සබන් බුබුළ

විකිපීඩියා වෙතින්
සබන් බුබුළක්
දැරියක් සබන් බුබුළු පිඹිමින්

සබන් බුබුළක් යනු දේදුනු පැහැති පෘෂ්ඨයක් සහිත ගෝලයක හැඩය ගන්නාවූ ඉතාමත් තුනී සබන් මිශ්‍රිත ජල පටලයකි. එක්කෝ ස්වභාවික අභාවය නිසාවෙන් හෝ නැතිනම් වෙනත් වස්තුවක් හා ස්පර්ශ වීම නිසාවෙන් හෝ, පුපරා යෑමට පෙරාතුව සබන් බුබුළක ආයු කාලය සාමාන්‍ය වශයෙන් ස්වල්ප මොහොතක් පමණි. ඒවා බොහෝ විට දරුවන්ගේ ආශ්වාදය සඳහා භාවිතා වන අතර, සමහර විට කලාත්මක රඟ දැක්වීම් වලදී පවා භාවිතා වෙයි. සබන් බුබුළු සැමවිටම ලක්ෂ්‍යයන් හෝ දාරයන් අතර කුඩාම පෘෂ්ඨීය වර්ගඵලය දරන බැවින්, අවකාශය හා සම්බන්ධ සංකීර්ණ ගණිතමය ගැටළු විසඳීමට ඒවා උපකාරි විය හැක.[තහවුරු කර නොමැත].

භෞතික විද්‍යාව[සංස්කරණය]

පෘෂ්ඨික ආතතිය සහ හැඩය[සංස්කරණය]

සබන් බුබුළු, ජෝන්-බැප්ටිස්ට් සිමියොන් චාඩින්, මධ්‍ය-18වන සියවස

සබන් බුබුළක පැවැත්ම සඳහා අනුග්‍රහය සපයන්නේ ද්‍රවයක (සාමාන්‍ය වශයෙන් ජලය) පෘෂ්ඨීය ස්තරය කිසියම් පෘෂ්ඨික ආතතියක් සහිත වීම නිසාවෙන්, එම ස්තරයට ප්‍රත්‍යස්ථ තලයක් ලෙසින් හැසිරීමට ඉඩ ලබා දෙන නිසාය. සබන් පටලය අතිශයින් සුනම්‍ය වන අතර යොදනු ලබන බලයට අනුරූපව රැලි නැගුම සිදු විය හැක.කෙසේවෙතත්, පරිශුද්ධ ද්‍රවයක් පමණක් භාවිතයෙන් නිර්මිත බුබුළක් ස්ථායි නොවන අතර, බුබුළ ස්ථායිකරණය සඳහා සබන් වැනි ද්‍රාවිත පෘෂ්ඨීය සක්‍රියකාරකයක් අවශ්‍ය වෙයි. සබන් විසින් ජලයේ පෘෂ්ඨික ආතතිය ඉහළ දමන බවට පොදු දුර්මතයක් පවතින නමුත්, දළ වශයෙන්, පරිශුද්ධ ජලයෙහි පෘෂ්ඨික ආතතියෙන් තුනෙන් පංගුවකට එය පහළ දමමින්, සබන් ඇත්ත වශයෙන් සිදු කරන්නේ ප්‍රතිවිරුද්ධ දෙයය. සබන් විසින් කරනුයේ බුබුළ ශක්තිමත් කෙරුම නොවන අතර, මරන්ගෝනි ආචරණය නම් ක්‍රියාවලියක් ඔස්සේ එය සිදුකරනුයේ ඒවා ස්ථායි කරනය සිදු කිරීමයි. සබන් පටලය ඇදෙන විට, සබන් වල පෘෂ්ඨීය සාන්ද්‍රණය අඩුවෙන අතර, එම නිසාවෙන් පෘෂ්ඨික ආතතිය ඉහළ යයි. එබැවින් සබන් ක්‍රියා කරන්නේ බුබුළෙහි ඉතා දුර්වල කොටස් ශක්තිමත් කරන අයුරින් වන අතර, බුබුළෙහි කිසියම් එක් කොටසක් පමණට වඩා ඇදීම වළක්වාලයි. මෙයට අමතරව, සබන් විසින් වාෂ්පීභවනය අඩුකරමින්, බුබුළෙහි පැවැත්ම දිගු කරයි; එනමුත් මෙම ආචරණය සංසන්දනාත්මකව කුඩාය.

බුබුළකට ගෝලාකාරී හැඩය ලබා දෙන්නේද පෘෂ්ඨික ආතතිය නිසාය. කිසියම් දී ඇති පරිමාවකට හැකි තරම් කුඩා පෘෂ්ඨීය වර්ගඵලය ලබා දෙන්නේ ගෝලයක් වන අතර, එබැවින් ගෝලාකාර හැඩයක් ගැනුම නිසාවෙන් බුබළක පිටත පෘෂ්ඨය අවම වෙයි. වාත ධාරාවන් නිසා මෙම හැඩය විකෘත වෙන බවක් නිරික්ෂණය කල හැක. කෙසේවෙතත්, නිශ්චල වාතයෙහි පහළට පැමිණීමට බුබළකට ඉඩ සැලසුවොත්, එය ගෝලාකාර හැඩයක් පවත්වා ගන්නවා මිස, නිදසුනක් වශයෙන් අපට බොහෝ විට දක්නට ලැබෙන කාටුන වලදී මෙන්, වැහි බිඳුවක හැඩය නොගනියි. පහළට වැටෙන වස්තුවක් එහි අන්ත ප්‍රවේගයට පැමිණෙත්ම, එය වෙත ක්‍රියා කරන රෝධ බලය එහි බරට සමාන වෙයි. එහි ප්‍රමාණය හා සංසන්දනය කරමින් වැහි බිඳුවක බර හා සැසඳීමෙහිදී බුබුළක බර ඉතා අඩු බැවින්, බුබළක හැඩය විකෘති වීම ඉතාමත් අඩු මට්ටක පවතියි. (විකෘති වීමට විරුද්ධ වන පෘෂ්ඨික ආතති අගය අවස්ථා දෙකෙහිදීම සමසම අගයක් ගනියි: සබන් විසින් ජලයේ පෘෂ්ඨික ආතතිය තුනෙන් පංගුවකට අඩු කරන නමුත්, එහි අභ්‍යන්තර හා බාහිර වශයෙන් පෘෂ්ඨ දෙකක් ඇති බැවින් පෘෂ්ඨික ආතති අගය සඵල ලෙසින් දෙගුණයක අගයක් ගනියි.)


"https://si.wikipedia.org/w/index.php?title=සබන්_බුබුළ&oldid=188247" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි