රයිගම වැල්මිල්ල සෙල්ලිපිය

විකිපීඩියා වෙතින්

වැල්මිල්ල සෙල්ලිපිය

රයිගම් කෝරළයේ තල්පිටිබද්ද පත්තුවේ වැල්මිල්ල ග්‍රාමයේ බටතුඹගහ වත්ත නොහොත් ටැඹගංගොඩ ඉඩමේ තිබී ක්‍රි.ව 1931 දී සොයා ගන්නා ලද පුවරු ලිපිය වැල්මිල්ල ටැම් ලිපිය, පුවරු ලිපිය, සෙල්ලිපිය යනාදී නාමයන්ගෙන් හදුන්වයි. මෙම ලිපිය වර්තමානයේ ජාතික කෞතුකාගාරයේ ශිලාලේඛන අංශයේ සවිකොට පවතී. රයිගම ඉතිහාසය සම්බන්ධ අතීශය වැදගත් අභිලේඛනයක් ලෙස සැලකේ. 1998 දී මෙම ලිපියෙන් කැඩී වෙන්ව ගිය තවත් කොටසක් සොයා ගන්නා ලදී.

පහත දැක්වෙන්නේ වැල්මිල්ල සෙල් පුවරු ලිපියේ එන ආරම්භක පේලි කිහිපයකි.

සිරිබර කැත් කුලට් කලාටික් ඔකාවස් රද් පරපුරෙන් බට් අග්බිසොව් මුන්ද්නෙන් වෙසෙස් වූ මහ සෙන් අභා මහ රද්හු සත් ලැගුමෙන් අටි වන හවුරුදුයෙහි නවා මස් සන්දහි පුන් මස්හි ද දස (ප)ක් දවස් පහන්භුණු දනව්යෙහි......

මෙම ලිපියේ සඳහන්වන මහසෙන් අභය මහරජු වනාහී අනුරාධපුරයේ රජ කළ තුන්වන සේන රජු විය යුතු යැයි මහාචාර්ය සෙනරත් පරණවිතානයන් විසින් අදහස් කරයි.(ez-5). මෙම තුන්වන සේන රජ රජකම් කළේ ක්‍රි.ව936ත් 946ත් අතරය.

රයිගම් කෝරළය බිහිවීමට පළමු එහි නැගෙනහිර කොටස් හිරණ්‍යමළ දනව්වටත්, බටහිර කොටස් පාන බුන්න දනව්වටත් අයත්ව පැවතින. එකල තල්පිටි බද්ද පත්තුවද අයත්ව පැවතියේ පාන බුන්න දනව්වටය. මෙම දනව්ව එකල පැපිලියාන දක්වා වූ පාලන ඒකකයක්ව පැවති බව සිංහලේ කඩවත් පොත් ඇසුරෙන් අපට තේරුම් ගත හැකියි.

පහන්බුණු හෙවත් පාෂාණ භින්න දනව්ව යනු වත්මන් පානදුරය මුල්කරගත් පාලන ඒකකයක් යැයි කිව හැකිය. හිරණ්‍යමළයේ වත්මන් අනුප්‍රප්ථික නගරය හොරණ වූවා සේම පාන බුණ්නේ  වත්මන් අනුප්‍රප්ථික නගරය පානදුරයයි.

ත්‍රි සිංහලේ කඩයිම් පොතේ 259 පිට මෙසේ දැක්වේ. පෙර කාලයෙහි එක් රජෙක් පහන් පුජාවක්කරන කල, පහන් බැඳ තොරණ ඇඟැ ආදිය ද්‍රිඪ ජාතියකට අයත් පිරිසක් බිදි හෙයින්ද, පසුව රජු යුද්ධයෙන් ජය ගත් හෙයින් පහන භුණ්න තැන්හි පහන් කන්දක් කරවා ඇත්තේය. එතන සිට නටඹුන් වෙහෙරක් ඇත්තේ සපළ වූ රජ මැදුරක් ඇත්තේය. මේ වෙහෙර පානදුරයේ  ශ්‍රී සුදර්ෂණාරාමය පවති ස්ථානයේ පවතින්නට ඇතැයි සැළකේ.

මහා වංශයෙ ධාතුසේන රජු පාසාණභින්න දනව්වේ විහාරයක් කරවූ බව සඳහන් කරයි. (මහාවංශය 38- 47). හයවන පරාක්‍රමබාහු රජුගේ පැපිලියාන සෙල්ලිපියේද පහන්බුණු දනව්ව පිළිබඳ තොරතුරු දැක්වේ.

බොහොවිට අපට වැටහෙන්නේ 14වන සියවසේ පටන් රයිගම රාජධානියක් ලෙසින් නැගී එන්නට පළමුව පැවති පානබුන්න දනව්වේ හා හිරණ්‍යමළ දනව්වේ සීමාවේ මේ ටැම්ලිපිය පිහිටවන්නට ඇති බවය.

මෙම සෙල්ලිපියේ අර්තය ක්ෂත්‍රීය කුලයට තිලකයක් බඳ වූ ඔකකාත රජ පරපුරෙන් පැවතෙන මහසෙන් අභය මහ රජුගේ අභීෂේකයෙන් අටවන අව්රුද්දේ නවම් පුර පක්ෂයේ දසවන දින පහන් භුණු දනව්වෙහි අරුගම් පෙළ වග පෙදෙසේ  සොමි කිතල්නාගේ ඉඩමට පැමිණි, රාජසභා අනුමතිය පරිදි සිරිසඟබෝ කාශ්‍යප මහරජුගේ පුත් උදය මහාදිපාදයන්ගේ අණ පරිදි එවන ලද ආරක්ෂක නිලධාරී සුළුහලු උදානද, ආරක්ෂක නිලධාරී පැහැදීම්ද, ආරක්ෂක නිලධාරී මිවුගම් කිනිම්ද,--------- ආරක්ෂක නිලධාරී සග්සෙනම්ද------------------ පැමිණ ----------- අධිපතියන් (රට්හිමියන්) හා රද්කොල් සම්දරුවන් මෙයට ඇතුල් වෙන ලෙසද, මාර්ග කටයුතුවලට ශ්‍රමය ලබාගන්නා මග් දිවැ නිලධාරීන්, පෙදිවැ නිල දරුවන් හා මෙලාට්සි නම් ඉඩම් බදු නිලධාරීන් මෙයට නොවදිනා ලෙසද---------- ගමෙහි ගවයන් නොවැද්දවීමටද,  දෙරුවන දෙකම්තැන් නම් නිලධාරීන්, ඉඩම් වගා කරන සුලු ගොවීන් වන කුඩීන් ඇතුල් නොවන ලෙසද, සොරකම් නොකරන ලෙසටද, මිනීමරා සොරකම් කොට ගම් වැද ඇති සිටින්නන් පිට කර ගනීමටද------

වගා කරන ඉඩම් වලින් බදු ලෙස බඩොරට් වැල්මිල එකසිය පනස් රන් කළං රජයට ගෙවීමටද, අවුරුදු පතා කන්න දෙකට බදු ලෙස රං කළං දෙසීය පණහක් ගැනීමට නීති පනවා ආරුගම් පෙළ වග පැමිණි රාජ්‍ය නිලධාරීන් විසින් මෙම වදාරන කණුව පිහිටවන ලදී.

මෙහි වැදගත් කම මෙකල රයිගම් කෝරළය ඉහළලෙස ජනාකීර්ණව පැවති බව පෙනීමයි. අනුරාධපුරයේ සිට මනා සංවිධාත මහාසම්මත ඒකීය පාලනයකින් බැදී පැවති බවය. 9,10 සියවස්වල පැවති නිලධාරි ව්‍යුහය මින් ප්‍රඛටවේ. වග යනු වනගත පාලන ඒකකයකි. රයිගම් කෝරළයේ වග නමින් හඳුන්වන තවත් වනගත කලාප පවතී. කලුපහණ වග, සදපහන වග ඒ අතරවේ. මේවා පාලනය වූයේ විශේෂිත නීති රීති අනුවය. බැලූ බැල්මටම මෙය රක්ෂිතයක් වෙන්කිරීමක් දැයි දැකයක් ඇතිවන්නේ මෙබවිනි.   විශේෂිත පුද්ගලයින්ට ගම්වර ලෙසින් ප්‍රධානය කළ ඉඩම් වලට සාමාන්‍ය තත්වය වලක්වා අණපිහිටවූ ආකාරය,එමෙන්ම මෙම සෙල් ටැම් ලිපියෙන් එවකට සිටි රජවරුන් දෙදෙනෙක්ද, මාපා හෙවත් මහාධිපාදවරයෙක් ගැනද ඔවුන් අතර පැවති නෑ සබද කම්ද හෙලිවේ.  බදු හා නීති රීති පිළිබඳවද අවබෝධයක් ලැබේ. අරුගම් පෙළ වගයනු නමින් එකල හදුන්වා ඇත්තේ වත්මන් අරුක්ගොඩ හා පමුණුගම පෙදෙසය.


මූලාඝ- රයිගම්පුර රාජධානිය- ගුසේන ගමගේ

          අසිරිමත් රයිගම - ජානක තරංග ආරියරත්න

          ජනජීවිතය, ජනශ්‍රැතිය හා රයිගම - ඊ.ඇම්. රත්නපාල

          ත්‍රි සිංහලේ කඩවත් පොත -මාරබේ

          e.z.-III-p.294 වැල්මිල්ල ලිපිය පුරාවිද්‍යා දත්ව