ඒට්‍රියස් භාණ්ඩාගාරය

විකිපීඩියා වෙතින්
ඒට්‍රියස් භාණ්ඩාගාරයේ පිවිසුම
බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ඇති ඒට්‍රියස් භාණ්ඩාගාරයේ ඇති කුළුණක ප්‍රතිනිර්මාණයක්

ඒට්‍රියස්ගේ භාණ්ඩාගාරය හෙවත් ඇගමෙම්නන්ගේ සොහොන්ගැබ[1] යනු ග්‍රීසියේ මයිසේනාහි පැනජිට්සා කඳුගැටයේ පිහිටි, චිත්තාකර්ෂණීය "තොලොස්" සොහොනකි. එය ක්‍රි.පූ. 1250 අවටදී ලෝකඩ යුගයේ දී ඉදි වී ඇත. දොරටුවට ඉහළින් පිහිටි උඩැලිපත ටොන් 120ක් පමණ බරින් යුක්ත ය. එය ආසන්නව මීටර් 8.3 x 5.2 x 1.2 පමණ මිනුම්වලින්,[2] යුතු වන අතර ලොව විශාලතම උඩැලිපත ද වේ. මෙම සොහොන නොදන්නා යුගයක දී භාවිතයට ගෙන ඇත. පෝසානියස් විසින් ද සඳහන් කොට ඇති මෙය, 1879දී ජර්මානු පුරාවිද්‍යාඥයකු වූ හෙයින්රිච් ෂ්ලීමාන් විසින් මයිසෙනේහි ඇක්‍රොපොලිස්හි 'ඇගෝරාවට' පහළින් වූ සොහොන්වල සොයාගන්නා‍ තෙක්ම මෙය පිටතට දර්ශනය විය. මෙම ගුහාව ඒට්‍රියස් හෝ ඇගමෙම්නන් සමග කිසිදු සම්බන්ධයක් නොමැති අතර, පුරාවිද්‍යාඥයන් විශ්වාස කරන්නේ ඒ දෙදෙනාට පෙර කාලයක එම ප්‍රදේශය පාලනය කළ රජ කෙනකු එහි භූමදාන කොට ඇති බවයි. මෙම නාමය හෙයින්රිච් ෂ්ලීමාන් විසින් යොදන ලදුව එය අදටත් භාවිතයේ පවතී.

මෙ සොහොන ඇතැම්විට මාලිගය ප්‍රතිසංස්කරණය කළ රජකු හෝ ඔහුගේ අනුප්‍රාප්තිකයකුගේ සිරුරු තැන්පත් කළ ස්ථානයක් විය හැක. සොහොන මයිසීනියානු ලෝකයේ සෙසු තොලොස් සොහොන්වල ආරට අනුව නිර්මාණය කොට ඇත. මයිසෙනේහි බලකොටුව වටා මෙවැනි සොහොන් නවයක් ඇති අතර, ආර්ගොලිඩ්හි එවැනි සොහොන් විශාල සංඛ්‍යාවක් ඇත. කෙසේනමුත්, එහි ස්මාරකයේ හැඩය සහ එහි ස්වරූපය නිසා එය මයිසීනියානු ග්‍රීසියේ ස්මාරක අතර වැදගත් ස්ථානයක් හිමි කර ගනී.

ව්‍යූහය[සංස්කරණය]

මෙම සොහොන කඳුගැටයේ පැත්තකට හාරා ඇත. එය එය වෘත්තාකාර සැලැස්මක් ඇති අර්ධ-භෞම කුටියක ආකාරයෙන් නිර්මාණය කොට ඇති අතර, එහි නෙරා ආ පෙදෙස පේකඩමය ආරුක්කුවකින් යුතුව ආවරණය කොට තිබේ. එහි අභ්‍යන්තරයේ උස 13.5m වන අතර විෂ්කම්භය 14.5mකි.[3] බේයේහි හර්මිස්ගේ දෙවොල සහ රෝමයේ පැන්තියනය ඉදිකරන තෙක්ම එය වසර දහස් ගණනක් ලෝකයේ උසම සහ පුළුල්ම ශිඛර ගෝලාර්ධය විය. මෙම අතිවිශාල ගල් ස්ථානගත කිරීමේ දී, බෙහෙවින් සැලකිලිමත් වී ඇති බවක් පෙනී යයි. ඒ හේතුවෙන් විශාල කාලයක් පුරාවට සම්පීඩනයන්ට ඔරොත්තු‍දෙමින් සහ එහි බරා දරාගනිමින් අදටත් මෙම නිර්මාණය විරාජමානව පවතී. මෙහි අභ්‍යන්තර අතිශය සුමටව නිමවා තිබේ. එය තුළට, රන්, රිදී මෙක්ම ලෝකඩ අලංකරණ ද යෙදිය හැක. මෙම කුටීරය සාදා ඇත්තේ, ළිඳක් මෙන් කඳුබෑවුම සිරස් අතට හෑරීමෙනි. අනතුරුව බිත්ති සහ පියස්ස කුටීරයේ පහත මට්ටමේ සිට ගල්වලින් ආවරණය කොට පස්වලින් පිරවීමෙනි. ආශ්ලේෂ බදාම ස්තර වළයන් ලෙස යොදා ඇති අතර, මුදුනේ වූ කුඩා විවාරය හැරෙන්නට සෙසු ස්ථාන බදාමයෙන් ආස්තරණය කොට ඇත.

මෙම තොලොස් සොහොන්ගැබ තුළට ඇතුළුවන්නේ ආනත ආවරණය නොකළ ශාලාවක් තුළිනි. එය මීටර 36ක් දිගැති අතර, වියළි-ගල් (බදාම නොයෙදූ) බිත්ති සහිත ය. තොලොස් කුටීරයේ සිට සැබෑ භූමදාන කුටීරය වෙත කුඩා ඝනාකාර හැඩැතිව හාරන ලද පැසේජයක් දිවෙයි.

පස්ගොඩැල්ල වෙත පිවිසුම් ද්වාරය බෙහෙවින් අලංකෘත කොට ඇත. කොළපැහැ හුනුගලින් නිම වූ අර්ධ-කුළුණු බ‍‍ඳෙහි අක්-වක් හැඩ මෝස්තර ඇත.[3] දොරෙහි කවුළුස්තරයට ඉහළින් මල් මෝස්තර සහිත බිතු කැටයම් ඇත. කවුළුස්තරයේ ත්‍රිකෝණාකාර හිදැස් සර්පිලාකාර මෝස්තර තීරු සහිත රතු කිරිගරුඬවලින් සරසා ඇත. කුළුණු කොටස් සහ කවුළුස්තර දහනවවන සියවසේ මුල්කාලයේ දී එල්ජින් සාමි විසින් ඉවත් කොට ඇති අතර, ඒවා දැනට බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තබා ඇත.[4] මෙම කුළුණු හිස් පුරාතන ඊජිප්තු බලපෑම අනුව නිමවා ඇත. ඉන් එකක් දැනට බර්ලින්හි පර්ගැමොන් කෞතුකාගාරයේ තබා ඇත්තේ ඇන්ටිකන්සැම්ලුං බර්ලින්හි කොටසක් ලෙස ය. වෙනත් විසිතුරු අංග, රතු පෝෆිරි සහ කොළ ඇලබැස්ටර් පාෂාණ ඔබ්බවා සකස් කොට ඇත්තේ, ලෝකඩ යුගයේ විස්මයජනක ශ්‍රී විභූතිය කියාපාමිනි.

ගැලරිය[සංස්කරණය]

මේවාත් බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. ර්. ජේ. බී. වේස්, “එක්ස්කැවේෂන්ස් ඇට් මයිසෙනේ: IX. ද තොලොස් ටුම්බ්ස්”, ඇතැන්ස්හි බ්‍රිතාන්‍ය පාසලේ වාර්ෂිකය 25, 1923, 283-402
  2. අ ක්ලැසිකල් ඇන්ඩ් ටොපෝග්‍රැෆිකල් ටුවර් ත්රූ ග්‍රීස්: ඩියුරිං ද ඉයර්ස්, එඩ්වඩ් ඩොඩ්වෙල්
  3. 3.0 3.1 Structurae.de: ඒට්‍රියස්හි භාණ්ඩාගාරය
  4. බ්‍රිතාන්‍ය කෞතුකාගාර එකතුව

බාහිර සබැඳි[සංස්කරණය]

ඛණ්ඩාංක: 37°43′36.5″N 22°45′12.97″E / 37.726806°N 22.7536028°E / 37.726806; 22.7536028

"https://si.wikipedia.org/w/index.php?title=ඒට්‍රියස්_භාණ්ඩාගාරය&oldid=454443" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි