පෙජෙං බෙරය
පෙජෙං බෙරය (හෙවත් පෙජෙං-වර්ගයේ බෙරය) යනුවෙන් හැඳින්වෙන්නේ ක්‍රි.ව. 1වන සහ 2වන සියවස් අතර කාලයේ ඉන්දුනීසියානු දූපත් පුරා නිර්මාණය වූ ලෝකඩ යුගයට අයත් බෙර වර්ගයකි. මෙය ඉන්දුනීසියානු ලෝහ කර්මාන්තයේ විශිෂ්ටතම නිමැවුමක් ලෙස සැලකේ.[1] ලෝකයේ විශාලතම ලෝකඩ බෙරය වන පෙජෙංහි සඳ නම් පුරාතන බෙරය වැනි ලෝකඩ යුගයේ බෙර මගින් ක්‍රි.ව. පළමු සහස්‍රකයේ දූපත් සමූහයේ දියුණු ලෝහ වාත්තු ක්‍රමවේදය සහ සක්‍රීය වෙළඳාම පිළිබඳ සාක්ෂ්‍ය ලැබේ.
පුරාවිද්‍යාව
[සංස්කරණය]ඉන්දුනීසියානු දූපත් සමූහය තුළ ලෝකඩ සහ යකඩ භාවිතය පිළිබඳ සාක්ෂ්‍ය ලැබෙන්නේ ක්‍රි.පූ. 500 අවට කාලයේ ය. පැරණිතම ලෝකඩ භාණ්ඩවලින් බොහෝමයක් උත්සව සඳහා භාවිතා වූ භාණ්ඩ විය. මේවාට නිදසුන් ලෙස අතිශයින් අලංකාර කළ කෙටේරි සහ බෙර විය. මින් ඇතැම් බෙර උතුරු වියට්නාමයේ සම්භවය වූ ලෝකඩ බෙර වර්ගයක් වන දොං සොන් බෙරවල ස්වරූපය ගන්නා අතර, ඒවා සුන්ඩා දූපත් වන සුමාත්‍රා, ජාවා, නුසා තෙංගාරා දූප්තවල මෙන්ම පැපුවා අසල කායි දූපත් වෙත ද ව්‍යාප්ත වී ඇත. දොං සොන් බෙර ඉන්දුනීසියානු දූපත් සමූහය තුළ ව්‍යාප්ත වීම තුළින් මෙම යුගයේ අග්නිදිග ආසියානු රාජධානි අතර පැවති විස්තීර්ණ වෙළඳාම පිළිබද සාක්ෂි ලැබේ. දූපත් සමූහයේ හමුවන ආදිතම බෙර ප්‍රදේශ අනුව විවිධත්වයක් පෙන්වන අතර, මේ අතරින් වඩාත්ම ප්‍රකට බෙර වර්ගය වන්නේ පෙජෙං බෙරයයි.[1]
පෙජෙං බෙර සඳහා එම නාමය ලැබී ඇත්තේ බාලි දූපතේ ලෝකඩ යුගයට අයත් ගම්මානයක් වන පෙජෙංහි නම අනුසාරයෙනි. මෙම බෙර දොං සොන් බෙරයේ ඉන්දුනීසියානු ප්‍රභේදයක් ලෙස සැලකේ. පෙජෙං බෙර මුල්කාලීන දොං සොන් බෙරවලින් වෙනස් වන්නේ මේවා සතු වඩා දිගටි හැඩය නිසායි. මේවා ඉටි මැකුම් ක්‍රමය යොදා ගනිමින් වෙන් වෙන්ව වාත්තු කළ කොටස් දෙකකින් (ප්‍රාවර සහ පටහ) සාදනු ලබයි. ඉන්දුනීසියානු දූපත් තුළ සැලසුම් කළ මෙම පෙජෙං බෙර ක්‍රි.ව. පළමුවන සහස්‍රකය වන විට ජාවා සහ බාලි දිවයින්වල හොඳින් ව්‍යාප්ත වී තිබෙනු දැකගත හැක. මෙහි බාලි ප්‍රභේදය ඉන්දුනීසියාවේ පසුකාලීන ප්‍රාග්ඓතිහාසික යුගයේ අතිශයින් අලංකාර ලෝහ නිර්මාණ ලෙස සැලකේ. පෙජෙං ගම්මානයේ තබා ඇති පෙජෙංහි සඳ නම් බෙර ලොව ඇති විශාලතම පෙජෙං බෙරය වේ. එවැනි විශාල බෙරයන් හිමි වීම එහි හිමිකරුවනට විශාල සමාජ වටිනාකමක් ලබාදීමට හේතු විය. තඹ හෝ තුත්තනාගම් නොමැති වුව ද, බාලි දිවයිනේ පිත්තල නිර්මාණයට යොදාගන්නා පිළියෙල නොකළ අමුද්‍රව්‍ය හමුවේ. බාලි දිවයිනේ විශාල ලෝකඩ බෙර පැවතීම හේතුවෙන් ක්‍රි.ව. පළමුවන සහස්‍රකයේ ඉන්දුනීසියාවේ අනෙක් දූපත් සහ බාලි අතර පැවති අන්තර්-ද්වීපික වෙළඳාම පිළිබඳ අවබෝධයක් ලබාගත හැක. එසේම බාලිහි උතුරු ප්‍රදේශයේ සෙම්බිරාන් සහ පාකුං යන ස්ථානවලින් ඉන්දියානු මෝස්තර සහිත මැටි බඳුන් හමුවීම තුළින් ක්‍රි.ව. 1වන හෝ 2වන සියවස්වල මෙම දූපත් සහ ඉන්දියාව අතර වෙළඳ කටයුතු පැවති බව පෙනේ.[2]
අන්තර්ජාතික වංශවතුන් ලෙස පෙනීසිටීමට අවැසි වූ ප්‍රධානීන් අතර පෙජෙං බෙර ප්‍රධාන සංකේතයක් වන්නට ඇත. ප්ලාවන්ගන්හි භූමදානයන්හි රන් ගෙල පළඳනා, යකඩ හෙලි තුඩු අතර තිබූ පෙජෙං බෙර හමුවී ඇත. බාලි දිවයිනේ මෙම වර්ගයේ විශාලතම බෙරය වන පෙජෙංහි සඳ සරලව ගම්මානවල තැන්පත් කෙරිණි.[2] පෙජෙං ආකාරයේ බෙරයක් වන අලෝර්හි මොකෝ බෙරය වර්තමානයේ පවා විවාහ මංගල්‍යවල දී හවුමාරුවන උත්සව භාණ්ඩයක් ලෙස භාවිතයට ගැනේ.
ස්වරූපය සහ නිර්මාණය
[සංස්කරණය]පෙජෙං බෙරය සමමිතික ස්වරූපයෙන් යුක්ත ය. එහි හැඩය ප්‍රධාන කොටස් තුනකින් යුක්ත වේ: එනම් මුදුනේ ඇති හිස හෙවත් පටහය, අලුල්වක් සහිත මධ්‍ය බරණි හැඩැති කොටස සහ පාදමයි. පෙජෙං බෙරය සහ දොං සොන් බෙරයේ සැලැස්මේ ඇති වෙනස්කමක් නම් මෙහි පටහය දේහයෙන් 25 සෙන්ටිමීටර (9.8 in) පමණ නෙරා තිබීමයි. එය දේහයෙන් වෙන්ව වාත්තු කෙරුණකි.[2]
පෙජෙං බෙර නිර්මාණය කෙරුණේ ඉටි මැකුම් වාත්තු ක්‍රමය යොදාගෙන ය. මෙහි සහ දොං සොන් බෙරයේ ඇති තවත් වෙනස්කමක් වන්නේ පෙජෙං බෙරයේ දේහය සහ පටහය වෙන්වෙන්ව වාත්තු කිරීමයි. කුහර මැටි හරයක් වටා බෙර හැඩැති ඉටි ආකෘතියක් තනන ලදී. මෙහි ඇති මිනිස් හෝ සත්ත්ව රූපවල සම්මත ජ්‍යාමිතික මෝස්තර සටහන් කරන ලද්දේ ගල් අච්චු යොදාගෙනයි. මෙම ජ්‍යාමිතික මෝස්තර පටහය සහ ඉහළ පැතිවලට තබා තදකරන ලදී.[3]
මේවාත් බලන්න
[සංස්කරණය]ආශ්‍රේයයන්
[සංස්කරණය]- ^ a b Bellwood 2001, පිටු අංකය: 39.
- ^ a b c IWayan Kartika 2001, පිටු අංකය: 43.
- ^ Bellwood 2001, පිටු අංකය: 38.
උද්ධෘත කෘති
[සංස්කරණය]- Bellwood, Peter (2001). "Ceremonial Bronzes of the Pre-Classic Era". In Miksic, John (ed.). Ancient History. Indonesian Heritage. Archipelago Press. ISBN 9813018267.
{{cite book}}
: Invalid|ref=harv
(help) - I WayanArdika (2001). "Late Prehistoric Bali". In Miksic, John (ed.). Ancient History. Indonesian Heritage. Archipelago Press. ISBN 9813018267.
{{cite book}}
: Invalid|ref=harv
(help)