රිචඩ් ද සොයිසා

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

රිචර්ඩ් ද සොයිසා
උපත18 මාර්තු 1958(1958-03-18)
කොළඹ, ශ්‍රී ලංකාව
මරණය18 February 1990(1990-02-18) (වයස 31)
ශ්‍රී ලංකාව
ජාතිකත්වයශ්‍රී ලාංකික
ප්‍රසිද්ධ වන්නේමාධ්‍යවේදියෙක්, රංගන ශිල්පියෙක්, මානව හිමිකම් ක්‍රියාකාරිකයෙක්
දෙමාපියන්
  • ලූෂන් ද සොයිසා (පියා)
  • ආචාර්ය මනෝරාණි සරවනමුත්තු (මව)

සුප්‍රසිද්ද  මාධ්‍යවේදියෙකු , නිවේදකයෙකු, මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු ,ලේඛකයෙකු සහ රංගන ශිල්පියෙකු වූ රිචඩ් ද සොයිසා 1958 මාර්තු මස 18 වෙනි දින ශ්‍රී ලංකාවේදී උපත ලැබීය. 1990 පෙබරවාරි මස 18 වන දින හඳුනා නොගත් සන්නද්ධ කණ්ඩායමක් විසින් ඔහුව පැහැරගෙන ගොස් ඝාතනය කරනු ලැබීය. ඔහුගේ ඝාතනය සම්බන්ධයෙන් එවකට පැවති එක්සත් ජාතික පක්ෂ රජයට සහ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා දෙසට ජනතා ඇඟිල්ල දිගු විය.

ජීවිතය සහ මරණය[සංස්කරණය]

පසුතලය ( පසුබිම )[සංස්කරණය]

සුප්‍රසිද්ද  මාධ්‍යවේදියෙකු , නිවේදකයෙකු, මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු ,ලේඛකයෙකු සහ රංගන ශිල්පියෙකු වූ රිචඩ් ද සොයිසා 1958 මාර්තු මස 18 වෙනි දින ශ්‍රී ලංකාවේදී උපත ලැබීය.  ඔහුගේ පියා ලූෂන් ද සොයිසා වූ අතර මව ආචාර්ය මනෝරාණි සරවනමුත්තු  විය. ඔහුට එක සොහොයුරියක් සහ සොහොයුරෙක් සිටියහ. ඔවුන් මයිකල් සහ ලානාය. ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරු  රිචඩ් ද  සොයිසා එකල බහු කුසලතා වලින් පිරි පුද්ගලයකු ලෙස ප්‍රසිද්ධියට පත්විය.  ශාන්ත තෝමස් විද්‍යාලයේ සිංහල භාෂා ගුරුවරයෙකු වූ ඩි.එස්. ජයසේකර විසින් ඔහුගේ  සිංහල නාට්‍ය රංගන කුසලතාවයන් හඳුනා ගෙන සිය රංගන හැකියාව වැඩි දියුණු කරගැනීමට ඔහුව උද්යෝගිමත් කළේය. 1972 අන්තර් පාසල් ෂේක්ස්පියර් ඉංග්‍රීසි නාට්‍ය තරඟයේ හොඳම නළුවා ලෙසද ජයග්‍රහණය කළේය. එයට අමතරව ශාන්ත තෝමස් විද්‍යාලයේ වාද විවාද සංගමයේ සහ නාට්‍ය සංගමයේ සාමාජිකත්වයද දැරීය. 1983 දී ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් අධ්‍යක්ෂණය කල යුගාන්තය චිත්‍රපටය සඳහාද ඔහු සිය රංගනයෙන් දායකත්වය සැපයීය. ඔහු විසින් ජාතික රූපවහිනියේ විකාශය වූ යශෝරාවය ටෙලි නාට්‍යයේ රින්ස්ලිගේ චරිතයටද පණපොවන ලදී . රිචර්ඩ්ගේ ඉංග්‍රීසි උච්චාරණ හැකියාව අන්තර්ජාතික මට්මක තිබු අතර ඔහු ඉතා දක්ෂ ඉංග්‍රීසි භාෂා නිවේදකයෙක් විය. ඉංග්‍රීසි සාහිත්‍ය පිළිබඳවද පුළුල් දැනුමක් ඔහු සතු විය. ඔහු ගාතනය වන කාල වකවානුවේ ඉන්ටර්ප්‍රෙස්‌ ප්‍රවෘත්ති සේවයේ ශ්‍රී ලංකා වාර්තාකරු ලෙස සේවය කළේය.

පැහැරගෙන යාම සහ ඝාතනය[සංස්කරණය]

ඔහුගේ මතයන් සහ මාධ්‍ය ක්‍රියාකාරකම් නොඉවසු කණ්ඩායමක් විසින් 1990 පෙබරවාරි 18 වන දින ඔහු පැහැරගෙන ගොස් ඝාතනය කරනු ලැබීය. රිචඩ් දී සොයිසාව මරා දැමුවේ ඔහු පෘතුගාලයේ ලිස්‌බන් නුවර ඉන්ටර්ප්‍රෙස්‌ ප්‍රවෘත්ති සේවයේ රාජකාරී භාර ගැනීමට ගිවිසුම් අත්සන් කරගෙන තිබූ අවස්ථාවකය. ඝාතනය වන සමයේ රිචඩ් ද සොයිසා සහ ඔහුගේ මව වැලිකඩ වත්ත නිවාස සංකීරණයේ ජිවත් වූහ. 1990 පෙබරවාරි මස 18 වන දින පාන්දර 3.30 ට ඔහුගේ නිවසට කඩා වැදුණු හඳුනා නොගත් සන්නද්ධ කණ්ඩායමක් විසින් කිසිඳු හේතුවක් නොදක්වා ඔහුව බලහත්කාරයෙන් නිවසේදී පැහැර ගැනුණි. ඔවුන් විසින් පැහැර ගැනීමට සඳහා 32 ශ්‍රී 4748 දරණ ලියාපදිංචි අංකය සහිත කොළ පැහැති ජීප් රථයක් භාවිත කොට තිබුණි. පැහැර ගැනුණු අවස්ථාවේ මව සහ රිචර්ඩ් ගේ සමකාලීන මිත්‍රයෙකු වූ A.V. කරුණාරත්න නිවසේ සිට ඇත. රිචර්ඩ් ගේ පැහැරගැනීම සම්බන්ධයෙන් ඔහු ගේ මව වන ආචාර්ය මනෝරාණි සරවනමුත්තු විසින් එදිනම පාන්දර 4.15 පමණ වැලිකඩ පොලිසියේ පැමිණිල්ලක් ගොනු කර තිබුණි. පැහැර ගැනුණු අවස්ථාවේදී ඇසින් දුටු සාක්ෂි 7 ඉතිරි විය. ඔවුන් ආචාර්ය මනෝරාණි සරවනමුත්තු ( මව ) , ගාල්ලේ ඇලටිය විතානගේ කරුණාදාස ( ඉන්ටර්ප්‍රෙස්‌ ප්‍රවෘත්ති සේවයේ මාධ්‍ය සහායක ) , ඔහුගේ බිරිඳ එල්. එම්. මල්ලිකා, සරස්‌වතී ( නිවසේ සේවිකාවක් ) , නිවසෙහි යට තට්ටුවේ පදිංචිව සිටි ඇල්ලේපොල යුවල සහ උනන්තැන්නය ( අසල් වැසියෙකු ) ලෙස සඳහන් විය.

පසු දින ( 1990 පෙබරවාරි මස 19 ) රිචඩ් ද සොයිසාගේ නිරුවත් මළ සිරුර මොරටුව කොරළවැල්ල දුම්රිය ස්‌ථානය අසළ වෙරළට ගොඩගසා තිබියදී ප්‍රදේශවාසීන්ට හමු විය. ධීවර බෝට්‌ටු හිමියකු වන මාකස්‌ ප්‍රනාන්දු විසින් මුහුදේ පාවෙමින් ගොඩ බිම දෙසට ගසාගෙන පැමිණෙමින් තිබු නිරුවත් මළ සිරුරක් ප්‍රථමයෙන් දැක තිබුණි. ඒ අසල ඔහුගේ සොහොයුරෙකු වන නිමල් ප්‍රනාන්දුද සිට ඇත. විශාල වශයෙන් ශරීරය ඉදිමිමකට ලක්වූ තිබු බැවින් එය කිසිවෙකුටවත් හඳුනා ගැනීමට නොහැකි විය. පසුව පොලිසියට දැනුම් දීමෙන් පසුව මෘත ශරීරය කළුබෝවිල රෝහලට යැවුනි. මොරටුව පොලිසිය මගින් එම ගොඩ ගසා තිබු මල සිරුර පිළිබඳව ශ්‍රී ලංකාවේ සියලුම පොලිස් ස්ථාන දැනුවත් කර තිබුණි. වැලිකඩ පොලිසියට ද එම පණිවිඩය ලැබී තිබූ බැවින් එම ආරංචිය පොලිසිය විසින් රිචර්ඩ්ගේ නිවසට පැමිණ දන්වන ලදී. රාත්‍රී 9.45 ට පමණ කළුබෝවිල රෝහලට පැමිණි ඔහුගේ මව සහ රිචර්ඩ්ගේ ලඟම මිත්‍රයෙකු වන තාරකී සිවරාම්  විසින් එම මළ සිරුර රිචඩ් ද සොයිසාගේ යැයි තහවුරු කරනු ලැබීය. ( තාරකී සිවරාම් මාධ්‍යවේදියව ද 2005 දී ඝාතනය කරනු ලැබීය ) රිචඩ් ද සොයිසාගේ මළ සිරුර හමුවන විට මෘත ශරීරය විශාල ලෙස ඉදිමි තිබූ අතර හිසේ පිටුපස සහ උගුරේ වෙඩි වැදුණු තුවාල තිබී ඇත. එයට අමතරව ඔහුගේ මුඛයේ හකු ඇට බිඳී තිබු බව පොලිසිය විසින් සනාථ කොට තිබුණි. රිචර්ඩ් දී සොයිසාගේ මෘත දේහය ඔහුගේ මහ ගෙදර වන අංක 42 දරණ නිවසේ තැන්පත් කර තිබුණි.

මරණ පරීක්‍ෂණ වාර්තාව[සංස්කරණය]

1990 පෙබරවාරි 20 වන දින රිචර්ඩ් දී සොයිසාගේ මරණ පරීක්ෂණය කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කේ. නඩේසන් විසින් සිදු කරන ලදී. මරණ පරීක්‍ෂණ වාර්තාවට අනුව ගෙලට සහ වම් පැත්තේ කන අසලට වැදුණු වෙඩි පහර දෙකක් නිසා ඔහු ජිවිතක්ෂයට පත්වී ඇති බව සටහන් කොට ඇත. එක වෙඩි උණ්ඩයක් වම් කනට මදක් පහලින් ඇතුළුවී කන් අඩිය පසාරු කරගෙන ගොස් තුබූ අතර අනෙක් වෙඩි උණ්ඩය ගෙලෙහි ඉදිරි පසින් ඇතුළුවී පිටුපස ප්‍රදේශයෙන් පිටව ගොස් ඇති බව මරණ පරීක්ෂණ වාර්තාවේ තවදුරටත් සඳහන් වී තිබුණි.

මාධ්‍ය වාර්තා,ගුවන් විදුලි නාට්‍ය ,වාර්තාමය චිත්‍රපට සහ සම්මාන[සංස්කරණය]

රිචර්ඩ් දී සොයිසාගේ මරණය සම්බන්ධව 1990 අප්‍රියෙල් 23 වන දින ටයිම්ස් සඟරාවේ විශේෂ ලිපියක් පළවූ අතර එය ශ්‍රී ලංකා රජය විසින් බෙදා හැරිම සහ විකිණීම තහනම් කරන ලදී. එම ලිපියේ අන්තර්ගතය වුයේ ශ්‍රී ලංකා රජය විසින් මෙහෙයවන ඝාතන කණ්ඩායම් සහ ශ්‍රී ලංකාවේ සිදුවන බරපතල මට්ටමේ මානව හිමිකම් උල්ලංගනයන් පිළිබඳව ලොව දැනුවත් කිරීම නිසාවෙන් ඔහු ශ්‍රී ලංකා රජයට බලවත් තර්ජනයක් වූ බව සඳහන් විය. පසුව රජයේ මෙහෙයවීමෙන් මෙම ඝාතනය සිදුකොට ඇති බව වාර්තා විය.

රිචර්ඩ් දී සොයිසා ඝාතනය වීමෙන් පසුව ඉන්ටර්ප්‍රෙස්‌ මාධ්‍ය ආයතනය විසින් 1990 විශිෂ්ටතම ඇගයීමේ සම්මානය ඔහු වෙනුවෙන් පිරිනමන ලදී. ඉන් පසුව 2008 වර්ෂයේ දෙසැම්බර් මාසයේදී බ්‍රිතාන්‍යයේ බි.බි.සී ( BBC ) මාධ්‍ය ජාලය විසින් විනාඩි 60 ක ගුවන් විදුලි නාට්‍යයක් නිර්මාණය කොට BBC Radio4 චැනලය ඔස්සේ විසුරුවා හැරුණි. එම ගුවන් විදුලි නාට්‍යය නිෂ්පාදනය කොට තිබුනේ රිචර්ඩ් දී සොයිසා නම්වූ මාධ්‍යවේදියාගේ ජීවිතය සහ මරණය යන සිද්දීන් පාදක කොටගෙනය.

එමෙන්ම රිචර්ඩ් දී සොයිසාගේ මව පිළිබඳව වාර්තාමය චිත්‍රපටයක් රූගත කරමින් සිටියදී ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක අමාත්‍යංශය විසින් 2015 පෙබරවාරි 13 දින වාරණයට ලක් කෙරුණි. එම ච්ත්‍රපටය " දේ ඩාන්සින් එලෝන් " ( They Dance Alone ) යනුවෙන් නම්කොට තිබුණි.

පාර්ලිමේන්තු විපක්ෂයේ ඉල්ලීම්[සංස්කරණය]

රිචඩ් ද සොයිසාගේ ඝාතනය සම්බන්ධයෙන් කොමිසමක් පත්කරන ලෙස 1990 මාර්තු 20 වෙනි දින විපක්ෂය විසින් පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියහ. එයට ප්‍රතිචාර දක්වමින් එවකට සිටි රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රන්ජන් විඡේරත්න විසින් ප්‍රකාශකොට සිටියේ සෑම මිනිමරුමකටම කොමිසමක් පත්කළ නොහැකි බවය. පසුව 1990 සැප්තැම්බර් මාසයේදී විපක්ෂය විසින් ඝාතනයට සම්බන්ධව කොමිසමක් පිහිටුවන ලෙස ඉල්ලා ඒකාබද්ධ යෝජනාවක් ඉදිරිපත් කෙරුණි. මෙම යෝජනාව වෙනුවෙන් සිරිමා බණ්‌ඩාරනායක ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 21 දෙනෙකු අත්සන් තබා තිබුණි. එම ඉල්ලීම සහ යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්‌තකයට ඇතුලත් කලද රජය විසුරුවන තෙක් කිසිඳු ක්‍රියාමාර්ගයක් නෙගෙන තිබුණි.

ඝාතකයින් හඳුනාගැනීම සහ නඩු පැවරීම්[සංස්කරණය]

රිචඩ් ඝාතනයෙන් පසු ඔහුගේ මව වන ආචාර්ය මනෝරාණි සරවනමුත්තු 1990 මැයි 10 රාත්‍රී 9.00ට ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්ති නරඹමින් සිටි අවස්ථාවක තම පුත්‍රයා පැහැරගෙන ගිය කණ්ඩායමේ නායකයා සිටිනු දක්නට ලැබුණි. ඇය දුටුවේ ඔහු පොලිස් නිල ඇඳුමෙන් සැරසී සිටින අයුරුය. ඔහු නමින් පොලිස්‌ පරීක්‌ෂක ලාල් ක්‍රිෂාන්ත ධර්මසිරි රංචාගොඩය. ඉන් පසුව ඇය විසින් තමා හඳුනාගත් එම පොලිස් නිලධාරියා පිළිබඳව අධිකරණය දැනුවත් කෙරුණි. අධිකරණයට දැනුම් දුන් පසු මහේස්‌ත්‍රාත් රෝහිණී පෙරේරා විසින් එම පොලිස් නිලධාරියා වහා අත්අඩංගුවට ගන්නා ලෙස නියෝගකල නමුත් එවකට සිටි රාජ්‍ය ආරක්‌ෂක ඇමති රන්ජන් විඡේරත්නගේ බලපෑම් මත ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලිසියට නොහැකි විය.

රිචඩ් ද සොයිසාව ආයුධ සන්නද්ධ කණ්ඩායමක් ලෙසින් ගොස් පැහැරගෙන ඝාතනය කොට ඇත්තේ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි රොනී ගුණසිංහ නායකත්වය දුන් පොලිස් කණ්ඩායමක් විසින් බව පසු කලක අනාවරණය විය. මෙම ඝාතනයට පොලිස්‌ පරීක්‌ෂක ලාල් ක්‍රිෂාන්ත ධර්මසිරි රංචාගොඩ, පොලිස්‌ පරීක්‌ෂක එම්.ජී.ජී. දේවසුරේන්ද්‍ර, පොලිස්‌ සැරයන් වෙඩික්‌කාරගේ සරත්චන්ද්‍ර යන අය සම්බන්ධ වූ බව අනාවරණය විය.

කාලය ගෙවියමත් සමග රිචඩ් ද සොයිසාව ඝාතනය කල පොලිස් නිලධාරීන්ට එරහිව මොරටුව මහෙස්‌ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනු කෙරුණි. පසුව එම නඩුව කොළඹ අලුත්කඩේ මහාධිකරණය ඉදිරියේ විභාගයට ගැනුනි. එම නඩුව මහාධිකරණ විනිසුරු රෝහිණී පෙරේරා ඉදිරියේ විභාග කෙරුණි. රජයේ නීතිඥ දමිත් තොටවත්ත පැමිණිලි පාර්ශවය වෙනුවෙන් ඉදිරිපත් වූ අතර විත්තිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ දයා පෙරේරා, නීතිඥ අනිල් සිල්වා සමඟ නීතිඥ කේ. තවරාසා පෙනී සිටියහ. වසර 15 තිස්සේ විභාග වූ නඩුවේ අවසන් තීන්දුව 2005 ඔක්තෝම්බර් මස 9 දින ප්‍රකාශයට පත් කෙරුණි. රිචඩ් ද සොයිසාව ඝාතනය කිරීම වෙනුවෙන් අධිකරණයට ඉදිරිපත්කොට සිටි සියලුම විත්තිකරුවන් සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කෙරුණි. එම නඩු තීන්දුවේ සඳහන් වුයේ සාක්ෂිකරුවන් විසින් ලබාදුන් සාක්ෂි පරස්පර විරෝධී බැවින් විත්තිකරුවන්ට එරහිව ගොනුකොට තිබු චෝදනා ඔප්පු වී නොමැති බවය. කොළඹ අලුත්කඩේ මහාධිකරණයේදී විභාගයට ගැනුණු නඩුවේ අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ බැටී වීරකෝන් ඇතුළු නීතිඥ කණ්ඩායමක් පෙනී සිටියහ.

ප්‍රධාන සක්ෂිකරුට එරහිව මරණිය තර්ජන[සංස්කරණය]

රිචඩ් ද සොයිසා ඝාතන නඩු විභාගයේ ප්‍රධාන ප්‍රබල සාක්ෂිය වුයේ ඉන්ටර්ප්‍රෙස්‌ ප්‍රවෘත්ති ආයතනයේ මාධ්‍ය සහායක ලෙස කටයුතු කල කරුණාදාසගේ සාක්ෂිය විය. ඝාතකයින් විසින් ඔහුට එරහිව එල්ල කරන ලද මරණිය තර්ජන හේතුවෙන් කරුණාදාස වසර දෙකකට අසන්න කාලයක් නවාතැන් ගෙන තිබුනේ එවකට හිටපු අමාත්‍යවරයකු වන ලලිත් ඇතුලත්මුදලිගේ නිවසේය.


රිචඩ් ද සොයිසාගේ මව ( ආචාර්ය මනෝරාණි සරවනමුත්තු )[සංස්කරණය]

රිචඩ් ද සොයිසාගේ මරණයෙන් පසුව ඔහුගේ මව වන මනෝරාණි සරවනමුත්තු ජීවත්වූ වැලිකඩ වත්ත නිවාස අත හැර කොල්ලුපිටියේ ජයවර්ධන මාවතේ පිහිටි නිවසක පදිංචියට පැමිණියාය. තම පුත්‍රයාට සිදුවූ ඛේදවාචකයෙන් දැඩි ලෙස කම්පාවට පත්ව සිටි ඇය 88 - 89 භීෂණ සමයේ මරා දැමුණු සහ අතුරුදහන්කළ පුද්ගලයින්ගේ මව්වරුන් , වැන්දඹු බිරින්දෑවරුන් දහස් ගණනකගේ අයිතිය වෙනිවෙන් පෙනී සිටියාය. 2001 පෙබරවාරි මස 14 දින ඇය ජිවිතයෙන් සමුගත්තාය.

ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි රොනී ගුණසිංහ[සංස්කරණය]

රිචඩ් ද සොයිසාගේ ඝාතනය මෙහෙයවූ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි රොනී ගුණසිංහ L.T.T.E. සංවිධානය විසින් රණසිංහ ප්‍රේමදාස ඝාතනය කිරීමට කොළඹ ආමර් වීදියේ පිපිරවූ බෝම්බයට හසුවී මිය ගියේය.

References[සංස්කරණය]

External links[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=රිචඩ්_ද_සොයිසා&oldid=431828" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි