මානව සම්පත් කළමනාකරණය

විකිපීඩියා වෙතින්

මානව සම්පත් කළමණාකරණය යනු ව්‍යාපාර ආයතනයක අරමුණු හා අභිමතාර්ථ ජය ගැනීමට තම දායකත්වය තනිව හා සාමූහිකව ආයතනයට ලබා දෙන මානව සම්පත කළමණාකරණය කිරීමේ උපක්‍රමික හා තර්කානුකූල ප්‍රවේශයකි.

මානව සම්පත

මානව සම්පත යනු සංවිධානයක් සතුව පවතින මිනිසුන් හා ඵලදායි නිෂ්පාදන කටයුතුවලට යොමුකලහැකි ඔවුන් සතුව ඇති ශක්තීන්, දැනුම, කුසලතාවන් හා අත්දැකීම් වේ. මේවා සංවිධානයක සාර්ථකත්වය සදහා භාවිතා කල හැකි අතර ඒවා සංවිධානයක් සතුව පවතින වටිනාම සම්පත ලෙස අර්ථකතනය කල හැක.මුල් කාලයේදී ආයතනයේ වටිනාම සම්පත ලෙස සැලකුවේ ගණුදෙනුකරුවන්ය. නමුත් වර්තමානයේදී ගණුදෙනුකරුවන් තරමටම සේවකයින්ද ආයතනයේවටිනාම සම්පත ලෙස සලකනු ලබයි. මන්ද යත් මනා දක්ෂතාවයකින් හා කුසලතාවයකින් පිරිපුන් සේවක පිරිසක් නොමැතිනම් ආයතනයට තම අරමුණු හා පමාර්ථ කරා යාම සිහිනයක් වන බැවිනි.

මානව සම්පත් කළමනාකරණය සම්බන්ධයෙන් විවිධ නිර්වචන

"මිනිසුන් කළමනාකරණය සම්බන්දයෙන් යොදාගනු ලබන දර්ශක, ප්‍රතිපත්ති, පිළිවෙත්, පිරිවැය යන ආදිය සදහා යොදාගනු ලබන පදයක් ලෙස මානව සම්පත් කළමනාකරණය හැදින්විය හැකිය." (Wentel French)

"චිරස්ථායී ව්‍යාපාර සාර්ථකත්වයක් සදහා එකම වැදගත් සාධකය මානව සම්පත යන විශ්වාසය මත පදනම් කරගෙන මිනිසුන් කළමාකරණය කිරී‍මේ දර්ශනය යි." (Allen Price)

“සංවිධානයේ පරමාර්ථ හා සේවාදායකයන්ගේ තෘප්තිය හා සංවර්ධනය යන ද්විත්වය ඉටු කර ගැනීමට මානව සම්පත්වල සඵල උපයෝජනය සලකන සියලුම සංවිධානවල ශ්‍රිතය." (Gluik)

"ඉතා වැදගත් මානුෂික සම්පත් ලෙස සංවිධානයක සේවක පිරිසේ වැදගත්කම පිළිගැනීම හා පුද්ගලයන් සංවිධානයේ සහ සමාජයේ යහපත පිණිස සඵලව සහ නීත්‍යානුකූලව භාවිතය තහවුරු කිරීමට විවිධ කාර්යයන් සහ ක්‍රියාකාරකම් උපයෝජනය කිරීම." (Stuler & Yanbaladi)


"සංවිධානයක මානුෂික සම්බන්ධතා පිළිබඳ මූලිකවම අදාළ වන කළමනාකරණ අංශය සේවා මණ්ඩල කළමනාකරණය යි." (ඉන්දියානු සේවක කළමණාකරන ආයතනය)

මේ අනුව මානව සම්පත් කළමනාකරණය යනු ආයතනයේ සිටින සේවකයින් පිරිස කළමනාකරණය කිරීම හෙවත් කිසියම් සංවිධානයකට පරමාර්ථ ඉටුකර ගැනීම උදෙසා පවතින මානව සම්පත් සඵලදායී ලෙස කාර්යක්ෂම ලෙස උපයෝජනය කිරීමයි.

අනෙකුත් සම්පත් වලට සාපේක්ෂව මානව සම්පතෙහි දක්නට ඇති විශේෂ ලක්ෂණ

  • සජීවි සප්‍රාණික වීම
  • සිතීමට, ප්‍රතික්‍රියා දැක්වීමට හැකියාවක් තිබීම
  • මානව සම්පතෙහි පිරිවැය වන වේතන තීරණය කිරීමට, බලපෑම් කිරීමට හැකියාවක් තිබීම
  • කාලය ගතවීමත් සමග පුහුණුව අත්දැකීම්, අධ්‍යාපන ආදී කරුණු මගින් මානව සම්පත්වල අගය වැඩිවීම
  • වෘත්තීය සමිති, කණ්ඩායම් ආදී වශයෙන් සංවිධානය වීමේ හැකියාවක් තිබීම
  • නිර්මාණශීලි වීම
  • ඔහුටම/ ඇයටම ආවේණික වූ ස්වියත්වයක් තිබීම
  • අනෙකුත් සියලුම සම්පත් පිළිබඳ තීරණ ගනු ලබන්නේ මානව සම්පත මගිනි

මේ අනුව මානව සම්පත් කළමනාකරණයේ මූලිකම අරමුණ විය යුත්තේ සංවිධානයේ සඵලදායකත්වය පිණිස උපරිම පුද්ගල දායකත්වයක් ගෙන දෙන ඉතාමයෝග්‍ය සහ තෘප්ත මානව බලයක් ජනිත කොට පවත්වාගෙන යාමයි.

ආයතනයේ අරමුණු සහ පරමාර්ථ ඉටු කරගත හැකි නිවැරදි ගුණාත්මක (සවිධානයේ කාර්යයන් ඉටු කිරීමට අවශ්‍ය මානව දැනුමකින්, කුසලතා, ආකල්ප වලින්) භාවයකින් යුත් ඵලදායී හා තෘප්තියට පත් සේවක සංඛ්‍යාවක්(ඉහළ සුභසිද්ධීන් භුක්ති විදින) පවත්වාගෙන යාම.

ඉහත සදහන් මූලික පරමාර්ථය ඉටු කර ගැනීමට උපකාරී වන පරමාර්ථ කිහිපයකි

  • සේවදායක ඵලදායිතාවය වැඩිකිරීම
  • සේවාදායක සංවර්ධනය
  • රැකියා ජීවිතයේ ගුණාත්මකභාවය ඉහළ නැවීම
  • නීත්‍යානුකූල එකඟවීම

ඉහත සදහන් උපක්‍රමික පරමාර්ථ ඉටු කර ගැනීමට පහත සඳහන් අරමුණු ඉෂ්ට කර ගත යුතුය

  • නිවැරදි පුද්ගලයන්, නිවැරදි වේලාවට, නිවැරදි රැකියා සදහා බඳවා ගැනීම.
  • සැබෙවින්ම වඩා ‍යෝග්‍ය අපේක්ෂිත කාර්යඵල ජනිත කරන සේවාදායකයන් සංවිධානය තුළ රඳවා ගැනීම.
  • සේවදායකයන්ගේ කැපවීම ලබා ගැනීම හා වර්ධනය.
  • සේවදායකයන්ගේ කැපවීම ලබා ගැනීම හා වර්ධනය.
  • සේවා නියුක්ත පිරිවැය පලනය කිරීම.

ඉහත සදහන් අරමුණු පරමාර්ථ මුදුන් පමුණුවා ගැනීමට කළ යුතු කාර්යයන් ගණනාවක් ඇත

  • රැකියා නිර්මාණය
  • රැකියා විශ්ලේෂණය
  • මිනිස් බල සැලසුම් කිරීම
  • ආකර්ශනය
  • තෝරාගැනීම
  • බඳවාගැනීම
  • අනුස්ථාපනය
  • වේතන කළමනාකරණය
  • පුහුණුව හා සංවර්ධනය
  • සේවාදායක චලන
  • සේවක විනය පරිපාලනය
  • සෞඛ්‍ය හා ආරක්ෂාව
  • සුභසාධන පරිපාලනය
  • දුක්ගැනවිලි විසඳීම
  • ශ්‍රමික සබඳතා


මානව සම්පත් කළමනාකරණයේ අවශ්‍යතාව

සංවිධානයක් සිය අරමුණු හා පරමාර්ථ ඉටු කර ගැනීමට යන ගමනේදී ඒ සදහා සම්පත් භාවිතා කිරීමට සිදු වේ. මූල්‍ය, ද්‍රව්‍ය, තොරතුරු, තාක්ෂණය යනාදී වූ අනෙකුත් සියලුම සම්පත් තිබුනත් ඒවා ප්‍රශස්ත ලෙස මෙහෙය වීම කළ හැක්කේ මානව සම්පත මගිනි. එම නිසා මානව සම්පත් කළමනාකරණය ආයතනයකට අත්‍යවශය අංගයකි.

ආයතනයක අනෙකුත් ශ්‍රිත ක්ෂේත්‍රයන් වන නිෂ්පාදන, අලෙවි, මූල්‍ය, පරිපාලන යන අංශයන් හි සාර්ථකත්වයට මුළු ආයතනයේම සර්ථකත්වයට බලපානු ලබයි. ඒ සදහා උද්යෝගිමත් මනා කැපවීමෙන් හා ගුණාත්මකභාවකින් යුත් සේවක පිරිසක් ඒ ඒ දෙපාර්තමේන්තු තුළ සිටීම අත්‍යවශ්‍ය කාරණයකි. ඒම කාර්ය ඉටු කිරීමට මානව සම්පත් කළමනාකරුවන්ගෙන් මනා පිටුවහලක් ලැබේ.

ආයතනයක ඇති ප්‍රධානම දෙපාර්තමේන්තු වල නිෂ්පාදන, මූල්‍ය, අලෙවි ආදී ප්‍රධානම සම්පත් වන්නේ මානව සම්පතයි. එම නිසා සම්පත නිවැරදි ලෙසකළමනාකරණය කිරීම සම්බන්ධයෙන් වූ පුළුල් දැනුමක් මානව සම්පත් කළමනාකරු ප්‍රමුඛ සියළුම කළමනාකරුවන්ට තිබීම අත්‍යවශ්‍ය කරුණකි.

වර්තමානය වන විට සේවා මණ්ඩල කළමනාකරණය සමාජීය අවශ්‍යතාවයක් ද බවට පත්ව තිබේ. එයට හේතුව වන්නේ සමාජයේ වෙසෙන පුද්ගලයන්ට රැකියා ලබා දීම තුළින් ඔවුනට උසස් ජීවන තත්ත්වයක් ලබා දී දිළිදුකම පිටු දැකීම හා සමාජ සංවර්ධනයට මෙම මානව සම්පත් කළමනාකරණය මනා රුකුලක් වී ඇති බැවිනි.

මානව සම්පත් කළමනාකරණයේ අවශ්‍යතාව ප්‍රවීන මානව සම්පත් ගත් කතුවරයෙකු වන Garry Desler මෙසේ කෙටි කර දක්වනු ලබයි.

"ඔබ කළමනාකරුවෙක් නම් ඔබේ ආයතනය කළමනාකරණය කරන විට පහත සදහන් ආකාරයේ වැරදි සිදුවනවා දකින්න කැමතිද?

  • කිසියම් රැකියාවක් සදහා නුසුදුසු පුද්ගලයන් බදවා ගැනීම.
  • රැකියාව/ ආයතනය හැරයන පුද්ගලයින් ප්‍රමාණය දිනෙන් දින අධික වීම.
  • ඔබගේ යටත් සේවකයින් ඔවුන්ගේ උපරිම ධාරිතාවයෙන් කටයුතු නොකිරීම.
  • ඵලක් නොමැති සම්මුඛ පරීක්ෂණ වලින් කාලය නාස්ති කර දැමීම.
  • ඔබගේ සේවකයන් සම්බන්ධයෙන් ගත් තීරණ නිසා නීතිමය ක්‍රියාමාර්ග වලට යන්නට සිදුවීම.
  • ඔබගේ සේවකයන් අතුරින් සමහරෙකු තමන්ට අසාධාරණයක් වී යෑයි පසුතැවිල්ලෙන් සිටීම.
  • පුහුණුව මද බව නිසා අඩු ඵලදායිතාවක් නිරතුරුව දක්නට ලැබීම.
  • අසාධාරණ කම්කරු ප්‍රතිපත්ති ආයතනයේ තිබීම.

ඉහත සදහන් වු ආකාරයේ දුර්වලතාවයන් මග හරවා ගැනීමට නම් ඔබ ආයතනයේ සාර්ථක මානව සම්පත් කළමනාකරණයක් ක්‍රියාත්මක විය යුතුය."

මිනිසා ආයතනයක හෙවත් සංවිධානයක සම්පත් වන්නේ කෙසේද?

කිසියම් ආයතනයකට තම ආයතනයට ආවේණික වූ අරමුණු හා පරමාර්ථ පවතී. මෙම අරමුණු හා පරමාර්ථ ඉටු කර ගැනීමේ ක්‍රියාවලියේදී ඒ වෙනුවෙන් භාවිතා කරන්නේ සම්පත්ය.

  • මානව සම්පත - Man
  • මුදල් - Money
  • ක්‍රම/තාක්ෂණය - Method
  • ද්‍රව්‍ය - Materials
  • යන්ත්‍ර - Machines

වශයෙනි.

සම්පත් ප්‍රධාන වශයෙන් කොටස් කරනු ලබයි. ඒ අනුව මෙම වර්ග කිරීම තුළින්ම පුද්ගලයන් හෙවත් මිනිසා යනු ආයතනයක සම්පතක් බවට පිළිගෙන ඇත.

ආයතනයේ භාණ්ඩ හෝ සේවා නිෂ්පාදන ක්‍රියාවලියේදී මානව සම්පත යෙදවුමක් ලෙස භාවිතා කළ හැකිය. එනම් ආයතනයේ නිමවුම් ක්‍රියාවලියේ මානව සම්පත අත්‍යවශ්‍ය අංගයක් වන බවයි. එම නිසා පුද්ගලයින් ආයතනයේ සම්පත වන්නේය.

මිනිසුන් ආයතනයකට සම්බන්ධ වන්නේ ශ්‍රම සැපයුම්කරුවන් වශයෙනි. ඇත්ත වශයෙන්ම ශ්‍රමය යනු අවශ්‍යතා වලට සාපේකෂව හිග සම්පතකි. එම නිසා එම හිග සම්පත් කාර්යක්ෂමව හා ඵලදායීව යෙදවීම මෙන්ම රැකගැනීමද ආයතනය සතු කාර්ය භාරයකි. එම හේතුවෙන් මිනිසා යනු ආයතනයට සම්පතකි.

ශ්‍රමය වෙනුවෙන් ආයතනයක් වැය කරන මුදල වැටුප ලෙස හදුන්වයි. ශ්‍රමය ලබා ගැනීමට ආයතනයට වැටුප වශයෙන් විශාල මුදලක් ගෙවීමට සිදුවේ. තමන් විශාල මුදලක් ගෙවා ලබා ගන්නා පුද්ගලයින් ආයතනයේ පවතින සම්පත් වලින් වටිනාම සම්පත වන්නේය.

මීට වෙනස්ව ගත් කළ ලෝකයේ වෙසෙන සියළුම පුද්ගලයන් ආයතනයේ විශාලත්වය අනුව එම ආයතනයේ සම්පත් විය හැකිය. මන්ද යත් සමහරුන් ශ්‍රම සැපයීම තුළින් ආයතනයට සම්පතක් වන අතර එසේ නොවන පුද්ගලයින් පාරිභොගිකයින් ලෙස ආයතනයට සම්බන්ධ වන නිසාය.

"https://si.wikipedia.org/w/index.php?title=මානව_සම්පත්_කළමනාකරණය&oldid=568515" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි