Jump to content

ලෙක්ලාන්ච් කෝෂය

විකිපීඩියා වෙතින්
ලෙක්ලාන්ච් කෝෂය දැක්වෙන 1919 රූප සටහනක්.

ජෝර්ජස් ලෙක්ලාන්ච් විසින් 1866 දී ඔහුගේ බැටරිය, ලෙක්ලාන්ච් කෝෂය සොයාගෙන ඒ සඳහා පේටන්ට් බලපත්‍රයක් ලබා ගත්තේය. එහි අඩංගු වූයේ, ඇමෝනියම් ක්ලෝරයිඩ් වලින් සමන්විතවූ සන්නායක ද්‍රාවණයක් (විද්‍යුත් විච්ඡේද්‍යය) , කාබන් වලින් තැනුනු කැතෝඩයක් (ධන අග්‍රය), මැන්ගනීස් ඩයොක්සයිඩ් වලින් සමන්විතවූ විධ්‍රැවකයක්, සහ සින්ක් වලින් තැනුනු ඇනෝඩයක් (සෘණ අග්‍රය) යන දේවල්ය. මෙම කෝෂයේ රසායනික සංයුතිය පසුව සුදුසු පරිදී අනුවර්තනය කොට වියලි කෝෂ නිෂ්පාදනය සඳහා භාවිතා කරන ලදි.

සංස්ථානය

[සංස්කරණය]

කෝෂයේ මුල් ආකාරය තුල සවිවර බඳුනක් භාවිතා කෙරිණි. මෙම නිසා එයට සාපේක්ෂ වශයෙන් ඉහළ අගයක් සහිත අභ්‍යන්තර ප්‍රතිරෝධයක් ලබා දුන් අතර එය අඩුකිරීම සඳහා විවිධ වෙනස්කම් සිදු කරන ලදි. මේවා අතර "පිණ්ඩිත අච්චු කෝෂය" සහ "මලු කෝෂය" දැක්විය හැක.

සවිවර බඳුන් කෝෂය

[සංස්කරණය]

ලෙක්ලාන්ච්ගේ මුල් කෝෂයෙහිදී, කුඩු කල මැක්ගනීස් ඩයොක්සයිඩ් වලින් සමන්විතවූ විධ්‍රැවකය, සවිවර බඳුනක අසුරන ලද අතර, කාබන් කූරක් එහි බහා ලන ලද්දේ කැතෝඩය ලෙසින් ක්‍රියා කරන ලෙසිනි. සින්ක් කූරක් වූ ඇනෝඩය සහ සවිවර බඳුන, ඇමෝනියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් තුල ගිල්වන ලදි. ද්‍රව ද්‍රාවණය විද්‍යුත් විච්ඡේදකයක් ලෙසින් ක්‍රියා කල අතර, සවිවර බඳුන් තුලින් විනිවිද ගොස් කැතෝඩය හා සම්බන්ධතා ඇති කර ගති.

පිණ්ඩිත අච්චු කෝෂය

[සංස්කරණය]

1871 දී ලෙක්ලාන්ච් විසින් සවිවිර බඳුන අත්හැර දමමින්, එය වෙනුවට, කාබන් තහඩුවට රබර් පටි වලින් සම්බන්ධ කොට ගත් "පිණ්ඩිත අච්චු" යුගලයක් ආදේශ කලේය. මෙම අච්චු නිමැවුනේ මැන්ගනීස් ඩයොක්සයිඩ් හා බන්ධක කාරකයන් එකිනෙක හා මිශ්‍ර කොට එම මිශ්‍රණය අච්චු වලට ඔබා හැඩගැස්වීමෙනි.

මලු කෝෂය

[සංස්කරණය]

මෙම කෝෂයේදී සවිවිර බඳුන ආදේශනය කරමින් භාවිතා වුනේ කැන්වස් හෝ මලු දැවටුමකි. මෙයට අමතරව, සින්ක් කූර වෙනුවට සින්ක් සිලින්ඩරයක් ආදේශනය කෙරුනේ වඩාත් විශාල පෘෂ්ඨ වර්ගඵලයක් ලබා ගැනුම සඳහාය. ඉහත දෙකටම (සවිවර හා පිණ්ඩිත) වඩා අඩු අභ්‍යන්තර ප්‍රතිරෝධයක් ලබාගැනුමට මෙයට හැකි විය.

රසායන විද්‍යාව

[සංස්කරණය]

ලෙක්ලාන්ච් කෝෂයේ විද්‍යුතය නිපැයීමේ රසායන විද්‍යාත්මක ක්‍රියාවලිය ඇරඹෙන්නේ ඇනෝඩයෙහි පෘෂ්ඨයෙහි සින්ක් පරමාණු ඔක්සිකරණය වීමෙනි, එනම් තම ඉලෙක්ට්‍රෝන දෙකම අත්හරමින් ඒවා ධන-ආරෝපිත අයන බවට පත් වීමෙනි. ඒවා‍යේ ඉලෙක්ට්‍රෝන එහි පෘෂ්ඨය මත තිබීමට ඉඩ හරිමින් සින්ක් අයන ඇනෝඩය වෙතින් ඉවතට ඇදී යත්ම, කැතෝඩයට වඩා වැඩි ලෙසින් සෘණ ආරෝපිත වීමට ඇනෝඩය සමත් වෙයි. බාහිර විද්‍යුත් පරිපථයක් තුල කෝෂය සම්බන්ධ කල විට, සින්ක් ඇනෝඩය මත ඇති අතිරේක ඉලෙක්ට්‍රෝන පරිපථය හරහා ගලමින් කාබන් දණ්ඩ වෙත පැමිණෙන අතර, ඉලෙක්ට්‍රෝනයන්ගේ මෙම චලිතය නිසාවෙන් විද්‍යුත් ධාරාවක් ජනිත වෙයි.

දණ්ඩ වෙත ඉලෙක්ට්‍රෝනයන්ගේ පැමිණි මෙන් පසු, ඒවා මැන්ගනීස් ඩයොක්සයිඩ් සහ ජලය සමග සම්බන්ධ වන අතර, ඒවා එකිනෙක හා ප්‍රතික්‍රියා කරමින් මැන්ගනීස් ඔක්සයිඩ් හා සෘණ ආරෝපිත හයිඩ්‍රොක්සයිඩ් අයන නිමවයි. මෙයට අනුබද්ධව සිදුවන ද්වීතියික ප්‍රතික්‍රියාවකදී සෘණ හයිඩ්‍රොක්සයිඩ් අයන හා ඇමෝනියම් ක්ලෝරයිඩ්හී ධන ඇමෝනියම් අයන එකිනෙක හා ප්‍රතික්‍රියා කොට ඇමෝනියා අණු සහ ජලය තනයි.

Zn(s) + 2 MnO2(s) + 2 NH4Cl(aq) → ZnCl2 + Mn2O3(s) + 2 NH3(aq) + H2O

භාවිතය

[සංස්කරණය]

ලෙක්ලාන්ච් කෝෂය මගින් නිපැයෙන විද්‍යුත්ගාමක බලය (වි.ගා.බ.) සාමාන්‍යයෙන් වෝල්ට් 1.5 පමණ වන අතර සවිවර බඳුන භාවිතා කරන විට ප්‍රතිරෝධය ඕම් කිහිපයක් වෙයි. වරින්වර හෙවත් සවිරාම ධාරාවක් අවශ්‍යවූ හා බැටරියක් ඉතා අවම නඩත්තුවකට ලක්වන්නාවූ දුරරේඛණය, සංඥායැවුම[බහුරුත්හරණය අවශ්‍යයි], විදුලි සීනු හා මෙවැනි යෙදුම්හී මෙම කෝෂය මහත් භාවිතයකට ලක් විය.

ලෙක්ලාන්ච් බැටරිය (හෝ එය හැඳින්වූ අයුරින් තෙත් කෝෂය) නවීන වියලි කෝෂයෙහි හෙවත් සින්ක්-කාබන් බැටරියෙහි පූර්වගාමියා විය.

මෙය බලන්න

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
  • ඩබ්. ඊ. අයිර්ටන් සහ ටී. මාතර් විසින් රචිත ප්‍රැක්ටිකල් ඉලෙක්ට්‍රිසිටි, ප්‍රකාශනය ලන්ඩනයේ, කැසල් සහ සමාගම, 1911, පිටු 188-193
"https://si.wikipedia.org/w/index.php?title=ලෙක්ලාන්ච්_කෝෂය&oldid=354751" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි