කඩුව (භාෂාව)

විකිපීඩියා වෙතින්

කඩුව යනු දිගු තියුණු තලයක් සහිත ආයුධයකි. මෙහි දිග විවිධාකාර වන අතර ඒ අනුව භාවිතා කරන නම් ද විවිධ වෙති. මෙය විවිධ හැඩයන් ද ගෙන ඇති අතර ඒ අනුව භාවිතා කල නම් ද විවිධ වෙති. දිග හෝ හැඩය හෝ වෙනස් කඩු වර්ග අවශ්‍ය හා අනුකූල අවස්ථාවන්හී භාවිතා වේ. ඉතිහාසය පුරා විවිධ ද්‍රව්‍ය වලින් කඩු සාදා ඇත. මානවයන් ලෝහ නිස්සාරණය ගවේෂණය කල පසුව විවිධ ලෝහයන් භාවිතා කොට කඩු නිපදවා ඇත. එනමුදු ඒකායන අභිමතාර්ථය වූයේ ප්‍රතිමල්ලවයා හා සටනෙහි යෙදෙන විට කඩුව මොට වීම හෝ දෙදරා වැටීම හෝ බිඳී යෑම හෝ වැලැක්වීම විය යුතුය. ශුද්ධ ලෝහයන්ගෙන් නොව ලෝහ හා/හෝ අලෝහ මිශ්‍රණයන්ගෙන් කඩු සැදීමට මානවයන් පෙළඹී ඇත. ප්‍රතිමල්ලවයන් අභිබවා මානව ශිෂ්ඨාචාරයෙහි පෙරමුණ ගැනීමට කිසියම් ජාතියකට හෝ ජන කොට්ඨාශයකට හෝ කඩු සැදීමේ තාක්ෂණය ඉවහල් වූවා නිසැකය. එය අනිවාර්යයෙන්ම ජයග්‍රහණයේ සමාපයනීය සාධකයක් වෙන්නට ඇත.

ශිෂ්ඨාචාරයෙහි කිසියම් යුගයක යම් කිසි වර්ගයක කඩු භාවිතා කලේ නම් අවම වශයෙන් එම වර්ගය හෝ භාවිතා නොකල ජාතියක් හෝ ජන කොට්ඨාශයක් ලෝක සිතියමෙන් තුරන් වන්නට ඇත. අනෙකුන් වානේ කඩු භාවිතා කරමින් සිටි සමයෙක ලී කඩු සාදා ඒවා සෞන්දර්යාත්මක හෝ සංස්කෘතික හෝ යැයි දෙඩූ ජාතීන් පිළිබඳ විස්තර සොයා ගැනුම උගහටය.

කඩු ගැන දොඩන කල ද්වන්ද්ව සටන් ගැන කොකියාම බැරිය. මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් විසින් රචිත රෝහිණී හි අතුල හා මිත්‍ර ගේ ද්වන්ද්ව කඩු සටන අපට සිහි වේ. ඩබ්ලිව්. ඒ. සිල්වා ශූරීන් ගේ විජයබා කොල්ලය හි අසංග ආදීන් වටා ගෙතුනු පෙම් හබයන්හී ද්වන්ද්ව කඩු සටන් බොහෝය. ලක්දිව අවසන් රජු ශ්‍රී වික්‍රම රාජසිංහයන් ගේ ගේ නියමයෙන් ඇහැලේපොළ දෙටු පුත් මද්දුම බණ්ඩාර කුමරුන්ගේ ගෙල සිඳුන ගහල කඩුව බරැති පළල් එකක් වන්නට ඇත. ද්වන්ද්ව කඩු සටන් ලිං තුල පැවැති කල අංගම් සටන් විය. ලක්දිව අංගම් කුල සිටි බව කියැ‍වේ. දීර්ඝ කාලීන යුද්ධයක නිමාවට දෙපස රණ විරුවන් දෙදෙනෙකු අතර පැවැති ද්වන්ද්ව සටන් තීරණාත්මක වූ අවස්ථාද ඉතිහාසයෙන් හමුවේ. එක් යුවතියකට බැඳි පෙම නිරවුල් කර ගත නොහැකිව කල ද්වන්ද්ව සටන්ද තැන තැන හමුවේ.

ජපානයේ සමුරායි වරුන් ගැන කියැවෙන විට ඔවුන්ගේ කඩුව නිතැතින්ම සිහි වෙයි. මගුල් කඩුව සිඹ රජුට පෙරනිමි කී බ්‍රාහ්මණ පුරෝහිතයන් ද පෙර කල රාජ සභා වල සිටි බව පෙනේ. එංගලන්තයෙහි ආතර් රජුගේ රවුම් මේසයේ පුරාවෘත්තයෙහිදී ආතර් රජුගේ එක්ස්කැලිබර් අසිපතද රොබින්හුඩ් පුරාවෘත්තයෙහිදී රොබින් ගේ ඇල්බියන් අසිපත ද අපට සිහි වේ.

ගැමුණු කුමරුන් පිලිසිඳ සිටි කල්හී විහාර මහා දේවියන් ට ඇති වූ දොළ දුක ද අසිපත් හා බැ‍ඳේ. ඇය ට ඇතිවූ දොළ වූයේ එළාර රජුගේ ප්‍රධාන යෝධයා ගේ ඉස කැපූ කඩුව තිසා වැවෙන් සෝදා එම දිය බොන්නටය. හැරී පොටර් ‍ගේ කතා පෙලෙහිදීද ගොඩ්‍රික් ග්‍රිෆින්ඩර්ගේ කඩුව හමු වෙයි.

හෝමර් ගේ ඉලියඩ් හි ඇකිලිස් ගේ සන්නාහය හිමි නොවීම නිසා කලකිරෙන ඇජැක්ස් පැන මිය යන්නේ හෙක්ටර් විසින් ඔහු හට දෙන ලද අසිපත මතටය.


මෙලෙස ඉතිහාසය, වංශ කතා, ප්‍රබන්ධ ආදී බොහෝ තන්හී අප හමුවන කඩුව නොහොත් අසිපත ඉතා බලවත් අවියක් වූ බවට නිසැකය. කඩුව සඳහා බඳ පටියෙහි ඇමුණූ කොපුවක් විය. අසිපත භාවිත නොවූ විට මෙම හම් මල්ල තුල බහා ලනු ලැබෙයි. සඳ ඇති දිනයන්හිදී රාත්‍රි කාලයෙහි දී යුද්ධ සටන් සඳහා කඩු භාවිතා නොකල බවට සාධක හමු වී ඇත. සඳෙහි ආලෝකය ධ්‍රැවිත බැවින් තියුණු තල මොට කෙරුණු බව කියති.


හිණි බඳ කොපුවෙහි අසිපත රුවා අසුපිටින් හෝ පා ගමනින් හෝ ‍ගොස් ආරක්ෂක කවුලුවට අවිය භාර දී සුපිරි වෙළෙඳ සලට යන්නන් මෙකල නුදුටුවද, ඔලිම්පික් තරගාවලියෙහි ක්‍රීඩාවක් ලෙසින් කඩු හරඹ තවමත් වැජඹේ.


1796 දී මුහුදුබඩ පලාත්ද 1815දී සකල දිවයින ද සිය අණසකට පත් කරගත් ඉංග්‍රීසින් නිසාවෙන් රජ බස බවට පත්වූ ඉංග්‍රීසි භාෂාවට කඩුව යයි වැහැරේ. මෙලෙස වැහැරෙන කල්හී පෙර ඡේදයන්හී පෙන්වූ සියළු ගති ගුණ එහි දක්නට ලැබේ. තියුණු බව, විගසින් අනතුරට පත් කර ලීමේ හැකියාව, ප්‍රගුණ නොකලහොත් අන්තරා මුඛයට වැටෙන සුළු බව, ‍වෙනත් අවියකින් පැරදවිය නොහැකි බව මේ අතර වෙති. මෙහි හැකියාවන් අතර පෙර දුටු ලෙස රජ සබය දක්වා රැගෙන යෑමට හැකි බව අතර එය මත ම වැටී නැසීමේ ගුණයද නැත්තේ නොවේ. එනයින්, කඩුව යන පදය ඉංග්‍රීසියට අතිශයින් යෝග්‍ය වේ.


ඉංග්‍රීසිය කඩුව කර ලීමට රාජ්‍ය අනුග්‍රහය[සංස්කරණය]

ජපානය වැනි රටවල ඉංග්‍රීසිය කඩුවක් වූ හැටි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=කඩුව_(භාෂාව)&oldid=461388" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි