Jump to content

අරුන්දතී (2009 චිත්‍රපටය)

විකිපීඩියා වෙතින්
අරුන්දතී
ප්‍රදර්ශන පෝස්ටරයක්
අධ්‍යක්‍ෂණයකෝඩි රාමක්‍රිෂ්ණා
රචනයචින්තාපල්ලි රාමනා
නිශ්පාදනයඑම්. ශ්‍යාම් ප්‍රසාද් රෙඩ්ඩි
රංගන ශිල්පීන්අනුෂ්කා ෂෙට්ටි
සෝනු සූඩ්
අර්ජන් බාජ්වා
සායාජි ෂින්දේ
සිනෙමාරූපණයකේ.‍ කේ. සෙන්තිල් කුමාර්
සංස්කරණයමර්තාන්ඩ් කේ.‍ වෙන්කටේෂ්
සංගීතයකෝටි
නිෂ්පාදන
company
මල්ලේමාලා එන්ටර්ටේන්මන්ට්ස්
නිකුත්වූ දිනය
  • 16 ජනවාරි 2009 (2009-01-16)
රටඉන්දියාව
භාෂාවතෙලිඟු
පිරිවැයඉන්දියානු රුපියල් මිලියන 130 (2016දී එහි වටිනාකම ඉ.රු.‍ මිලියන 230 හෙවත් ඇ.ඩො. මිලියන 3.5කි)[1]
ආදායමඉන්දියානු රුපියල් මිලියන 550 (2016දී මෙම වටිනාකම ඉ.රු. මිලියන 970 හෙවත් ඇ.ඩො. මිලියන 15කි)(ලෝක ව්‍යාප්ත ශුද්ධ ආදායම)[2]

අරුන්දතී (තෙලිඟු: అరుంధతి) යනුවෙන් හැඳින්වෙන්නේ 2009 ඉන්දියානු තෙලිඟු අඳුරු ෆැන්ටසි චිත්‍රපටයකි. කෝඩි රාමක්‍රිෂ්ණා විසින් අධ්‍යක්ෂණය කළ මෙය රචනා කරන ලද්දේ චින්තාපල්ලි රාමනා විසිනි. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබන්නේ අනුෂ්කා ෂෙට්ටි, සෝනු සූඩ්, අර්ජන් බාජ්වා සහ සායාජි ෂින්දේ විසිනි. 2009 ජනාවරි 16 දින මුදාහැරුණු මෙම චිත්‍රපටය ධනාත්මක ප්‍රතිචාර හිමි කරගත් අතර, ආර්ථික අතින් ද සාර්ථකත්වයට පත්වූයේ සර්වකාලීන දෙවන ඉහළම ආදායම හිමි කරගත් තෙලිඟු භාෂා චිත්‍රපටය බවට පත්වෙමිනි.[3] මෙහි සාර්ථකත්වය හේතුවෙන්, පසුව මෙය දෙමළ හා මලයාලම් භාෂාවන්ට හඬකවා එම නාමයෙන්ම ප්‍රදර්ශනය කෙරුණු අතර, ඕරියා බසින් හඬකවා මන්ත්‍රසක්ති ලෙස ප්‍රදර්ශනය විය. මීට අමතරව සුමීත් ආට්ස් ආයතනය විසින් මෙම චිත්‍රපටය හින්දි බසින් හඬකවා අරුන්දතී – ඒක් අනෝඛි කහානි යන තේමාවෙන් යුතුව ප්‍රදර්ශනය කරන ලදී. මෙම චිත්‍රපටයේම බෙංගාලි ප්‍රතිනිර්මාණයක් අරුන්දතී ලෙස නිර්මාණය වූ අතර, එහි ප්‍රධාන චරිතය නිරූපණය කරන ලද්දේ කොයෙල් මලික් විසිනි.

කථා පුවත

[සංස්කරණය]

අරුන්දතී (අනුෂ්කා ෂේටටි) යනු මහාසම්ස්ථානයේ ගාද්වාල්හි රාජාගේ මහා-මී-මිණිපිරියකි. ඇගේ විවාහය සඳහා කටයුතු සූදානම් කෙරෙමින් පවතියි. අරුන්දතී යනු ඇගේ මී-මිත්තණියගෙන් පසු එම වංශයේ උපත ලැබූ පළමු දැරියයි. මේ නිසා ඇයට පවුලේ අයගේ ගෞරවය හිමිවී ඇත. ඇය සිය මුත්තණුවන් වාසය කරන ගාද්වාල් වෙත යන්නේ ඔහුව මුණගැසීමටයි. පවුලේ ප්‍රධානියා වන ඇගේ මුත්තණුවන් පවා ඇයට කථා කරන්නේ තමන්ට වඩා වැඩිමහල් අයකුට මෙන් ගෞරවයෙන් යුක්තව ය‍. ඇයට ඇය සමග විවාහ ගිවිසගත් පුද්ගලයා වන රාහුල්ගේ (අර්ජන් බාජ්වා) හඬින් ව්‍යාජ දුරකථන ඇමතුමක් ලැබේ. ඉන් කියැවෙන්නේ ගාද්වාල් බලකොටුව වෙත පැමිණෙන ලෙසයි. එහි දී ඇයට භයානක සත්‍යය දැනගන්නට ලැබෙයි. නිවසේ වියපත් සේවිකාවක වන චන්ද්‍රම්මාගෙන් (මනෝරමා) සියල්ල දැනගන්නා අරුන්දතී තමන් සිය මී-මිත්තණිය වන අරුන්දතී/ජේජම්මාහට පෙනුමින් සමාන බව වටහා ගනියි.

ජේජම්මා සිතුවම් ශිල්පය, නර්තනය සහ සටන් කලාවන්ට විශිෂ්ට හැකියාවක් පෙන්වූවා ය. ඇගේ වැඩිමහල් සොයුරිය සිය මස්සිනා වන පසුපති (සෝනු සූඩ්) හට විවාහ කරදෙයි. සල්ලාලයකු වන පසුපති තමන් ප්‍රිය කරන ස්ත්‍රීන්ව දූෂණය කරන අතර, තමන්ට විරෝධය පාන අයව මරාදමයි. ජේජම්මා ලාබාල දැරියකව සිටි කාලයේ, ඇගේ නෙත් අඳ නර්තන ගුරුවරියව පසුපති විසින් දූෂණය කොට මරාදමන අයුරු එබිකම් සිදුරක් තුළින් ඇය දකියි. අතිශයින් කෝපයට පත්වන ජේජම්මා ඔහුව මරා දැමිය යුතු බවට රජුගෙන් ඉල්ලා සිටිය ද, රජු එය ප්‍රතික්ෂේප කරන්නේ එමගින් ඇගේ සොයුරියගේ ද දිවිය අඳුරු වන බැවිනි. මෙය අසා සිටින ජේජම්මාගේ සොයුරිය සියදිවි හානි කරගනියි. කෝපයට පත්වන ගාද්වාල්හි ජනයා පසුපතිට දැඩි පහර දී අශ්වයකුගේ පාදයේ ඔහුව බැඳ බිම දිගේ ඇදී යන්නට සලස්වයි. ගාද්වාලය ඔහු මියගියේ යැයි සිතා උත්සව පැවැත්වූව ද, සැබැවින්ම අඝෝරාවරුන් (කළු මායාවන්හි නිරතවන පූජකයින් පිරිසක්) විසින් පසුපතිව බේරාගනු ලැබෙයි. තන්ත්‍රික මායා කර්ම ප්‍රගුණ කරන පසුපති වසර ගණනාවකට පසු ගාද්වාල් වෙත යන්නේ පලිගැනීමේ චේතනාවෙන් යුතුවයි.

අඝෝරාවරුන් මෙන් නොව, ඔහු සිය බලය භාවිතා කරන්නේ අහිංසක ජනයාට හිංසා කිරීම පිණිසයි. ජේජම්මාගේ මංගල දිනයේ නැවත පැමිණෙන ඔහු මායා බලයෙන් ජේජම්මාගේ වස්ත්‍ර ඉවත් කරන්නට තැත් කරයි. නමුත් සටන් කලාවේ සම්මිශ්‍රණයෙන් යුතුව ඇය විශේෂ නර්තනයක් ඉදිරිපත් කරන්නේ පසුපතිව සන්සුන් කිරීම පිණිසයි. අනතුරුව ඇය ඔහුගේ දිව කපා දමා (ඔහුට මන්ත්‍ර මැතිරීමේ හැකියාව අහිමි කරමින්) අත්වලට ඇණ ගසන අතර පොකුරු පහණක් පුසපතිගේ සිරුර මත ඇද වැටීමට සලස්වයි. නමුත් ඇය ඔහුව මරා නොදමන්නේ ඔහුට 'ප්‍රේතාත්මයක්' ලැබීම වැළැක්වීමටයි. පසුපතිව පණපිටින් සොහොන්ගැබක භූමදානය කෙරෙන අතර, ඉන් පිටතට පැමිණීම වළක්වමින් බලවත් 'යන්ත්‍ර' ද යොදනු ලැබේ. පසුපතිගේ මෘතදේහය භූමදානය කෙරුණ ද, ඔහුගේ ආත්මය ගාද්වාලය වටා සැරිසරන අතර, සාගත සහ රෝග ව්‍යාප්ත කරමින් ජනයාගේ ජීවිත විනාශ කරයි. ජේජම්මා බොහෝ දේවාල සහ ඍෂිවරුන් වෙත ගොස් මෙයට පිළියමක් විමසුව ද කිසිවකුට එය විසඳිය නොහැකි වේ. අවසානයේ ඇය අඝෝරාවරුන් කිහිප දෙනකු හමුවන අතර, ඔවුන් පවසන්නේ ඇයට පසුපතිගේ පලිගන්නා ආත්මය විනාශ කළ හැක්කේ ඇගේ නැවත උපතේ දී බවයි. මේ නිසා පුනරුත්පත්තිය ලබා ගැනීමට ඇය සිය දිවිය ඇත් හැරීමට එකඟ වේ. පූජාවට ප්‍රථම සෑමදෙනාගෙන්ම සමුගන්නා මෙන් ඔවුහු ඇයට පවසති. සමුගැනීමට ප්‍රථම ඇය පවසන්නේ සිය වංශයේ උපදින පළමු දැරිය තමන්ගේ ප්‍රතිමූර්තියක් වනු ඇති බවත්, තමන්ට දක්වන ගෞරවයම ඇයට ද පිරිනැමිය යුතු බවත් ය. අනතුරුව අඝෝරාවරුන් වෙත යන ඇය වේදනාකාරී මරණයක් පතන්නේ එවිට පසුපතිගෙන් පලිගැනීමට තමන්ට ඇති චේතනාව දෙගුණු තෙගුණ වන හෙයිනි. අනතුරුව ඇගේ හිස්කබල වෙත පොල්ගෙඩිවලින් පහර දී ඇයව වේදනාකාරී ලෙස මරණයට පත්කෙරේ. අනතුරුව රැජිනිය මියයන අතර, ඇගේ කශේරුව භාවිතා කොට කණිස්සක් නිර්මාණය කෙරේ. පසුපතිව සදහටම විනාශ කළ හැකි එකම ආයුධය වන්නේ එයයි‍.

උමතු වූ පුද්ගලයකු නොදැනුවත්ව සොහොන්ගැබට ඇතුළු වන අතර ඔහු පසුපතිගේ 'ප්‍රේතාත්මය' නිදහස් කරයි. මායාකර්ම භාවිතයෙන් පුද්ගලයන් සුවපත් කරන අන්වර් (සායාජි ෂින්දේ) පසුපතිට එරෙහිව සටන් වදින මෙන් අරුන්දතීගෙන් ඉල්ලා සිටියි. සිය මී-මිත්තණිය ඇගේ අස්ථිවලින් ‘ආයුධයක්’ තනා ඇති බව අරුන්දතීට දැන ගන්නට ලැබෙයි. එය ඍෂිවරුන් සතුව පවතින බව හෙළිවේ. නිදහස් වීමෙන් පසු, අරුන්දතීට පසුපති පහර දෙන අතර, ඇය අන්වර්ගේ දේවාලය වෙත ගමන් කරයි. ආයුධය යලි සොයාගැනීමට දරන උත්සාහයේ දී ඇගේ පවුලේ අයට රත්ජන එල්ල වන අතර, චන්ද්‍රම්මා මිය යයි. පසුව ආත්මය විසින් අන්වර්ව ගිරි කුළකින් පහළට තල්ලු කොට මරාදමන බව දක්නට ලැබේ.

අන්වර් මියගියේ යැයි සිතන අරුන්දතී බලකොටුව වෙත පැමිණෙන්නේ පසුපතිහට යටත් වී සිය පවුලේ සාමාජිකයන් මරණයෙන් මුදවා ගනු පිණිසයි. නමුත් අන්වර් මියගොස් නොමැති අතර, ඔහු ආයුධය රැගෙන ඇයට ලබා දෙයි. නමුත් භාවිතයට පෙර එම ආයුධය අරුන්දතීගේ රුධිරයෙන් පෙඟවිය යුතු වේ. අන්වර් මේ බව ඇයට පැවසීමට උත්සාහ ගත්ත ද, එයට පෙර පසුපති ඔහුව මරාදමයි. තමන්ගේ දිවි රැකගැනීමට ඇති එකම පිළියම යැයි සිතා අරුන්දතී එම ආයුධයෙන් තමන්ටම ඇණ ගනියි. එවිට කිණිස්ස දිදුළන්නට වන්නේ ජේජම්මාගේ සම්ප්‍රාප්තිය විදහා පාමිනි. අරුන්දතී පසුපතිව මරා දමන අතර, මාලිගය ගිනිබත් වී යයි. අනතුරුව අරුන්දතී ජේජම්මා අයුරින් මාලිගයෙන් ඉවතට ඇවිද යනු දක්නට ලැබේ.

චරිත නිරූපණය

[සංස්කරණය]

නිෂ්පාදනය

[සංස්කරණය]

සංවර්ධනය

[සංස්කරණය]

ශ්‍යාම් ප්‍රසාද් රෙඩ්ඩි හෙළිකළේ තමන්ට අරුන්දතී නිර්මාණය කිරීමේ අදහස පහළ වූයේ අංජි (2004) චිත්‍රපටය වෙනුවෙන් ජාතික සම්මානය හිමිවූ අවස්ථාවේ බවයි.[4] මෙය චන්ද්‍රමුඛී සහ Exorcist වැනි චිත්‍රපට හේතුවෙන් පෙළඹවීඹක් ඇති වූ අතර, කාන්තාවක් වටා කේන්ද්‍ර වූ කථාවක් ඔහු නිර්මාණය කළේ "පවුලේ සෑමදෙනාටම එක්ව නැරඹිය හැකි නිර්මාණයක් අවශ්‍ය බවට වූ ඉල්ලීම හේතුවෙනි. මා එයට සම්භාව්‍ය නර්තනය ද එක් කළා. මට මෙම චිත්‍රපටය උත්කර්ෂවත් අයුරින් නිමැවීමට අවැසි වූවා. [එසේම] මෙම චිත්‍රපටය 'දුෂ්ට බලවේගවලට ඇති භීතිය' පාදක කරගනිමින් රඟචරක්වීමට අවශ්‍ය වූවාය. අරුන්දතී යහපත සහ අයහපත අතර ස‍ටනක් පිළිබඳ කියැවෙන්නකි. මේ නිසා අරුන්දතී සහ පසුපති යන චරිත ද්විත්වයම සමානව බලවත් අයුරින් නිර්මාණය කිරීමට සිදු වූවා".[4][5]

නළුවරණය

[සංස්කරණය]

ශ්‍යාම් හට අඩි 5 අඟල් 10ක උසින් යුතු සහ "අසුන් හා ඇතුක් පිට ගමන් කරන රැජිනියගේ චරිතය සඳහා රාජකීය පෙනුමක් ඇති තැනැත්තියක" අවශ්‍ය විය. ජෙමිනි කිරාන් විසින් අනුෂ්කා මෙම චරිතයට සුදුසු බව ශ්‍යාම්ට යෝජනා කොට ඇත. ඇගේ ඇගේ ඡායාරූපකරණ කටයුතුවලින් පසු, ශ්‍යාම් විසින් කථා පුවත සහ අරුන්දතී‍ගේ ගුණාංග පැහැදිළි කරන ලදී.[4] සෞම්‍යා ෂර්මා විසින් නූතන අරුන්දතීගේ චරිතයට හඬකැවූ අතර, ශිල්පා විසින් ජේජම්මාට හඬ කවන ලදී. ප්‍රධාන එදිරිවාදියා වන පසුපතිගේ චරිතය රඟපෑමට ශ්‍යාම්හට පසුපති නම් දෙමළ නළුවාව යොදා ගැනීමට අවශ්‍ය වුවත්, මෙම චරිතයට "රාජකීය පුසබිමක් ඇති හෙයින්, කුමරකු වැනි පෙනුමක් ඇත්තකු යොදාගත යුතු බැවින්", ඔහු සෝනු සූඩ්ව මේ සඳහා යොදාගන්නා ලදී. අශෝක් (2006) චිත්‍රපටයේ සෝනුගේ රංගන ප්‍රතිභාව මීට ඉවහල් විය.[4] සෝනු සූඩ්ගේ චරිතයට හඬ කවන ලද්දේ පී. රවිශංකර් විසිනි. දින 14ක් ඇතුළත හඬකැවීම් කටයුතු නිම කිරීම රවිශංකර් හට "අභියෝගයක්" වූ අතර, ඔහුගේ හඬ "5 වරක් වණයකට ලක් විය".[6]

වර්තමාන යුගයේ අනුෂ්කාගේ චරිතයට උපකාර කරන ෆකිරාවරයාගේ චරිතය පිළිබඳ ශ්‍යාම්ට අදහසක් පහළ වූයේ 1976 ඇමරිකානු සංත්‍රාස චිත්‍රපටයක් වූ The Omenහි පූජක චරිතය ඇසුරෙනි.[5] ශ්‍යාම් විසින් මෙම චරිතය සඳහා නසීරුද්දීන් ෂා, නානා පටේකාර් සහ අතුල් කුල්කර්ණි යන අයව යොදා ගැනීමට අදහස් කළ ද, ඔවුනට ඒ සඳහා දින ලබාදිය නොහැකි විය. මේ නිසා අවසානයේ සායාජි ෂින්දේ ඒ සඳහා යොදාගැනිණි.[4]

නාදපථය

[සංස්කරණය]

මෙම චිත්‍රපටයේ සංගීතය සහ පසුබිම් සංගීතය නිර්මාණය කරන ලද්දේ කෝටි විසිනි. මෙහි නාදපථය ද විචාරක පැසසුමට ලක් විය. විශේෂයෙන්ම "ජේජම්මා", "චන්දමාමා", "භූ භූ" යන නාද පථ අතිශයින් ජනප්‍රියත්වයට පත් විය. මෙහි ඇල්බමය ප්‍රමුඛ ගායක ගායිකාවන් වූ කේ. එස්. චිත්‍රා, කෛලාශ් ඛේර්, එන්. සී. කරුණ්‍යා වරනි අයගෙන් සමන්විත විය. කථා කරන අතරතුර කෝටි පැවසූයේ මෙම චිත්‍රපටය සිය වසර 30ක වෘත්තිය තුළ පෞද්ගලිකව ලද හොඳම ජයග්‍රහණය බවයි. "ජේජම්මා" පථය සඳහා, විභූතිමත් හාත්පස පැතිරි හඬක් අවශ්‍ය වූ බැවින්, කෝටි ඒ සඳහා කෛලාශ් ඛේර් යොදාගන්නා ලදී. "භූ භූ" පථය නිර්මාණයට කෝටි හට දින ගණනාවක් වැයවූ අතර, එය ගැයීමේ දී රෞද්‍ර හැඟීමක් ඇතිවිය යුතු බැවින් චිත්‍රාව ඒ සඳහා යොදාගැනිණි. සියලුම පද්‍ය රචනා සිදුකරන ලද්දේ වේතුරි සුන්දරරාම මූර්ති විසිනි. මෙම ඇල්බමය ගීත 4කින් සහ වාදන 3කින් සමන්විත ය.

පථ ලැයිස්තුව
අංකය. ගීතයගායක(යින්) කාලය
1. "චන්දමාමා නුව්වේ නුව්වේ"  සංදීප්, සායි ක්‍රිෂ්ණා, මුරලි, නාග සාහිති, රේණුකා ඇතුළු වෘන්දය. 5:35
2. "භූ භූ භූජංගම්"  කේ. එස්. චිත්‍රා 5:25
3. "කමුම් කොන්න චීකට්ලෝනා"  කෛලාශ් ඛේර් 7:48
4. "හරිවිල්ලුලෝනා ප්‍රණානිපෝසි"  එන්. සී. කරුණ්‍යා 5:15
5. "අරුන්දතීගේ ආත්මය (අරුන්දතීගේ සංගීතය)"  වාදනය 2:19
6. "දුෂ්ටත්වයේ වේදනාව (පසුපතිගේ සංගීතය)"  වාදනය 2:35
7. "විශ්වාසියා (පඛීර්ගේ සංගීතය)"  වාදනය 1:19

සම්මාන

[සංස්කරණය]
නන්දි සම්මාන

මෙම චිත්‍රපටය මුදාහැරුණේ 2009දී වුවත්, 2008 නන්දි සම්මාන සඳහා වූ චිත්‍රපට වෙනුවෙන් එය ලියාපදිංචි කොට තිබිණි. එය සම්මාන උළෙලේ ප්‍රධානත්වය ඉසිලී ය. චිත්‍රපටය ලද නන්දි සම්මාන පහත දැක්වේ:[7]

ෆිල්ම්ෆෙයාර් සම්මාන දකුණ
සන්තෝෂම් චිත්‍රපට සම්මාන

පිළිගැනීම

[සංස්කරණය]

විචාරක පිළිගැනීම

[සංස්කරණය]

මෙම චිත්‍රපටයට තරු පහෙන් තුනක් ලබාදෙමින් Rediff පැවසූයේ "චිත්‍රපටයේ ප්‍රධාන ධනාත්මක අංග වන්නේ තිරරචනය (නිර්මාණ අධ්‍යක්ෂක රාහුල් නම්බියාර් සහ මල්ලේමාලා ඒකකය), කලා අධ්‍යක්ෂණය (අශෝක්), සිනොමරූපණය (සෙන්තිල් කුමාර්), සංස්කරණය (මර්තාන්ඩ් කේ. වෙන්කටේෂ්), විශේෂ ප්‍රයෝග සහ අනුෂ්කා, සෝනු සූඩ් සහ සායාජි ෂින්දේගේ [රූ] ප්‍රතිභාවයි. සමස්තයක් ලෙස ගත් විට, අරුන්දතී යනු නැරඹිය හැකි චිත්‍රපටයක් වන අතර ඔබට දුර්වල හදවතක් නොමැති විය යුතු අතර, තාර්කිකත්වය, විද්‍යාත්මකභාවය සහ සහේතුකභාවය ඔබ ප්‍රශ්න නොකළ යුතු ය. තිරයේ දිගහැරෙන දැය ඔබ නැරඹිය යුත්තේ එහි එහි ඇති දෘශ්‍යමය ආශ්චර්යමත්භාවය හේතුවෙනි".[8] තරු හතරක් ලබාදෙමින් Sify පැවසූයේ "නැරඹීමට සුදුසු" බවත් සහ "මෙම චිත්‍රපටය මනස ප්‍රබෝධයට පත් කරවන ග්‍රාෆික සහ නිරූපණයන්ගෙන් සමන්විත ය. එසේම රංගන නිරූපණයන් ද උසස් අයුරින් පවතී. මෙහි බෙර නර්තන දර්ශනය චීන චිත්‍රපටයක් වන 'House of Flying Daggers' ඇසුරෙන් උකහාගෙන ඇති නමුත්, එය නිසි පරිදි උකහාගෙන නිරූපණය කොට ඇත. මෙහි තැත් ගන්වන අවස්ථා උච්ච අතර, යමකුට නිශ්චිතවම මෙම චිත්‍රපට දුබල හදවත් ඇත්තන් සඳහා නොවන බව පැවසිය හැක. ප්‍රේක්ෂකයන් බියගන්වන ත්‍රාසජනක අවස්ථා ප්‍රමාණවත් අයුරින් පවතියි. තෙලිඟු සිනමාවේ මෙතෙක් නිර්මාණය කෙරුණු විශිෂ්ටතම චිත්‍රපටයක් වන මෙය, තාක්ෂණික වශයෙන් වුව ද හොඳ ජනමෝදකයක් වනු ඇත".[9]

බොක්ස්-ඔෆිස්

[සංස්කරණය]

මෙම චිත්‍රපටය බොක්ස් ඔෆිස් අතින් දේශීය වශයෙන් ඉන්දියානු රුපියල් මිලියක 300ක ශුද්ධ ආදායමක් හිමි කරගත් අතර,[2] විදේශ වෙළඳපොල තුළ ඉන්දියානු රුපියල් මිලියන 30ක ආදායමක් හිමි කරගත්තේ ය.[10] චන්ද්‍රිකා විකාශන අයිතීන් මගින් ද ඉන්දියානු රුපියල් මිලියන 70ක ආදායමක් හිමි විය.[11]

උරුමය

[සංස්කරණය]

අරුන්දතීගේ සාර්ථකත්වය හේතුවෙන් අනුෂ්කා හට තෙලිඟු සිනමාවේ අතිශය ජනප්‍රිය නිළියක වීමේ අවස්ථාව හිමි වූ අතර, ප්‍රමුඛ තෙලිඟු නිළියක ලෙස ඇය ප්‍රකට විය.[12] මෙම චිත්‍රපටයත් සමග සෝනු සූඩ්ගේ ද ජනප්‍රියත්වය ඉහළ ගිය අතර, දකුණු ඉන්දියානු චිත්‍රපට ගණනාවක දුෂ්ට චරිත නිරූපණයට ඔහුට අවස්ථාව හිමි විය. අරුන්දතී මුදාහැරීමෙන් පසු, පසුපතිට හඬකැවූ පී. රවිශංකර් ජනයා අතර ජනප්‍රියත්වයට පත් අතර, ඔහුව ජනමාධ්‍යවල ඉන්පසුව හැඳින්වුණේ 'බොම්මාලි රවි ශංකර්' ලෙසයි.[13]

ගෝපිමෝහන් නම් ලේඛකයා අනුව, අරුන්දතී හේතුවෙන් ප්‍රේක්ෂකයන් "නිර්මාණශීලී අන්තර්ගතයන් පිළිගන්නට පෙළඹුණු බවත්" සහ මගධීරා චිත්‍රපටය විසින් යුගය, සමාජ-ෆැන්ටසිය සහ අධ්‍යාත්මික තේමා රැගත් පර්යේෂණ රැල්ලක් ඇරඹූ බවයි. මෙම ප්‍රවණතාව පංචාක්ෂරි (2010), නාගවල්ලි (2010), අනාගනාග ඕ ධීරුදු (2011), මංගලා (2011), ශ්‍රී රාම රාජ්‍යම් (2011) සහ ඌ කෝඩතාරා? උලික්කි පාඩතාරා? (2012) වැනි චිත්‍රපට මගින් ඉදිරියට ගෙන යන ලදී.[14] තම්මරෙඩ්ඩි භාරද්වාජා පැවසූයේ "මෙතෙක් අරුන්දතී සහ මගධීරා බොක්ස් ඔෆිස් ක්ෂේත්‍රයේ ලද සාර්ථකත්වයත් සමග කර්මාන්තයේ සෙස්සන් ද ඔවුන්ගේ පියවර අනුගමනය කරන්නට විය. මේ වනවිට ඉහළ අයවැයක් සහිත චිත්‍රපට නිපදවීම උන්මාදයක් බවට පත්ව ඇති අතර, නිෂ්පාදකයින් මිත්‍යා චිත්‍රපට නිර්මාණයට සිය අවධානය යොමුකොට ඇත. ඔබට කෝටි ගනනක් වියදම් කොට පසුතල නිර්මාණය කර, චිත්‍රපටයේ පෙනුම වෙනස් කළ හැකි එකම ගණය එයයි. නමුත් ඔවුන් වටහා නොගන්නා දෙය නම්, මෙම චිත්‍රපටය සාර්ථක නොවුවහොත් නිෂ්පාදකයාට ඉන් වන හානිය ප්‍රබල ය." අනාගනාග ඕ ධීරුදු (2011) සහ ශක්ති (2011) වැනි චිත්‍රපට ආර්ථික වශයෙන් අලාභදායක විය. බද්‍රිනාත් (2012) සාමාන්‍ය ආදායම් ලද චිත්‍රපටයකි. මේ සියල්ල ෆැන්ටසි චිත්‍රපට වූ අතර, ප්‍රධාන චරිතය රණකාමියකු විය.[15][16]

මේවාත් බලන්න

[සංස්කරණය]

ආශ්‍රේයයන්

[සංස්කරණය]
  1. ^ "'Arundhathi' made on 13 crores". IndiaGlitz. 14 December 2008 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 13 December 2008.
  2. ^ a b Magadheera: First Week Gross 20 Cr. Greatandhra.com (5 August 2009). Retrieved 7 June 2012.
  3. ^ "Telugu Box Office: Arundhati is a blockbuster". Sify. සම්ප්‍රවේශය 28 January 2009.
  4. ^ a b c d e Arundhati – Post mortem – Telugu cinema – M Shyam Prasad Reddy. Idlebrain.com. Retrieved 7 June 2012.
  5. ^ a b Arundhati – Post mortem – Telugu cinema – M Shyam Prasad Reddy. Idlebrain.com (18 February 2009). Retrieved 7 June 2012.
  6. ^ "P Ravishankar interview - Telugu cinema interview". Idlebrain. සම්ප්‍රවේශය 14 November 2015.
  7. ^ Nandi awards 2008 announced – Telugu cinema news. Idlebrain.com (24 October 2008). Retrieved 7 June 2012.
  8. ^ "Arundhati is haunting and thrilling". Rediff. 22 January 2009 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 19 January 2009.
  9. ^ "Movie Review :Arundhati". Sify.
  10. ^ සංරක්ෂිත පිටපත, http://www.deccanchronicle.com/chennai/year-surprises-tamil-movies-434, ප්‍රතිෂ්ඨාපනය 2017-11-09 
  11. ^ 'Arundhathi' Satellite rights for Rs 7 Crores සංරක්ෂණය කළ පිටපත 2014-02-02 at the Wayback Machine. Lazydesis (19 February 2009). Retrieved 7 June 2012.
  12. ^ "Top Telugu actresses of 2009 - Rediff.com Movies". movies.rediff.com. සම්ප්‍රවේශය 14 November 2015.
  13. ^ "His Master's Voice". The Hindu. සම්ප්‍රවේශය 14 November 2015.
  14. ^ "Old genres, new packaging!". The New Indian Express. 5 September 2011. 14 November 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 14 November 2014.
  15. ^ Bhat, Prashanth (10 May 2011). "Mythological characters, a hit in T-town". The Times of India. 19 December 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 19 December 2014. {{cite web}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  16. ^ "Badrinath completes 50days in 187 theatres". The Times of India. 3 August 2011. 19 December 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 19 December 2014. {{cite web}}: Italic or bold markup not allowed in: |publisher= (help)

බාහිර සබැඳි

[සංස්කරණය]

සැකිල්ල:Kodi Ramakrishna

"https://si.wikipedia.org/w/index.php?title=අරුන්දතී_(2009_චිත්‍රපටය)&oldid=722584" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි