උප පරමාණුක අංශු

විකිපීඩියා වෙතින්

භෞතීය විද්‍යාවන්හී, උප පරමාණුක අංශ යනු පරමාණු වලට වඩා බෙහෙවින් කුඩා අංශූන් වෙති.[1] උප පරමාණුක අංශු වර්ග දෙකකි: වර්තමාන සිද්ධාන්තයන් පරිදී අනෙකුත් අංශූන් වෙතින් නොසෑදී ඇති මූලික අංශූන් සහ, සංයුක්ත අංශූන් වෙති.[2] අංශු භෞතික විද්‍යාව සහ න්‍යෂ්ටික භෞතික විද්‍යාව විසින් මෙම අංශූන් පිළිබඳ සහ ඒවා අතර අන්තර්-ක්‍රියා ඇතිවන්නේ කෙසේදැයි අධ්‍යයනය කෙරෙයි .[3]


මූලික භාවිතයේදී “පරමාණුව” (Atom) යනුවෙන් අදහස් වන්නේ බෙදා වෙන්කළ නොහැකි අංශුව යන්නයි. නමුත් වර්තමානයේ විද්‍යාඥයෝ පරමාණුව තව දුරටත් උප පරමාණුක අංශු ලෙස බෙදා වෙන් කරති‍. උප පරමාණුක අංශු අතරට ප්‍රෝටෝන, නියුට්‍රෝන හා ඉලෙක්ට්‍රෝන ද ප්‍රධාන වශයෙන් අයත් වේ.

මේ අතරින් කුඩාතම අංශුව වන්නේ ඉලෙක්ට්‍රෝනයයි. එහි ස්කන්ධය 9.10938291(40)×10−31 kg වන අතර[4] එහි ප්‍රමාණය දැනට පවතින ක්‍රම මගින් මිණිය නොහැකි තරම් කු‍ඩා වේ. ඉලෙක්ට්‍රෝන සෘණ ආරෝපිත වේ. ප්‍රෝටෝනයක ස්කන්ධය 1.672621777(74)×10−27 kg වන අතර[5] එය ආසන්න වශයෙන් ඉලෙක්ට්‍රෝනයෙහි ස්කන්ධය මෙන් 1836 ගුණයක් පමණ වේ.[6] එහෙත් ප්‍රෝටෝනයක ස්කන්ධය ඒම ප්‍රෝටෝන බැඳී ඇති න්‍යෂ්ටික බන්ධන ශක්තිය අනුව විචල්‍ය වේ. ප්‍රෝටෝන ධන ආරෝපිත වේ. නියුට්‍රෝනවලට විද්‍යුත් ආරෝපණයක් නොමැති අතර දළ වශයෙන් ඉලෙක්ට්‍රෝනයක් මෙන් 1839 ගුණයක් පමණ,[7] එනම් 1.674927351(74)×10−27 kg ක ස්කන්ධයක් සහිත වේ.[8] ප්‍රෝටෝන හා නියුට්‍රෝන යන අංශු දෙවර්ගයම ආසන්න වශයෙන් 2.5 x 10-15 m ගණයේ විශාලත්වයකින් යුක්ත වේ.[තහවුරු කර නොමැත] එහෙත් ප්‍රෝටෝන හෝ නියු‍ට්‍රෝනවල මතු පිට ස්වභාවය මේ වන තෙක් පැහැදිලිව අධ්‍යයනය කිරීමට නොහැකි වී තිබේ.

භෞතික විද්‍යාවේදී දැනට පිළිගත් සම්මතයන්ට අනුව නියුට්‍රෝන හා ප්‍රෝටෝන සෑදී ඇත්තේ ක්වාක් අංශු යනුවෙන් හැඳින්වෙන වඩාත් කුඩා අංශු වලිනි. ක්වාක් අංශු ෆර්මියෝන යනුවෙන් හැදින්වෙන උප පරමාණුක අංශු වර්ගයට අයත් වන අතර මෙම ෆර්මියෝන සහ ලෙප්ටෝන ලෙස හැඳින්වෙන තවත් උප පරමාණුක අංශු වර්ගයක් සියලුම පදාර්ථයේ මූලික තැනුම් ඒකකය බව පිළිගැනේ. ඉලෙක්ට්‍රෝන ලෙප්ටෝන සඳහා එක් උදාහරණයකි. ක්වාක් අංශු වර්ග 6 ක් පවතින අතර ඒවා සියල්ලම +2/3 ක හෝ -1/3 ක මූලික ආරෝපණයක් දරණ අංශු වේ. ප්‍රෝටෝනයක් සමන්විත වන්නේ උඩු-අත් ක්වාක් අංශු (up quark) දෙකක් හා යටි-අත් ක්වාක් අංශු (down quark) එකකිනි. උඩු-අත් ක්වාක් අංශුවක් හා යටි-අත් ක්වාක් අංශු දෙකකින් නියුට්‍රෝනයක් සමන්විත වේ. මෙම මූලික සැකසුම අනුව නියුට්‍රෝනයක් හා ප්‍රෝටෝනයක් අතර පවතින ස්කන්ධයේ හා ආරෝපණයේ වෙනස පැහැදිලි කළ හැක. ක්වාක් එකිනෙක බැඳ තබාගැනීම සඳහා ඉතා ශක්තිමත් න්‍යෂ්ටික බන්ධන ආධාර වේ. බන්ධන හටගැනීම හා පවත්වා ගැනීමට මාධ්‍යය ලෙස ග්ලූවොන නමින් හැඳින්වෙන අංශු ක්‍රියාකරයි. එනම් එම අංශු ඔස්සේ මෙම බන්ධන ශක්ති සම්ප්‍රේෂණය සිදු වේ. ග්ලූවෝන, බොසෝන යන අංශු වර්ගයට අයත් වන අතර බොසෝන භෞතික ශක්තීන් සම්ප්‍රේෂක ලෙස ක්‍රියාකළ මූලික අංශු වර්ගයයි.


References[සංස්කරණය]

  1. "සබ්ඇටමික් පාටිකල්ස්". NTD. සම්ප්‍රවේශය 5 ජූනි 2012.
  2. බොලොන්කින්, ඇලෙක්සැන්ඩර් (2011). යුනිවර්ස්, හියුමන් ඉම්මෝර්ටෑලිටි ඇන්ඩ් ෆියුචර් හියුමන් ඉවැලියුෂන්. එල්සිවියර්. පිටු. 25. . 
  3. ෆ්‍රිට්ෂ්ච්, හැරල්ඩ් (2005). එලිමෙන්ටරි ෆිසික්ස්. වර්ල්ඩ් සයන්ටිෆික්. පිටු. 11–20. . http://books.google.com/?id=KFodZ8oHz2sC&printsec=frontcover. 
  4. "CODATA value: electron mass". 2010 CODATA recommended values. National Institute of Standards and Technology. සම්ප්‍රවේශය 2011-07-01.
  5. "CODATA value: proton mass". 2010 CODATA recommended values. National Institute of Standards and Technology. සම්ප්‍රවේශය 2011-06-24.
  6. "CODATA value: proton-electron mass ratio". 2006 CODATA recommended values. National Institute of Standards and Technology. සම්ප්‍රවේශය 2009-07-18.
  7. "CODATA value: neutron-electron mass ratio". 2010 CODATA recommended values. National Institute of Standards and Technology. සම්ප්‍රවේශය 2011-07-01.
  8. "CODATA value: neutron mass". 2010 CODATA recommended values. National Institute of Standards and Technology. සම්ප්‍රවේශය 2011-06-24.
"https://si.wikipedia.org/w/index.php?title=උප_පරමාණුක_අංශු&oldid=339100" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි