කාව්‍යයේ මුඛ්‍යාංග

විකිපීඩියා වෙතින්

මානව ශිෂ්ටාරයේ උත්තම කලා මාධ්‍යයක් වන "කාව්‍යය"පිළිබඳව හඳුනා ගැනීමට විවිධාකාර නිර්වචන බිහි වී තිබුණද එය රස යනු කුමක්දැයි හඳුනා ගැනීම හා සමානයි."රසය ආත්ම කොටගත් වාක්‍ය කාව්‍යය යි."යනුවෙන් විශ්වනාථයන් පවසා ඇත.කෙසේ වුවද කාව්‍යය පිළිබඳ නිර්වචන හරහා පමණක්ම යථාවිධ අවබෝධයක් ලබාගත නොහැකි නිසාවෙන්,කවිය නැමති සියුම් ප්‍රකාශන මාධ්‍යය අරබයා තත්වාවබෝධයක් ලබා ගැනීම සඳහා එහි මුඛාංග හඳුනා ගත යුතුය.මෙකී ලිපිය තුළ කාව්‍යයේ මුඛ්‍යාංග පිළිබඳ කෙටි හැඳින්වීමක් කර ඇත.

අනුභූතිය[සංස්කරණය]

අනුභූතිය යනු කවියාගේ අත්දැකීමයි.වස්තු විෂයය,තේමාව,නිමිත්ත,ප්‍රස්තුතය ආදිය අනුභූතිය යන්නට සමාන අරුත් සපයයි.කාව්‍යයක් හෝ වෙනයම් ඕනෑම කලා නිර්මාණයක් බිහිකිරීමෙහි ලා අත්දැකීම් පාදක වන අතර කවියක සාර්ථකත්වයට අත්දැකීමේ ප්‍රබලතාවය ඍජුව වැදගත් වේ.කවියෙකු කවියක් රචනා කිරීමෙන් අපේක්‍ෂා කරනුයේ කිසියම් අපූර්ව අත්දැකීමක් සූචනය කොට පාඨකයා තුළ චමත්කාරයක් දැනවීමයි.නමුත් අත්දැකීමක් එලෙසින්ම සටහන් කිරීමෙන් නිර්මාණාත්මක ලක්ෂණය යටපත්ව වාර්තාමය ලක්‍ෂණ ඉස්මතු වේ.සියුම්ව සංවේදීව සහෘදයා ආමන්ත්‍රණය කළහැක්කේ අත්දැකීම් පොදු බවට ප්‍රතිනිර්මාණය කිරීමෙනි

රත්න ශ්‍රී විජේසිංහයන්ගේ "සුදු නෙළුම කෝ සොර බොර වැවේ " කාව්‍යය තුළ පෞද්ගලික කතා පුවතක් එනම් අත්දැකීමක් ප්‍රතිනිර්මාණය වී ඇත.එමෙන්ම සමහර කාව්‍ය අනුභූතිය තුළ කතාපුවතක් වෙනුවට අවස්ථාවක් හෝ විචාර චින්තාවක් තිබිය හැක. ගුණදාස අමරසේකරයන්ගේ "උඳුවප් ඇවිල්ලා"පැදිපෙළ එබන්දකි. එමෙන්ම සිරි ගුණසිංහයන්ගේ "මරණය නොසැලී හිමාලයක් මෙන්"පැදිපෙළ තුළ අනුභූතිය විචාර චින්තාවකි.

පරිකල්පනය[සංස්කරණය]

අත්දැකීම් සාහිත්‍යය බවට පත්කිරීමේ හැකියාව පරිකල්පනයයි.එනම් සාහිත්‍යය කලා නිර්මාණ සඳහා සිතින් මවා ගැනීමයි.සත්‍යය හා කල්පිතය සංකලනය වී නිර්මාණ බිහිවන්නේ පරිකල්පනයේ අනුහසිනි. පසිඳුරන්ට ගොදුරු වන සියල්ලක්ම සාහිත්‍යයේදී විචිත්‍රවත් වනුයේ පරිකල්පනය තුළිනි.සුලභ වස්තුවක් පවා අපූර්වතම වස්තුවක් කිරීමට පරිකල්පනය මහෝපකාරි වේ.පල යන්න


පෙර දිග ගොරහැඩි රකුසෝ

මගෙ ධ්‍යානය ඇයි කඩන්නෙ

නිදාගන්න පොරව ගත්ත

කලු රෙදි පොට

මොකටද මේ

තීරුවලට ඉරාදමන්නෙ..............


යන සිරි ගුණසිංහයන්ගේ කාව්‍යය කදිම නිදසුනකි.

ප්‍රතිභාව[සංස්කරණය]

ප්‍රතිභාව නම් වැටහෙන නුවණයි. ප්‍රතිභාව පරිකල්පන ශක්තියෙන් පෝෂණය ලබයි.කවීත්වයේ බීජය ප්‍රතිභාවයි. සංස්කෘත අලංකාරිකයන්ට අනුව පෙර නොවූ විරූ,නොඇසූ විරූ,නොදුටු විරූ අපූර්ව වස්තු නිර්මාණය කිරීමේ ශක්‍යතාවය ලෙසින් දක්වා ඇත.කාව්‍යයක් බිහිවනුයේ ප්‍රතිභා ශක්තිය නිසා බව භාමහ පඬිතුමා ප්‍රකාශ කොට ඇත.අපූර්වත්වය ප්‍රතිභා ශක්තිය නිසා ගොඩ නැගේ.

ව්‍යුත්පත්තිය[සංස්කරණය]

ග්‍රන්ථ පරිශීලනයෙන් හා ජීවිතානුභූතියෙන් ලබන දැනුම වේ.ජීවිත පරිඥානය විසින්ද තීරණය කෙරෙන ව්‍යුත්පත්ති ඥානය මඟින් කවියාගේ කෝෂ්ටාගාරය පොහොසත් වන අතර භාෂා නෛපුණ්‍යය වර්ධනය වේ.වෙනස්වන සමාජයට උචිත වන මෙන්ම මනාව වටහාගැනීමටත් මනස විවිධ සාහිත්යික ප්‍රභාවන් පතිත වන පරිදි විවෘත වීමට නම්,ව්‍යුත්පත්තිය අවශ්‍ය වේ.

සතතාභ්‍යාසය[සංස්කරණය]

තමා නියැළෙන විෂය ක්‍ෂ්ත්‍රය පිළිබඳව ලබන පුහුණුව සතතාභ්‍යාසයයි.ඒ අනුව නිරන්තර නිර්මාණකරණයෙන් ලබන පරිචය සතතාභ්‍යාසයයි.ප්‍රතිභාව හා ව්‍යුත්පත්තිය ඇති කවියෙකුට නිතර අභ්‍යාස කිරීමෙන් සාර්ථක කවියෙක් විය හැක.

දෘෂ්ටි කෝණය[සංස්කරණය]

මින් අදහස්වන්නේ කවියෙන් හෙළිවන දෘෂ්ටිය නොව කවියා ඉදිරිපත් කොට ඇති දෘෂ්ටිය වේ.එනම් කථන ක්‍රමයයි.උත්තම පුරුෂ හා ප්‍රථම පුරුෂ වශයෙන් දෘෂ්ටි කෝණය සම්බන්ධ නව අත්හදා බැලීම් කිරීමට කවීහු පෙළඹෙති.

උත්තම පුරුෂ දෘෂ්ටි කෝණය යනු "මම"යන කථන ක්‍රමයෙන් කාව්‍ය රචකයා කථකයාගේ ආත්මයට ආවේශ වෙමින් කාව්‍ය චින්තාව ඉදිරිපත් කිරීමයි.උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයට නිදසුනක් නම්,

ගලන්න

මා වෙත ගඟ ලෙස

විඳින්නඇද වැළඳ

සිඳු ලෙස.......... (ආරියවංශ රණසිංහ)

ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණය යනු කවියා පරිබාහිරව සිට අත්දැකීම ඉදිරිපත් කිරීමයි.නිදසුනක් නම්,

සුර අසුර ගිනිමැලය ඇවිලුණා

කුරිරු බියකරු රැයේ කෙළවර

මැරුණු තරුවක රේණු ගිලිහී

නිදන විල්දිය මත පතිත විය..... (රත්න ශ්‍රී විජේසිංහ)

ආකෘතිය[සංස්කරණය]

කවියක ස්වරූපය හෙවත් බාහිර හැඩය ආකෘතිය ලෙස සරලව හැඳින්විය හැක.එහෙත්කවියක ආකෘතිය යන්න ඊට වඩා ගැඹුරු අර්ථ පවතින්නකි.සාම්ප්‍රදායික වශයෙන් සිංහල කවීන් විසින් භාවිත ආකෘතිය ගී,සිලෝ,සිව්පද හා නිසඳැස් වශයෙන් සිව්වැදෑරුම් වේ. කලින් තීරණය කළ නිසඳැස් හෝ සඳැස් ආකෘතියට කාව්‍ය අත්දැකීම බහාලීම නිවරැදි ක්‍රමය නොවේ.මන්ද යත් කාව්‍යානුභූතිය ප්‍රතිනිර්මාණය කිරීමේදී විවිධ ආකෘති බිහි විය හැකි හෙයිනි.නව කවීහු විවිධ අත්හදා බැලීම් කරති.

ඖචිත්‍යය[සංස්කරණය]

කවියක ඇති උචිත බවය.එසේ නොවී අනුචිත වන විට රස භග්න වේ. උපමා, රූපක, භාෂාව,ආකෘතිය,චිත්ත රූප ආදී සියල්ලෙහිම මනා සාම්‍යයක්,ගැලපීමක් තිබීම උචිත බවයි.ප්‍රතිභාසම්පන්න කවිවරු නිතරම නවතාවකින් යුත් උපමා රූපකාදිය මඟින් ස්වකීය අනුභූතින් විචිත්‍රාකාරයෙන් නිරූපණය කිරීමට යත්න දරති.අපූර්වත්වය තිබූ පමණින් ඖචිත්‍යය නැත.උපමාව හා උපමේය අතර බාහිර සාම්‍යයද ඖචිත්‍යය නොවේ.

කාව්‍ය භාෂාව[සංස්කරණය]

කවියාගේ ප්‍රධාන මාධ්‍යය,මෙවලම භාෂාවයි.එහෙත් කවියාට ආවේණික භාෂාවක් නැත. සාධු සම්මත වචන මාලාවක් නැත.විශේෂ භාෂාවක් නැත.පවතින්නේ භාෂාව යොදාගැනීමේ විශේෂභාවයකි. සුන්දර වචන මාලාවක් යෙදු පමණින්ම සුදුසු කාව්‍ය භාෂාවක් තීරණය නොවන බව පැරණි සකු අලංකාරිකයෝ පෙන්වා දෙයි.

ස්වකීය අනුභූතිය ප්‍රකාශ කිරීමට සුදුසු බස්වහර කවියා විසින් තෝරා ගත යුතුය.හෙළ වහර,ගැමි වහර, ළමා වහර, කට වහර, පොදු ජන වහර,විදෙස් වහර,පැරණි ගැදි පැදි වහර,වියත් වහර පමණක් නොව තාක්‍ෂණික යෙදුම්-උප භාෂා ආදියේ පිහිට සෙවීමට ද කවියාට අයිතියක් ඇත.එමෙන්ම කාව්‍ය භාෂාව සම්බන්ධයෙන් විවිධ අත්හදා බැලීම් කිරීමට ද හැකිය.

සංකල්ප රූප[සංස්කරණය]

සංකල්ප රූප යනු පංචේන්ද්‍රියන්ට ග්‍රහනය වීම මඟින් කවියේ අදහස චිත්තමය වශයෙන්රූපණය වීමයි.චිත්ත රූප ජනනය වීමයි.සිත තුළ යමක් චිත්‍රණය වේ නම් එය චිත්ත රූපයකි.වාග් චිත්‍රයකි.ඇස,කන,දිව,නාසය හා කය යන පසිඳුරන්ට සංකල්ප රූප ග්‍රහණය වන බැව් විචාරක මතයයි.දෘශ්‍ය ගෝචර සංකල්ප රූප බහුල වුවද ශ්‍රව්‍ය ගෝචර,ස්පර්ශ ගෝචර ආදී සංකල්ප රූපද නූතන කවීහු ප්‍රිය කරති.වාග් චිත්‍රය අපූර්ව සේම උචිත විය යුතුය.

කාව්‍ය අලංකාර[සංස්කරණය]

කවි සැකිල්ලක් තිබූ පමණින් රස ජනනය වන්නේ නැත.කවි සැකිල්ල ගුණවත් කොට,ඔපවත් කොට,චමත්කාරයෙන් අනූන කරනු උදෙසා විවිධ අලංකාර හෙවත් කාව්‍ය සැරසිලි අවශ්‍යය.එනම්,

  • උපමා අලංකාරය
  • රූපක අලංකාරය
  • උත්ප්‍රේක්‍ෂාලංකාරය
  • ස්වභාවෝක්ති අලංකාරය
  • අතිශයෝක්ති අලංකාරය
  • ශ්ලේෂාලංකාරය

රසය[සංස්කරණය]

සාහිත්‍ය කලාවන් ආශ්‍රය කිරීමේදි ඒ අයුරින් පහළ වන හැඟුම් "භාව"නමින්ද ඒ හැඟීම් වල පවත්නාවූ ආස්වාදනීය ස්වභාව "රස" නමින් ද හැඳින්වේ.රසය වින්දනය අරමුණු කරන්නකි.

ව්‍යංග්‍යාර්ථය[සංස්කරණය]

සැඟවී පවතින්නා වූ අර්ථයයි.වචනයේ ඇති වාචාර්ථය නොවේ.වචනය තුළ හෝ වාක්‍ය තුළ හෝ සමස්ත පද්‍ය තුළම සැඟවී ඇති අර්ථය ව්‍යංග්‍යාර්ථයයි.පැහැදිලි වචනාර්ථ සැඟවී ව්‍යංග්‍යාර්ථ මතු විය හැකිය.ධ්වනිතාර්ථය ලෙසද හඳුන්වයි.

අනුප්‍රාසය[සංස්කරණය]

අක්ෂරයක් හෝ ශබ්දයක් එක ළඟ පුන පුනා යෙදීමයි.ශබ්ස රසය හෙවත් ශබ්ද මාධූර්යය දනවන්නේ අනුප්‍රාසය යෙදීමෙනි.

සංකේත[සංස්කරණය]

එක් වස්තුවක් මඟින් වෙනත් වස්තුවක් ඇඟවීමයි.මෙය සංක්‍ෂිප්තභාවය උදෙසා යෙදෙන කාව්‍ය උපක්‍රමයකි.

එකම ධනය හිස් දෑතට

අම්මා දුන් කිරි මුට්ටිය......(පරාක්‍රම කොඩිතුවක්කු)


කාව්‍ය වනාහි හදවත කරා ආනන්දජනක මනෝභාවයන් ගෙනයන්නා වූ සියුම් ප්‍රකාශන මාධ්‍යයක් වන අතර ආනන්දයෙන් පටන්ගෙන ප්‍රඥාව කරා ගෙනයන්නේ නම් එකී කාව්‍ය සාර්ථකත්වය පිළිබිඹු කරන්නකි.කාව්‍ය මුඛ්‍යාංග තුළින්ම උසස් කාව්‍ය හෝ පහත් කාව්‍ය ලෙස හඳුනාගැනීම කළ නොහැකි බව සැබවි.

සබැඳි පිටු[සංස්කරණය]

ආශ්‍රිත ග්‍රන්ථ[සංස්කරණය]

දිසානායක, විමල්.(නව කවි සරණිය)

සන්නස්ගල, උපුල් ශාන්ත (සෙත් කවිය)

"https://si.wikipedia.org/w/index.php?title=කාව්‍යයේ_මුඛ්‍යාංග&oldid=566371" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි