විද්‍යාව, වේදය සහ බටහිර විද්‍යාව

විකිපීඩියා වෙතින්

මෙම වචන භාවිතය පිලිබද සම්මුතියක් ඇතිකරගැනීමට සලකාබැලිය හැකි කරුණු ස්වල්පයක් මෙසේ ඉදිරිපත් කරමු.

වේද යුගය[සංස්කරණය]

බුද්ධ පූර්ව ඉන්දියාවේ පරම්පරා ගණනක දැනුම් ඒකාධිකාරය බමුණන් හෙවත් බ්‍රාහ්මණ වංශිකයන් අත පැවතිණ. ත්‍රිවේද ප්‍රාප්ත යනු වේදත්‍රයෙහි කෙළ පැමිණියවුන් හැදින්වුන නමකි. වේද (වෛදික) ග්‍රන්ථ බ්‍රහ්මත්වය සදහා උපදෙස් අඩංගු සාහිත්‍යන්ය. මේවායින් ආත්ම දෘෂ්ඨිය තහවුරු කෙරේ.

මාර්ටින් වික්‍රමසිංහ ශූරීන්ගේ 'දැනුම හා දැකුම' ග්‍රන්තයෙන් උපුටාගත් වේද උදෘත කීපයක්:

"ආසාව ඉක්මවූ පාපයෙන් හා බියෙන්ද තොරවූ ආත්මයාගේ ස්වරූපය මේය. තමාගේ ප්‍රියාව ස්ත්‍රියගේ ආලිංගනයෙහි දී පුරුෂයා පිටත හා ඇතුළත කිසිවක් නොදනියි. එමෙන්ම ප්‍රඥා ආත්මය (සියල්ල දන්නා ආත්මය) විසින් වැළද ගනු ලබන ඒ පුරුෂයා බාහිර ඇතුලත කිසිවක් නොදනියි. ආප්ත කාමය ඇති ඔහුගේ කාමය ආප්ත කාමයම වෙයි; එය ආත්මයාගේ නියම ස්වරූපය ය.(අනික් සියලු කාමයන් දුරු කළ) ඔහුගේ ඒ ආත්ම කාමය, කාමයෙන් හා ශෝකයෙන් තොර වූවක් වෙයි." [1]

"ගෞතමයෙනි, ස්ත්‍රිය හේම ගින්නය; මෙහි ලිංගය දරය; වෙතට හඩගානු ලැබීම දුමය. යෝනිය ගිනි දැල්ලය; ප්‍රවේශ කරනු ලැබීම අගුරුය; කාමාස්වාදයෙන් ලබන ප්‍රීතිය ගිනි පුලිගු ය. දෙවියෝ ඒ ගින්නට ශුක්‍ර ධාතුව පුදති; මේ උපකාරයෙන් ගර්භය හට ගනියි."[2]

"ඒයි, සැමියා බිරිදට ප්‍රිය වනුයේ සැමියා නිසා නොවේ. ආත්මයට ආසා කරන නිසා බිරිදට සැමියා ප්‍රිය වෙයි; බලව, බිරිද සැමියාට ප්‍රිය වනුයේ බිරිද නිසා නොවේ; ආත්මයට ආශා කරන සැමියාට බිරිද ප්‍රිය වෙයි." [3]

මේ යුගයේදී රාජ්‍යපාලනයට අවශ්‍ය සිව් සැට කළාවක් ද, එදිනෙදා ජීවිතයට ඒ ඒ ශිල්ප ශ්‍රේණින් සතුව කර්මාන්ත කුසලතා හා ශිල්ප ශාස්ත්‍ර ද පැවතින.

බුද්ධ යුගය[සංස්කරණය]

බුදුරජානන් වහන්සේගේ ස්වාධීන සොයාගැනීමක් වූ චතුරාර්‍ය්‍ය සත්‍ය දර්ශනය, ආත්ම දෘෂ්ඨිය කණ්ඩණය කොට නිර්වානයට මාර්ගය පෙන්වා දෙන්නකි. සසර පැවැත්මට මූළික හේතුව 'අවිද්‍යාව' ලෙස සුවිශේෂ අර්ථයක් ගන්නා පදයක් මගින් පෙන්වාදී එය ප්‍රහීන කිරීම සදහා ලෝභ, දෝෂ හා මෝහ යන අකුසල මුල් (කෙලෙස්) දුරු කිරීමට අරිඅටගිමග පෙන්වා දුන් සේක. එවිට ලැබෙන අවබෝධය "චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, විජ්ජා උදපාදි, ප්‍රඥා උදපාදි, ආලෝකෝ උදපාද" ආදිවශයෙන් උප පද රාශියකින් වර්ණනා කොට දක්වා තිබේ. මේ හැර පංච අභිඤ්ඥා ලාභීන් සතුව ත්‍රිවිද්‍යා හා උසස් ඥාණ විශේෂයන් ඇතැයි සැළකේ.

නව අරහාදී බුදුගුණ අතරින් එකක් වන 'විජ්ජාචරණ සම්පන්නෝ' යන්නෙන් කෙලෙසුන් නැසීමට හේතුවන විදර්‍ශනා ඥානයත් සම්මා සමාධිය අවසන් කොට ඇති මාර්ගයත් අදහස් වේ.දස අංගයෙන් යුත් රහතන් වහන්සේ සම්මා විමුක්තියත් ඥාන දර්‍ශනයත් ලබාඇති නමුත්, ලෞකික ඥාන වීශේෂ වන දැනුම් උගත්කම් (විද්‍යා දැනුම) එයට සෘජුවම අදාල වන්නේ නොවේ.

බුද්ධ දේශනා, බුද්ධ අවවාද ලෙස හදුන්වන අතර එය ධම්මවිනය ලෙසද, නවාංග ශාත්‍රෘ ශාසනය ලෙසද, සූත්‍ර විනය අභිධම්ම ලෙසද හදුන්වා දී ඇති මුත් විද්‍යාවක් ලෙස කෙසේවත්, කවමදාකවත් අතීතයේ දී හදුන්වාදී නැත.

ශාස්තෘ පර්යේසණ සූත්‍රයෙන් හා කාළාම සූත්‍රයෙන් විමර්ශනශීලි විචක්ෂණ භාවයේ අවශ්‍යතාව මිස, වර්ථමාන ව්‍යාවහාරයේ අන්දමින් විද්‍යාත්මක සම්පරීක්ෂණ තුලින් කෙරෙන පර්යේෂණ අදහස් නොකෙරිනි. තවද එහිදී යෙදෙන ක්‍රමවේදය වන්නේ අධ්‍යාත්මික ප්‍රත්‍යක්ෂකරණ යයි.

හෙළ භාවිතයන්[සංස්කරණය]

ශාස්ත්‍ර: ජොතිස්ශාස්ත්‍රය (නක්ශාස්ත්‍රය) ගණිතයා නැකැති, වෛද්‍යශාස්ත්‍රය -වෙදනා, ලෝහවැඩ හා ඉදිකිරීම් - ආචාරි ආදී ශාස්ත්‍ර හා කලාවන් ලෙස බාවිතයේ යෙදී තිබේ.

පුණරුදයුගය[සංස්කරණය]

යුරෝපයේ සිදුවූ ආගමික හා විද්‍යාත්මක පුණරුදය - ක්‍රි.ව. 17 වැනි සියවස දක්වා මෙකලදී රුධිර සංසරණය සොයාගැනීම, අන්වීක්ෂ හා දුරේක්ෂ නිපදවීම, පෘතුවි කේන්ද්‍රවාදය වෙනුවට සූර්‍ය්‍ය කේන්ද්‍ර වාදය හදුන්වාදීම, වස්තූන්ගේ චලිතය පිළිබද හැදෑරීම්, කළාවේ හා තාක්ෂනයේ දියුනුව ආරම්භ වූ බව පෙනේ. වර්තමාන ව්‍යවහාරයේ විද්‍යාව යන්නෙන් අදහස් කෙරෙන දැනුමේ ආරම්භය මෙ කළ සටහන් වේ.

යටත් විජිත යුගය[සංස්කරණය]

ඉංග්‍රීසි භාෂාවෙන් ලියැවී ඇති දැනුම සිංහල භාෂාවට පරිවර්‍තනය ඇරඹීම. මේ යුගයේ සිටි අචාර්ය්‍ය ඊ.ඩබ්ලිව්. අදිකාරම් මැතිතුමා සිංහලෙන් විද්‍යා අධ්‍යාපනය ලබාදීමේ පුරෝගාමියෙකි. මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ ග්‍රාමීය විද්‍යා ප්‍රවේශය, සත්ව පරිනාමනය ගැන ලියැවුන සත්ව සන්තතිය ආදී පොත් ඒ මගට රුකුලක් විය. පාසල්වල භාවිතය සදහාම ලිවූ විද්‍යා විනෝද කතා, සදාචාරය හා නිරෝගී සම්පත (එකල ස්වස්තාව හෝ සෞඛ්‍යය යන වදන් නිපදවා නොතිබුනි) ආදී පොත් දැක්විය හැක.

එකල තිබූ දැනුමට (විද්‍යාවට) වඩා අලුත් වූ දැනුමක් බැවින් ඉංග්‍රීසි 'සයන්ස්' යන්න නවීන විද්‍යාව, නූතන විද්‍යාව ලෙස භාවිතයට ගැනුණි. ක්‍රමයෙන් 'ෆිසික්ස්' - භෞතිකවිද්‍යා, 'කෙමෙස්ට්‍රි' -රසායනවිද්‍යා, 'බයොලොජි' - ජීවවිද්‍යා ආදීය පාසල් භාවිතයට ආ අතර 'ජෙනරල් සයන්ස්' යන්න සාමාන්‍ය විද්‍යාව ලෙස භාවිත විය. 'සයන්ටිස්ට්-විද්‍යාඥයා ලෙසද, 'සයන්ටිෆික්'- විද්‍යාත්මක ලෙසද වරනැගෙන්නට වීමෙන් සිංහල භාෂාව තුල ව්‍යවහාරයෙන්ම තහවුරුවී තිබේ.

වර්‍තමාන භාවිතය[සංස්කරණය]

17 වැනි සියවස් වලදී නවීන ලෙස සැලකූ විද්‍යාව අද 21 වැනි සියවස වන විට නිරන්තරව සිදුවන පර්යේෂණ මගින් ලැබෙන අලුත් දැනුමට අනුව, යල්පැනගිය ස්වභාවයක් දරයි. මේ වෙනස ප්‍රකටව දැකිය හැක්කේ විද්‍යාවේ සංකල්පීය මට්ටමේදීය. එනම් ගණිතමය ආකෘති මගින් පමණක් හැදෑරිය හැකි ඉතා සූක්ෂ්ම ක්ෂේත්‍රයන් හිය. එබැවින් විද්‍යාවේ දාර්ශනික ආකෘතීන් විවේචනයේ අවශ්‍යතාව අනුව, බටහිර-විද්‍යාව, පෙරදිග-විද්‍යාව,බෞද්ධ-විද්‍යාව වැනි යෙදීම් අවශ්‍ය වී තිබේ. මේ පිළිබද අවධානය වැඩිවත්ම මීටත් වඩා සවිස්තරවූ වදන් නිර්මාණය අනාගතයේදී අවශ්‍යවනු ඇත.

උදාහරණයක් වශයෙන් මහාචාර්ය්‍ය නලින් ද සිල්වා ශූරීන්ගේ විද්‍යා කතන්දර පොත සලකමු.

විසිදුණු ප්‍රකාශකයින් විසින් පලකළ එහි මුල් පිටු තුනෙහි පමනක් 'විද්‍යාව' යන්න විසි වතාවකට වඩා යොදා ඇත.

එහි එන ජේදයක් සළකා බලමු.

"විද්‍යාව - බටහිර වේවා, වෙනත් විද්‍යාවක් වේවා මරිසියක් නොවේ යැයි කලින් කීවෙමි. ඕනෑම විද්‍යාවක් යනු සංකල්ප, ප්‍රවාද ආදියෙහි එකතුවකි. මේවා එතරම් හාස්කම් ඇති දෑ නොවේ. අප සියලු දෙනාටම විවිධ සංකල්ප ඇත. පුටුව, මේසය, මල, අහස, සත්වයා, සිවුපාවා, ගොනා ආදී මේ සියල්ල සංකල්ප වෙයි. ඉලෙක්ට්‍රෝනය, පරමානුව, ශක්තිය, ප්‍රජනනය ආදියද සංකල්ප වෙයි. මේ සංකල්ප තවත් සංකල්ප මගින් තේරුම් කරදී ඇත. එහෙත් ඒ ඒ සංස්කෘති තුල මේ සංකල්ප විවිධ අරුත් ගෙන දෙයි. උදාහරණයක් වශයෙන් ශක්තිය යන්න බටහිර විද්‍යාව තුල යෙදෙන අර්ථයෙන් ම අපේ සංස්කෘතිය තුළ නො යෙදේ. බටහිර විද්‍යාවේ ශක්තිය යන්න භෞතික වූ ශක්ති සදහා පමණක් යෙදේ." [4]

ඉහත ජේදයෙන් 'සයන්ස්' යන සාමාන්‍ය ව්‍යවහාරය සදහා 'විද්‍යාව' යන්නද, විද්‍යාවේ සංකල්පීය හා දාර්ශනික කරුණු හැදෑරීමේදී අවශ්‍යතාව අනුව 'බටහිර විද්‍යාව' ආදී යෙදීම් භාවිතා කර ඇති බව ද මොනවට පැහැදිලිවේ. එබැවින් 'විද්‍යාව' යන වදන ඇති සෑම තැනක්ම 'බටහිර විද්‍යාව' හෝ 'නවීන විද්‍යාව' යන්නෙන් ආදේශ කිරීම, අවභාවිතයක් බව පෙනී යා යුතුය. තවද 'විද්‍යාව' යන වචනය ඇති 'භෞතික විද්‍යාව' වැනි අවස්ථා 'භෞතික වේදය' වැනි අපවදන් වලින් දැක්වීම පදනමකින් තොර අත්තනෝමතික වරදවා ගැනීමක් බව ද පෙනී යා යුතුය.

ඉහත පොතෙහිම 224 පිටුවෙහි ජේදයක් මෙසේය.

"මෙහි දී අප කළ යුත්තේ කුමක්ද? ක්වොන්ටම් භෞතිකයෙහි, ප්‍රීගොගීන් ගේ තාප ගතිකයෙහි, ඒ ආශ්‍රිත ජීව විද්‍යාවෙහි කළ හැකි අධ්‍යයන රාශියකි. එ මෙන් ම විශ්වවේදය ද දිගින් දිගටම ප්‍රසාරණය වන විශ්වයක් ගැන කියන මහා පිපුරුමෙන් ගලවාගෙන සංවට්ට කප්ප, විවට්ට කප්ප ආශ්‍රිතව කලක දී ප්‍රසාරණය වන කලකදී සංකෝචනය වන විශ්වයක් පිළිබද ආකෘතියක් නිර්මාණය කරගැනීමේ හැකියාවක් ද වෙයි. සාමාජීය විද්‍යාවන් හි අපේ චින්තනය මත පදනම්ව නිර්මාණය කළහැකි දැනුම් අපමණ ය. අපේ දේශපාලන විද්‍යාවක්, ආර්ථික විද්‍යාවක් ගොඩ නගාගැනීමට ඇති එකම බාධාව මේ විෂය හදාරණ අය ඒ සදහා යොමු නොවීම පමණය. වෙනත් කිසිම ක්ෂේත්‍රයකට වඩා බටහිර දැනුම ආධිපත්‍යය ඇත්තේ මේ ක්ෂේත්‍රවලය.

එහෙත් මෙහිදී නොකළ යුත්තක්ද වෙයි. අපේ දේශපාලන විද්‍යාව, ආර්ථික විද්‍යාව නැතහොත් සමාජ විද්‍යාව සූත්‍ර පිටකයෙහි දකින්නට උත්සාහ නොකළ යුතුය. අප කළ යුත්තේ සූත්‍ර පිටකය මත පදනම්ව නව දැනුමක් ගොඩ නැගීම ය. අපේ දේශපාලන විද්‍යාව චක්කවත්ති සීහනාද සූත්‍රයෙහි ඇතැයි කීම අප අපම රවටා ගැනීමකි."[5]

ඉහත ජේදයෙහි විශ්වවේදය යන්න යොදා ඇත්තේ වර්ථමාන තාරකාවිද්‍යාවට නව සංකල්පයක් හදුන්වාදීමටත්, එය විශේෂ කොට නම්කර ගැනීමටත් වැනි අවශ්‍යතාවක් උදෙසා බව, භාවිතය අනුව හා යෙදී ඇති සංදර්භය අනුව වටහා ගත හැකිය.


ඉහත කරුණු පිළිබදව වැඩිමනත් තොරතුරු සදහා පහත සදහන් ලිපි ද පරිශීලනය කරන්නේ නම් මැනවි.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. වෘහද් ආරණ්‍යක උපනිෂද් 4.3.21
  2. ජාන්ද්‍යොග්‍ය උපනිෂද් 4.8 1.2.
  3. වෘහදාරණ්‍යක උපනිෂද් 4.5.6.
  4. විද්‍යා කතන්දර, මහාචාර්ය්‍ය නලින් ද සිල්වා -පිට 3
  5. විද්‍යා කතන්දර, මහාචාර්ය්‍ය නලින් ද සිල්වා - පිට 223