කජු

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
කජු
Cashew apples.jpg
ඉදුණු කජු පුහුලම්
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: Plantae
(unranked): Angiosperms
(unranked): Eudicots
(unranked): Rosids
ගෝත්‍රය: Sapindales
කුලය: Anacardiaceae
ගණය: Anacardium
විශේෂය: A. occidentale
ද්වීපද නාමය
Anacardium occidentale
L.

කජු ගස් (Anacardium occidentale) යනු කජු හා කජු පුහුලම් නිෂ්පාදනය කරන නිවර්තන සදාහරිත ගස් ය.[1]එය මීටර් 14 (අඩි 46) ක් තරම් ඉහළට වර්ධනය විය හැක. නමුත් කුරු කජු ගස් මීටර් 6 (අඩි 20) ක් දක්වා වර්ධනය වන අතර, වඩාත් ලාභදායී මෙන්ම කලින් කල් පිරෙන බවත්, ඉහළ ආදායම් සහිත බවත් ඔප්පු වී ඇත.

මෙහිදී වැඩිපුර පරිභෝජනය කරනු ලබන්නේ බොහෝ විට කජු ලෙස සරලව හඳුන්වන කජු මදයයි. එය එලෙසටම ආහාරයට ගත හැකි අතර විවිධ ආහාර වට්ටෝරු සඳහාද, චීස් හෝ කජු බටර් සෑදීම සඳහාද භාවිතා කරයි. කජු ඵලදාවේ ව්‍යුත්පන්නයක් වන කජු ලෙල්ල ලිහිසි තෙල්, තීන්ත වැනි බොහෝ නිෂ්පාදනයන් සඳහා භාවිතා කල හැක. කහ, රතු පැහැයට හුරු කජු පුහුලම් වලින් සාදාගන්නා පල්ප මගින් මිහිරි මෙන්ම කහට රසැති පලතුරු බීම හෝ මත්පැන් ආසත කළ හැක.

මෙම විශේෂයේ මුල්ම උපත ඊසාන දිග බ්‍රසීලයේ වේ. කජු නිෂ්පාදනය කරන ප්‍රධාන රටවල් ලෙස වියට්නාමය, නයිජීරියාව, ඉන්දියාව, හා අයිවරි කෝස්ට් හැඳින්විය හැක.

නිරුක්ති ශාස්ත්‍රය[සංස්කරණය]

කජු ගසක් යට මමේලුකා (Mameluca) කාන්තාවක් (1641-44)

කජු ගසේ ඉංග්‍රීසි නාමය වන "කැෂුුු" (cashew) සෑදී අැත්තේ "කජු" (caju) යන පෘතුගීසි වචනයෙන් වන අතර (පෘතුගීසි උච්චාරණය: [ක'ජූ]), එය තූපියන් (Tupian) භාශාවේ "අකජූ" (acajú) යන වචනයෙන් ව්‍යුත්පන්න වී ඇති අතර එහි අර්ථය "ස්වයං නිෂ්පාදිත බීජ" යන්නයි. වර්ගීය නම Anacardium යන වචනය ග්‍රීක සම්භවයෙන් සෑදී ඇති අතර එය "බීජය ඵල හරයෙන් හෝ ඵලයේ හදවතින් පිටත පිහිටි" යන අර්ථය ගෙනදේ. (ana- යනු "නැවත" හෝ "පසුගාමී" යන්නයි. -cardium යනු "හදවත" යන්නයි). දාහත්වන සියවසේ මැද භාගයේ ලන්දේසි ආණ්ඩුකාරයා වූ ජොහාන් මෝරිට්ස් (Johan Maurits) සමග පැමිණි ඇල්බර්ට් එක්හෝට් (Albert Eckhout) විසින් ඇඳි මානවවංශ ලේඛ සිතුවම කජු ගසක් යට සිටින කාන්තාවක් පෙන්නුම් කරයි.

ජනාවාස හා වර්ධනය[සංස්කරණය]

'Anacardium occidentale',  Koehler's 'Medicinal-Plants' (1887) යන පොතෙන් උපුටාගැනීමකි.

කජු ගස් විශාල හා සදාහරිත ශාක වන අතර කෙටි, බොහෝ විට අක්‍රමවත් හැඩැති කඳ සමග, මීටර් 14 (අඩි 46) පමණ උස දක්වා වර්ධනය වේ. පත්‍ර සුමට මායිම් සහිතව එකිනෙකට ප්‍රතිවිරුද්ධ ලෙස සර්පිලාකාරව සංවිධානය වී ඇති අතර, චර්මල වියමනක් සහිත, ප්‍රත්‍යණ්ඩාකාර කිරීමට ඉලිප්සාකාරයේ, සෙ.මී.4-22 ( අඟල් 1.6–8.7) පමණ දීර්ඝ හා සෙ.මී. 2-15 (අඟල් 0.79–5.91) පමණ පුළුල් වේ. පුෂ්ප සංයුක්ත ඒකාක්ෂ හෝ සමතලය ලෙස සෙ.මී. 26 (අඟල් 10) දක්වා දීර්ඝ වේ. පුෂ්පයක් ප්‍රමාණයෙන් කුඩා වන අතර මුලදී ලා කොළ පැහැ වේ. පසුව ක්‍රමයෙන් රතු පැහැයට හැරෙන පුෂ්ප සිහින්, සියුම් මි.මි. 7-15 ( අඟල් 0.28-0.59) පමණ දිග පෙති පහකින් සමන්විත වේ.  ලෝකයේ විශාලතම කජු ගස වර්ග මීටර 7,500 (වර්ග අඩි 81,000) පමණ ප්‍රදේශයක් ආවරණය කරයි; එය බ්‍රසීලයේ නටාල්, රියෝ ග්‍රාන්ඩේ නොර්ටේ ( Natal, Rio Grande do Norte, Brazil) හි පිහිටා ඇත.

කජු අතිරේක එලයකි. (ඇතැම් විට ව්‍යාජ එල ලෙස හඳුන්වයි). එහි පළතුර ලෙස පෙනෙන කොටස ඕවලාකාර හෝ පෙයාස් හැඩැති ව්‍යුහයක් වන අතර එය පුෂ්ප වෘන්තයෙන් හා ග්‍රාහකයෙන් වර්ධනය වේ. මෙය කජු පුහුලම ලෙස හැදින්වෙන අතර මධ්‍යම ඇමරිකාවේ මරනෝන් (marañón) ලෙස ප්‍රසිද්ධය. එය ඉදෙන විට කහ / රතු පැහැයක් ගන්නා අතර සෙ.මී. 5-11 ( අඟල් 2.0-4.3) ක් පමණ දිග වේ. එය ආහාරයට ගත හැකි අතර ඉතා "මිහිරි" සුවඳකින් සහ පැණි රසකින් යුක්ත වේ. කජු පුහුලම් පල්ප් ඉතා ඉස්ම සහිත වේ, නමුත් එහි පොත්ත ඉතා සියුම් නිසා ප්‍රවාහනයට නුසුදුසු වේ. ලතින් ඇමරිකාවේ මෙම කජු පුහුලම් පල්ප මගින් සාදනු ලබන පලතුරු බීම ඉතා ප්‍රබෝධමත් උෂ්ණ කලාපයට අයත් රසයක් එනම් අඹ, අමු ගම්මිරිස් සමග ඉතා ස්වල්ප ලෙස මිශ්‍ර වූ මිදි වැනි පැඟිරි මිශ්‍රණයක රස ගෙනදේ.

කජු මල්
කජු ගසක්

කජු ගසේ සැබෑ පළතුර කජු පුහුලම අවසානයේ වර්ධනය වන වකුගඩු හෝ බොක්සිං අත්වැසුම් හැඩයකින් යුක්ත අෂ්ටි ඵලය වේ. ප්‍රථමයෙන් මෙම අෂ්ටි ඵලය හටගන්නා අතර පසුව පුෂ්ප වෘන්තය කජු පුහුලම බවට වර්ධනය වේ. සැබෑ පළතුර ලෙස සලකන කජු ගෙඩිය තුල එක් බීජයක් පවතී. එය බොහෝ විට ආහාර පිසීමේ අර්ථයෙන් කජු මද ලෙස සැලකේ. මෙම බීජය ආසාත්මික ෆීනෝලීය දුම්මල (allergenic phenolic resin), ඇනකාඩික් අම්ල ( anacardic acid) අඩංගු ද්විත්ව කබොළකින් ආවරණය වී ඇත. එය සමේ ආසාත්මිකතා ඇති කරවන ඉතා ප්‍රබල උද්දීපක රසායනිකයක් වන උරුශිඔල් (urushiol) නම් ප්‍රකට ආසාත්මික තෙල් වර්ගයක් වන අතර එය විෂ අයිවී (poison ivy) නම් ශාකයේද අඩංගු විෂ රසායනිකයක් බවට සොයාගෙන ඇත. කජු නිසි පරිදි බැදීමෙන් මෙම විෂ නැසිය හැක. නමුත් එය උරුශිඔල් (urushiol) බිඳිති සහිත කටුක දුමක් (විෂ අයිවී දැවෙන විට මෙන්) ඇති කරන නිසා එළිමහනේ සිදු කර ගත යුතුය. එය ඇතැම් විට ජීවිත තර්ජනයක් එල්ලවීමට හෝ පෙනහළු ආසාත්මිකතා ඇති වී භයානක ප්‍රතිඵල ගෙන දීමට හේතූ වියහැක. කජු (හෝ වස අයිවි) වෙත ආසාත්මිකතාවයක් දක්වන පුද්ගලයන් මෙම Anacardiaceae කුලයට අයත් අඹ හෝ පිස්ටාශියෝ (pistachio) ගෙඩි වලටද ආසාත්මික ප්‍රතික්‍රියා දැක්විය හැක. සමහර අය කජු වලට ආසාත්මිකතාවයක් දක්වයි. නමුත් කජු අනෙකුත් ශාක ඇට වර්ග හෝ රටකජු වලට සාපේක්ෂව අඩු ආසාත්මික ප්‍රවණතාවක් පෙන්නුම්කරයි. [2]

කජු ඊසාන දිග බ්‍රසීලයට ආවේණික වන අතර පෘතුගීසි එය ඉන්දියාවේ ගෝවේ නගරයට 1560 හා 1565 අතර වූ කාලයේ රැගෙන ආවේය. එතැන් සිට එය අග්නිදිග ආසියාව සහ අවසානයේ අප්‍රිකාව පුරා පැතිර ගියේය.

කජු "මද" සහ කවචය[සංස්කරණය]

ළපටි කජු ගෙඩි
සුළු කෑමක් ලෙස කජු මද

සුළු කෑම සහ සූප ශාස්ත්‍රය සඳහා කෑම පිසීමේදී කජු මද භාවිතය අනෙකුත් සියලු ශාක ඇට වර්ග භාවිතයට සමාන වේ.

කජු ඉන්දියානු ආහාර වලදී බහුලව භාවිත වේ. සියලු රසකැවිලි හෝ ව්‍යංජන අලංකරණය සඳහාද, කුඩු කර සාදාගන්නා තලපය, විවිධ ව්‍යංජන වල සෝස් සදහා පදනමක් ලෙසට (උදා : කුරුමා) හෝ සමහර රසකැවිලි සෑදීමට යොදාගනී (උදා : කජු බාෆි - ඉන්දියානු රසකැවිලි වර්ගයක්). තවද ඉන්දියානු රසකැවිලි සහ අතුරුපස සෑදීමේදී කජු කුඩු හෝ පිටි ලෙසද භාවිතා කරයි. ගෝවේ ආහාර පිහමනේදී ඔවුන්ගේ ව්‍යංජන සහ රසකැවිලි සෑදීමට බැදපු මෙන්ම අමු කජු මද යොදාගනී. තායි සහ චීන ආහාර සඳහා ද කජු විවිධ ආකාරයන්ට භාවිතා කරයි. පිලිපීනයේදී කජු ඇන්ටිපෝලෝවල නිෂ්පාදනයක් ලෙස ප්‍රචලිත අතර සුමන් ( suman - rice cake ලෙසද හඳුන්වන පිලිපීන ආහාරයක්) සමග ආහාරයට ගනී. පම්පංගාවලද ටුර්රෝනෙස් ද කැසුයි (turrones de casuy) නම් කජු මර්ළිපං (marzipan) සුදු වේෆර්ස් අතර ඔතා සාදන මිහිරි අතුරුපසක් ඇත. ඉන්දුනීසියාවේ බැද, ලුණු දැමූ කජු කකන්ග් මෙතේ (kacang mete) හෝ කකන්ග් මෙදේ (kacang mede) ලෙස හැඳින්වේ. ඔවුන් කජු පුහුලම්, ජම්බු මොන්යෙට් (jambu monyet) (ඉංග්‍රීසි පරිවර්තනය : monkey rose apple - වඳුරු ජම්බු) ලෙස හඳුන්වයි.

මොසැම්බික් වල, බොලෝ පොලානා (bolo polana) යනු කජු කුඩු හා පොඩි කරගත් අර්තාපල් ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස භාවිතා කර සකස් කරගන්නා කේක් වර්ගයකි. මෙය දකුණු අප්‍රිකාවේ ජනප්‍රිය අතුරුපසකි.[3]

බ්‍රසීලය තුල, කජු පලතුරු යුෂ ජනප්‍රියයි. පැනමා වල කජු පුහුලම් ජලය හා සීනි සමග දිගු කාලයක් පිස ඩල්සි ඩේ මරනෝන් (dulce de marañón) නම් මිහිරි, දුඹුරු පැහැ පාප්ප වැනි අතුරුපසක් සාදයි. මරනෝන් (marañón) යනු කජු සඳහා භාවිත වන ස්පාඤ්ඤ නමයි.

21 වන සියවසේ දී සත්ව කිරි සඳහා විකල්පයක් ලෙස ශාක කිරි, එනම් කජු කිරි පානය (කජු ජලය සමග මිශ්‍ර කර සාදාගන්නා කිරි) ඉල්ලුම වැඩි වී ඇති අතර කජු කිරි පානය සඳහා වන ඉල්ලුම සපුරාලීමට අප්‍රිකානු රටවල් කිහිපයක කජු වගාව වැඩිදියුණු කර ඇත.[4]

කජු මද ආවරණය වී ඇති ලෙල්ල මූලික වශයෙන් ෆීනෝලීය ලිපිඩ, ඇනකාඩික් (anacardic) අම්ලය සහ කාඩනෝල් (cardanol) වල ප්‍රතිඵලයක් වන ස්පර්ශ චර්ම රෝග ඇති කරවන තෙල් සංයෝග වලින් යුක්ත වන අතර එය විෂ අයිවී තරම් දරුණු වේ. චර්ම දාහය ඇති වීමට ඉඩ ඇති නිසා කජු සාමාන්‍යයෙන් වෙළඳපොළේදී ලෙල්ල සමග විකිණීමට නැත. මෙම ඉවතලන කජු ලේල්ලෙන් නිස්සාරණය කරගන්නා කාඩනෝල් (cardanol) නැනෝ වෛද්‍යවේදය සහ ජෛව තාක්ෂණය ඔස්සේ නව යෙදීම් පිළිබඳව පර්යේෂණ සිදුකෙරෙමින් පවතියි.[5]

කජු අංකුර (පියළි) අමුවෙන් හෝ පිස ආහාරයට ගත හැක

නිෂ්පාදනය[සංස්කරණය]

2013 දී කජු (ලෙල්ල සමග) නිෂ්පාදනය  සඳහා ඉහළම රටවල් 5
රට
නිෂ්පාදනය
මෙ.ටො. (මෙට්‍රික් ටොන්)
 වියට්නාමය
1,110,800
 නයිජීරියාව
950,000
 ඉන්දියාව
753,000
 අයිවරි කෝස්ට්
450,000
 බෙනින්
180,000
World Total
4,439,960
මුලාශ්‍රය: අහාර සහ කෘෂිකර්ම සංවිධානය[6]
කජු අස්වැන්න පසු පරීක්ෂා කරනු ලබමින්

කජු ගස, උත්තර අක්ෂාංශ 25° සහ දක්ෂිණ අක්ෂාංශ 25° අතර පිහිටා ඇති ප්‍රදේශයේ විවිධ දේශගුණික කලාප වලට අනුගතව හා තුෂාර වලට සංවේදීව පවතින නිසා නිවර්තන කලාපීය රටවල වර්ධනය වේ.[7] සාම්ප්‍රදායික කජු ගස් (මීටර් 14 දක්වා) උස වන අතර එය රෝපණයෙන් වසර තුනකට පසු පීදෙන අතර වසර අටකට පසු ආර්ථික අස්වනු නෙලීම ආරම්භ කළ හැකිය. නවීන වර්ග වන කුරු ශාක මීටර් 6ක් පමණ උස වේ. ඒවා වසරකට පමණ පසු පීදෙන අතර වසර තුනකට පසු ආර්ථික අස්වනු නෙලීම ආරම්භ කළ හැකිය. සාම්ප්‍රදායික ගසක කජු ඵලදාව හෙක්ටයාරයකට මෙට්රික් ටොන් 0.25 ක් පමණ වන අතර කුරු ශාක වල එය හෙක්ටයාරයකට මෙට්රික් ටොන් එකක් පමණ වේ. වාණිජ කජු වතු වල කජු ඵලදාව වැඩි දියුණු කිරීමට හා තිරසාරව පවත්වාගැනීමට බද්ධකිරීම හා අනෙකුත් නවීන රුක් කළමනාකරණ තාක්ෂණ භාවිත කරයි.

2013 දී, ලොව මුළු කජු නිෂ්පාදනය (ලෙල්ල සහිතව) මෙට්‍රික් ටොන් මිලියන 4.4ක් විය.[6] වියට්නාමය 2013 වසරේ දී ටොන් මිලියන 1.1 ක් නිෂ්පාදනය කරමින් ලෝකයේ විශාලතම තනි නිෂ්පාදකයා බවට පත්විය.[6] 2014 වන විට අයිවරි කෝස්ට්හි කජු වගාව සීග්‍රයෙන් වර්ධනය වූ අතර එය අප්‍රිකානු අපනයන රටවල් වල ප්‍රමුඛයා බවට පත්විය.[8]

ලෝක වෙළෙඳපොළේ මිල ගණන් උච්ඡාවචනය, අඩු පහසුකම් සහ දේශීය අස්වැන්න සඳහා අඩු මිලක් ලැබීම යන කරුණු නිසා කජු කර්මාන්තය තුළ අතෘප්තිකර තත්වයක් ඇති වී ඇත.[9][10][11]

පෝෂණය[සංස්කරණය]

Cashews, raw
Nutritional value per 100 g (3.5 oz)
ශක්තිය 553 kcal (2,310 kJ)
කාබෝහයිඩ්‍රේට් 30.19 g
- Starch 0.74 g
- සීනි 5.91 g
  - Lactose 0.00 g
- ආහාරමය කෙඳි 3.3 g
මේද 43.85 g
- saturated 7.783 g
- monounsaturated 23.797 g
- polyunsaturated 7.845 g
Protein 18.22 g
වතුර 5.20 g
Vitamin A 0 IU
Thiamine (vit. B1) 0.423 mg (37%)
Riboflavin (vit. B2) 0.058 mg (5%)
Niacin (vit. B3) 1.062 mg (7%)
Pantothenic acid (B5) 0.86 mg (17%)
Vitamin B6 0.417 mg (32%)
Folate (vit. B9) 25 μg (6%)
Vitamin B12 0 μg (0%)
Vitamin C 0.5 mg (1%)
Vitamin D 0 μg (0%)
Vitamin E 0.90 mg (6%)
Vitamin K 34.1 μg (32%)
Calcium 37 mg (4%)
Iron 6.68 mg (51%)
Magnesium 292 mg (82%)
Manganese 1.66 mg (79%)
Phosphorus 593 mg (85%)
Potassium 660 mg (14%)
Sodium 12 mg (1%)
තුත්තනාගම් 5.78 mg (61%)
Link to USDA Database entry
Percentages are approximated from
US recommendations for adults.
Source: USDA Nutrient Database

අමු කජු ග්‍රෑම් 100 ක, කැලරි 553 ක්, මේද දෛනික අගය (DV) 67% ක්, ප්‍රෝටීන 36% ක්, ආහාරමය තන්තු 13% ක් හා කාබෝහයිඩ්රේට 11% ක් (වගුව) අඩංගු වේ.[12] කජු මද, විශේෂයෙන් තඹ, මැග්නීසියම්, පොස්පරස් සහ මැග්නීසියම් (79-110% DV) ඇතුළු ආහාර ඛණිජ ලවණ (> 19% DV) සහ තයමින්, විටමින් B6, විටමින් K (32-37% DV) (වගුව) වලින් පොහොසත්ය.[12] යකඩ, පොටෑසියම්, සින්ක්, හා සෙලෙනියම් ද සැලකිය යුතු ප්‍රමාණයක් (14-61% DV) (වගුව) අන්තර්ගත වේ.[12] අමු කජු මද ග්‍රෑම් 100 ක බීටා-සෛටොස්ටෙරෝල් (beta-sitosterol) මිලි ග්‍රෑම් 113 ක් අඩංගු වේ.[12]

ආසාත්මිකතා[සංස්කරණය]

මිනිසුන්ගෙන් 5% ක ප්‍රමාණයකට කජු වැනි ශාක බීජ වර්ග හේතුවෙන් සංකූලතා හෝ අසාත්මිකතා ඇති විය හැක. වෙනත් ශාක බීජ වර්ග තරම් නොවුනත් කජු මද වල ආමාශගත හා බඩවැල් ද්‍රාව්‍ය ඔක්සලේට් ලවණ අඩංගු වේ. එනිසා වකුගඩු ගල් ඇති වීමේ ප්‍රවණතාවයක් ඇති පුද්ගලයින් සඳහා පාලනයක් සහ වෛද්‍ය මගපෙන්වීමක් අවශ්‍ය වේ. කජු හා ශාක බීජ වර්ග ආසාත්මිකතා මාරාන්තික විය හැක. එනිසා එවැනි ආසාත්මික ප්‍රතික්‍රියාවක් නිරීක්ෂණයවේ නම් කඩිනම් වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වේ. මෙම ආසාත්මිකතා ශාක බීජ තුල අඩංගු ප්‍රෝටීන මගින් මුලපුරන අතර බොහෝ විට ආහාර පිසීම මගින් මෙම ප්‍රෝටීන වෙනස්වීම හෝ ඉවත්වීම සිදු නොවේ. විශේෂයෙන් යුරෝපයේ කජු හා ශාක බීජ වර්ග ආසාත්මිකතා, එම බීජ වර්ග සැඟවුණු ආහාර අමුද්‍රව්‍යක් ලෙස භාවිත කර තිබීම, ඒවා අංශුමාත්‍ර ලෙස හෝ ආහාර සැකසීමේදී, පරිහරණයේදී, නිෂ්පාදනයේදී නොදැනුවත්වම හෝ භාවිත කර තිබීම ආදී හේතූ නිසා ඇති විය හැක.

කජු තෙල්[සංස්කරණය]

කජු මද (සාමාන්‍යයෙන් කජු සැකසීමේදී කැඩී ඉවත් කරන කුඩා කැබලි) පීඩනයට ලක් කර හිඳගන්නා තද කහ පැහැ කජු තෙල් ආහාර පිසීමට සහ සලාද සඳහා යොදාගනී. මේවා තනි සිසිල් පීඩනයක් යොදා නිපදවාගතහැක.[13]

කජු කිරි[සංස්කරණය]

කජු ලෙලි යුෂ (Cashew nutshell liquid -CNSL) එනම් කජු කිරි (CAS ලියාපදිංචි අංකය 8007-24-7) මී වද ආකෘතියකින් සමන්විත කජු ලෙල්ලේ පවතින දීප්තිමත් කහ පැහැයෙන් යුතු ස්වභාවික රෙසිනයකි. එය කජු සැකසුමේ අතුරු ඵලයක් වේ. මෙය විවිධ භාවිත සඳහා ඖෂධ, ප්‍රතිඔක්සිකාරක, දිලීර නාශක හා ජෛවීය ද්‍රව්‍යයන් නිපදවීමට යොදාගන්නා අමුද්‍රව්‍යයක්වේ. එය ඝර්ම කලාපීය ගැමි වෛද්‍ය කලාවේ හා දැව සඳහා කෘමි ප්‍රතිරෝධී ප්‍රතිකාර සඳහා භාවිතා කරයි. එහි සංයුතිය එය සකස් කරන ආකාරය මත පදනම්ව වෙනස් වේ.

  • සීතල, දාවක-නිස්සාරණය CNSL බොහෝ දුරට ඇනකාඩික් අම්ල (anacardic acids) (70%), කර්ඩොල් (cardol) (18%) සහ කර්ඩනොල් (cardanol) (5%) අඩංගු වේ.[14]
  • CNSL ඩිකාබොක්සිලේට් (decarboxylates) රත් කිරීමෙන් ඇනකාඩික් අම්ල (anacardic acids), කර්ඩනොල් වලින් පොහොසත් තාක්ෂණික ශ්‍රේණියේ CNSL නිපදවයි. මෙම ද්‍රවය ආසවනය කිරීමෙන් කර්ඩනොල් (cardanol) 78% හා කර්ඩොල් (cardol) 8% අඩංගු ආසත, තාක්ෂණික CNSL ලබාදෙයි.(කර්ඩොල් වල කර්ඩනොල් වලට වඩා එක හයිඩ්රොක්සිල් කාණ්ඩයක් වැඩියෙන් පවතියි). මෙම ක්‍රියාවලියද CNSL හි පවතින අසංතෘප්ත ඇල්කයිල්-ෆීනොල් තාප බහු අවයවීකරණ ශ්‍රේණිය අඩු කරයි.
  • ඇනකාඩික් අම්ලය රසායනික කර්මාන්තයේදී දුම්මල, ආලේපන සහ ඝර්ෂණ ද්‍රව්‍ය සඳහා භාවිතා වන කර්ඩනොල් නිෂ්පාදනය සඳහා යොදාගනී.[15]

මෙම ද්‍රව්‍යයන් විෂ අයිවී තෙල් මගින් ඇති වන්නාවූ වැනි සමේ ආසාත්මිකතා ඇති කරවන අතර එනිසා අතින් කරන කජු සැකසීමේදී අනතුරුදායක විය හැක.[16]

CNSL, කාබන් සංයෝග නිෂ්පාදන සඳහා දුම්මල ලෙස භාවිතා කල හැක.[17]

කජු පුහුලම්[සංස්කරණය]

කජු ගෙඩිය සහිත පුහුලමක්
විකිණීම සඳහා වන කජු පුහුලම්

කජු පුහුලම කජු ගෙඩියට සම්බන්දව පවතින එකම මාංසල කොටස වේ.[1] කජු පුහුලමේ ඉහල කෙලවර කජු ගසෙන් එන නටුවට සම්බන්ධ වී පවතී. කජු පුහුලමේ පහල කොටස කජු ලේල්ලෙන් ආවරණය වූ කජු ගෙඩියට සම්බන්ධ වී පවතී. උද්භිද විද්‍යා භාෂිතයට අනුව කජු පුහුලම කජු ගෙඩියට ( කජු මදය සහිත) සම්බන්දව වැඩෙන ව්‍යාජ ඵලයක් වේ.

කජු පුහුලම් නැවුම්ව අනුභව කල හැකි අතර ව්‍යංජන පිසීමට, විනාකිරි බවට පැසවීමට මෙන්ම මත් පැන් පානයක් ලෙසද යොදාගනී. මේවා ඉන්දියාව හා බ්‍රසීලය වැනි සමහර රටවල කල් තබා ගන්නා ජෑම් හා චට්නි සාදාගැනීමටද භාවිතා වේ. විශේෂයෙන් දකුණු ඇමරිකාවේ බොහෝ රටවල් වල කජු පුහුලම් මද්‍යසාර මෙන්ම මද්‍යසාර නොවන රසවත් පානයන් ලෙසද භාවිතා කරයි.[1]

කජු මද මෙන් නොව කජු පුහුලම් ප්‍රවාහනයට අපහසු නිසා කජු වර්ධනය නොවන ලොව බොහෝ ප්‍රදේශ වල කජු පුහුලම් වලට වඩා කජු මද ප්‍රචලිතය.[18] කෙසේ නමුත් කජු පුහුලම් යුෂ මිශ්‍රිත පානයන් නිෂ්පාදනය සඳහා භාවිතා කළ හැක.[18]

කජු පුහුලම් පොත්තේ අඩංගු ස්පර්ශ වූ විට සම මත නොරිස්සීමක් ඇති වියහැකි උරුශිඔල් (urushiol) නම් රසායනිකය අඩංගු ඉටිමය ස්තරය නිසා ඒවා මිහිරි නමුත් කහට රසැති වේ.[තහවුරු කරන්න] කජු පරිභෝජනයකරන සංස්කෘතීන් මෙම කහට ගතිය ඉවත් කිරීමට පුහුලම් මිනිත්තු පහක් තම්බා සිසිල් ජලයෙන් සේදීම සිදු කරනු ලබයි. එමෙන්ම ලුණු ජලයේ මිනිත්තු පහක් තැම්බීම හෝ ජෙලටින් ද්‍රාවණයක ගිල්වීම මගින්ද මෙම කහට ගතිය අඩු කරගත හැක.[19]

මද්‍යසාර[සංස්කරණය]

ගෝවේ දී, කජු පුහුලම් පොඩි කර ලබාගන්නා යුෂ දින කිහිපයක් පැසවීම සඳහා තබයි. එම පැසවූ යුෂ ඉන්පසු ද්විත්ව ආසවන ක්‍රියාවලියකට ලක් කරයි. එහි ප්‍රතිඵලයක් ලෙස ෆෙනී ( feni or fenny) නම් පානය ලබාගත හැක. ෆෙනී පානයේ 40-42% ක් පමණ මද්‍යසාර අඩංගු වේ. එහි තනි-ආසත අනුවාදය 15% ක් පමණ මද්‍යසාර අඩංගු වන අතර උර්රක් (urrac) ලෙස හැඳින්වේ.

ටැන්සානියාවේ දකුණු පළාතේ ම්ට්වරා (Mtwara) හි කජු පුහුලම් (ස්වාහිලි දී bibo) වේලා සුරැකිව තබාගෙන පසුව ජලට සමග නැවත පැසවා ගොංගෝ (gongo) නම් ප්‍රභල මද්‍යසාරයක් ආසත කරයි.

මොසම්බියාවේ කජු ගොවීන් බහුල ලෙස කජු පුහුලම් මගින් අගුආ අර්දෙන්ටේ (agua ardente) (ගිනියම් වතුර යන අරුත් දෙන) ප්‍රභල මද්‍යසාරයක් ආසත කරයි.

එක් මූලාශ්‍රයකට අනුව,[20] 20 වන සියවසේ මුල් භාගයේ දී බටහිර ඉන්දීය කොදෙව්හි කජු පුහුලම් යුෂ මගින් මද්‍යසාර නිෂ්පාදනය කර ඇත.

සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව[සංස්කරණය]

සාම්ප්‍රදායික මායා වෛද්‍ය විද්‍යාවේදී කජු ගසේ කොළ හෝ පොතු මගින් සකසාගන්නා තේ පාචනය සඳහා ප්‍රතිකාරයක් ලෙස යොදාගෙන ඇත.[21]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. 1.0 1.1 1.2 Morton, Julia F (1987). "Cashew apple, Anacardium occidentale L.". Fruits of warm climates, Julia F. Morton. Center for New Crops & Plant Products, Department of Horticulture and Landscape Architecture, Purdue University, W. Lafayette, IN. pp. 239–240. ISBN 978-0-9610184-1-2. සම්ප්‍රවේශය 1 August 2016. 
  2. Rosen, T.; Fordice, D. B. (April 1994). "Cashew Nut Dermatitis". Southern Medical Journal 87 (4): 543–546. doi:10.1097/00007611-199404000-00026. PMID 8153790. http://journals.lww.com/smajournalonline/Citation/1994/04000/Cashew_Nut_Dermatitis.26.aspx. ප්‍රතිෂ්ඨාපනය 2011-01-13. 
  3. Phillippa Cheifitz (2009). South Africa Eats. http://www.worldcat.org/title/south-africa-eats/oclc/519442115. 
  4. Empty citation (help) 
  5. Hamad FB, Mubofu EB (2015). "Potential biological applications of bio-based anacardic acids and their derivatives". Int J Mol Sci 16 (4): 8569–90. doi:10.3390/ijms16048569. PMID 25894225. 
  6. 6.0 6.1 6.2 Empty citation (help) 
  7. Empty citation (help) 
  8. Empty citation (help) 
  9. "Tanzania riots over cashew nut payments". BBC. 24 April 2013. සම්ප්‍රවේශය 14 May 2013. 
  10. Lamble L (2 November 2013). "Cashew nut workers suffer 'appalling' conditions as global slump dents profits". The Guardian. සම්ප්‍රවේශය 6 September 2015.  More than one of |author= and |last= specified (help)
  11. Wilson B (4 May 2015). "'Blood cashews': the toxic truth about your favourite nut". The Telegraph. සම්ප්‍රවේශය 6 September 2015.  More than one of |author= and |last= specified (help)
  12. 12.0 12.1 12.2 12.3 Empty citation (help) 
  13. Empty citation (help) 
  14. Empty citation (help) 
  15. Alexander H. Tullo (September 8, 2008). "A Nutty Chemical". Chemical and Engineering News 86 (36): 26–27. doi:10.1021/cen-v086n033.p026. 
  16. "World Agriculture and the Environment", by Jason W. Clay, p.268
  17. Empty citation (help) 
  18. 18.0 18.1 Strom, Stephanie (2014-08-08). "Cashew Juice, the Apple of Pepsi's Eye". The New York Times. ISSN 0362-4331. සම්ප්‍රවේශය 2015-11-24. 
  19. Azam-Ali and Judge (2004). Small-scale cashew nut processing. FAO, United Nations. http://www.fao.org/inpho_archive/content/documents/vlibrary/ac306e/ac306e00.htm. 
  20. Percival, Robert (1803). An Account of the Island of Ceylon: Its History, Geography, Natural History, with the Manners and Customs of its various Inhabitants. London: C. & R. Baldwin. https://archive.org/details/anaccountisland01percgoog. Retrieved 9 February 2015. 
  21. Saqui, Aurora Garcia (2016). Ix Hmen U Tzaco Ah Maya: Maya Herbal Medicine. Caye Caulker, Belize: Produccicones de la Hamaca. පි. 47. ISBN 9768142863. 
"https://si.wikipedia.org/w/index.php?title=කජු&oldid=394678" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි