නිරෝගී ආහාර රටාව

විකිපීඩියා වෙතින්

නොකා ඉන්න පුළුවන් නම් හොඳයි කියලා හිතෙන තරමට අපිට කෑමෙන් වන ලෙඩ, වේලක් ඉව්වාම අනෙක් වේලට උයන්න හොඳ මොනවද කියල අහස පොළව ගැටලන්න කල්පනා කරන්න වෙලා. සමහරු කියනවා අපිට කන්න වෙලා තියෙන්නෙ වස විස කියලා. ඒකමද හේතුව අපි ලෙඩ වෙන්න, මේක වළක්ව ගන්න ක්‍රමයක් නැද්ද? අද අපි කතා කරන්නෙ කොහොමද ඊළඟ කෑම වේල සැලසුම් කරන්නෙ කියලා.

සිංහල වෙදකමේ සාරය තමයි අපි උගුරෙන් පල්ලෙහාට ගන්නා දෙයින් අපිව නිරෝගී කිරීම. ඒ කියන්නේ කෑම බීමෙන් නිරෝගී කිරීම තමයි අභ්‍යන්තර දර්ශනය.

ආහාරය තවත් එක කෂාය වර්ගයක් කියලා හිතන්නකෝ. එතනින්ම ප්‍රශ්නය විසඳෙනවා!

ගෙදරක අම්මා සකස් කරන ආහාරය සරලව කොටස් දෙකකට බෙදන්න පුළුවනි. ඒ තමයි කැඳ සහ බත්. කැඳ ගැන හෙට කතා කරන්න තියලා අද බත් ගැන කතා කරමු. බත් කියන්නේ මෙතන බෝජනය, බොජුන් ආයෙමත් කොටස් පහකට බෙදෙනවා. ඒ බත්, කොමු (ධාන්‍ය වර්ග පිටි කර හදන කෑම), අත්සුණු (හාල් පිටි කර හදන කෑම), මාළු (එළවළු ව්‍යංජන) සහ මස් (ගොඩ මස් සහ මත්ස්‍ය ආහාර) ඒ කියන කසාය සීට්ටු වර්ග පහ. අපිට එක් වේලකට මේ කියන ඒවායින් එකක් හරි දෙකක් නැත්නම් කීපයක් සමහර විට පහම හදා ගන්න වෙනවා.

උදේ කෑම වේල සඳහා බත් නැත්නම් තිරිඟු, කුරක්කන්, මෙනේරි, යව (බාර්ලි), හාල් වැනි ධාන්‍ය පිටි වලින් හැදූ ආහාරයක් ගැනීමයි පුරුද්ද. මේ මොන කෑමක් ගත්තත් එයින් අරමුණු දෙකක් ඉටුකර ගන්න අපේක්ෂා කළා අපි කාලයක හිටන්ම. එයින් පළමුවැන්න තමයි දවසේ වරුවක් ඒ කියන්නේ උදේ වරුව වැඩ කරන්න ඕන කරන ශක්තිය හයිය ලබා ගන්න එක. අපිට සෞඛ්‍ය පාඩමට ඉස්කෝලේ උගන්නපු විදියට පිෂ්ටධාතු වැඩිපුර අඩංගු ආහාරයක් තමයි ඒක. අනික් අරමුණ තමයි ඇඟේ ඇති වී තිබෙන ගිලන් බවක් තිබෙනවා නම් ඒකට ගැලපෙන බෙහෙතක් ගැනීම. කොහොමද ඒක කරන්නේ. ඒක කරන්නේ දොස්තරලා දෙන්නෙක් එකතු වෙලා. ඒ අම්මයි තාත්තයි. ඊයේ රෑ පවුලේ අය එකට එකතු වෙලා කතා කරන වෙලාවේ නැත්නම් විශේෂයෙන්ම අම්මාට වාර්තා වුණු පුංචි පුංචි “රෝග ලක්ෂණ” සලකා බලලා තමයි මේ තීරණයට දෙදෙනොගේ අනුමැතිය එකඟතාව ඇති වෙන්නේ. ඒ විතරක් නෙවෙයි අද දවසේ ඊළඟ වේල වෙනකම් කොච්චර වෙලාවක් පවුලේ එක් එක් සාමාජිකයාට ඉන්න වෙනවද කියලත් බලනවා. පවුලේ ආර්ථිකය අනුව සමහර වෙලාවට ලොකු වෙනසක් කරන්න අමාරු වෙන්න පුළුවන්. තුන් වේලටම බත්, නැත්නම් කුරක්කන් වලින් යැපෙන්න වෙන වෙලාවල් තියෙනවා. ඒ වෙලාවට අවශ්‍ය වෙනස කෙරෙන්නේ හදන මාළු පිනි වලින්.

හීල් බත වුනත්, නැත්නම් උදේට බතක් ඉව්වත්, සමහර විට කිරිබතක් ඒත් නැත්නම් පාන්, ඉඳි ආප්ප, ආප්ප, කුරහන් රොටි, තලප වැනි ආහාරයක් වුනත් ඒ සමග ගත යුතු වන්නේ ඇඹුලකි. ඇඹුල කියන්නේ පොල් කිරි මුසු නොකර ගොරකා, සියඹලා, තක්කාලි වැනි ඇඹුල් වර්ගයක් යහමින් දමා හදන මාළුවකි. බොහෝ පෝෂණීය මාළු වර්ග, පොලොස්, අඹ, ඇඹරැල්ලා, කරවල වර්ග, ඇඹුලට හදා ගත හැකිය. එය ඇඹුලේ අඩංගු ඇඟ වඩවන පෝෂක සහ බත හෝ කොමු ආහාරය පහසුවෙන් දිරවීමට සලස්වයි. උදේ වරුවේ වැය කිරීමට අවශ්‍ය ශක්තිය ඉක්මනින් මුදා හැරෙන්නේ ඒ ලෙසය. ඇඹුල් අධික ආහාර පිත යහමින් වඩයි. ඇඹුලට පිසෙන ආහාර වැඩි හරියක් ගිනියමින් අධිකය. වැඩි ශක්තියක් ලබා දෙයි. ඇඟ වඩයි. එහෙත් වැඩි වන ගිනියම් ගතිය සහ පිත යළිත් සම තත්ත්වයට ගැනීමට ඊළඟ වේලට නියඹලාවක් අඩංගු විය යුතු වේ. හාල් (බැද හෝ නොබැද), පොල් (බැද හෝ නොබැද), තුනපහ (බැද හෝ නොබැද), සුලු ලූණු, අමු මිරිස්, කුරුඳු ආදිය ගෙන තුනී වන විදියට අඹරා හොද්දට දමා කිරි ද එකතු කර උකුවට උයන මාළුව නියඹලාවයි. ඒ විදියට පිපිඤ්ඤා, කැකිරි, තියඹරා, අළු කෙහෙල්, වට්ටක්කා, වට්ටක්කා දළු, කෙසෙල් බඩ, කොහිල අල, කොස් ඇට කළුපොල් වැනි ඇඟ නිවන ආමාශය, බඩවැල් පවිත්‍ර කරන කෑමක් හදා ගත හැකිය. වැඩිවන උෂ්ණ ගතිය පාලනය කළත් එයින් එතරම් ඇඟ වඩවන පෝෂණ ගුණයක් සැපයෙන්නේ නැති නිසා කොළ මැල්ලුමක්, හොද්දට හැදූ මාළු හෝ ධාන්‍ය වර්ගයක් එක් කරගත හැකිය. මැල්ලුමට කොළ වර්ග මෙන්ම මුංඇට, පැහී ගෙන එන කොස්, පැපොල් ගැට, තිබ්බටු ආදී ඔසුවක් එකතු කරන්නට වුනත් පුළුවනි. එයින් ශරීරය ඇතුලේ වැඩට යෙදී වියදම් වන හිතකර ලෝහ වර්ග සහ “විටමින්” වගේම ලෙඩරෝග වලට ඔරොත්තුව, රෝග ඇති කරන විසම ගති, නිවාලන ඔසු ගුණ “සංචිතය” ආපසු යතා තත්ත්වයට ගන්නට උදව් කරයි. වටපිටාවේ රස්නය වැඩි දවල් දවසේ තෙල් අඩංගු කෑම සුදුසු නැති වුවත් සීත පෙදෙස්වල ජීවත් වන විට හෝ අනෙක් පළාත්වල සීත කාලයට නැත්නම් හීතල ඇති රෑ කාලයට තෙල් සහිත ආනමක් බැදුමක් එකතු කර ගැනීමයි හොඳ. වතුරේ දිය නොවන බොහෝ ඔසු ගුණ තෙලේ දියවේ. ඇරත් ඇඟට තෙල් ද අවශ්‍ය වේ. ඒ වුවමනාව අම්මා පිරිමහින්නේ ආනමක් බැදුමක් හැදීමෙනි. දිය කිරෙන් හෝ වතුරෙන් තම්බා ගන්නා එළවළුව හෝ ධාන්‍ය වර්ගය පසුව තෙම්පරාදු කර හදන මාළුව ආනමයි. එළවළු කීපයක් මිශ්‍ර ආනම අම්මා තෝරා ගන්නේ සරු කාලවලදීය. කොල්ලු, මුංඇට, කව්පි, කඩල, කෙකටිය, දිය හබරල, කැරැන් කොකු, මියනදළු, ගෝවා මල්, ආදී කෑම සුදුසු වන්නේ ආනමටයි. තෙල් ආහාරයට එකතු කර ගැනීමේ අයහපත් ආනිසංස අම්මා සමනයට පත් කරන්නේ පහුවෙනිදා උදේට ඇඹුලක් හැදීමෙනි. ඒ විතරක් නොවේ. පවුලේ කෙනෙකුට සෙම වැඩි වුණත්, අම්මා නියඹලාවට තාවකාලිකව සමුදෙයි. හොද්දට බසී. හොද්දට හදන එළවළු සහ මාළු වර්ග කොයිකටත් ඔට්ටු ඒවාය. හොද්ද දිය කිරි සහ මිටි කිරි දමා පිසින මාළුවයි. පස්මාළුවම (ඇඹුල, ආනම, නියඹලාව, හොද්ද, මැල්ලුම) බැදුමක් ද ඇතුව තව තැම්බුමක් (අල වර්ගයක්, කොස් දෙල් ආදිය) සමග පිසෙන්නේ අමුතු බතයි. අමුතු යන ආගන්තුක යන තේරුමයි. නිවසට ආගන්තුකයෙකු පැමිණි විට මේ වෙනස කරන්නේ ඇත්තටම වෙනසකටය. එදාට වැඩ කරන ශ්‍රම බලකායට නිවාඩු දවසක් ද වේ. මේ ඇරුණාම විශේෂ “කසාය සීට්ටු” කීපයක්ද වේ. මිරිස් හොද්ද, කායම් හොද්ද, තැම්බුම් හොද්ද, දිය බත, අමු හොද්ද ආදී ලෙසින් කලාතුරකින් පිසෙන කෑම වර්ග ඒ ගණයට අයත් වේ. කෙනෙකුට ආහාර අරුචියක්, ඕනෑවට වඩා පුරවා දැමීමක්, අජීර්ණයක් හැදුණා නම් තැම්බුම් හොද්ද බහුකාර්ය විසඳුමක් ලබා දෙයි.

අපි මේ කෑම වේලේ අඩු පාඩු මෙන්ම වැඩි පාඩු ඊළඟ වේලෙන් පිරිමහින සිංහල ක්‍රමය ඉගෙන ගෙන “තුන් වේලටම පෝෂක ද්‍රව්‍ය හයක් සමබරව ගන්න, එහෙම අරගෙන ඉස්පිරිතාලෙට එන්න” කියන බටහිර ක්‍රමයට සමුදෙමු.

"https://si.wikipedia.org/w/index.php?title=නිරෝගී_ආහාර_රටාව&oldid=434344" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි