මස්තානි
මස්තානි | |
---|---|
උපත | මෞ සහානියා, බුන්දෙල්ඛාන්ද් |
මියගිය දිනය | 1740 |
කලත්‍රයා(යන්) | බාජි රාඕ I |
දරුවන් | ෂාම්ෂෙර් බහදුර් I (ක්‍රිෂ්ණා රාඕ) |
දෙමව්පියන් |
|
මස්තානි යනුවෙන් හැඳින්වෙන්නේ මරාථ පේෂ්වා Iවන බාජිරාඕගේ දෙවන භාර්යාවයි.[1] ඇය කලාව, සාහිත්‍යය සහ රණකාමය කෙරෙහි දස්කම් පෙන්වූ රූමත් අභීත කාන්තාවක බව පැවසේ.[2] ඇයට පේෂ්වා බාජිරාඕ බෙහෙවින් ඇලුම්කළේ ය. නමුත් ඔහුගේ මෑණියන් වූ රාධාබායි සහ සොහොයුරා වූ චිමාජිඅප්පා ඇයව නොසලකා හැරියහ.
මුල්කාලීන දිවිය
[සංස්කරණය]මස්තානි උපත ලැබූයේ බුන්දෙල්ඛාන්ද්හි රාජ්පුත් වංශයේ මහරාජා ඡත්‍රසාල්ට දාව ය. ඇය උපත ලැබූයේ මෞ සහානියා ප්‍රදේශයේ ය. (වර්තමානයේ මධ්‍ය ප්‍රදේශ්හි ඡතර්පූර් දිස්ත්‍රික්කයේ ගම්මානයකි) ධුබේලාහි මස්තානි ජීවත් වූ මන්දිරයක් මස්තානි මහල් ලෙස හඳුනාගෙන ඇත.[3]
චරිතාපදානය
[සංස්කරණය]මස්තානි වටා ගෙතුණු ජනප්‍රවාද රැසක් පවතියි. ඉන් වඩාත්ම ප්‍රකට ජනප්‍රවාදය නම් මස්තානි යනු බුන්දෙල්ඛාන්ද් පළාතේ පන්නා ප්‍රාන්තයේ ආදිකර්තෘ වන බුන්දේලා රාජ්පුත් නායක මහරාජා ඡත්‍රසාල් (1649–1731) ගේ දියණිය බවයි.[4] අලහබාද්හි මෝගල් නිලධාරියකු වූ පතන් මොහම්මද් ඛාන් බංගාෂ් 1727-28 අතර කාලයේ ඡත්‍රසාල්ගේ රාජධානිය ආක්‍රමණය කළේ ය. ඡත්‍රසාල් බුන්දෙල්ඛාන්ද් අවට ආක්‍රමණයක නියැළී සිටි Iවන බාජිරාඕගෙන් සහාය ඉල්ලා රහස් සංදේශයක් යැවී ය. බාජිරාඕ පැමිණ ඡත්‍රසාල්ව බේරාගත්තේ ය. මෙයට කෘතඥතාව පල කිරීමක් වශයෙන් ඡත්‍රසාල් සිය දියණිය වූ මස්තානි සමග ජාන්සි, සාගර් සහ කල්පි ප්‍රදේශ ඇතුළත් සිය රාජධානියෙන් තුනෙන් එකක ප්‍රමාණයක් සහ රන් කාසි ලක්ෂ 33ක් බාජිරාඕට ලබාදුන්නේ ය. මස්තානි සමග විවාහයේ දී ඔහු බාජිරාඕට දියමන්ති පතලක් සහ ප්‍රයෝජනවත් ගම්මාන කිහිපයක් ද ප්‍රදානය කළේ ය.
කෙසේනමුත්, මේ පිළිබඳ ඓතිහාසික වාර්තා විවිධත්වයක් ගනියි. ඡත්‍රසාල් පිළිබඳ වෙනත් මතයක් අනුව කියැවෙන්නේ ඇය හයිදරාබාදයේ නිසාම්ගේ දියණිය බවයි. 1698දී ඡත්‍රසාල් විසින් නිසාම්ව පරාජය කළ අතර, මේ වනවිට මධ්‍ය ඉන්දියාවේ බලය අතින් ප්‍රමුඛත්වයට පත්ව සිටි බුන්දෙලාවරුන් සමග මිත්‍රශීලී සම්බන්ධතා පැවැත්වීමේ අරමුණින් යුතුව සිය දියණියව ඡත්‍රසාල්ට විවාහ කරදීමට ඔහුගේ භාර්යාව විසින් උපදෙස් දෙන ලදී.[5]
කෙසේනමුත් වඩාත් පිළිගැනෙන මතය නම්, ඇය ඡත්‍රසාල්ට දාව ඔහුගේ පර්සියානු මුස්ලිම් බිසව වූ රුහානි බායිට උපන් දියණිය බවයි. බොහෝ අවස්ථාවන්හි දී මස්තානි යනු බාජිරාඕගේ උපබිසවක හෝ අනියම් භාර්යාවක ලෙස සඳහන් වුව ද, සැබැවින්ම ඇය ඇය ඔහුගේ නීත්‍යානුකූලව විවාහ කරගත් භාර්යාවක වේ.[6]
අසුන් පැදවීම, හෙල්ලය විසි කිරීමට සහ අසිපත් හරඹ කෙරෙහි ශූරතා දැක්වූ මස්තානි, දක්ෂ නළඟමෙන්ම ගායිකාවක ද වූවා ය. ඇය යුධ ආක්‍රමණවල දී බාජිරාඕ සමග සහායට පිටත් වූවා ය. බාජිරාඕට දාව ඔහුගේ පළමු බිසව වූ කාෂිබායි සහ මස්තානි එකිනෙකාට මාස කිහිපයක වයස් පරතයක් ඇති පුතුන් බිහි කළහ. කාෂිබායිගේ පුත්‍රයාව රඝුනාත්රාඕ ලෙස නම්කෙරිණි. මස්තානිගේ පුත්‍රයා ෂාම්ෂෙර් බහදූර් වූ අතර, උපතේ දී ඔහු ක්‍රිෂ්ණා රාඕ නම් විය.
බාජිරාඕ ෂාම්ෂෙර් (පේෂ්වා) හට බන්දාහි ජාගිර් පදවිය පිරිනැමී ය. 1761 තෙවන පනිපත් සටනේ දී ඇගේ පුත්‍රයා අහමඩ් ෂා අබ්දාලිට විරුද්ධව මරාථවරුන්ට පක්ෂව සටන් වැදුණේ ය.[7]
බාජිරාඕ විසින් සිය අර්ධ-මුස්ලිම් බිසව වූ මස්තානිට පෙම් කිරීමත්, කාෂිබායිව නොසලකා හැරීමත් ඔහුගේ මව වූ රාධාබායිගේ කෝපයට හේතු විය. රාධාබායිට අමතරව, බාජිරාඕගේ සොහොයුරා වූ චිමාජිඅප්පා මස්තානිව පිටුවහල් කිරීමට ද උත්සාහ දැරී ය. බාජිරාඕගේ පුත් බාලාජි සිය පියාව අත්හැරීමට මස්තානිට බලකළේ ය. නමුත් මස්තානි එය ප්‍රතික්ෂේප කළා ය. බාජිරාඕ කෙරෙහි ඇය බලපෑම් කිරීම සහ කාෂිබායිව නොසලකා හැරීම පිළිබඳ කෝප වූ ඔවුහු බාජිරාඕ ආක්‍රමණයක් සඳහා පිටත්ව ගිය අවස්ථාවේ මස්තානිව කාලයක් නිවාස අඩස්සියේ රැඳවූහ.
මස්තානි කලක් පූනේහි ෂානිවාර් වාදා මාලිගයේ බාජිරාඕ සමග ජීවත්ව තිබේ. මෙම මාලිගයේ ඊසානදිග කෙළවරෙහි මස්තානි මහල් නම් ගොඩනැගිල්ලකුත්, මස්තානි දාර්වාසා නැමැති බාහිර ද්වාරයකුත් දක්නට ලැබිණි. මස්තානි කෙරෙහි සිය පවුලෙන් ඇතිවූ විරෝධය නිසා, බාජිරාඕ පසුකලෙක එනම්, 1734දී කොත්රුද්හි මස්තානි වෙනුවෙන් වෙනම නිවහනක් ඉදිකරවා තිබේ.[4] මෙය ෂානිවාර් වාදා සිට මඳ දුරකින් පිහිටියේ ය. මෙම භූමිය වර්තමානයේ කාර්වේ මාවතේ මෘත්‍යුන්ජායි දෙවොල පිහිටි ස්ථානයේ දක්නට ලැබේ. කොත්රුද්හි මාලිගය ඉවත් කළ අතර, එහි කොටස් රාජා දින්කර් කේල්කර් කෞතුකාගාරයේ විශේෂ අංශයක ප්‍රදර්ශනයට තබා ඇත.[2][4] බාජිරාඕගේ පාලන සමයයට අයත් මාලිග වාර්තාවල (බඛාර්) ඇය හා සම්බන්ධ කිසිදු සඳහනක් දක්නට නොලැබේ. ඉතිහාසඥයින් විශ්වාස කරන්නේ රාජා කේල්කර් කෞතුකාගාරයේ සහ වායි කෞතුකාගාරයේ ඇති මස්තානි නිරූපිත සිතුවම් සත්‍ය නොවන බවයි.
මස්තානි අසුන් පැදවීමට සහ සටනට සමත්කම් දැක්වූයේ යැයි විශ්වාස කෙරේ. මාලිගයේ එදිනෙදා ගැටලුවල දී තීරණ ගැනීමට ඇය බාජිරාඕ පේෂ්වා හට සහාය වන්නට ඇත.
ජනප්‍රවාද අනුව, පූනේ-සාස්වාද් පාරේ දිවේ ගම්මානය අසල පිහිටි ජලාශය මස්තානිගේ අනුග්‍රහය මත අවට ගම්මානවල ජල අවශ්‍යතා සපුරාගැනීමට යොදා ගැනුණු බව පැවසේ.
මරණය
[සංස්කරණය]1740 අප්‍රේල් මස, ඛාර්ගොන්හි සිය බිම්වල විමර්ශනයක යෙදී සිටිය දී බාජිරාඕ උණ රෝගයක් වැළඳී හදිසියේම රෝගාතුර විය. (තාප ආඝාතයක් විය හැක) කාෂිබායි, චිමාජිඅප්පා සහ බාලාජි (නානාසහේබ්) ඛාර්ගොන් වෙත පැමිණියහ. ඔහුගේ අවමංගල්‍යයට සහභාගී වීමට මස්තානිට අවසර හිමි නොවිණි. 1740 අප්‍රේල් 28 දින නර්මදා ගං ඉවුරේ රාවේර් ඛේද්හි දී බාජිරාඕගේ සිරුර ආදාහනය කෙරිණි. ඉන් මඳ කලකට පසු, පූනේ අසල පාබල් ගම්මානයේ දී මස්තානි ද මරණයට පත් විය.
මස්තානි මියගියේ කෙසේ ද යන්න අභිරහසකි. ඇය සිය දිවි හානිකරගන්නට, ඝාතනය වන්නට හෝ සිය සැමියාගේ මරණය අසා කම්පනයෙන් මරණයට පත්වන්නට ඇතැයි යෝජනා වී ඇත. එක් ජනප්‍රවාදයකින් කියැවෙන්නේ ඇය සති පූජාව මගින් සිය දිවි හානිකරගත් බවයි.[8]
පාබල්හි පිහිටි මස්තානිගේ සොහොන මස්තානිගේ සමාධිය හෝ මසාර් ලෙස හඳුන්වයි.[9]
පැවතෙන්නන්
[සංස්කරණය]කාෂිබායි විසින් මස්තානිගේ සය හැවිරිදි පුත් ෂාම්ෂෙර් බහදූර් තමන්ගේම දරුවකු ලෙස හදාවඩා ගන්නා ලදී. ඔහුට බන්දාහි ජාගිර් සහ කල්පි පිරිනැමිණි.[10] බන්දාවේ නවාබ්වරුන් ඔහුගෙන් පැවතෙන්නන් වේ.[11] 1857දී, බන්දාවේ නවාබ් 1857 ඉන්දියානු අරගලයේ දී ජාන්සියේ රැජිනට සහාය වූයේ ය.[12] ඔහුගෙන් පැවතෙන්නන් වර්තමානයේ භෝපාල්, ඉන්දෝර් සහ සේහෝර් ප්‍රදේශවල ජීවත් වේ.
ජනප්‍රිය සංස්කෘතිය තුළ මස්තානි
[සංස්කරණය]- බාජි රාඕ සහ මස්තානිගේ කථාපුවත ඇතුළත් ධිරුභායි දේසායි විසින් අධ්‍යක්ෂණය කළ මස්තානි නැමැති සලරුව 1955දී මුදාහැරිණි.[13]
- 1990 දශකයේ නිෂ්පාදනය කෙරුණු "රාවු" නැමැති මරාථ කතාමාලාව බාජි රාඕ සහ මස්තානිගේ දිවිය අලලා ලියැවුණු එම නාමයම ඇති එන්. එස්. ඉනාම්දාර් නැමැති රචකයාගේ ඓතිහාසික නවකථාවක් ඇසුරෙන් නිපදවූවකි.
- ශ්‍රීමන්ත් පේෂ්වා බාජිරාඕ මස්තානි නැමැති කතාමාලාවක් ETV මරාථි නාළිකාවෙන් විකාශය විය.[14]
- සංජේ ලීලා භන්සාලි විසින් අධ්‍යක්ෂණය කළ 2015දී තිරගත වූ බාජිරාඕ මස්තානි නැමැති නාට්‍යමය චිත්‍රපටය තුළ මස්තානිගේ චරිතය නිරූපණය කරන ලද්දේ නිළි දීපිකා පදුකෝන් විසිනි.[15]
ආශ්‍රේයයන්
[සංස්කරණය]- ^ "How Bajirao and Mastani became a byword for doomed romance".
- ^ a b Tribure India accessed 3 March 2008
- ^ Raja Dinkar Kelkar Museum: Bajirao and Mastani, http://rajakelkarmuseum.com/default/collection/c-mastani.htm, ප්‍රතිෂ්ඨාපනය 2017-11-01
- ^ a b c Rajakelkar Museum සංරක්ෂණය කළ පිටපත 2005-03-08 at the Wayback Machine accessed 3 March 2008
- ^ Advance Study in the History of Modern India (Volume-1: 1707-1803) - G.S.Chhabra - Google Books. Books.google.co.in.
- ^ How Bajirao’s Mastani united Hindus and Muslims after her death
- ^ [1]
- ^ Jaswant Lal Mehta (1 January 2005). Advanced Study in the History of Modern India 1707-1813. Sterling Publishers Pvt. Ltd. p. 125. ISBN 978-1-932705-54-6.
- ^ Mishra, Garima (20 November 2015). "Grave of Mastani: Hindus call it samadhi :), Muslims mazaar". Indian Express. සම්ප්‍රවේශය 15 January 2016.
- ^ THE MASTANI MYSTERY By MITALI PAREKH, Ahmedabad Mirror, 13 September 2015
- ^ The Nawabs of Banda, http://www.royalfamilyofindia.com/banda/, ප්‍රතිෂ්ඨාපනය 2017-11-01
- ^ नवाब बांदा को राखी भेजकर रानी लक्ष्मीबाई ने मांगी थी मदद, Amar Ujala, 29 August 2015
- ^ Mastani හා සබැඳි අයිඑම්ඩීබී යොමුව
- ^ "ETV website". Etv.co.in. සම්ප්‍රවේශය 2013-12-03.
- ^ Jha, Subhash K (19 October 2015). "Bajirao Mastani review: This gloriously epic Priyanka, Deepika and Ranveer-starrer is the best film of 2015". Firstpost. සම්ප්‍රවේශය 19 October 2015.
වැඩිදුර කියවීමට
[සංස්කරණය]- ගොද්සේ, ඩී. ජී. Mastānī, Pôpyulara Prakāśana, 1989 (මරාථි)
- ඈන් ෆෙල්ඩ්හෝස්. Images of women in Maharashtrian society. SUNY Press (1998), පි. 70.
- ස්ටුවර්ට් ගොර්ඩ්න්. The New Cambridge History of India වෙළු. 2 කොටස 4: The Marathas 1600-1818. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය (1993),පි. 130.