Jump to content

ඉන්දියානු නිදහස් ජාතික ව්‍යාපාරය

විකිපීඩියා වෙතින්

වස්කෝ ද ගාමා නමැති පෘතුගීසි නාවිකයා විසින් ක්‍රි.ව. 1498දී ඉන්‍දියාවේ කැලිකට් නගරයට සම්ප්‍රාප්ත වී‍මෙන් පසු බටහිර ජාතීන්ට ද ඉන්‍දියාව විවෘත විය. නමුත් ටික කාලයකදී යුරෝපා ජාතීහු ඉන්‍දීය දේශපාලන කටයුතුවලට ද මැදිහත් වූහ. පෘතුගීසි, ලන්‍දේසි හා ප්‍රංශ ජාතිකයෝ ඇතැම් පෙදෙස්වල බලය ව්‍යාප්ත කළ අතර ක්‍රි.ව. 1498 වනවිට මුළු ඉන්‍දියාවේ මැ විශාල ප්‍රදේශයක බලය පිහිටුවා ගැනීමට බ්‍රිතාන්‍යයෝ සමත් වූහ.

බ්‍රිතාන්‍ය වෙළඳ සමාගමට විරුඬව කැරලි ඇතිවීම

[සංස්කරණය]

ඉන්දියාව මුළුමුනින්ම බ්‍රිතාන්‍යයන්ට අයත්වූ පසු ඔවුනට විරුඬව කැරැලි හට ගත්හ. එසේ ම බ්‍රිතාන්‍යයෝ ද සාර්ථකව කැරැලි මර්දනය කළහ. එවැනි කැරලිවල‍ට උදාහරණ:

  • ක්‍රි.ව. 1806
  • ක්‍රි.ව. 1844
  • ක්‍රි.ව. 1849
  • ක්‍රි.ව. 1850
  • ක්‍රි.ව. 1852

මින්පසු ඇතිවූ එනම් ක්‍රි.ව. 1857දී ඇතිවූ හමුදා කැරැල්ල හෙවත් සිපොයි කැරැල්ල බ්‍රිතාන්‍යයට එරෙහිව පැනනැඟි බිහිසුණු ම කැරැල්ල වීය.

ජාතිකානුරාගී අදහස් පැතිරයාම

[සංස්කරණය]

බ්‍රිතාන්‍යයෝ දුම්රිය මාර්ග, මහා මාර්ග හා තැපැල් සේවය වැනි යටිතල පහසුකම් සපයන ලද්දේ භාණ්ඩ හා මගී ප්‍රවාහනය සඳහා ය. නමුත් මෙවන් පඬතීන් ඔස්සේ ජාතිකානුරාගී අදහස් පැතිරයාම ඔවුන් ද අනපේක්‍ෂිත වූ ප්‍රතිඵලයෙක් විය.

කල්කටා ඉන්දියානු සංවිධානය

[සංස්කරණය]

මෙය සුරේන්‍ද්‍රනාත් බැනර්ජි විසින් ක්‍රි.ව. 1876දී අරඹන ලදී. මෙය 19වන සියවසේ බිහිවූ වැදගත් ම දේශපාලන සංවිධානය ලෙස හැඳින්විය හැක. බ්‍රිතාන්‍යයන් කෙරේ ඉන්‍දියානුවන් කෙරෙහිවූ අප්‍රසාදය මුල්වරට ප්‍රසිඬියේ පවසන ලද්දේ මෙම සංවිධානය විසිනි. කල්කටා ඉන්දියානු සංවිධානයේ ප්‍රධාන ඉල්ලීම්:

  • සිවිල් සේවා විභාගය ප්‍රතිසංවිධානය කිරීම.
  • අවි ආයුධ පනත් සංශෝධනය කිරීම.
  • බ්‍රිතාන්‍ය වැවිලිකරුවන්ගෙන් ගොවීන් ආරක්‍ෂා කිරීම.

ඉන්‍දියානු ජාතික කොන්ග්‍රසය

[සංස්කරණය]

සුරේන්‍ද්‍රනාත් බැනර්ජිගේ සංචාරයේදී ලැබූ මහජන ප්‍රතිචාර ඉතා ඉහළ මට්ටමක තිබූ අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් විශ්‍රාමලත් බ්‍රිතාන්‍ය සිවිල් සේවක ඇලන් ඔක්ටේවියන් හියුම් විසින් ඉන්‍දියානු ජාතික එකමුතුව අරඹන ලදී. මේ සමුළුවට ඉන්‍දි‍යාවේ සෑම ප්‍රදේශයකින් ම පාහේ නියෝජිතයෝ ආහ. නමුත් බැනර්ජි විසින් එය ඉන්‍දියානු ජාතික කොන්ග්‍රසය යනුවෙන් වෙනස් කරන ලදී. ඉන්‍දියානු ජාතික කොන්ග්‍රසය යටතේ මෝහන්දාස් කරම්චාන්‍ද් ගාන්‍ධි ද අතිමහත් සේවයක් ඉටුකරන ලදී.

ඉන්‍දීය නිදහස වෙනුවෙන් මෙකල දෙපාර්ශවයක් වූහ. එනම්,

  • ඉන්‍දියා ජාතික කොන්ග්‍රසය
  • මුස්ලිම් සංගමය
මුස්ලිම් සංගමයේ ප්‍රධානත්‍වය දැරූයේ මෙහොමඩ් අලිජින්නා විසිනි.

ඉන්‍දියාව දෙකඩ වෙයි

[සංස්කරණය]

ඉන්‍දියාවේ මුස්ලිම්වරුන්ට වෙන ම රාජ්‍යයක් අවශ්‍යය යන දර්ශනය මෙහොමඩ් අලිජින්නා මහතාගේ අදහස විය. හේ මුස්ලිම්වරුන්ට වෙන ම නිජබිමක් ඉල්වා සිටියේ ය. එම නිජබිම‍ට පන්ජාබය, වයඹ දිග දේශසීමා ප්‍රදේශ, කාශ්මීරය, සින්ඩ් යන ප්‍රදේශ අයත්විය යුතු බව යෝජනා කෙරිණි. මෙම නිජබිම පිළිබඳ මුල්ම අදහස ඉදිරිපත් කරන ලද්දේ මොහොමඩ් ඉක්බාල් නමැති කවියා විසිනි.

මෙම ප්‍රශ්නය විසඳීම‍ට බ්‍රිතාන්‍යයෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සැලැස්මක් ද සමග ශ්‍රීමත් ස්ටැෆර්ඩ් ක්‍රිප්ස් ඉන්‍දියාවට එවන ලදී. නමුත් ඉන්‍දියා ජාතික කොන්ග්‍රසය හා මුස්ලිම් සංගමය විසින් මෙය ප්‍රතික්‍ෂේප කළහ. මුස්ලිම් සංගමය පකිස්ථානය නමින් වෙන ම රටක් ඉල්වීය. මේ තත්‍වය යටතේ බ්‍රිතාන්‍යයන් මෙරටින් එලවා දැමීම සඳහා මහත්මා ගාන්‍ධි විසින් ඔහුගේ ප්‍රබලත ම ව්‍යාපාරය වූ "ඉන්‍දියාවෙන් ඉවත් වෙනු" යන්න ඇරැඹී ය. මුස්ලිම්වරුන් සඳහා ශ්‍රීමත් රාජගෝපාලචාරි විසින් සැකැසූ සැලැස්ම‍ට එකඟ වන සේ ගාන්‍ධි කීව ද අලිජින්නා එය ප්‍රතික්‍ෂේප කළේ ය. සිම්ලා සම්මේලනය ද මේ දෙපිරිස එකලස් කිරීමට සංවිධානය වුව ද එය අසාර්ථක විය.

ඉන්‍දියානු නිදහස් සටන සඳහා සුභාස් චන්‍දුබෝස්ගේ සේවය ද අමතක කළ නොහේ.

ඉන්‍දියාවට නිදහස ලැබෙයි - පාකිස්ථානය බිහිවෙයි

[සංස්කරණය]

ඉන්‍දියාවට නිදහස ලබාදීම‍ට පොරොන්‍දුවූ කම්කරු පක්‍ෂය බ්‍රිතාන්‍යයේ බලයට පත්වූ අතර ඔවුන් ක්‍රි.ව. 1946 ඉන්‍දියානු ප්‍රශ්නය විසඳීමට කැබිනට් දූත පිරිසක් එවූව ද ඔවුන්ගේ යෝජනා අනුව පකිස්ථානය පිහිටුවීමේ යෝජනාවට අලිජින්නා දැඩිව අකැමැති විය. එනිසා රාජ කුමාරවරුන් සතුව පැවති ප්‍රදේශ එකතු කර එක්සත් ඉන්‍දියාවක් ගොඩනැගීමට ප්‍රාන්තවලට ස්‍වයංපාලන බලතල දිනි. මෙම සැලැස්ම ක්‍රියාත්මක කිරීමට තාවකාලික ආණ්ඩුවක් අවශ්‍ය වූ අතර එහි තනතුරු ලබාගැනීමට මුස්ලිම් සංගමයට ආරාධනා කළ ද එය ප්‍රතික්‍ෂේප විණි. මේ තත්‍වය යටතේ ඉන්‍දියාව පුරා ම ජාති භේදවාදී කැරලි ඇතිවිය. ක්‍රි.ව. 1948 ජුනි මසට ප්‍රථම මෙය නිරාකරණය කිරීමට බ්‍රිතාන්‍ය අගමැති ක්ලේමන්ට් ඇට්ලි සාමිට අවශ්‍ය විණි. එපරිද්දෙන් ඉන්‍දීය ප්‍රතිරාජයා ලෙස මවුන්ට් බැටන් සාමිවරයා පත්කොට එවන ලදී. එහිදී ඔහු සිය සැලැස්ම ඉදිරිපත් කරන ලදී. මොහොමඩ් අලිජින්නාගේ මුරණ්ඩු ක්‍රියාකලාපය නිසා ඉන්දියාව දෙකඩ වන බව හේ කියා සිටියේ ය. ඒ අනුව,

ක්‍රි.ව. 1947 අගෝස්තු 14 දින පකිස්ථානය උපත ලැබී ය.

ක්‍රි.ව. 1947 අගෝස්තු 15 දින ඉන්‍දියාවට නිදහස ලැබිණි.

ක්‍රි.ව. 1950 ජනවාරි 26 දින සිට ඉන්‍දියාවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක විය. එතැන් සිට ඉන්‍දියාව පරමාධිකාරී බලය සහිත ප්‍රජාතන්ත්‍රවාදී සමූහාණ්ඩුවක් බවට පත්වීය.