ලිංගික අතවරය

විකිපීඩියා වෙතින්
පිරිමියකු කාන්තාවක ලිංගික අතවරයකට ලක්වන පරිද්දෙන් ඇගේ කලවය මත සිය අත තබාගෙන සිටින ආකාරය නිරූපණය කරමින් ගත් ඡායාරූපයක්

ලිංගික අතවරය (sexual harassment) යනු ලක්වන පුද්ගලයා චිත්ත පීඩාවට හෝ අපහසුවට පත්වන ආකාරයේ හෝ ඔහු හෝ ඇය විසින් අනවශ්‍ය, නුසුදුසු, අනුමත කළ නො හැකි ලෙස සලකනු ලබන ආකාරයේ ලිංගිකමය ස්වරූපයක් ගන්නා හැසිරීම් වේ. ලෝකයේ රටවල් රැසක ම නෛතික ලේඛනවල සහ ජාත්‍යයන්තර ලියවිලි වල මෙය නිර්වචනය කර ඇත්තේ අනුමැතිය නොලැබූ ලිංගික ප්‍රයත්නයක් (unwanted sexual advance) ලෙස ය. නූතන නීති පද්ධතියක් පවතින සෑම රටක ම පාහේ මෙය අපරාධ වරදක් වන අතර සේවාස්ථාන දී මෙන් ම පොදු මහජන අවකාශයන් තුළ දී ද සිදුවන මෙවැනි ක්‍රියා කාන්තාවන්ට සුරක්ෂිත සහ ගෞරවණීය වෘත්තීය සහ සමාජ පරිසරයක් ඇතිකිරීමට දැඩි බාධාවක් වී තිබේ. මෑතක දී ඇරඹුණු මී ටූ (MeToo) ව්‍යාපාරය විසින් මෙය බරපතළ ලෙස ගැනීමට දැවැන්ත මැදිහත්වීමක් කරන ලදී. ශ්‍රී ලංකාවේ ද දණ්ඩ නීති සංග්‍රහයට කරන ලද 1995 අංක 22 දරණ සංශෝධනයෙන් මෙය අපරාධ වරදක් කර ඇති අතර දණ්ඩ නීති සංග්‍රහයේ 345 වන වගන්තිය මේ පිළිබඳ ව නීති තත්ත්වය ආවරණය කරයි.

ස්වරූපය සහ ඇතුළත් වන ක්‍රියා[සංස්කරණය]

ලිංගික අතවරයක් ශාරීරික ව, වාචික ව මෙන් ම අවාචික ඉඟි සහ අභිනයන් (gestures) ආදියෙන් වුව ද සිදුවිය හැකි ය. බොහෝ විට සිදුවන ලිංගික අතවර ආකාර වන්නේ අනිසි ස්පර්ශයන් සහ කිසියම් වෘත්තීය හෝ වෙන යම් වරප්‍රසාදයක් වෙනුවෙන් ලිංගිකමය වාසි ඉල්ලා සිටීමත් ය. නමුත් ලිංගික අතවරයක් වීමට යමක් මෙවැනි බරපතළ ආකාරයකින් ම සිදුවීම අනිවාර්ය නොවන අතර ව්‍යංග්‍ය හැසිරීමක්, ලිංගිකමය විහිලු කිරීමක්, කෙනකුගේ ලිංගිකත්වය ගැන කටකතා පැතිරවීම, අනිසි බැල්ම සහ අනිසි අවධානය දැක්වීම, ශරීරය පිළිබඳ ලිංගිකමය ප්‍රශංසාවක්, ලිංගිකමය අවධානය දැක්වීමේ අරමුණින් කරන විවිධ ශබ්ද නැගීම්, මුහුණින් දක්වන ඉඟි බිඟි වැනි ක්‍රියාවකින් වුව ද ලිංගික අතවරයක් සිදු විය හැකි ය.[1] එමෙන් ම ස්පර්ශයක් ලිංගික අතවරයක් වීමට එය ලිංගික ප්‍රදේශ ස්පර්ශ කිරීමක් වීම ද අනිවාර්ය නො වේ. නිදසුන් ලෙස සේවාස්ථානයක යම් ආයතන ප්‍රධානියකු සේවිකාවකගේ උරහිස අතගෑම හෝ තට්ටු කිරීම වැනි ක්‍රියාවක් දැක්විය හැකි ය. එමෙන් ම කිසියම් ක්‍රියාවක් ලිංගික අතවරයක් වීමට එය නැවත නැවත සිදුවිය යුතු ම නැති අතර එක්වරක් සිදුවීම වුව සෑහේ. විශේෂයෙන් ම එය කිසියම් වෘත්තීය උසස්වීමක් වෙනුවෙන් ලිංගික වාසියක් ඉල්ලීමක් වැනි බරපතළ ක්‍රියාවක් වන විට හුදකලා අවස්ථාවක් වුව ප්‍රමාණවත් වේ.[2][3]

ලිංගික අතවරයක් දැක්වෙන සිතුවමක්

එයට ලක්වන පුද්ගලයා එය අතවරයක් ලෙස වටහා ගන්නේ නම් සහ විශේෂයෙන් ම එය නැවත නැවත සිදුවූයේ නම් එය ලිංගික අතවරයක් වීමට පුලුවන.[1] කිසියම් හැසිරීමක් අදහස් නොකළ හෝ සිතාමතා නොකළ ක්‍රියාවක් වන විට පවා එය ලිංගික අතවරයක් වීමට හැකි අතර[1] ලක්වන පුද්ගලයා එයට විරුද්ධත්වය ප්‍රකාශ කිරීම ද හැමවිට ම අනිවාර්ය නො වේ. මක්නිසාද යත් බොහෝ විට ලිංගික අතවරයන් සිදුවන්නේ කිසියම් බලයක් දරන පුද්ගලයන් අතින් වන බැවින් සහ එවැනි අවස්ථාවල දී බොහෝ විට එයට ලක්වන අය රැකියා අහිමිවීම වැනි තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවෙතැයි යන බිය හේතුවෙන් සිය විරුද්ධත්වය ප්‍රකාශ කිරීමට බිය විය හැකි බැවිනි. ලිංගභේදයකින් තොර ව ගැහැනු පිරිමි දෙපිරිස ම ලිංගික අතවරයට ලක්විය හැකි ය.[1] කෙසේ නමුත් ලිංගික අතවරයට ලක්වන අති බහුතරය කාන්තාවන් වන අතර බොහෝ අවස්ථාවල දී අතවරය සිදු කළ අය පුරුෂයකු වීම දැකිය හැකි ය.[3]

කිසියම් සිදුවීමක් ලිංගික අතවරයක් ද යන්න එම සිදුවීම ආශ්‍රිත වටපිටාව අනුව සහ සෙසු සිද්ධිමය කරුණු අනුව තීරණය වන්නක් වන අතර අතවරය යන්න පුද්ගලබද්ධ කරුණක් බැවින් කිසියම් හැසිරීමක් ලිංගික අතවරයක් ද යන්න නිශ්චය කිරීමට දුෂ්කර කරුණක් ද වී තිබේ. නිදසුනක් ලෙස කිසියම් කාන්තාවක් යම් ලිංගික ස්වභාවයක් ගන්නා වාචික විහිලුවක් වින්දනාත්මක ලෙස සැලකිය හැකි අතර තවත් කාන්තාවකට එය අනුමත කළ නො හැකි ක්‍රියාවක් විය හැකි ය. මෙවැනි අවස්ථාවක ලක්වන පුද්ගලයා අපහසුවට පත් විණි නම් එය ලිංගික අතවරයක් වේ.[2]

ශ්‍රී ලංකාව තුළ[සංස්කරණය]

නීති තත්ත්වය[සංස්කරණය]

ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ 345 වගන්තියට අනුව "අඩන්තේට්ටම් කිරීමෙන් හෝ සාපරාධී බලහත්කාරය පෑමෙන් යම් තැනැත්තෙකුට ලිංගික අතවර කරන හෝ වචනයෙන් හෝ ක්‍රියාවෙන් යම් තැනැත්තෙකුට ලිංගික හිරිහැරයක් හෝ අතවරයක් සිදු කරන කවර හෝ තැනැත්තෙකු" ලිංගික අතවර කිරීමේ වරද සිදුකරන අතර අවුරුදු පහක් දක්වා විය හැකි සිරදඬුවමක්, දඩයක් හෝ ඒ දෙකින් ම දඬුවම් කළ හැකි ය. එමෙන් ම හානියට පත් පුද්ගලයා වෙනුවෙන් වන්දි මුදලක් ගෙවන ලෙස නියෝග කිරීමට ද අධිකරණයට බලය තිබේ. දණ්ඩ නීති සංග්‍රහයෙහි 345 වගන්තියේ පැහැදිලි කිරීම 1ට අනුව "වැඩ කරන ස්ථානයක බලය දරන තැනැත්තෙකු විසින් වැඩ කරන ස්ථානයක දී හෝ වෙනත් යම් ස්ථානයක දී වචනයෙන් හෝ ක්‍රියාවෙන් කරනු ලබන අනනුඥාත ලිංගික ප්‍රයත්නවලින් ලිංගික අතවර කිරීමේ වරද සංයුක්ත" වන බව සඳහන් වේ. එමෙන් ම එකී වගන්තියේ ම පැහැදිලි කිරීම 2 ට අනුව ලිංගික අතවරය යන්නට දණ්ඩ නීති සංග්‍රහයෙහි 363 වගන්තිය යටතේ ගත්විට අඩන්තේට්ටම් කිරීමක් වන එහෙත් ස්ත්‍රීදූෂණයක් නොවන යම් ක්‍රියාවක් ඇතුළත් විය හැකි ය. 1995 අංක 22 දරණ සංශෝධනයෙන් මෙම ප්‍රතිපාදන ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයට හඳුන්වා දෙන ලදී. [4]

සංඛ්‍යා දත්ත[සංස්කරණය]

මෙරට පෞද්ගලික අංශයේ වෘත්තිකයන් 320ක් යොදාගනිමින් 2005 වසරේ දී කරන ලද අධ්‍යයනයකට අනුව 62.3% ක ප්‍රමාණයක් සේවාස්ථානවල දී ලිංගික අතවරයට ලක්වන බව හෙළි විය. [5] එමෙන් ම එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) විසින් 2015 වසරේ දී දිවයින පුරා වයස අවුරුදු 15-35 අතර කාන්තාවන් 2500ක් යොදාගනිමින් කරන ලද සමීක්ෂණයකට අනුව පොදු ප්‍රවාහන බස්රථ හා දුම්රිය තුළ කාන්තාවන්ගෙන් 90%ක් ජීවිතයේ කවර අවස්ථාවක හෝ ලිංගික අතවරයට ලක් වී ඇති බව හෙළි වී තිබේ. සිතාමතා ශරීරය ස්පර්ශ කිරීම , අනවශ්‍ය පරිදි ළංවීම, අනවශ්‍ය ලෙස බලා සිටීම ආදිය බහුල ව මුහුණදෙන අත්දැකීම් ලෙස වාර්තා කර තිබුණි.[6][7]

ආශ්‍රිත නාමාවලිය[සංස්කරණය]

  1. 1.0 1.1 1.2 1.3 සේවාස්ථානවල දී ලිංගික අතවර සිදුවීම වැළැක්වීම සහ ආමන්ත්‍රණය කිරීම සඳහා චර්යා ධර්ම පද්ධතිය සහ මාර්ගෝපදේශ (PDF). ජාත්‍යන්තර කම්කරු සංවිධානය සහ ලංකා හාම්පුතුන්ගේ සම්මේලනය. 2013.
  2. 2.0 2.1 Adikaram, Arosha S. (2011). Dealing with Sexual Harassment in the Workplace: A Guide to Employers and Employees. Pannipitiya, Sri Lanka: Stamford Lake. p. 16. ISBN 978-955-658-273-4.
  3. 3.0 3.1 "What is sexual harassment?". eige.europa.eu. European Institute for Gender Equality. 2023. සම්ප්‍රවේශය 25 November 2023.
  4. "1995 අංක 22 දරන දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) පනත". වගන්තිය 5, පනත of 1995. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව.
  5. Adikaram, Arosha, S. (2005). "Is sexual harassment a problem at Sri Lankan workplaces?". Friedrich Ebert Stiftung. 65.{{cite journal}}: CS1 maint: multiple names: authors list (link)
  6. Does She Travel Safe? : Report on Sexual Harassment in Public Transportation in Sri Lanka (PDF). UNFPA Sri Lanka. December 2018.
  7. "පොදු ප්‍රවාහන බස්රථ හා දුම්රියවල ලිංගික හිංසනය" (PDF). ජනගහණ සංකථන : ප්‍රතිපත්තිමය කාරණා - 04 කලාපය. එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදල. මාර්තු 2017. සම්ප්‍රවේශය 7 දෙසැම්බර් 2023.

මේවා ද බලන්න[සංස්කරණය]

අඩවියෙන් බැහැර පිටු[සංස්කරණය]

විකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත:
"https://si.wikipedia.org/w/index.php?title=ලිංගික_අතවරය&oldid=659048" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි