සමාගම් ශෛලිය

විකිපීඩියා වෙතින්
අභිසරුලියන් සමූහයක්, සමාගම් ශෛලිය, 1800-25, 26 x 31.2 cm කඩදාසි මත පාරාන්ධ දිය සායම් සහ රත්රන් භාවිතයෙනි.
ඛාන් බහදූර් ඛාන් සිය වංශයේ මිනිසුන් සමග, 1815 පමණ, ෆ්‍රේසර් ඇල්බමයෙනි.

සමාගම් ශෛලිය හෙවත් සමාගම් සිතුවම් (හින්දියෙන් කම්පනිකලාම්) යන්න භාවිතා වන්නේ ඉන්දියාවේ ඉන්දියානු චිත්‍ර ශිල්පීන් විසින් නිර්මාණය කරන ලද ඉන්දු-යුරෝපියානු දෙමුහුම් සිතුවම් සම්ප්‍රදායයක් හැඳින්වීම සඳහායි. මෙම චිත්‍ර ශිල්පීන් බොහෝ දෙනා 18වන සහ 19වන සියවස්වල බ්‍රිතාන්‍ය නැගෙනිහර ඉන්දීය වෙළඳ සමාගම හෝ අනෙකුත් විදේශ සමාගම්වල යුරෝපීය අනුග්‍රාහකත්වය ලද පුද්ගලයෝ වූහ. මෙම ශෛලිය තුළ රාජ්පුත් සහ මූඝල් චිත්‍රවල දක්නට ලැබෙන සම්ප්‍රදායික ලක්ෂණ සමග පර්යාලෝකය, පරිමාව සහ ප්‍රතික්‍රමය වැනි බටහිර කලා ලක්ෂණ මුහුම් විය. ඉන්දියානු ලඝු චිත්‍ර කලාව සිහිගන්වන මෙම සිතුවම් බොහෝමයක් ප්‍රමාණයෙන් කුඩා නමුත්, ශාක සහ පක්ෂීන්ගේ ස්වභාව ඉතිහාස සිතුවම් සාමාන්‍යයෙන් ජීව ප්‍රමාණයෙන් යුතු වේ.[1]


ස්ථාන[සංස්කරණය]

මෙහි ප්‍රමුඛ මධ්‍යස්ථාන වූයේ බ්‍රිතාන්‍ය ජනාවාස පැවති කල්කටා, මදුරාසි (චෙන්නායි), දිල්ලි, ලක්නව්, පැට්නා සහ තන්ජාවූර්හි මරාඨ මාලිගය වැනි ස්ථානයි. මෙම සිතුවම්කරණයට පාදක වූ තේමාවන් අතර ආලේඛය සිතුවම්, භූමිදර්ශන සහ දර්ශන, ඉන්දියානු ජනයාගේ දර්ශන සහ නර්තන ශිල්පීන් මෙන්ම උත්සව ආදිය ප්‍රධාන විය. වෙනස් කුල හෝ වෘත්තීන් වැනි තේමා ජනප්‍රිය විය. එහි දී වස්ත්‍රවල ඇති වෙනස්කම් හුවා දක්වන ලදී. අධිරාජ්‍යවාදී චින්තනයෙන් යුත් ඉතිහාසඥයන් අතර මෙම සිතුවම් ජනප්‍රිය විය. ලිපිගොනු හෝ සත්ත්ව මෙන්ම උද්භිද තේමාවන් ද දක්නට ලැබෙන අතර, ශෘංගාරාත්මක ජවනිකා රැගත් සිතුවම් කිහිපයක් ද හමු වේ. ගෘහනිර්මාණ සම්බන්ධයෙන් වන තේමා ද ජනප්‍රිය වූ අතර, අතිශයින් විස්තරාත්මක පූර්වදර්ශී සැලැස්මෙන් යුක්ත ය. මෙහි දී භාවිතා වන ශිල්ප ක්‍රම විවිධත්වයක් පෙන්වයි. ‍ශිල්පීන් බොහෝදෙනකු බටහිර දියසායම් තාක්ෂණය භාවිතා කළ එහි ඇති "විනිවිද පෙනෙන ස්වභාවය, මෘදු වර්ණ සංයෝජනය සහ පුළුල් පින්සල් පහරින් යුත් නිරූපණය" මෙම සිතුවම්වල දක්නට ලැබෙයි.[2]

අනුග්‍රාහකයන් සහ ශිල්පීන්[සංස්කරණය]

සමාගම් ශෛලියේ රේඛා සිතුවමක්, රෙදි මත තීන්තයෙනි; ක්‍රි.ව. 1830 පමණ, මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරයෙනි.

මෙම චිත්‍ර කලාවට අනුග්‍රහ දැක්වූ මහා පරිමාණයේ අනුග්‍රාහකයන් ලෙස ස්කිනර්’ස් හෝර්ස් සහ ස්වාභාව ඉතිහාස සිතුවම් නිසා ප්‍රසිද්ධ වූ කර්නල් ‍ජේම්ස් ස්කිනර් වැදගත් වේ. මොහුගේ මව රාජ්පුත් වංශික කාන්තාවකි. එලිජා ඉම්පේගේ බිරිඳ වූ මේරි ඉම්පේ තුන්සියයකට අධික සිතුවම් ප්‍රමාණයක් නිර්මාණය කරවා ඇත. වෙලිංටන්ගේ පළමු ඩියුක්වරයාගේ සොහොයුරා වූ මැකී වෙ‍ලස්ලි සිතුවම් 2,500කට අධික සංඛ්‍යාවක් නිර්මාණය සඳහා අනුග්‍රහ දැක්වී ය. මීට සමාන නමුත් කුඩා ප්‍රයත්නයන් ඉන්දියාවේ ප්‍රංශ සහ පෘතුගීසි යටත් ප්‍රදේශ මෙන්ම බුරුමය සහ ලංකාව වැනි දකුණු ආසියාවේ වෙනත් ප්‍රදේශයවල ද දැකගත හැකි විය.

මේ යුගයේ වැදගත් චිත ශිල්පීන් අතර තෝමස් මෙට්කැල්ෆ්ගේ දිල්ලි බුක් ග්‍රන්ථය සඳහා සිතුවම් නිර්මාණය කළ මෂාර් අලි ඛාන් ප්‍රධාන වේ. මොහු ලඝු සිතවුම් ශීල්පී පරපුරකින් පැවතෙන්නකු වන අතර, ඔහුගේ වංශයේ ප්‍රධානියකු වූ ඝුලාම් අලි ඛාන් ද මීට සමාන අයුරින් විලියම් ෆ්‍රේසර්ගේ ෆ්‍රේසර් ඇල්බමය නිර්මාණයට සම්බන්ධ වී ඇත. එම කෘතිය අනර්ඝ නිර්මාණයක් ලෙස සැලකේ. සිය මාමණ්ඩිය වූ ඝුලාම් මුර්තාසා ඛාන් සේම අවසන් මූඝල් අධිරාජවරුන් සහ ඔවුන්ගේ මාලිගාවල සිතුවම් නිර්මාණය කොට ඇත.

මාධ්‍යය[සංස්කරණය]

කොළ පියාපත් සහිත මැකෝ, පත්ඉරුව, 89.5 x 56.8 cm., මේරි ඉම්පේගේ ස්වාභාව ඉතිහාස සිතුවම් ඇල්බමයෙනි. ‍ෂෙයික් සයින් අල්-දීන් විසින් මෙය නිමවන්නට ඇතැයි යෝජනා වී ඇත. කල්කටා, 1780 පමණ, කඩදාසි මත පාරාන්ධ දියසායම්වලිනි.

සිතුවම් බොහෝමයක් කඩදාසි මත නිර්මාණය කෙරිණි. ඇතැම් අවස්ථාවල දී, විශේෂයෙන්ම දිල්ලියේ ඇත්දත් මත ද සිතුවම් කෙරිණි. මේවා බොහෝවිට නිර්මාණය කෙරුණේ පත්‍රධාර හෝ ඇල්බම ලෙස ඇතුළත් කිරීමටයි. මුරක්කා හෙවත් ඇල්බමය ඉන්දියානු නිලධාරීන් අතර බෙහෙවින් ස්ථාපිත විය. එසේම ඇතැම් මුස්ලිම් නිදසුන්වල චාරුලේඛන ද ඇතුළත් වේ. 18වන සියවසේ දෙවන අර්ධයේ දී මෙම ශෛලිය සංවර්ධනය විය. දහනවවන සියවසේ මුල් කාලය වන විට මෙම සිතුවම් ශෛලිය සැලකිය යුතු මට්ටමකට පැමිණ තිබිණි. බොහෝ ලාභ සිතුවම් පිටපත්කරණය ද සිදු විය. 19වන සියවස වන විට, බොහෝ චිත්‍ර ශිල්පීන්ට සිය කෘති නිර්මාණයට අලෙවිසැල් මෙන්ම ඒවා නිර්මාණය සඳහා කලාගාර ද විය.

පරිහානිය[සංස්කරණය]

ඡායාරූපකරණයේ පැමිණීම මෙම ශෛලියට ප්‍රබල පහරක් වූ නමුත්, 20වන සියවස තෙක්ම එය පැවතිණි. 1950දී මියගිය පැට්නාවේ ඊශ්වරී ප්‍රසාද් මෙම සම්ප්‍රදායේ අවසන් වැදගත් ප්‍රවීණයා වන්නට පුළුවන. 19වන සියවසේ පසු කාලයේ දී, බ්‍රිතාන්‍යයන් විසින් චිත්‍ර කලා ගුරුකුල කිහිපයක්ම ස්ථාපිත කළ අතර, වඩා බටහිරකරණය වූ ‍ප්‍රභේදයක් එහි දී ඉගැන්විණි.

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. Kossak , Steven (1997). Indian court painting, 16th-19th century.. New York: The Metropolitan Museum of Art. ISBN 0870997831. (see index: p. 148-152)
  2. Linda Leach in George Mitchell (ed.), In the Image of Man, The Indian Perception of the Universe through 2000 years of painting and sculpture, Royal Academy of Arts, London, 1982, ISBN 0-7287-0311-4

වැඩිදුර කියවීමට[සංස්කරණය]

  • Archer, Mildred and William G., Indian Painting for the British, 1770–1880 (1955)
  • Archer, Mildred. Company Paintings: Indian Paintings of the British Period. London: Victoria and Albert Museum, 1992.
  • Welch, Stuart Cary. Room for Wonder: Indian Court Painting during the British Period, 1760–1880. Exhibition catalogue. New York: American Federation of Arts, 1978.

බාහිර සබැදි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=සමාගම්_ශෛලිය&oldid=593641" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි