ශේෂා පළිහක්කාර

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
ශේෂා පළිහක්කාර
Shesha Palihakkara
උපත ශේෂා පළිහක්කාර
 ශ්‍රී ලංකා
මියගියේ ජූලි 12, 2009

ශේෂා පළිහක්කාර (මරණය 2009 ජූලි 12) ශ්‍රී ලංකාවේ හිටපු ප්‍රවීණ නර්ථන ශිල්පියෙකු, රංගන ශිල්පියෙකු සහ නිෂ්පාදකවරයෙකු වෙයි. ඔහු විසින් රංගනයෙන් දායක වූ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ රේඛාව චිත්‍රපටිය සහ ඔහු විසින් නිෂ්පාදනයෙන් දායක වූ ගැටවරයෝ, සාරවිට සහ රන්මුතු දූව යන චිත්‍රපටි හේතුවෙන්, එකල ජනයා අතර ඔහු පිළිගැනීමට ලක්විය.

මුල් දිවිය[සංස්කරණය]

ගම්පහ දිස්ත්‍රික්කයේ කඩවත්ත, රුප්පාගොඩ ගම්මානයේ උපත ලත් පළිහක්කාර මහතා, සිය අධ්‍යාපන කටයුතු කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයෙන් සහ කොළඹ ශාන්ත ජෝෂප් විද්‍යාලයෙන් හදාරණ ලදී. වයස අවුරුදු 14 දී, විදුර මුද්‍රා නටකයේ චිත්‍රසේනයන්ගේ රංගනය දුටීමෙන්, පළිහක්කාර නැටුම් ශිල්පියෙකු බවට පත්වීමට පෙළඹුණු බව සඳහන්ය.[1][2]

පාසලෙන් සිය ජේ්‍යෂ්ඨ සහතිකය ලබා ගැනීමට පොරෝතුවම ඉන් ඉවත් වුනු පළිහක්කාර, ඉන්දියාවේ ශාන්ති නිකේතනය වෙත ගොස් එහි අවුරුදු දෙකක් රැදී සිටිමින් නර්ථන කලාව හදාරන ලදී. නර්ථන කලාවට අමතරව එහිදී ඔහු චිත්‍ර කලාව සහ මූර්ති කලාව හැදෑරූ බව සඳහන් වෙයි. පසුව ඔහු දකුණු ඉන්දියාවේ කලා ක්ෂේත්‍ර ආයතනයේද ලියාපදිංචි වූ බව පැවසෙයි.[1][2]

ඉන්දියාවේ කලා අධ්‍යාපන කටයුතු නිම කිරීමෙන් අනතුරුව, 1948 දී නැවතත් ශ්‍රී ලංකාව වෙත පැමිණි පළිහක්කාර, එම වසරේ මෙරට නිදහස ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වූ ජාතික උත්සවයන්ටද සහභාගී වන ලදී.[2] පසුව පී. ආර්. ඇන්තෝනිස් සහ කේ. ඩී. ඒ. පෙරේරා යන අයගේ සහයෙන්, බොරැල්ලේ නැටුම් පාසලක් ආරම්භ කිරීමටද ඔහුට හැකිවිය.[1]

1949 වර්ෂයේදී ඉන්දියානු නර්ථන ශිල්පියෙකු වූ රාම්ගෝපාල් ගේ සංචාරක නාට්‍ය කණ්ඩායම සමග එක්වූ පළිහක්කාර, ඔවුන් සමග එංගලන්තය බලාගොස් යුරෝපය පුරා විවිධ ඉදිරිපත් කිරීම් සිදු කල බව පැවසෙයි.[2]

චිත්‍රපටවලට දායක වීම[සංස්කරණය]

නැවතත් ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු පළිහක්කාර මහතා, අහංකාර ස්ත්‍රී සහ පුදුම ලේලි යන චිත්‍රපටි සඳහා නාට්‍ය රචනයෙන් දායක වූ අතර, 1953 දී තිරගත වූ මාතලන් චිත්‍රපටියේ චරිතයකටද ඔහු රංගනයෙන් දායකත්වය ලබා දුනි. මාතලන් චිත්‍රපටය ලත් අසීමිත සාර්ථකත්වය නිසා පළිහක්කාර මහතාද බොහෝ දෙනා අතර අවධානයට පාත්‍ර විය.[1][2]

අනතුරුව ඔහු රේඛාව චිත්‍රපටයටද සිය රංගනයෙන් දායක වූ අතර, 1954 දී එක්සත් ජනපදයේ චිත්‍රපටියක් වූ ද බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි සඳහා අංග රචන ශිල්පියෙක් ලෙසද දායක වූ බව සඳහන්ය.[1]

පසුව නැවතත්, තම මිතුරු රාම්ගෝපාල් සහ ඔහුගේ කණ්ඩායම සමග එකතු වීම පිණිස, පළිහක්කාර මහතා ලන්ඩන් බලා පිටත් වූ අතර, ඊට මාස දහයකට පසු ඔහුට ආසියානු සංගීත සංගමයේ (Asian Music Society) සාමාජිකයෙකු වීමටද හැකිවිය. නමුත් ඇදුම රෝගය වැළඳීම නිසා 1959 දී ඔහු නැවතත් මෙරටට පැමිණියේය.[1]

චිත්‍රපටි නිෂ්පාදනය[සංස්කරණය]

1960 වර්ෂයේදී අධ්‍යක්ෂක මයික් විල්සන් (Mike Wilson) සහ සර් ආතර් සී ක්ලාක්, මහත්වරුන්ගේද සහය සහිතව, පළිහක්කාර මහතා මෙරට ප්‍රථම සිංහල වර්ණ චිත්‍රපටිය වූ රන් මුතු දූව නිෂ්පාදනය කල අතර, එම චිත්‍රපටිය මෙරට ප්‍රථම දිය යට දර්ශන සහිත චිත්‍රපටිය ලෙසද සැලකෙයි.

ඔහුගේ දෙවන නිෂ්පාදනය වූ, මයික් විල්සන් හා තිස්ස ලියනසූරිය විසින් අධ්‍යක්ෂණය කල ගැටවරයෝ චිත්‍රපටිය 1966 වසරේ සරසවිය සම්මාන හිමිකර ගත් අතර, පළිහක්කාරගේ තෙවන නිෂ්පාදනය වූ සාරවිට චිත්‍රපටිය ඊට පසු වර්ෂයේ නිමැවිණි.[2]

දිවියේ අවසන් සමය[සංස්කරණය]

සාරවිට චිත්‍රපටිය නිෂ්පාදනයෙන් අනතුරුව සිය චිත්‍රපටි හා සම්බන්ධ දිවියට සමුදුන් පළිහක්කාර පසුව වැවිලි සම්බන්ධ ව්‍යාපාර කෙරෙහි නැඹුරු විය. නමුත් 2000 දශකයේදී පළිහක්කාර මහතා , චන්ද්‍රම් රත්නම් මහතා විසින් නිෂ්පාදනය කල, රොප් නෙවිස් විසින් අධ්‍යක්ෂණය කල රෝමියෝ ඇන්ඩ් ජුලියට් චිත්‍රපටියට රංගනයෙන් දායක විය.[2]

දේශීය සිනමාවට ඔහු කල මෙහෙය අගයා 2007 වර්ෂයේදී පළිහක්කාර මහතාට, සරසවිය සම්මානයක් වූ රණතිසර සම්මානය පිරිනැමිණි.[3]

2009 වසරේ ජුලි 12 වන දින සිය දිවියට සමුදෙමින් ශේෂා පළිහක්කාර මහතා අභවප්‍රාප්ත විණි.

ආශ්‍රිත[සංස්කරණය]

  1. 1.0 1.1 1.2 1.3 1.4 1.5 "ශේෂා පළිහක්කාර". ඉන්ෆො ලන්කා. 2001. http://www.mysrilanka.com/travel/lanka/people/shesha.htm. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2007-04-22. 
  2. 2.0 2.1 2.2 2.3 2.4 2.5 2.6 Welabada, Lakmal (2004). "ශේෂා පළිහක්කාර : ඔන් ඇන් ආටිස්ට් කෘසේඩ්". ඩේලි නිව්ස්. http://www.sundayobserver.lk/2004/09/26/fea20.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2007-04-22. 
  3. "ප්‍රයි මිනිස්ටර් කෝල්ස් ෆෝර් කොලිටි ෆිල්ම්ස්". ඩේලි නිව්ස්. 2007. http://www.dailynews.lk/2007/04/07/news20.asp. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2007-04-22. 

බාහිර සබැඳි[සංස්කරණය]

"http://si.wikipedia.org/w/index.php?title=ශේෂා_පළිහක්කාර&oldid=302816" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි