ඡායාරූපය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
Le Gras හි කවුළුවෙන් පෙනෙන දර්ශනය. (1826) , Nicephore Niepce. මෙය පොදුවේ ප්‍රථම සාර්ථක ස්ථිර ඡායාරූප ලෙස සැලකේ.

ඡායාරූපයක් යනු ආලෝක සංවේදක පෘෂ්ටයක් මත පතනය වන ආලෝකය මඟින් නිර්මාණය වන ප්‍රතිබිම්භයක් වන අතර සාමාන්‍යයෙන් ආලෝක සංවේදක පෘෂ්ටය වනුයේ ඡායාරූප පටලයක් හෝ CCD හෝ CMOS චිපයක් වැනි විද්‍යුත් ප්‍රතිබිම්භ නිර්මාපකයකි. ඡායාරූප බහුතරයක් දර්ශනයක දෘශ්‍ය ආලෝක තරංග ආයාමයන් කාචයක් භාවිතයෙන් මානව ඇසට තේරුම් ගත හැකි ආකාරයට ප්‍රතිනිර්මාණය කෙරෙන කැමරා මඟින් නිර්මාණය කළ ඒවා වේ. ඡායාරූප නිර්මාණය කිරීමේ ක්‍රියාවලිය ඡායාරූපකරණය නම් වේ.

ඉතිහාසය[සංස්කරණය කරන්න]

1826 දී ප්‍රංශ ජාතික නිර්මාණකරුවෙකු වූ ජෝසෆ් නිසෙෆෝ නිප්සේ (Joseph Nicephore Niepce) විසින් නිෂ්පාදනය කරනු ලැබු ප්‍රථම ස්ථිර ඡායාරූපය

ප්‍රථම ස්ථිර ඡායාරූපය නිෂ්පාදනය කරනු ලැබුවේ 1826 දී ප්‍රංශ ජාතික නිර්මාණකරුවෙකු වූ ජෝසෆ් නිසෙෆෝ නිප්සේ (Joseph Nicephore Niepce) විසිනි. ඒ සඳහා ඔහු උදව් කර ගත්තේ 'රිදී හා හුණු මිශ්‍රණයක් ආලෝකයට නිරාවරණය වන විට අඳුරු වනවා' යන ජොහෑන් හෙන්රිච් ස්කල්ට්ස්ගේ (Johann Heinrich Schultz) සොයා ගැනීමය. නිප්සේ හා ලුවිස් ඩෙගුවර් (Louis Daguerre) මෙම ක්‍රියාවලිය පිරිපහදු කරන ලදී. ඩෙගුවර් රිදී අලෝකයෙන් නිරාවරණය කිරීමට පෙර අයඩීන් වාෂ්පයට නිරාවරණය කිරීමෙන් හා ඉන්පසුව ඡායාරූපය ගැනීමෙන් පසු රසදියවලට නිරාවරණය කිරීමෙන් සැගවුණු ඡායාරූපයක් ඇති කර ගත හැකි බව සොයා ගන්නා ලදී. ඉන්පසු එම රූපය ලවණ තටාකයක ගිල්වීමෙන් ස්ථිර රූපයක් ලැබේ. මෙම අදහස මගින් පැරණි ඡායාරූප ක්‍රම යොදා ගත් ඡායාරූප ශිල්පීය ක්‍රමයක් වූ ජනප්‍රිය ඩෙගුවරෝටයිප් ශිල්ප ක්‍රමය බිහි විය.

මෙම ඩෙගුවරෝ ටයිප් ශිල්ප ක්‍රමයේ යම් යම් දෝෂ තිබේ. එයින් වඩාත් සැලකිය යුතු දෝෂ වූයේ නිෂ්පාදනය වන ඡායාරූපයේ කැඩෙන බිඳෙන බව හා එය ධන පමණක් වන ක්‍රියාවලියක් නිසා නැවත මුද්‍රණය කළ නොහැකි වීමයි. නව නිපැයුම්කරුවන් විසින් වඩා ප්‍රායෝගික නව ක්‍රියාවලියක් සොයා කටයුතු සිදු කිරීම ආරම්භ කරන ලදී. ඇල්බියුමන් කඩදාසිය මත නිෂ්පාදිත මුද්‍රණ සමග කොලෝඩියන් මත පදනම් වූ තෙත වීදුරු තහඩු දළ සේයාපට, වඩාත් ප්‍රායෝගික ක්‍රමයක් වූ ජෙලටින් ක්‍රියාවලිය 1871 දී හඳුන්වාදීමෙන් පසුව ද භාවිතයට ගත් ඡායාරූප ක්‍රම ශිල්පයක් බවට පත්ව තිබුණි. ජෙලටින් ක්‍රියාවලියේ ගත් උකහා ගැනීම් වර්තමානය දක්වා ද මූලික කළු සුදු ඡායාරූප ක්‍රියාවලියේ ඉතිරිව ඇත. මූලික වශයෙන් එය වෙනස් වී ඇත්තේ පටල ද්‍රව්‍යයෙන්, මුල් වීදුරුවෙන් හා නම්‍යශීලී පටල වර්ග වලිනි.

වර්ණ ඡායාරූප සඳහා ද කළු සුදු ඡායාරූප මෙන් පැරණි ඉතිහාසයක් හිමි වේ. එහි ඉතිහාසය 1842 සිට ඇන්ත්‍රොටයිප් සමග හා 1891 සිට ලිප්මන් තහඩු සමග සිදුකළ ජෝන් හර්ෂල් (John Herschel) ගේ පර්යේෂණ දක්වා දිව යයි. වර්ණ ඡායාරූපකරණය 1903 දී ඔටෝ ක්‍රෝම් ලුමියර් හඳුන්වාදීමෙන් අනතුරුව වඩාත් ජනප්‍රිය වේ. පසුව එය කොඩැක්‍රෝම්, ඊෆොක්‍රෝම් හා ඒ හා සමාන ක්‍රියාවලි මගින් ප්‍රතිස්ථාපනය විය. වසර කිහිපයක් තිස්සේ මෙම ක්‍රියාවලීන් විනිවිදතා සඳහා යොදා ගත් නමුත් (ප්‍රක්ෂේපක හා ඒ හා සමාන උපකරණ සඳහා) ක්‍රෝමෙජෙනික් දළ සේයා පටලවල හඳුන්වාදීමත් සමග වර්ණ මුද්‍රණ වඩා ජනප්‍රිය විය. එය C-41 ක්‍රියාවලියෙන් වැඩිපුරම යොදා ගත් පද්ධතිය වේ. චිත්‍රපටි කර්මාන්තයේ අවශ්‍යතා මත විශේෂිත පද්ධති ගණනක් හඳුන්වා දී තිබේ. සමහර විට ඉන් වඩාම ජනප්‍රිය එක වන්නට ඇත්තේ වර්තමානයේ දී දුලබ ටෙක්නිකලර් ක්‍රියාවලිය යි.


ඩිජිටල් ඡායාරූපකරණය[සංස්කරණය කරන්න]

මෙගා පික්සල් 10 Nikon D700 කැමරාවක් සහ Nikon ඡායා පටල පරිලෝකන යන්ත්‍රයක්.
Canon සමාගමේ PowerShot A95 කැමරාවක්.

ඩිජිටල් ඡායාරූපකරණය යනු, විවිධ වස්තූන්ගේ ඩිජිටල් ඡායාරූප ලබා ගැනීම සඳහා ඩිජිටල් තාක්ෂණය භාවිතා කෙරෙන ඡායාරූපකරණ ක්ෂේත්‍රයයි. ඩිජිටල් තාක්ෂණය කරළියට පැමිණීමට පෙර ඡායාරූප ලබා ගැනීම සඳහා ඡායාරූපකරණයේ දී ඡායාරූප පටල භාවිතා වූ අතර, ඒවායේ සටහන් වූ ඡායාරූප දෘශ්‍ය තත්ත්වයට පත් කිරීම සඳහා ඒවා ඡායාරූප සැකසුම් ක්‍රියාවලියකට භාජනය කළ යුතු වේ. නමුත් ඩිජිටල් ඡායාරූප ඩිජිටල් සහ පරිගණකමය ක්‍රමවේද භාවිතයෙන් රසායනික ක්‍රියාවලීන්ගෙන් තොරව ප්‍රදර්ශනය කිරීම, ගබඩා කිරීම, වෙනස්කම් සිදු කිරීම, විකාශනය කිරීම, මුද්‍රණය කිරීම සහ ලේඛනගත කිරීම සිදු කළ හැක.

මෙගා පික්සල් 10 Nikon D700 කැමරාවක් සහ Nikon ඡායා පටල පරිලෝකන යන්ත්‍රයක්.

ඩිජිටල් ඡායාරූපකරණය එක්තරා ආකාරයක ඩිජිටල් රූප නිර්මාණ ක්‍රමයක් වෙයි. ඩිජිටල් රූප ඡායාරූපමය නොවන උපාංග භාවිතයෙන් ද නිර්මාණය කළ හැක. මෙවන් උපාංග අතරට රේඩියෝ දුරේක්ෂ සහ ටොමොග්‍රැෆික පරිගණක පරිලෝකන අයත් වේ. සාමාන්‍ය ඡායාරූප පරිලෝකනය මගින් ද ඩිජිටල් රූප නිර්මාණය කරගත හැක.

සංරක්ෂණය[සංස්කරණය කරන්න]

කඩදාසි ලිපිගොනු[සංස්කරණය කරන්න]

අම්ල රහිත කඩදාසියෙන් තැනූ ලිපිගොනුවක් තුල එක් ඡායාරූපය බැගින් අඩංගුකොට තැම්පත් කොට තැබීම නිසි ඡායාරූප ගබඩාකිරීමේ ක‍්‍රමවේදය වෙයි. ගුණාත්මකව පහල අමුද්‍රව්‍ය යොදාගනිමින් හෝ වැඩි වැඩියෙන් අම්ල නිර්මාණය කිරීමට හේතුවන ආසක්ත ද්‍රව්‍ය යොදාගනිමින් නංවනු ලැබූ ඡායාරූප ගබඩාකිරීමේදී මෙම ක‍්‍රමය විශේෂයෙන්ම නිර්දේශ කරනු ලබයි. අඟල් 8 × 10 ප‍්‍රමාණයේ හෝ ඊට කුඩා ඡායාරූප අඩංගු ලිපිගොනු ඒවා ගබඩා කිරීම සඳහා සකසන ලද පෙට්ටිවල සිරස් අතට බහා ගබඩා කර තබනු ලබන අතර හඳුනාගැනීමේ පහසුව තකා සෑම ලිපිගොනුවකම අදාල තොරතුරු සටහන් කරනු ලබයි. ඝනැති ලිපිගොනු පෙට්ටිය තුල ඕනෑවට නඩා තදින් හෝ විශාල පෙට්ටියක් තුල ලිපිගොනු කිහිපයක් පමණක් ලිහිල්ව ගබඩා කිරීම නොකොට පෙට්ටියේ ප‍්‍රමාණයට සරිලන ඡායාරූප ප‍්‍රමාණයක් ගබඩා කිරීමෙන් ඡායාරූප කඩතොලූවීම හෝ නැමීම වලක්වාගත හැක.

පොලියෙස්ටර් ප‍්‍රාවර[සංස්කරණය කරන්න]

ඡායාරූප සංරක්‍ෂණයේදී යොදාගනු ලබන වඩාත් සුරක්‍ෂිත ක‍්‍රමය වන්නේ ප්ලාස්ටික් ආවරණ තුල ගබඩා කිරීමයි. එයට හේතුව පොලියෙස්ටර් කිසිදු හානිකර රසානිකයන් උත්පාදනය නොකිරීම සහ ඡායාරූපය විසින් ජනනය කරන අම්ල උරාගැනීමේ හැකියාවක් එයට නොමැති වීමයි. එමෙන්ම ඡායාරූපය සහ වායුගෝලය එකිනෙක ගැටීම අවම කර ආර්ද්‍රතාවය සහ පරිසර දූෂණය වැනි දේ වලින්ද ඡායාරූපය ආරක්‍ෂා කිරීමේ හැකියාව එය සතුය.

ආර්ද්‍රතාවය සහ උෂ්ණත්වය නිතර වෙනස්වන පරිසරයන්හි ප්ලාස්ටික් යොදාගෙන ගබඩා කළහොත් ඡායාරූපය ප්ලාස්ටික් මත ඇලීමේ අවදානමක් පවතී. පොලියෙස්ටර් තුල තැම්පත් කළ ඡායාරූප පෙට්ටියක් තුල සිරස් අතට ගබඩා කළ නොහැක. එයට හේතුව ඒවා ලිස්සාගොස් පෙට්ටිය තුල පෙරලීමට ඉඩ තිබීමයි. එමෙන්ම ප්ලාස්ටික් ආවරණය තුල ඡායාරූපයේ විස්තර ලිවීමේ හැකියාවක්ද නොමැත. ඒ අනුව පෙට්ටිය තුල තිරස් අතට ගබඩා කිරීම හෝ ඒවා එකට එක්කර පොත් බඳින ආකාරයට බැඳීම කළ යුතුය. ඡායාරූප තිරස් අතට පෙට්ටියක ගබඩා කිරීම ඒවා පරිශීලනයේදී අපහසුතාවයන් ඇති කරයි. ඡායාරූප පොතක් මෙන් එකට බැඳීමේ අවාසිය වන්නේ එවිට ඡායාරූපයේ දෙපැත්තම එක හා සමාන ආකාරයකට නොපැවතීම හේතුකොටගෙන බැම්ම ඇති පැත්තට වරුද්ධ පැත්ත නැමීමට හෝ කඩතොලූවීමට ඉඩකඩ තිබීමයි.

ප්ලාස්ටික් පති‍්‍රකා තුලට ඡායාරූපය ඇතුල් කිරීමේදී ඡායාරූප සීරීම වැලැක්වීම සඳහා ප්ලාස්ටික් මතුපිට ඝර්ෂණය අවම වන පරිද්දෙන් නිර්මාණය කළයුතු වෙයි. අවාසනාවකට ප්ලාස්ටික්වල ඇති ලිස්සනසුලූ බව දූවිලි සහ වෙනත් ක්‍ෂුද්‍ර අංශු ආකර්ෂණය කරගන්නා ස්ථිතික විද්‍යුතය නිර්මාණය කරයි. මෙසේ ඇදී එන දූවිලි හා අංශු හේතුකොටගෙන ඡායාරූපය සීරීමට ලක්විය හැක. මේවා ප්ලාස්ටික් ආවරනය තුලට ඇතුල්වුවහොත් ඡායාරූපයේ ඇලෙනසුලූ බව හේතුවෙන් තවදුරටත් ඡායාරූපට ඇලී එයට හානිවිය හැක. මේවායින් ඡායාරූපවලට දීර්ඝකාලීනව සිදුවිය හැකි හානිය පිලිබඳව මෙතෙක් පරීක්‍ෂණ සිදුකෙරී නොමැත. එමෙන්ම ප්ලාස්ටික් මතුපිට ඇතිවිය හැකි රැලිගැසීම්, වකගැසීම් ආදිය හේතුවෙන් ඡායාරූපය මත ඇති තෛලෝදයට හානි විය හැක.

පරිහරනය සහ සැලකිල්ල[සංස්කරණය කරන්න]

ඡායාරූප නැරඹීමේදී වඩාත් සුදුසු වන්නේ ඒවා මේසයක් මත අතුරා නැරඹීමයි. ඒවායේ කොනකින් අල්ලා එසවීම හෝ දෑතින් අල්ලා ඇස් මට්ටමින් නිරීක්‍ෂණය කිරීම නොකල යුතුය. ඉතා සුළු වශයෙන් හෝ ඡායාරූපයක් නැවෙන සෑම අවස්ථාවකදීම එය මතුපිට ඇති තෛලෝදකය බිඳී යා හැක. ප්ලාස්ටික් ආවරණයක් තුල පවතින ඡායාරූපයක් කුමන ආකාරයකින් භාවිතා කළද හානියක් වන්නේ නැතැයි සමහරු කල්පනා කරති. ලිපිගොනුවත් තුල පවතිනතාක් ඡායාරූපයක් ස්පර්ෂකිරීමේ අවශ්‍යතාවයක් මතු නොවේ. ඡායාරූපය සහිත ලිපිගොනුව පෙට්ටියෙන් එලියට ගෙන මේසයක් මත තබා අනතුරුව ගොනුව විවෘත කිරීම කළයුතුය. කිසියම් හේතුවක් මත නිරීක්‍ෂකයාට සැබෑ ඡායාරූපය පරිහරනය කිරීමට අවශ්‍ය වන අවස්ථාවකදී ඔහු හෝ ඇය අත්වැසුම් භාවිතා කිරීම මඟින් අත්වල ඇති තෙල් සහ දූවිලි ඡායාරූපයේ තැවරීම වලකාගත හැක.

"https://si.wikipedia.org/w/index.php?title=ඡායාරූපය&oldid=359535" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි