Jump to content

ශ්‍රී ලංකාවේ වී ගොවිතැන

විකිපීඩියා වෙතින්
(වී ගොවිතැන - ශ්‍රී ලංකාව වෙතින් යළි-යොමු කරන ලදි)

මිනිසා ගොවි යුගයට පරිවර්තනය වූ දා පටන් එදා මෙදා තුර ලාංකිකයාගේ ප්‍රධාන ආහාරය බත් ය. ලෝක ජනගහනයෙන් 2/3ක් පමණ වෙසෙන ආසියානු කලාපය වී ගොවිතැන සඳහා වඩාත් ප්‍රචලිත ය. ශ්‍රී ලංකාවේ යැපුම් කෘෂිකර්මයේ මෙන් ම ආහාර භෝග වගාවෙහි ප්‍රධානත ම භෝගය වී වශයෙන් හැඳින්විය හැක. ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක ම වී වගා කෙරේ. ඉන් විශාල ශ්‍රම පිරිසකට රැකියා සපයා ඇත. එමෙන් ම අධික ජන සංඛ්‍යාවක් පෝෂණය කරන ධාන්‍ය වර්ගයකි. ශ්‍රි ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට ද සැලකිය යුතු අන්දමින් දායක වේ. 1999 ‍වසරේදී දළ ජාතික නිෂ්පාදනයට එකතුව රුපියල් දශලක්ෂ 30197ක් වූ අතර ප්‍රතිශත දායකත්වය 3.04%ක් වේ. වී වගා කරන දිස්ත්‍රික්ක අතරින් ද අනුරාධපුර, පොළොන්නරුව, යාපනය, මන්නාරම හා වව්නියාව යන දිස්ත්‍රික්කවල වැඩි අස්වැන්නක් ලැබේ.

ඉතිහාසය

[සංස්කරණය]

වසර දෙදහස් පන්සියයකටත් වැඩි ලිඛිත ඉතිහාසයක් සහිත හෙළ දිව මහා පරාක්‍රමබාහු රජ දවසට පසු නැවත වතාවක් වී වගාවෙන් ස්වයංපෝෂිත තත්ත්වයකට පත්ව ඇති බව තහවුරු වි ඇත. ක්‍රිස්තු පුර්ව 900-600 අතර කාලය තුල නිර්මාණය කරන ලද මැටි භාජනවල වී ගොවිතැන පිළිබද චිත්‍ර ඇති බවට සාක්ෂි ඇත. මේ අනුව ක්‍රිස්තු පුර්ව 600ට පෙරද සිරිලක වී ගොවිතැන පැවති බවට සැක කල හැකිය. ක්‍රිස්තු පුර්ව 6වන සියවසේදි විජය කුමරු සහ පිරිස ලක්දිවට ගොඩ බැසිමෙන් පසු ඔවුන් ආහාර ලෙස බත් අනුභව කල අතර ඉතිරිය කුවේණියට දී ඇත. ලිඛිත ඉතිහාසයෙහි වී වගාව පිලිබදව පළමු වතාවට සදහන් වන්නේ පඩුවස් දෙව් රාජ්‍ය පාලන සමයේදිය. එහෙත් නැවත ඇති වු ආක්‍රමණයන්ගේත් ස්වභාවික විපත් වලත් හේතුවෙන් වී වගාව ක්‍රමයෙන් දුර්වල තත්ත්වයකට පත් විය. නොයකුත් යුධ හැටුම් හේතුවෙන් පරිහානියට පත් වී වගාව නැවත මහා පරාක්‍රමබාහු රජතුමාගේ පාලන සමය තුලදී දියුණු විය. චූල වංශයේ සඳහන් වන ආකාරයට විශාල වැව් 163ක් ද කුඩා වැව් 2376ක්ද ඇළවල් 3910ක් සහ වේලි 165ක් මේ සමයෙහි ඉදිකර ඇත. මහ පොළොවට වැටෙන එක ජල බිඳකුදු ප්‍රයෝජනයට නොගෙන මහ සයුරට නොයැවිය යුතුයැයි පැවසුමම පැරකුම් යුගයෙහි වී වගාවට දක්වන ලද සැලකිල්ල තේරුම් ගැනුමට සෑහේ. ප්‍රථම වතාවට සහල් අපනයන කළ බවට ඉතිහාසයේ සදහන් වේ. ක්‍රි.ව. 1505 දි ලන්දේසින් හා පෘතුගිසින් වෙරළබඩ යටත් කර ගැනිමෙන් පසුව වෙරළබඩ ප්‍රදේශවල වි ගොවිතැන අඩාල විය. ක්‍රි.ව. 1660-1679 කාලය තුල කන්ද උඩරට දෙවන රාජසිංහ රජුගේ සිරකරුවෙකු ලෙස ජිවත් වු රොබට් නොක්ස්ට අනුව ක්‍රි.ව. 1680 පමන වන විට ලක්දිව මඩ කුඹුරු සඳහා මාවී (මාස 7) හාතියල් (මාස3) හොඩරවාල (මාස 5) හීනැටි (මාස 4) සහ ඇල්පත්කල් (මාස 3) යන වී වර්ග දක්නට ලැබුණ අතර හේන් වගාව සඳහා ගොඩ වී වර්ග දක්නට ලැබුණි.(DCS)

හෝර්ටන් තැන්න ආශ්‍රතව කරන ලද පර්යේෂණයකින් හෙලිව ඇත්තේ ලංකාවේ වගාකරන ලද වී වර්ග මීට වසර 10000කට එහා පැත්තේ ද තිබූ බවයි.

වී ගොවිතැනට අවශ්‍ය භෞතික සාධක

[සංස්කරණය]
  1. ප්‍රමාණවත් ජල සැපයුම හෝ මි.මී. 1500ක් ඉක්මවන (අගල් 60) ඍතුමය වර්ෂාව.
  2. ඉහළ උෂ්ණත්වය. (සෙ.ග්‍රේ. 27ක් පමණ)
  3. ජලය රඳවා තැබිය හැකි හා ඉවත් කළ හැකි තැනිතලා බිම් හෝ හෙල්මලු බෑවුම්.
  4. මැටි සහිත දියලු පස. (හ්‍යුමස්, වැලි, මැටි හා රොන්මඩ අඩංගු වීම)

වී වගා ප්‍රදේශ

[සංස්කරණය]

ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක ම වී වගා කෙ‍රේ. නමුත් වැඩි ම බිම් ප්‍රමාණය කුරුණෑගල දිස්ත්‍රික්කයේත් අඩු ම බිම් ප්‍රමාණය නුවරඑළිය දිස්ත්‍රික්කයේත් දැකිය හැකි ය.

වගාකරන ආකාරය අනුව ප්‍රදේශ 2ට බෙදිය හැකි ය

[සංස්කරණය]

එනම්,

  1. වර්ෂා ජලයෙන් වී වගා කරන ප්‍රදේශ(තෙත් කලාපයේ වගා බිම් සියල්ල මීට අයත් වේ).
  2. ජල සම්පාදනයෙන් වී වගා කරන ප්‍රදේශ(වියළි කලාපයේ බොහෝ වගා බිම් මීට අයත් වේ).

ශ්‍රී ලංකාවේ වී ගොවිතැන ආශ්‍රිත ගැටලු

[සංස්කරණය]
  1. වී වගා කරන බිම් ප්‍රමාණය ක්‍රමයෙන් අඩු වීම - ජල හිඟයෙන් ,ජල අතිරික්ත මගින්,කෘමි උවදුරු මගින් වී වගාවන් විනාශ වී යාමත් මේ හේතුවෙන් වගා බිම් අත්හැර දැමීම දක්නට හැකි ය. තව ද රටේ ඇති සිවිල් යුද්ධය නිසා වී වගාවෙන් බලාපොරොත්තු වන ආදායම් නොලැබීම, යෙදවුම් මිල ඉහළ යාම ආදී කරුණු ද වගා බිම් ක්‍රමයෙන් අඩු වීමට හේතු වී තිබේ.
  2. වී වගා කරන බිම් ප්‍රමාණයට වඩා අස්වැන්න ලබා ගන්නා බිම් ප්‍රමාණය අඩු වීම. ජල හිගය, ජල ගැලීම් මගින් වගාවන් විනාශ වීම, කෘමි උවදුරු හා වල්පැල හේතුවෙන් වගාවන් විනාශ වී අස්වැන්න අවම වී යයි
  3. දේශගුණික බලපෑම් මගින් වගාවන් විනාශ වීම. ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ වගාවන් වර්ෂා ජලය මත පෝෂණය වේ. නමුත් නිරිත දිග මෝසම් මගින් එා සංවහන මගින් ලැබෙන වර්ෂාව නියමිත කාලයට නොලැබීම, අධික වර්ෂාවක් ලැබීමෙන් ජල අතිරික්තයක් ඇති වීම, එමෙන් ම වැඩෙන කාලයේ දී වැසි නොලැබීම ආදිය නිසා වගා විනාශ වේ. වියළි කලාපයේ මහ කන්නයේ වර්ෂාපතනයෙන් ද යල කන්නයේ ජල සම්පාදනයෙන් ද වී නගාව කරයි. එම ප්‍රදේශවල ද අවශ්‍ය කාලයේදී වැසි නොලැබීම ජලය සිඳීයාම, අනවශ්‍ය කාලයේදී අධික වැසි නිසා ගංගා, ඇල දොල හා වැව් පිටාර ගැලීම ආදිය නිසා වගා විනාශ වේ.
  4. පස ආශ්‍රිත ගැටළු - දීර්ඝ කාලයක් වගා කිරීම, පොහොර භාවිත‍ය යනාදිය හේතුවෙන් පස ආශ්‍රිත ගැටළු රාශියක් මතු වී තිබේ
  5. යෙදවුම් භාවිතය අඩුකම - බීජවල මිල ඉහළ යාම, පොහොර හා පළිබෝධ මිල ඉහළ යාම හේතුවෙන් යෙදවුම් භාවිතය අඩු වී ඇත.
  6. වී නිෂ්පාදන අලෙවි කිරීමේ දුෂ්කරතා - ශ්‍රී ලංකාවේ සහතික මිල ක්‍රමයක් පැවතියත් එය නිසි පරිදි ක්‍රියාත්මක නොවීමෙන් වී ගොවියා විශාල අර්බුදයකට මුහුණ දී සිටීග
  7. දියුණු යන්ත්‍රෝපකරණ භාවිතා නොකිරීම.
  8. ගතානුගතික වගා ක්‍රම අනුගමනය නිරීම.
  9. දියුණු වගා ක්‍රම භාවිතා නොකිරීම.
  10. සංවර්ධන යෝජනා ක්‍රම පරිහානියට යාම.
  11. සේනා දළඹුවන්ගේ ආක්‍රමණය - 2018 මාස්කන්නයේ දී බඩඉරිඟු වගාවට මෙම දළඹු විශේෂය ශ්‍රීඝ්‍රයෙන් ව්‍යාප්තවෙමින් දැඩි හානියක් කේෂ්ත්‍රයට සිදුවූයේය. මේ දළඹුවන් තම ප්‍රියතම බෝගය අහිමි වීමෙන් වී වගාවට ද ක්‍රමයෙන් ආගමනය වූයේය. වැදගත්ම කරුණ වන්නේ මොවුන් කිසිම රසායනික ද්‍රව්‍යන් වලට විනාශ වී නොයෑමයි. මේනිසා ගොවීන් ට ගැටලු රාශියකට මුහුණ පෑ අතර අමතර වැඩි වියදම් බොහෝ විය. මේ ගැටලු හමුවේ බැට කෑ ගොවීන්⁣ මහත් වූ වෙහෙසකින් තම අස්වනු නෙලනු ලැබුවෝය. එම අස්වනු කුණුකොල්ලයට ගත් අතර රජයෙන් ඒ වගා පරිහානියට වන්දි මුදල් ලබාදෙන බව ප්‍රකාශ කළද සියලු ගොවීන්ට ලැබී නොමැත. මෙයට විසඳුම් කඩිනමින් ගතයුතුව තිබෙන අතර වී ගොවිතැනද අනතුරට පත්වේ.විශේෂයෙන් මෙම දළඹුවන් මර්ධනය කිරීමට කුමන හෝ නාශකයක් හඳුන්වාදීම සුදුසු ය.

ශ්‍රී ලංකාවේ වී වගාව දියුණු කිරීමට ගෙන ඇති ක්‍රියා මාර්ග

[සංස්කරණය]
  1. ගොවි ජනපද ව්‍යාපාර ඇති කිරීම
  2. බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රම,
  3. කඩිනම් මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය.
  4. වැව් නවීකරණය කිරීම.
  5. දිස්ත්‍රික් ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන යෝජනා ක්‍රම.
  6. නව බීජ හඳුන්වා දීම.
  7. පොහොර සහනාධාර ලබා දීම.
  8. වී ගොවියාට ඉහළ මිළක් යටතේ රජය මගින් වී මිලදී ගැනීමට කටයුතු කිරීම.
  9. කෘෂිකාර්මික ව්‍යාප්ති සේවාවන් පුළුල් කිරීම.
  10. ගොවීන්ට ණය හා සහනාධාර ලබා දීම.
  11. වගා රක්‍ෂණ හඳුන්වා දීම.

මේ අඩවිත් බලන්න

[සංස්කරණය]

අඩවියෙන් බැහැර පිටු

[සංස්කරණය]