දවුල

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

දේශීය වාද්‍ය භාණ්ඩ අතර, දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන භාණ්ඩයක් වශයෙන් දවුල හඳුන්වා දිය හැකි ය. පංචතූර්ය භාණ්ඩ වර්ගීකරණයට අනුව 'විතතාත' ගණයට අයත් වන සංගීත භාණ්ඩයකි. එසේම බෙර වර්ග අතර ඉතාමත් ඈත ඉතිහාසයක් උරුම ‍‍වන දවුල චිරාත් කාලයක් තිස්සේ ලංකාවේ (සිංහලේ) භාවිතා වූ සුවිශේෂී වූ බෙර විශේෂයක් වන අතර හේවිසි වාදනය සඳහා යොදා ගන්නා බෙරය ලෙස සැලකේ. එසේම සබරගමු නර්තන සම්ප්‍රදායේ ප්‍රධාන වාද්‍ය භාණ්ඩය වන දවුල ව්‍යවහාරික සංගීතයේදී ද යොදා ගැනේ.

හැඳින්වීම[සංස්කරණය]

දවුල් බෙර වාදකයෙකුගේ සිතුවමක්

බෞද්ධ වෙහෙර විහාර සහ බෞද්ධාගමික චාරිත්‍ර ආශ්‍රිත තේවා කටයුතු සඳහා වාදන සම්ප්‍රදායක් වශයෙන් ද, දේවාල හා බැඳි, පුද පූජා වතාවත් උදෙසා නාදිමත් කාලයක සිට භාවිත වූ දවුල මංගල හා අවමංගල අවස්ථාවන්හිදී වයන වාද්‍ය භාණ්ඩයක් වශයෙන් ප්‍රචලිත ය. සබරගමු නර්තන සම්ප්‍රදායේ ප්‍රධාන වාද්‍ය භාණ්ඩය ලෙස දවුල හැඳින්වේ[1]. බෞද්ධ සන්නිවේදන අවස්ථාවක් ලෙස සැලකෙන වෙසක් අඬබෙරය[2] හැටියට ගන්නා වූ දවුල වටා වෙසක් කොඩියක් හෝ අඩුම තරමේ නිල් - කහ – රතු වැනි වර්ණ රෙදි දවටා දවුල වටා දවටා ගෙන සිදු කරයි. මෙම වෙසක් අණබෙරය වෙසක් සතියේ පන්සල මුල්කරගෙන සිදු කරන ආගමික වතාවත් පිළිබඳව දැනුම්දීම එහි ප්‍රධාන අරමුණු කර ගනියි.


දවුලේ සැකැස්ම[සංස්කරණය]

මෑත කාලීන මුදල් නෝට්ටුවක් සටහන් වන මල් පදය නැ‍ටුම නැ‍ටුම් කරු සමග දවුල බෙර වාදකයෙක්

ඇසල, කොහොඹ, ගංසූරිය, වරකා, කිතුල් වැනි වටිනා දැව වර්ග වලින් දවුල් කඳ සකස් කර ගන්නා අතර කඳ ලියවා පිත්තල පටි අල්ලා අලංකාර කර ගැනීම පැරණි ක්‍රමයයි[3]. දවුල් ක‍ඳෙහි දිග ප්‍රමාණය අඟල් 18ක් 20ක් අතර ප්‍රමාණයක් වේ. වාදනය සඳහා කඩිප්පුවක්[4] යොදා ගනියි. ව්‍යවහාරික සංගීතයේ දී ද අවශ්‍ය අවස්ථාවල දවුල භාවිත කරනු ලැබේ.

දවුලේ කොටස්[සංස්කරණය]

  • දවුලේ හඬ නිපදවීම සඳහා යොදාගෙන ඇති හම දවුල් තට්ටුව නමින් හැඳින් වේ
  • දවුල් තට්ටුව වටේට යොදා ඇත්තේ ගැටියයි
  • දවුල වාදනය කරන උපරකණය දවුල් කඩිප්පුවයි
  • ලීයෙන් කළ කොටස දවුල් කඳ නමින් හැඳින්‍ වේ
  • ඉනේ බැඳ ගන්නා ලණුව දවුල් ලණුවයි
  • දවුල් ලණුව සම්බන්ධවන ස්ථානයේ ඇති පිත්තලවලින් සාදන ලද ගිගිරි වලල්ල කයිපුඩිවළල්ල වේ
  • දවුල වටේට ඇද ඇති නූල දවුල් වරය වේ
  • දවුල් ලණුව තද කරන පිත්තල මුදුව ඉල්ලම් නම් වේ

ශාස්ත්‍රීය හා සාම්ප්‍රධායික භාවිතය[සංස්කරණය]

දවුල පිළිබඳව ඉතිහාසයේ පළමුව සඳහන් වන්නේ ලංකාවේ ප්‍රථම රජු ලෙස සැලකෙන මහා සම්මත මනු රජ සමයයි. රටට රජෙකු අවශ්‍ය බව තීරණ‍ය කිරීමෙන් පසුව ‍මෙරට දේව මණ්ඩලය මගින් දවුල වාදනය කරමින් යක්ෂ ගෝත්‍රික භාෂාවෙන් අණබෙරයක් යැවූ බවත් එයට සවන් දෙන දකුණේ මනු නැමැත්තා මන්නාරමට පැමිණි එම අණබෙරයට පැමිණි ‍අනෙකුත් සටන් කරුවන් 16 දෙනෙකු සමඟ සටන් කොට ජය ලබා ගත් බවත් ඉන් පසු ඔහු මහා සම්මත මනු රජතුමා ලෙස මෙරට රජ වූ බවත් වර්ගපූර්ණිකාවවේ[5] සඳහන් වේ.

එසේම වැඩවසම් සමාජ ක්‍රමයේ දී අණබෙරයක් ලෙස අත්‍යවශ්‍යයෙන්ම භාවිත වූ දවුල් වාදනය සන්නිවේදන මාධ්‍යයක් ‍වශයෙන් පිළිගැනෙයි. දවුල වාදනයේදී තියුණු හඬ විහිදෙන පැත්තට කඩිප්පුව උපයෝගී කර ගැනේ. ගැඹුරු ලෙස හඬ විහිදෙන පැත්ත අතින් වාදනය කෙරේ. මහනුවර දළදා පෙ‍රහැරේ උඩරට දවුල් වාදනයට විශේෂ තැනක් හිමි වේ.

දවුල් පද කිහිපයක් පහත දැක්වේ

  • ජෙන්ගත්, ජෙන්ගත්, ජෙං ජෙං තා
  • කුකුඳ ගතිත ගත තරිකිට කුංදත් දිරිකිට කුං දත්
  • කිටිතක දොමිකිට ජෙං තක දොමිකිට

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

බාහිර යොමු[සංස්කරණය]

අධෝලිපි[සංස්කරණය]

  1. සපරගමුවේ පැරණි ලියවිලි
  2. ඤාණවිමල,කිරිඇල්ලේ. සපරගමුවේ පැරණි ලියවිලි. නුගේගොඩ:මානව හිතවාදී ලේඛක පර්ශදය,2001
  3. Dawula
  4. කඩිප්පුව, තම්මැට්ටම, දවුල වාදනය කිරීම සඳහා යොදා ගන්නා කෝටුව ‌හෝ වේවැලින් සාදා ගත් උපකරණය'.
  5. වර්ගපූර්ණිකාව නම් යක්ෂ ගෝත්‍රික භාෂාවෙන් ලියැවී ඇති ගෝස්තර ග්‍රන්ථය
"https://si.wikipedia.org/w/index.php?title=දවුල&oldid=414089" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි