කාෂිබායි

විකිපීඩියා වෙතින්
කාෂිබායි
කලත්‍රයා(යන්)Iවන බාජිරාඕ
දරුවන්බාලාජි බාජි රාඕ
රාම්චන්ද්‍ර
රඝුනාත් රාඕ
ජනාර්ධන් රාඕ
දෙමව්පියන්(s)මහාද්ජි කිෂ්ණා ජෝෂි
ෂියුබායි[1]

කාෂිබායි යනුවෙන් හඳුන්වන්නේ Iවන බාජිරාඕගේ පළමු භාර්යාවයි.[2] බාජිරාඕ යනු ඉන්දියාවේ විසූ සිව්වන මරාථ ඡත්‍රපති (අධිරාජ) ෂාහුජි රාජේ භොන්ස්ලේගේ පේෂ්වාවරුන් නව දෙනා අතුරින් වඩාත්ම බලවත්ම තැනැත්තා වූ භාට් පවුලෙන් බිහිවූ සෙන්පතියකු මෙන්ම අග්‍රාමාත්‍යවරයෙකි.

චරිතාපදානය[සංස්කරණය]

කාෂිබායි, මහාද්ජි ක්‍රිෂ්ණා ජෝෂිගේත්, ධනවත් බැංකුකරුවන්ගේ පවුලක සාමාජිකාවක වූ චාස්හි ෂියුබායිගේත් දියණිය වූවා ය.[3] ඇයට ක්‍රිෂ්ණරාඕ චාස්කර් නැමැති සොහොයුරකු විය.[4] 1720 මාර්තු 11 වන දින සාස්වාද්හි පැවති කුටුම්භීය මංගල්‍යයක දී, ඇයව බාජිරාඕට විවාහ කර දෙන ලදී.[5]

කාෂිබායි සහ බාජිරාඕ හට පුත්‍රයින් සිව්දෙනකු විය. ඇගේ පළමු පුත්‍රයා වූ බාලාජි බාජි රාඕ හෙවත් නානාසහේබ් උපත ලැබූයේ 1721දී ය. 1740දී බාජිරාඕගේ මරණින් පසු ෂාහු විසින් ඔහුව පේෂ්වා ධුරයට පත්කරන ලදී. දෙවන පුත්‍රයා වූ රාම්චන්ද්‍ර ළමාවියේ දී මියගියේ ය. තෙවන පුත්‍රයා වූ රඝුනාත් රාඕ 1773–1774 අතර කාලයේ පේෂ්වාවරයකු ලෙස කටයුතු කළ අතර, සිව්වන පුත්‍රයා වූ ජනාර්ධන් ද ලාබාල වියේ දී මියගියේ ය.[4] කාෂිබායි අස්ථිපර්වදාහයේ ප්‍රභේදයකින් පීඩා විඳ තිබේ.[6]

බාජිරාඕ, හින්දු රජකු වූ බුන්දෙල්ඛාන්ද්හි ඡත්‍රසාල් රජුට දාව පර්සියානු මුස්ලිම් බිසවක වූ රුහානි බායිට උපන් දියණිය වූ මස්තානි සමග විවාහ විය. නමුත් මෙම විවාහය පේෂ්වා පවුල විසින් පිළිගත්තේ නැත. මස්තානිට එරෙහිව පේෂ්වා පවුල දියත් කළ අභ්‍යන්තර අරගලයේ දී කාෂිබායි කිසිදු දායකත්වයක් ලබා නොදුන් බැව් සඳහන් වේ.[7] ඉතිහාසඥ පණ්ඩුරාග් බාල්කාවාදේ පවසන්නේ ඇය මස්තානිව බාජිරාඕගේ දෙවන බිසව ලෙස පිළිගැනීමට සූදානම්ව සිටි නමුත්, ඇගේ නැන්දණිය වූ රාධාබායි සහ මස්සිනා වූ චිමාජි අප්පාට විරුද්ධව යමින් එය සිදු කිරීමට ඇයට නොහැකි වූ බවට නොයෙකුත් ඓතිහාසික ලේඛනවල සාක්ෂි ඉදිරිපත් කළ හැකි බවයි. 18වන සියවසේ සම්මත ඉන්දියාවේ බොහෝ කතුන්ට මෙන් ඇයට ද වැදගත් ගැටලුවක දී සිය අදහස් ඉදිරිපත් කළ නොහැකි විය.[8]

මස්තානි සමග බාජිරාඕ පැවැත්වූ සම්බන්ධතාව හේතුවෙන් පුනේහි බ්‍රාහ්මණයින් පේෂ්වා පවුලට විරෝධය පෑ හෙයින්, චිමාජි අප්පා සහ බාලාජි බාජි රාඕ හෙවත් නානාසහේබ් විසින් 1740 මුල් කාලයේ බාජිරාඕ සහ මස්තානිව බලෙන් වෙන් කරන ලදී. බාජිරාඕ ආක්‍රමණයක් සඳහා පූනේ වෙත පිටත්ව ගිය විට, මස්තානිව නිවාස අඩස්සියේ රඳවා තැබිණි. බාජිරාඕගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් වෙමින් පැවතීම හේතුවෙන්, චිමාජි විසින් නානාසහේබ්ට මස්තානිව නිදහස් කොට බාජිරාඕ වෙත එවන මෙන් පවසන ලදී. නමුත් නානාසහේබ් ඒ වෙනුවට සිය මෑණියන් වූ කාෂිබායිව පිටත් කළේ ය.[9] ඔහු‍ගේ මරණ මංචකයේ දී කාෂිබායි "අවංක සහ කීකරු භාර්යාවක" ලෙස කටයුතු කළ බවත්,[7] සිය සැමියා වෙනුවෙන් වඩාත් කැපවූ තැනැත්තියක වූ බවත් සඳහන් වේ.[2] ඇය සහ ඇගේ පුත් ජනාර්ධන් අවසන් වතාවත් ඉටුකළහ.[10]

බාජිරාඕගේ මරණින් මඳ කලකට පසු, එනම් 1740දී මස්තානි මියගිය අතර, කාෂිබායි විසින් මස්තානිගේ පුත් ෂාම්ෂෙර් බහදූර් හදාවාඩා ගත් අතර, ඔහුට ආයුධ භාවිතය ද ඉගැන්වූවා ය.[8] සිය සැමියාගේ මරණින් පසු ඇය ආගම කෙරෙහි වඩාත් නැඹුරු වූවා ය. විවිධ වන්දනා ගමන්වල යෙදුණු ඇය අවුරුදු හතරක් බණාරස්හි නැවතී සිටියා ය.[11] එවැනි එක් සංචාරයක දී, ඇය බැතිමතුන් 10,000ක් පිරිවරා ගමන් ගත් අතර, රුපියල් ලක්ෂයක පමණ වියදමක් දැරීමට ද සිදු විය.[12] 1747 ජූලි මස වන්දනා ගමන නිමා කොට යළි පැමිණි ඇය, සිය උපන් නගරය වූ චාස්හි ශිව දෙවියන් වෙනුවෙන් පුදකළ සෝමේශ්වර දේවාලය නම් දෙවොලක් ඉදිකරවූවා ය. 1749දී ඉදිකළ මෙය, අක්කර 1.5ක (0.61 හෙක්.) භූමි ප්‍රමාණයකින් සමන්විත ය. ත්‍රිපුරාරි පූර්ණිමා උත්සවය වෙනුවෙන් ප්‍රකට වූ මෙම දෙවොල පිළිබඳ මරාථි ග්‍රන්ථයක් වන සාහලි ඒක් දිවස්‍යාච්‍යා පරිසරාත් පුණ්‍යච්‍යා පවසන්නේ එය පුනේ අසල සංචාරක ආකර්ෂණයක් ලෙස ක්‍රියා කළ බවයි.[8]

ජනප්‍රිය සංස්කෘතිය තුළ[සංස්කරණය]

2015දී සංජේ ලීලා බන්සාලි විසින් අධ්‍යක්ෂණය කළ ප්‍රබන්ධ නාට්‍යමය චිත්‍රපටයක් වූ බාජිරාඕ මස්තානි චිත්‍රපටය තුළ කාෂිබායිගේ චරිතය නිරූපණය කරන ලද්දේ නිළි ප්‍රියංකා චොප්රා විසිනි. එහි එන "පිංගා" ගීතයේ ඇගේ නර්තනය සහ ඇගේ වස්ත්‍ර, කාෂිබායිගෙන් මෙන්ම මස්තානිගෙන් වර්තමාන පැවතෙන්නන්ගේ සහ සමාජ මාධ්‍යවල විවේචනයට හේතු විය.[8][13][14] ඇතැම් ඉතිහාසඥයන් අදහස් දැක්වූයේ එවැනි පෞරුෂයක් ඇති කාන්තාවක් ප්‍රසිද්ධියේ නර්තනයේ යෙදීම අයෝග්‍ය බවයි. මීට අමතරව, කාෂිබායි ආත්රයිටිස් තත්ත්වයෙන් ද පෙළී ඇති බැවින්, එවැනි නර්තනයක් භෞතිකව ද අභව්‍ය බැව් පෙනේ.[6]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. Balkrishna Govind Gokhale (1988). Poona in the eighteenth century: an urban history. Oxford University Press. pp. 50–132.
  2. 2.0 2.1 Mehta, Jaswant Lal (2005). Advanced Study in the History of Modern India 1707–1813. Sterling Publishers Pvt. Ltd. p. 124.
  3. Sandhya Gokhale (2008). The Chitpavans: social ascendancy of a creative minority in Maharashtra, 1818–1918. Sandhya Gokhale. p. 82. ISBN 9788182901322.
  4. 4.0 4.1 R. D. Palsokar, T. Rabi Reddy (1995). Bajirao I: an outstanding cavalry general. Reliance Pub. House. p. 53. ISBN 9788185972947.
  5. Charles Augustus Kincaid, Dattātraya Baḷavanta Pārasanīsa (1922). A History of the Maratha People: From the death of Shivaji to the death of Shahu. S. Chand. p. 180.
  6. 6.0 6.1 Prashant Hamine (15 December 2015). "Rare manuscripts of Peshwa history lie wrapped in government apathy". Afternoon DC. සම්ප්‍රවේශය 4 January 2016.
  7. 7.0 7.1 I. P. Glushkova, Rajendra Vora (1999). Home, Family and Kinship in Maharashtra. Oxford University Press. p. 107. ISBN 9780195646351.
  8. 8.0 8.1 8.2 8.3 Garima Mishra (3 January 2016). "Kashibai: The first lady". Indian Express. සම්ප්‍රවේශය 4 January 2016.
  9. H. S. Bhatia (2001). Mahrattas, Sikhs and Southern Sultans of India: Their Fight Against Foreign Power. Deep Publications. p. 66. ISBN 9788171003693.
  10. Imprint, Volume 21. Business Press. 1981. p. 169.
  11. The Sikh Review, Volume 25, Issues 277–288. Sikh Cultural Centre. 1977. p. 48.
  12. B. R. Andhare (1984). Bundelkhand under the Marathas, 1720–1818 A.D.: a study of Maratha-Bundela relations, Volumes 1–2. Vishwa Bharati Prakashan. pp. 77–78.
  13. Mrunmayi Ainapure (19 November 2015). "Why the outrage around Bajirao Mastani's 'Pinga' is casteist and hypocritical". Firstpost. සම්ප්‍රවේශය 4 January 2016.
  14. Satish Nandgaonkar (5 December 2015). "Bajirao and Mastani's descendants object to songs". The Hindu. සම්ප්‍රවේශය 4 January 2016.

සැකිල්ල:MarathaEmpire

"https://si.wikipedia.org/w/index.php?title=කාෂිබායි&oldid=410051" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි