මිහින්තලය ඉඳිකටු සෑය

විකිපීඩියා වෙතින්

මිහින්තලය ඉඳිකටු සෑය, ශ්‍රී ලංකාවේ අනුරාධපුර මිහින්තලා පුදබිමෙහි ඉදිකොට ඇති චෙෙත්‍යයන් අතුරින් එකක් වේ. එය මිහින්තලය කටු සෑයට යාබදව දැකගත හැකිවේ.

ඉතිහාසය[සංස්කරණය]

මෙම ස්ථූපය පළමුවන සේන රජතුමාගේ රාජ්‍ය සමය තුල ඉදිකරන ලද්දක් බව, පුරාවිද්‍යාත්මක සාධක අනූව නිර්ණය කොට තිබේ. ගොඩනැගූ අය අවිනිෂ්චිතය.

1923 වර්ෂයේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙහි සංරක්ෂණ කටයුතු ආරම්භ කරන ලදී. එහිදී මහායාන බෞද්ධ දර්ශනයට අයත් ප්‍රඥාපාරමිතා සූත්‍රය සංස්කෘත භාෂාවෙන් ලියන ලද තඹ පත් ඉරු 91 ක් හමුවී තිබේ. ඒ අනූව මහායාන බෞද්ධ සම්ප්‍රදායට අයත් ධර්ම ධාතු නිදන් කොට තනනු ලබන ධර්ම චෙෙත්‍යයක් ලෙස මෙය සැළකේ.

කෙසේනමුදු මිහින්තලයේ වැඩවිසූ භික්ෂූන් වහන්සේලාගේ චීවර මසා ගැනීමට භාවිත කල ඉඳිකටු තැම්පත් කර මෙම ස්ථූපය ගොඩ නැංවූ බව ජනප්‍රවාදයේ විස්තර වේ. 1941 වර්ෂයේදී මෙය පුරාවිද්‍යා රක්ෂිත ස්මාරකයක් බවට පත් කරන ලදී.

දාගැබ[සංස්කරණය]

අඩි 6ක් පමණ උසින් යුතු වේදිකාවක් මත අඩි 20ක පමණ විෂ්කම්භයකින් යුක්තව ඉදිකර ඇති ස්ථූපය ක්‍රි. ව. 8-9 සියවසට අයත් මහායානික නිර්මාණ ලක්ෂණ පෙන්නුම් කරයි. පාදමේ සිට පේසා වළලු දක්වා කළු ගලින්ද, උපරි භාගය ගඩොලින්ද නිර්මාණය කොට තිබේ. මෙහි හැඩය බුබ්බුලාකාර ස්වරූපයක් ගන්නා අතර, අනුරාධපුර විජයාරාම ස්ථූපයට සමාන කමක් දක්වයි.

ස්ථූපයට අමතරව පංචාවාස ගොඩනැගිල්ලක්, ප්‍රතිමා ගෘහයක්, ජන්ථාගාරයක් හා පොකුණක්ද අවට දැකගත හැකිවේ.

මූලාශ්‍ර[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=මිහින්තලය_ඉඳිකටු_සෑය&oldid=399517" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි