Jump to content

ලංකාවේ වාරි කර්මාන්තය

විකිපීඩියා වෙතින්

පුරාතන ශ්‍රී ලංකාවේ වාරිමාර්ග කටයුතු, ක්‍රි.පූ. 300 පමණ සිට පණ්ඩුකාභය රජුගේ පාලන සමයේදී සහ තවත් වසර දහස් ගණනක් අඛණ්ඩව සංවර්ධනය වෙමින් පැවති, පැරණි ලෝකයේ වඩාත් සංකීර්ණ වාරි පද්ධතියකි. පොළව යටින් ඇළ මාර්ග ඉදිකිරීමට අමතරව ජලය ගබඩා කිරීම සඳහා සම්පූර්ණයෙන්ම කෘත්‍රිම ජලාශ පළමුව ඉදිකළේ සිංහලයන්ය .

පණ්ඩුකාභය රජතුමා අනුරාධගාමයෙහි අගනගරයට අවශ්‍ය ජල පහසුකම් ඇතිකරනු වස් ජය වාපි, අභයවාපි සහ ගාමිණි වාපි නමින් වැව් තුනක් ද නිර්මාණය කල බව සදහන්වේ. ඔහු විසින් සාදන ලද අඩි 3900 ක් දිගැති වේල්ලකින් වටවි ඇති අභයවාපී වැව අක්කර අඩි 1900ක ක ජල කඳක් රදවා තැබිය හැක. තිසා වැවෙන්ද මේ වැවට ජලය ලැබේ.

ප්‍රාග් බෞද්ධ සමයේදි වාරි කර්මාන්තය මත සකස්වු ශිෂ්ටාචාරය අංග සම්පුර්ණත්වයට පත්වන්නේ (ක්‍රි.පූ. 3 වන සියවසේදි) රජ කල දේවානම්පියතිස්ස රජුගේ රාජ්‍ය කාලයේදීය. {ක්‍රි.පූ. 3 වන සියවසේදි} දේවානම් පියතිස්ස රජතුමා විසින් තනන ලද තිසා වැව 1889 දි ප්‍රතිසංස්කරණය කොට තිබේ. තිසා වැවේ දැනට දක්නට ලැඛෙන වේල්ලේ දිග සැතපුම් 1 3/4 කි. වැව පිරුණු විට අක්කර අඩි [2900 ක ජලය රදාපවති. අක්කර 2000 ක පමණ ප්‍රමාණයක වී වගාව සඳහා මේ වැවෙන් ජලය ඛෙදා හරියි.

අනුරාධපුර නගරයේ පිහිටා ඇති ප්‍රධාන වැවක් වනුයේ නුවර වැවයි. මෙහි නිර්මාණයද ක්‍රි.පු. යුගය දක්වා දිවේ. මෙය පළමුවන ගජබාහු රජුගේ (ක්‍රි.ව. 1114-1136) කාලයේදි තනවන ලදැයි සැලකේ. මේ වැව නකරවඩි, පත්තපාසානවාපී නමින්ද හඳුන්වනු ලැබේ.

ක්‍රි.පු. 3 වන සියවසේදි මහා නාග උප රාජ වරයෙක් කරච්ච නම් (වලස් වැව) කුඩා වැවක් තැනවීම ගැන මහා වංශයේ සඳහන් වේ. දුටු ගැමුණු රජුගේ යෝධයෙක් වශයෙන් සැලකෙන ලභිය වසභ වැව් තැනිම ගැන ප්‍රසිද්ධියක් ඉසිලූ කෙනෙකි.

වාරි ශිෂ්ටාචාරය පිළිබඳව ඛෙහෙවින් වැදගත් යුගය වශයෙන් දැක්විය හැක්කේ ක්‍රි.පු. 2 වන සියවසේදි රජ කල දුටු ගැමුණු රජුගේ අවධියයි. ක්‍රි.පු. 3 වන සියවසේ සිට දිවයින පුරා පැතිරි පිහිටා ඇති ලෙන්වල කටාරම් යටින් කොටා ඇති බ්‍රාග්මී ලිපිවල වැව් ගැනත් ඇල මාර්ග ගැනත් සදහන් වීමෙන් මේ බව පැහැදිලි වේ.

වැව් තැනිම ගැන ප්‍රවීනත්වයක් දැරූ පුද්ගලයෙක් ගැන දඹුල්ලෙන් හමුවු ලිපියකින් අනාවරණය වේ. පරණවිතාන සදහන් කරන අන්දමට එහි සදහන් වන ධනුද්ධර සුමනගේ සොහොයුරු අණනිකතිස නම් තැනැත්තා වාරිමාර්ග ඉංජිනේරුවෙක් වශයෙන් සදහන් කොට තිබේ.

ක්‍රි.පූ.2 වන සියවසට අයත් යැයි සැලකෙන සෙල්ලිපි දෙකක වාරිමාර්ග ගැන සදහන්වේ. ඉන් පළමු වැන්න දුටුගැමුණු රජුගේ කාලයට (ක්‍රි.පු. 161-137) අයත් යැයි සැලකෙන පුත්තලම් දිස්ත්‍රික්කයේ නෝනිගලින් හමුවු ලිපියකි. එහි පරමානන්ද විහාරයට පුජාකල වැවක් ගැන දැක්වේ. දෙවැන්න ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ නාච්චේරිමලෙයි නම් ස්ථානයකින් හමුවු ලිපියක අඩගමිය නම් ස්ථානයෙහි පිහිටි වාරිමාර්ගයක් ගැන සදහන්වේ.

සද්ධාතිස්ස රජතුමා (ක්‍රි.පු. 137-119) වැව් 12ක් ඉදිකල බව පුජාවලියේ සදහන් වන අතර රාජාවලිය වැව් 18ක් තනවන ලද බව දැක්වේ. පදී වැව (පදවිය වැව) සද්ධාතිස්ස රජු විසින් කරවන ලදැයි පූජාවලිය පෙන්වයි.

වසභ රජතුමා විසින් වැව් 11ක් තනවන ලදැයි වංශ කතාවල සදහන් වන අතර වෙනත් කෘති වල වැව් 12ක් තනවන ලදැයි කියෙ‍වේ. වැව් වලට අමතරව ඇල මාර්ග 12ක් තනා තිඛෙන බව පවසතත් ඉන් නම් කොට ඇත්තේ ඇළහැර යෝධ ඇල පමණි.

පළමු වන ජෙට්ඨතිස්ස රජු ( ක්‍රි.ව. 266-276) විසින් හෙළුග්ගමු, මහටඹු, දෙමැටැ, පිසත්තා, වඩුගමු හා බමුණුගමු වැව් හය කරවන ලදි.

මහසෙන් රජතුමා (ක්‍රි.ව. 274-304) විශාල පරිමාණයේ වැව් තැනිමේ පුරෝගාමියා වශයෙන් සැලකිය හැකිය. ඔහු විසින් තනවන ලදැයි දැක්වෙන වැව් 16ක් ගැනද මහ විශාල ඇළ මාර්ගයක් ගැනද මහාවංශයේ සඳහන්වේ. ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තයේ නව යුගයක් උදා කෙරෙන වාරි ව්‍යාපාරයක් වශයෙන් ඇළහැර-මින්නේරිය, කවුඩුල්ල වාරි ව්‍යාපෘතිය හැදින්විය හැක.

මහසෙන් රජු මෙන්ම ධාතුසේන රජුද කලා වැව නමින් තැනු විශාල වැව නිසා වාරිමාර්ග ඉතිහාසයේ අද්විතීය ස්ථානයක් ලබා ගෙන ඇත. කලා වැව වැව් දෙකක් සම්බන්ද කොට නිර්මාණය කල විශාල වැව් සංකීර්ණයකි. මෙය කලා වැවත් බළලූ වැවත් එකට සම්බන්ධ කොට තනන ලද බව පුජාවලියේ සදහන්වේ. කලා වැවේ සිට අනුරාධපුරයේ තිසා වැව දක්වා ජලය ගෙනගිය සැතපුම් 54ක් දිගැති ජය ගඟ නැමැති මහා විශාල ඇළ මාර්ගය තනවන්නට ඇත්තේද මේ යුගයේදිම යැයි සිතාගත හැකිය.

දෙවන මුගලන් රජු (ක්‍රි.ව. 531-551) මල්වතු ඔය හරහා වානක් බැඳ ජලය ලබා ගෙන පත්තපාෂාණ වාපි, ධන වාපි හා ගරිතර වාපි යනුවෙන් වැව් තුනක් නිර්මාණය කළ බව මහා වංශයේ සඳහන්වේ. පත්තපාෂාණ වාපිය ශිලා ලේඛන මගින් අනුරාධපුරයට සැතපුම් 7ක් නිරිත දිගින් පිහිටි නාච්චිදූව වැව වශයෙන් හඳුනාගෙන ඇත. මෙහි වේල්ල සැතපුමකට මදක් වැඩි ප්‍රමාණයක් දික්වූ අතර උස අඩි 35කි. අක්කර 4408ක භූමි භාගයක පැතිර ඇති වැවේ ජල ධාරිතාව අක්කර අඩි 45148ක් වන අතර අක්කර 4200ක වපසරියකට ජල පහසුකම් ලබා දෙයි.

ක්‍රි.ව. 6වන සියවසේ විසු පළමු වන අග්ගබෝධී රජතුමා (ක්‍රි.ව. 571-604) වාරි කර්මාන්තයට තවත් උසස් සේවාවක් කළ නරපතියෙකි. මහා වංශය සදහන් කරන අන්දමට මෙතුමා දක්ෂිණ දේශයෙහි සිරිමඩ්ඪමාතක වාපි වැවද, කුරුන්ද වාපි, මහින්දම වාපි යන වැව් හා මණිමේඛලා අමුණ තැනවු බව සඳහන්වේ. මේ හැර පුජාවලියට හා රාජාවලියට අනුව කුරුඳු වැව යනුවෙන් වැවක්ද තනවා ඇත.

දෙවෙනි අග්ගබෝධි රජතුමා (ක්‍රි.ව. 604-614) විසින් තනවන ලද වැව් වල නාමලේඛනයක් මහා වංශයේ සහ පුජාවලියේ දැක්වේ. ගංඟානම, වලාහස්ස, තිරිතම යන වැව් වල නම් මහා වංශයේ සඳහන් වන අතර පුජාවලියේ ගංඟාතලා, සිරවලස් කැටිය, ගිරිතලා, හෝවටු, නෙරළු, මාටොම්බු, එඩේරගල, කළුන්තරු, මහවිදලූ, කැන්ගමු, මා දෑත හා කලමි යනුවෙන් වැව් 12ක් සඳහන්වේ.

පළමුවන විජයබාහු රජතුමා විසින් අලූතෙන් තනවන ලද්දේ එක වැවක් පමනි. එනම් ඌව පළාතේ ගිනිකොන දිගින් පිහිටි දැනට ජරාපත්වී තිඛෙන බුදුගුණ වැවයි.

මහා පරාක්‍රමබාහු රජතුමා (ක්‍රි.ව. 1153-1186) මෙතුමා විසින් කරවන ලද ඓශ්චර්යමත් වාරිමාර්ග සංකීර්ණය වුයේ පරාක්‍රම සමුද්‍රයයි. මේ වාරිමාර්ග සංකීර්ණය තනනු ලැබුවේ කර ගඟ හරහා අමුණක් බැද ආකාස ගංඟා නම් ඇළ මාර්ගය ඔස්සේ ජලය ඒකරාශි කරවීමටයි. පරාක්‍රම සමුද්‍රය නිර්මාණයවී තිඛෙන්නේ තෝපා වැව, දුඹුටු වැව හා එරමුදු වැව යන වැව් තුනත් පරාක්‍රම සමුද්‍රයත් එකට යාකිරිමෙනි. වැව් බැම්මේ දිග 12.38 ක් වන අතර වැව් කණ්ඩියේ උපරිම උස 9.45 කි. ජලාශය වැසි ඇති බිම් ප්‍රමාණය හෙක්ටයාර් 2539.50 කි. ජල ධාරිතාව වැව පිරිගිය විට අක්කර අඩි 109000 වන අතර වගාකල හැකි බිම් ප්‍රමාණය අක්කර 19632 කි. චූල වංශයට අනුව පරාක්‍රම සමුද්‍රයට සොරොව් 7ක්ද ඇල මාර්ගයන් 11ක්ද තිබු බව දැක්වේ.

පළමුවන මහාපරාක්‍රමබාහු රජු පොළොන්නරුවේ රජ වීමෙන් අනතුරුව අලූතින් තනවන ලද හෝ ප්‍රකෘතිමත් කරන ලද විශාල වැව් 163 ක්ද කුඩා වැව් 2375 ක්ද අමුණු 165 ක්ද ඇළ මාර්ග 3910 ක්ද ඉදි කර, බිසෝ කොටු 341 ක්ද කැඩි බිඳි ගිය ඇළෙවිලි 1753 ක්ද කකරවන ලදි. අලූතෙන් තනවන ලද ඇළමාර්ග 29 ක් ගැන චූල වංශයේ සඳහන් වුවත් පුජාවලියේ අචිරවති නම් ඇළමාර්ගය ගැන පමණක් සඳහන් වේ.

ඇළ

වාරි ජල කළමනාකරණය සම්බන්ධ නිර්වචන

[සංස්කරණය]

ලෝකයේ ඉතාම පැරණි ශාස්ත්‍රයක් ලෙස ජල සම්පාදනය හැදින්විය හැකිය. එය ක්‍රමයෙන් නවීන විද්‍යාවක් ලෙස දියුණු වී ඇත. නුතනයේදි ජල කළමනාකරණය යන්න විවිධ ආකාරයෙන් අර්ථකතනය කර ඇත. එම අර්ථකතන වලින් කිහිපයක් පහත දැක්වේ.

ඉංජිනේරු විද්‍යාවේදි

[සංස්කරණය]

"ජල කළමනාකරණය යනු ජලය නිකුත් කිරිම,ගබඩා කිරිම හා නිර්මිත වාරි මාර්ග ඔස්සේ ජලය ඛෙදා හැරිමයි."

මිනින්දෝරු විද්‍යාත්මක අධ්‍යන වලදි

[සංස්කරණය]

"ජලය ගලා යාමට අවශ්‍ය බිම් ප්‍රමාණය සංඛ්‍යාත්මක ලෙස තක්සේරු කර මතුපිට ජලය ගලා යාමට සැලසුම් නිර්මාණය කිරිම".

කෘෂිකාර්මික විද්‍යාවේදි

[සංස්කරණය]

'අතීතයේ පවති ගම් වැව් කිහිපයක් ඇළ මාර්ග ඔස්සේ සම්බන්ද කිරීම වැව් ප්‍රපතනය නොහොත් එල්ලංගාව නමින් හදින්වේ.මෙහි ප්‍රදාන අරමුන වී ඇත්තේ ජල සං‍රක්ෂණයයි. දෙවැන්න වනුයේ එල්ලංගාව සදහා යොදා ගත් ඇළ මාර්ග දෙපස තෙතමනය රදවා ඇල මාර්ග දෙපසද කෘශිකර්මාන්තය ආරම්භ කිරීමයි.

"පැළැටි වර්ධනයට අවශ්‍ය තෙතමනය ලබා දීම ජල කළමනාකරණයයි".

  • ආචාර්ය රොබට් චෙම්බර්ස් විසින් ජල කළමනාකරණය යන්න අර්ථ දක්වා ඇත්තේ "ජලය ඛෙදා හැරිම සහ ආරම්භක ස්ථානයේ සිට කෙත් ඇලවල් දක්වා ගැටිමකින් තොරව ජලය සපයාදීම".
  • අයි.වී. විජේසිංහ විසින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජල කළමනාකරණ කටයුතු යනුවෙන් පලකරන ලද පර්යේෂණ වාර්ථාවේ සදහන් පරිදි ජල කළමනාකරණය යනු "ජලය නිසි අයුරින් ප්‍රයෝජනයට ගෙන අපතේ නොයවා උපරිම බිම් ප්‍රමාණයක් වගා කිරීම සදහා ප්‍රයෝජන ගැනිමට කටයුතු සැලැස්ස වීම".
  • "වාරි ජල කළමනාකරණය යනු අධික ජල භාවිතය හා ජල වහනයේදි සිදුවන අධික ජල නාස්තිය වලකා ජල ඒකකයකින් උපරිම අස්වැන්නක් ලැබිය හැකි පරිදි අරපරෙස්සම ප්‍රධාන කොට ගත් ක්‍රමානුකූල ජල භාවිතයයි".

(ආර්ථීක විමසුම 1994 ජනවාරි/පෙබරවාරි)

ලංකාවේ ඓතිහාසික වාරි තාක්ෂණය හා ජල කළමනාකරණය

[සංස්කරණය]

ශ්‍රී ලංකා‍වේ වාරි ඉතිහාසය ක්‍රි.පූ. 6 වෙනි සියවස තරම් ඈතට දිවයයි. ක්‍රි.පූ. 6 වෙනි සියවසේදි උතුරු ඉන්දියාවෙන් පැමිණි ආර්ය ජන කොටස් ලංකා‍‍වෙ ජනාවාසකරණය කළ බව මහා වංශ තොරතුරු වලින් අනාවරණය‍‍වේ. විජය රජ සමඟ පැමිණි පිරිස් විසින් දිවයිනේ ගංඟා ඇසුරු කරගෙන ග්‍රාමයන් නිර්මාණය කරන ලදි. මේ ආකාරයට ශ්‍රී ලංකාවේ ජලය ඇසුරු කරගෙන ජලාශ්‍රිත ශිෂ්ටාචාරය ගොඩ නැගීම ආරම්භ විය.

ශ්‍රී ලංකාවේ ඉතිහාසය පුළුල් වශයෙන් පුරාතන, මධ්‍යතන හා නූතන වශයෙන් යුග තුනක් ලෙස ඉතිහාසඥයින් විසින් හදුන්වා දී ඇත. ලාංකික ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම යුගය ලෙස හඳුන්වන්නේ ක්‍රි.පු. 2 වන සියවසේ සිට ක්‍රි.ව. 13 වන සියවස දක්වා වු මධ්‍යතන යුගයේ වාරිකාර්මික සමාජයක් ලෙස සමාජ විද්‍යාඥයින් හඳුන්වාදි ඇත. (ගෙවි ජන සේවා දෙපාර්තෙමින්තු වාර්තා 1985) වාරි කර්මාන්තය මූලික කරගෙන උතුරු හා නැගෙනහිර කලාපවල ජනාවාස බිහිකිරිම සිංහල ශිෂ්ටාචාරය හා සංස්කෘතිය ඒ මත දියුණුවීමක් දක්නට ලැඛෙන්නේ මේ යුගයේදීය.

ශ්‍රී ලංකාවේ වියළි කලාපය ලෙස නිර්වචනය කළ හැක්කේ වර්ග සැතපුම් 19000 ක ප්‍රමාණය විහිදුවන වාර්ෂික වර්ෂාපතනය අඟල් 50-75 දක්වා වූ උන්නතාංශය මුහුදු මට්ටෙමි සිට අඩි 1000 දක්වා වු ප්‍රදේශය යි. වියළි කලාපයේ ප්‍රමාණවත් වර්ෂාපතනයක් නොවු නිසා පුරාණ සිංහල ජනතාවට ස්ථාවර කෘෂිකර්මාන්තයක් කිරිමට නොහැකි විය. ස්වාභාවිකව ජලය සැපයිමට නිසි කාලයට අපහසු නිසා අහස් දිය එකතු කර ගැනිමට වියළි කලාපය පුරාම වැව් පද්ධති නිර්මාණය කර ඇත.

එදා රජරට හා රුහුණු රට පුරා පැතිර පැවතියේ හුදෙක් හුදකලා වැව් සමුහයක් නොවේ. එකිනෙකට ඇළ මාර්ග මගින් සම්බන්ඳ වු විශාල වැවක් එම වැව් ජලයෙන් හා වර්ෂා ජලයෙන් පෝෂණය වු කුඩා වැව් රාශියකුත් එදා රජරට හා රුහුණු රට පුරා පැතිර තිබුණි. එකල තිබුණා යයි සැලකෙන කුඩා වැව් සංඛ්‍යාව තිස් දහසක් පමණ වෙතැයි ගණන් බලා ඇත. මෙම වැව්වලට යටවුණු බිම් ප්‍රමාණය වර්ග සැතපුම් 15000 ක් පමණ වෙතැයි සැලකේ. (විදුසර 1993 නොවැම්බර්)

ශ්‍රී ලංකාවේ ඉපැරණි වාරිමාර්ග පද්ධතින්හි පරිණාමය හා වර්ධනය පිළිබඳ කතාකරන විට මෑතක් වනතුරු පිළිගෙන තිබු මතය වුයේ ආර්.එල්.බ්‍රොහියර් මහතා 1956 දි ඉදිරිපත් කළ අදහසයි. එවකට ශ්‍රී ලංකා ඉංජිනේරු සංගමයේ සභාපතිව සිටි ඒ මහතා රම වසරේ පැවති සංගමයේ 50 වැනි සැසි වාරයේ දි සභාපති දෙසුමින් මෙම අදහස ඉදිරිපත් කර ඇත. ඔහුගේ මතයට අනුව ශ්‍රී ලංකාෙවි පැරණි වාරිමාර්ග පද්ධතින්හි පරිණාමය ප්‍රධාන අදියර 4 කින් දැක්විය හැක. එනම්,

  1. නිදහසේ ජලය ලබාදුන් වැස්සෙන් පෝෂණය වු වැව්
  2. කුඩා ග්‍රාමිය වැව්
  3. කුඩා ග්‍රාමිය වැව් ගණනාවක් ජලට යට කරමින් ඇති කළ ජලය ගබඩා කර ගන්නා විශාල ජලාශ
  4. ගලා බසින ගංඟාවක් හරහා ඉදිකළ අමුණක් මගින් ඇළ මාර්ගයකට ජලය හරවා එවන විටත් ගොඩනගා තිබු විශාල ජලාශයක් පෝෂණය කිරිමට යොදා ගැනිම.

ශ්‍රී ලංකාවේ වාරිමාරිග සංවර්ධනය ක්‍රි.පූ. 3 වන සියවසේ සිට දක්නට තිබුණ ද වාරිමාර්ග පද්ධති වර්ධනය දක්නට ලැඛෙන්නේ පස්වන සියවසෙන් පසුවයි. ශ්‍රී ලංකාව තුළ ගංඟා හැරවුම් පද්ධති වල ඉතිහාසය, එහි ලිඛිත ඉතිහාසය ඇරඹෙන ක්‍රි.පූ. 3-2 වන ශතවර්ෂවලින් ද ඔබ්බට දිවෙයි. සොරොව්ව සොයා ගැනිම සිදුවන්නට ඇත්තේද ක්‍රි.පූ. 3-2 ශතවර්ෂ අතර කාලය තුළ දී යැයි විශ්වාස කෙරෙයි. ශ්‍රී ලංකාවේ පැරණි වාරි මාර්ග ක්‍රම පිළිබඳ බොහෝ ඇසු පිරු තැන් ඇත්තකු වූ ආර්.එල්.බ්‍රොහියර් මහතා මෙබඳු සාවද්‍ය නිගමනයකට එළඹීමට හේතුව එවකට සිටි ජල ඉංජිනේරුවන්ගෙ සංකල්පවල බලපැම නිසා බව දැන් පැහැදිලි වී ඇත.

ශ්‍රී ලංකාවේ මුල් කාලීන ආර්ය ජනාවාස පිහිටුවා ගන්නා ලද්දේ ගංඟා නිම්න ප්‍රදේශවලයි. ශ්‍රී ලංකාව කෘෂිකාර්මික රටක් ලෙසට වැවට මුල්තැන දෙමින් ආර්ථීක සංවර්ධනය ඇති කිරිමට සෑම රාජ්‍ය පාලකයකුම යුහුසුළු වී තිබේ. විශාල වාරිමාර්ග, වැව් නිර්මාණය කරමින් මනා ජල පාලනයක් ඇති කිරිමට සෑම රාජ්‍ය පාලකයෙක්ම උත්සාහ දරා තිබේ.

පැරණි සිංහලයන්ගේ වාරි කර්මාන්තයේ මූලික ලක්ෂණ හදුනා ගැනීම ජල පාලනය පිළිබඳ ඔවුන් ලඟ තිබු දර්ශනය වටහා ගැනිමෙහිලා උපකාරිවේ. ගම් මට්ටෙමි වැව් තැනිමේ දී ඔවුන්ගේ අභිප්‍රාය වුයේ දෛනික ජීවිතයට අවශ්‍ය වූ ජලය ලබා ගැනිමයි. වියළි කාලයේදි ගොවිතැනට අවශ්‍ය වැඩිපුර ජලය ලබා ගැනිමට කදුකරයේ ඇති ස්වාභාවික ජල සම්පත ප්‍රයෝජනයට ගැනිමට ඇළ වේලි කපා ගංඟා ඇළ දොළ ජලය ගොවිපලට ගෙන ගියේය. වැසි කාලයේ ලැඛෙන අමතර ජලය වියළි කාලයේ දී ප්‍රයෝජනයට ගැනිම සඳහා ගබඩා කිරිමට මහා පරිමාණයේ වැව් තැනිම ඇරඹීය.

මහා ජලාශවල රැස්කරන ජලමෙන් උපරිම ප්‍රයෝජන ලබාගෙන ඒ ජලයෙන් පෝෂණය වු කුඩා ග්‍රාමීය වැව් පද්ධතියක් තනන ලදි. ’එකකින් පිටවි යන ජලය ඊලඟ වැවට ගොස් එතනින් තවත් එකකට යමින් ගම්වැව් එම ජලය ප්‍රයෝජනයට යොදා ගැනිමෙන් පමණක් මුහුදට ගලායාමට සැලැස්විම අරමුණ විය.(ආර්.එල්.බ්‍රොහියර් 1934)

මහා පරිමාණය් වැව් උස් භූමි භාගවල තනා, කුඩා වැව් පද්ධතින් ඊට පහළින් සිටින ලෙස තැනිම නිසා ජලය හැසිර වීම පහසු විය. තැනිතලා බිම් වල ඇළ වේළි මගින් ජලය ගමන් කරවිම දුෂ්කර කාර්යයක් ලෙස නොසලකන ලදි. කලා වැෙවි සිට අනුරාධපුරය දක්වා සැතපුම් 54 ක් දිග යෝධ ඇළේ පළමු සැතපුම් 17 ට බැස්ම ඇත්තේ සැතපුමට අඟල් 6 බැගිනි. මෙය පැරැණ්නන්ගේ ඉංජිනේරු ශිල්පයේ විශිෂ්ට කුශලතාවයක් ලෙස අසත් සලකයි.

වසභ රාජ්‍ය සමයේදි (ක්‍රි.ව. 67-111) අඹන් ගඟ හරහා ෙවිල්ලක් බැඳ එහි ජලය උතුරු දිශාවට යොමු කරවන ලද ඇළහැර ඇළ වාරිමාර්ග තාක්ෂණ වර්ධනයේ ඉතා වැදගත් අදියරකි. දියලූ වැව් වල බැම්මේ ඇතුල් පැත්ත මෙන්ම පිට පැත්තද බෑවුම් වන ලෙද ඉදිකර ඇත. මෙසේ ඉදිකිරිම් කටයුතු කර ඇත්තේ ජල ධාරිතාව නිසා වැව් බැම්මට වන හානිය වලක්වා ගැනිම සඳහාය. (ඉන්ද්‍රකීර්ති සිරිවිර 1993) වර්තමාන ඉංජිනේරුවන් මවිතයට පත්කරවන ශිල්පීය ඥානයක් එකල භාවිතාකර ඇති බව ඇළවල් හා වැව් දෙස බැලිමෙන් මොනවට පැහැදිලි වෙයි.

ඇළක් දොළක් හරස් කර වැවක් තැනිමට ඉදිකරන වෑ කන්ද වැව් ජලය රදවා ගැනිමට හැකිවන ලෙස පස් හා ගලින් නිර්මාණය කර ඇත. හෙන්රි පාකර් පවසන පරිදි ටොන් දහසක බර ගල් පවා පරාක්‍රමබාහු රජුගේ ඇතැම් වාරිමාර්ග ඉදිකිරිම් වලට භාවිතා කර ඇත.

වැව් බැමි ආරක්ෂා කිරිමට වැවේ ප්‍රමාණය අනුව ගල් ඇතිරිමෙන් ඉදිරිපත් කල ඉදිරිපත් කල ’රලපනාව වැව් වල ඇති තවත් විශේෂ ලක්ෂණයකි. ස්වාභාවික ජල බැස්ම සැලකිල්ලට ගෙන වැවේ වැඩි ජලය පිට කිරිමට තනා ඇති වාන පිටවාන නම් වේ.

ජල පාලනයේ වැදගත්ම අංගය වුයේ සොරොව්වයි. සාමාන්‍ය ප්‍රමාණයේ වැවක සොරොව් දෙකක් තිබේ. වැවේ ජල මට්ටම ඉහළ ගිය විට සාපේක්ෂව උස්බිම් ප්‍රදේශ සඳහා ජලය සපයන අයුරින් ඉහළ මට්ටමකින් ගොඩ සොරොව්ව පිහිටුවා ඇත. වැවේ මඩ ඉන් ඉවත් කිරිමට බැම්මේ පතුලින්ම පිහිටි මඩ සොරොව්ව නමින් හැදින්වෙන සොරොව්වක්ද දක්නට ලැබේ. පුරාණ වාරි මාර්ග ඉංජිනේරු තාක්ෂණයේ සුවිශේෂතම නිර්මාණය ලෙස සැලකෙන්නේ බිසෝකොටුවයි.

විශාල හතරැස් ළිදක ආකාරයෙන් තනා ඇති බිසෝකොටුව කානුවක් මගින් වැවේ ජලය ගලා එන්නට සලස්වන ලදි. බිසෝකොටුවේ සිට ඇළ මාර්ග වවලට ජලය පිට කරන ලද්දේ එබදුම කානුවනකිනි. මේ ආකාරයෙන් බිසෝකොටුව මගින් පිටවන ජල ධාරිතාව පාලනය කරගත හැකි විය. අක්කර දහස් ගනනකට කොපමණ ජලය මුදාහැරිය යුතුද යන්න තීරණය කොට ඒ අනුව ජලය මුදාහැරිමට බිසෝකොටුව උපකාරිවේ. (ඉන්ද්‍රකීර්ති සිරිවීර 1993) මෙම කරුණු විමර්ශනය කර බලන විට පුරාණයේ වාරි කර්මාන්ත නිර්මාණයෙහිලා මනා වු ජල කළමනාකරණ පද්ධතියක් තිබු බව පිළිගත යුතුව ඇත.

ශ්‍රී ලංකාවේ තරම් දියුණු වුත් පුළුල් වුත් වාරිකර්ම ලෝකයේ වෙනත් කිසිම රටක නොවු බව ඛෙල් නැමති ඉංග්‍රීසි ලේඛකයා පවසා ඇත. පෙර කරන ලද අති විශාල වැව් කර්මාන්ත සමහර විට ලක්සිව තරම් අන් කිසිම රටක දක්නට නොලැබේය යනු මාගේ විශ්වාසයයි. තවද ඒ ඒ සිමාව ඇතුලත දක්නට ලැඛෙන තරම් වැව් අමුණු කර්මාන්ත අන්රටක දැකීම දුෂ්කර ය. (බදුල්ලේ සභාපති ඛෙලි මහතා විසින් 1981 ඉංග්‍රීසි ආණ්ඩුව වෙත ඉදිරි පත් කල වාර්තාව)

ශ්‍රී ලංකාවේ වාරි තාක්ෂණයෙන් ඇතැම් විට ඉන්දියාව පවා ආභාෂය ලැබු බවට සාක්ෂි ඇත. කාශ්මීරයේ රජු අටවන ශත වර්ෂයේ දි එහි ජලාශ ඉදිකිරිම සඳහා ශ්‍රී ලාංකේය වාරි ශිල්පීන්ට ආරාධනා කළ බවට දොලොස්වන ශත වර්ෂයේදි රචිත කාශ්මීර වංශ කතාවේ වනරාජ තරංගනියේ ඉඟියක් කර ඇත.

වාරිමාර්ග තාක්ෂණය පිළිබඳව හෙන්රි පාකර්, ආර්.එල්.බ්‍රොහියර්, සී.ඩබ්.නිකොලස්, ආර්.ඒ.එල්.එච්.ගුණවර්ධන යන විද්වතුන් විසින් පුළුල් ලෙස පර්යේෂණ කොට ඇත. ඒ අනුව ශ්‍රී ලංකාව තරම් සංකීර්ණ හා ශිල්පිය දැනුම අතින් විශිෂ්ට දියුණුවක් පෙන්වන ලද වාරිමාර්ග පද්ධතියක් දක්ෂිණ ආසියාවේම නොවීය. ශ්‍රී ලංකාවේ වාරිමාර්ග පද්ධතිය එකිනෙකට සම්බන්ඳ වීම සුවිශේෂ ලක්ෂණයකි. මේවා සම්බන්ඳ කරන කෘතීම ඇළ මාර්ගයන්හි බැස්ම සැතපුමකට අඟල් 6 ක් පමණ වීමෙන් පෙන්නුම් කරන්නේ මිණුම් හා ඉදිකිරිම් තාක්ෂණයේ පැවති දියුණුවයි.

එකල වාරිමාර්ග පද්ධතියේ නඩත්තුව, වැව් ජලය භාවිතය හා ඛෙදාහැරිම ආදියකරනු ලැබුවේ ගොවින් අතරින්ම තෝරාගත් වෙල්විදානේ හෙවත් ගමරාළ යන අරුත් ඇති ගැම් නායකයා විසිනි. වෙල් විදානේගේ අනසකට ඒ වැවේ වතුර ගන්නා සියලූ ගොවීන් යටත් වෙයි. එසේ නොවුන විට දඩ ගහන්නට ඔහුට අයිතියක් තිබුණි. ගමරාළ හා ගොවින් රැස්වි ජලය ලැඛෙන ආකාරය අනුව වගාකල යුතු බිම් ප්‍රමාණය අනුව වී වගා කාල සටහන ආදිය කන්න රැස්වීමේදි තීරණය කරයි. වැවෙහි ජලය ප්‍රමාණය වාරිමාර්ග අවශ්‍යතා සදහා ප්‍රමානවත් නොවු විට ඛෙත්ම ක්‍රමය උපයෝගි කරගත්හ. මෙහිදි වඩා ජල පහසුව ඇති වැවට ආසන්න කොටස වගා කළ අතර ඉතිරි කොටස අත් හරින ලදි. මෙම තෝරා ගත් කොටස ගොවින් අතර සමාන කොටස් වලට ඛෙදනු ලැබේ. පැරණි ලංකාවේ තිබු විධිමත් ජල කළමනාකරණය නිසා සාර්ථක ලෙස කෘෂිකාර්මික කටයුතු කරගෙන ගිය බව අපට නිගමනය කළ හැකිය.

වැව් රාජකාරියේදි ගමරාළ විසින් ඇණබෝල් බැඳීම කරනුයේ වැවේ සොරොව්වේ, ඇළේ, වානේ, වේල්ලේ, අමුණේ ආදි කොටස් වලය. ඇණබෝල් බැඳීමේ පරමාර්ථය වශයෙන් දක්වා ඇත්තේද කුඹුරු වැඩ වලදි සිරිතෙන් පිට ජලය ගැනිම ආදිය නීති විරෝධි ක්‍රීයා තහනම් කිරිමටය. පුරාණ ගම්වල තිබු වැව්වල ඉතා වැදගත් අංගයකි අමුණු. වෙල්යාය දෙපසට ජලය ඛෙදා හැරිම පහසු කිරිමට මෙම අමුණ නිර්මාණය කර ඇත. වර්ෂාව පවතින කාලවල දී වැඩි වතුර ප්‍රමාණයක් රදවා තබා ගැනිමට වැව් වාන උස් කර බැදීම ගම්මුන්ගේ සිරිත විය.

කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය ජලය නිසිකලට ලබා දුන් අතර වැසියාගේ වගකීම වුයේ පනවා ඇති සමිමත නීති අනුව ජලය පරිහරණය කරමින් වගා කටයුතු ගෙන යාමයි. හතර වන දප්පුල (ක්‍රි.ව. 924-935) රජු විසින් කරවන ලදැයි සැලකෙන කොන්ඩුවටුවාන ටැම් ලිපියේ ජල පාලනය පිළිබඳ එදා පැවති නිති රීති ගැන කියවෙයි. හතර වැනි දප්පුල රජු සමයේ දිගාමඩුල්ලේ ඇරගම නම් වු ග්‍රාම සම්බන්ඳයෙන් පනවන්නට යෙදුනු නියෝග මාලාවක් කොන්ඩුවටුවාන ජලාශය ඉස්මත්තේ ගල් තලාවේ තිබි සොයාගන්නා ලද ටැම් ලිපියේ අඩංගුවේ. "කුඹුරු ගැලීමේ නොහොත් නියර ඉස්සවා වතුර යාමට ඉඩ හැරීමි වරදට අක දෙකක් දඩ නියම කළ යුතුය. සී සෑම සම්බන්ධ වරදට කලං දෙකක දඩයක් නියම කළ යුතුය. පමාවී හාපු වරදට කලං පහක දඩයක් නියම කළ යුතුය."

ජල කළමනාකරණයේ ඇති වැදගත්කම ක්‍රි.ව. 1153-1186 දක්වා පොළොන්නරුවේ රජ කළ මහා පරාක්‍රමබාහු රජුගේ "අහසින් වැටෙන එක වැහි බිදකුදු මානව වර්ගයාගේ ප්‍රයෝජනයට නොගෙන මුහුදට ගලා යාමට ඉඩ නොදිය යුතුය." යන ප්‍රකාශය තුළ ගැබ්ව තිබේ.

නිසි පරිදි ජලය ඛෙදිම සිදුවේදැයි පරික්ෂා කිරීම සඳහා රජු විසින් නිළධාරිහු පත් කරන ලදහ. ක්‍රි.ව. 9 සහ 10 වන ශත වර්ෂයන්හි ශිලා ලිපි වල සදහන් පියොවදාරනන් නම් පදයෙන් හැඳින්වෙන්නේ වාරි මාර්ග පරීක්ෂකයන් හෝ ජලය ඛෙදිම පරික්ෂා කළ නිළධාරින් හෝ බව විශ්වාස කරනු ලැබේ.

ආදි බ්‍රාග්මී ශිලා ලිපි සදහන් වන අනනිත හා අඩිකය යන පද දෙකෙන් හඳුන්වන්නේ වාරිමාර්ග ඉංජිනේරුවකු හා ඇළවල් කටයුතු භාර නිළධාරියෙකු බව එස්.පරණවිතාන මහතා දක්වා ඇත.

මෙලෙස ශ්‍රී ලංකාවේ ඓතිහාසික ජල කළමනාකරණ දෙස බලන විට නුතන ඉංජිනේරුවන් මවිතයට පත් කරවන වාරි තාක්ෂණයක් තිබු බවට පැහැදිළිය.

කොත්මලේ වැව

ශ්‍රී ලංකාවේ ග්‍රාමීය වැව් වල ජල කළමනාකරණය

[සංස්කරණය]

ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තයේ මුලින්ම ඉදිවී ඇත්තේ කුඩා වැව් බව ඉතිහාසය මගින් හෙළිවී ඇති තොරතුරු අනුව පෙනි යයි. ශ්‍රී ලංකාවේ තුනෙන් දෙකොටසකට පමණ ඇතුලත් කර ගන්නා වියළි කලාපීය ප්‍රදේශවල ග්‍රාමිය වැසියනට ආහාර හා රැකියා සපයන ප්‍රධාන මධ්‍යයක් ලෙස තවමත් සාම්ප්‍රධායික වාරිමාර්ග අංශයට වැදගත් තැනක් හිමි වෙයි.

1975 වාරිමාර්ග දෙපාර්තෙමින්තුවේ වාරිමාර්ග ව්‍යාපෘති ලේඛනයට අනුව ග්‍රාමිය වැව් 3119 ක් වියළි කලාපයේ විසිරි තිබුණි. ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 1980 ඇස්තෙමින්තු අනුව ඒ සංඛ්‍යාව 7758 ක් විය. ජාතික සාගිනි නිවීමේ ව්‍යාපාරයේ 1979 ගණනය කිරීම් අනුව ශ්‍රී ලංකාවේ ග්‍රාමීය වැව් 18000 ක් විය. නමුත් මෙම සංඛ්‍යාව 30000 ක් විය යුතු බව ඇස්තෙමින්තු කර ඇත. මින් විශාල ප්‍රමාණයක් පැරණි ආරම්භක ලක්ෂණ සමග වියළි කලාපයේ පිහිටා ඇත. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ ඇත්තවශයෙන්ම ක්‍රියාත්මක කරන ග්‍රාමීය වැව් සංඛ්‍යාව 8000 ක් ඉක්මවයි. ග්‍රාමීය වැව් සංඛ්‍යාවෙන් 63 ක් කුරුණෑගල හා අනුරාධපුර පරිපාලන දිස්ත්‍රික්ක දෙක තුළ ව්‍යාප්තව ඇත. තෙත් කලාපයේද මෙවන් ග්‍රාමීය වැව් 3000 ක් පමණ ඇත. (ආර්ථීක විමසුම 1986)

එවකට වාරිමාර්ග දෙපාර්තෙමින්තුෙවි නියෝජ්‍ය අධ්‍යක්ෂව සිටි ජේ.එෆ්.කෙනඩි මහතා "ශ්‍රී ලංකාවේ ග්‍රාමීය වාරි මාර්ග ක්‍රමයන්හි විද්‍යාත්මක සංවර්ධනයේ පදනම" නම් නිබන්ධනය නිකුත් තර ඇත. එහි ගමිවල පිහිටි කුඩා වැව් ගම්වල හමුවන ගව රංචු වැනිය. ඒවා කෙතරම් විශාල සංඛ්‍යාවක් හමුවන්නේදැයි කිවහොත් කිවහොත් ඉන් කාර්යක්ෂමතාවකින් වැඩ ගැනිමට නොහැක්කේය. යන්න සඳහන් කර ඇත. (විදුසර 1994 නොවැම්බර්)

ක්‍රි.පු. 3 වන සියවසේ සිට ක්‍රි.ව. 12 වන සියවස දක්වා පමණ වූ කාලයක් තිස්සේ සංවර්ධනය වූ අන්තර් සම්බන්ධිත සුවිශාල ජලාශ හා ඇළ මර්ගවලින් සමන්විත සංකීර්ණ පද්ධතියක් පුරාණ රජරට වාරිමාර්ග පද්ධතියට අයත්වේ. රජරට සුවිශාල ජලාශ සමුහයේ හා ඇළ මාර්ගවල අන්තර්.(ආර්ථීක විමසුම 1990) මෙම කුඩා ගම් වැව් ද ඉතා විශාල ප්‍රමාණයක් ඉදිකර ඇත.

පුරාණ රෝහණයේ ප්‍රමුඛතම අංග ලක්ෂණය වුයේ කුඩා ගම් වැව් ක්‍රමයයි. මේ එක් එක් වැව ඊට අයත් කුඹුරු යායට දිය සපයා අනෙක් වැවට සම්බන්ධ වී එය පෝෂණය කරන ලදි. රුහුණේදි පුරාණ රජ රටදි තරම් මහා පරිමාණීය ආකාරයේ විශාල ජලාශ හා ඇළ මාර්ග සංවර්ධනයක් සිදු නොවීය. කුඩා වැව් පද්ධතියකින් පෝෂණය වු වාරිමාර්ග තිබු. රජරට වාරිමාර්ග ජාලයෙන් රුහුණේ වාරි කර්මාන්ත වෙනස් වන ප්‍රධාන ලක්ෂණයනම් රජරට මෙන් මෙහි යෝධ ජලාශ සම්බන්ධ කරන ඇළ මාර්ග පද්ධතියක් නොවීමයි.

ශ්‍රී ලංකා ඉංජිනේරු සංගමය රාජකීය ආඥා පණතින් ශ්‍රී ලංකාවේ ඉංජිනේරු ආයතනය බවට 1956 වසරේදි පත් විය. එහිදි තිබු සභාපති දේශනයේදි බ්‍රොහියර් මහතා පුරාණ ශ්‍රී ලංකාවේ වාරි මාර්ග කටයුතු අදියර හතරක් යටතේ තිබු බව පැවසීය.

කුඩා වාරි ක්‍රම මගින් ජලය ලබාදෙන භූමි ප්‍රමාණය අස්වද්දන ලද භූමියෙන් 1/3 ක් පමණ වේ. මේ වාරි ක්‍රම ග්‍රාමීය වැව් අමුණු සහ කුඩා ඇළ මාර්ග වශයෙන් සකස් වී ඇත. වාරිමාර්ග දෙපාර්තෙමින්තුව වෙනුවෙන් සඳහන් කරන එස්.ආරුමුගම් මහතාට අනුව මේ ප්‍රමාණය අක්කර 60500 ක් පමණ විය හැකි බව 1957 දී ගණන් බලා ඇත. මින් 12500 ක් පමණ ක්‍රියාත්මක තත්වයේ ග්‍රාමීය වැව්ය.

වැවක ප්‍රමාණය මනිනු ලබන්නේ එහි ගැඹුර හා ජලය පැතිරුනප්‍රදේශය අනුවයි. ඉංජිනේරු දෘෂ්ඨිය අනුව එසේ මනිනු ලැබුවත් ගොවින්ගේ දෘෂ්ඨිය අනුව මනිනු ලබන්නේ වැව් මගින් අස්වද්දන භූමි ප්‍රමාණය අනුවයි. වාරිමාර්ග යෝජනා ක්‍රම මහා පරිමාණ, සුළු පරිමාණ ලෙස වර්ග කරයි.

ග්‍රාමිය වැව් ප්‍රධාන වශයෙන් කොටස් තුනකි.

  • කුඩා වැව් - අක්කර 20 ට අඩු ප්‍රදේශයට ජලය සපයයි.
  • මධ්‍යම වැව් - අක්කර 20-40 අතර ප්‍රදේශයකට ජලය සපයයි.
  • විශාල වැව් - අක්කර 40 ට වැඩි ප්‍රදේශයකට ජලය සපයයි.
  • මෙය වැවේ පෝෂක ප්‍රදේශය අනුව වර්ග කර ඇත.

මේ ආකාරයෙන් ක්‍රියාත්මක වු ග්‍රාමීය වැව්වල අතීතයේ සිට මනා ජල කළමනාකරණයක් තිබුණි. ජලයේ හා භූමියේ සංවර්ධනයත් ග්‍රාමීය වැව්වල නඩත්තුව හා වර්ධනයත් සමස්ත සිංහල ශිෂ්ටාචාරය හා ආර්ථීක වර්ධනයත් හැඩගැස්වුයේය.

බෞද්ධ විහාරය වැව ආශ්‍රීතව පිහිට වු බව කියෙ‍වේ. ගෙමි විහාරයේ බෞද්ධ භික්ෂුව කන්න රැස්වීමට පසුව නිශ්චිත දිනකදි ගොවිතැන් කිරිමට ජලය පළමුව නිකුත් කිරිමටත්, යාය ගොවිතැන් කිරිමට කාලය නියම කරමින් නායකත්වය දුන්නේය. වල් පැළැටි නැසීමට කුඹුර ජලයෙන් පිරවීමට, වතුර නිකුත් කිරිමේ දිනය, කුඹුරුවල ඇල ශුද්ධ කිරිම, වැව් බැම්ම මත වැඩුන කැළෑ සහ හුඹස් පවිත්‍ර කිරීම, ගොයම් කැපීමේ කාලය, යායේ ගොවීන් පොදු කමතක වී පෑගිම ග්‍රාමිය ලංකාවේ පොදු ලක්ෂණයකි. කන්න රැස්විම් ගොවීන්ගේසමාජීය රැස්වීමකි. ඔවුන් රැස්වුයේ පන්සලේය. වරක් තීරණ ගත් පසුව ඒවා අතුරටම ක්‍රියාත්මක කළේය. ජලය නිතුත් කිරිම සිදු වුයේ ආරාවෙන් (අග කොටස) පටන් ගෙන ඛෙත්ම ක්‍රමය යටතේ වැවට ආසන්න ඉඩම දක්වා ක්‍රමානුකූලව නිකුත් කිරිමේ ප්‍රජාතන්ත්‍රවාදි ක්‍රමයකටය. පළමුව පෘතුගීසින් ද, ඊළගට ඕලන්දයන්ද අවසානයේ කන්ද උඩරට අල්ලාගත් බ්‍රිතාන්‍යයන් ද විදේශ ආධිපත්‍ය ගෙන ඒම නිසා ක්‍රමයෙන් මෙම වැව් ගම් සබඳතාව බිද වැටිණි. ජලය විධිමත් ලෙස පාලනය කර නිකුත් කිරීම, කළමනාකරණය සිදු කිරිමට ගොවීන් විසින් ප්‍රජාතන්ත්‍රවාදිව තෝරාගෙන ද්‍රව්‍ය වලින් ගෙවීම කළ වෙල්විදානේ වෙනුවට මුදලින් ගෙවිම කළ නිලධාරින් පත් කරන ලදි.

වැව්වල ඇළෙවිලි වැව ඉහත්තාව, වේල්ල ආරක්ෂා කිරිමට එකල සියල්ලෝම බැදි සිටියෝය. බර අදින සතුන් පුද්ගලික අයිතිය යටතේ ඇති කළ ද රාත්‍රී කාලයේ ගෙවත්තේම තබාගත් අතර ඇළෙවිලි වැව් බැමි හා අස්වැන්න විනාශ කරමින් ඉබාගාතේ යාම ඉඩ නොතබන ලදි. වැව් බැම්මට හානි කිරිම අපරාධයක් ලෙස සලකන ලදි. වැව් බැම්මේ ගවයන් දැක්කීමෙන් හා වැවට ගවයන් දැක්කවීමෙන් ද වැව් බැමිවල ගස් කැපිමෙන්ද වැවට වන හානිය වලක්වා ගැනිමට නිසියාකාරව මිනිසුන් බැඳී සිටින ලදි.

මේ ආකාරයට ග්‍රාමීය මට්ටෙමි කුඩා වැව්වල මනා ජල කළමනාකරණයක් ඈත අතීතයේ තිබූ බව පැහැදිලිය.

නුවර වැව

වැඩිදුර කියවීම සදහා

[සංස්කරණය]
  • බාලසුරිය, ජයසිංහ, 2004, පොළොන්නරුවේ පුරාණ වාරිමාර්ග, සුරිය ප්‍රින්ටස් පොළොන්නරුව.
  • බස්නායක එච්.ටී. 2005, පුරාණ ශ්‍රි ලංකාවේ ජල ශිෂ්ටාචාරය, සමන්ති ප්‍රකාශකයෝ, ජා ඇල.
  • සෙනෙවිරත්න අනුරාධ, 2001, පුරාණ සිංහල වාරි සංස්කෘතිය, ඇස් ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ.
"https://si.wikipedia.org/w/index.php?title=ලංකාවේ_වාරි_කර්මාන්තය&oldid=728837" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි