තුර්ක්මෙන් ආභරණ

විකිපීඩියා වෙතින්
රන් ආලේප කොට කොර්නේලියන් පාෂාණ සවිකරන ලද තුර්ක්මෙන් වීණාවක්.

තුර්ක්මෙන් ආභරණ යනුවෙන් හැඳින්වෙන්නේ බටහිර සහ මධ්‍යම ආසියාවේ තුර්ක‍්මෙන්වරුන්ට අයත් විවිධ සංස්කෘතීන්හි සම්භවය වූ ආභරණ ප්‍රභේදයකි.[1] මෙම ආභරණ බාහිර අලංකාරය සඳහාම පමණක් නොව අධ්‍යාත්මික හේතූන් මත ද පළඳින ලදී. පුද්ගලයකු පැළඳි ආභරණ ප්‍රමාණය මත ඔහුට සමාජයේ හිමි තත්ත්වය නිරූපණය විය.[2]

ඉතිහාසය[සංස්කරණය]

අර්ධ-සංචාරක ජනතාවක් වූ විවිධ තුර්ක්මෙන් ගෝත්‍ර නිරන්තරයෙන් මැද පෙරදිග ජනාවාස මධ්‍යස්ථානවල වූ ජනයා සමග සම්බන්ධතා ඇති කරගන්නා ලදී.[1] මෙම සම්බන්ධතාවන් තුර්ක්මෙන් ආභරණ නිර්මාණකරුවන් සඳහා බෙහෙවින් වාසිදායක විය. මෙමගින් ආභරණ නිර්මාණකරණය පිළිබඳ නවීන දැනුම තුර්ක්මෙන්වරුන් කරා සංක්‍රමණය විය. තුර්ක්මෙන් ආභරණ එකම ප්‍රභේදයට අයත් ඒවා නොවේ. වෙනස් තුර්ක්මෙන් ගෝත්‍රවල වූ කලා ශිල්පීන්ගේ ආභරණ අතර විවිධ වෙනස්කම් දක්නට ලැබිණි.[3] වටිනා පාෂාණ එබ්බවූ රිදී ආභරණ තුර්ක්මෙන් ආභරණ අතර වඩාත්ම පුළුල් ලෙස නිර්මාණය වූ ආභරණ ප්‍රභේදය ලෙස සැලකේ.[2] තුර්ක්මෙන් සම්ප්‍රදායයන් තුළ විශ්වාස කෙරෙන්නේ වටිනා පාෂාණ මානව සෞඛ්‍යය කෙරෙහි වාසිදායක වන බවයි. එසේම බොහෝ තුර්ක්මෙන් ‍ගෝත්‍රික ජනයා මෙම ආභරණ සතුව මායාමය බලයක් පවතින්නේ යැයි විශ්වාස කරන්නට වූහ.[2] ආභරණවල නිරූපණය කළ දර්ශන ද විවිධත්වයක් පෙන්නුම් කරයි; ඇතැම් ආභරණවල සත්ත්ව රූ සහ මල් මෝස්තර නිරූපණය වූ අතර, ඇතැම් ආභරණවල තුර්ක්මෙන් ජනයාට පූජනීය වූ කඳුවැටිවල දර්ශන හෝ ජ්‍යාමිතික මෝස්තර ඇතුළත් විය.[1] වෙනස් වර්ගවල මැණික් වර්ග භාවිතයෙන් එය පළඳින්නාට විවිධ වූ බලපෑම් එල්ල වන්නට ඇත. කාර්නේලියන් පාෂාණ සහ රිදී බාවිතය මගින් මරණය සහ රෝග වැළැක්වෙන්නේ යැයි විශ්වාස කෙරිණි. නිල් මැණික් පාරිශුද්ධත්වයේ සංකේතයක් ලෙස පැළඳීම සිදු විය.[2][1]

තුර්ක්මෙන් සමාජයේ එක් එක් පුද්ගලයාට හිමිව තිබූ තත්ත්වය එම පුද්ගලයා පළඳින ආභරණ ප්‍රමාණය අනුව වටහා ගත හැකි විය. කලා ඉතිහාසඥ ලයිලා ඩිබා අනුව, තුර්ක්මෙන් ආභරණ නිර්මාණය කොට පැළඳීම තුර්ක්මෙන් සමාජයේ සෑම තරාතිරමකම පුද්ගලයන් විසින් සිදු කළ බවයි. ඛාන්වරුන්ගේ සිට "යැපුම් මට්ටමේ" සැමදෙනාම පැළඳි බව ඇය පවසයි.[3] එසේම සිය දිවියේ මුල්කාලයේ වටිනා පාෂාණවලින් යුත් ආභරණ පැළඳීම තුළින් සිය සරුභාවය ඉහළ නැංවෙන බවට තරුණ කාන්තාවන් අතර විශ්වාසයක් ද විය. දරු උපතකින් පසුව, වයස්ගත වීමත් සමග කාන්තාවන් පළඳින ආභරණ ප්‍රමාණය ක්‍රමයෙන් අඩු වන්නට විය.[1] පළඳින්නාගේ ආභරණයේ ඇති විලාසිතාව අනුව වස්ත්‍ර ද එයට උචිත මෝස්තරවලින් යුක්තව නිර්මාණය කරන ලදී.[2]

තුර්ක්මෙන් ආභරණ කර්මාන්තය වර්තමානයේ පවා දක්නට ලැබේ.[2] වටිනා ලෝහ සහ මැණික් වර්ග සඳහා වියදම අධික නිසා ඇතැම් තුර්ක්මෙන් ආභරණ නිර්මාණකරුවෝ මැණික් වෙනුවට වීදුරු පබළු ආදේශයක් ලෙස යොදාගනිති.[1]

ගැලරිය[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. 1.0 1.1 1.2 1.3 1.4 1.5 Art, Author: Department of Islamic. "Turkmen Jewelry | Essay | Heilbrunn Timeline of Art History | The Metropolitan Museum of Art". The Met’s Heilbrunn Timeline of Art History. සම්ප්‍රවේශය 2017-11-15. {{cite web}}: |first= has generic name (help)
  2. 2.0 2.1 2.2 2.3 2.4 2.5 "Welcome". www.turkmens.com. සම්ප්‍රවේශය 2017-11-15.
  3. 3.0 3.1 Makarechi, Kia (2012-01-05). "Layla Diba's New Book Uncovers A World Of Treasure In Turkmen Jewelry". Huffington Post (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2017-11-15.
"https://si.wikipedia.org/w/index.php?title=තුර්ක්මෙන්_ආභරණ&oldid=411595" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි