Jump to content

මුන්නේශ්වරම් කෝවිල

විකිපීඩියා වෙතින්
මුන්නේශ්වරම් කෝවිල
ශිව දේවාලය
මුන්නේශ්වරම් කෝවිල is located in Sri Lanka
මුන්නේශ්වරම් කෝවිල
මුන්නේශ්වරම් කෝවිල
ශ්‍රී ලංකාව තුල පිහිටීම
ඛණ්ඩාංක:7°34′50.80″N 79°49′00.02″E / 7.5807778°N 79.8166722°E / 7.5807778; 79.8166722ඛණ්ඩාංක: 7°34′50.80″N 79°49′00.02″E / 7.5807778°N 79.8166722°E / 7.5807778; 79.8166722
නම
සංඥා නාමය:මුන්නේශ්වරම් කෝවිල
පිහිටීම
රට:ශ්‍රී ලංකාව
ප්‍රාන්තය:වයඹ
දිස්ත්‍රික්කය:පුත්තලම
පිහිටීම:මුන්නේශ්වරම්, හලාවත අසල
.ගෘහනිර්මාණ ශිල්පය සහ සංස්කෘතිය
ප්‍රාථමික දේවතාවා:ශිව (සිව)
ගෘහනිර්මාණ ශිල්ප ශෛලීයයන්:ද්‍රවිඩ ගෘහ නිර්මාණ ශිල්පය
ඉතිහාසය
පිහිටවූ දින:ආදිතම දිනය 1000 ක්‍රි.පූ. (අනුමාන)
ගොඩනැගූ දිනය:
(වර්තමාන ව්‍යුහය)
1753
නිර්මාතෘ:මහනුවර කීර්ති ශ්‍රී රාජසිංහ

මුන්නේශ්වරම් කෝවිල ශ්‍රී ලංකාවේ හලාවත ප්‍රදේශයේ පිහිටි වැදගත් හින්දු ආගමික සිද්ධස්ථානයකි. ප්‍රසිද්ධ හින්දු වීර කාව්‍යයක් වන රාමායණයේ එන රාම රජු මෙම සිද්ධස්ථානය හා සම්බන්ධ බව පැවසුන ද අවම වශයෙන් ක්‍රි.පූ. 1000 දක්වා හෝ දිවෙන කල්පිත අතීතයකට මෙම කෝවිල හිමිකම් කියයි. ශිව දෙවියන් වෙනුවෙන් ඉදි කෙරුණු මෙම කෝවිල, දකුණු ඉන්දියානු කලාපයෙහි, ශිව දෙවියන් වෙනුවෙන් ඉදි කෙරුණු පෞරාණික හින්දු සිද්ධස්ථාන පහ අතරින් එකකි.

පුදබිම් සංකීර්ණයේ ප්‍රධාන කෝවිල, හින්දු බැතිමතුන්ගේ උතුම් හා වැඩි ම ගෞරවයට පාත්‍ර වූ ශිව දෙවියන් උදෙසා කැප කර ඇත. ගණ දෙවියන්, අයියනායක දෙවියන් හා කාලි මෑණියන් වෙනුවෙන් කැප කළ තවත් දේවාල තුනක් ද බෞද්ධ විහාරයක් ද පුදබිම් සංකීර්ණයට අයත් වේ. බෞද්ධ හා කතෝලික ජනතාවගේ ද පූජාවට පාත්‍ර වන මුන්නේශ්වරම් කෝවිලට 19 වැනි සියවසේ අග හාගය වන විට පැමිණි බැතිමතුන් අතරින් වැඩි පිරිසක් සිංහල බෞද්ධයින් විය. බෞද්ධ විහාරය සහ අයියනායක දේවාලය හැරුණු විට අනෙකුත් දේවාලවල පරිපාලනය හින්දුවරුන් විසින් කරගෙන යනු ලැබේ.

හලාවත කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ, හලාවත නගරයේ සිට කි.මී. 2 ක් පමණ දුරින් මුන්නේශ්වරම් කෝවිල පිහිටා ඇත.

මෙම ප්‍රදේශය කෝට්ටේ රාජධානියට අයත්ව පැවති සමයේ දී කෝවිල අවට වූ ගම් විශාල සංඛ්‍යාවක් ගම්වර වශයෙන් ශිව කෝවිලට ලබා දී ඇත. පෘතුගීසි ආක්‍රමණවලින් මෙම කෝවිල දෙවරක් ම විනාශ කෙරුණු අතර එක වරක දී ඒ මත කතෝලික දේවස්ථානයක් ද ඉදි කරන ලදී. නමුත් එම අවස්ථා දෙකෙහි දී ම බැතිමතුන් විසින් නැවත මුන්නේශ්වරම් කෝවිල ගොඩනංවන ලදී. 18 වැනි සියවසේ අග භාගයේ සිදු වූ ආගමික හා ජන ව්‍යාප්තියේ වෙනස්වීම් හේතුවෙන්, කෝවිල අවට පවතින බොහෝ ගම් සහ නගර, කෝවිල් පරිපාලනයට සහ නඩත්තුවට ඍජු දායකත්වයක් නො දැක්වුව ද මුන්නේශ්වරම් කෝවිලේ ප්‍රධාන මංගල්‍ය උත්සවය සඳහා මරදන්කුලම හා උඩප්පුව යන ගම් ප්‍රධාන දායකත්වය සපයයි.

නව රාත්‍රී සහ ශිව රාත්‍රී ඇතුළු ප්‍රධාන හින්දු ආගමික උත්සව, මුන්නේශ්වරම්හි සමරනු ලැබේ. මේ හැර අගෝස්තු හා සැප්තැම්බර් මාසවල, සති 4 ක කාලයක් පුරා මුන්නේශ්වරම් වාර්ෂික මංගල්‍ය උත්සවය පැවැත්වෙන අතර ඒ සඳහා හින්දු බැතිමතුන් මෙන් ම බෞද්ධ, කතෝලික හා ඉස්ලාම් ආගමිකයින් ද ආගම් භේදයකින් තොර ව සහභාගී වෙයි.

ඉතිහාසය

[සංස්කරණය]
මෙම ශිව ලිංගය පෘතුගීසීන් විසින් මුන්නේශ්වරම් කෝවිල විනාශ කිරීමට පෙර සිට පැවති ආගමික මූර්තීන් අතරින් එකකි.

අතීතයේ දී පරිපාලන බල ප්‍රදේශයක් වූ "මුන්නේශ්වරම් පත්තුව" හි ග්‍රාමයක් වූ මුන්නේශ්වරම මධ්‍යයේ මෙම දේවාලය පිහිටා ඇත. ගම් 60 කින් යුතු වූ මුන්නේශ්වරම් පත්තුවේ දේශපාලන නායකත්වය දරන ලද්දේ මරදන්කුලම ග්‍රාමයයි. ලන්දේසි පාලනයට වගකීමට බැඳී සිටි ද්‍රවිඩ ජන නායකයන් විසින් පාලනය කරන ලද "දෙමළ පත්තුව"ට මුන්නේශ්වරම් පත්තුව අයත් විය. ප්‍රධාන දෙවියන් සහ දේවතාවිය ලෙස "ශ්‍රී මුන්නයිනාතර්" දෙවියන් ද "ශ්‍රී වටිවාම්බිකා දේවි" දේවතාවිය ද පිදුම් ලබති.

අතීතයේ සිට ම මෙම සිද්ධස්ථානය, නුදුරින් පිහිටි, මුතු කිමිදීම සහ ධීවර කර්මාන්තයට ප්‍රචලිතව පැවති හලාවත නගරය සමඟ මෙන් ම දේවාලයේ නඩත්තුව සඳහා උපකාර කළ, අවට ගම්වල වාසය කළ ප්‍රභූ පුද්ගලයන් සමඟ ද සමීප සබඳතා පැවතිනි. වෙළඳ මාර්ගයන්ට මෙන් ම වරායට ද සමීපව පිහිටීම, ඉන්දියානු ජනතාව මෙන් ම ඉන්දියානු ආකල්ප ද ලංකාව තුළ පැතිර යාමට ඉවහල් විය. බෞද්ධ සහ හින්දු ආගමික දෙවිවරුන් උදෙසා මෙන් ම ගම් භාර අයියනායක හෙවත් අයියනාර් දෙවියන්, වීරමුන්ඩ දෙවියන්, කඩවර දෙවියන් සහ බණ්ඩාර දෙවියන් උදෙසා ඉදි කරන ලද දේවාල, මුන්නේශ්වරම් පත්තුව පුරා දැකිය හැක. මානව විද්‍යාඥ රොහාන් බැස්ටින් මහතා පවසන අන්දමට, ද්‍රවිඩ ජනතාව අදහන ගම් භාර දේවතාවකු වන "මුනිසරන්" දෙවියන් වෙනුවෙන් අතීතයේ දී ඉදි කරන ලද කුඩා දේවාලයක්, පසු කාලීනව රාජ්‍ය අනුග්‍රහය ලබා, ප්‍රධාන ශිව දේවාලය බවට පත්ව තිබේ. ක්‍රි.ව.11 වැනි සියවස වන විට ද දෙවොළ ස්ථාපිතව තිබූ අතර, එමඟින් කාසි ද නිකුත් කර ඇත. පත්තු නායකවරුන්ගේ අනුග්‍රහය මත ආරම්භ වූ මෙම දේවාලය ක්‍රි.ව. 10 වැනි ශත වර්ෂයේ මුල් භාගයේ ඉදි කරන්නට ඇති බව අනුමාන කළ හැකිය. මුහුදු මාර්ගයෙන් වෙළඳාමේ යෙදුනවුන්, වන්දනාකරුවන් මෙන් ම ඉබන් බතුතා වැනි විදේශ සංචාරකයින් ද ක්‍රි.ව. 14 වැනි සියවසේ දී යාපන රාජධානියට අයත් පුත්තලමේ නතර වී මන්නාරම් බොක්ක ඔස්සේ යාත්‍රා කළ බවට සාක්ෂි හමු වේ.

සන්නස් හා සාහිත්‍යය මඟින් ශිව දේවාලයේ ඉතිහාසය සනාථ කෙරේ. කාලි දේවාලය පළිගැනීම් හා ශාපකිරීම්, සත්ත්ව බිලි පූජා පැවැත්වීම මෙන් ම ආරූඪවීම් පිළිබඳව ද ප්‍රසිද්ධියක් උසුලයි. බැතිමතුන් ආරූඪවීම පිළිබඳව ක්‍රි.ව. 16 වැනි සියවසේ දී ජෙසුඉට් පූජකවරුන් විසින් ද වාර්තා කර ඇත. අයියනායක දෙවියන් වෙනුවෙන් ඉදි කර ඇති දේවාලයේ පරිපාලන කටයුතු සිදු කරනු ලබන්නේ ප්‍රදේශයේ වෙසෙන සිංහල පවුල් විසිනි. මෙම පුදබිම් සංකීර්ණයට අයත් බෞද්ධ විහාරය ඉදි කරන ලද්දේ ක්‍රි.ව. 19 වැනි සියවසේ අග භාගයේ දී ය. ප්‍රධාන පුදබිම් සංකීර්ණයේ නිරිත දෙසට වන්නට පිහිටා ඇති ගනේෂ කෝවිල, කෝවිල් සංකීර්ණයට එක් වූ මෑත කාලීන ම ගොඩනැගිල්ලයි. එය ක්‍රි.ව. 19 වැනි සියවසේ මුල් භාගයේ දී දකුණු ඉන්දීය ශිල්පීන් විසින් ඉදි කරන ලදී.

මුන්නේශ්වරම කෝවිල, කෝනේශ්වරම් කෝවිල (ත්‍රිකුණාමලය), නගුලේශ්වරම් කෝවිල (කීරිමලේ), තිරුතීකේශ්වරම් කෝවිල (මන්නාරම) සහ රාමේශ්වරම් කෝවිල (ඉන්දියාව) යන කෝවිල් පහ, ශිව දෙවියන් වෙනුවෙන් මෙම කලාපයේ (ශ්‍රී ලංකාව ද ඇතුළුව) ඉදි කරන ලද, පෞරාණික ම කෝවිල් ("ඊශ්වරම්") ලෙස සැලකේ.

ආශ්‍රිත

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=මුන්නේශ්වරම්_කෝවිල&oldid=539995" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි