චාලි චැප්ලින්

විකිපීඩියා වෙතින්


ශ්‍රීමත්

චාල්ස් ස්පෙන්සර් චැප්ලින්

KBE
චැප්ලින්, 1920 දශකයේ මුල් භාගයේදි
උපත
චාල්ස් ස්පෙන්සර් චැප්ලින්

1889 අප්‍රේල් 16 දින
ඊස්ට් ස්ට්‍රීට්වැල්වර්ත්, ලන්ඩන්, එංගලන්තය
මියගිය දිනය1977 දෙසැම්බර් 25 දින (වයස 88)
ජාතිකත්වයබ්‍රිතාන්‍ය ජාතික
වෙනත් නම්චාලි
රැකියාවහාස්‍ය උත්පාදක රංගනය,
චිත්‍රපට නිශ්පාදනය,
චිත්‍රපට අධ්‍යක්ෂණය හා සංස්කරණය,
තිර රචනය,
සංගීත සං‍යෝජනය
සක්‍රීය වසර1899–1976
වෙබ් අඩවියcharliechaplin.com
අත්සන

ඉංග්‍රීසි ජාතික හාස්‍ය උත්පාදක නලුවකු, චිත්‍රපටකරුවකු සහ රචකයකුද වන ශ්‍රීමත් චාල්ස් ස්පෙන්සර් 'චාලි' චැප්ලින් KBE (1889 අප්‍රේල් 16 – 1977 දෙසැම්බර්) නිහඩ චිත්‍රපට (එනම් සයිලන්ට් මූවීස් ) තුලින් තම කීර්තිය ලගා කර ගත්තෙකි. චැප්ලින් චිත්‍රපට කර්මාන්ත ඉතිහසයේ ඉතා සුවිශේෂී පුද්ගලයකු ලෙස සලකනු ලබන අතර ද ට්‍රෑම්ප් නම් රූප කථනය තුලින් ඔහු ලෝක ප්‍රසිද්ධ සිනමා ප්‍රතිමූර්තියක් බවට පත්විය. ළමා අවදියේදිම (එවකට වික්ටෝරියනු රජ සමයේදී) රංගනයට අවතීරනය වූ මොහු 88 වියේදි මරනයට පත්වීමට වසරකට පෙරද රංගන කටයුතු වල නිරත විය. වසර 75කට අධික වූ චැප්ලින්ගේ රංගන දිවිය අධික ප්‍රශංසාවට පාත්‍ර වූද මතභේදයන්ට භාජනය වූද එකක් විය.

චැප්ලින්ගේ ලමා කාලය අධික දරිද්‍රතාවයෙන්ද, දුක්කම්කටොලු වලින්ද පිරි එකක් විය. පියාගේ නික්මයාමත්, මව මුදල් අගහිගකම් වලින් පෙලීමත් නිසා, නවවැනි විය පිරීමටත් පෙර දෙවරක්ම වර්ක්හවුස් වෙත යාමට මොහුට සිදුවිය. ඔහුට අවුරුදු 14ක් වන විට මව මානසික රෝගයකින් පෙලෙන්නට විය. ලාබාල වියේදීම සංගීත ශාලාවලට සංචාරය කරමින්, ඉදිරිපත් කිරීම් කරමින් ඔහු තම රංගන දිවිය අරඹි අතර පසුකාලීනව වේදිකා නලුවෙකු සහ හාස්‍යෝත්පාදක නලුවෙකු ලෙස රංගන කටයුතු වල නිරතවිය. 19 වියේදි එවකට සුප්‍රසිද්ධ සමාගමක් වූ ෆ්‍රෙඩ් කානෝ සමාගම සමඟ ගිවිසුම් අත්සන් කිරීමෙන් ඇමරිකා එක්සත් ජනපදයට යාමට චැප්ලින්ට අවස්ථාව සැලසින. එහිදී ඔහු සිනමා රංගනය පිලිබඳ පුහුණුවක් ලබූ අතර 1914 වසරේදී කීස්ටෝන් ස්ටුඩියෝහීදී මේකින්ග් අ ලිවින්ග් නම් චිත්‍රපටය වෙනුවෙනන් තම ප්‍රථම දර්ශනයට පෙනී සිටිමට අවස්ථාව උදාවිය. ඔහු විසින් පනපෙවූ 'ද ට්‍රෑම්ප්' නම් චරිතය කෙටි කාලයක් ඇතුලත ඉතා විශාල රසික සමූහයක් විසින් වැලඳ ගන්නා ලදී. වැඩිකලක් ගතවීමට මත්තෙන් චිත්‍රපට අධ්‍යක්ෂණයට එලඹි චැප්ලින්, 1918 වර්ශය වනවිට ලොව ජනප්‍රියම පුද්ගලයකු බවට පත්වසිටි අතර Essanay, Mutual, සහ First National යන සමාගම් හා සම්බන්ධ වීමත් සමඟ ඔහුට තම කෞශල්‍යයන් ඔපමට්ටම් කරගැනීමට හැකිවිණි.

1919 වසරේදී සම-ස්ථාපනය කරන ලද යුනයිටඩ් ආටිස්ට් සමාගම මඟින් ඔහු තම චිත්‍රපට පිලිබඳ සම්පූර්ණ පාලනය ලබාගන්නා ලදී. ඔහුගේ පළමු ෆීචර් ලෙන්ත් සිනමා පටය වනුයේ 1921 දී තිරගත වූ කිඩ් චිත්‍රපටයයි. ඉන් අනතුරුව වුමන් ඔෆ් පැරිස්(1923), ද ගෝල්ඩ් රශ්(1925), ද සර්කස් (1928) වැනි නිර්මාණ බිහිවිය. සිටි ලයිට්ස්, මොඩර්න් ටයිම්ස් වැනි දෙබස් රහිත චිත්‍රපට බිහිකලේ, කථන චිත්‍රපට (1930 වසරේදී) වලට යොමුවීම ප්‍රතික්ෂේප කරමිනි. චැප්ලින්ගේ පසු කලීනව දේශපලනික තේමා යටතේ නිර්මාණකරණයේ යෙදුනු අතර ද ග්‍රේට් ඩික්ටේටර් නමින් කල නිර්මාණ ඇඩොල්ෆ් හිට්ලර් අලලා උපහාසාත්මකව නිර්මාණය වූවකි. 1940 දශකය චැප්ලින්ගේ දිවියේ මතභේදාත්මක කාලවකවානුවක් වූ අතර ජනප්‍රියත්වද සීඝ්‍රයෙන් ගිලිහී යන්නට විය. ඔහුට කොමියුනිස්ට්වාදියෙකැයි චෝදනා එල්ලවූ අතර පීතෲත්වය සම්බන්ධ නඩු සහ ලාබාල කාන්තා සම්බන්ධතා හේතුවෙන් විවේචනයන්ට මුහුණපෑමටද සිදුවිය. FBI ආයතනයෙන් සිදුකල පරීක්ෂණයකින් අනතුරුව චැප්ලින්හට එක්සත් ජනපදයෙන් පිටවීමයාමටැයි බලපෑම් එල්ල වූ නිසා ඇමරිකාවෙන් පිටවී ස්විට්සර්ලන්තයේ පදිංචි විය. ඔහුගේ පසුකාලීන නිර්මාණ වන Monsieur Verdoux (1947), 'ලයිම්ලයිට්' (1952), අ කින්ග් ඉන් ද නිව්යෝක්, කවුන්ටස් ෆ්‍රොම් හොන්ග් කොන්ග් (1967) වැනි චිත්‍රපට වලින් 'ට්‍රෑම්ප්' ඉවත්කර තිබුණා.

තම සිනමා ග්‍රන්ත තිර පිටපත් ලිවීම, අධ්‍යක්ෂණය, නිශ්පාදනය, සංස්කරණය, රංගන කටයුතු සහ සංගීත සනන්යෝජනය සිදු වූයේ චැප්ලින් අතිනි. ඔහු සිය ක්ෂේත්‍රයේ පරිපූර්ණත්වයට පැමිණි අයෙක් වූ අතර තමා සතු වූ මූල්‍යමය ස්ථාවරත්වය නිසා සිනමා නිශ්පාදන කටයුතු වෙනුවෙන් වසර ගන්නාවක් වුවද ගතකරීමේ හැකියාව ඔහු සතු විය. ඔහුගේ සිනමාපට දැඩි හා රළු රඟපෑම් ඇති විනෝදජනක (Slapstick) චරිතද, අනුකම්පා උපදවන සුලු (Pathos) චරිත සහිත රඟපෑම් වලින් යුක්ත විය.1972දී ඔහුගේ නිර්මාණ කාර්යයන් අගය කරනු වස් ගෞරවනීය ඇකැඩමි සම්මානයෙන් පිදුම් ලබන ලදී. ද ගෝල්ඩ් රශ්, මොඩර්න් ටයිම්ස්, සිටි ලයිට්ස්, ද ග්‍රේට් ඩික්ටේටර් වැනි නිර්මාණ, සිනමා ක්ෂේත්‍රයේ ඉතා විශිෂ්ට ඝණයේ ඒවා ලෙස අදටත් සැලකේ.

චරිතාපදානය[සංස්කරණය]

ලමා කාලය[සංස්කරණය]

පවුල් පසුබිම සහ දුෂ්කරතා[සංස්කරණය]

චර්ල්ස් ස්පෙන්සර් චැප්ලින් 1889දී හැනා චැප්ලින් හා චාල්ස් චැප්ලින් (ජ්‍යෙෂ්ඨ) ට දාව, දකුණු ලන්ඩනයේ, ඊස්ට් ස්ට්‍රීට් වැල්වර්ත් හීදී උපත ලද බව පැවසේ. මොහුගේ ලමා කාලය අධික දුෂ්කරතා වලින් පිරීගිය එකක් විය.කුඩා කලම පියා මොවුන් හැරදා යාමත් මවට නිශ්චිත රැකියාවක් නොමති වීමත් නිසා වර්ක් හවුස් වෙත යාමට චැප්ලින්ට සිදුවිය.

මව-හැනා චැප්ලින්

ඔහුට අවුරුදු 14ක් වන විට මව මනසික රෝගයකින් පෙලෙන්නට වූ බැවින් කේන් හිල් මානසික රෝහලේ දෙමසක් නේවාසිකව ප්‍රතිකාර ලබන්නට විය. එම කාලය තුල චැප්ලින් හා ඔහුගේ සහෝදරයා වන සිඩ්නි චැප්ලින් පියාගේ භාරකාරත්වය යටතට පත්වන අතර එහිදී ඔවුනට නිසි රැකවරණයක් නොලැබෙන්නේ පියා ඒ වනවිට මත්පැනට යොමුවී සිටි බැවිනි. ඉන් වසර දෙකකට පමණ පසු චැප්ලින්ගේ පියා මරණයට පත්වන අතර මව වරින් වර රෝගාතුර වන්නට විය. සහෝදරයා වන සිඩ්නි නාවික හමුදාවට එක් වීමත් සමග මව රැකබලාගනිමින් චැප්ලින් දුක්ඛිත දිවියක් ගතකලේය. 1905 වසරේදී හැනා චැප්ලින් බලවත් ලෙස රෝගාතුර වන අතර, නැවතත් කේන් හිල් සාත්තු නිවාසයේ නතර කරනු ලබීය. මෙවර ඇගේ රෝගය සුවකල නොහැකි වූ අතර යතාර්ථයට මුහුනදීම හැර කලහැකි අන් කිසිවක් චැප්ලින්ට නොවීය. චැප්ලින් පසුකාලීනව ඒ පිලිබඳ සඳහන් කරන්නේ "අසරන අම්මාගේ දෛවය භාරගැනීම හැර අපට කලහැකි දෙයක් නොවීය" යනුවෙනි. 1928 දී මියයන තෙක්ම එහි රැඳී සිටීමට හැනා චැප්ලින්ට සිදුවිය.

තරුණ අවධිය[සංස්කරණය]

ඉතා ලාබාල අවධියේදීම රංගනය කටයුතු වලට පිවිසීමට චැප්ලින්ට අවස්ථාව උදාවිය; එනම් වයස අවුරුදු 05දී පමන. අසනීපයෙන් සිටියද මවගේ අභාෂය සහ ධෛර්යය ඔහුට තම රංගන කටයුතු වලට ආශිර්වාදයක් විය. පසු කලීනව චැප්ලින් මව පිලිබද මෙසේ ප්‍රකාශ කර තිබුනා, "ඇය මාහට කාවැද්දුවා මට දක්ශතාවයක් තිබෙන බව". තම පියාගේ සම්බන්දතා මත ඔහුට එකල එන්ගලන්තයේ ප්‍රසිද්ද නැටුම් කන්ඩායමකට සම්බන්දව සංගීත ශාලාවල සංචාරය කිරීමට අවස්තාව උදාවිය. වයස 13 වනවිට පාසල් යාම අතැරදමා තම ජීවනාභිලාෂය මුදුන් පත්කර ගන්නට මහන්සි විය. ඒ අනුව විවිධ පුද්ගලයන් සහ සමාගම් සමඟ එක්වෙමින් රංගන කටයුතු වල නිරත විය. චාර්ල්ස් ෆොර්මන්ගේ ශර්ලොක් හෝම්ස්, Duke of York's Theatre ඉන් කිහිපයකි.

හාස්‍ය උත්පාදක නිර්මාණ[සංස්කරණය]

1906 දී චැප්ලින් juvenile act Casey's Circus සමඟ සම්බන්ධවී කටයුතු කර, අවුරුදු 18ක් වන විට දක්ෂ හාස්‍ය රංගන ශිල්පියෙක් ලෙස නමක් දිනාගන්නට සමත් විය. 1908 දී තම සහෝදරයාගේ මාර්ගයෙන් ෆ්‍රෙඩ් කානෝ ගේ සුප්‍රසිද්ධ හාස්‍ය රංගන සමාගමට සම්බන්ද විය. මෙහිදී චැප්ලින්ගේ රඟපෑම් ඉතා සාර්ථක වීය. ඒ සමඟ කානෝ විසින් ඔහුව උතුරු ඇමරිකනු සංචාරකයකට තෝරාගන්නා ලදී. එම සංචාරයේදී රසිකයින් විසින් චැප්ලින්ගේ රඟපෑම් ආදරයෙන් වැළඳගන්නා ලදී. මාස 21ක් පැවති සංචාරයෙන් පසු 1912 ජූනි මාසයේදී එංගලන්තයට පැමිණි අතර නැවතත් ඔක්තෝම්බර් මාසයේදී සංචාරයක් සඳහා වරම් ලැබුණි.

සිනමාවට අවතීර්ණ වීම[සංස්කරණය]

ඇමරිකනු සංචාරයෙන් පසු නොබෝ කලකින් චැප්ලින් 'නිව්යෝක් මෝෂන් පික්චර්' සමාගම සමඟ එකතු විය. ඒ සමඟ 'කීස්ටෝන් ස්ටුඩියෝහී' වැඩ ආරම්භ කිරීමට 1913 දී ලොස් ඇන්ජලීස් වෙත පැමිණීමට ඔහුට සිදුවිය. චිත්‍රපට සහ රූපගතකිරීම් යන ක්ෂේත්‍ර වලට චැප්ලින් තවමත් නවකයෙක් වූ නිසා ඒ පිලිබද අධ්‍යයනය කිරීමෙන් පසුව රංගනයට යොමුවිය. ඒ අනුව, 1914 පෙබරවාරි 02 වන දින තිරගතවූ 'මේකින්ග් අ ලිවින්ග්' චිත්‍රපටය තුලින් චැප්ලින්ගේ ප්‍රථම සිනමාගමනය සිදුවිය. තම චිත්‍රපට රඟපෑම සහ රූපය පිලිබද ඔහු කොහෙත්ම තෘප්තිමත් නොවීය. ඒ අනුව තම දෙවන ඉදිරිපත් කිරීමේදී තම පෙනුම වෙනස් කරගනීමට කටයුතු කලේය.

මේකින්ග් අ ලිවින්ග් (1914)

ඒ පිලිබඳ චැප්ලින් මෙසේ ප්‍රකාශ කළේය:

"මට සියලු දේම පරස්පර විදිහට, වෙනස් ආකාරයෙන් සිදුකරන්නට උවමනා වුණා. බැගී කලිසම, හිරවුණ කෝට් එක, කුඩා තොප්පිය සහ ව්ශාල සපත්තු කුට්ටම.. මගේ මුහුණේ භාව ප්‍රකාශනයන් නොසඟවා වියපත් බවක් ආරෝපණ කරගැනීම සදහා, මම කුඩා උඩු රැවුලකුත්ද එක් කරගත්තා. මට චරිතය ගැන කිසිම තේරුමක් නැහැ, නමුත් මම සූදානම් වූවායින් පසු ඇඳුම සහ 'මේකප්' මට අවශ්‍ය චරිතයට මාව රැගෙන යනවා. මම ඔහුව (චරිතය) හදුනාගන්නවා, වේදිකාවට පිවිසෙන විට ඔහුට සම්පූර්ණයෙන්ම ජීවය ලැබී අවසාන‍යි."

චැප්ලින් විසින් අධ්‍යක්ෂණය කල පළමු චිත්‍රපටිය වන්නේ 'කෝට් ඉන් ද රේන්' සිනමාපටයයි. එය අතිසාර්ථක ලෙස තිරගත වූ නිර්මාණයක් විය. මෙහි සාර්ථකත්වය හේතුවෙන් කීස්ටෝන්හී නිෂ්පදනය වූ බොහොමයක් නිර්මාණ අධ්‍යක්ෂණය සිදුකරන ලද්දේ චැප්ලින් අතිනි. එය තම වෘත්තීය දිවියේ ස්වර්ණමය කාල්පරිච්ඡේදයක් ලෙස පසු කලීනව ඔහු මතක් කර සිටියේය.

ෆස්ට් නැෂනල් (1918–1922)[සංස්කරණය]

1918 වර්ෂයේ අප්‍රියෙල් මාසයේදී විකාශනය ඇරඹි A Dog's life චිත්‍රපටය ඔහුගේ අලුත් කොන්ත්‍රාතුවක් යටතේ වූ ප්‍රථම චිත්‍රපටය විය. එහිදී චැප්ලින් විසින් ඔහුගේ කථාන්දර ගොඩනැගීමෙහිලා තිබූ සැලකිල්ල සහ ඔහුගේ Tramp සඳහා වූ පිළියම "පියරෝට් ආකාරයේ චරිතයකින්" පෙන්වාදෙනු ලැබීය. Louis Delluc විසින් පෙන්වාදෙනු ලබන ආකාරයට මෙමෙ චිත්‍රපටය සිනමාවේ ප්‍රථම කලාත්මක සම්පුර්ණත්වය විදහා දක්වන නිමාවයි. ඉන් පසුව චැප්ලින් තුන්වන ලිබර්ටි සුරැකුම් ව්‍යාපාරය සම්බන්ධව මාසයක කාලයකට ඇමරිකානු එක්සත් ජනපදය බලයාමට නැව් නගින්නේ ප්‍රථම ලෝක යුද්ධ සමයේ මිත්‍රව සිටි රටවල් සඳහා මුදල් රැස් කිරීමේ කටයුතු සඳහායි. චාර්ලි විසින් පාර්ලිමේන්තුවේ මෙම මුදල් රැස් කිරීම සම්බන්ධව කෙටි සම්ප්‍රචරණ චිත්‍රපටයක්ද නිර්මාණය කරන අතර එය 'The Bond' ලෙස නම් කරන ලදි. චාර්ලිගේ මිළඟ චිත්‍රපටය යුද්ධය සම්බන්ධ චිත්‍රපටයක් වූ අතර එය 'Shoulder Arms' නම්විය. මෙහිදී හවුල්කරුවන් යුද්ධය සම්බන්ධව විකට චිත්‍රපටයක් නිර්මාණය කිරීම සම්බන්ධව ඔහුට අනතුරු ඇඟවීම සිදු කල අතර පසුව ඔවුන් විසින්ම "අනතුරු දායක වුවත් නැතත් එම අදහස මා පුදුමයට පත්කලා " යනුවෙන් නැවත ප්‍රකාශයනක් කරනු ලැබීය. ඔහු පුරා මාස 4ක කාලයක් 1918 වර්ෂයේ ඔක්තෝම්බර් මාසයේ නිදහස් වූ විනාඩි 45ක් දිවයන එම චිත්‍රපටයේ රූගතකිරීම් සිදුකල අතර එම චිත්‍රපටය අතිශයින් සාර්ථක චිත්‍රපටයක් විය.

ගිලිහුණු ජනප්‍රියත්වය[සංස්කරණය]

1940 දශකය චැප්ලින්ගේ දිවියේ මතභේදාත්මක කාලවකවානුවක් වූ අතර ජනප්‍රියත්වද සීඝ්‍රයෙන් ගිලිහී යන්නට විය. ද ග්‍රේට් ඩික්ටේටර් නම්‍න් 'ඇඩොල්ෆ් හිට්ලර්' අලලා උපහාසාත්මකව ඔහු කල නිර්මාණය එකල දැඩි ලෙස සාච්ඡාවට භාජනය වූවකි; එසේම මීට දැඩි විවේචනද එල්ල විය. මෙම සිනමා පටය නිර්මානය සදහා චැප්ලින් වසර 3ක පමන කලක් ගතකල අතර චිත්‍රපටය නිකුත් කිරීමට පෙර පුලුල් ප්‍රචාරයක් ලබාදුනි. නිව්යෝර්ක් ටයිම්ස් විචාරකයන් පැවසූයේ 'මෑත කාලයේ වඩාත්ම අපේක්ෂාවෙන් සිටි සිනමාපටය බවයි'. ද ග්‍රේට් ඩික්ටේටර් චිත්‍රපටය හොඳම තිර පිටපත, හොඳම චිත්‍රපටය, හොඳම නලුවා ඇතුලු ඇකඩමි සම්මාන පහකට නිර්දේශ විය.

1943 සිට චැප්ලින් මිය යන තෙක් වසර 18ක් විවාහ වී සිටි වූනා ඔ'නෙලී

1940 දී නඩු විභාග කිහිපයකටම මුහුනදීමට චැප්ලින්ට සිදුවිය. එයින් ඔහුගේ ප්‍රතිරූපයට හානිවූ අතර කාලයද බොහෝ දුරට නාස්තිවිය. 1945 වසරේදී ඔහුට විරුද්ධව පීතෲත්වය සම්බන්ධව නඩු විභාගයක් පැවතුනු අතර, ඉන් පරාජය වීම හේතුවෙන් ජොආන් බැරී නම් කාන්තාවගේ දරුවා වන කැරොල් ඈන්ට වසර 21ක් යන තුරු වන්ධි ගෙවීමට නියම විය.

ඉන් මාස කිහිපයකට අනතුරුව චැප්ලින්, ඇමරිකානු තිරපිටපත් රචකයකු වන ඉයුජීන් ඔ'නෙලී ගේ දියණිය වන, වූනා ඔ'නෙලී සමඟ විවාහ විය. වූනාගේ හමුවීම චැප්ලින් හදුන්වනු ලැබුවේ තම ජීවිතයේ ප්‍රීතිමත්ම සිදුවීම ලෙසිනි. චාලිගේ පුත්‍රයකු වන චාල්ස් (කනිෂ්ඨ), පවසන්නේ වූනා තම පියාට ඉතා භක්තියෙන් සැලකූ බවයි. චැප්ලින් මිය (1977 දෙසැම්බර් 25 දින) යන තෙක් වසර 18ක් වූනා සමඟ සතුටින් ජීවත්වූ අතර මොවුන්ට ගෙරල්ඩයින් ලී, මයිකල් ජෝන්, ජොසැෆීන් හැනා, වික්ටෝරියා, ඉයුජීන් ඇන්තනී, ජේන් සිසිල්, ඇනෙට් එමිලි, ක්‍රිස්ටෝපර් ජේම්ස් නම් දරුවන් අටදෙනෙකු සිටියහ.

සිනමා නිර්මාණ[සංස්කරණය]

තේමාවන් සහ ශෛලීන්[සංස්කරණය]

චැප්ලින් දැඩි හා රළු රඟපෑම් ඇති විනෝදජනක (Slapstick) චරිතද, අනුකම්පා උපදවන සුලු ( Pathos ) ශෛලීන් අනුවද චරිත නිර්මාණ ඉදිරිපත් කිරීමට සමත් විය.

චැප්ලින්ගේ නිහඬ ච්ත්‍රපට තුලින් බොහෝවිට පෙන්නුම් කලේ තමාට එරෙහි වූ ලොවක 'නොනැසී පැවතීමට' ට්‍රෑම්ප් ගන්නා උත්සාහයයි. අධික දරිද්‍රතාවයෙන් පෙලෙන මොහුට බොහෝ අවස්ථාවන්හිදී අන් අයගේ තාඩන පීඩන වලට ලක්වීමට සිදුවේ. නමුත් ට්‍රෑම්ප් සෑමවිටම අනුන්ට උදව් කරමින් කාරුණික දිවියක් ගතකරයි. විචාර මතය නම් 'හුදකලාවෙන් සහ අනාථයෙක් ලෙස ජීවත්වන ට්‍රෑම්ප් අවසානයේ ශුභවාදී දිවියක් ගතකරන අතර ආලෝකය කරා ගමන් කරන බවයි'. ඊසි ස්ට්‍රීට් (1917) තුලින් මත්ද්‍රව්‍ය භාවිතය, ද කිඩ් ච්ත්‍රපටය තුලින් නීත්‍යානුකූල නොවන දරු උපත්, ද ඉමිග්‍රන්ට් (1917) චිත්‍රපටයෙන් සංක්‍රමණයන් පිලිබඳව පෙන්නුම් කිරීම මීට නිදසුන් වේ. චැප්ලින් මෙම මාතෘකා පිලිබද ව්‍යංගය සහ හාස්‍යය මුසුකොට ප්‍රේක්ෂකයාට පනිවිඩයක් ලබාදීමටත් සමාජ කතිකාවතක් ඇතිකිරීමට උත්සාහයක යෙදුනු බව පැවසේ.

චැප්ලින්ගේ ඇතැම් නිර්මාණ ස්වයං චරිතාපදානය ඇසුරෙන් නිමවූ බව පෙනෙන්නට තීබේ. ද කිඩ් චිත්‍රපටයෙන් ලමා කාලයේ විදින්නට වූ දුශ්කරතාද, ලයිම් ලයිට්හී ප්‍රධාන චරිත තම දෙමව්පියන්ගේ චරිතද පෙන්නුම් කරන්‍නට විය. ඔහුගේ බොහහෝමයක් රංගනතල වල ඔහු හැදී වැඩුණු 'කෙනින්ග්ටන්' නගරය නිරූපනයවිය. තවදුරටත් විචාරකයන් පවසන්නේ, මවගේ මානසික තත්වයද ඔහුගේ නිර්මාණ වලට යම් බලපෑමක් කරන්නට ඇතිබවයි.

සංගීත නිර්මාණකරණය[සංස්කරණය]

කුඩාකල සිටම සංගීත නිර්මාණ පිලිබද ආශාව චැප්ලින් තුල තිබිණ. ඒ අනුව ඔහු පියානෝ, වයලීන සහ චෙලෝ වාදනය උගෙන තිබිණි. චිත්‍රපටයක් සාර්ථක වීම සදහා සංගීත නිර්මාණයද බොහෝ සෙයින් වැදගත් බව චැප්ලින් විශ්වාස කලේය. සංගීතය පිලිබඳ විශේෂ හැදෑරීමක් හෝ පුහුනුවක් නොතිබූ නිසා, David Raksin, Raymond Rasch and Eric James වැනි වෘත්තීය සංගීත නිර්මාණකරුවන්ගේ උදව් ලබාගන්නට සිදුවිය. චැප්ලින්ගේ ගීත නිර්මාණ අතර මොඩර්න් ටයිම්ස් චිත්‍රපටය සඳහා කල 'ස්මයිල්' නම් ගීතය, ලයිම් ලයිට් සඳහා තැනූ 'Terry's Theme' ගීතයද, කවුන්ටස් ෆ්‍රොම් හොන්ග් කොන්හී 'This Is My Song' ආදී ගීතවේ. ඒ අතරින් This Is My Song ගීතය එක්සත් රාජධානියේ සහ යුරෝපයේ අනෙකුත් රටවල ගීත දර්ශක වල මුලට පැමිණීමට හැකිවිය. ලයිම් ලයිට් හී, තේමා ගීය වෙනුවෙන් 1972දී ඇකඩමි සම්මානයක්ද හිමිවිය.

සම්මාන සහ ඇගැයීම්[සංස්කරණය]

චැප්ලින් තම ජීවිත කාලය තුල විවිධ සම්මාන වලින් පිදුම් ලබන ලදී; විශේෂයෙන්ම ජීවිතයේ අවසාන කාලයේදී. 1975 වසරේදී නයිට් පදවියෙන් පිදුම් ලැබීය. (Knight Commander of the Most Excellent Order of the British Empire ) 1962 වසරේදී ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයෙන් සහ ඩර්හැම් විශ්ව විද්‍යාලයෙන් මඟින් පිරිනැමූ ආචාර්ය උපාධියෙන් සම්මානට පාත්‍ර විය. 1965 දී Ingmar Bergman හා චැප්ලින් Erasmus ත්‍යාගයෙන් සමව පිදුම් ලදහ. 1971 දී ප්‍රංශ රජය විසින් Commander of the National Order of the Legion of Honour ලෙස පත් කරන ලදී. 1972 දී වැනිස් චිත්‍රපට උළළේදී විශේෂ ගෝල්ඩන් ලයන් සම්මානයට පාත්‍ර විය, එම වසරේදීම Lincoln Center Film Society මඟින් ජීවිත කාලයට වරක් හිමිවන "Lifetime Achievement" සම්මානයද හිමි විය. එම සම්මානය The Chaplin Award නමින් වර්තමානයේ සිනමාවේදීන් ඇගයීමට වාර්ශිකව යොදා ගැනේ. තම දේශපාලනික මතිමතාන්තර හේතුවෙන් අහිමි වූ Hollywood Walk of Fame 1970 දී නැවත ලබාදුණි. ඔහු ඇකඩමි සම්මාන 3 කින් පිදුම් ලැබීය; 1929 දී versatility and genius ද සර්කස්හී රඟපෑම, තිර රචනය, අධ්‍යක්ෂණය හා නිෂ්පාදනය වෙනුවෙන් ගෞරව සම්මානයද, 1972 දී එම ශතකයේ චලන නිර්මාණයන්, කලාවක් බවට පත්කිරීම සඳහා දැරූ අනුපමේය වෙහෙස වෙනුවෙන් දෙවන ගෞරව සම්මානයද, 1973 දී බෙස්ට් ස්කෝර් සම්මානය ලයිම්ල්යිට් වෙනුවෙන් තෙවනුව (Ray Rasch සහ Larry Russell සමව) හිමිවය. ‘ද ග්‍රේට් ඩික්ටේටර්’ චිත්‍රපටය හොඳම තිර පිටපත, හොඳම චිත්‍රපටය, හොඳම නලුවා ඇතුලු ඇකඩමි සම්මාන පහකට නිර්දේශ විය. Monsieur Verdoux හොඳම Original තිර පිටපත වෙනුවෙන් නිර්දේශ විය.

සිනමාකරණය[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]

                                           චැප්ලින් විසින් අධ්‍යක්ෂණය කරන ලද සිනමාපට
සමාගම/ ස්ටුඩියෝව නිර්මාණය කල චිත්‍රපට
Keystone Studios(1914) Twenty Minutes of LoveCaught in the Rain A Busy DayHer Friend the Bandit Mabel's Married Life Laughing Gas (1914 film)The Face on the Bar Room Floor (1914 film)Recreation
Essanay Studios(1915–18) His New Job A Night Out The Champion In the Park A Jitney Elopement The Tramp By the Sea His Regeneration Work A Woman The Bank
Mutual Film Corp(1916–17) The FloorwalkerThe Fireman The Vagabond One A.M. The Count The_Pawnshop Behind the Screen The_Rink
First National(1918–23 A Dogs Life The Bond Shoulder Arms Sunnyside A Days Pleasure The_Professor The_Kid The Idle Class The_Pilgrim Pay_Day
United Artists(1923–52) A Woman of Paris The Gold Rush The_Circus City Lights Modern Times The Great Dictator Monsieur Verdoux Limelight
Later productions A King in New York A Countess from Hong Kong
මේවාද බලන්න Charlie Chaplin filmography The Chaplin Revue The Freak
"https://si.wikipedia.org/w/index.php?title=චාලි_චැප්ලින්&oldid=591992" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි