල /දඹුල්ල හරහා යාපනය , උඩුගම- මතුගම - රත්නපුර හරහා බදුල්ල ,උඩුගම - මතුගම -අවිස්සාවේල්ල හරහා හැටන්/නුවරඑළිය , ඇල්පිටිය- මතුගම - රත්නපුර හරහා ඇඹිලිපිටිය , මතුගම - රත්නපුර බෙරගල හරහා අක්කරේපත්තුව , මතුගම - කුරුණෑගල/අනුරාධපුරය, මතුගම - දෙනියාය , මීට අමතරව මතුගම සිට පාර්ලිමේන්තුව,දෙහිවල , මීගමුව  මහරගම ,පනාගොඩ කාර්යාල සේවා බස් ගමන් වාර ද ක්‍රියාත්මක වේ. තවද  ප්‍රාදේශීය වශයෙන් ආසන්න ගම්මාන කරා බස් ගමන් වාර මතුගම ලංගම හා පෞද්ගලික බස් සේවා මගින් සපයයි .   තවද මතුගම හරහා කොළඹ  දක්වා මොරවක, ඕපාත,තවලම , නෙළුව යන ගාලු දිස්ත්‍රික් ගම් වල සිට ද, රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන සිටද, බදුරලිය , අගලවත්ත , වලල්ලාවිට,පැලවත්ත ආදී ආසන්න ප්‍රදේශ වල සිට ද බස් සේවා ක්‍රියාත්මක වේ.

  • නගර සීමාවේ අභ්‍යන්තර මාර්ග

   ආනන්ද පෙදෙස ( ආනන්ද මාවත),    ඩී.ඒ මුණසිංහ මාවත,    ශ්‍රී සුදර්ශනාරාම මාවත,    ඇල්බට් විජේගුණවර්ධන මාවත,     කන්නන්ගර මාවත,     ශ්‍රවණාගාර පිවිසුම් මාර්ගය,     තානායම පාර,     බටමුල්ලකන්ද පාර,     මධ්‍යම මාවත ( සෙන්ට්‍රල් පාර ),     බණ්ඩාරනායක මාවත,     ගාමිණි මාවත,     බාලිකා පාර,     මේධානන්ද මාවත,     පැස්කුවල් වීදිය,     පැස්කුවල් මාවත,      ආඳාගල පාර,      කුමාර වෙල්ගම මාවත ( සෙන්ට් මේරිස් ලේන්) ,      ඩිපෝව පාර,      නාරවිල පාර,      මද්දෙගොඩ පාර,      රෝහල පාර,

  • දේශපාලනික පසුබිම

            මතුගම සඳහා 1931 පලමු රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ආසනයක් හිමිවිය .

  • මුල්ම මන්ත්‍රී බවට පත්වූයේ  ලලිත් ඇතුලත්මුදලි ගේ පියා වූ මතුගම උපන් ඩී.ඩී ඇතුලත්මුදලි මහතා වේ.
  • ඉන්පසු  1936 සිට 1947 දක්වා මතුගම මන්ත්‍රී  වූයේ මතුගම ලූල්බද්දූවේ උපන් සී. ඩබ්ලිව් . ඩබ්ලිව් කන්නන්ගර මහතායි.

ඔහු මතුගම මන්ත්‍රී ව සිටි කාලය තුලම නිදහස් අධ්‍යාපන පනත ද ගෙනාවේ ය. ඒ අනුව ලංකාවේ නිදහස් අධ්‍යාපනය ස්ථාපනයෙන් පසු බිහිකළ මුල්ම මධ්‍ය මහා විද්‍යාලය  තම ගමට ලබාදීමට කන්නන්ගර මහතා ක්‍රියා කලේය. මතුගම C.W.W කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලය එයයි.

1947 - 1956 මන්ත්‍රී විල්මට් ඒ පෙරේරා 1956 - 1977 මන්ත්‍රී දයා.ටී පස්කුවල් 1977- 1983 රෙජිනෝල්ඩ් ගුණරත්න 1983        අනිල් මුණසිංහ

  • දයා.ටී පස්කුවල් මහතා ගේ කාලය මතුගම ස්වර්ණමය යුගය ලෙස හැදින්විය හැකිය.

එතුමා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. නියොජ්‍ය කතානායක වරයෙක් ද විය. මතුගම ආසනයේ මන්ත්‍රීවරයා විය.

එස්.ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක මහතාගේ සංකල්පයක් මත බිහිකළ සුලු නගර සභා යටතේ ලක්දිව නගර කීපයකට සුලු නගර සභා ලැබිණ. දයා.ටී පස්කුවල් මහතාගේ ඉල්ලීම මත මතුගමට ද සුලු නගර සභාවක් හිමිවිය.1949 දී හිමිවූ මේ සුළු නගර සභාවේ 1956 සිට පස්කුවල් මහතා නගරාධිපති ධූරය දැරීය. වත්මන් දේශපාලුවන් මෙන් නොව එතුමා වචනයේ  පරිසමාප්ත අර්ථයෙන් ම හොඳ දේශපාලකයකු විය. මන්ත්‍රී ධූරයෙන් තමා දියුණු වනවා වෙනුවට  තම පාරම්පරික ඉඩම් මතුගම නගර සංවර්ධනය සඳහා කැප කලේය.අක්කර කීපයක් මතුගම මහජන ක්‍රීඩාංගනය වෙනුවෙන් පරිත්‍යාග කල එතුමා නගරය සියලුම පහසුකම් වලින් දියුණු කලේය. මතුගමට ලංගම ඩිපෝවක් ,ලංගම හා පෞද්ගලික බස් නැවතුම්පොළ 2ක්, සිනමාහල් 2ක්, විදුලි උපපොලක්,විදුලි බල මණ්ඩලයේ ශාඛාවක්,රාජ්‍ය දැව සංස්ථාවේ ශාඛාවක් , පොලිස් මූලස්ථානය හා පොලිස් අධිකාරි කාර්යාලයක්, දිසා හාමහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයක් , රාජ්‍ය බැංකු හා පෞද්ගලික බැංකු කීපයක්, ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයක්, කලාප අධ්‍යාපන කාර්යාලයක්  , රෝහලක් ආදී සියලුම පහසුකම් ලබාදීමට කටයුතු කලේය. එයින් නොනැවතුණ එතුමා මතු පරපුරේ අභිවෘද්ධිය උදෙසා මතුගම ආනන්ද ශාස්ත්‍රාලය බිහිකිරීමට මුල් විය.1942 ඇරඹි එය අද සියලු පහසුකම් සපිරි කලුතර දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජාතික පාසලකි. මේ අපරිමිත සේවය තුලින් ලැබූ පින් මහිමය නිසා දෝ එතුමා වසර 100 ක් ජීවත් වීමට වාසනාව  ලැබුවේ ය.

  • 1983 මන්ත්‍රී වූ අනිල් මුණසිංහ ලංකාවේ

ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයකු ලෙස කටයුතු කලේය.

මතුගම ආසනය එවකට බස්නාහිර පලාතේ විශාලතම මැතිවරණ ආසනය මෙන්ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය විය. එය මතුගම,අගලවත්ත දොඩන්ගොඩ හා බුලත්සිංහල  අයත් විසල් ප්‍රදේශයකි. නමුත් 1947 දී මතුගමින් කොටසක් කඩා අගලවත්ත ආසනය ඇතිකලේය.1960 දී අගලවත්ත දෙකඩ කරමින්  බුලත්සිංහල නමින් නව ආසනයක් බිහි කෙරිණි .ඒ අනුව මතුගම ප්‍රා.ලේකම් කොට්ඨාසය    ව.කි.මී 105 කට සීමා විය. 1949දී මතුගම සුලු නගර සභාව ද 1987 දී සුලු නගර සභා ක්‍රමය අහෝසි වී මතුගම ප්‍රාදේශීය සභාව ද බිහිකරන ලදී.

            මතුගමින් බිහිව ඇති  වර්තමාන දේශපාලන චරිත ලෙස කුමාර වෙල්ගම, රංජිත් සෝමවංශ, නිර්මල කොතලාවල , මහින්ද සමරසිංහ , පාලිත තෙවරප්පෙරුම, ජගත් විතාන වෙති.

  • මතුගම ඉපිද බිහිවූ චරිත

  ඩී . ඩී  ඇතුලත්මුදලි මහතා, සී.ඩබ්ලිව් . ඩබ්ලිව් කන්නන්ගර  මහතා ,අනිල් මුණසිංහ මහතා ,දයා . ටී පස්කුවල් මහතා ,නැසීගිය ගායක නාරද දිසාසේකර ( සාරංග දිසාසේකරගේ පියා),    ගායිකා නන්දා මාලිනී මහත්මිය,ක්‍රීඩක  ඩන්කන් වයිට් ,නැසීගිය ප්‍රවීන මාධ්‍යවේදී හේම නලින් කරුණාරත්න ,ලේඛක මතුගම මහින්ද විජේතිලක, ලේඛක පූජ්‍ය බටුවන්ගල රාහුල හිමි        

* මතුගම ආශ්‍රිත නිවාඩු නිකේතන

 කුකුලේගඟ නිවාඩු නිකේතනය, The Ark,දිය උල්පත resort, කන්දහේන සිනමන් ගාර්ඩ්න්, මුණසිංහ මහගෙදර , Natures village

  • මතුගම ප්‍රදේශය හා නගරය

               මතුගම ප්‍රාදේශීය සභාව හා මතුගම ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය  මගින් පාලනය වේ.       මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ව.කි.මී 105 ක් වේ. ග්‍රාමසේවා වසම් 57 කි.        මතුගම නගරය ඉන් ග්‍රාම සේවා වසම් 6ක පමණ ව්‍යාප්තව තිබේ. ඒවානම් මතුගම උතුර, මතුගම නැගෙනහිර,මතුගම දකුණ , මතුගම බටහිර ,වෑත්තෑව හා පාන්තිය වේ. මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනගහනය 90000 ක් පමණ වේ.නගර සීමාව තුළ 20000 ක් පමණ වාසය කරයි. ප්‍රදේශයේ බහුතරය සිංහල වන අතර එය ප්‍රතිශතයක් 80% ක්  ඉක්මවයි. දමිළ,මුස්ලිම් හා වෙනත් ජනවර්ගද සුළු වශයෙන් සිටිති. සිංහල බෞද්ධ ප්‍රධාන වන අතර කතෝලික,ක්‍රිස්තියානි,ඉස්ලාම් හා හින්දු ආගම් අදහන ප්‍රජාව ජීවත් වේ. නගරය තුළ බෞද්ධ විහාර කීපයක් එනම් ශ්‍රී සුදර්ශනාරාම මහා විහාරය,බටමුල්ලකන්ද ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරය,ඇතුලත්මුදලිගම ජයබෝධී විහාරය,පාන්තිය මංගලාරාමය ප්‍රධාන වේ. නගරයේ ක්‍රිස්තියානි හා කතෝලික දේවස්‍ථාන ලෙස ශා.මරියා දේවස්ථානය , මෙතෝදිස්ත දේවස්ථානය හා පෙන්තකොස්ත සභාව වේ. ජුම්මා ඉස්ලාම් දේවස්ථානයද නගරය තුළ ඇති නමුත් ප්‍රධානව ඉස්ලාම් ජනගහනයක් වාසය කරන්නේ මතුගම වැලිපැන්න නගරය ආශ්‍රිතවයි. එහි ඉස්ලාම් දේවස්ථාන කිහිපයක් ඇත.හින්දු කෝවිල් මතුගම ප්‍රදේශයේ පවතින තේ වතු ආශ්‍රිතව ඇත.  නගරයේ පාසල් හා අධ්‍යාපන ආයතන කරා දිනපතා අවට  ප්‍රදේශ වල සිට 15 000 ක පමණ සිසු සිසුවියන් පිරිසක් පැමිණේ.

ප්‍රධාන විද්‍යාල: 

නිදහස් අධ්‍යාපන පනතෙන් පසුව බිහිකල ලංකාවේ ප්‍රථම මධ්‍ය මහා විද්‍යාලය වන           මතුගම සී.ඩබ්ලිව් .ඩබ්ලිව් කන්නන්ගර මධ්‍ය  මහා විද්‍යාලය,

මතුගම ආනන්ද ශාස්ත්‍රාලය ජාතික පාසල, මතුගම ශාන්ත මේරි මහා විද්‍යාලය, ඊ.ඩබ්ලිව් අදිකාරම් මහා විද්‍යාලය, ඩී.ඩී ඇතුලත්මුදලි විද්‍යාලය, පාන්තිය මහා විද්‍යාලය, පාන්තිය විද්‍යාතන පිරිවෙන, රත්නාලෝක විද්‍යාලය (පෞද්ගලික), ලීඩ්ස් ජාත්‍යන්තර පාසල (පෞද්).

   :එසේම ලංකාවේ ප්‍රථම ගුරුවරුන් උදෙසා ඉදිකල ගම්මානය ගුරුපුරය ද මතුගම නගරාසන්නයේ ඇත. මීට අමතරව සුපිරි පෙර පාසල් ගණනාවක්ද, බාහිර උපාධි ආයතනද, පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන රැසක්ද නගරය ආශ්‍රිතව පිහිටා තිබේ.

       මෙම ශිෂ්‍ය ප්‍රජාව හැරුණුකොට බැංකු,මූල්‍ය,රක්ෂණ,ප්‍රවාහන,පරිපාලනමය,නීතිමය,ආර්ථික ආදි වෙනත් අවශ්‍යතා සඳහා දෛනිකව 100 000 කට වැඩි ජනකායක් නගරයට පැමිණෙති. නගරය තුළ සියළුම බැංකු, මූල්‍ය,රක්ෂණ, දුරකථන සමාගම්  ආයතන වල ශාඛාවන් ඇත. තවද සුපිරි ගණයේ ඇඳුම් විලාසිතා ප්‍රදර්ශනාගාර,වෙනත් වෙළඳ ප්‍රදර්ශනාගාර,වෙළද සංකීර්ණ, සුපිරි ආහාර අලෙවිසැල් ද, තොග හා සිල්ලර වෙළඳසැල් රාශියක්ද ඉරිදා හා බදාදා පැවැත්වෙන විශාල පොඳු වෙළඳපලක්ද ඇත. ශ්‍රී ලංගම බස් ඩිපෝවක් හා ප්‍රධාන බස් නැවතුම්පලක්, පෞද්ගලික බස් නැවතුම්පලක් නගරයට ඇත. ප්‍රදේශයේ හා පරිධි කලාපයට සේවා සපයන පරිපාලන හා ප්‍රධාන රාජ්‍ය ආයතන සියල්ලක්ම මතුගම නගරයේ පිහිටා ඇත. ඒ අතර මතුගම ප්‍රාදේශිය සභා ප්‍රධාන කාර්යාල සංකීර්ණය, කසල ප්‍රතිචක්‍රීකරණ අංගනය, මහජන පුස්තකාලය, ප්‍රාදේශිය සභා ශ්‍රවණාගාරය හා ළමා උද්‍යානය, ආදාහනාගාරය, ප්‍රධාන ක්‍රීඩාංගණය, සංස්කෘතික මධ්‍යස්ථානය, ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය, දිස්ත්‍රික් හා මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය, පරිවාස කාර්යාලය, මූලස්ථාන පොලීසිය, පොලිස් අධිකාරී කාර්යාලය, රජයේ තානායම, ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩල කාර්යාලය, විදුලි බල මණ්ඩල කාර්යාලය, ප්‍රධාන විදුලි ඉංජිනේරු කාර්යාලය හා ප්‍රාදේශිය ප්‍රධාන විදුලි උපපොළ, රාජ්‍ය දැව සංස්ථා ප්‍රාදේශිය කාර්යාලය හා දැව ගබඩාව, අඩවි වන කාර්යාලය, ප්‍රාදේශිය ඉංජිනේරු කාර්යාලය, ප්‍රාදේශිය ඉඩම් රෙජිස්‍ටාර් කාර්යාලය, ප්‍රාදේශිය මිනින්දෝරු කාර්යාලය, සුරාබදු කාර්යාලය, පශු වෛද්‍ය කාර්යාලය, දිස්ත්‍රික් රෝහල, විගමණික සම්පත් පුහුණු මධ්‍යස්ථානය, මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලය, කලාප අධ්‍යාපන කාර්යාලය, කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය, මතුගම විවිධ සේවා සමූපකාර සමිතිය හා තොග ගබඩා සංකීර්ණය, ටෙලිකොම් ප්‍රාදේශීය කාර්යාලය, ප්‍රාදේශිය මූලස්ථාන තැපැල් කාර්යාලය, සණස ප්‍රධාන කාර්යාලය, ප්‍රාදේශිය කම්කරු කාර්යාලය, කුඩා තේ වතු සංවර්ධන අධිකාරි ප්‍රාදේශීය කාර්යාලය, දිස්ත්‍රික් පොහොර ගබඩාව ඇතුළු සියළුම රාජ්‍ය ආයතන, කාර්යාල නගරයේ ඇත. මේ ලෙස සියළුම රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවා ආදියෙන් නගරය සමන්විත වේ.     කොළඹ අගනගරය කරා දෛනිකව සංචලනය වන ශ්‍රම බලකාය 50 000 ඉක්මවයි. එසේම කොළඹ හා තදාසන්න කලාපයේ සේවය කරන විශාල ශ්‍රමිකයන් පිරිසක් මතුගම ඇතුළු පස්දුන් කෝරළයේ ජනතාව වෙති.      

  අන්වර්ථ නාම: 

 * පස්දුන් කෝරළයේ අගනුවර  * නිදහස් අධ්‍යාපනයේ පිය නගරය  * කුරුලු පාරාදීස නගරය  

බාහිර උපනගර:

අගලවත්ත , දොඩන්ගොඩ අමතරව නෑබඩ බුලත්සිංහල , බදුරලිය ,පැලවත්ත වේ.

ප්‍රධාන මාර්ග 4 ක් නගර මධ්‍යයේ වටරවුමට එක් වේ.එනම් සිව්මංසලකි.

මතුගම - කලුතර ප්‍රධාන මාර්ගය මතුගම  - අගලවත්ත ප්‍රධාන මාර්ගය මතුගම - අලුත්ගම ප්‍රධාන මාර්ගය මතුගම - හොරණ ප්‍රධාන මාර්ගය

මේ මාර්ග සතර කාපට් ඇතිරූ පුළුල් මාර්ග වන අතර ග්‍රාමීය මාර්ග කිහිපයක් හැරුණු කොට අනෙකුත් ප්‍රධාන හා නගරයේ මාර්ග සියල්ලද ඉතා හොඳින් කාපට් ඇතිරූ ප්‍රමිතියෙන් යුතු මාර්ග වේ.

මතුගම,වැලිපැන්න,අගලවත්ත, බුලත්සිංහල,බදුරලිය,පැලවත්ත, වලල්ලාවිට, දොඩන්ගොඩ  ආදී සියලුම ප්‍රදේශ වලට අවශ්‍ය මූල්‍ය,බැංකු,රක්ෂණ, ප්‍රවාහන , වෙළඳ හා බොහෝ පරිපාලනමය කටයුතු මතුගම නගරය කේන්ද්‍ර කොට සිදුවේ.

ප්‍රදේශයේ පාසල් 150 කට අධික ප්‍රමාණයක් පාලනය කරනුයේ මතුගම කලාප අධ්‍යාපන කාර්යාලය මගිනි. මතුගම , අගලවත්ත , දොඩන්ගොඩ, වැලිපැන්න ,තෙබුවන, බදුරලිය , බුලත්සිංහල ,මීගහතැන්න යන පොලිස් ස්ථාන 8 ද  ඊට අමතරව බේරුවල මොරගල්ල සංචාරක පොලිස් කාර්යාලය ඇතුලු තවත් පොලිස් මුරපොලවල් කීපයක්ද මතුගම පොලිස් දිස්ත්‍රික්කය 1 හා මතුගම පොලිස් දිස්ත්‍රික්කය 2 යන සහකාර පොලිස් අධිකාරීවරුන් යටතේ පාලනය කෙරේ. ඉහත පොලිස් බල ප්‍රදේශවල අධිකරණ කටයුතු කෙරෙන්නේ මතුගම අධිකරණය මගිනි.  මෙම සේවා හා පහසුකම් මත නගරාශ්‍රිතව හා ප්‍රාදේශියව ඉඩම් මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර පරිධි කලාපයේ  පර්චස් 1 ක මිල 100 000 ත් 400 000 ත් අතර පවතින අතර නගරාසන්නව එය ලක්ෂ 5 -10 ක් හෝ ඊට වැඩි වේ. යටදොලවත්ත ,යටියන,බදුගම ප්‍රධාන නේවාසික ප්‍රදේශ වෙයි. දෛනික එකතු වන කසළ ප්‍රමාණය ටොන් 16 ක් පමණ වේ. මතුගම නගරය වනාහි කලුතර දිස්ත්‍රික්කය තුළ වැඩිම මූල්‍ය සංසරණයක් සහිත නගරයක් වන අතර සීඝ්‍රයෙන්ම දියුණු වන නගරයකි. එය වර්තමානයේ සීග්‍රව දියුණු වෙමින් පවතින අතර නගර සභාවක් බවට උසස් වීමේ සුදුසුකම්ද පවතී.

  • කුරුලු පාරාදීස නගරය

The birds paradise city

              මෙය මෑතකදී පටබැඳී නාමයක් වේ.ඊට හේතු වී ඇත්තේ අගෝස්තුවේ මතුගම නගරය සොඳුරු ආක්‍රමණයට ලක්කරන දහස් සංඛ්‍යාත පක්ෂි සමූහයක් නිසාවෙනි. සෑම  වසරකම අගෝස්තුවේ දී  යුරෝපයේ සිට පැමිණෙන ලංකාවේ නිරිතදිගින් රටට ඇතුළු වන මේ පක්ෂීන්  අටු වැහිලිහිණියන් ලෙස හැදින්වේ . එලෙස ලංකාවට ඇතුළු වන ඔවුන්ගේ ප්‍රධානතම නැවතුම්පොළ වන්නේ  මතුගම නගරයයි.මීට වසර කීපයකට ඉහත මොරටුව, රත්මලාන,රත්නපුර වැනි ප්‍රදේශ තම වාසස්ථාන කරගත් මොවුන් එම ප්‍රදේශ හැර දා දැන් වසර කීපයකම සිට පැමිණ මතුගම නගරයේ ලැගුම් ගනී. අගෝස්තුවේදී පැමිණෙන මේ අටු වැහිලිහිණියන් මතුගම සහ ලංකාව හැරදා ආපසු යන්නේ අප්‍රේල් මාසයේ දීයි.මේ වර්ගය එම පක්ෂි ගණයේ සුලබ වර්ගය වන Hirundo rustica guttraills නම් විද්‍යාත්මක නාමයෙන් හැදින්වේ . ශරීර ස්වභාවය ගත්කල නළල හා උගුර රතු වන් දුඹුරු පාටය.දිලෙන උඩුකය තදනිල් පාට හා යටිකය කිලිටි සුදු පාටින් යුක්තය . වලිගය දෙකට බෙදී ඇත . ධාන්‍ය වර්ග ආහාරයට වැඩි රුචිකත්වයක් දක්වන මොවුන් මතුගම අවට කුඹුරුවල වී , බජිරි  හා කුඩා කෘමීන් ආහාරයට ගනී. අඳුරු තැන් වලට අකමැති මේ පක්ෂීන් සවස 6 පමණ වන විට අහසින් එක්වරම වලාවක් ලෙස පැමිණ පහත් වී මතුගම නගරයේ විදුලි ආලෝකය ඇති ස්ථානවල දුරකථන රැහැන් වල, විදුලි කණු වල, වටරවුමේ ඔරලෝසු කණුවේ කටු මත වසා රැය පහන් කරති.මෙසේ මතුගම නගරයට පැමිණෙන අටු වැහිලිහිණියන් ගේ සංඛ්‍යාව 70 000 ත් 100 000 ත් අතර වේ යැයි පරිසර වේදීන්  අනුමානය  කරති . අගෝස්තු සිට අප්‍රේල් දක්වා මාස 8 ක් මතුගම තම නිවහන කොට ගෙන හොඳින් පෝෂණය වී වර්ධනය වන අටු වැහිලිහිණියන් අප්‍රේල් මස අවුරුදු සමයේ මතුගම හැර නැවත ගොඩබිම් හා සමුදුරු මතින් පියඹා තම මව්බිම් කරා යන්නේ තවත් මාස කීපයකින් නැවත මතුගමට පැමිණීමේ බලාපොරොත්තුවෙනි .

                 

    

"https://si.wikipedia.org/w/index.php?title=මතුගම&oldid=451792" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි