බෝපත් ඇල්ල
බෝපත් ඇල්ල | |
---|---|
පිහිටීම | රත්නපුර, ශ්‍රී ලංකාව |
සමස්ථ උස | අඩි 98,මී.30 |
බෝපත් ඇල්ල පිහිටා තිබෙන්නේ ශ්‍රී ලංකාවේ රත්නපුර දිස්ත්‍රික්කයේය. මෙම ඇල්ලේ හැඩය බොහෝ දුරට බෝ පත්‍රයක ස්වරූපයට සමාන හෙයින් මෙම දිය ඇල්ල බෝපත් ඇල්ල නමින් හඳුන්වයි. මෙම දිය ඇල්ල ලංකාවේ සංචාරය කරන සංචාරකයන්ගේ ආකර්ශණය බෙහෙවින් දිනාගත් ස්ථානයක් ලෙස හැඳින්වේ. ප්‍රාදේශිය පුරාවෘත වල සඳහන් අන්දමට බෝපත් ඇල්ලේ නිධානයක් නිදන් කර ඇති බවත් එය ආරක්ෂා කිරීම සඳහා ඒ අසල අවතාර ගැවසෙන බවත් සඳහන්ය.
පිහිටීම
[සංස්කරණය]බෝපත් ඇල්ල පිහිටා තිබෙන්නේ කුරුවිට ප්‍රදේශයේ අඟලවත්ත නම් ගමේය. මෙම ඇල්ල ආසන්න වශයෙන් රත්නපුර නගරයෙන් කි.මී 3ක් ඔබ්බෙන් පිහිටා ඇත.
දිය ඇල්ල
[සංස්කරණය]මෙයට බෝපත් ඇල්ල නම් නම ලැබී ඇත්තේ මෙයටම ආවේණික වූ හැඩය නිසාය. පටු විවරයකින් කඩා හැලෙන පළමු දියකඳ පසුව පුළුල් වන අතර මෙය බැලූ බැල්මට බෝපත්‍රයක හැඩය සිහියට නංවයි. හුදෙක් බෝගස බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත්වූ වෘක්ෂයකි. එහෙයින් මෙම ඇල්ලටද එම පූජනීයත්වයම හිමිවී ඇත. දිය ඇල්ල ජෛව විවිධත්වයෙන් පරිපූර්ණ නෑඹුල් වනයකින් වැසී පවතී.
බෝපත් ඇල්ල උසින් මීටර් 30ක් පමණ වේ. කළු ගඟේ අතු ගංගාවක් වන කුරු ගඟෙන් මෙම දිය ඇල්ල පෝෂණය වේ. මෙම දිය ඇල්ල ගලා වැටීමේ සීඝ්‍රතාව තත්පරයට ගන මීටර් හයක් පමණ වන අතර වර්ශයකට සාමාන්‍ය වර්ෂාපතනය මි.මී 5080 පමණ වේ.මෙම දිය ඇල්ලේ ජලය වී ගොවිතැන සඳහා යොදා ගැනේ.
තවද බෝපත් ඇල්ල ලංකාවේ පුළුල් ලෙස අධ්‍යයනයට ලක්වූ ඇල්ලක් ලෙස හැඳින්වේ. බෝපත් ඇල්ල ලංකාවේ ප්‍රධානම සංචාරක පාරාදීසක් වීමට හේතුව අගනගරය වන කොළඹට පහසුවෙන් ලඟාවිය හැකි වීමයි. තවද මෙම ඇල්ල භාවිතයෙන් ජල විදුලිය නිපදවීමේ අසාර්ථක උත්සාහයක නටඹුන්ද දිය ඇල්ල ආසන්නයේ පවතී. දිය ඇල්ලේ පිවිසුම් මාර්ගය දෙපස පිහිටා ඇති කුඩා වෙළඳ කුටි හේතුවෙන් දිය ඇල්ලේ සුන්දරත්වයට තර්ජනයක් එල්ල වී ඇත.
පුරාවෘත
[සංස්කරණය]එන පුරාවෘත්ත අනුව රටේ පුරාතන පාලකයන් ස්නානයට දිය ඇල්ල භාවිතා කල බවත්, ඒ අතර තුර මහ සමන් දේවලය වැඳ පුදා ගත් බවත් කියවේ. තවද මෙහි සමන් දෙවියන්ගේ ඇල්ම බැල්ම පවතින ප්‍රදේශයක් ලෙස හැඳින්වේ. එවැනි පුරාවෘත අතර මිත්‍යා විශ්වාසද පවතී. පෙම්වතා අත්හල ගැමි තරුණියක දිය ඇල්ලට පැන දිවිනස ගෙන ඇති අතර ඇයගේ ආත්මය දිය ඇල්ල අවට සැරිසරන බව එක් විශ්වසයකි. තවත් සුප්‍රසිද්ධ විස්වාසයක් වන්නේ පුරාණ නිධානයක් මෙම දිය ඇල්ල තුල සඟවා ඇති බවත් එය ලබා ගැනීමට මිනිස් ජීවිත 1000ක් බිලි දිය යුතු බවත්ය.