Jump to content

සිට්ඩ්ජෙහුටි

විකිපීඩියා වෙතින්
සිට්ඩ්ජෙහුටි රූපාක්ෂර වලින්
<
G26Z4G39t
>

සැට්ඩ්ජෙහුටි
Sꜣt Ḏḥwty
තොත්ගේ දියණිය
සිට්ඩ්ජෙහුටි
ඊජිප්තුවේ අගබිසව
සිට්ඩ්ජෙහුටිගේ වෙස්මුහුණ
වල්ලභයාපාරාවෝ සෙකෙනෙන්රේ ටාඕ
දරුවන්අහ්මෝස්
රාජවංශය17වන රාජවංශය
පියාසෙනඛ්ටෙන්රේ
මවටෙටිෂෙරි

සිට්ඩ්ජෙහුටි හෙවත් සැටිබු (හෝ සැට්‍ඩ්ජෙහුටි; “තොත්ගේ දියණිය”) යනුවෙන් හැඳින්වෙන්නේ ඊජිප්තුවේ පසුකාලීන දාහත්වන රාජවං‍ශයේ විසූ කුමරියක් මෙන්ම රැජිනකි. ඇය සෙනඛ්ටෙන්රේ අහ්මෝස් පාරාවෝවරයාගේ සහ ටෙටිෂෙරි රැජිනගේ දියණියයි. ඇය සිය සොහොයුරා වූ සෙකෙනෙන්රේ ටාඕගේ භාර්යාව ද විය. එසේම ඇය අහ්මෝස් කුමරියගේ මෑණියන් ද වේ.

දිවිය

[සංස්කරණය]

සිට්ඩ්ජෙහුටි යනු සෙනඛ්ටෙන්රේ අහ්මෝස් පාරාවෝවරයාගේ දියණිය වූ අතර, ඇය සෙකෙනෙන්රේ ටාඕ පාරාවෝවරයාගේත්, ආහොටෙප් සහ අහ්මෝස් ඉන්හපි රැජිනියන්ගේත් සොයුරිය වූවා ය. ඇය ඇගේ (අර්ධ-) සොයුරා වූ සෙකෙනෙන්රේ-ටාඕ සමග විවාහ වූවා ය. ඔහුට දාව ඇයට අහ්මෝස් නැමැති දියණියක විය.[1] ඇගේ මිනීපෙට්ටියේ සඳහන් වන්නේ ඇය ටෙටිෂෙරිගේ දියණියක බව ය. ඇගේ අනෙක් නාමය සැටිබු ලෙස දැක්වේ.[2]

සිට්ඩ්ජෙහුටිගේ පදවි නාම අතර, රජුගේ බිරිඳ, රජුගේ සොයුරිය සහ රජුගේ දියණිය වැනි නාමයන් හමු වේ. ඇය පිළිබඳ රැජිනියන්ගේ නිම්නයෙන් හමුවූ (QV47) ඇගේ දියණිය‍ වූ අහ්මෝස්ගේ මමී වස්ත්‍රයෙහි ද සඳහන් වේ. අහ්මෝස් ද රජුගේ දියණිය සහ රජුගේ සොයුරිය යන නාමයන් උසුලා ඇත. මින් පැහැදිළි වන්නේ අහ්මෝස් යනු සෙකෙනෙන්රේ ටාඕ රජුගේ සහ සිට්ඩ්ජෙහුටිගේ දියණියක බවයි.[3]

මරණය සහ භූමදානය

[සංස්කරණය]

සිට්ඩ්ජෙහුටිගේ මමිය 1820දී සොයාගැනුණු අතර, ඒ සමග ඇගේ මිනීපෙට්ටිය, රන් වෙස්මුහුණ, හෘද ස්කැරබ් රුවක් සහ ඇගේ ලේලිය වූ අහ්මෝස්-නෙෆටාරි විසින් ප්‍රදානය කළ ලිනන් ද ‍විය. ලිනන්වල මෙලෙසින් සටහන් කොට තිබේ:

දෙවියන්ගේ බිරිය, රජුගේ බිරිය සහ රජුගේ මව වූ අහ්මෝස් නෙෆටාරි, ඇය සදා දිනේවා! විසින් ප්‍රිය සිට්ඩ්ජෙහුටි වෙත ප්‍රදානය කෙරුණකි[4]

සැට්ඩ්ජෙහුටිගේ මිනීපෙට්ටියේ පියන වර්තමානයේ මියුනිච්හි තබා ඇති අතර, ඇගේ අවමංගල වෙස්මුහුණ බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ (EA 29770) ප්‍රදර්ශනයට තබා ඇත.

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ ඩොඩ්සන්, ඒඩන් සහ හිල්ටන්, ඩියෑන්. ද කම්ප්ලීට් රෝයල් ෆැමිලීස් ඔෆ් ඒන්ෂන්ට් ඊජිප්ට්. තේම්ස් ඇන්ඩ් හඩ්සන්. 2004. ISBN 0-500-05128-3
  2. ^ ඩැනියල් පොල්ස්, Der Beginn des Neuen Reiches: zur Vorgeschichte einer Zeitenwende, වෝල්ටර් ඩි ගෘයිටර්, 2007, පි. 350
  3. ^ ග්‍රැටෙජ්ස්කි, ඒන්ෂන්ට් ඊජිප්ටියන් ක්වීන්ස්: අ හයිරොග්ලිෆික් ඩික්ෂනරි, 2005
  4. ^ එස්. ක්වර්ක් සහ ජේ. ස්පෙන්සර්, ද බ්‍රිටිෂ් මියුසියම් බුක් ඔෆ් ඊජිප්ට්, පිටු. 188-189

බාහිර සබැඳි

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=සිට්ඩ්ජෙහුටි&oldid=694089" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි