සත්‍යකාම නම් වෙමි

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
Nandana-weerasinghe.jpg

නිදහස් පරපුරේ කවියෙකු වන නන්දන වීරසිංහ ‘සත්‍යකාම නම් වෙමි’ නමැති ආඛ්‍යාන කාව්‍යය රචනා කරයි. ඉතා නිහඩව සිය කාව්‍ය ප‍්‍රතිභාව පළට කරමින් නිර්මාණකරණයේ යෙදෙන නන්දන වීරසිංහ රචනා කළ කාව්‍ය කෘති රැසකි. 1984 දී සිය ප‍්‍රථම කාව්‍ය කෘතිය ලෙස ‘ගිං ඟගේ විලාපය’ රචනා කර ඇත. අනතුරුව පිළිවෙළින් ‘කිරි සුවඳැති රාත‍්‍රිය’ (1990) , ‘සත්‍යකාම නම් වෙමි’ (1994), ‘ගිරග’(1997), ‘මහත් සඳ පිණි බිඳෙක’(2001) ‘චන්ද්‍ර බිම්බ’ (2004) යන කාව්‍ය කෘති රචනා කර ඇත. ඔහුගේ නිර්මාණ බොහොමයක් රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පවා පිදුම් ලැබීය. ඔහු රචනා කර ඇති එකම ආඛ්‍යාන කාව්‍යය වන්නේ ‘සත්‍යකාම නම් වෙමි’ කෘතියයි. ආඛ්‍යාන කාව්‍යයෙන් වැඩි වශයෙන් සිදු වන්නේ කවියෙන් කතාවක් ඉදිරිපත් කිරීමයි. ආඛ්‍යාන කාව්‍යය මගින් සංකීර්ණ සමාජ අත්දැකීම් පෘථුලව විග‍්‍රහ කළ හැකිය.

1980 අවධියේ ඇති වූ සමාජ, දේශපාලන, ආර්ථික චලනයෙන් කතුවරයා තුළ උපන් කම්පිත සංවේදනාවන් ‘සත්‍යකාම නම් වෙමි’ කාව්‍යයට වස්තු විෂය වේ. මෙහි ප‍්‍රධාන චරිතය ‘සත්‍යකාම’ නම් වේ. සත්‍යකාමගේ පියා ව්‍යාපාරික පන්තිය නියෝජනය කරන්නෙකි. සත්‍යකාම පියා පිළිබඳව කලකිරීමෙන් හිඳී. ඒ තම පියා අපගාමී චර්යාවෙන් මුදල් උපයන බැවිනි.

ජරාවෙහි රස උරා
වැඩුණු ගිජු ලිහිණියන්ට
වනේ වන සතුරන්ට
මධුවිත පිරිනමා උන් පොළොඔවා යවා
මුදල් නිදහන් පාදන (වීරසිංහ,2002: 13)

එයින් පියා පිළිබඳ ඇතිවන කලකිරීම තව තවත් තීව‍්‍ර වන්නේ පියා පැවති දේශපාලකයින්ගේ ක‍්‍රියාකාරකම්වලට සහයෝගය දෙන බැවිනි. 1989 තරුණ අරගලයේදී විශාල වශයෙන් තරුණ පිරිස් මරු තුරුලට ගියහ. ඔවුන් මරණයට පත් කිරීමට සහය දුන් අය අතර සත්‍යකාමගේ පියා අයත් වෙළඳ පාන්තිකයන්ද විය. එම භීම සමයේ පැවති කටුක බව නිසාම එම අමිහිරි පරිසරයෙන් ඈත් වන්නට සත්‍යකාම තීරණය කරයි.

සොඳුරු වන අරණක, වන සෙනසුනක සිත නිවනා සුවය සොයා කල් ගත කරද්දී වැඩි කලක් එහි රඳන්නට සිත නොදේ. පෙර විලස හද මස වේදනා නුදුන්නද සෙනසුන අවට සිදුවන ක‍්‍රියාකාරකම් ඔහුගේ සිත නිවාලන මගට බලපෑම් කරයි.

සෙනසුන අවට වන වියන සිටු පුතුන් විසින් සිඳ හැර විකුට මුදල් රැස් කරමින් සිටියි. මෙය දකින සත්‍යකාම සෙනසුනේ හිමි නමට පවසන්නේ මේ සඳහා පියවරක් ගෙන මෙය වළක්වාලීමට කටයුතු කරන ලෙසයි.

හිමි නම ඇතුළු හදටම විවර වූ අයෙකි.

සත්‍යකාම අසනුව
සමාජය නම් මැරයා
සමග නොගැටී ඉඳුරා
මාරයාගේ බැමිවල
නොබැඳී සිත හික්මවන
අරී මග බැස යනු මිස
තණ්හා සැඩ දියට පැන
ගිලී සිරවී නොමියෙමි (වීරසිංහ,2002: 30)

බාහිර ලෝකයේ කිනම් අකටයුත්තක් වුවද එය ගණනට නොගෙන ආධ්‍යාත්මික ජීවිත සුවය පමණක් සොයන දහම සත්‍යකාම ප‍්‍රතික්‍ෂේප කරයි. ඔහු හිමිනම සමග තර්කයේ පැටලේ. තමා සොයන සත්‍යය මෙවන් බිමෙක සුපිපෙනු නැති බව තේරුම්ගත් සත්‍යකාම එතැනින්ද පිටවී යයි. මග දිගේ ගමන් කරනා සත්‍යකාම දකිනුයේ නුදුරු කඳු මුදුනක නිසලතාවයෙහි වැඩ සිටිනා දෙව් මැදුරකි. දෙව් මැදුර වෙත ගමන් ගන්නා සත්‍යකාම පියතුමාට තමා පැමිණි කාරණය පවසයි. පියතුමා හා කරන කතාබහ තුළින් හඳුනා ගන්නා භක්තිය වෙත නැමුණු එම දහමද සත්‍යකාමට රුචි නොවේ. පියතුමාට අනුව සියලූ දේ දෙවියන් විසින් මවන ලදී. රටේ පාලකයා පවා දෙවියන් විසින් පත් කළ අයෙකි. මෙම මතවලට සත්‍යකාම තර්කයෙන් පිළිතුරු දී ප‍්‍රබලව විරෝධය පළ කරයි. ඒ සමගම පියතුමාද 1989 පැවති රාජ්‍ය ත‍්‍රස්තවාදයට සහය දක්වන අයෙක් බව අවබෝධ කර ගනියි.

ජිප් රිය
මරු වරම් ගෙන
හූ තියා නැගි කඳු බිම
ගොර අදිනු ඇසේ
දෙව් මැදුරු මිදුලෙහි
ඉක්බිති
සිනාසෙති - මුමුණති
පියතුමා හා සෙබළු
එකම අඳුරෙහි (වීරසිංහ,2002: 45)

මෙම තත්ත්වය තුළ තමා සොයනා සත්‍යයේ සහන් එළි පියතුමා වෙසෙන මෙබිම තුළ නොවන වග සත්‍යකාම අවබෝධ කර ගනියි. එතැනින්ද පිටත් වන ඔහු අප වෙත ගෙන එන පණිවිඩය වන්නේ සත්‍ය ගවේෂී මගෙහි තාවකාලික නවාතැන් මිස තිර ලැගුම්හල් නොමැති බවයි.

භීම සමයේ මහ මග ඇවිද යන සඳ රාජ්‍ය ත‍්‍රස්තවාදයට සත්‍යකාමද හසු වේ. හමුදා සෙබළුන්ගේ පැහැර ගැනීමට ලක්ව ජිප් රිය තුළ සිහිසුන් වන සත්‍යකාමට ටික වේලාවකින් සිහිය එයි. රිහිරි සුවඳැති ජිප් රිය තුළ යන විට තම ජීවිතය පිළිබඳව මින් පෙර නොමැති වූ අසීමිත ආදරයක් හට ගනියි. තම පියා හා ගනු දෙනු බැඳුම් ඇති ඇමතිවරයෙකුගේ නම කියූ සැනින් සත්‍යකාමට ජීවිතය ලැබේ. ධරණිපාල නම් ඇමතිගේ නෙක දෙසුම් අසා ඔහුගේ ප‍්‍රචණ්ඩකාරී ජීවිත පැවැත්ම අවබෝධ කර ගනියි.

පසුව සත්‍යකාම සත්‍ය සොයා යන ගමනේදී තමාගේ පෙර ඇදුරෙකු වූ වාගීෂ නම් පුද්ගලයා හමු වීමට යයි. එදා නෙක දෙසුම් කියා ප‍්‍රඥාවට ඇරුණු නෙත් ඇතිව සිටි වාගීෂ අද වන විට ධන මාංශය බුදින ගිජු ලිහිණියෙක් වී ඇති වග සත්‍යකාම දකියි.

මේ සුව වාස භවනය
උරුම විය යුතුමය
ජරාවෙහි රස උරා
වැඩුණු ගිජු ලිහිණියෙකුට (වීරසිංහ,2002: 66)

තමාගේ සිත සනහන සත්‍ය සොයා වාගීෂ ඇදුරු සොයා පැමිණියද ඔහු ධනයට ලොල්ව තම උතුම් ඉගෙනුම් හැකියාවන් කෙලෙසාගෙන ඇති බව අවබෝධ කර ගනියි. ඔහුගේ බොල් මතවාද අසා ඔහු පිළිබඳ සත්‍යකාම සිත පැවති ගෞරවය ඉටිමුවා රුවක් සේ දිය වී යයි. ධනය පසුපස යන්නාගේ සාමාන්‍ය ස්වභාවය මෙන් වාගීෂද නපුරු අවගති හුරු කර ගනියි. තමාට විරුද්ධව එන ඕනෑම අයෙකු මරණයට පත්කරවන්නට තරම් ඔහු පසුබට නොවේ. වාගීෂගේ ජීවිත ස්වභාවය දැක එයද කුණුපයක් සේ ඉවත හැර එතනිනුදු සත්‍යකාම ඉවත්ව යයි.

තමා ගමන් ගන්නා මග දිග දේශපාලන ව්‍යාපාරය උදෙසා සැරහූ නීල, ලෝහිත, හරිත කොඩිවැල් සොල්මන් කරනු සත්‍යකාම දකියි. ඒ දේශපාලකයන්ගේ මුලාව, වංචාව ආදී අවගුණ පිළිබඳ සත්‍යකාම විරෝධී ආකල්පයක හිඳී. යන මග දිග දේශපාලකයන්ගේ විවිධ දෙසුම් සත්‍යකාමට ඇසේ.

මරණය හා දුක් ගිනි නම්
අධිපතියන් අණසක මිස
සුව සොම්නස් මායාවෙක
දිනා ගැනීමට වටිනා
කිසිවක සැපයක් නැතිවග
නරි හූ හඩ හා මුසු වී
සවන වැදිනි කැබිලිති ලෙස (වීරසිංහ,2002: 93)

මේ අයුරින් පවතින දේශපාලන ක‍්‍රමය ගැන දැඩි විරෝධයක පසුවෙමින් ගමන් කරද්දී තමා හා පාසලේ එකට අකුරු කළ භාසුර නැමැත්තාද හමු වේ. ඔහුද අතීතයේ සත්‍යය වෙනුවෙන් පෙනී සිටියෙකි. අද වන විට දේශපාලකයන්ගේ ගුණ වේදිකාවල මතුරා ධනය හා පැසසුම් ලබමින් පසු වේ. මේ සෑම අවස්ථාවකින්ම සත්‍යකාම අත්දැකීම් ලබා ගනියි. සත්‍ය සොයා යන ගමනේ මෙතෙක් ගෙවූ මග දිගු වූවද එහි තමා පැතූ සත්‍ය නොමැති වුවද ඔහු අධෛර්යයට පත් නොවේ. තම පැතුම ඉටුවන තුරා ගමනේ වෙහෙස විඩාව පන්නරයක් කර ගනු විනා තැබූ පියවර ආපසු හරවාලන්නට නොසිතයි.

රාත‍්‍රිය යෝධ සිරුරින්
සිටගෙන සිටියි අභියස
කැහැටු අතු ඉදල් මත
ලැග නොඉඳ අවදිව
කුරුල්ලෙක් පියාඹයි
මියුරු ඵල සොයා ඈතට (වීරසිංහ,2002: 100)

කර්මාන්ත පුරයේ ගමන් ගන්නා සත්‍යකාමට වැඩ වැරූ ශ‍්‍රමිකයින් රැසක් හමු වේ. වැඩ වැරූ ශ‍්‍රමිකයින් නොයෙක් බසින් රවටා තබා ගන්නට වෙර ගනු ලබන ව්‍යාපාරිකයෝ වෙති. ඔවුනට විරුද්ධව හඩක් නගනා එක් ශ‍්‍රමිකයෙකු දැක සත්‍යකාමගේ සිත ඔහු කෙරේ බැඳේ. මෙතෙක් ගෙවූ මග දිග සිත සැනහූ එකම තැනක් වී නම් රුචිර නම් වූ ශ‍්‍රමිකයාගේ විප්ලවකාරී වදන් සමුදායයි.

කැත් වෙළඳ අධිපති
කපටි දහමට රිදවන
වදනිසුරු මේ තුරුණු තෙම
මා සිත අරා සිටගති
සිහිනි වුව මහ
යෝධ කායෙන් (වීරසිංහ,2002: 105)

රුචිර හා දොඩමළු වන සත්‍යකාම තමා සොයා ආ මිහිර දනවන යම් බඳු නුවණ පවනක පහසක් දැනෙන මානයට ළං වී ඇති බව අවබෝධ කර ගනියි. රුචිර කියූ මග දිගේ ගොස් ගන වනාන්තරයේ වාසය කරනා විදර්ශන නම් අයෙක් හමු වේ. ඔහු හා සාමීචියෙන් පසු සත්‍යකාම මෙතෙක් සෙවූ සත්‍යයේ සහන් සුව අවබෝධ කර ගනියි. දාර්ශනික චින්තාවලි මගින් විදර්ශනගෙන් දැනුම වගා කර ගන්නා සත්‍යකාම තමා බලාපොරොත්තු වූ සත්‍යයේ මිහිර උදා කර ගනියි.

ඒ දර්ශනයට අනුව මිනිස් වෙහෙසෙහි වැඩෙහි මෙහෙයෙහි අපමණ ඵලය සේ සත්‍යය බිහි වේ. යමක් ග‍්‍රහණය කර ගත යුත්තේ එහි ගැඹුර පිළිබඳ තියුණු අභ්‍යාසයෙනි. පිටත රූපය තුළ සත්‍යයාගේ මදහස සොයා ගැනීම අපහසුය. සත්‍යය සොයා පාදා ගැනීමේ මූලික පියවර නම් භාවිතය නම් මානකය ලබා ගැනීමයි.

වහල්වර මදු
රන්දම් ලෙසින් ඉවසා
කරබා වැතිර හිඳිනට
පීඩිත මිනිස් ගණ මෙහෙයන
පවිටු සිහිනයෙන් නැග
නෙත් පුරා ගසන වැලි
සිත් පුරා පොවන විෂ
දුර තියා හැඳින නුවණින
මුසාවෙහි නීච හැවපට
ඇද විසුනු කරමින
අප සහස් මුවගින්
එක පැහැර පිඹ නංවන
චණ්ඩ මාරුතයම
නිසැක වූ දිශාභාගයෙහි මුව දොර හරිත
උදාවෙයි නිසැක සත්‍යයේ පබවත (වීරසිංහ,2002: 123)

මේ අයුරින් ගෙතෙන සිද්ධි දාමයකින් යුත් ‘සත්‍යකාම නම් වෙමි’ කාව්‍යය දාර්ශනික චින්තාවන් ගැබ් කරගත් කෘතියකි. යමක් දෙස තාර්කිකව බලා, දාර්ශනික ස්වරූපයකින් එය විග‍්‍රහ කිරීම සිදු වී ඇත. කාව්‍යය ගොඩනැගීමේදී ‘ජාන්දාග්‍ය, බෘහදාරණ්‍යක’ යන උපනිෂද් ග‍්‍රන්ථයන්හි ආභාසය ලැබූ බව ග‍්‍රන්ථයේ මුවදොර වදනේ සඳහන් කරයි. එම දර්ශනයෙන් ලැබූ ආලෝකය ඔහුගේ දාර්ශනික චින්තාවලියට මහෝපකාරී වන්නට ඇත.

මෙම කෘතිය සංවාද ස්වරූපයෙන් ගලා යන්නක් බැවින් විවිධ චරිත අතර සිදුවන කථන විලාශයෙන් කාව්‍යය දිග හැරේ. සත්‍ය සොයා යන ගමනේ සත්‍යකාමට විවිධ අය හමු වේ. වීරනාථ, විදර්ශන, යනු ඉන් දෙදෙනෙකි. ඔවුන් හා සත්‍යකාම අතර ගොඩනැගෙන සංවාදයන්හි දක්නට ඇත්තේ දාර්ශනික කල්පනාවන් මගින් ජීවිතයේ විවිධ අවස්ථා දුටු ආකාරයයි.

සත්‍යය යනු කුමක්ද? යන්නට මෙවැනි විග‍්‍රහයක් ඇත.

ඔබ දකින්නේ හැඳින ගන්නේ
පෙනී යන ලෙසිනි බැහැරින්
ඉදින් ඒ දැනුම අපි
සත්‍යය යැයි නම් කරමුද? (වීරසිංහ,2002: 84)

යමක පිටත බැලූ පමණින් එහි සත්‍ය තත්ත්වය හඳුනාගත නොහැකිය. පිටත තත්ත්වය ඉතා සුන්දර වූ දෙයක් ලෙස දුටුවද එහි ඇතුළාන්තය අසුන්දර විය හැකිය. පුද්ගලයෙකු හඳුනාගෙන කතා බහ කළ පමණින් ඔහු පිළිබඳ නිවැරදි නිගමනයකට එළඹිය නොහැකිය. යම් කිසි සිද්ධියක් පිළිබඳ තත්ත්වයද මෙසේමය. එනිසා පිටත දකින දෙයම සත්‍ය යැයි නම් කළහොත් ඊට වඩා අසත්‍යයක් තවත් කොහිද?

සියලූ තුරු සිය අරටුව
තම ක‍්‍රියා පිළිවෙළ හා
ඇතුළු චරිතයෙහි වන
එකඟකම හා ගැටුම
හෙළි කරනු නැත
පියවි දෑසට (වීරසිංහ,2002: 115)

සියලු තුරුලතා සිය ඇතුළු ශරීරයේ අංග වන අරටුව, තමා වැඩෙන ආකාරය ඇතුළාන්තයේ වන එකඟකම මෙන්ම ඝට්ටනයත්, සැඟව පවතින විවිධ රෝගාබාධයන් පියවි දෑසට හෙළි නොකරයි. පියවි දෑසින් බලත සුළ`ගින් සසල නිල් තුරු අතු පතර සිහින් කෙඳිරිල්ලක්ව ළය සනහාලයි. නමුත් ඇතුළාන්තයේ පැවැත්ම එතරම්ම සුන්දර විය නොහැකිය.

තුරු බඳෙහි මතුපිට
මේරුම නොමේරුම වුව
පසක් කරනා මග
කපා විමසා බැලීමය (වීරසිංහ,2002: 115)

ශාක බඳෙහි මේරුම නොමේරුම වුව පසක් කර ගත හැක්කේ කපා විමසා බැලීමෙන් පමණි. එමගින් ප‍්‍රත්‍යක්‍ෂයෙන්ම තහවුරු කරගත හැකිය. එනම් යමක් ග‍්‍රහණය කරගත යුත්තේ දකින දේ අසන දේ ඉක්මවා එහි ගැඹුර සොයා බැලීමෙන් පමණි.

සිදුවීම් පෙළ ඉක්මවා
විද බැලිය යුතුමය
වහරණු සෙරෙන් අප හැම
එහි ගැඹුර හරයම (වීරසිංහ,2002: 115)

යම් සිදුවීමක යථා ස්වභාවය හඳුනා ගත හැක්කේ එම සිදුවීම ඉක්මවා එහි ගැඹුර සොයා ගියහොත් පමණි. රටක සියදිවි නසා ගැනීමට තැත් කිරීම අධිකව සිදු වන්නේ නම් ඔවුන් අල්ලා සිරකර දමා දඩ ගසා පීඩා කිරීම නොව කළ යුතු වන්නේ එසේ සියදිවි නසා ගැනීමට හේතු වූයේ මොනවාද යන්න ගැඹුරින් සොයා විමසා බැලීමයි. එවිට සමාජ, ආර්ථික, දේශපාලන ආදී කරුණු රැසක් එයට හේතු වී ඇති බව හෙලි වන්නට ඉඩ තිබේ. ඒ අනුව එම සිදුවීම ඉක්මවා එහි ගැඹුරට ගොස් විමසා බලා සත්‍යය පසක් කර ගත හැකිය. එමගින් එම ප‍්‍රශ්නයේ මූලයන් හඳුනාගත හැකිය. එයට අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගත හැකිය. එය ගැටලුව විසඳීමේ හොඳම මාර්ගයයි.

අප යමක් විඳිනුයේ අපේ රුචිකත්වයට, අපේ හැඟීමට අනුකූල නම් පමණි. නිදසුනක් ලෙස අප විවිධ මිමි නිමවා යමක් විඳිමු. ගීතයක් අසා එය විඳිනුයේ අප රුචි කරන ‍සෛද්ධාන්තික පදනමක සිටය. එක්කෝ සංස්කෘත විචාර සිද්ධාන්ත මගින් අපි ඒ ගීතය විඳින්නෙමු. නමුත් එම ගීතයම තවත් අයෙක් බටහිර සෛද්ධාන්තික මිමි අනුව විමසා රස විඳිති. එකම දෙය දෙදෙනෙකු විඳිනුයේ දෙවිදියකටය. එසේ වූ විට නිවැරදි සත්‍යය යනු කුමක්ද යන ප‍්‍රශ්නය පැන නැගේ.

ඔබේ රුචියය
ඔබේ හැඟුමය
සියලු දේවල අගය මැනෙනා
එකම කෝදුව (වීරසිංහ,2002: 85)

අපගේ රුචිකත්වය අනුව අපගේ හැඟීම් අනුව අපි විවිධ මිමි නිමවා ගෙන තමාට මුහුණ පාන්නට වන සිදුවීම් විග‍්‍රහ කර ගන්නෙමු. එක් එක් අයගේ හැඟීම, රුචිකත්වය අනුව ඒ ඒ අය ඒ ඒ ආකාරයට ඒ ඒ සිදුවීම් ග‍්‍රහණය කර ගනිති. සියලු දේවල අගය එසේ මැනෙද්දී එම සිදුවීමේ යථා ස්වභාවය අප කෙලෙසින් තෙරුම් කර ගන්නද? යන පැනය කතුවරයා අප හමුවේ තබයි.

මෙලෙස අප එකෙකා
නෙක ලෙසින්
දැනුම යැයි ප‍්‍රඥාව යැයි
අපගේම මිමි නිමවා
දිවි ගෙවා හරින්නෙමු (වීරසිංහ,2002: 85)

යථාර්ථය මෙය නොවේද? අප එකිනෙකා මෙය සත්‍යයයැයි ලෙස පිළිගන්නේත්, අසත්‍යයයැයි ලෙස බැහැර කරන්නේත් අපගේම මිමි අනුව විමසා බැලීමෙනි. ඉතින් අපි එකිනෙකා අපගේම මිමිවලින් මෙය දැනුම යැයි ද , ප‍්‍රඥාව යැයි ද සලකා හිස මුදුනින් තබා වන්දනාමාන කරමින් පසුවෙමු.

අප ජීවත් වන සමාජයේ ඇතැම් පුද්ගලයෝ යම් මතයක එල්බ හිඳිමින් එයම අදහමින් එයටම සලකමින් කල් ගෙවති. ලෝකය අලුත් වීම කෙතරම් සිදු වුවද එම අලුත් වීම සාධනීය ලෙස තම ජීවිතයට එක්කාසු කර නොගනියි. අලුත් දේ කෙතරම් පැමිණියද ඒවායේ යහපත් දේ ලබා ගැනීමයි විය යුත්තේ. නමුත් සම්ප‍්‍රදායේම ගැලෙනා බොහෝ අය පරණ දේම අදහමින් අලුත් දේ බැහැර කරති. එය සිදු නොවිය යුත්තක් ලෙස නොවේද කවියා මේ පවසන්නේ.

සිවු දිගට විවර කළ
කවුළු ඇති යම් කුටියක
අටදිග්භාගයෙන් හමා එන
වාත වේගය ගැවසේද
එබඳුමය සිත් කුටියද
ඇරී ඇත මනා කොට
දැනුම් නළ සුවඳ සැරිසරනුව

සිත් කුටියෙහි බහා
නිති දිවා රැය රකිමින
යම් කිසි නුවණ පවනක්
සදා වළඳනු කුමකට (වීරසිංහ,2002: 89)

ඔහු විවෘත මනසක් ඇත්තෙකි. සිව් දිශාවට විවර කළ කවුළු ඇති යම් කුටියක සිවු පැත්තෙන්ම වාත වේගය විත් සැරි සරයි. ඔහුගේ සිත් කුටියද එසේමය. දැනුම් නළ සුවඳ සැරි සැරීම සඳහා ඔහුගේ සිත් කුටියද විවෘතව ඇත. නව දැනුම සෙවීමේ පිපාසාවෙන් සිටිනා විවෘත මනසක් ඇති පුද්ගලයෙකුගේ සංවේදනාවක් කවියා එසේ කවිගත කරයි.

සම්ප‍්‍රදායම අදහන්නන් මෙන් තමා උගත් දැනුමම අගය කරමින් එය සිත් කුටියෙහි බහා නිරන්තරව දිවා රාත‍්‍රියෙහි රකිමින් එකම නුවණ පවනක් සදා වැළඳීමේ නිශ්ඵලත්වය ඔහු දකියි.

එසේ සමාජයේ විවිධ මනුෂ්‍යයන් තුළ ගොඩනගාගත් විවිධ මතවාද ඇත. ඇතැම් ඒවා මළපුඩු සේ ය. ඒවාට හසු වූ විට ජීවිතය අයාලේ යයි. ඒ හැම මතවාදයක්ම සිනහ වීමට හෝ හැඬීමට නොව සිදුවීම් සමුදාය වහා තේරුම් ගැනීම පිණිසමය.

එහැම මතවාද
මළ පුඩුවල බැඳුණු
ජන සමාජය යනු
හැඬීමට සිනහවට නොවේමය
සිදුවීම් සමුදාය අපවට
වහා තේරුම් ගනු පිණිසමය (වීරසිංහ,2002: 106)

දිවි පෙවෙත හා බැඳෙමින් සත වෙත හිත සුව පිණිස මෙහෙ කරනා යමක් වේ නම් එයම සත්‍යය ලෙස පිළිගැනීම වැරදිය. ඇතැම් විට හිතසුව නොවිය යුතු අයටද එමගින් සුවය සදාලන හෙයිනි. 1989 තරුණ අරගලයේදී තරුණයන්ගේ හිතසුව පිණිස තරුණයන් ක‍්‍රියා කරද්දී ඔවුන් අමු අමුවේ මරා දැමීම සිදු වූ විට සැබැවින්ම හිත සුව උදාවූයේ පීඩක හස්තයාටය.

...එසේ නම් සත්‍යකාමය
දැවී නෙදැවී
එකම මිනීවල වැටුණු
මළ සිරුරු නිමැවූ
පීඩක හස්තයා වුව
සත්‍යයා ලෙසින් හැඳිනිය යුතු

මේ මහා මළගම
සාමයේ උතුම් මංගලය ලෙස
උඩු බුරති එබඳු වූ
සාධු සම්මත පබුදන (වීරසිංහ,2002: 110)

විදර්ශනට අනුව සත්‍යය හඳුනා ගැනීමට පෙර ලබා ගත යුතු මානකයක් ඇත. එනම් භාවිතයයි. බොරුව නැමැති වර්චස් භූමියේ සත්‍ය කිමැයි කොතනදැයි සොයා බැලීම අපහසු බැවිනි.

...බොරුව නම් වර්චස් භූමියෙහි
සත්‍ය කිමැයි කොතනකදැයි
විමසා බලන කිසිවෙකු
විදුර මිණ බඳු
තියුණු මනසින්
වහා නිසැකව පළමු කොට
ලබා ගත යුතු මානකය නම්
භාවිතයමය (වීරසිංහ,2002: 12)

සමාජය තුළ ඇත්තේ පුද්ගලයින් තම තමන්ගේ වාසියට සකසා ගත් මතිමතාන්තර රැසකි. තම වාසියම උදෙසා ගොඩනගා ගත් ඒවා තුළ සත්‍යය බොහෝ දුර ඈත වෙයි. මිනිසා රවටමින් ගොඩනැගී ඇති එවන් සමාජයක තියුණු නැණසින් යුක්තව කටයුතු කරමින් භාවිතය නැමැති මානකය ලද යුතුය. කුවෙර පා මුල වැටුණු සිරිමතුන්ගේ වසුරු ඇහිඳින සමාජය සතු දීන හිස සැනින් කපා හෙළනා වජ‍්‍රායුධය ඇත්තේ එහිමය.(වීරසිංහ,2002,:113) මේ සඳහා නිද්‍රාවෙන් මිදිය යුතුය. අලස නොවී සියලු වෙහෙස ඇසුරෙහි ඒ සත්‍යයාගේ යෝධ කාය ඉදිවෙයි.

පසුපසින් එන වධකයාට ඉඩ හැර
මළා සේ හිඳින තැන නොව
අලස නිද්‍රාවෙහි ඇලී
අත් පා බැඳ හිඳින තැන නොව
සියලු කම් කටයුතු
වෙහෙස ඇසුරෙහි
සත්‍යයාගේ
යෝධ කායය උදාවෙන

මිනිස් වෙහෙසෙහි
වැඩෙහි මෙහෙයෙහි
එහිම අපමණ ඵලය සේ
සත්‍යයා බිහිවේ. (වීරසිංහ,2002: 114)

පසුපසින් වධකයා එද්දී ඔහුට ඉඩ හැරීම යුතු නොවේ. අලසව, කුසීතව, නිදිමතෙහි ගැලී සිටීම නොයුතුය. සත්‍යය උදාවන්නේ සියලු කම්කටයුතු වෙහෙස ඇසුරෙහිය. මිනිස් වෙහෙසෙහි, වැඩෙහි, මෙහෙයෙහි යෙදීමෙන් එහි අවසාන ඵලය ලෙස සත්‍යය බිහි වේ.

සමාජය ක‍්‍රම ක‍්‍රමයෙන් පරිණාමය වන්නකි. අලුත් අලුත් දේ එකතු වී, පැරණි දේ වෙනස් වී එසේත් නැති නම් නැති වී මෙම ගමන සිදු වේ. කවියා සමාජ පරිණාමය පිළිබඳ දැරූ මතවාදය දාර්ශනික බවක් ගත්තකි.

සරු මඩ බිමක වැපිරූ
බිත්තර විඇට පුපුරා
ඉඳිකටු සේම පැළපත
නැගී පැවතුම හරියි
පැරණිම

පැළපත වැඞී තුරුණුම
කරල් ගන්වා නැළවෙයි
කරලද නවමු බිජු නිමවා
අභාවය වෙතටම නැමී යයි

එකම බිජුවට සිය පැවැත්මේ
පැරණි රුව ගුණ හැර
නව ගුණින් පමණින් වැඩෙයි

සජීවී ලෝ සැටියෙහි
සමාජය තතු වැඩුමෙහි
මහා නියාමය එබඳුය

වටයෙන් වටය පුළුලුව
පියවරෙන් පියවර
පෙර නොවූ ගුණ දරා
ඉදිරියටම බලා යන
දඟර ගමනකි මේ
විපරිණාමය. (වීරසිංහ,2002: 21)

කවියා සමාජයේ පැරණි ස්වභාවය දක්වන්නේ ශී‍්‍ර ලාංකීය ගොවි ජනයාට ඉතා සමීප, ගොවිතැනට යොදා ගන්නා ජනතාවගේ ප‍්‍රධාන ආහාරය වන සහල් නිපදවන වී ධාන්‍ය උපයෝගී කර ගනිමිනි. සරු මඩ බිමක වැපිරූ කල බිත්තර විඇට පුපුරා පැළපත නැගී පැරණිම පැවතුම හැර දමයි.

එම පැළපත වර්ධනය වී කරල් නංවා නැළවෙයි. කරලද මෝරා පැසී නවමු බිජු නිමවා අභාවය කරා යයි. නැවතත් එම බිජුවට අලුත් පරපුරක් සකසයි. මෙසේ එකම බිජුවට සිය පැවැත්මේ පැරණි රුව ගුණ හැර දමා නව ගුණයෙන් වැඬීමක් දක්නට ලැබේ. මේ ලොවේ ස්වභාවයත් මේ සමාජයේ වැඬීමත් එබඳුම බව කවියා පවසයි.

වටයෙන් වටය පුළුලුව පියවරෙන් පියවර වෙනස් වෙමින් අලුත් වෙමින් පෙර නොවූ ගුණ දරා ඉදිරියටම බලා යන දඟර ගමනක් ලෙස සමාජ විපරිණාමය ඔහු අර්ථගන්වයි. සැබෑය. සමාජය අලුත් වීමේදී විවිධ දෑ එකතු වේ. එවිට පැරණි දෑ වෙනස් විය හැකිය. අභාවයට යා හැකිය. මෙසේ පරිණාමය වන ලෝකයේ ගමන දඟර ගමනකි. එහි පරිණාමය එබන්දකි.

මෙලෙසින් නන්දන වීරසිංහ කවියා සිය කාව්‍ය තුළ දාර්ශනික චින්තාවලින් යම් යම් සංකල්ප පිළිබඳව නවමු දෘෂ්ටියක් පළ කළ බව පෙනේ. ග‍්‍රන්ථ ඥානයෙන්, අත්දැකීමෙන් පරිකල්පනයෙන් යුක්ත කවියා කොහොමටත් තෙවැනි ඇසක් සහිත අපූර්ව වූ මිනිසෙකි.

‘සත්‍යකාම නම් වෙමි’ කාව්‍යය මහගමසේකරගේ ‘ප‍්‍රබුද්ධ’ කාව්‍යයෙන් ආභාසය ලබා ඇති බව කාව්‍යය විමසීමෙන් පෙනේ. මහගමසේකරගේ ප‍්‍රබුද්ධ කාව්‍යයේ හමුවන ප‍්‍රබුද්ධ විමුක්තිය සොයා යන්නෙකි. ඔහු සිය පේ‍්‍රමවන්තියගේ මැදුරේ පැවති සාදයකට එක් දිනෙක සහභාගී වේ. එම සාදයේ ලබන අත්දැකීම් අනුව ප‍්‍රබුද්ධ ඒ සාටෝපවත් දිවිය ගැන කලකිරේ. ප‍්‍රබුද්ධ ගායකයෙකි. එම සාදයේදී ඔහු ශාස්ත‍්‍රීය ගීතයක් ගයයි.

ජගන් මෝහිනී
මධුර භාෂිණී
චාරු දේහිනී
කමල වාසිනී
සරස්වතී දේවී..... වන්දේ
සරස්වතී දේවී..... (සේකර,1977: 11)

මෙම ගීතය ශ‍්‍රවණය කරන සාදයට පැමිණි පිරිස එහි රස හීන බවත් ඒ ගී වෙනුවට පොප් ගීතයක් ලබා දෙන ලෙසත් ඉල්ලති. එම ඉල්ලීමට අනුව ප‍්‍රබුද්ධ පොප් ගීතයක් ගයයි.

හා එන්න ප‍්‍රීති වන්න ගී කියන්න පෙම්බරෝ
මේ වගේ සැපක් තවත් ලොවේ තියේද සුන්දරෝ
හැම් බේකන් කන්න සල්ලි
ජින් ෂැම්පේන් බොන්න සල්ලි
බල්ලෝ මරලා හරි සල්ලි හොයාලා
ඉන්න ටිකේ ඉම්මු සුදෝ ජොලිය දමාලා (සේකර,1977: 12)

ගීතය ඇසූ ව්‍යාපාරිකයෝ කුල්මත් වෙති. ප‍්‍රබුද්ධව පසසා නොනවතින පැමිණි ව්‍යාපාරිකයෝ මැදිහත් වී ඔහුගේ පොප් ගීත සහිත සී.ඞී. තැටියක් නිපදවා මහත් ලාභ ලබති. ගලා ගිය කටහඬ නැවත හැරී ආවේ රිදී රුපියල් ලෙසිනි. ප‍්‍රබුද්ධට කෙතරම් මුදල් ලැබුණද ඔහු මානසිකව ඇද වැටේ.

ලැබුණද කොතෙක් දන
නැගුණිද ඉහළ තලයට
දිළිඳු විය ඔහු සිත
ආත්මය ඇද වැටී පහළට (සේකර,1977: 15)

මුදල් කෙතරම් ඉපයුවද සමාජයේ ප‍්‍රසිද්ධිය හිමි වුවද ඔහු ඇතුළු සිතින් නිරන්තරව පීඩා විඳියි. මන්ද තම හෘද සාක්‍ෂිය තමාට දොස් පවරන හෙයිනි. ඔහුගේ උතුම් හැකියාව නොසලකා ව්‍යාපාරිකයින්ට ඇවැසි මග යාමට සිදුවීම ඔහුගේ සිතට වදයකි.

සත්‍යකාමද එවැන්නෙකි. ඔහුගේ පියා ව්‍යාපාරිකයෙකි. පියාගේ සියලු ව්‍යාපාරවල මතු හිමිකරුවා සත්‍යකාමය. නමුත් ඒවා මත තම ජීවිතයේ සතුට සත්‍යකාම අපේක්‍ෂා නොකරයි. එම මුදල් තම පියා උපයාගෙන ඇත්තේ අනුන්ගේ ශ‍්‍රමය මිරිකා ලද ආදායමෙනි. සත්‍යකාම එය රුචි නොකරයි.

අනුන්ගේ වෙහෙසින් පෙරී
ගලනා මිල අමාදිය
සුවසේ බොමින තර වී
නික්ම ගිය නෑ සිය පරපුර (වීරසිංහ,2002 : 12)

එබැවින් ප‍්‍රබුද්ධ සහ සත්‍යකාම චරිතද්වයේ තමනට හිමි ධන වස්තුව පිළිබඳ දරන ආකල්පයේ සාම්‍යයක් තිබේ.

ප‍්‍රබුද්ධ කාව්‍යයේ ප‍්‍රබුද්ධ යශෝධාගේ නිවසේ සාදයට ගොස් එහිදී දකින දේ විඳින දේ අනුව කළකිරී විමුක්තිය උදාකරන මගක් සෙවීමේ නිමග්න වෙයි. තම කටහඬ අලෙවි කිරීමට දත කන ව්‍යාපාරිකයන් නිසා ඇතිව තිබූ කලකිරීම දෙගුණ තෙගුණ වන්නේ ඔවුන්ගේ කුල සිරිත දැකීමෙනි.

රැයින් රැයට අප
බිබී නටන විට
මමයි මගෙයි යන
මමත්වයක් නැත
පැවැත්ම තනි තනි
කැමැත්ත අනුවය
ඒ අපගේ කුල සිරිතය
ඔවුහු කියති (සේකර,1977: 18)

ඔවුන්ගේ සිරිත සංස්කෘතියක් සාදාචාරයක් නොමැති වූවන් සේ ජීවිතය ගෙවීමයි. රැයින් රැයට බිබී නටන විට පැවැත්ම තනි තනි කැමැත්ත අනුව සිදු වීම යනු එකිනෙකා අතර බැඳීම්වලට කෙතරම් බලපෑමක්ද? එතනිනුදු කලකිරෙන ප‍්‍රබුද්ධ සාද කර තැනින් තැන වැටී සිටිනවුන් දැක නැවතත් කලකිරේ. දුඟද වා විහිදනවුන්, නැහැ හඬවනවුන්, නොමුවහ රහස් පියෙස් ඇතියවුන් දැකීම ඊට හේතුවයි. එතනිනුදු නොනවතින ඔහු සිත ඇද වැටීම තීව‍්‍ර වන්නේ තම පේ‍්‍රමවන්තිය වන යශෝධා තවත් අයෙකු බදා වැළඳ දිගු ශාලාව කෙළවර හිඳිනු දැකීමෙනි.

දිගු ශාලාව කෙළවර
අඳුරු ආරුක්කුව යට
උනුන් බදා වැළඳ හිඳින
අඳුරු මිනිස් යුවලක් විය (සේකර,1977: 20)

මේ හේතුවෙන් ප‍්‍රබුද්ධ යශෝධාව හැර යයි. ‘සත්‍යකාම නම් වෙමි’ කාව්‍යයේ සත්‍යකාම සිය නිවස හැර යන්නේ සිය පියාගේ පැවැත්ම පිළිබඳ කලකිරීමෙනුත් පියා අයත් පැළැන්තිය කරන ක‍්‍රියා පිළිබඳ කලකිරීමෙනුත්ය. තම පියා ඇතුළු ව්‍යාපාරික පැළැන්තියේ පැවැත්ම ප‍්‍රතික්‍ෂේප කරන්නේ මෙසේය.

වෙළඳ කුල පුතුන් සමගින්
මගේ උතුම් සොහොයුරියන්
සාද කරනා කල
උන්මාද ගී ගයමින
මිතුරු පොත් ගුල මට
නිසි රැකවරණ සැලසී (වීරසිංහ,2002: 12)

වෙළඳ කුල පැවැත්මට සත්‍යකාම ලොබ නොවීය. එය ප‍්‍රතික්‍ෂේප කළේය. ඒ ගැන කළකිරීමෙන් සිටියේය. තම සොහොයුරියන් සාද කරනා විට සත්‍යකාම එම පරිසරයෙන් ඈත් වී සිටියේය. ව්‍යාපාරික සාදවල පවතින සංකර බව ප‍්‍රබුද්ධ සේම සත්‍යකාම ද ප‍්‍රතික්‍ෂේප කරයි.

පියාණන් වටකර
කා බී නටන කල
පිරුණු රන් පාට පපු ඇති
ගනුදෙනුකාර මහතුන්
මිතුරු පොත් පිරිවර
මට නුවණැස් සදා ලී (වීරසිංහ,2002 : 12)

මේ අයුරින් ව්‍යාපාරික ජීවිත ස්වභාවය බැහැර කර හරින සත්‍යකාමට ව්‍යාපාරකයින්ගේ අදමිටු ක‍්‍රියාකාරී බවද එලෙසම සිත කළකිරීමට හේතු වේ. දේශපාලන නායකත්වයට සහය වෙමින් තරුණ අරගලය කළ තරුණ තරුණියන් අමු අමුවේ ටයර් සෑ වල පුළුස්සා දැමීම ආදී ක‍්‍රියා සත්‍යකාමගේ සිත බිඳීමට හේතු වේ.

වියරු වටපිටාවෙහි
දා ගිය තුරුණු ඉඳුරන්
අත් කකුල්
කැඩෙන කරවෙන හඬ
මා සොයා එනු වැනි (වීරසිංහ,2002: 17)

මේ ආකාරයට තමා අවට පරිසරයේ සිදු වන ක‍්‍රියා පිළිබඳව කලකිරීමෙන් සත්‍යකාම තම නිවසින් පිටවී සතුට සදාලන සත්‍ය සොයා යයි. ප‍්‍රබුද්ධද යශෝධාගේ මැදුරේ සාදයට ගොස් එහිදී විඳි කලකිරීම නිසා යශෝධාගෙන් සමුගෙන විමුක්තිය සොයා පිටවෙයි. මේ අනුව සත්‍යකාම හා ප‍්‍රබුද්ධ චරිත හා සම්බන්ධ සිදුවීම් අතර කිසියම් සාම්‍යයක් ඇති බව හැ‍ඟෙයි.

ප‍්‍රබුද්ධ කාව්‍යයේ ව්‍යාපාරික පැළැන්තිය දැඩිව විවේචනයට ලක් කරයි.

මේ උතුම් වැදගතුන්
බීමත්ව සුරාවෙන්
රැස්ව මේසය වටා සුද අතුළ
දිලෙන හැඳි ගෑරුප්පු ලා පසෙක
දෑතින්ම ගෙන තෙල් පෙරෙන මස් කටු
කෙළ හලා තලූ මරා බුදින සැටි දකින විට (සේකර,1977: 16)

මේ සේකර ධනහිමි පාන්තිකයන් දුටු සැටිය. ඔහු උතුම් වැදගතුන් යන්න මගින් කුළු ගන්වන්නේ උත්ප‍්‍රාසයයි. මස් කෑමට හැඳි ගෑරුප්පු තිබියදීත් ඒවා ඉවත දමා දෑතින්ම ගෙන තෙල් පෙරෙන මස් කටු කෙළ හලා තලු මර මරා බුදින බව පැවසීම වූ කලි කවියාගේ සිතේ ධනපති පන්තිය හෙලා දැකීමේ ආකල්පයක් පැවති බව තහවුරු වීමකි.

එතනිනුදු නොනවතී. ධනහිමියන් මස් බුදිනු බලා ප‍්‍රබුද්ධට සිතෙන්නේ ‘මසට මුන් ඇති කරන සතෙකු වැන්නෙමි මමද’ වැනි හැඟීමකි. මේ අනුව කතුවරයා ව්‍යාපාරික ප‍්‍රජාව විවේචනයට ලක් කර ඇති බව පෙනේ. සත්‍යකාම කෘතියේද එම යථාර්ථය එපරිද්දෙන්ම සිදු වී ඇත.

ජරාවෙහි රස උරා
වැඩුණු ගිජු ලිහිණියන්ට
වනේ වන සතුරන්ට
මධුවිත පිරි නමා
උන් පොළඹවා යවා
මුදල් නිදහන් පාදන
පියාණන් මග හරිනුව (වීරසිංහ,2002: 13)

ව්‍යාපාරිකයෝ සමාජ විරෝධී ක‍්‍රියා මගින් මුදල් උපයා ගනිති. ඒ සඳහා ඔවුනට විවිධ අයගේ සහයද ලැබේ. ‘වනේ වන සතුරන්’ යන වදනින් පැහැදිලි වන්නේ කවියා ව්‍යාපාරික පාන්තිකයින් හෙළා දුටු බවකි. තවත් තැනක සත්‍යකාම තම ව්‍යාපාරික තාත්තාට මෙසේ කියයි.

ඔබ බැතින සරණ ගිය
ධන මාංශය සොයන
චිරාගත දහම අනුදැන
දිවි ගෙවයි නම් ඔබැ පුතු (වීරසිංහ,2002: 15)

සිය පියා භක්තියෙන් සරණ ගිය දහම වූයේ ධන මාංශය සොයන දහමයි. එය චිරාගත දහමකි. එනම් අතීත පරපුරේ සිට පැවත එන්නකි. ‘ධන මාංශය’ යන වදනින් කවියා තුළ ව්‍යාපාරිකයින් කෙරෙහි පැවති විරෝධාකල්පය හඳුනාගත හැකිය. මේ කරුණින්ද ‘සත්‍යකාම නම් වෙමි’ කාව්‍යයට ‘ප‍්‍රබුද්ධ’ කාව්‍යයෙන් ලත් ආභාසය තහවුරු වේ.

ප‍්‍රබුද්ධ විමුක්තිය පතා දරන වෙහෙසෙහි අවසානයේ සැබෑ විමුක්තියට උපකාරී වන මූලික පියවර හඳුනා ගනියි. එනම් කෑමෙන්, බීමෙන්, ඇඳුමෙන්, පැළඳුමෙන්, ගෙයින්, දොරින්, යස ඉසුරින් තෘප්තිමත් වූ ලොවක් තැනීමයි. සැබෑ තෘප්තිය එය නොවන බව පසක් වන්නේ එසේ තෘප්තිමත් වූ විට පමණි.

සැබෑ තෘප්තිය සොයා යාමේ
පරම සත්‍යය සොයා යාමේ
පළමු පියවර එයය
ඔබ තැබුවේ ඒ පියවර
මා තැබුවේ ඒ පියවර
සිද්ධාර්ථ තැබුවෙත් ඒ පියවරමය (සේකර,1977: 99)

එනම් මිනිසා යස ඉසුරින් සපිරුණු විට ඉන් කලකිරී සැබෑ විමුක්තියට ප‍්‍රවේශ වන බවකි. ‘සත්‍යකාම නම් වෙමි’ කාව්‍යයේ මෙම දර්ශනය විද්‍යමාන නොවුනද මොහු ද අවසන සත්‍යය උදෙසා වන මූලික පියවර හඳුනා ගනියි. ඒ විදර්ශන නම් පුද්ගලයාගෙනි. සත්‍ය සොයා ගැනීමේ මූලික පියවර වන්නේ භාවිතය නම් මානකය ලබා ගැනීමයි. එමගින් සත්‍යය සොයා ගැනීම පහසු බව අවබෝධ කර ගනියි.

පසුපසින් එන
වධකයාට ඉඩ හැර
මළා සේ හිඳින තැන නොව
සියලු කම් කටයුතු
වෙහෙස ඇසුරෙහි
සත්‍යයාගේ
යෝධකායය උදාවන (වීරසිංහ,2002: 114)

මේ අනුව ‘සත්‍යකාම නම් වෙමි’ කාව්‍යය සිත සුවය සදාලන සත්‍යය සොයා පිපාසාවෙන් පෙළෙනා පුද්ගලයෙකුගේ ක‍්‍රියාකාරකම් හා ඔහුට මුහුණ පාන්නට වන අත්දැකීම් ආදිය කැටිකරගත් කෘතියක් බව කිව හැකිය. මේ හරහා කතුවරයා ඉදිරිපත් කර ඇත්තේ 1980 අවධියේ සමාජ, ආර්ථික, දේශපාලන වෙනස්වීම් පිළිබඳ තමා තුළ හටගත් සංවේදනා සමුදායක් බව පෙනේ. කාව්‍යය ගොඩනැගීමේදී යොදා ඇති දාර්ශනික චින්තාවන් මගින් කාව්‍යයට වියත් බවත් ප‍්‍රශස්ත බවත් එක් වී ඇති බව කිව යුතුය. අමතර වශයෙන් මහගම සේකරගේ ප‍්‍රබුද්ධ කාව්‍යයේ ආභාසය ලබා ඇති බවද සිතිය හැකිය.

සබැඳි පිටු[සංස්කරණය]

ආශ‍්‍රිත ග‍්‍රන්ථ

  • වීරසිංහ,නන්දන (2002- දෙවන මුද්‍රණය) ‘සත්‍යකාම නම් වෙමි’. කොළඹ : එස්.ගොඩගේ සහ සහෝදරයෝ.
  • සේකර,මහගම (1977) ‘ප‍්‍රබුද්ධ’ කොළඹ : ලේක් හවුස් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම.
"https://si.wikipedia.org/w/index.php?title=සත්‍යකාම_නම්_වෙමි&oldid=120911" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි