හන් ගන්

විකිපීඩියා වෙතින්
මෙය චීන නාමයකි; පවුල් නාමය වන්නේ හන් ය.
අශ්වයන් බලාගන්නා මිනිසා
"රැයෙහි බබලන සුද", ෂුවැංසොං අධිරාජයාගේ ප්‍රියතම අශ්වයෙකි.

හන් ගන් (චීන: 韩干/韓幹) (ක්‍රි.ව. 706-783 පමණ) යනුවෙන් හැඳින්වෙන්නේ චීනයේ ටෑං රාජවංශ සමයේ විසූ චිත්‍ර ශිල්පියෙකි.

ඔහු පැවත ආවේ වර්තමාන ෂාන්ෂිහි ෂි’ආන් හෙවත් චං’අන් හෝ නූතන ෂාස්ෂි හෙවත් ලැන්ටියෑන් හෝ වර්තමාන හෙනාන්හි කායිෆෙං ප්‍රදේශයේ පිහිටා තිබූ ඩැලියෑං යන ප්‍රදේශවලින් එකකිනි. ඔහු දිළිඳු පවුලක උපත ලැබී ය. කුඩා කල ඔහු අසල වූ සුරාසලක සේවකයකු ලෙස සේවය කළේ ය. ප්‍රමුඛ කවියකු වූ වැං වෙයි විසින් යොවුන් වියේ විසූ හන් ගන්ගේ කුසලතා හඳුනා ගන්නා ලදී. ඔහු හන්ට කලාවන් ඉගෙනීමට අනුග්‍රහය ද දැක්වී ය. පසුව හන් මාලිගයේ සිතුවම් ශිල්පියකු වූ කාඕ බාගේ ශිෂ්‍යයකු බවට පත් විය.[1] සිය අධ්‍යයන කටයුතුවලින් පසුව, හන් ටෑං රාජ මාලිගයේ චිත්‍ර ශිල්පියකු බවට පත් විය.

චූ ජිංෂුවෑන් සඳහන් කොට ඇත්තේ මෙසේ ය: "චෙන් හූන්ගේ සිතුවම් සමග ඉදිරිපත් කොට තිබූ සිතුවම්වල ඇති අසමානතාවය පිළිබඳ අධිරාජයා විමසී ය. එවිට හන් ගන් පිළිතුරු දුන්නේ: "ඔබගේ සේවකයා සැබෑම සිතුවමුයි නිර්මාණය කොට තිබෙන්නේ. ඒ සියල්ල ඔබ වහන්සේගේ ඉස්තාලයේ අශ්වයන් ය" යනුවෙනි. මේ නිසා අධිරාජයා තවත් ඔහු කෙරෙහි පැහැදුණේ ය. මෙම සිදුවීම හේතුවේන අධිරාජයා ශිල්පියාට තවත් අනුග්‍රහය දැක්වී ය. කෙසේනමුත්, මෙය එතරම් පුදුමයට කරුණක් නොවන්නේ අඩු වර්ධනයක් ඇති මධ්‍ය ආසියානු අශ්ව ප්‍රභේද කෙරෙහි ටෑං අධිරාජකීය වංශිකයින් ප්‍රියතාවයක් දැක්වූ නිසායි. කෙසේනමුත්, විවිධ සිත්තරුන් එම අශ්වයන්ව නිරූපණය කොට ඇත්තේ විවධ අයුරිනි. මෙම රාජවංශයේ ආරම්භක කාලයේ චීනය එක්සත් කිරීම සඳහා යුද්ධ මාලාවක් දියත් කළ බැවින්, යුධ කටයුතුවල දී අශ්වයින් බෙහෙවින්ම උපකාරී විය.

හන් විසින් සිතුවම් කරන ලද රැයෙහි බබලන සුද නම් සිතුවම අගනා නිර්මාණයක් ලෙස සැලකේ.මෙය වර්තමානයේ මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාර‍යේ ප්‍රදර්ශනයට තබා ඇති අතර, මෙම සිතුවම් 1977දී කෞතුකාගාරය වෙත ප්‍රදානය කෙරුණකි.[2] එම සිතුවම මගින් නිරූපණය කෙරෙන්නේ කුළුණකට තබා ගැටගසන ලද චීනයේ ටෑං රාජවංශයේ ෂුවැන්සෝං අධිරාජයාගේ අශ්වයා කලබල කරන අයුරුයි. මෙහි දී ඔහු පුරාණෝක්තිවල එන ‍භයානක අශ්ව රූ මෙන් නොව, මෙය මනා විශ්වසනීයත්වයකින් යුතුව සිතුවම් කොට තිබේ. හන් මෙම අශ්වයාට මානවරූපී ලක්ෂණ ලබාදී ඇති අතර, අශ්වයාගේ පීඩාකාරී ස්වරූපය මගින් නරඹන්නාට හැඟීයන්නේ අශ්වයා අනුකම්පාව සහ උපකාරය බලාපොරොත්තුවෙන් සිටින බවයි. කුළුණකට ගැට ගසා තිබීම සහ අශ්වයාගේ මුහුණේ ඇති හැඟීම්බර ස්වරූපය මගින් අධිරජුගේ මාලිගයේ ඇති වෙනස්, එනම් ශෝකී පසුබිම නිරූපණය කෙරේ‍. මෙම ශිල්පියාගේ මුල් සිතුවම් අතරින් බොහෝමයක් වර්තමානයේ දක්නට නොලැබේ. නමුත් පසුකාලීන සියවස්වල චිත්‍ර ශිල්පීන් විසින් ඒවා කිහිප වරක්ම පිටපත් කොට ඇත.

හන් සිය සිතුවම් වෘත්තීය දිවියේ දී බෞද්ධ තේමාවන් රැගත් සිතුවම් ගණනාවක් නිර්මාණය කොට ති‍බේ. කෙසේනමුත්, ඔහුගේ වඩාත්ම ඇගයීමට පත් සිතුවම් ලෙස සැලකෙන්නේ ඔහු විසින් නිර්මාණය කරන ලද අශ්වයින්ගේ රූ ඇතුළත් සිතුවම් ය. ඔහු අශ්වයන්ගේ භෞතික ශරීරය පමණක් නොව, ඔවුන්ගේ ආත්මය පවා සිතුවම් කිරීමට සමත්කම් දැක්වීයයි ප්‍රකට විය. ඔහුගේ කීර්තිය ඔහුගේ ගුරුවරයාගේ නාමය ද අභිබවා ගියේ ය. පසුකාලීන පරම්පරාවල සිත්තරුන් අශ්ව රූ නිර්මාණකරණයේ දී හන්ගේ සිතුවම් අධ්‍යයනය කොට ඇත. ඔහුට ගෞරව වශයෙන් බුධ ග්‍රහලොව මත ඇති ආවාටයක් ඔහුගේ නමින් නම් කොට ඇත.[3]

මේවාත් බලන්න[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. "Archived copy". 2013-01-11 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2013-06-26. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)CS1 maint: archived copy as title (link)
  2. 唐韓幹照夜白圖卷 Night-Shining White Metropolitan Art Museum
  3. "Han Kan". Gazetteer of Planetary Nomenclature. NASA. සම්ප්‍රවේශය 20 November 2017.

බාහිර සබැඳි[සංස්කරණය]

  • Metmuseum.org - රැයෙහි බබලන සුද, හන් ගන්ගේ සිතුවමකි.
"https://si.wikipedia.org/w/index.php?title=හන්_ගන්&oldid=411818" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි