මා අධිරාජිනිය (හොංවු)

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
මා අධිරාජිනිය
මෙය චීන නාමයකි; පවුල් නාමය වන්නේ මා (馬) ය.

මා අධිරාජිනිය හෙවත් නිල වශයෙන් ෂියාඕකිගාඕ අධිරාජිනිය (1332–1382) ලෙස හඳුන්වන්නේ මිං රාජවංශයේ චීන වල්ලභ අධිරාජිනියකි. හොංවු අධිරාජයා සමග විවාහ වූ ඇය ඔහුගේ දේශපාලන උපදේශිකාව සහ ලේකම්වරිය ලෙසින් ඔහුගේ රාජ්‍ය සමය තුළ දැවැන්ත බලයක් ඉසිලූවා ය.[1]

දිවිය[සංස්කරණය]

මුල්කාලීන දිවිය[සංස්කරණය]

මා දරිද්‍ර පසුබිමකින් පැවතෙන්නියක වූවා ය. ඇය උපත ලැබූයේ යුවාන් අධිරාජ්‍යයේ වර්තමාන ඇන්හුයි පළාතේ සුචෞ ප්‍රදේශයේ ය. එකල චීනයේ කම්කරු පන්තියට ඉහළින් වූ බොහෝ කාන්තාවන් මෙන් ඇය සිය පාද බැඳීමකට ලක් නොකළ බැව් පැවසේ. ඇගේ දෙමාපියන් පිළිබඳ දන්නා තොරතුරු ස්වල්පයකි. චෙං පෙළපත් නාමය හිමි ඇගේ මෑණියන් ඇය කුඩා කළ මියගියා ය. ඇගේ පියා ඇය සමග ඩිංයුවාන් (වර්තමාන ඇන්හුයි පළාතේ) වෙත පලා ආවේ ඔහු විසින් යම් තැනැත්තකු ඝාතනය කිරීම හේතුවෙනි.[2]

ඇගේ පියා රතු තලප්පා හමුදාවේ ආරම්භකයා වූ ගුවෝ සිෂිං සමග මිතුරු විය. ඔහු විසින් මා හට අධ්‍යාපනය ලබාදුන් අතර, ඇගේ පියාගේ මරණින් පසු ඔහු ඇයව හදාවඩා ගත්තේ ය. 1352දී ඇය ඔහුගේ එක් නිලධාරියකු වූ චූ යුවාන්චෑං හෙවත් අනාගත හොංවු අධිරාජයාට විවාහ කරදෙන ලදී.[3]

යුධ ව්‍යාපාර[සංස්කරණය]

මා ඇගේ සැමියාට ඔහුගේ යුධ ව්‍යාපාර සඳහා සහයෝගීත්වය දැක්වූ‍යේ ඔහු පිළිබඳ සොයාබැලීමෙන් පමණක් නොව, දේශපාලන සහ යුධ සබඳතා සඳහා ක්‍රියාකාරීව දායක වීමෙනි. එසේම ඔහුගේ කටයුතු මෙහෙයවීමට ද ඇය මැදිහත් විය. ඇගේ දායකත්වය සඳහා එක් නිදසුනක් ලෙස චූ යුවාන්චෑං සිය හමුදා යැංසි ගංගාව හරහා යුවාන් සෙබලුන් සමග සටන් වැදීමට සෙබලුන් රැගෙන ගිය අවස්ථාවේ, මා විසින් හේචෞ (වර්තමාන ඇන්හුයි පළාතේ) ප්‍රදේශයේ රැඳී සිටි සෙබලුන්ගේ පවුල්වල සාමාජිකයන් අස්වසන ලදී. ඇය සමග රැඳී සිටි හමුදාවන්ට නගරය ආරක්ෂා කිරීමට ඇය දිරිගැන්වූවා ය.[4]

1363දී, පෝයැං විලේ සටනේ දී, මෙම අනාගත අධිරැජිනිය ඉමහත් ශක්තියක් වූවා ය. යුවාන්වරුන්ට එරෙහිව කැරලි ගැසූ සිය එදිරිවාදියකු වූ චෙන් යෞලියෑංට එරෙහිව සටන් වැදීමේ දී ඇය වැදගත් කාර්යභාරයක් ඉටුකළා ය. මා වටිනා භාණ්ඩ‍ සෙබලුන් අතර බෙදා දෙමින් ඔවුන්ව සටනෙහි යෙදීමට දිරිගැන්වූවා ය.

අධිරාජිනිය[සංස්කරණය]

1368දී චූ යුවාන්චෑං අධිරාජයා බවට පත්වීමෙන් පසු, ඔහු විසින් මා සිය අධිරාජිනිය ලෙස නම්කරන ලදී. මෙලෙසින් ඇයව ධුරයෙන් උසස් කළ ද, මා නිහතමානී, අරපිරිමැසුම් සහ ධර්මිෂ්ඨ දිවියක් ගතකළා ය. ඇය සිය සරල ගති පැවතුම් දිවිය පුරාම අනුගමනය කළා ය. වැදගත් කාර්යභාරයක් ඉටුකළ ඇය දේශපාලන උපදේශිකාවක සහ ලේකම්වරියක ලෙසින් රාජ්‍ය ලේඛන පවත්වා ගැනීමට උපකාර වූවා ය. ඇතැම් අවස්ථාවල දී, අධිරාජයාව අයුක්ති සහගත ක්‍රියාවන්ගෙන් වළක්වා ගැනීමට ඇය කටයුතු කළා ය. මෙයට උදාහරණයක් ලෙස සොං ලියෑන් නම් ශාස්ත්‍රඥයා මරණ දඬුවමින් මුදාලීමට ඇය දැක්වූ දායකත්වය සැලකිය හැක.

ජනතාවගේ යහපැවැත්ම කෙරෙහි මා අධිරාජිනිය මහත් සැලකිල්ලක් දැක්වූවා ය. බදු අඩු කිරීම් සහ බර වැඩ සඳහා වූ බැඳීම් ලිහිල් කිරීමට ඇය උත්සුක වූවා ය. එසේම මිං අගනුවර වූ නැන්ජිංහි ධාන්‍යාගාරයක් ඉදිකිරීමේ දී ඇය ප්‍රධාන කාර්යභාරයක් ඉටුකළා ය. මෙමගින් එහි ජාතික විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ ශිෂ්‍යයින්ගේ ආහාර අවශ්‍යතා සපුරාලීමට හැකි විය.

හොංවු අධිරාජයා ඇය දේශපාලනය සහ රාජ්‍ය කටයුතුවලට මැදිහත් වීම සම්බන්ධයෙන් එතරම් මනාපයක් නොදැක්වී ය. ඔහු අධිරාජිනියන් සහ බිසෝවරුන් රාජ්‍ය කටයුතුවලට මැදිහත් වීම වැළැක්වීමට නීති සම්පාදනය කළේ ය. අධිරාජිනී සහ බිසෝ පදවියට පහළින් වූ ශ්‍රේණිවල කාන්තාවන්ට සහායිකාවන් නොමැතිව මාලිගයෙන් පිටවීම තහනම් කළේ ය. මෙයට මා අධිරාජිනිය ප්‍රතිචාර දැක්වූයේ ඔහු ජනතාවගේ පියා නම්, ඇය ඔවුන්ගේ මෑණියන් බව පවසමිනි. එවිට මවක සිය දරුවන් රැක බලාගැනීමෙන් වළක්වන්නේ කෙසේ ද යැයි ඇය විමසී ය.[5]

ඇගේ නිහතමානීභාවය සහ සරල ජීවන රටාව හේතුවෙන් ප්‍රකට මෙම අධිරාජිනිය සාමාන්‍ය වස්ත්‍ර, ඒවා පැරණි සහ දිරා යන තෙක්ම භාවිතා කිරීමට පුරුදුව සිටියා ය. අනාථයින් සහ වැන්දඹුවන් උදෙසා රළු සේදවලින් වියූ පොරෝනා සහ තිර රෙදි ලබාදුන්නා ය. එසේම ඇය අමතර අමුද්‍රව්‍ය කුමාරවරුන්ගේ භාර්යාවන්ට ලබාදුන්නේ ඔවුනට පටපණු වගාවේ වටිනාකම වටහා දීමටයි.

පවුල[සංස්කරණය]

මා අධිරාජිනිය කිසිදු දරුවකුට උපත දුන් බවට ඇගේ නිල චරිතාපදානයෙහි කිසිදු සඳහනක් හමු නොවේ. දීර්ඝ කාලයක් පුරා විශ්වාස කෙරුණේ ඇගේ සැමියාගේ පුත්‍රයින් විසි හය දෙනාගෙන් පළමු පස්දෙනා ඇගේ දරුවන් බවයි. නමුත් නූතන ඉතිහාසඥයින් විශ්වාස කරන්නේ ඇයට දරුවන් නොවූ බවත්, අධිරාජයාගේ පළමු පුතුන් පස්දෙනා ඇය සිය දරුවන් සේ හදාවඩා ගත් බවයි.

මා සිය සැමියාගේ උපිබසෝවරුන් සහ මාලිග ස්ත්‍රීන් සමග යහපත් සම්බන්ධතා පැවැත්වූවා යත කිසියම් හේතුවක් නිසා මාලිගයේ නීති කඩකළ අයට ඇය අපක්ෂපාතී අයුරින් අවවාද කළා ය. (ඇය මෙසේ සිදුකළේ ඔවුන් සිය සැමියාගේ කුප්‍රකට කෝපයෙන් මුදවා ගැනීමටයි)

ඇය සිය හදාගත් පුත්‍රයින්ගේ අධ්‍යාපනය කෙරෙහි සැලකිලිමත් වූවා ය. ඇය කීර්තිමත් කොන්ෆියුසියානු විද්වතුන් ඔවුන්ගේ ගුරුවරුන් ලෙස තෝරාගත්තා ය. එසේම ඇය ඔවුන්ගේ භාර්යාවන්ගේ චර්යාව සහ චාරිත්‍ර කෙරෙහි පෞද්ගලිකව අවධානය යොමුකළා ය. ඇය විසින් සොං රාජවංශ යුගයේ නැණවත් සහ ගුණවත් අධිරාජිනියන් සහ බිසෝවරුන්ගේ ක්‍රියා පිළිබඳ ග්‍රන්ථයක් සම්පාදනයට නියෝග කළා ය. එසේම, එම යුගයේ මාලිග සම්ප්‍රදායයන් පිළිබඳ නිරීක්ෂණය කළ ඇය මාලිග ස්ත්‍රීන් කාණ්ඩ කොට එය උගන්වන්නට වූවා ය. ඇය අනාගත යොංග්ලේ අධිරාජයාගේ අධිරාජිනිය වූ ෂූ යිහුවා කෙරෙහි ප්‍රබල බලපෑමක් දැක්වූවා ය.[6]

මරණය[සංස්කරණය]

1382 අවසාන කාලයේ, අධිරාජිනිය රෝගාතුර විය. ඇය මියයාමට ප්‍රථම සිය සැමියාට අනුශාසනාවක් ලබාදුන්නා ය. ඇය පැවසූයේ ඔහු දක්ෂතා අගය කළ යුතු බවත්, සිය අමාත්‍යවරුන්ට සවන් දිය යුතු බවත් සහ තීරණ ගැනීමේ දී ප්‍රවේශම් විය යුතු බවත් ය.

මා අධිරාජිනියගේ දේහය නැන්ජිංහි ෂියාඕලිං මොසෝලියමේ භූමදානය කරන ලදී. ඇයට ෂියාඕකිගාඕ යන මරණාපර පදවිය පිරිනමන ලදී.[7]

සටහන්[සංස්කරණය]

  1. Lily Xiao Hong Lee; Sue Wiles (13 March 2014). Biographical Dictionary of Chinese Women: Tang Through Ming, 618-1644. M.E. Sharpe. පිටු 282–284. ISBN 978-0-7656-4316-2. https://books.google.com/books?id=Cw0pAwAAQBAJ&pg=PA282&lpg=PA282#v=onepage&q&f=false. 
  2. Biographical Dictionary of Chinese Women: Tang Through Ming, 618-1644
  3. Biographical Dictionary of Chinese Women: Tang Through Ming, 618-1644
  4. Biographical Dictionary of Chinese Women: Tang Through Ming, 618-1644
  5. Biographical Dictionary of Chinese Women: Tang Through Ming, 618-1644
  6. Biographical Dictionary of Chinese Women: Tang Through Ming, 618-1644
  7. Biographical Dictionary of Chinese Women: Tang Through Ming, 618-1644
චීන රාජකීයයා
පූර්වප්‍රාප්තිකයා
ගි අධිරාජිනිය
චීනයේ අධිරාජිනිය
1368–1382
අනුප්‍රාප්තික වූයේ
ෂියාඕමින්රැං අධිරාජිනිය
"https://si.wikipedia.org/w/index.php?title=මා_අධිරාජිනිය_(හොංවු)&oldid=403256" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි