ආභරණ

විකිපීඩියා වෙතින්

මැණික්, වටිනා ලෝහ හෝ වෙනත් අමුද්‍රව්‍යන්ගෙන් නිර්මාණය කරන්නාවූ මාළ, මුදු, වළලූ ආදී පුද්ගලික සැරසිලි ආභරණ යනුවෙන් හැඳින්වේ.

ආදි කාලයේ ආභරණ යොදාගනු ලැබූයේ ධනවත් භාවය නිරූපනය කිරීම, ගබඩා කිරීම, රෙදි එකට ඇමිණීම වැනි ප‍්‍රායෝගික කාරණාවන් සඳහා වන අතර වර්තමානයේ එය හුදෙක්ම භාවිතාවන්නේ සැරසිල්ලක් ලෙසින් පමණකි. මුල් කාලීන ආභරණ ඇටකටු, සත්ව දත්, බෙලිකටු, ලී, කැටයම් කරන ලද ගල් වැනි ස්වභාවික අමුද්‍රව්‍ය වලින් නිර්මාණය කරනු ලැබිණි. බොහෝවිට ඉහල සමාජ තත්වයක් ඇති පිරිස් සිය තත්වය නිරූපනය කිරීම සඳහා ආභරණ යොදාගත් අතර ඔවුන් මියගියවිට ඔවුන් පැළඳි ආභරණද ඔවුන් සමග මිහිදන් කෙරිනි.

සෑම ශරීර අංගයක්ම පාහේ සැරසීම සඳහා කොණ්ඩා කටුවේ සිට පා මුදුව දක්වා විවිධාකාරයේ ආභරණ නිර්මාණය වී ඇත. ඉහල ගුණාත්මකභාවයකින් යුත් ආභරණ මැණික් හා වෙනත් වටිනා ගල් වර්ග යොදා නිර්මාණය කරනු ලබන අතර දැන් දැන් අමුද්‍රව්‍ය වටිනාකමට වඩා කලාත්මක ගුණය මත පිහිටා වටිනාකම තීරණය වන කලාත්මක ආභරණ සඳහා විශාල ඉල්ලූමක් ඇතිවෙමින් පවතී. මීට අමතරව එක් එක් ඇඳුමට ගැලපෙන ලෙස පැළඳිය හැකි වටිනාකමින් අඩු අමුද්‍රව්‍ය යොදා තනනු ලබන එමෙන්ම මහා පරිමාණයෙන් නිපදවනු ලබන ආභරණද පවතී. නව ආභරණ නිර්මාණයන් අතර මූලික ලෝහ, කැඩුනු ගල් කැබලිවල සිට වටිනා ලෝහ සහ මැණික් දක්වා ඕනෑම දෙයක් යොදා නිර්මාණය කරනු ලබන ආභරණ වර්ග බිහිවී ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=ආභරණ&oldid=465093" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි