සිරි ගෞතම සම්බුද්ධරාජ මාළිගාව

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
සිරි ගෞතම සම්බුද්ධරාජ මාළිගාව
Sambuddha Maligawa.jpg
සිරි ගෞතම සම්බුද්ධරාජ මාළිගාව, ශ්‍රී ලංකාව
විස්තර
සංස්ථාපනය2012
පිහිටුවීම
නිර්මාතෘකිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
පිහිටුම් තොරතුරු
රටශ්‍රී ලංකාව
වෙබ් අඩවිය[1]
පිහිටීමපොල්ගහවෙල, ශ්‍රී ලංකාව
Dharmachakra.png ද්වාරය:බුද්ධාගම

සිරි ගෞතම සම්බුද්ධරාජ මාළිගාව යනු ශ්‍රී ලංකාවේ පිහිටා ඇති සුන්දර බෞද්ධ විහාරස්ථානයකි. [1] ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට ගෞරව දැක්වීම සහ උන්වහන්සේගේ බුද්ධත්වයේ 2600 වන සංවත්සරය සමරනු වස් මෙම විශ්මිත සම්බුද්ධ රාජ මාළිගාව 2012 වර්ෂයේදී නිම කරන ලදී. මෙම මාළිගයේ ඉදිකිරීම් කටයුතු ඇතුළු සියලුම නිර්මාණ කටයුතු සිදුවූයේ මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ ගරු නිර්මාතෘ, ශ්‍රද්ධා රූපවාහිනිය සහ ලක්විරු ගුවන්විදුලියෙහි නිර්මාතෘ, අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමිගේ ගෞරවනීය ආශිර්වාදයෙන් සහ පූර්ණ මග පෙන්වීම යටතේය.

සම්බුද්ධ රාජ මාළිගාව[සංස්කරණය]

සිරි ගෞතම සම්බුද්ධරාජ මාලිගාව නම් වූ මෙම සුවිසල් විහාර මන්දිරය පිහිටා තිබෙන්නේ පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානයෙහි ය. 2011 වර්ෂයේ වෙසක් පුන් පොහෝ දිනට අපගේ භාග්‍යවතුන් වහන්සේ දස මරසෙන් පරදවා උතුම් සම්මා සම්බෝධිය සාක්ෂාත් කොට වසර 2600 ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් සිව්වණක් ශ්‍රාවක පිරිස විසින් උන්වහන්සේ උදෙසා සිදුකෙරෙන අසදෘශ පූජෝපහාරයක් ලෙසින් මෙම විහාරය ඉදිවිය. ඒ, මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ පුණ්‍ය සංකල්පයකට අනුව සහ උන්වහන්සේගේ අනුශාසනා මත ය.

අන්තර්ජාලයේ ඇති විවිධ මාළිගා පිළිබඳව හැඩරූ අධ්‍යයනය කරමින්, ඉන්දියාවේ ඉදිවී ඇති සුවිසල් හින්දු දේවමන්දිරවල හැඩරූ අධ්‍යයනය කරමින් ඉතා වෙහෙස වී අවසානයෙහි ඒ කිසිවකටත් නෑකම් නොකියන පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ ඉතා ස්වාධීන වූ කදිම සැලැස්මකට අනුව අඩි 107 ක් උසැති මෙම අපූර්ව විහාරය ඉදිවිය.

ගෞතම බුදු සසුනේ අභිමානය මුළු ලොවට ම කියාපාමින් මාස 16ක් වැනි ඉතා සුළු කලකින් මෙම විහාරයේ ඉදිකිරීම් කටයුතු සම්පූර්ණ කිරීමට හැකි විය. ඒ, මහමෙව්නාව භාවනා අසපුවෙන් සදහම් දායාදය ලැබූ ලක්දිව පුරාත් විදේශයන්හිත් වෙසෙන සැදැහැවතුන්ගේ මූල්‍යමය හා ශ්‍රම දායකත්වයෙනි. දුප්පත් – පොහොසත්, බාල – තරුණ – මහලු කොයි කවුරුත් තම ශාස්තෘන් වහන්සේ උදෙසා මෙම විහාරය ඉදිකරන්නට දිවා රෑ නොබලා වෙහෙස මහන්සි වී කටයුතු කළහ.

මෙම මාළිගය ඇතුළුවීමේ ප්‍රධාන දොරටුවකින් ද, ඇතුල් මාලයෙහි වජ්‍රාසනය මත වැඩසිටින අනභිභවනීය ශ්‍රී සම්බුද්ධත්වය ලබමින් සිටින සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පිළිම වහන්සේ නමකගෙන් ද මනස්කාන්ත උඩුමහලකින් ද නිර්මාණය වී තිබේ. දඟකාර ඇත්පෙළහරකින් මතුවන ගජාසනය සහිත වූ වජ්‍රාසනය මත බුදුරජාණෝ වැඩසිටිති. ඒ දෙපස මිහිකතගේ වන්දනාවත්, දෙව්බඹුන්ගේ ප්‍රීතිඝෝෂා සහිත නෘත්‍යයත් සිතුවම් කොට ඇත. එම මාළිගා ශාලාවෙහි දෙපස බුදුරජුන්ගේ අනුත්තර පුරිසදම්ම සාරථී ගුණයට අදාළ සිදුවීම් සිතුවම් කොට ඇත. එහි උඩ මහාසමය සිතුවම් කොට ඇත.

ඇතුළුවීමේ ප්‍රධාන දොරටුවට පැමිණෙන කල්හි තම දකුණු පසින් දිස්වන්නේ අප මහා බෝසතාණන් වහන්සේ වෙස්සන්තර ආත්මභාවයෙහි මහා පොළොව කම්පා කරවමින් දන් දුන් අයුරු ය. මාළිගයට ගොඩවූ සැණින් එහි දැවැන්ත උළුවස්ස උඩ කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, ගෞතම යන සිව් බුදුරජවරු වැඩවෙසෙති. ඇතුළු වූ සැණින් උඩ බැලූ විට විසිඅසංඛෙය්‍ය කල්ප ලක්ෂයකට පෙර අප බෝසතුන් මව් කර තබා පිහිනා යන අයුරු දිස්වේ. ඉන් වම් පස සුමේධ තවුස් නියත විවරණ ලබන අයුරු දිස්වේ. ඉන් දකුණු පස මහාමායා දේවිය දක්නා සිහිනය දිස්වේ. එයට පහළින් අසිරිමත් බෝසත් උපත නිරූපණය කොට ඇත. ඉන් වම් පස සන්තුසිත දිව්‍යරාජයා නිරූපණය කොට ඇත. එතැනම ඝටීකාර බ්‍රහ්මරාජයා ද නිරූපණය කොට ඇත. දකුණුපසින් සක්දෙවිඳුගේ අලංකාර ප්‍රතිමාවකි. එය පසුකරනවිට ම ධුතාංගධාරීන්ගෙන් අග්‍ර වූ මහා කස්සප මහරහතන් වහන්සේගේ ජීවමාන අයුරින් දිස්වන ප්‍රතිමාවකි. අනතුරුව දක්නට ලැබෙන්නේ දම්සක් පැවැතුම් මුද්‍රාවෙන් යුතු අලංකාර සම්බුද්ධ ප්‍රතිමා වහන්සේ ය. එය ද නෙලා තිබෙන්නේ මිගාසනය මත ය. ප්‍රධාන පිළිම වහන්සේ වන්දනා කොට තම දකුණු පසින් පැමිණෙන විට පිරිනිවන් මුද්‍රාවෙන් සැතපෙන පිළිම වහන්සේ ය. එය පසුකරන කල්හී සජීවී අයුරින් අනඳ මහරහතන් වහන්සේ වැඩසිටිති. එයට අදාළ යම් යම් සිතුවම් ද රඳවා තිබෙන්නේ රාජමාළිගාවක ආකාරයෙනි.

"සුගන්ධ කුටිය.." උඩු මහලෙහි කොටස් දෙකකි. එහි ප්‍රධාන කොටස නම් කෙරෙන්නේ වැඩහිඳින මාළිගාව ලෙස ය. එහි ධාතූන් වහන්සේලා වැඩසිටින සේක. අනිත් කොටස නම් කෙරෙන්නේ පත්තිරිප්පුව ලෙස ය. එය ස්වාමීන් වහන්සේලාට සමථ විදර්ශනා භාවනා වැඩීම පිණිස ය. එමෙන්ම උඩුමහලෙහි බුදුරැස් විහිදෙන පරිද්දෙන් බෞද්ධ ධජ පතාකයන් මැනැවින් උඩට නංවා ඇත. උඩුමහලෙහි දෙපස සම්බුදු පෙළහර නමින් සිටි ඉරියව්වෙන් වැඩසිටින පිළිම වහන්සේලා ය. එහි මැද දුෂ්කර ක්‍රියාවෙහි අධිෂ්ඨාන පූර්වකව යෙදෙන අප මහා බෝසතාණෝ ය.

සියලු කටයුතු අවසන් වූ කල්හි ව්‍යවහාරික වර්ෂ 2012 ජූලි මස 02 වන දින අති ගෞරවනීය මහා සංඝ රත්නයේ ආශීර්වාදයෙන්, දස දහස් සංඛ්‍යාත සැදැහැවතුන්ගේ සාධු නාද මධ්‍යයේ, එවකට ශ්‍රී ලංකාවේ ජනාධිපති ධූරය හෙබවූ ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේ සහභාගීත්වයෙන් මෙම ශ්‍රී සම්බුද්ධරාජ මාලිගාව දෙව් මිනිසුන්ගේ වන්දනාමාන සඳහා විවෘත විය.

ඒ භාග්‍යවත් වූ අරහත් වූ ගෞතම නම් වූ අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සම්බුද්ධත්වයට පූජෝපහාර පිණිස ඉතා ශ්‍රද්ධාවෙන් යුතුව මෙම සිරි ගෞතම සම්බුද්ධරාජ මාළිගාව ඉදිකිරීමෙන් රැස් කළ සකල පුණ්‍ය සම්භාර ධර්මයන් ගෞතම සසුන කෙරෙහි පහන් සිතැති සියලු දෙවියන්ට ද, මේ වෙනුවෙන් ඉතා ශ්‍රද්ධාවෙන් යුතුව තම ධනය පූජා කළ සැදැහැවතුන්ට ද, ඉතා ශ්‍රද්ධාවෙන් යුතුව තම කාලය හා ශ්‍රමය වැය කළ සැදැහැවතුන්ට ද, ඉතා ශ්‍රද්ධාවෙන් යුතුව මෙහි බොහෝ කටයුතු සොයා බලා වෙහෙස මහන්සි වූ පින්වත් ස්වාමීන් වහන්සේලාට ද, එමෙන්ම මෙකී නොකී සියලු කටයුතු කෙරෙහි අවංක සිතින් සහභාගී වී සහයෝගය දැක්වූ සියලු දෙනාට ද මේ ගෞතම බුදු සසුනේදී ම චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගැනීම පිණිස හේතු වාසනා වේවා!

ප්‍රධාන බුද්ධ ප්‍රතිමා වහන්සේ[සංස්කරණය]

ප්‍රධාන බුද්ධ ප්‍රතිමාව, සිරි ගෞතම සම්බුද්ධරාජ මාළිගාව

සම්බුද්ධරාජ මාලිගාවෙහි ප්‍රධාන බුද්ධ ප්‍රතිමාව මෙයයි.  එහි ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධාතූන් වහන්සේලා අඩංගු වන අතර එය ශ්‍රී ලංකාවේ වඩාත්ම තේජාන්විත බුද්ධ ප්‍රතිමාවන්ගෙන් එකකි.  පිළිමයේ අසමසම සුන්දරත්වය නම්, ඔබ පිළිමය දෙස කොපමණ වේලාවක් බැලුවත්, ඔබට තව දුරටත් බැලීමට අවශ්‍යය වනු ඇත.  මෙම පිළිමය නිරූපණය කරන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේ ඉන්දියාවේ මහා බෝධි වෘක්ෂයට යටින් නෙරංජර ගඟ අසබඩ වාඩිවී සිටියදී ඔහුගේ හමුදාව සමඟ නපුරු තැනැත්තා වන මාරයා පරාජය කිරීමට බුද්ධිමත් වූ මොහොතයි.  පිළිමය දෙස බැලූ විට බුදුන් වහන්සේ ඔබ දෙස බලන්නේ මහත් අනුකම්පාවෙන් හා දයානුකම්පාවෙන් බව ඔබට පෙනේ.

අඩවියෙන් බැහැර පිටු[සංස්කරණය]

  • මෙම පිටුව, ශනුක ෂෙහාන්[2] විසින් විකිපීඩියා වෙත එක්කළ පළමුවන පිටුවය.

සබැඳි[සංස්කරණය]

  1. "Siri Gautama Sambuddharaja Maligawa". Siri Gautama Sambuddharaja Maligawa.