ද්වාරය:කාලීන සිදුවීම්/ශ්‍රී ලංකාව

විකිපීඩියා වෙතින්


උතුරේ ජයග්‍රහණයන්ට යුද හමුදාපතිතුමාගෙන් සුභ පැතුම්[සංස්කරණය]

(කොළඹ-ලංකාපුවත්-ජනවාරි 14) යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ඊයේ ( 13 ) යාපනය ප්‍රදේශයේ නිරීක්ෂණ සංචාරයක නිරත වෙමින් එම ප්‍රදේශයේ වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳ විමසා බැලීය.

යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ පැවති සාකච්ඡාවකදී අලිමංකඩ මුදා ගැනීමෙන් පසු වත්මන් ආරක්ෂක තත්ත්වය සහ උතුරේ සිදු වන නවතම මෙහෙයුම් පිළිබඳ ජ්‍යෙෂ්ඨ හමුදා නිළධාරීන් සමග හමුදාපතිතුමා මෙහිදී සාකච්ඡා පැවැත්වීය.

යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරාල් එම්.සී.එම්.පී. සමරසිංහ මහතා යාපනයේ වත්මන් තත්ත්වය පිළිබඳව හැඳින්වීමක් යුද හමුදාපතිවරයා වෙත ලබා දුන් අතර එක් එක් සේනාංක භාර ජ්‍යෙෂ්ඨ නිළධාරීන් විසින් ද කරුණු පැහැදිලි කිරීම් සිදු කරන ලදී.

අනතුරුව මෑතකදී ලබා ගත් යුද ජයග්‍රහණයන්ට දායක වූ යුද හමුදා නිළධාරීන් සහ සෙසු නිළයින් ඇමතූ යුද හමුදාපතිවරයා ඔවුන් සිදු කළ කැපකරීම් සහ ලබා ගත් ජයග්‍රහණ පැසසුමට ලක් කරමින් ඔවුන්ට සුභ පැතීය.

www.defence.lk

නුගේගොඩ උඩින් යන පාලම ලබන 23 වනදා විවෘත කෙරේ[සංස්කරණය]

(කොළඹ, ලංකාපුවත්, ජනවාරි 14) – මේ වන විට ඉදිවෙමින් ඇති නුගේගොඩ ගුවන් පාලම ජනවාරි 23 වන සිකුරාදා දින විවෘත කිරීමට නියමිත බව මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.

මංතීරු 04කින් මෙම ගුවන් පාලම සමන්වි වන අතර පාලමේ දිග මීටර 261ක් වේ.

ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ මීටර 08ක පළලින් යුතු මංතීරු දෙකක ඉදිකිරීම් සිදු කෙරේ. දෙවන අදියර යටතේ අනෙක් මංතීරු දෙකෙහි ඉදිකිරීම් සිදු කිරීමට නියමිත බව මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

මෙම ව්‍යාපෘතියේ ඇස්තුමේන්තුගත පිරිවැය රුපියල් මිලියන 620ක් වන අතර මේ සඳහා මුල්‍ය අනුග්‍රහය දක්වන්නේ එක්සත් රාජධානිය විසිනි.

බ්‍රිතාන්‍යයේ මාබියන් ජෝන්ස් සමාගම සහ ශ්‍රී ලංකාවේ ඇක්සස් ඉංජිනේරු ආයතනය මෙම පාලමේ ඉදිකිරීම කටයුතු සිදු කරනු ලබන අතර මාර්ග සංවර්ධන අධිකාරිය මෙහි අධීක්‍ෂණය කටයුතු සිදු කරනු ලැබේ.

අධික වාහන තදබදය හේතුවෙන් අපතේ යන කාලය මෙන්ම ඉන්ධන දහනය අවම කරගනිමින් කාර්යක්ෂම ප්‍රවාහන සේවාවක් ඇති කිරීමට මෙම ගුවන් පාලම හේතුවනු ඇති බව අමාත්‍යාංශය සඳහන් කරයි.

කොටින්ට ගුවනින් දැඩි ප්‍රහාර[සංස්කරණය]

(කොළඹ-ලංකාපුවත්-ජනවාරි 14) මුලතිව් හා යාපනයේ කොටි ත්‍රස්තවාදීන්ගේ ඉලක්ක කිහිපයකට ඊයේ ( 13 ) දිනයේ ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර ඇත.

මුලතිව් නගරයට කිලෝ මීටර් 03ක් දකුණින් වූ ප්‍රදේශයේ පිහිටි කොටි ත්‍රස්තවාදීන් එක්රැස් වන ස්ථානයකට උදෑසන 09.10, 09.20, 11.30 හා සවස 03.35 ට අවස්ථා 04කදී ප්‍රහාර එල්ල කෙරිණි.

එසේම මුලතිව් නගරයේ කොටි ත්‍රස්තවාදීන් එක්රැස් වන තවත් ස්ථාන කිහිපයකට උදෑසන 10.15ට, දහවල් 12.10, සවස 01.45 හා 03.15ට නැවත ගුවන් ප්‍රහාර 04ක් දියත් කර ඇත.

යාපනය චුන්ඩිකුලම් කළපුව ආසන්නයේ ප්‍රදේශයක රඳවා තිබූ එල්. ටී. ටී. ඊයේ කාලතුවක්කු දෙකකට සවස 04.00 ට ගුවන් ප්‍රහාර එල්ල කර තිබේ.

ගුවන් හමුදාවේ ප්‍රහාරක ජෙට් යානා හා M I – 24 ප්‍රහාරක හෙලිකොප්ටර් යානා උපයෝගී කර ගනිමින් මෙම ප්‍රහාර මාළාව දියත් කර ඇති අතර ප්‍රහාර නිවැරදි ඉලක්කයට එල්ල කළ බව ගුවන් නියමුවන් සනාථ කරයි.

ඉන්දියානු විදේශ ලේකම් හා ආරක්ෂක ලේකම් හෙට ශ්‍රී ලංකාවට[සංස්කරණය]

(කොළඹ, ලංකාපුවත්, ජනවාරි 14) – ඉන්දියානු විදේශ ලේකම් ශිවසංකර් මෙනන් මහතා එරට ආරක්ෂක ලේකම් විජේ සිං මහතා හෙට (15) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තාවේ.

දෙදින නිල සංචාරයක් සඳහා ඔවුන් සහභාගී වීමට නියමිතය.

ඔවුන් මෙම සංචාරයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, විදේශ අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා සහ රජයේ ඉහල නිලධාරීන් කිහිපදෙනෙකු සමග සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය.

ශ්‍රී ලංකාවේ වත්මන් යුදමය වාතාවරණය පිළිබඳව සහ තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අදාළ සාකච්ඡා වලදී විශේෂ අවධානය යොමු කිරීමට සූදානම් වන බවද වැඩිදුරටත් තොරතුරු වාර්තා වේ.

'සුබ තෛපොංගල් උත්සවයක් වේවා!' - ජනාධිපති මහින්ද රාජපක්ෂ[සංස්කරණය]

(කොළඹ, ලංකාපුවත්, ජනවාරි 14) – හින්දු ආගමානුකූලව ‘තෛ මාසය’ හෙවත් ජනවාරි මාසයේ මුල් දිනට යෙදෙන තෛපොංගල් උත්සවය සමස්ත ලෝකයටම ජීවය සපයන සූර්යයා මුල්කොටගත් අභිමානනීය එකක් පමණක් නොව, කය වෙහෙසා වැඩ කරන ජනතාව විසින් නෙළා ගනු ලබන සරු අස්වැන්න සංකේතවත් කරන්නක් ද වන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සුභාෂිංසන පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

හින්දු බැතිමතුන් ස්වකීය සංස්කෘතික උරුමයන් මෙසේ සැමරීම ශ්‍රී ලාංකික සමාජය විවිධ ජාතීන්ගෙන් සැදුම්ලත් එකක් බව පෙන්නුම් කරන මනා සාධකයක් බව අදාළ පණිවුඩයේ දක්වා ඇත.

ජනාධිපතිතුමන් පෙන්වා දී ඇත්තේ මෙම උත්සවයේ දී කැපී පෙනෙන අංග වන අධ්‍යාත්මික සබැඳියාව සහ ඇප කැප වී ක්‍රියා කිරීමේ ගුණය අප සමාජයේ අනාගත අපේක්ෂාවන් වන සාමය, එකමුතුබව සහ අන්‍යොන්‍ය අවබෝධතාව ද පිළිඹිබු කරන්නක් බවයි.

මෙම තෛපොංගල් දිනයේදී විශේෂ අවධානය යොමු වනුයේ හින්දු දහම අදහන බහුතරයකගේ ගැලවුම්කරුවන් සේ පෙනී සිටින ඊනියා පිරිස් විසින් බලෙන් රඳවා ගෙන ඇති හින්දු බැතිමතුන් කෙරෙහි බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

සුභාෂිංසන පණිවුඩයේ වැඩි දුරටත් දක්වා ඇත්තේ ශ්‍රී ලාංකිකයන් වශයෙන් තමන් සහෝදරත්වයෙන් සලකන්නා වූ ද, අපගේ ද සහෝදර සහෝදරියන් වන ‍යථෝක්ත ජනතාවට ඉතා නුදුරු දිනයකම නිදහස ලැබෙන බව ස්ථිර වශයෙන්ම ප්‍රකාශ කරනුයේ ඉමහත් සතුටින් බවත්, ඒ සඳහා අපගේ දේශයේ උතුරු පෙදෙසෙහි පූර්ණ නිදහසත්, ප්‍රජාතන්ත්‍රවාදයත් යළිඳු ස්ථාපිත කිරීමට අප දැඩි වෙහෙසක් ගනිමින් සිටින බවයි.

ශ්‍රී ලාංකික හින්දු බැතිමතුන්ට ප්‍රීතිමත් තෛපොංගල් දිනයක් ප්‍රා‍ර්ථනා කරමින් සමස්ත ජනතාවටම ඉදිරි අනාගතයේදී සාමය, සෞභාග්‍යය හා අන්‍යොන්‍ය විශ්වාසය උදා වේවා ! යි යනු ජනාධිපතිතුමන් සුබ පැතුම් එක්කර සිටියි.

සතොස 100 වන ශාඛාව කොස්ගමදී අද විවෘත වේ[සංස්කරණය]

(කොළඹ-ලංකාපුවත්-ජනවාරි 14) ලක් සතොස 100 වන වෙළඳ සැල අද (14) ප.ව 4.00 ට වෙළඳ හා ‍පාරිභෝගික සේවා අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොස්ගමදී විවෘත කෙරේ.

අංක 44, හයිලෙවල් පාර, කොස්ගම යන ලිපිනයෙහි ඇති මෙම වෙළඳසැල මගින් ප්‍රදේශවාසී පාරිභෝගික ජනතාවට සහනදායී සේවාවක් සැපයෙනු ඇත.

මේ වන විට දිවයින පුරා ක්‍රියාත්මක සතොස වෙළඳසැල් දහසකට ආසන්න පිරිසකට රැකියා අවස්ථා ලැබී ඇත.

‘වයිබ්‍රන්ට් ගුජරාට් 2009’ කාර්මික සමුළුවේදි සංචාරක ක්ෂේත්‍රය පිළිබඳ වැඩි අවධානයක්[සංස්කරණය]

(කොළඹ, ලංකාපුවත්, ජනවාරි 14) 'වයිබ්‍රන්ට් ගුජරාට් 2009’ කාර්මික සමුළුව පසුගිය සඳුදා අහමදාබාද්හිදි පැවැත්විණි

ගුජරාට් ප්‍රාන්තයේ මහ ඇමති නරේන්ද්‍ර මෝඩි මහතා සංචාරක කර්මාන්තය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරමින් කාර්මික, කෘෂිකාර්මික සහ සේවා ක්ෂේත්‍රවල සමබර වර්ධනය යන ඉලක්කය සපුරා ගැනීම සඳහා ඔහු සතු සැලැස්ම සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙම සමුළුව ආරම්භ කළේය.

සංචාරක අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතාද මෙම සමුළුවේ සංචාරක ක්ෂේත්‍රය පිළිබඳව පැවති සැසියේ ප්‍රධන දේශනය පැවැත්වීය.

ඒ මහතා මෙහිදී වෙරළාශ්‍රිත සංචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් අදහස් දැක්වූ අතර ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය සංවර්ධනය කිරීමේ අත්දැකීම් ද මේ සඳහා සහභාගි වූ ජාත්‍යන්තර නියෝජිතයන් සමඟ බෙදා ගත්තේය.

බංග්ලාදේශයට අද තීරණාත්මක තරගයක් [සංස්කරණය]

(කොළඹ, ලංකාපුවත්, ජනවාරි 14) ග්‍රාමීන් ෆෝන් කුසලාන තුන්කොන් එක් දින තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය අද (14) ඩකාහි මීපූර් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

බංග්ලාදේශය, සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකාව සහභාගි වන මෙම තුන්කොන් තරගවෙලියේ මෙතෙක් පැවති තරගවලින් ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ තරගය ජයගෙන තිබෙන අතර සිම්බාබ්වේ කණ්ඩායම සහභාගී වූ තරග දෙකෙන් එකක් ජයගෙන එකක් පරාජය වී ඇත. බංග්ලාදේශය කිසිදු තරගයක් ජය ගෙන නොමැත.


පළමුව පැවති සිම්බාබ්වේ සහ බංග්ලාදේශය අතර තරගයෙන් බංග්ලාදේශය පරාජයට පත් විය. අද පැවැත්වෙන තරගයෙන් පරාජය වීමට සිදු වූවහොත් බංග්ලාදේශ කණ්ඩායමට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවනු ඇත.

‘සතිස්චන්ද්‍ර ප්‍රතිභානය’ අද දළුගමදී[සංස්කරණය]

(කොළඹ-ලංකාපුවත්-ජනවාරි 14) ප්‍රතිභාපූර්ණ ප්‍රවීන කලාකරු සතිස්චන්ද්‍ර එදිරිසිංහයන් දශක 5 ක් තිස්සේ හෙළ කලා ‍ක්ෂේත්‍රයට සැපයූ දායකත්වයට හරසර දැක්වෙන ‘සතිස්චන්ද්‍ර ප්‍රතිභානය’ අද (14) ප.ව. 3.00 සිට කැළණිය දළුගම සරසවි චිත්‍රාගාරයේදී පැවැත්වේ.

දළුගම ‘නුවණ යොවුන් හවුල’ විසින් සංවිධානය කරනු ලබන මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස ආචාර්ය ඩී. බී නිහාල්සිංහයන් සහභාගී වීමට නියමිතය.

මහචාර්ය සුනිල් රත්නායක විසින් ප්‍රධාන දෙසුම පවත්වනු ලබන අතර සුනිල් එදිරිසිංහ, ලතා වල්පොල, වික්ටර් රත්නායක යන ප්‍රවීනයන් ගීත ගායනයෙන් දායක වනු ඇත.

කලාශූරී සතිස්චන්ද්‍ර එදිරිසිංහගේ ආලේඛ්‍ය චිත්‍රයක් හා සමරු ග්‍රන්ථයක් පිළිගැන්වීමද මෙහිදී සිදු කෙරේ.