වෛරස් පිළිබඳ හැඳින්වීමක්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

සැකිල්ල:Virus glossary

වෛරස් යනු ස්ජීවි ධාරක් සෛල තුළ පමණක් ප්‍රජනනය සිදු කළ හැකි ජෛව කාරකයකි. වෛරසයකින් ආසාදනය වූ විට ධාරක සෛල තුළදී, එහි අනන්‍ය හා සර්වසම පිටපත් දහස් ගණනක්, අසාමාන්‍ය වූ වේගයකින් නිපදවීම සඳහා පෙළඹවනු ලැබේ. අනෙකුත් ජිවීන් මෙන් නොව, වෛරස් වලට බෙදීමට හැකි සෛල දක්නට නැත.නව වෛරස් ගොඩනැගෙන්නේ ආසාදිත ධාරක සෛල තුළයි.දැනට වෛරස් 2000කට අධික සංඛ්‍යාවක් සොයාගෙන ඇත.

වෛරසයක කොටස් දෙකක් හෝ තුනක් අඩංගුයි. ජානමය කොටස DNA හෝ RNA ඉතා දිග අණු වලින් සෑදී ඇති අතර එමඟින් ප්‍රවේණික තොරතුරු රැගෙන යයි. දෙවැන්න ප්‍රෝටීන් ආවරණය; ජානමය කොටසට ආරක්ෂාව සපයයි. සමහර වෛරස් වල මේදයෙන් සෑදුනු ආවරණයක් ඇති අතර, ධාරක සෛලයක් තුළ අඩංගු නොවන අවස්ථා වලදී ඒවාට රැකවරණය සපයයි.වෛරස් වල හැඩය සරල හෙලික්සීය සහ ඉකොසහෙඩ්රල් ආකාරයේ සිට සංකීර්ණ ව්‍යුහ දක්වා වෙනස් වේ. වෛරස් බැක්ටීරියා වලට වඩා 100 වාරයක් ප්‍රමාණයෙන් කුඩාය.

වෛරස් විවිධ ක්‍රම වලට ව්‍යාප්ත වේ. ශාක වෛරස් ශාකයෙන් ශාකයට පැතිරෙන්නේ කෘමීන් මගින් හෝ වෙනත් වාහක ජීවීන් මගිනි. සමහර සත්ත්ව වෛරස් රුධිරය උරාබොන කෘමීන්ගෙන් ව්‍යාප්ත වේ. එක් එක් වෛරසය පැතිරෙන විශේෂ ක්‍රමයක් ඇත. Influenza වැනි වෛරස් වාතය මගින් පැතිරේ. කැස්ස හා කිවිසුම් යාම තුළින් වෛරසය වාතයට එකතු වේ. Norovirus වැනි වෙනත් එකක් සම්ප්‍රේශණය වන්නේ මුහුණ-මුඛය ආශ්‍රිත මාර්ගයකිනි. අපිරිසිදු අත්, ආහාර හා ජලය මගින් එය සිදුවේ. Rotavirus සාමාන්‍යයෙන් පැතිරෙන්නේ ආසාදිත ළමයින් හා සෘජු ස්පර්ශ වීමෙනි. මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසය, HIV, ලිංගාශ්‍රිත ක්‍රියා වලින් සම්ප්‍රේශණය වන ප්‍රධාන වෛරස් වලින් එකකි.වෛරස් වල සම්භවය අපැහැදිලිය. සමහර විට Plasmids/ප්ලාස්මිඩ වලින් සම්භවය වූවා විය හැක. ප්ලාස්මිඩ සෛල අතර ගමන් කළ හැකි DNA කොටස් වේ. අනෙක්වා බැක්ටීරියා වලින් පරිණාම වූවා විය හැක.

වෛරස් ආසාදන මගින් මිනිසාට සහ සතුන්ට රෝග බෝවේ. එසේ වූවත් ඒවා අවසන් කෙරෙන්නේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය මගිනි. බොහෝ විට ධාරකයාට ජීවිත කාලය පුරා පවතින ප්‍රතිශක්තිකරණයක් වෛරසයට එරෙහිව ඇතිවේ. ප්‍රතිජීවක ඖෂධ වෛරස් කෙරෙහි වෛරස් කෙරෙහි බලපෑමක් නැත. එහෙත් ජීවිතයට අනතුරුදායක ආසාදන සඳහා ප්‍රතිවෛරස් ඖෂධ දැන් වැඩි දියුණු කර ඇත. දීර්ඝකාලින ප්‍රතිශක්තියක් ඇති කරන එන්නත් මගින් සමහර වෛරස් ආසාදනය වළක්වා ගත හැක.

fuck ==

Scanning electron micrograph of HIV-1 viruses, coloured green, budding from a lymphocyte

1884 දී, චාර්ස් චෙම්බර්ලන්ඩ්(Charles Chamberland) නමැති ක්ෂුද්‍ර ජීව විද්‍යාඥයා, බැක්ටීරියා වලට වඩා කුඩා සිදුරු සහිත පෙරහනක් සොයා ගන්නා ලදී. අද මේවා Chamberland පෙරහන් හෝ Chamberland-Pasteur පෙරහන් ලෙස හඳුන්වනු ලැබේ. මෙම පෙරහනෙන් පෙරන ලද ද්‍රාවණයකින් බැක්ටීරියා සම්පූර්ණයෙන් ඉවත් කිරීමට පුළුවන. 1890 ගණන් වල මුලදී දිමිත්‍රි ඉවනොස්කි(Dimitri Ivanovski)නැමැති රුසියන් ජීව විද්‍යාඥයා දුම්කොළ විචිත්‍ර වෛරසය සොයා ගැනීමේදී මෙම පෙරහන භාවිතා කරන ලදී. ඔහුගේ පරීක්ෂණයේදී ආසාදිත දුම්කොළ මිරිකා ලබාගත් නිස්සාරකය, ඉහත පෙරහනෙන් පෙරන ලදී. පෙරනයේ ආසාදිත ද්‍රව්‍ය ඉතිරි වී තිබුණි.

එම කාලයේදිම වෙනත් විද්‍යාඥයින් කිහිපදෙනෙකුම එම ආසාදිත කාරකය බැක්ටීරියා වලින් වෙනස් වන බව සනාථ කරන ලදී. ඔවුන් රෝග බෝ කරන බවත් බැක්ටීරියා වලට වඩා සිය ගුණයකින් කුඩා බවත් සොයා ගන්නා ලදී. 1899 දී ලන්දේසි ජාතික මාර්ටිනස් බෙයිජරින්ක් (Martinus Beijerinck) බෙදෙන සෛල තුලදී පමණක් මෙම කාරකය බහුගුණනය වන බව සොයා ගන්නා ලදී. එහි විශේෂ ව්‍යුහය දැක්වීමට ඔහුට නොහැකි වූවත්, එය "ද්‍රාව්‍ය සජීවි විශබීජයක්" ලෙස නම් කරන ලදී. 20 වැනි ශත වර්ෂය මුලදී ඉංග්‍රීසි ජාතික විද්‍යාඥයෙක් වූ ෆෙඩ්‍රික් ට්වොර්ට් (Frederick Twort) විසින් වෛරස් බැක්ටීරියා ආසාදනය කරන බව සොයා ගන්නා ලදී.ප්‍රංශ-කැනේඩියානු ක්ෂුද්‍රජීව විද්‍යාඥයෙක් වන ෆෙලිස් ඩි හෙරෙල් (Félix d'Herelle) විස්තර කරන අන්දමට, ඒගාර් මත වවන ලද බැක්ටීරියා වගාවක මිය ගිය බැක්ටීරියා සහිත ප්‍රදේශය තුල වෛරස් විශාල සංඛ්‍යාවක් සිටි බව නිරීක්ෂණය කර ඇත.

1931 දී ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය සොයා ගැනීමෙන් පසුව ජර්මන් ජාතික ඉංජිනේරුවන් වන අර්නස්ට් රුස්කා(Ernst Ruska) සහ මැක්ස් ක්නෝල්(Max Knoll) හට වෛරස් වල පලමු ප්‍රතිභිම්බ හමු වී ඇත. 1935 දී ඇමරිකන් ජීව විද්‍යාඥයකු හා වෛරස් විද්‍යාඥයකු වන වෙන්ඩල් මර්ඩිත් ස්ටැන්ලි(Wendell Meredith Stanley) දුම්කොළ විචිත්‍ර වෛරසය පරීක්ෂා කර එය වැඩිපුරම සෑදී ඇත්තේ ප්‍රෝටීන් වලින් බව සොයා ගන්නා ලදී. ඉන් ටික කලකට පසු මෙම වෛරසය ප්‍රෝටීන් සහ RNA වලට වෙන් කරන ලදී. කලින් විද්‍යාඥයින්ට තිබූ ගැටළුව නම් ජීවී සත්ත්වයින් භාවිතා නොකර වෛරස් වර්ධනය වන්නේ කෙසේද යන්නයි. 1931 න් පසුව ඇමරිකන් ව්‍යාධි විද්‍යාඥයකු වන අර්නස්ට් විලියම් ගුඩ්පැස්ට්ටර්(Ernest William Goodpasture) විසින් influenza සහ තවත් වෛරස් කිහිපයක් සංසේචනය නොවුණ කිකිළි බිත්තරයක වගා කරන ලදී. සමහර වෛරස් කිකිළි බිත්තර වල වර්ධනය නොවේ. 1949 දී ජෝන් ෆැරැන්ක්ලින් එන්ඩස්(John Franklin Enders),තෝමස් හක්ල් වෙලර්(Thomas Huckle Weller) සහ ෆෙඩ්‍රික් චැප්මන් රොබින්ස්(Frederick Chapman Robbins) විසින් පෝලියෝ වෛරසය ජීවී සත්ත්ව සෛල රෝපණයක වර්ධනය වීමට සලස්වා ඉහත ගැටළුවට විසඳුම සොයා ගන්නා ලදී. දැනට වෛරස් විශේෂ 2000කට අධික සංඛ්‍යාවක් සොයා ගෙන ඇත.

සම්භවය[සංස්කරණය]

ජීවය ඇති සෑම තැනකම වෛරස් හමු වේ.සමහර විට ජීවී සෛල පරිනාම වූ පළමු අවස්ථාවේ සිටම වෛරස්ද පැවතුණා විය හැක. වෛරස් සම්භවය අපැහැදිලියි. හේතුව ඒවායේ පොසිල් නොමැති නිසා ඒවායේ පැතිරීම අවබෝධ කර ගත හැක්කේ අණුක තාක්ෂණ ක්‍රම මඟින් පමණක් වීමයි.මෙම ශිල්ප ක්‍රම මඟින් ඉතා පැරණි DNA හෝ RNA පිළිබඳ විශ්වාසදායක තොරතුරු ලබා ගත හැකි වුවත් බොහො වෛරස් විද්‍යාගාර වල සංරක්ෂණයකොට, තැන්පත් කර ඇත්තේ අවුරුදු 90කට අඩු කාලයකට මෙපීට සිටයි. වෛරස් පූර්වජයන් පිලිබඳ සොයා ගැනීම් වලදී අණුක ක්‍රම සාර්ථකව යෙදිය හැකි වූයේ 20 වෙනි ශතවර්ෂය් සිටයි.

වෛරස් සම්භවය පිලිබඳ වාද 3ක් ඇත.

ප්‍රතිගතික වාදය /පිරිහීමේ වාදය (Regressive theory)

ආරම්භයේදී වෛරස් විශාල ධාරක සෛල තුල කුඩා පරපෝශිත සෛල ලෙස ඇති විය. කාලයක් ගත වීමේදී පරපෝශිත සෛලයක් ලෙස පැවතීමට අවශ්‍ය නොවීය. rickettsia සහ chlamydia වැනි බැක්ටීරියා දර්ශ, වෛරස් වැනි ජෛව සෛල වේ. ඒවාට ප්‍රජනනය කල හැක්කේ ධාරක සෛල තුළ පමණයි. මෙම වාදයට අනුව ඔවුන්ගේ අනිවාර්ය පරපෝශිතාවයට හේතුව වන්නේ ජීව්‍ය සෛල වලින් පිටතදී නොමැරී ජීවත් වීම සඳහා අවශ්‍ය ජාන නැති වී යාමයි.

සෛලීය සම්භව වාදය (Cellular origin theory)

සමහර සෛල වර්ග පරිනාමය වී ඇත්තේ, විශාල ජීවීන්ගේ ජාන වලින් ගැලවී ගිය DNA හෝ RNA කැබලි වලින් බව කියැවේ. සමහර විට මෙම ගැලවී ගිය DNA ප්ලාස්මිඩ වලින් ලැබුණ ඒවා විය හැක. ප්ලාස්මිඩ යනු සෛලයෙන් සෛලයට ගමන් කළ හැකි බැක්ටීරියා වලින් පරිණාමය වූ DNA කොටස් වේ.

සහපරිනාම වාදය (Coevolution theory)

වෛරස් පරිනාම වන්නට ඇත්තේ, ජීවය මුලින්ම පොළව මත පහළ වූ කාලයේදී DNA සහ ප්‍රෝටීන් වල සංකීර්ණ අණු වලින් විය හැක. ඒවා අවුරුදු මිලියන ගණනක සිටම සෛලීය ජීවිත මත යැපෙන්නට ඇත.

ව්‍යුහය[සංස්කරණය]

වෛරියෝන් නමින් හැඳින්වෙන වෛරස් කොටස් වල අන්තර්ගත වන්නේ DNA හෝ RNA වලින් සෑදුන ජාන වේ. ඒ වටා කැප්සිඩ් නමින් හැඳින්වෙන ආරක්ෂිත ප්‍රෝටීන් ආවරණයක් දැකිය හැක. කැප්සිඩය සෑදී ඇත්තේ කැප්සොමියර නමින් හඳුන්වන ඉතා කුඩා සහ අනන්‍ය ප්‍රොටීන් අණු වලිනි. මෙම කැප්සොමියර වල සැකසුම විසිතල(icosahedral/20-sided)හෝ හෙලික්සීය හෝ වඩාත් සංකීර්ණ හෝ විය හැක. න්‍යෂ්ටිකකැප්සිඩය(nucleocapsid)නමින් හඳුන්වන DNA හෝ RNA වටා පිහිටි ඇතුළත ආවරණයක්ද ඇති අතර එය ප්‍රොටීන් වලින් සැදී ඇත. සමහර වෛරස් 'කවරය' ලෙස හැඳින්විය හැකි ලිපිඩ/ මේද ආශයිකා වලින්ද වට වී ඇත.

ප්‍රමාණය[සංස්කරණය]

වෛරස් කුඩාම ආසාදන කාරකය වන අතර ඉලෙක්ට්‍රොන අන්වීක්ෂයෙන් පමණක් දැකිය හැකි වේ. වෛරස් ආලෝක අන්වීක්ෂයෙන් දැකිය නොහැක. එනිසා ඒවා උප-අන්වීක්ෂීය ලෙස සැලකේ. එහි ප්‍රමාණ පරාසය 20-300 න්ම් දක්වා වේ. ඒවා කොතරම් කුඩාද යත් 1cm ක් දක්වා ඇදීමට, පැත්තෙන් පැත්ත 30,000 සිට 750,000 වාරයක් දක්වා ඇදිය යුතු වේ.

ජාන[සංස්කරණය]

ජාන සෑදී ඇත්තේ DNA සහ RNA වලිනි. ජීවියෙකුගේ ජෛව තොරතුරු අඩංගු වන්නේ DNA හෝ RNA තුළයි. බොහෝ ජිවීන් යොදා ගන්නේ DNA වුවත් බොහොමයක් වෛරස්වල ප්‍රවේණි ද්‍රව්‍ය ලෙස ඇත්තේ RNA ය. DNA හෝ RNA වෛරස් තුළ තනි දාම ලෙස හෝ ද්විත්ව හෙලික්සිය ලෙස පවතී.

වෛරස් ඉතා සීඝ්‍රයෙන් ප්‍රජනනය කරයි. හේතුව ඔවුන්ට ඉතා සුළු ජාන සංඛ්‍යාවක් පමණක් තිබීමයි. මිනිසාගේ දැකිය හැකි 20,000 - 25,000 ක් පමණ වූ ජාන සංඛ්‍යාව හා සසඳන කළ ඉන්ෆ්ලුවෙන්සා වෛරසයට ඇත්තේ ජාන 8ක් පමණි. රොටෝ වෛරස් වලට ඇත්තේ ජාන 11කි. මෙම ජාන වෛරස් කොටස් වන ව්‍යුහීය ප්‍රෝටීන් සෑදීමට හෝ වෛරසයෙන් ආසාදනය වන සෛල තුළ පමණක් දැකිය හැකි ව්‍යුහමය නොවන ප්‍රෝටීන් සෑදීමට හෝ දායක වේ.

සියළුම සෛල සහ බොහෝ වෛරස DNA පොලිමරේස් සහ RNA පොලිමරේස් යන එන්සයිම නිපදවයි.ඒවා මඟින් DNA සහ RNA වල නව පිටපත් සාදයි. වෛරස් වල පොලිමරේස් එන්සයිම සාමන්‍යයෙන් ධාරක සෛලයට වඩා කාර්යක්ෂම ලෙස DNA සහ RNA සාදයි. කෙසේ වෙතත් RNA පොලිමරේස් එන්සයිම බොහෝ විට වැරදීම් සිදු කරන අතර RNA වෛරස් නිතරම විකෘති මාදිලි ඇති කිරීමට මෙය හේතු වේ.

සමහර RNA වෛරස් වල ජාන අඛණ්ඩ RNA අණු නොවන අතර ඒවා වෙන්ව පවතී. උදාහරණයක් ලෙස ඉන්ෆ්ලුවෙන්සා වෛරසය ගතහොත් RNA වලින් සෑදුනු වෙන් වූ ජාන 8ක් එහි ඇත. ඉන්ෆ්ලුවෙන්සා වෛරස් මාදිලි දෙකක් එකම සෛලයකට ආසාදනය වුවහොත් ඉහත ජාන මිශ්‍ර වී නව වෛරස් මාදිලි සෑදීමට පුළුවන. මෙම ක්‍රියාවලිය ප්‍රතිසමූහනය(reassortment)

ප්‍රෝටීන් සංස්ලේෂණය[සංස්කරණය]

Diagram of a typical eukaryotic cell, showing subcellular components. Organelles: (1) nucleolus (2) nucleus (3) ribosome (4) vesicle (5) rough endoplasmic reticulum (ER) (6) Golgi apparatus (7) Cytoskeleton (8) smooth ER (9) mitochondria (10) vacuole (11) cytoplasm (12) lysosome (13) centrioles within centrosome (14) virus particle shown to approximate scale

ජීවිතයට ප්‍රෝටීන් අත්‍යාවශ්‍යයි. සෛල DNA මත ලියවුණු ප්‍රවේණික තොරතුරු මත ඇමිනො අම්ල වලින් නව ප්‍රෝටීන් නිපදවයි. සෑම ප්‍රෝටීනයක්ම විශිෂ්ඨයි. එක් කෘත්‍යයක් පමණක් ඉටු කරයි. එනිසා සෛලයකට අළුත් යමක් කිරීමට අවශ්‍ය නම් එය අළුත් ප්‍රෝටීනයක් නිපදවිය යුතුයි. වෛරස් සෛල වලට නව ප්‍රෝටීන් නිපදවීම සඳහා බල කරයි. ඒවා සෛලයට අවශ්‍ය නොවුණද, වෛරසයට ප්‍රජනනය කිරීම සඳහා අවශ්‍ය වේ. ප්‍රෝටීන් සංස්ලේශණය මූලික පියවර දෙකකින් යුක්තයි. ඒවා නම් ප්‍රතිලේඛනය(Transcription) සහ පරිවර්තනය(Translation) යනුවෙනි.

'ප්‍රතිලේඛනය' යනු; ජාන කේතය(genetic code) නමින් හඳුන්වන DNA මත ඇති ප්‍රවේණික තොරතුරු යොදා ගෙන පණිවුඩකාරක RNA(messenger RNA / mRNA) යනුවෙන් හඳුන්වන RNA වර්ගය නිපදවීමේ ක්‍රියාවලියයි. මෙම mRNA, ප්‍රොටීන් නිපදවීම සඳහා යොදා ගන්නා රයිබොසෝම වෙතට, සෛලය තුළින් ප්‍රවේණි කේතය රැගෙන යයි. මෙය 'පරිවර්තනය' ලෙස හැඳින්වේ. හේතුව ඇමිනො අම්ල වලින් සෑදෙන ප්‍රෝටීන් ව්‍යුහය නිර්ණය කරනු ලබන්නේ මෙම mRNA කේතය මඟින් බැවිනි. කේතයෙන් ගෙන යන තොරතුරු න්‍යෂ්ටික අම්ල භාෂාවෙන්, ඇමිනො අම්ල භාෂාවට පරිවර්තනය කෙරේ.

වෛරස් වල අඩංගු සමහර RNA ජාන තවදුරටත් විකරණය නොවී කෙළින්ම mRNA අණුවක් ලෙස ක්‍රියා කරයි. මේ හේතුව නිසා මෙම වෛරස් ධන සංවේදී RNA වෛරස් ලෙස හැදින්වේ. මේ අනුව මෙම RNA, RNA වෛරස් වලට mRNA වෙනුවෙන් ලැබෙන වාසිදායක පිටපතක් වේ. සෛලය තුළ DNA මගින් mRNA නිපදවන ක්‍රමය අනුගමනය කරන වෛරස්, සෘණ සංවේදී RNA වෛරස් ලෙස හැඳින්වේ. මෙම වෛරස් විශේෂ රිට්‍රො වෛරස්(retrovirus) ලෙස හැඳින්වෙන අතර, සම්පූර්ණ වෙනස් හැසිරීමක් දක්වයි. ඔවුන් සතුව ඇත්තේද RNAය. එහෙත් ධාරක සෛල තුලදී ඔවුන්ගේ RNA මඟින් DNA පිටපත් සාදයි. මෙම DNA ධාරක සෛලය සමඟ එක්ව, mRNA පිටපත් සෑදීම සාමාන්‍ය ක්‍රමයට සිදු කරයි.

ජීවන චක්‍රය[සංස්කරණය]

Life-cycle of a typical virus, following infection of a cell by a single virus, hundreds of offspring are released

වෛරසයකින්, සෛලයක් ආසාදනය කළ විට, ඒ තුළ වෛරස් පිටපත් දහස් ගණනක් සෑදීම සඳහා බල කෙරේ. මෙය සිදු කරනු ලබන්නේ වෛරසයේ DNA හෝ RNA මගින්, නව වෛරස් කොටස් සකස් කිරීමට අවශ්‍ය, වෛරස් ප්‍රෝටීන් සෑදීම මඟිනි.

වෛරස් ජීවන චක්‍රයක් සම්පූර්ණ කිරීමේදී, ජීවී ධාරක සෛලයක් තුළ, එකිනෙකට අනුගාමිව යන මූලික පියවර 6ක් පසු කරයි.

ග්‍රහණය කිරීම/අධිග්‍රහණය (Attachment)
මෙහිදී ධාරක සෛල මතුපිට ඇති විශේෂිත අනුවකට වෛරසය බැඳීම සිදුවේ. මෙම විශිෂ්ඨතාව ඉතා සීමිත සෛල වර්ග කිහිපයකට සීමා වේ. උදාහරණයක් ලෙස මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසය(HIV) මිනිසාගේ T සෛල පමණක් ආසාදනය කරයි. හේතුව gp120 කාණ්ඩයට අයත්, එහි මතුපිට ප්‍රෝටීනයට ප්‍රතික්‍රියා කළ හැක්කේ, CD4 සහ T සෛල මතුපිට ඇති අනෙකුත් අණු සමඟ පමණි. ශාක වෛරස් සම්බන්ධ වනුයේ ශාක සෛල සමග පමණි. ඒවාට සතුන් ආසාදනය කළ නොහැක. මෙම යාන්ත්‍රණය පරිණාම වී ඇත්තේ, වෛරසයට ප්‍රජනනය කළ හැකි ධාරක සෛල තෝරා ගත හැකි වන පරිදි වේ.

විනිවිද යාම(Penetration)
අධිග්‍රහණයට පසුව ධාරක සෛලයට ඇතුල් වීමේ ක්‍රියාවලියයි. අන්තඃභක්ෂකතාවය මඟින් හෝ ධාරක සෛලය සමඟ පෑහීම මඟින් වෛරසය ධාරක සෛලය තුලට ගමන් කරයි.

නිරාවරණය වීම(Uncoating)
වෛරස් එන්සයිම මගින් හෝ ධාරක එන්සයිම මගින් වෛරල් කැප්සිඩය සෛලය තුලදී විනාශ කිරීම මෙහිදී සිදු වේ. එමගින් වෛරස න්‍යෂ්ටික අම්ලය නිරාවරණය වීම සිදුවේ.

ප්‍රතිවලිත වීම(Replication)
සෛලය විසින් mRNA සෑදීම මෙම වෛරසය සෑදීමට අවශ්‍ය ප්‍රෝටීන් කොටස් නිපදවන පියවරේදී සිදු වේ. ධාරක් සෛලය සතු DNA හෝ RNA නිපදවීමේ හැකියාව යොදා ගෙන වෛරසයේ DNA හෝ RNA නිපද වේ. mRNA මගින් ප්‍රෝටීන් නිපද වේ.

සැකසුම් කිරීම(Assembly)
සෛල තුලදී, අළුතින් සෑදුන වෛරල් ප්‍රෝටීන් සහ න්‍යෂ්ටික අම්ල එකට එකතු වී, සිය ගණනක් නව වෛරස් කොටස් සැදීම මෙම පියවරේදී සිදු වේ.

නිදහස් වීම(Release)
මෙහිදී සිදු වන්නේ නව වෛරස් ධාරක සෛලයෙන් මිදී නිදහස් වීමයි. බොහොමයක් වෛරස් මෙය සිදු කරන්නේ, ජීරණය/ජාරණය නමැති ක්‍රියාවලියක් මගින්, ධාරක සෛලය පුපුරවා හැරීමෙනි. HIV වැනි අනිකුත් වෛරස්, අංකුණය නමැති ක්‍රියාවලියක් මගින්, වඩා මෘදු ලෙස නිදහස් වීම සිදු වේ.

ධාරක සෛලය මත ආචරණ[සංස්කරණය]

වෛරසය විසින් ධාරක සෛල මත විශාල පරාසයක ව්‍යුහමය සහ ජෛවරසායනික ආචරණ ඇති කරයි. මේවා සෛල ව්‍යාධි ආචරණ(cytopathic effects) ලෙස හැඳින්වේ. බොහොමයක් වෛරස් ආසාදන වල ප්‍රථිඵලය වන්නේ ධාරක සෛල මිය යාමයි. මෙයට හේතු වන්නේ; සෛල ජාරණය වීමෙන් පුපුරා යාම, සෛල පෘෂ්ඨිය පටල වෙනස් වීම සහ සෛල ස්වයං ජීරණය(apoptosis/cell suicide) වීමයි. සාමාන්‍යයෙන් සෛල මිය යාම සිදු වන්නේ, වෛරස් කොටස් සෑදීමට අවශ්‍ය ප්‍රෝටීන් නිපදවීම හේතුවෙන්, සෛලයේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වය නැවතීම නිසයි.

සමහර වෛරස් ආසාදිත සෛලයට සැළකිය යුතු වෙනසක් ඇති නොකරයි. මෙවැනි වෛරස් ධාරක සෛල තුළ සුප්තව(අක්‍රියව) සිටින අතර, ක්‍රියාකාරී නොවන සුළු ආසාදන සංඥා කිහිපයක් පෙන්නුවද, සෛලයේ සාමන්‍ය ක්‍රියාකාරිත්වය සිදු වේ. එහෙත් වෛරසය ධාරකයා තුළ නොනැසී, මාස කිහිපයක් හෝ අවුරුදු කිහිපයක් සුප්තව සිටී. මෙය හර්පීස් වෛරසය(herpes viruses) සඳහා සුලභව සිදු වන්නකි.

Epstein-Barr වෛරස් වැනි සමහර වෛරස සෛල වලට මාරක තත්ත්වයක් ඇති නොකර ප්‍රගුණනය වේ. එහෙත් papilloma වෛරස් වැනි ඒවා ස්ථාපනය වීම හේතුවෙන් පිළිකා ඇති විය හැක. සෛල DNA, වෛරස් නිසා තුවාල වූ විට සහ සෛලයට එය නැවත අළුත්වැඩියා කර ගත නොහැකි වූ විට, බොහෝ විට ඇපොප්ටෝසිස්(apoptosis) ක්‍රියාරම්භනය වේ. ඇපොප්ටෝසිස් හි එක් ප්‍රතිඵලයක් වන්නේ, සෛලය විසින්ම තුවාල වූ, DNA විනාශ කිරීමයි. සමහර වෛරස් වලට ඇපොප්ටෝසිස් සීමා කිරීමේ යාන්ත්‍රණ ඇත. එවිට වෛරස් ප්‍රජනිතය ඇති වනතුරු ධාරක සෛලය නොමැරේ. HIV උදාහරණයකි.

වෛරස් හා රෝග[සංස්කරණය]

Norovirus. Ten Norovirus particles; this RNA virus causes winter vomiting disease. It is often in the news as a cause of gastro-enteritis on cruise ships and in hospitals.

සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව උණ පැපොල යනාදිය සුලභ මානව වෛරස් රෝග වේ. ඉබොලා(Ebola) සහ ඒඩ්ස් බරපතල වෛරස් රෝග වේ. බොහොමයක් වෛරස් රෝග කාරක නොවන හෝ සුළු රෝග තත්ත්ව ඇති කරයි. ඒවා හානිකර නොවන ඒවා වන අතර ඒවා "කාරුණික(benign)" ලෙස හැඳින් වේ. බොහෝ හානිකර වෛරස් විස්තර කරන්නේ ප්‍රචණ්ඩකාරී ඒවා ලෙසයි. ආසාදනය වන සෛල වර්ගය මත වෛරස් රෝග විවිධ වේ. සමහර ඒවා ජීවිත කාලය පුරා පවතින දිගු කාලින ඒවා වේ. ඒවා ධාරක ආරක්ෂක යාන්ත්‍රණ වලට එරෙහිව ශරීරය තුල වෛරස් ප්‍රජනනය අඛණ්ඩව සිදු කරයි. මේ තත්වය හෙපටයිටිස් B සහ හෙපටයිටිස් C වෛරස් සඳහා සුලභ වේ. දිගින් දිගටම වෛරසයකින් ආසාදනය වන මිනිසුන් වාහකයන් ලෙස සැලකේ. ඔවුන් වෛරස් රඳවා ගෙන සිටින සංචායකයන් වේ. ජනගනයක් තුල වාහකයන් ඉහල අගයකින් පවතී නම්, එය වසංගතයක් ලෙස සැලකේ.

වෛරස් ව්‍යාප්ත වීමේ ක්‍රම කිහිපයක් ඇතත්, එක් එක් වෛරස් මෙම ක්‍රම වලින් එකක් හෝ දෙකක් පමණක් ව්‍යාප්තිය සඳහා යොදා ගනී. ශාක ආසාදනය කරන වෛරස් රැගෙන යන ජීවීන් වාහකයන් ලෙස සැලකේ. සතුන් හා මිනිසුන්ට ආසාදනය වන සමහර වෛරස් ද වාහකයන් මගින් ව්‍යාප්ත වේ. සාමාන්‍යයෙන් මොවුන් රුධිරය උරා බොන කෘමින් වේ. කෙසේ වෙතත් කෙළින්ම පුද්ගලයන්ගෙන් පුද්ගලයන්ට, සතුන්ගෙන් සතුන්ට හා සතුන්ගෙන් මිනිසුන්ට සම්ප්‍රේශණය වන අවස්ථාද බහුලයි. සමහර ආසාදක වෛරස් (norovirus සහ rotavirus)ව්‍යාප්ත වන්නේ අපවිතනය වූ ආහාර හා ජලය, අපිරිසිදු අත්, පොදු භාණ්ඩ සහ ආසාදිත පුද්ගලයන් සමග ඉතා කිට්ටු සම්බන්ධතා මගිනි. මේ අතර සමහරක් වාතය මගින් පැතිරේ.(nfluenza වෛරස්) HIV, හෙපටයිටිස් B and හෙපටයිටිස් C වැනි වෛරස් සුලභව සම්ප්‍රේශණය වන්නේ අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා සහ අපවිත්‍රනය වූ විදින කටු මගිනි. ආසාදනය සහ වසංගත තත්ත්වයන් ඇති කරන විවිධ ආකාරයේ වෛරස් පැතිරීම වළක්වන ආකාරය දැන සිටීම වැදගත් වේ.

ශාක රෝග[සංස්කරණය]

Peppers infected by mild mottle virus

ශාක වෛරස් බොහොමයක් ඇති නමුත් පොදුවේ ඒවායින් සිදු කෙරෙන්නේ අස්වැන්න අඩු කිරීම නිසා ආර්ථික වශයෙන් පාලනය කිරීම අවශ්‍ය වේ.ශාක වෛරස් ශාකයෙන් ශාකයට පැතිරෙන්නේ වාහකයන් මගිනි.සාමාන්‍යයෙන් කෘමීන් මගිනි.සමහර දිලීර, නෙමටෝඩා පනුවන් සහ තනි සෛල ජීවීන්ද වාහකයන් ලෙස සමහර විට ක්‍රියා කරයි.ආර්ථික වශයෙන් සලකා බලා, ශාක වෛරස් පාලනය කිරීමේදී, වාහකයන් විනාශ කිරීම හෝ වල් පැලැටි වැනි විකල්ප ධාරකයන් ඉවත් කිරීම සාමාන්‍යයෙන් සිදු කෙරේ.ශාක වෛරස් වලට ප්‍රජනනය කල හැක්කේ ශාක සෛල තුල පමණක් නිසා ඒවා මිනිසාට හෝ සතුන්ට හානිකර නැත.

බැක්ටිරියා භක්ෂක[සංස්කරණය]

The structure of a typical bacteriophage

බැක්ටිරියා භක්ෂක යනු බැක්ටීරියා ආසාදනය කරන වෛරස්වේ.බැක්ටිරියා භක්ෂක ආකාර 5100ක් පමණ ඇත. මේවා සාගර පරිසර විද්‍යාවේදී වැදගත්වේ. ආසාදිත බැකිටීරියා පුපුරුවා හැරීමෙන් පරිසරයට කාබනික සංයෝග නැවත නිදහස් කල හැක.එමගින් ජීව්‍ය කාබනික වර්ධනය උත්තේජනය කෙරේ.බැක්ටීරියා භක්ෂක මිනිසාට හානිකර නොවන නිසාත් පහසුවෙන් විද්‍යාත්මක පර්යේෂණ සඳහා යොදා ගැනීමට ප්‍රයෝජනවත් වේ.හානිකර නොවන බැක්ටීරියා දර්ශ මත රැදි ඇති පැසිමට ලක් කිරීමෙන් සාදන(fermentation) ඖෂධ හා ආහාර කර්මාන්ත වලදී මෙම වෛරස් මඟින් ගැටළු ඇති වීමට පුළුවන. සමහර බැක්ටීරියා ආසාදන ප්‍රතිජීවක මඟින් මර්දනය කිරීම දුෂ්කරවේ. මෙවැනි අවස්ථා වල ආසාදිත මිනිසුන්ට ප්‍රතිකාර කිරීම සඳහා බැක්ටීරියාභක්ෂක යොදා ගනී.

ධාරක ප්‍රතිරෝධය[සංස්කරණය]

සතුන්ගේ සහජාස ප්‍රතිශක්තිය[සංස්කරණය]

මිනිසා ඇතුළු සතුන්ට වෛරස් වලට එරෙහිව ස්වාභාවික ආරක්ෂණ ක්‍රම ඇත.සමහරක් විශිෂ්ඨ නොවන ආරක්ෂණ යාන්ත්‍රණවේ.වෛරසය කුමක් වුවද එමඟින් ධාරක ආරක්ෂාව සැපයේ.මෙම සහජ ප්‍රතිශක්තිය වෛරසයට නැවත නැවත නිරාවරණය වීමෙන් වර්ධනය නොවන අතර,මුල් ආසාදනය පිළිබඳ මතකයක් ධාරකයා තුළ ඉතිරි නොවේ.සතුන්ගේ නිරෝගී සම,විශේෂයෙන් එහි මතුපිට,මැරුණ සෛල වලින් සැදී ඇති අතර විවිධ ආකාරයේ වෛරස් වලින් ධාරකයා ආසාදනය වීම ඉන් වලකයි.ආමාශයේ ඇති සංඝටක වල ආම්ලිකතාවය අප ගිලින ආහාරයේ ඇති වෛරස් විනාශ කරයි.මෙම බාධක මඟ හැර වෛරස් ධාරක දේහයට ඇතුල් වූ විට,වෙනත් සහජ ආරක්ෂණ මගින් දේහය තුල ආසාදනය පැතිරීම වලක්වයි.වෛරස් දේහයට ඇතුල් වූ විට දේහය තුල interferon නමැති විශේෂ හෝමෝනයක් නිපදවේ.එමගින් වෛරසය ප්‍රජනනය කිරීම නවතාලමින් ආසාදිත සෛලය සහ අවට සෛල විනාශ කර දමයි.සෛලය තුල RNA වෛරස් විනාශ කරන එන්සයිමද අඩංගුවේ.මේවා RNA interference ලෙස හැදින්වේ. සමහර රුධිර සෛල වෛරස් ආසාදිත සෛල ගිල දමමින් විනාශ කරයි.

සතුන් තුළ අනුවර්තී ප්‍රතිශක්තිය[සංස්කරණය]

Two rotavirus particles: the one on the right is coated with antibodies which stop its attaching to cells and infecting them

වෛරස් වලට එරෙහිව විශිෂ්ඨ ප්‍රතිශක්තිකරණයක් ඇති විය හැකි වන අතර ඒ සඳහා lymphocytes නමැති රුධිර සෛල ප්‍රධාන කාර්ය භාරයක් ඉටු කෙරේ.ලිම්පොසයිට වෛරස් ආසාදනය පිලිබඳ 'මතකය' ඉතිරි කරයි.එමගින් ප්‍රතිදේහ නමැති විශේෂ අණු වර්ගයක් නිපදවේ.මෙම ප්‍රතිදේහ වෛරස් සමග සම්බන්ධ වී සෛලය ආසාදනය වීම නවතා දමයි.ප්‍රතිදේහ විශිෂ්ඨ වරණීයතාවයක් පෙන්වන අතර එක් වෛරස් විශිෂ්ඨයකට පමණක් පහරදීම සිදුවේ.මූලික ආසාදනයක් සිදු වීමේදී,ශරීරය විවිධ ආකාරයේ ප්‍රතිදේහ නිපදවයි.කෙසේ වෙතත් වෛරස් ආසාදනය වීමෙන් පසුව ප්‍රතිදේහ ශරීරයේ ඉතිරි වන අතර, ධාරකයාට ජීවිත කාලය පුරා පවතින ප්‍රතිශක්තිකරණයක් එම වෛරසය සඳහා ලැබේ.

ශාක ප්‍රතිරෝධය/ Plant resistance[සංස්කරණය]

ශාක වල වෛරස් වලට එරෙහිව කාර්යක්ෂම ආරක්ෂණ යාන්ත්‍රණ ඇත. එයින් වඩාත් කාර්යක්ෂම එකක් වනුයේ ප්‍රතිරෝධී ජාන(R genes). R ජානය මඟින් සුව්ශේෂ වෛරසයකින් ආසාදනය වූ සෛලය හා ඒ අවට ප්‍රදේශය මරණයට පත් කර වෛරසය පැතිරීම වලකයි. එම ස්ථානය විශාල ලපයක් ලෙස දැකිය හැකිය. ආසාදනය වූ විට සමහර ශාක සැලිසිලික් අම්ලය, නයිට්‍රික් ඔක්සයිඩ් සහ සක්‍රිය ඔක්සිජන් අණු වැනි ස්වාභාවික විෂබීජනාශක ද්‍රව්‍ය නිපදවා වෛරසය මරා දමයි.

බැක්ටීරියාභක්ෂක වලට දක්වන ප්‍රතිරෝධීතාව/Resistance to bacteriophages[සංස්කරණය]

බැක්ටීරියාභක්ෂක වලින් ආරක්ෂා වීම සඳහා බැක්ටීරියා වලට ඇති ප්‍රධාන ක්‍රමය වන්නේ, ආගන්තුක DNA විනාශ කරන එන්සයිම ඔවුන් විසින්ම නිපදවා ගැනීමයි. මෙම එන්සයිම සීමාකාරී එන්ඩොනියුක්ලියේස් (restriction endonucleases) ලෙස හැඳින්වේ. මෙය බැක්ටීරියාභක්ෂක, බැක්ටීරියා සෛලයට ඇතුල් වන අවස්ථාවේදී වෛරල් DNA කපා දමනු ලැබේ.

මිනිසා සහ වෙනත් සතුන්ගේ වෛරස් රෝග වලක්වා ගැනීම සහ ප්‍රතිකාර කිරීම[සංස්කරණය]

එන්නත්[සංස්කරණය]

The structure of DNA showing the position of the nucleosides and the phosphorus atoms that form the "backbone" of the molecule

එන්නත් කිරීම වෛරස් රෝග වලකන එක් ක්‍රමයකි. එන්නත් මගින් ස්වාභාවික ආසාදනය උත්තේජනය කර ප්‍රතිශක්තීකරණ ප්‍රතිචාර ඇති කරන නමුත් රෝගය ඇති නොකරයි. පෝලියෝ, සරම්ප, කම්මුල් ගාය සහ රුබෙල්ලා(ජර්මන් සරම්ප) වැනි රෝග නිසා සිදු වූ හානි සහ මරණ හේතුවෙන් මේවා සොයා ගැනීම සිදු කෙරුණි. මිනිසාගේ වෛරස් ආසාදන 13ක් වලක්වා ගැනීම සඳහා එන්නත් ලබා ගත හැකිය. එසේම සතුන්ටද එන්නත් භාවිතා කෙරේ. එන්නක සජීවී හෝ මරණ ලද වෛරස් අන්තර්ගතය. සජීවී එන්නත් වල දුර්වල කරන ලද වෛරස් අඩංගු වේ. එහෙත් දුර්වල ප්‍රතිශක්තීකරණයක් ඇති පුද්ගලයන් සඳහා මෙම එන්නත් ලබා දීම අනතුරුදායක වේ. මෙවැනි පුද්ගයන්ට දුර්වල කරන ලද එන්නත් මඟින්ද මුල් රෝගයම වැලඳීමට පුළුවන.ජෛව තාක්ෂණය හා ජාන ඉංජිනේරු ශිල්ප ක්‍රම මඟින් එන්නත් නිර්මාණය කල හැක.(designer vaccines). මෙවැනි මොස්තර එන්නත් වල ඇත්තේ වෛරසයේ ප්‍රෝටීන කැප්සිඩ පමණි. හෙපටයිටිස් B එන්නත් ඒ ආකාරයේ එකකි. කිසිවිටකත් රෝගකාරක නොවන නිසා මේ ආකාරයේ එන්නත් වඩාත් ආරක්ෂාකාරී වේ.

ප්‍රතිවෛරස් ඖෂධ[සංස්කරණය]

පසුගිය වසර 20 ක කාලයක් පුරා ප්‍රතිවෛරස් ඖෂධ වැඩිදියුණු විය. ප්‍රතිවෛරස් ඖෂධ බොහෝවිට නියුක්ලියොසයිඩ වලට සමාන; DNA තැනුම් ඒකක වලට සර්වසම නොවන නමුත් ඒවාට කිට්ටු සමානකමක් ඇති අණු වේ. වෛරස් DNA ප්‍රතිවලිත වීම ආරම්භ වූ විට මෙම ව්‍යාජ තැනුම් ඒකක එම ක්‍රියාවලියට සම්බන්ධ වේ. ඒ සමගම ප්‍රතිවලිත වීම අපරිණත අවස්ථාවේදී නවතී. ව්‍යාජ තැනුම් ඒකක වල තවදුරටත් තැනුම් ඒකක බඳවා ගැනීමේ අත්‍යවශ්‍ය ලක්ෂණ දක්නට නොලැබේ. එනිසා DNA නිශ්පාදනය නවතී. තවදුරටත් වෛරස් වලට ප්‍රජනනය සිදු කල නොහැකි වේ. නියුක්ලියොසයිඩ තුල්‍ය ව්‍යුහ සඳහා උදාහරණ ලෙස හර්පීස් වෛරස් ආසාදනයට එරෙහිව දෙන aciclovir ද, ඒඩ්ස් සහ හෙපටයිටිස් B සඳහා ලබා දෙන lamivudine ද ගත හැක. මෙයින් වඩා පැරණි සහ නිතර අනුමත කරන්නේ aciclovir ඖෂධයයි.

The guanine analogue aciclovir

ප්‍රතිවෛරස් ඖෂධ වෛරස් ජීවන චක්‍රයේ විවිධ අවස්ථා ඉලක්ක කරයි. HIV වෛරසය ආසාදක වීම HIV-1 protease නමැති එන්සයිමය මත රඳා පවතී. ප්‍රෝටියේස් නිශේධක / protease inhibitors නමැති ඖෂධ කාණ්ඩය ඉහත එන්සයිමය සමඟ බැඳී එහි ක්‍රියාකාරිත්වය නවතා දමයි.

හෙපටයිටිස් C; RNA වෛරසයක් මඟින් සෑදේ. ආසාදිත මිනිසුන්ගෙන් 80% කට රෝගය දීර්ඝකාලීන වේ. නිසි ප්‍රතිකාර නොගතහොත් ඔවුන් ජීවිත කාලය පුරාම ආසාදිත වේ. එයට කාර්යක්ෂම ප්‍රතිකාරයක් ලෙස යොදා ගන්නේ නියුක්ලියොසයිඩ් සමරූපී ඖෂධයක් වන ඉන්ටර්ෆෙරෝන් සමඟ සංයුක්ත කරන ලද ribavirin නමැති ඖෂධයයි. හෙපටයිටිස් B නිදන්ගත රෝග වාහකයන් සඳහාද මීට සමාන ක්‍රියාවලියක් අනුගමනය කෙරේ. lamivudine සහ වෙනත් ප්‍රති ඖෂධ මේ සඳහා භාවිතා කෙරේ. මෙම රෝග දෙකෙහිදීම ඖෂධ මඟින් වෛරසයේ ප්‍රජනන ක්‍රියාවලිය නවත්වන අතර, ඉන්ටර්ෆෙරෝන් මඟින් ඉතිරි ආසාදිත සෛල විනාශ කෙරේ.

HIV ආසාදන වලදී, වෛරස් ජීවන චක්‍රයේ විවිධ අවස්ථා ඉලක්ක කොට ගත්, ප්‍රතිවෛරස් ඖෂධ කිහිපයක එකතුවක් භාවිතා කෙරේ. වෛරසය ධාරක සෛලයට සවි වීම වලකන ඖෂධ ඇති කරන, සමහර ඖෂධ නියුක්ලියොසයිඩ් සමරූපී වේ. තවත් සමහරක් වෛරස් ප්‍රජනනය සඳහා යොදා ගන්නා එන්සයිම වලට විෂ වේ. මෙම ඖෂධ සාර්ථකව යොදා ගැනීමට වෛරසය ප්‍රජනනය කරන ආකාරය දැනගැනීම වැදගත් වේ.

පරිසරය තුළ කාර්යභාරය[සංස්කරණය]

ජලජ පරිසරය තුළ වඩාත්ම බහුල ජෛවී ද්‍රව්‍යය වෛරස්ය. මුහුදු ජලය තේ හැන්දක මිලියනයක් පමණ වෛරස් ඇත. එසේම ලවණ ජලයේ සහ මිරිදිය පරිසර පද්ධති වල යාමනය සඳහා ඔවුන් අත්‍යාවශ්‍ය වේ. මෙම වෛරස් වලින් බොහොමයක් බැක්ටීරියාභක්ෂක වේ. ඒවා ශාක හෝ සතුන්‍ට හානිකර නොවේ. ඔවුන් ජලජ ක්ෂුද්‍රජීවී ප්‍රජාවේ ඇති බැක්ටීරියා ආසාදනය කර විනාශ කරයි. සාගර පරිසරය තුළ කාබන් ප්‍රතිචක්‍රීකරණය සඳහා වඩාත්ම වැදගත් යාන්ත්‍රණය මෙයයි. බැක්ටිරීයා සෛල තුල ඇති කාබනික අණු නිදහස් කිරීමෙන් නව බැක්ටීරියා සහ ඇල්ගී වර්ධනය උත්තේජනය කිරීම වෛරස් මඟින් සිදු වේ.

සාගරයේ ජෛව ස්කන්ධයෙන් 90%ක්ම ක්ෂුද්‍රජීවීන්ගෙන් යුක්තවේ. දිනකට ආසන්න වශයෙන් මෙම ජෛව ස්කන්ධයෙන් 20% ක් වෛරස් මගින් මරණයට පත් කරන බව ගණන් බලා ඇත. සාගරයේ බැක්ටීරියා සහ ආකීයා මෙන් 15 ගුණයක් වෛරස් අඩංගුයි. හානිකර ඇල්ගී උඩු මණ්ඩි සීඝ්‍රයෙන් විනාශ කිරීම සඳහා වෛරස් වග කියනු ලැබේ. බොහෝ විට වෙනත් සාගර ජීවීන්ද මරණයට පත් වේ. වෙරලෙන් ඈතට සහ ගැඹුරු ජලයේ වෛරස් සංඛ්‍යාව සාපේක්ෂව අඩුයි. හේතුව එම ස්ථානවල ධාරකයන් සංඛ්‍යාව අඩු වීමයි.

සාගර ක්ෂීරපායින්ද වෛරස් ආසාදන වලට ගොදුරු විය හැක. 1988 සහ 2002 දී, යුරෝපයේ වරාය ආශ්‍රිත සීල් මසුන් phocine distemper වෛරස් රෝගයෙන් දහස් ගණනක් මිය යන ලදී. caliciviruses, herpesviruses, adenoviruses සහ parvoviruses ඇතුළු බොහොමයක් වෛරස් සාගර ක්ෂීරපායි ගහණය තුල සංසරණය වී ඇත.