ශ්‍රී ලංකාවේ පැරණි බිතු සිතුවම්

විකිපීඩියා වෙතින්

ශ්‍රී ලංකාවේ පැරණි බිතු සිතුවම් පිළිබඳ සාකච්ඡා කිරීමේදී එහි අතීතය පිළිබඳව විමසීම වැදගත් වේ.මූලිකව ශ්‍රී ලංකාවේ පැරණිම බිතු සිතුවම් ලෙස සලකනු ලබන්නේ දැනට වැදි ජනතාව චිත්‍ර ලෙස සළකනු ලබන චිත්‍ර වේ.මෙකී චිත්‍ර ප්‍රාග් ඓතිහාසික චිත්‍ර ලෙස ද හැඳින්වෙන අතර ප්‍රධාන වශයෙන් මේවා දිවයින පුරා විහිදී පවතී.

මීට අමතරව පුරාණ යුගයට අයත් චිත්‍ර පිළිබඳව ඉතිහාසඥයන් සැලකීමේදී විශේෂයෙන්ම ක්‍රි.වර්ෂයෙන් පසු කාලීන සීතුවම් මත පදනම් වී සිතුවම් අධ්‍යයනය කරනු ලබයි.එහිදී පොළොන්නරු අවධිය දක්වා වන සිතුවම් පැරණි සිතුවම් ‍ලෙස සලකනු ලබයි.මෙවන් පැරණි බිතුසිතුවම් හමු වන ස්ථාන ලෙස පහත ස්ථාන සලකනු ලබයි.

කරඹගල බිතුසිතුවම්[සංස්කරණය]

5 වන ශත වර්ෂයෙහි විසුද්ධි මාර්ගය ලියු බුද්ධඝෝෂ හිමියන් එහි ශීල නිර්දේශයෙහි කුරන්දක ලෙන් සිතුවම් ගැන විස්තර සඳහන් කරයි.එය පිහිටා ඇත්තේ අම්බලන්තොට රිදියගමය.තද බදාමයක් මත රතු රේඛාවෙන් අඳින ලද මේ චිත්‍රයෙහි බෝධිසත්ව රූපයක මුහුණක් හා අප්සරාවක්ගේ මුහුණක් ද කලා කුලය සළකුණු අඩි කැබැලි කිහිපයක් අසුන් පිට යෙදු පලස් සටහන් හා තවත් රේඛා කොටස් කිහිපයක් පැහැදිලිව පෙනේ.

රුහුණේ වනගතව ඇති එළිපෙහෙලි නොවු පැරණි චිත්‍ර සහිත තැන් කිහිපයක් මෑත සොයා ගෙන ඇත. කුඩුම්බිගල ගල් ලෙනෙහි වු පැරණි බිතුසිතුවම් ආචාර්ය පී.ඊ.පී දැරණියගල මහතා විසින් සොයා ගෙන ඇත.ශාස්ත්‍රවල පිළිම ගෙහිත් ලාහුගල අසළ නීලගිරි විහාරයේත් පැරණි චිත්‍රයන් සොයා ගෙන ඇත. ලාහුගල නුදුරු නීලගිරි විහාරයේ පිළිම ගෙහි පසුකඩ බිත්තියේ මැටි රතු පැහැයෙන් අඳින ලද රේඛා සටහන් කොටස් දැකිය හැකිය.

සිතුල් පව්ව බිතුසිතුවම්[සංස්කරණය]

තිස්සමහාරාමයේ සිට සැතපුම් 18 ක් දුරින් යාල අභය භූමියට නුදුරින් සිතුල්පව්ව පිහිටියේය.එහි කොරවක් ගල් ලෙනේ ඉතිරි වී ඇති චිත්‍රයන් අතර කටින් නෙළුම් මල් ගත් හංස රූප පංතියක් ඇත. මේවා ඝන බදාමයක් මත රතු රේඛාවෙන් ඇඳි චිත්‍රයන්ය.

මහලෙන් විහාරයෙහි කටාරම උඩ කොටසේ හංස රූප පෙළක් ද මුව හිසක් බුද්ධ රූප කිහිපයක කොටස් බීරළු පොලු 3 ක් සහිත ජනේලයක් හා තවත් හදුනා ගත නොහැකි තරමේ චිත්‍ර කොටස් කිහිපයක් පැහැදිලිව දැකිය හැකිය. වාහල්කඩේ ගෑ තුනී සුදු බදාමයක් මත මැලවී ගිය කොළ පාට,රතු පාට හා කහ පාටත් මේ චිත්‍රයන් ඇඳීම සඳහා යොදා ගෙන ඇත.

වෙස්සගිරියේ බිතුසිතුවම්[සංස්කරණය]

වෙස්සගිරියට නගින පියගැට කිහිපය පසු කර ගුහාවට ඇතුලු වු හැටියේ ම දකුණු පැත්තේ ගලේ බොහෝ දෙනෙකුගේ සැළකිල්ලට භාජනය නොවුණු කාල දෙකකට අයත් බිතුසිතුවම් කිහිපයක කොටස් දැකිය හැකිය. වම් පස පිහිටි කුඩා ගුහාවේ ද විශාල චිත්‍ර කිහිපයක කොටස් ආරක්ෂා වී ඇත. පළමුව චිත්‍ර පිහිටි බදාමය මත ගොරෝසුවට තුනී බදාමයක් ගා ඒ මත දෙවැනි වර චිත්‍ර කර ඇත. දෙවැනිව යෙදු බදාම තට්ටුව තැනින් තැන ගැලවී යාම නිසා යට තට්ටුවේ ඇති ඉතා පැරණි චිත්‍රයන් ද හඳුනා ගත හැක. දෙවැනි බදාමයේ මත අඳින ලද දේව රූප කිහිපයක් හඳුනා ගත හැක.ඒවා කහ,රතු හා නිල් පැහැයෙන් ඇඳ ඇත. වඳින අභිනයෙන් යුත් දේව රූපය හඳුනා ගත හැකි වේ. මේවා සීගිරි චිත්‍ර සම්ප්‍රදායට නෑකම් කියයි. කොළ, රඹ, කහ හා රතු පැහැය මේ චිත්‍රයන් ඇඳීම සඳහා යොදා ගෙන ඇත. චිත්‍ර ඇඳීමේ පෘෂ්ඨය සීගිරිය මෙන් වර්ණ යොදා ඇත. මෙහි යොදා ඇති වර්ණයන් සීගිරියේ මෙනි.සිත් ගන්නා සුළුය.

මිහින්තලේ චිත්‍ර[සංස්කරණය]

මිහින්තලා ගල මහ පඩි පෙළ වම් පස විශාල දාගැබක් විය.මේ දාගැබේ ගර්භය අඩි 12 ක් හරි හතරැස්ය. චිත්‍ර කලාවේ පරිණාමය අතින් විශාල වැදගත්කමක් ඇති චිත්‍ර කිහිපයක් එහි විය.යටි කය වලාකුළෙන් වැසී ගිය දේව රූප මේ චිත්‍රයෙන් පිළපිඹු වේ.සමහර දේව රූප අතින් නෙළුම් මල් ගෙන සිටී. තවත් සමහර රූප දෙඅත් එක් කොට වඳින ආකාරයෙන් දැක්වේ. දියුණු වු චිත්‍ර ශිල්පය ඉගැන්වීමේ නව ක්‍රමයක් අනුගමනය කරමින් සිත්තම් සටහන් කිරීමේදී රූපයන්ගේ කඩවසම් ප්‍රමාණය හා වින්‍යාසය සළස්වා ගැනීම සඳහා ශිල්පියා යොදා ගන්නා මූල රේඛාවන් මේ සිත්තම්හි හොඳින් පෙනේ. ශිල්පි න්‍යාය සීගිරියටත් වඩා පැරණි විය හැකිය. මිහින්තලා දාගැබේ චිත්‍රයන් දාගැබ තැනු මුල් කාලයට අයත් ඒවා ලෙස පුරාවිද්‍යා අධිකාරින්ගේ පිළිගැනීම වේ.ධාතු ගර්භයේ සුන් බුන් අතර වු අටැස් ථූපයේ එක් මුහුණතක යෙදු "පෙ" යන සිංහල අකුර සටහන් කර තිබුණි. එය අක්ෂර විලාශය අනුව 8 වන ශත වර්ෂයට අයත් ලෙස සළකන නිසා එහි වු චිත්‍රයක් 8 වන ශත වර්ෂයට අයත් ලෙස පුරාවිද්‍යා අධිකාරින් විසින් සළකනු ලබයි.

හිඳගල බිතුසිතුවම්[සංස්කරණය]

දැන් බොහෝ සෙයින්ම විනාශ වී ගිය මේ චිත්‍රයේ පැහැදිලි පිටපතක් කොළඹ කෞතුකාගාරයේ බිතුසිතුවම් අංශයේ ප්‍රදර්ශනය වේ.කටාරම් කෙටූ ගල්ගෙයි පියස්සේ ඇඳ ඇති බුද්ධ රූප දෙක මිනිස් ප්‍රමාණයට මදක් වැඩි බද්ධ පර්යංකයෙන් වැඩ සිටිනා රූපයෝය.සිද්ධීන් කිහිපයක් එක් චිත්‍රයක් තුළ ගලපා ඇති බව හොඳින් පෙනේ.ගලේ චිත්‍ර ඇඳ තිබු විශාල ප්‍රදේශය ගැන කල්පනා කරන විට මේ ඉතිරි වී ඇති චිත්‍ර කොටස ඉන් ඉතා ස්වල්පයකි.රුවන්වැලිසෑයෙහි වාහල්කඩෙහි මෙන් ඉතා තුනී බදාමයක් මත මෙම සිතුවම් ඇඳ ඇති බව පෙනී යයි.

ගල්ඔය ගොණාගොල්ල බිතුසිතුවම්[සංස්කරණය]

පැරණි දිගාමඩුල්ලේ ගල් ලෙනක අඳින ලද බිතුසිතුවම් කැබෙල්ලක නෂ්ඨාවශේෂ මෑතදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සොයා ගෙන ඇත. මේ චිත්‍ර කැබැල්ලේ පැහැදිලි රූප 2 ක් ඇත.එකක් දේව රූපයකි.අනෙක නිලියකගේ රූපයකි. චිත්‍ර ශෛලියෙන් මේ චිත්‍ර පොළොන්නරු සමයට වඩා පැරණි බව හොඳින් පෙනේ.

දිඹුලාගල චිත්‍ර[සංස්කරණය]

දිඹුලාගල මාරවීදිය ගල්ගෙයි රඹ පාටට හුරු කහ පැහැයක් බිත්තියේ යොදා දුඹුරු රතු පැහැයෙන් රූප සටහන් කර ඇත. ඊට පසු රූපවල රඹ පැහැය ඇඟට යොදා ඇත.

මහියංගනයේ බිතුසිතුවම්[සංස්කරණය]

මහියංගන චෛත්‍යයේ ධාතු ගර්භයේ කලාත්මක බවින් උසස් තැනක් ගන්නා මේ චිත්‍රයන් ඇඳීමට උපයෝගි කර ගත් අංගයන් වර්ණ රේඛා හා ගැලපීම් බොහෝ සෙයින් බැලු බැල්මට පොළොන්නරුවට සමාන වෙතත් මේවා එයට වඩා බොහෝ සෙයින් පැරණි දියුණු චිත්‍ර ශෛලියක් අනුගමනය කළ චිත්‍ර ශිල්පියෙකුගේ කෘතීන්ය. මේ චිත්‍රයන් හැඩය හොඳින් පෙනීම සඳහා යෙදු රේඛා මෙන්ම ඇස් කන් නාසා ආදිය ඇඳීමේදී ද රේඛා නිදහස්ව ඇඳ ඇත. රේඛා සඳහා යොදා ඇත්තේ ගුරුගල් පැහැය බඳු රතු හා ලා කළු පැහැයයි.සිහින් රේඛා භාවිතයට ගෙන ඇත්තේ පොළොන්නරුවේ මෙනි. මේ චිත්‍රයන් අතර බුදු රූ තුනකි.එක් චිත්‍රයක් බොහෝ සෙයින් විනාශ වී ගොස් ඇත.අනෙක් දෙක ඇඳ ඇත්තේ බෝධි මූලයෙහි වැඩ සිටිනා විලාශයෙනි. මේ එක් වෘක්ෂයක අතු අග සපු මල් වැනි මල් ඇත. දිඹුලාගල මාරා වීදියේ ගල්ගෙයි වූ චිත්‍රයෙහි වූ තොරණ සිහියට නංවයි. අනෙක්වා දේව රූප හා භික්ෂු රූපයෝය.

සීගිරි චිත්‍ර[සංස්කරණය]

සීගිරි කැටපත් පවුරේ සඳහන් ගීතයකින් නියැවෙන අයුරු අප්සරා රූප පන්සියයක් වු බව පෙනේ. පැරණි ශිල්පීන් වර්ණ යෙදු හැටි, රේඛා යෙදු හැටි, චිත්‍ර ගැලපූ හැටි සීගිරි චිත්‍රයන්ගෙන් මැනවින් පෙනේ. ශිල්පියා තෙළිතුඩ ඔහුට අවනත කරගෙන ඉතා සීඝ්‍රව ඉක්මනට ඇඳ ඇත.ඇස්,ඇඟිලි හා අත් ඇඳ ඇත්තේ විශේෂ සැළකිල්ලෙනි. මේවා ඇත්ත වශයෙන්ම විශේෂඥ භාවයෙන්ම කළ දේ බව මිනිස් රුව ගැලපීමෙන්ම පෙනේ. මේ චිත්‍රයන් ඇඳ ඇත්තේ වළ ගොඩැලි සහිත ගලෙහි ඝණකමට යෙදු බදාමයක් මතය. වර්ණ සංයෝගයත් වර්ණ මිශ්‍රනයත් අතින් සීගිරි ශිල්පීන් සූරකම් පෙන්වූවා පමණක් නොව උසස් ප්‍රතිඵල ද දක්වා ඇත. කහ දුඹුරු පැහැයට හුරු රතු, කළු, සුදු සහ කොළ පැහැය මේ චිත්‍ර ඇඳීමට ගෙන ඇත. සීගිරියේ චිත්‍ර පවත්නා තවත් ස්ථාන ලෙස පහළ ගුහාවේ චිත්‍ර හා නයි පෙන ගුහාවේ චිත්‍ර දැක්විය හැක.

පොළොන්නරු තිවංක පිළිමගෙයි බිතුසිතුවම්[සංස්කරණය]

සිංහල චිත්‍ර කලාවේ උසස් දියුණුවක් පැවති සමයට මෙම සිතුවම් අයත් වේ.වර්තමානයේ පවා හඳුනාගත හැකි පරිදි විශාල බිතුසිතුවම් ප්‍රමාණයක් තිවංක පිළිමගෙයි ඉතිරි වී පවතී. ස්වභාව ධර්මයෙන් හානියට පත් වුවද මේවා නොනැසී පැවතීම වැදගත් වේ.මීට අමතරව පොළොන්නරුවේ බිතුසිතුවම් උතුරු වෙහෙර, ගල් විහාර ලෙන්වල මැකී ගිය චිත්‍ර ලංකාතිලකයේ බිතු සිතුවම්, පොත්ගුල් විහාරයේ බිතු සිතුවම් සහ ශිව දේවාලයේ බිතු සිතුවම් පැවතී ඇති බව පුරාවිද්‍යාඥයන් දැනට අවශේෂව ඇති චිත්‍ර කොටස් සාධක තුළින් පෙන්වා දේ.

අනුරාධපුරය[සංස්කරණය]

පැරණි යුගයට අයත් බිතුසිතුවම් අනුරාධපුර අවට සිද්ධස්ථාන රාශියකින්ම හමු වේ.උතුරු වෙහෙර, රුවන්වැලිසෑයේ නැගෙනහිර වාහල්කඩ, මිරිසවැටිය දාගැබ, අභයගිරි දාගැබේ මැදුරුවල චිත්‍ර සේම වෙස්සගිරියේ සිතුවම් මේ අතර වැදගත් වේ.

ආශ්‍රිත ග්‍රන්ථ[සංස්කරණය]

  1. . විජේසේකර, නන්දදේව 1964.පැරණි සිංහල බිතුසිතුවම්,කොළඹඃරාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව.
  2. . චාර්ලිස්,එස්.පී 2000.පාරම්පරික සිංහල සිතුවම්,කොළඹඃමධ්‍යම සංස්කෘතික අරමුදල.
  3. . සෝමතිලක,එම්2004.පුරාතන ශ්‍රී ලංකාවේ චිත්‍ර කලාව,කොළඹඃඇස්.ගොඩගේ සහ සහෝදරයෝ.