කුඩුම්බිගල

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search

සොබා සෞන්දර්යයෙන් හිත නිවන

      ෴ පින්බර කුඩුම්බිගල තපෝවනය ෴

   1973 දී අභයභූමියක් ලෙස නම් කරන ලද කුඩුම්බිගලට ආසන්නම ජනාවාස වන්නේ පානම සහ කුමන වන අතර විල ඔය, කුඹුක්කන් ඔය, සැලව ආර සහ උසින් වැඩිම පව්ව වූ සෑ ගිරි බැලුම්ගල පරිසරයේ සුන්දර නිමවුම් ය. පර්වත පහකින් වට වූ අක්කර දහසක පමණ වනය පූරා පුරාණ කුඩුම්බිගල පුදබිමෙහි නටබුන් පවතියි. කාවන්තිස්ස රජ සමයේ දොළොස් දහසක් රහතන් වහන්සේලා වැඩසිටියා වූ මේ භූමිය ' රෝහණ චේතිය පබ්බතය ' යන නමින් හඳුන්වා ඇත.

   18 වන සියවසේ මැලේරියා වසංගතය හේතුවෙන් අවට ජනාවාස වියකීමත් සමඟ ආරණ්‍ය ද වනයටම යට විය. නැවත මෙම පින්බිම ධර්මයේ සෙවන වන්නේ මීගමුවේ කතෝලිකයෙකු වූ ඉමානිස් මහතා බුදු දහම වැළඳ ගෙන මෛත්‍රී උපාසක මහතා ලෙස 1942 දී කුඩුම්බිගල තපෝවනය ආරණ්‍ය ආරම්භ කර 1952 දී සුදර්ශන ලෙන නම් ස්ථානයට තාඹුගල ආනන්දසිරි ස්වාමීන් වහන්සේ වැඩමවීමෙන් පසුවයි.

   වලසුන්, අලින්, කුළු හරකුන්, මොනරුන්, රාජඅලින් බහුල මේ වනය තුළ ලේනම කොටි නම් සාමාන්‍ය කොටියාට වඩා විශාල, වයිරම් වෙනස් කොටි විශේෂයක් සිටිනා බව ජනප්‍රවාදයේ සඳහන්. ලේනම කොටියාගේ පුරාවෘත්තය නම් සුන්දර කතාවක් නොවෙයි. වනාන්තරය අසල ලේනම නම් වැදි ගමෙන් අහම්බෙන් ගොදුරක් ඩැහැගෙන මිනිස් මස් රසට වහ වැටී මේ කොටි මුළු වැදි ගමම කා දමා තිබේ. මිනිස් සුවඳට ඉව අල්ලා ගස් මුදුන් හී සිට ගොදුරට පනින මේ ලේනම කොටින්ගේ කුරුමානම නම් වරදින්නේ නැති බව ගැමියන්ගේ මතයයි.

   කුඩුම්බිගල පුදබිමට යන ගමනේ දී හමුවන අවසාන නගරය පොතුවිල් නගරය යි. පානම ග්‍රාමයේ සිට කුඩුම්බිගල තපෝවනය කරා වංගු වලවල් මාර්ගයේ යන විට තැනිතලා බිම්, විල්ලු, කලපු පද්ධති ඇතුළු අපූර්ව සෞන්දර්යාත්මක දර්ශන සටහන් දැකගත හැකි වේ. ස්වාමීන් වහන්සේලා රැස්වන, පොහොය කරන, දේශනා පවත්වන මධ්‍ය මණ්ඩල ශාලාව තිබෙන තපෝවනය ආරණ්‍ය අසලට කුඩුම්බිගල විශ්‍රාම ශාලාව අසල සිට වනය තුළට කිලෝමීටර් 2ක් පමණ යා යුතුය.

   මද්දහන කාලයේ පවා අඳුරු සිහිලකින් යුත් කුඩුම්බිගල තපෝවනය තුළ වියළි කලාපයේ පවතී දැයි විශ්වාස කිරීමට පවා නොහැකි පිරිසිදු ජල උල්පත් පවතියි. විශ්‍රාම ශාලාව අද්දර අඩි 20ක දිය ඇල්ල අවුරුද්දේ මාස නවයක් පමණ නොසිඳී අලංකාරය සහ පිරිසිදු ජලය ලබාදෙනවා. විශ්‍රාම ශාලාවට දකුණු පස බුද්ධ රූප පබ්බතය පමුල නොසිඳෙන ජල පොකුණ ගල් අතරින් උනන ජල උල්පතකින් සමන්විතයි.

   ආරණ්‍ය භික්ෂූන් වහන්සේලා සඳහා නිමවා ඇති කටාරම් කෙටූ ගල් ලෙන් 105ක් , ප්‍රතිසංස්කරණය කළහැකි චෛත්‍ය දෙකක් කුඩුම්බිගල දී දැකිය හැකි අතර එක් චෛත්‍යයක සිලින්ඩරාකාර හැඩය සුවිශේෂී වේ. ආරණ්‍ය නෂ්ටාවශේෂ අතරම හමුවන පෘතුගීසි හේවායින්ගේ කවන්ද රූප, මැටි ජෝග්ගු කැබලි, කාසි වැනි දෑ සාක්ෂි සපයන්නේ පෘතුගීසි, ලන්දේසි බලකොටුවක් පැවති බව පිලිබඳව යි.

   ගිනිකොණ දෙසින් කුඩුම්බිගල වැවත්, බටහිර දෙසින් බඹරගස්තලා වැවත්, වයඹ දෙසින් ඉයග්ගහ වැවත්, උතුරු දෙසින් උඩහැලව වැවත් කුඩුම්බිගල අවට පිහිටා තිබුණ ද මේ ලොකු කුඩා වැව් පුරාණ ගල් බැමි, සොරොව් සමඟම මඩ⁣ ගොහොරු හා වියළි පිටි බවට පත් වෙමින් පවතියි. දසක ගණනකට එහා ගල්ලෙන් ආශ්‍රිතව මැටි බදාමයෙන් සාදන ලද භික්ෂූන් වහන්සේලාගේ කුටි ද ප්‍රතිසංස්කරණය කළ යුතු මට්ටමක පවතියි. මේ බිමෙහි පවතින ශෛලමය සඳකඩපහණ්, මුරගල්, කොරවක්ගල්, මලසුන් ගල්, පියගැටපෙළවල් හා ස්තූප ආදී නටබුන් සංරක්ෂණය වන්නේ නම් වටිනා උරුමය හෙට දවසේ ද විරාජමාන වනවා ඇත.

බාහිර යොමු[සංස්කරණය]

කුඩුම්බිගල අම්පාර දිස්ත්‍රික්කයේ පානම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පානම ගමේ පිහිටා තිබේ. පානම සිට රුහුණු වනෝද්‍යානයට ගමන් කරන මාර්ගයේ මෙම ස්ථානය පිහිටා තිබේ. විශාල ගල්පර හා ගල්තලා වලින් නිර්මිත මෙම ප්‍රදේශය ඝන කැලෑවක් මැද පිහිටා තිබේ. විශාල ලෙස කටාරම් කෙටූ ගල්ලෙන් ඇති අතර සමහරෙක ක්‍රි.පූ. යුගයට අයත් බ්‍රාහ්මීය සෙල්ලිපි දැකිය හැකි ය. සමහර ගල්තලා මත ගොඩනැගිලිවල අවශේෂයන් ද මෙහි පවතින විශාල ගල් පර්වතය වන කුඩුම්බිගල මත ශේෂ වූ දාගැබ් දෙකක අවශේෂයන් ද පවතී. http://www.archaeology.gov.lk

"https://si.wikipedia.org/w/index.php?title=කුඩුම්බිගල&oldid=456017" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි