හෙළ හවුල

විකිපීඩියා වෙතින්
හෙළ හවුල
සංස්ථාපනයජනවාරි 11, 1941; වසර 83 කට පෙර (1941-01-11)
ප්‍රාරම්භකයාකුමාරතුංග මුනිදාස
වෙබ් අඩවියhelahavula.org

හෙළ හවුල යනු හෙළ බස, හෙළ දෙස, හෙළ රැස යන හෙළ තෙ රුවන සුරැක වවා, වඩා නංවාලීම පිණිස ශ්‍රී ලංකාටව් පවත්නා එකම[තහවුරු කර නොමැත] සංවිධානය යි. 1941 ජනවාරි 11 වැනි දින යටත් විජිත හෙළ දිවෙහි ජාතික සංවිධානයක් ලෙස ඇරැඹි හෙළ හවුල, 1992 නම්වර 38 දරන පනත මඟින් හෙළ දිව් මැතිසබයේ ව්‍යවස්ථාපිත ආයතනයක් ලෙස පිළිගැනිණි. 'සුබස' සගනුවත් 'The Helio' සගනුවත් හෙළ හවුලේ පළ කැරුම් ය. මේ වන විට හෙළ හවුල සිය හැත්තෑ හත් වැනි වසර පසු කෙරෙමින් සිටී.

ඇරැඹුම[සංස්කරණය]

මෑත යුගයේ දී හෙළ බසට ඉහළතම මෙහෙවර කළ විද්වතාණන් ලෙස සැලැකුම් ලබන කුමරතුඟු මුනිදසුන් විසින් 1939 ජූනි මස ඇරැඹි ‘සුබස’ සගනුව නිසා රට පුරා සිංහල භාෂාවත්බු සාහිත්‍යයත්දු පිළිබඳ පුබුදුවෙක් ඇති විය. ඒ සමඟ බසට රැසට දෙසට ළැදි තුරුණු පිරිසෙක් ද ඇති වූ හ. ඔවුන් ගණනින් වැඩි වත් ම ඔවුන් ගේ එකතුවක් ඇති කිරීමේ අවශ්‍යතාව බලවත් විය.

ඒ අනුව කුමරතුඟු මුනිදසුන් ගේ නිවෙස වූ පාණදුරේ ගොරකාපොළ ‘හෙවණේ’ දී 1941 ජනවාරි 11 වැනි දින සුබැසියන් ගේ රැස් වීමෙක් පැවැත්විණ. එහි දී සුබැසි එකතුවට නමක් වුවමනා විය. ජයන්ත වීරසේකරයෝ ‘හෙළ හවුල’ යන නම සැලැකැවූ හ. කුමරතුඟුවෝ ම එය තිරැයූ හ. එ හෙයින් එය හෙළ හවුලෙහි මුල් මැ මුළුව යි. මේ දින මුළුනයු (සභාපති) වූවෝ මග්ගොන ගුරු ඇබෑසි විදුහලේ කථිකාචාර්යවරයකු වූ ඇංටන් පෙරේරා ජයමාන්නයෝ යැ. කුමරතුඟු මුනිදස්හු මුළුයේ අරමුණු පැහැදිලි කළ හ. එ දින හෙළ හවුලේ මුල් ම සකසුරුවන් (ලේකම්වරුන්) ලෙස එඩී පනඳු, අබිරම් ගම්හේවා යන දෙ පළ පත් වූ හ. මුල් ම නයුවෝ (නායකයාණෝ) කුමරතුඟු මුනිදස්හු ම වූ හ.

පැතිර යාම[සංස්කරණය]

කුමරතුඟු මුනිදසුන් ජීවමාන ව සිටිය දී ම පාණදුරේ ද ඒ අවට කළුතර මොරටුව ඈ පෙදෙස්හි මෙන් ම කොළඹ අනඳ විදුහල ඈ තන්හි දු හෙළ හවුල් රැස් වීම් පැවැත්විණි. බස පිළිබඳ වියත්, පිරියෙසුම් දෙසුම්, හෙළ නාට්‍ය හා සංගීත හා වැඩ සටහන් මෙහි දී පැවැත්විණි. හෙළ හවුලේ ඇතුළත්හු ද ඇතුළතුන් නොවන්නෝ ද සුවිසල් පිරිසක් මේ මුළු සඳහා සපැමිණිය හ. එ කල ම හෙළ හවුලේ අතු හවුල් (ශාඛා සංවිධාන) කිහිපයෙක් බිහි විණි. නිරිත දිගැ හෙළ හවුල, මාතරැ හෙළ හවුල එ බඳු අතු හවුල් වේ. මෙ කල සිංහල සාහිත්‍යයෙහි මහත් ම බලවේගය බවට පත් ව තුබුණේ හෙළ හවුල යි. 1950-60 දසකවල දී හෙළ හවුලේ අතු හවුල් රට පුරා පැතිරිණ. අහංගම, උණවටුන, රත්ගම, ගාල්ල, කළුතර, මහනුවර ඈ නොයෙක් තන්හි සේ ම ගාල්ලේ මහින්ද, ගල්කිස්සේ සාන්ත තොමසු ඈ විදුහල්හි පවා අතු හෙළ හවුල් බිහි විය. පාසල් සිසුහු ද එ කල ඇතුළතුන් අතර වූ හ.

හෙළ හවුල් කවීන්[සංස්කරණය]

කුමරතුඟු මුනිදසුන් ගේ ඇවෑමෙන් පසු ජයන්ත වීරසේකරයෝ හෙළ හවුලෙහි නයු (නායක) බවට පත් වූ හ. එ කල්හි දු හෙළ හවුල ඉතා බලවත් ව පැවැතිණි. ඉන් පසු රැ.තෙන්නකෝන්, අමරසිරි ගුණවඩු, කෝදාගොඩ නැණලු (ඤාණාලෝක) හිමි, වරකාගොඩ සිල්රුවන් හිමි, අ.දො. චන්ද්‍රසේකර, අරීසෙන් අහුබුදු, අනඳපිය කුඩාතිහි, අමරසිරි පොන්නම්පෙරුම යන වියත්හූ හෙළ හවුලෙහි නයු තනතුර හෙබැවූ හ. හෙළ හවුලෙහි වත්මන් නයුවෝ ශ්‍රීනාත් ගණේවත්තයෝ ය.

එ දා සිටි මුල් පෙළේ ඇතුළත්තු[සංස්කරණය]

බළන්ගොඩ ආනන්ද මෛත්‍රිය නා හිමි, කෝදාගොඩ ඤාණාලෝක හිමි, වරකාගොඩ සිල්රුවන් හිමි, මෝසැසි පෙරේරා පියතුමා, මර්සලීනු ජයකොඩි පියතුමා, ජයන්ත වීරසේකර, රැයිපියෙල් තෙන්නකෝන්, අමරසිරි ගුණවඩු, අලව්-ඉසි සැබිහෙළ, වෙල්ලාල ජයමහ, අරීසෙන් අහුබුදු, සුනිල් සාන්ත, හියුබත් දිසානායක, මහානාම දිසානායක, S. G. M. වීරසිංහ, නන්දදාස කෝදාගොඩ, ටයිටස් තොටවත්ත, ඊලියන් ද සිල්වා, අලවත්තාගොඩ පේමදාස, ගුණපාල සේනාධීර, වෙ. වි. අබාගුණවඩු, ගම්හේවා ගුණවර්ධන, ජයසේකර අබේරුවන්, පින්තු ජයවද්දන, ධර්ම ශ්‍රී කුමාරතුංග, අ. දෝ. චන්ද්‍රසේකර, දි. වි. රිචඩ් ද සිල්වා, අනදපිය කුඩාතිහි, දා. දු. න. වීරකෝන්, දො. දේ. මොහොට්ටි, පු. බ. බාලසූරිය, එ. වි. ගුණපාල, ම. ආ. විමල්, දී. ග. යු. ගුණපාල වැනි දිවයිනේ පතළ වියත්තු බොහෝ දෙනෙක් එ දා හෙළ හවුලේ ඇතුළත්තු වූ හ.

මෙ දා නිලදරු මඬුල්ල[සංස්කරණය]

අනුසසුවෝ: අමරසිරි පොන්නම්පෙරුම, හේමසිරි කුමාරණතුංග

නයුවෝ: ශ්‍රී නාත් ගණේවත්ත

අනුනයුවෝ: තිරිකුණාමලේ ආනන්ද නා හිමි, වි. ජ. මු. ලොකුබණ්ඩාර, අ. ආ. ගුණතිලක, ජයදාස කුමාරගේ, කැ. ආ. ඉ. කල්‍යාණරත්න, තාරක රණසිංහ

සම සකසුරුවෝ: සීවලී බණ්ඩාර, ක. ක. ගනුෂ්ක රන්දුල

අයකැමියෝ: රවී තිලකවර්ධන

හෙළ හවුල් මෙහෙවර[සංස්කරණය]

හෙළ හවුලින් බසට-රැසට-දෙසට ඉටු වූ මහත් මැ මෙහෙවර නම් එහි වියතුන් විසින් ඇති කැරුණු සුවිශාල සාහිත්‍යය යි. මේ වන විට, හෙළ හවුලේ වියතුන් විසින් ලියැවී එළි දැක ඇති පතපොත දහස් ගණනෙකි. ඒ සියල්ල වියත් ලොව ඉහළින් පිළිගැනේ. කිසි දු සරසවියෙකින් හෝ වෙනත් ආයතනයෙකින් හෝ එ බඳු සාහිත්‍ය සේවාවක් කිසි කලෙක ඉටු වී නැති.

හෙළ හවුල් ගුරු කුලය[සංස්කරණය]

ඇතැම්හු – වෙසෙසින් ලක් සරසවි ඇදුරෝ – හෙළ හවුල ගුරුකුලයක් සේ හඳුන්වන්නට වූ හ. එහෙත් හෙළ හවුල යනු ගුරුකුලයෙක් නො වේ. පැරැණි හා වත්මන් හා වහර මැනැවින් විමසා නිවැරැදි බස් වහර මතු කොට එය සුරැකීම, එයින් නව නිමැවුම් කිරීම හෙළ හවුල පිළිගත් මඟ යි. ඒ ඉතා පුළුල් අරමුණින් මුළු මහත් බස ම පදනම් කොට ගත් ජාතික ව්‍යාපාරයෙකි. එ හෙයින් හෙළ හවුල යනු තවත් එක් ගුරුකුලයක් පමණක් ලෙස කිසි සේත් සැලැකිය හැකි නො වේ.

හෙළ හවුලෙහි මෙහෙවර යටපත් කරන්නට, එය “භාෂා පරිශුද්ධවාදීන් ගේ සංවිධානයක්" ලෙස හඳුන්වන්නට ඇතැමුන් ඉමහත් තැත් දැරුව ද ඒ සියල්ල මැඬගෙන හෙළ බස සුරැක්මේ පෙරමුණ ගනිමින් හෙළ හවුල නො සැලී, නො නැවී, නො වැටී හෙළ තෙ රුවනට ඉහළ මැ මෙහෙවර සලසමින් දිවමන් ව වැජැඹේ.

හොඳ සිංහල පන්තිය[සංස්කරණය]

හෙළ හවුලේ අනුසසු හේමසිරි කුමාරණතුංගයන් නොමිලේ පවත්වන 'හොඳ සිංහල පන්තිය' හැම ඉරිදාවෙක ම දහවල් 12.00 සිට කොළොඹ, පුඤ්චි බොරැල්ලේ, 'චාරිකා' රියැදුරු පුහුණු පාසලේ දෙසුම් හලේ දී පැවැත්වේ. වයස් බෙයකින් තොර යි. පෙර දැනුමක් නැති-ඇති කාට වුව ද සහභාගී විය හැකි ය. මුල සිට සරල ව හෙළ වියරණය ඉගැන්වේ. කිසි දු අය කිරීමෙකින් තොර යි.

සැබැඳුම් තතු[සංස්කරණය]

ලිපි යොමුව: කොළොඹ 6, වැල්ලවත්තේ, ප්‍රෙඩ්රිකා පාරේ, සිරි විජයාරාම විහාරයේ, හෙළ හවුල් සකසුරුවෝ

ඉ-ලිපි යොමුව: info@helahavula.org

විබැඳුම් පොළ: http://www.helahavula.org

ෆේස්බුක් පිටුව: https://www.facebook.com/HelaHavula/

තෙලබණු නම්වර

ශ්‍රීනාත් ගණේවත්ත (නයු): 011 2 410 862

සීවලී බණ්ඩාර (සම සකසුරු): 071 4 803 898

ක. ක. ගනුෂ්ක රන්දුල (සම සකසුරු): 077 4 127 090

ඇසුර[සංස්කරණය]

බැහැර පිටු[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=හෙළ_හවුල&oldid=593962" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි