Jump to content

මඩුවන්වෙල වලව්ව

විකිපීඩියා වෙතින්
ඓතිහාසික මඩුවන්වෙල වලව්ව
මඩුවන්වෙල මහ දිසාව

සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් ඇඹිලිපිටිය සුරියකන්ද මහා මාර්ගයේ 14 වන සැතපුම් කණුව ආසන්නයේ රමණීය පරිසරයක මඩුවන්වෙල වලව්ව පිහිටා ඇත. වලව්ව පිහිටි ඉඩම අක්කර 20 ක පමණ විශාල භූමි භාගයකි. නොයෙක් වටිනා තුරුලතාවලින් පිරි අලංකෘත උද්‍යානය වලව්ව අවට සුන්දරත්වය ඉස්මතු කරයි. පවුරු තුනකින් අලංකාර වු මඩුවන්වෙල වලව්වේ පිටත පවුර ශක්තිමත් කළු ගලින් නිමවා ඇත. එහි ඇතුළුවන දොරටුව "ගල් උළුවස්ස" නම්වේ. දොරටුව දෙපස මනරම් ලියවැල්ද ඒ මත මකර තොරණක හැඩයට ගල් ආරුක්කුවක්ද දක්නට ලැබේ. තොරණ දෙපස කැටයම් කළ නෙළුම් පොහොට්ටු දෙකක් ඇත. පෙර කළ ඒ අසල පුන් කලස් තුනක්ද තිබු බව කියවේ. වලව්වේ මැද කොටසට සම්බන්ධ වන කොටසේ මනරම් ලියවැල් හා බොරදම් කැටයම් දක්නට ලැබේ. ඇතුළු පවුර "පහන්පවුර "නම් වන අතර එහි අලංකාර පහන් කුටි රුසක් ඇත. එමෙන්ම වලව්වට ජල පහසුව සැපයු සිසිල් ජලය පිරි ළිඳද පිඟන් ගඩොල් අතුරා ඇති නාන ගෙයි නෂ්ටාවශේෂද, වසර සිය ගණනක් පැරණි කුඹුක් හා හික් ගස්ද වලව්වේ ජීවත් වු මහා රදළවරයාගේ පෞරුෂත්වය නොසඟවා හෙළි කරන්නේ අභිමානයෙනි.

වලව්වේ ගෘහ නිර්මාණාත්මක ලක්‍ෂණ

[සංස්කරණය]
ගල් දොරටුව ඇතුළු තවත් අංග කිහිපයක්

මඩුවන්වෙල වලව්ව ඵෙතිහාසික වශයෙන් වැදගත් වන්නේ එහි නිර්මාණකරුවා ගෘහනිර්මාණ ශිල්පයේ ලා දැක්වු මහඟු ප්‍රතිභාව නිසාමය. වලව්වේ සෑම බිම් අඟලක් පාසාම එම කුසලතාව ප්‍රකට වේ. ඒ අතර විශිෂ්ටතම නිර්මාණ රැසකි. ඒ සියල්ලම එක හා සමාන වැදගත්කමක් උසුලන අතර වර්තමාන දෙස් විදෙස් සංචාරකයින්ගේ සිත් ඇද බැඳ තබා ගැනීමට සමත් වී ඇත. ඉතා විශාල වලව් මිදුලේ ඉදිකර ඇති වතුර මල සහිත ජල තටාකය ඉන් ප්‍රධාන වේ. අඩි 3ක් පමණ උස් ශක්තිමත් කළු ගල් වේදිකාවක ඉදිකළ වලව්වට ඇතුළු වීමට දොරටු තුනකි.ඒවායේ පියගැට පෙළ පාමුල අලි ඇත් රූප සහිත සඳකඩපහණ දක්නට ලැබේ. ප්‍රධාන දොරටුවෙන් ඇතුළු වු පසුව මහ බංගලාව නම් ආලින්දයට පිවිසෙන අතර එහි මඩුවන්වෙල දිසාවේගේ ජීවමාන ස්වරූපයේ ඡායාරූපයක් දක්නට ලැබේ. ත්‍රිමානශිලී ස්වරූපයක් පෙන්වන මෙම ඡායාරූපයේ රාමුව සියඹලා හා කනමැදිරිය ගස්වල අරටුවෙන් කළ සියුම් කැටයම්වලින් සමන්විතය. ඉතා මනරම් ලියවැල්,බොරදම් හා කුඩා තොරණක්ද මෙම රාමුවට අයත් වේ. රටේ මහත්තයාගේ ඡායාරූපය පසෙක ඔහුගේ දෙවන බිරිඳ වු කලවානේ කුමාරිහාමිගේ ඡායාරූපයක් දක්නට ලැබේ. මීට අමතරව මහ බංගලාව නම් කාමරය තුළ ඇත්තේ කළු ගලින් කරන ලද පැන්තාලියක් , කළු ගලින් කළ පුටුවකුත්, කැසිකිලි ගලක්, ගව හිසක් හා නාන කාමරයක සුන්බුන් පමණි.

මහ බංගලාව නම් ශාලාව අසල පිහිටි පුංචි බංගලාව නම් ශාලාවේ කටුවන ලන්දේසි බලකොටුවට පහරදී ගෙන ආ දොර උළුවස්ස සවි කල බව කියැවෙයි. උළුවහු කඳන්වල බොරදම් දක්නට ලැබෙන අතර දොර තනි කොස් ලීයෙන් සැදුවකි. එය අඩි තුනක් පමණ පළල අතර අඟල් දෙක හමාරක් පමණ ඝනකමින් යුතුය. මෙම පුංචි බංගලාව රැස්වීම් ශාලාවක් ලෙස භාවිතා කර ඇති අතර සතරවට විසිතුරු ආවරණයෙන් යුතුය. මනාව ආලෝකය ලැබෙන මැද මිදුලක්ද අමුත්තන් සඳහා පළිඟු කැඩපතක් සවි කර තිබු ස්ථානයක්ද මෙහි දක්නට ලැබේ. මැද මිදුල් වටවී ඇති ඉස්තෝප්පු බිම පිඟන් කටු ගල්වා සරසා ඇත. ඉස්තෝප්පුවල ලී කුළුණු මහනුවර යුගයේ කැටයම්වලට නෑකම් කියයි. සියලු තැන්වලට යොදා ඇති ලී පරාල මනාව යතු ගා ඇත.

සතරවට ලී කැටයමින් යුතු කොරිඩෝව වලව්වේ අමුත්තන් පිළිගැනීමේ ශාලාවයි.නිල් වීදුරු කවුළු,බිම පිඟන් කටු සැරසිලි,රන් පවුම් හා වටිනා මැණික් එබ්බවු ලාංඡන,පිඟන් කටුයෙන කරන ලද මකර රූප,අලි රූප, හා නෙළුම් මල් රූප අදටත් මෙම කොරිඩෝව අලංකාර කරයි.මෙහි ඇති තවත් වැදගත් අංගයක් වන්නේ වික්ටෝරියා රැජිනගේ පින්තූරය සහිත පිඟන් කටු බිමට අතුරා තිබීමයි.(මඩුවන්වෙල දිසාවේගේ සයනාගාරයේද වික්ටෝරියා රැජිනගේ රූපය හා ඉංග්‍රීසි ලාංඡනය වන රන් පවුම පයට පෑගෙන ලෙස අතුරා ඇත)ඒ තුළින් මඩුවන්වෙල දිසාවේගේ අදීන සිංහල හදවත හා ඔහු ඉංග්‍රීසි ආණ්ඩුව පිළිකුල් කළ ආකාරය හෙළිවන බව සමහර විද්වතුන්ගේ මතය වේ.

වලව්වේ වහලයට යොදාගෙන ඇත්තේ නුවර යුගයේ පෙති උළුය. නඩු ශාලාව හා මුලුතැන් ගේ කොටසක් පමණක් සිංහල ගැමි උළු(වලව් ඉඩමේ සියුම් මැටිවලින් සකස් කළ)සෙවිලි කර ඇත.1930 දශකයේ පමණ මෙම වලව්වේ කාමර 121ක් හා මැද මිදුල්21ක් තිබී ඇත.අද දක්නට ඇත්තේ කාමර 43ක් හා මැද මිදුල් 7කි.සිංහල ජනතාව වාරි කර්මාන්තයේ ලා දැක්වු අමිල නිපුනපාව ප්‍රකට කරමින් මැද මිදුල්වලට හා වලව් වත්තට එකතු වන සියලු ජලය මඩුවන්වෙල වැවට වැටෙන සේ සකස් කළ මනා ජලවහන පද්ධතියක්ද තිබු බවට සාධක අදටත් දෘෂ්‍යමානය. මඩුවන්වෙල වලව්වේ තිබෙන කාමර අතර බුරුත මාලිගයට නම් කාමරයට වැදගත් තැනක් හිමිවේ.මුළුමනින්ම පාහේ බුරුත ලීයෙන් නිමවා ඇති ඇත්දත්ඇණ අල්වා,කළුවර ලීස්තර කැටයමින් සරසා ජනෙල්වලට වීදුරු සවි කර ඇත.සුදු නිලධාරින් සමඟ සාකච්ඡා කිරීම් ආදිය සඳහා මෙම කාමරය භාවිතා කළ බව කියවේ.බුරුත ලී සොල්දර තට්ටුව යට කාමරය මිනිරම් කපරාරු කර හුණු පිරියම් කර ශිත කාමරයක් ලෙස සකස් කර ඇත.එය ශිත දේශගුණයට හුරුවු සුදු නිලධාරින්ගේ සුව පහසුව සඳහා භාවිතා කර ඇත.

කලාකාමී හදවතක් තිබු මඩුවන්වෙල දිසාවේට වින්දනය පිණිස නැටුම් පැවැත්වීමට ඉදි කළ දික් ගෙයි නැටුම් කාමරයද වලව්වේ තවත් අපුරු අංගයකි.ඒ අසල ඇත්තේ ඉංග්‍රීසි ප්‍රභූන් හා ක්‍රීඩා කිරීමට ඉදි කළ බිලියඩ් කාමරයයි.දිසාවේගේ සයනාගාරය ලෙස භාවිතා කළ කොටස සතර වටින් අගුල් දැමිය හැකි මැද මිදුලක් අයිනේ වු ආලින්දයකි. එහි බිම මැද රන් පවුම් හා මැණික් ඔබ්බවා තිබී ඇත.සයනාගාරයේ දොරටුව අසල තුවක්කුව, කඩුව හා සැරයටිය තැබිය හැකි රහස් පෙට්ටියක් විය. සයනාගාරයට යාබදව ආයුධ ගබඩාව තිබු අතර කටුවන ලන්දෙසි බලකොටුවට පහර දී ගෙන ආ කාලතුවක්කු දෙකද එහි වු බව කියවේ. ආයුධ ගබඩාව ආසන්නයේ රට බීම ගබඩාවක් ද තිබුණි. දිසාවේගේ සයනාගරයට අලලා තවත් පසෙක කලවානේ කුමාරිහාමිගේ සයනාගාරය දක්නට ලැබේ.

වලව්වේ විසු රදළ පිරිසගේ කෑම කාමරය හා මුළුතැන්ගෙය වලව්වේ මැද භාගයේ දක්නට ලැබෙන අතර කුමාරිහාමිලාගේ නාන කාමර වලව්වේ පිටුපස කොටසේ තිබී ඇත. ගබඩා කාමර,ධාන්‍ය කාමර ආදී සියලු අදටත් දෘෂ්‍යමානය. නමුත් අනාගතයේ ඒවා දැක බලා ගැනීමට නම් සංරක්ෂණය කිරීම කළ යුතුය.අලුත් බුදු මැදුර හා පැරණි බුදු මැදුර නමින් හැඳින්වෙන කාමර දෙකක් මඩුවන්වෙල දිසාවේගේ සයනාගාරය දෙපස ඇති අතර එහි බිම පිඟන් කටු මෝස්තරයෙන් අලංකාර කර ඇත. වහලයට සීලිමක් යොදා සායම්වලින් මල් කැටයම් ඇඳ එය විචිත්‍රවත් කර ඇත. රජ මාලිගයක දක්නට ඇති රහස් කුන්ඩයන් හා කුරුබිලිද මෙහි දක්නට ලැබේ. එමෙන්ම ප්‍රදේශයේ අධිකරණ බලය දිසාවේට පැවරී තිබු නිසා වලව්වේ නඩු ඇසීමේ කාමරයක්ද විය. මහ බංගලාව අසලින් නඩු ශාලාවට යාමට කොරිඩෝවක් තිබු අතර නඩු ශාලාවේ දොරටුවට ඉහළින් මී හරක් අං තට්ටුවක් සවි කර තිබුණි. මේ ආකාරයට මඩුවන්වෙල වලව්ව පුරාවට විහිදී ඇති වාස්තු විද්‍යාත්මක නිර්මාණ සාරාංශ ගත කළ හැකි අතර ඒ තුළින් අභිමානවත් පරපුරක තේජාන්විත උරුමය සජීවාරෝපනය කරයි.

මඩුවන්වෙල පරපුර

[සංස්කරණය]

මඩුවන්වෙල පරපුරේ ඉතිහාසය ක්‍රි:ව 1700 පමණ ඈත අතීතයට දිවයයි.මඩුවන්වෙල පරපුරේ ආදිතමයා ජීවත් වී ඇත්තේ එදා දෙදරන්ගමුව නමින් හැඳින්වුන මාදන ප්‍රදේශයේය.ඉන් පසුව එදා බල්ලන් දෑව හේන නමින් හැඳින්වුන මඩුවන්වෙල ප්‍රදේශයට පැමිණි එම ප්‍රභූවරයා වලව්ව ආසන්නයේම පන්සලද පිහිටුවා ගත්තේය.ඔහුට පසු මඩුවන්වෙල පරපුරේ ආදිතමයා වුයේ දෙවන විමලධර්මසුරිය රජු යටතේ මුලාදෑනිකම් කළ මඩුවන්වෙල විජයසුන්දර ජනනායක අභයකෝන් මුදලිය.විමලධර්මසුරිය රජුට භාග්‍යයේ සංකේතයක් ලෙස ඇලි ගෝනෙකු ප්‍රදානය කර වලව්ව අවට අක්කර 1650ක භූමියක් ගම්වරයක් ලෙස ලබා ගත්තේ මෙතුමාය.මෙතුමා කළුතර තුඩුගල පරපුරේ පොතුපිටිය වලව්වේ යකුන්දූවේ ධර්මසේන හිටිරාළලාගේ සොදිනා කුමාරිහාමි විවාහ පත් කරගත් බව කියැවේ. පරපුරේ ඊළඟ උරුමකරු වුයේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු දවස විසු මඩුවන්වෙල මුදියන්සේය.(කොලොන්න රත්නායක මුදියන්සේලාගේලොකුඅප්පුහාමි) -ඔහු ඉහත කී සොදිනා කුමාරිහාමි ගේ දරුවෙකු නොවූ බව මතයයි. කොලොන්න පනාමුර ප්‍රදේශ සඳහා නින්ද ගම් ලබාගෙන ඇත්තේ මෙතුමාය.කීර්ති ශ්‍රී රාජසිංහ රජු සමයේ විසු මඩුවන්වෙල මොහොට්ටාල හෙවත් බෝගහවෙල විජයසුන්දර අප්පුහාමි මඩුවන්වෙල වලව්වට උරුමකම් කීවේය.ඉන්පසුව මඩුවන්වෙල විජයසුන්දර මුදලි නමැත්තා වලව්වට උරුමකම් කීවෙය.ඒ රාජාධිරාජසිංහ රජ සමයේය. වැන්ග්‍රාෆ් නම් ලන්දේසි ආණ්ඩුකාරයාගේ සමයෙහි සිංහල රජු යටතේ මඩුවන්වෙල පාලනය කළේ මඩුවන්වෙල කොඩිතුවක්කු නිලමේය. ඉන් පසුව මඩුවන්වෙල පරපුරේ අවසාන තැනැත්තාගේ පියා වන මඩුවන්වෙල වලව්වේ විජයසුන්දර ඒකනායක අභයකෝන් කොඩිතුවක්කු මුදියන්සේ රාළහාමි ප්‍රදේශය පාලනය කළේය. ක්‍රි:ව 1844 සැප්තැම්බර් මස 11වන දින උපත ලද මඩුවන්වෙල විජයසුන්දර ඒකනායක අභයකෝන් කොඩිතුවක්කු මුදියන්සේලාගේ ජේමිස් විලියම් මහ දිසාව මෙම පරපුරේ අවසාන උරුමකරු විය. රණකාමී අදහස්වලින් යුතු බුද්ධිමත් පාලකයෙකු වු මෙතුමාහට"මඩුවන්වෙල කළු කුමාරයා"යන අනවර්ථ නාමය යෙදී තිබුණි. මඩුවන්වෙල දිසාවේ නිසි කල වයසට පැමිණි පසුව කුරුවිට එක්නැලිගොඩ වලව්වේ කුමාරිහාමි හා විවාහ වු අතර ඇයට එක් දියණියක් ලැබුණි.කොර මැණිකේ නමින් ප්‍රසිද්ධ වු එම දියණිය ආබාධිත වුවාය.අඩු ආයු වළදා එක්නැලිගොඩ කුමාරිහාමි මිය ගිය පසු කලවානේ කුමාරිහාමි හා විවාහ වු දිසාවේට එම විවාහයෙන්දරුවන්නොලැබිණි. රටේ සංවර්ධනයට දායකත්වය ලබාදුන් මෙතුමා තම ප්‍රදේශයේ ජනතාවගේ හදවත දිනා ගත් ප්‍රතිපත්ති ගරුක නායකයෙකු විය. එතුමාගේ ඇවෑමෙන් ලියවුනු ශෝක ප්‍රකාශයක මෙම කරුණ මැනවින් පිළිබිඹු වී ඇත. මඩුවන්වෙල දිසාවේ වෙනුවෙන් ලියවුන ශෝක ප්‍රකාශයක කොටසක්:

මඩුවන්වෙල මහ දිසාව

ලැබ සරු කුළුනු ගුණ දිය දහර නෑ විලි

හෙබවුනු අසිරිමත් සිරියෙන් යලි යලි

සොබමන් රදළ කුල බැති සඳුනි පිලි මලි

ඔබ ගැන සිතමු වැලපෙමු දුකිනි වෙලි වෙලි


හිඟ මග අයට සහ නෑ මිතුරනට ලැදි

වග රන් මසු කුඹුරු වතු පිටි පුද කර දී

කග අණ එසවු මඩුවන්වෙලට ජය බැඳී

අග රජතුමා ඔබවද ඔටුනු නොපැළැ දී

මඩුවන්වෙල දිසාවේ, බලන්ගොඩ සිට කතරගම දක්වා බාර විවාහ රෙජිස්ටාර් වු අතර 20 වන සියවසේ මුල් භාගය වනතුරුම පරපුර විසින් නින්දගමෙහි පළමු රාත්‍රියේ අයිතිය නින්දගම - කතුන්ගේ එක් රාත්‍රියක අයිතිය (Prima nocta- Right of the First Night) ක්‍රියාත්මක කළ බවත් එසේ නින්දගම් සේවිකාවන්ට දාව ඉපදුනු දරුවන් රැසක්ම වූ අතර ඒ අතරින් දිසාවේ ගේ වැඩි ආදරයක් දිනාගත් දිනාදරී කුමාරිහාමි ඇතුළු වැඩිමහල් දරු පිරිසක් ලංකාවේ පසිඳු වලව් වෙත විවාහ පත් කර දී තිබේ.ඩිංගි කුමාරිහාමි උණම්බුව වලව්වටත් දිනිසෝ කුමාරිහාමි පට්ටිකාරවාසල වලව්වටත් විවාහා කරදුන් බව පැවසුවත් පසුව ඔවුන් පිළිබඳ සඳහනක් නැත. එසේම ශ්‍රී ලංකාවේ තෙවරක් අගමැතිවරිය වූද ලොව පළමු කාන්තා අගමැතිවරිය වූද  සිරිමා රත්වත්තේ ඩයස් බණ්ඩාරනායක මැතිනිය මඩුවන්වෙළ පරපුරට නැදැකම් කී බවත් කුඩා කල නිතර එහි ආගිය බවත් පැවැසේ.

මඩුවන්වෙල දිසාවේගේ ඇවෑමෙන් බුදලය හිමිවුයේ එතුමාගේ සොහොයුරෙකුගේ පුතෙකු වු ව්‍යවස්ථාදායක සභාවේ හා ප්‍රථම පාර්ලිමේන්තුවේ කතානායක සර් ප්‍රැන්සිස් මොලමුරේ මහතාටය.ඔහුගේ මරණින් පසු දියණිය සීතා මොලමුරේ මැතිණියට මෙම උරුමය අයත් විය.1964 දී මඩුවන්වෙල වලව්ව හා එයට අයත් නින්ද ගම් රජයට පවරා ගත් අතර 1972 දී වලව්ව පුරා විද්‍යා දෙපාර්තමේන්තුව භාරයට පත් විය.

මඩුවන්වෙල අවට චමත්කාරය

[සංස්කරණය]

අතීත මුතුන් මිත්තන් සිය නිර්මාණ කාර්යයේ නිරත වන විට ස්වභාව්ක පරිසරයේ සමතුලිත බව එලෙසින්ම ආරක්ෂා කර ගත් නිසාම මඩුවන්වෙල වලව්ව අවට කලාපයද දුර්ලභ පරිසර නිමවුම් රැසකින් සමන්විත වී ඇත. වවුල්පනේ හුණුගල් ගුහාවට ඉන් ප්‍රධාන තැනක් හිමිවේ.මුහුදු මට්ටමින් අඩි 913කට උසින් බුළුතොට හෙල්වැටියේ ශේෂ කඳු තුළ පිහිටි මෙම ගුහා අවුරුදු මිලියන 500ක් පමණ පැරණි බව භූ විද්‍යාඥ මතයයි.ලියලා වැඩෙමින් එන කිරි ගරුඩ නිධියක පුර්ව ස්වරූපයක්ද මෙම ගල් ගුහා අතර ඇති මල්වතු කාමරය නම් ගුහාවේ දක්නට ලැබේ.එමෙන්ම ගුහාවෙන් පිට නැගෙනහිර ඩයනෝසරස් පොසිලයක්ද ඒ ආසන්නයේම ගල් වී ගිය ඩයිනෝසිරස් සිරුරක් ලෙස හඳුනාගත් සත්ව සිරුරක්ද හමුවී ඇත.එමෙන්ම පෙට්ටි හත, යකා කැපුවල,අහස් උයන ආදී සුවිශේෂී භූගෝලීය ලක්ෂණද දක්නට ලැබේ.

කොලොන්න ප්‍රදේශය හරහා ගලා යන ඇරපෝරුව ගඟ හා බුළුතොට ගඟ අලංකාර දිය ඇලි කිහිපයක් මවයි .ගොන්නංඇල්ල, දුලිඇල්ල, නෙරළුඇල්ල ආදිය ඒවාය.එමෙන්ම කුරුළුගල,නයිගල,කනපදුගල,කබරගල,විරාලගල,තොණ්ඩුගල වැනි පාෂාණ උද්ගතයන්ද ආඳළුව, කැකුනවත්ත,හල්මිල්ලලාර,කටුවෙමඩම වැනි ස්වභාවික දිය උල්පත්ද මඩුවන්වෙල ප්‍රදේශයේ ආකර්ෂනීය ඉසව් වේ. ජෛව විවිධත්වය අතින්ද සුවිශේෂතා උසුලන මෙම ප්‍රදේශයේ දුර්ලභ මල් වර්ග හා පැළෑටි වර්ග දක්නට ලැබේ. එමෙන්ම මඩුවන්වෙල කොලොන්න ප්‍රදේශයට ආවේනික ජන නැටුම්ද, රස නහර පිනවන කිතුල් පැණි ද මඩුවන්වෙලට සංචාරකයන් ආකර්ශනය කරයි. වර්තමානය වන විට මඩුවන්වෙල ප්‍රදේශයට සංචාරකයන් ආකර්ශනය වීමේ වැඩි ප්‍රවනතාවයක් දැක ගත හැකිය. සංස්කෘතික වශයෙන්ද ඓතිහාසිකමය වශයෙන්ද ප්‍රදේශය සතුවන ශ්‍රී විභූතිය එම ආකර්ශනීය බවට ප්‍රධාන හේතුව බව නොරහසකි.

මුලාශ්‍ර:

[සංස්කරණය]

මඩුවන්වෙල වලව්ව හා කොලොන්නේ සංචාරක ආකර්ශනය

අඩවියෙන් බැහැර පිටු

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=මඩුවන්වෙල_වලව්ව&oldid=568550" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි