Jump to content

අනුමතිය

විකිපීඩියා වෙතින්

අනුමතිය නැතහොත් කැමැත්ත යනු පුද්ගලයෙකු විසින් වෙනත් පුද්ගලයෙකුගේ යෝජනාවකට හෝ අභිමතයකට දක්වන එකඟතාවයි. නීතිය, වෛද්‍ය ක්ෂේත්‍රය, පර්යේෂණ, සහ ලිංගික සබඳතා යන විවිධ සන්දර්භ වලදී මෙම සංකල්පය සඳහා විවිධ අර්ථකථන ඇත. එම අර්ථකතනයන්, 'අනුමතිය' හෝ 'කැමැත්ත' යන වචනවල සාමාන්‍ය එදිනෙදා අර්ථයෙන් වෙනස් විය හැක. උදාහරණයක් ලෙස, මානසික ආබාධයකින් පෙලෙන තැනැත්තෙක් හෝ නීත්‍යනුකූලව ලිංගික අනුමතිය ලබාදිය හැකි වයසට වඩා අඩු වයසැති තැනැත්තෙකු විසින් ස්වකැමැත්තෙන් සිදු කරන ලිංගික ක්‍රියාවක් වුවද, සාමාන්‍යයෙන් නීතිය ඉදිරියේ නිසි අනුමතියක් ලෙස පිළි නොගැනේ.

එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන සහ ලිංගික අධ්‍යාපන වැඩසටහන් විශ්වාස කරන්නේ පරිපූර්ණ ලිංගිකත්ව අධ්‍යාපන ක්‍රමයක් යටතේ 'අනුමතිය' යන මාතෘකාව ඉගැන්වීම ප්‍රයෝජනවත් බවයි. ව්‍යංග්‍ය අනුමතිය, ප්‍රකාශිත අනුමතිය, අවබෝධිත අනුමතිය සහ ඒකමතික අනුමතිය යනුවෙන් අනුමතියෙහි විවිධ ආකාර ඇත.

  • අනුමතිය ව්‍යංග්‍යයෙන් තොරව පැහැදිලිවම, ඍජුවම ලබාදීම. මෙය ලිඛිතව (උදා. කොන්ත්‍රාත්තුවක්), වාචිකව, හෝ අවාචිකව (උදා. හිස සැලීමක් වැනි අභිනයකින්) ලබාදිය හැක. ඇසින්දුටු සාක්ෂිකරුවෙකු හෝ වීඩියෝ/ශබ්දපට සාක්ෂි නොමැති අවස්ථාවක ලබාදෙන ලිඛිත නොවන අනුමතියක්, පසුව එක් පාර්ශවයක් විසින් ප්‍රතික්ෂේප කිරීමට ඉඩ තිබේ.
  • ව්‍යංග්‍ය අනුමතිය යනු පුද්ගලයෙකුගේ හැසිරීම් නිරීක්ෂණයෙන් හෝ අදාළ අවස්ථාවේ සන්දර්භය සලකා බැලීමෙන් අනුමතිය පවතී යැයි නිගමනය කිරීමකි. ඇතැම් අවස්ථාවල පුද්ගලයාගේ නිහඬභාවය හෝ අක්‍රියාශීලීභාවය අනුමතිය ලබාදීමක් ලෙස නිගමනය කෙරේ. බොක්සිං වැනි ක්‍රීඩාවකදී, තමාට ශාරිරීක පීඩා සිදු කිරීම සඳහා ක්‍රීඩකයන් ප්‍රතිවාදියා හට ව්‍යංග්‍ය අනුමතියක් ලබාදේ.
  • වෛද්‍ය ක්ෂේත්‍රයේදී, අවබෝධිත අනුමතිය යනු පුද්ගලයෙකු යම් කිසි ක්‍රියාවක (උදා. වෛද්‍ය ප්‍රතිකාරයක) ප්‍රතිවිපාක පිළිබඳ මනා අවබෝධයකින් යුතුව ලබාදෙන අනුමතිය වේ. සමාජ විද්‍යාත්මක අධ්‍යනයකදී, පුද්ගලයෙක් විසින් පර්යේෂණ පටිපාටිය ගැන මනා අවබෝධයක් ලබාගැනීමෙන් පසුව, පර්යේෂණය සඳහා සහභාගී වීමට ලබාදෙන කැමැත්ත ද අවබෝධිත අනුමතියක් වේ. ලිංගික ක්‍රියාවක යෙදීමේදී, එයට සම්බන්ධ වන තැනැත්තන් තම තමන් යම් ලිංගාශ්‍රිත රෝග වලින් පෙළේ දැයි යන්න පිළිබඳ අනෙක් තැනැත්තන් දැනුවත් කිරීමෙන් පසු, ඔවුන් ලබාදෙන කැමැත්ත ද, අවබෝධිත අනුමතියකි.
  • ඒකමතික අනුමතිය යනු පාර්ශ්ව කිහිපයකින් සමන්විත කණ්ඩායමක (උදා: සංගමයක) සියලු පාර්ශ්වයන් විසින් ලබා දෙන කැමැත්ත වේ.
"https://si.wikipedia.org/w/index.php?title=අනුමතිය&oldid=698413" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි