මයිකල් පියතුමා

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

දෙවියන්වහන්සේ තුලින් සැනසීම ලබාගන්නවාට වඩා අප සනසන දෙවියන් වහන්සේව සොයා යන්න. එවිට ඔබව ලස්සන ස්වර්ගයකට සුදානම් කෙරෙණු ඇත. ජීවිතයේ අසාවට, මා මිය ගියේ ඉතා ඈත අතිතයේදිය එනම් වීට අවුරුදු 40 කට පෙර 1948 දි මම වේද පොරොන්දු ගත් දිනයේදිය.

කුරුසිය අප බිත්තියේ සවිකර එල්ලා ගන්නා දෙයක් නොවේ. ජේසුතුමා පළමුව එහි එල්ලූණි ඒ අනුව අප අවස්ථාව පැමිණි විට අප සහෝදර සහෝදරියන් වෙනුවෙන් මියයාමට සුදානම්ව සිටිය යුතු වෙමු. මැරෙන්නට අප බිය විය යුත්තේ ඇයි? අර්බුදයෙන් පලායාම සාක්ෂි දැරිම නොවේ. ජනතාව අත්නොහැර අප ඔවුන් සමඟ ජිවත් විය යුතුය.

ඒ මයිකල් රුදිගු පියතුමා 1988 දකුණේ භීෂණ යුගයේදී එතුමාගේ ජිවිත ආරක්ෂාව ගැන විමසු තම සොයුරිය වෙත ලියු ලිපියක කොටසකි. 1927 ජුනි 30 වනදා දෙහිවල කූවේරි පාරේ විසු ඉංගී‍්‍රසි කථා කරන පවුලක් වු රිචඞ් රුද්‍රිගු හා ජොර්ජියනා රුද්‍රිගු පවුලේ දෙවන පුත් රුවන ලෙස ඔහු උපත ලැබීය. ඔහුගේ පියා බෞද්ධ මෙතෝදිස්ත පසුබිමක් සහිත වූවෙකි. මව කතෝලිකය. තමා කුඩා කල සිටම ආගම් භක්තිය වෙත මයික්ව යොමුකර තිබුණි. දෙවියන් වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට ඔහු කුඩා සන්දියේද මැලි නොවීය. පාසල් නිවාඩු දුන් විට අරළු බීම පවුලේ දරුවන්ට නියමු වූ සෞඛ්‍ය පිළිවෙතකි. දිනක් මයික් ඒවා නොබී විසි කිරිමට යද්දී සොයුරිය ජේසු තුමන් කුරුසියේදි තිත්ත කාඩි බිවු බව මතක් කළාය. මයික් නිහඬව අරළු බීවේය.

ඔහු අධ්‍යාපනය ලැබුවේ දෙහිවල රෝමාණු කතෝලික විදුහලෙන් හා කොළඹ ශාන්ත පීතර විදුහලෙනි. එකල ඔහු ගායනයට, රංගනයට මෙන්ම ඉංගී‍්‍රසි කථාවටද දක්ෂයෙකු විය. එසේම ඔහු තම බොදුනු නැදෑයන් සමඟ පන්සල් යාමටද පුරුදුව සිටියේය. ඔව්හූ මයික්ට බෙහෙවින් ආදරය කළෝය.

අපේකම සොයමින්

1954 දි මයිකල් රුද්‍රිගු පූජකවරය ලැබීය. රෝමයේ පූජක පුහුණුව ලද එතුමා එකල පැවැති ලතින් භාෂා පිළිවෙත්ද අනිකුත් පිළිවෙත්ද අකුරටම පිළිපදින්නෙකු වූ නිසාම අම්පිටිය පූජක පුහුණු හලේ කථිකාචාර්ය ධූරයකින් ඔහු පිදුම් ලැබුවේය. 1955 දී ඔහු ලංකාවට පැමිණි අතර ඒ වනවිට රට තුළ ස්වභාෂා ව්‍යාපාරය දියත් වී තිබුණි. තමන් උගන්වන පූජක සිසුන් යම් දිනක සේවය කරන්නේ සිංහල දෙමළ භාෂා කථා කරන ජනතාවට බවත් ඔවුන්ට ලතින් භාෂා පිළිවෙත් ඉගැන්වීම අර්ථ විරහිත බවත් එතුමාට ඒත්තු ගැනුණි. ඒ දැනුනු දේ තුළ පිහිටා සිංහලයෙන් පිළිවෙත් පැවැත්වීමට එතුමා අත්හදා බැලීම් කළ අතර කිතුනු ජනතාව අතරට යමින් ස්වභාෂාවන්ට මුල් තැනදීම ගැන ඔවුන් දැනුවත් කළේය. ජනතාව අතර ස්වභාෂා පිළිවෙත් ව්‍යාප්ත කළේය.

අන් ආගම් මිථ්‍යා දෘෂ්ඨින්ය. කිතු දහම, එයිනුත් කතෝලික දහම පමණක් නිවරදිය යන අදහසේ පිහිටා කි‍්‍රයාකළ කාලයක ඔහු මේ රට බුදු දහමින් යහපත් කරනු ලැබූ රටක් බව පිළිගත්තේය. පන්සල්වලට ගොස් ථියාදෘෂ්ඨිකයින් ඇසුරු කරන බවට චෝදනා කරන විට ඔහු මෙසේ පැවසුවේය. සංඝයා වහන්සේලා සමඟ ඇසුරු කළේය. ඔහුගේ පූජක මිතුරෝ ඔහුට මිථ්‍යාදෘෂ්ඨිකයින් ඇසුරු කරන බවට චෝදනා කරන විට ඔහු මෙසේ පැවසුවේය. ”සියළු යහපත නික්මෙන්නේ දෙවියන්ගෙන්ය. බුදු දහම යහපත ගෙනෙයි. ඉතිං කිතුනු අප ඒ යහපතට ගරු කළ යුතුය.”

සහෝදරත්වය, යුක්තිය, සාමය සඳහා මඟ සකසා ගන්නට ආසියාවේ ජනතාව ගමන් ගන්නේ තම ඓතිහාසික ශේ‍්‍රෂ්ඨ ආගමික හරයන්ගේ විමුක්ති මාර්ගයන් තුළින් බව විශ්වාස කළ එතුමා පසු කළක බෞද්ධ, හින්දු, ඉස්ලාම් කි‍්‍රස්තියානි විමුක්ති ධර්මයන් මෙන්ම නුතන සමාජ දර්ශනයන්හි අඩංගු විමුක්තිකාමි මඟ පෙන්වීම් ගැන ගැඹුරු අවබෝධයකින් කටයුතු කළේය.

දහමේ හරයට හිස නමමින්

පෞද්ගලික පාසල් රජයට පවරා ගැනීමේදී බොහෝ කිතුනු පූජකවරු එයට එරෙහි වෙද්දි මයිකල් පියතුමා ඊට පක්ෂ විය. සමානාත්මතාවය සහිත සමාජයක් සඳහා එය අවශ්‍ය බව එතුමාගේ අදහස විය.

සිංහලට මුල්තැන ලැබුනත් පාසල් රජයට පවරා ගත්තත් රට තුළ දුප්පත් ජනයා හට සෙතක් වන ක‍්‍රමයක් නැතිබව එතුමා හඳුනා ගත්තේය. ජනතාව අතරට යමින් ඔවුන් හා කළ සංවාද තුළින් විශේෂයෙන් ග‍්‍රාමීය ජනයාගේ පීඩිත බවත් ග‍්‍රාමීය තරුණයාගේ අසහනයත් එතුමා තේරුම්ගත්තේය. 1971 දී මූලික වශයෙන් 15000 ක් පමණ සිංහල තරුණ තරුණියන්ගේ ලේ මතින් එකි අසහනය පුපුරා යද්දී ඒ ගැන කම්පා වූ කිතුනුවන් අතලොස්ස අතර එතුමා සිටියේය.

මහා ආගම් හතරක් ඇති රටක මෙය මෙසේ වූයේ ඇයිදැයි එතුමා ගැඹුරින් හැදෑරුවේය. 1971 - 73 පැරීසියේ විශ්ව විද්‍යාලයෙන් දෙවන අචාර්ය උපාධිය සම්පුර්ණ කළේ මෙම ආගමික හරයන් සම්බන්ධයෙනි. සියලූ ආගම් හී මූලික හරය ජනතාව වහල්බවින් නිවහල් බව කරා ගෙනයාම බව සනාථ කරමින් දිගු නිබන්ධනයක් එතුමා සම්පාදනය කළේය. 1974 දි ඔහු ආපසු පැමිණෙන විට ජාතික දෙව්සත්හලේ එතුමාගේ කථිකාචාර්යධූරය අත්හිටුවා තිබුණි. එතුමාගේ කාමරයේ තිබූ පතපොත බඩුමුට්ටු පරණ ගබඩාවක මුල්ලකට ඇද දමා තිබුණි. දහමේ හරය සෙවීමේ දඬුවම එය විය.

නගරයේ දුක් කඳුළු අතර 1974 දී තිස්ස බාලසූරිය පියතුමා සමඟ කොළඹ නගරයේ පැල්පත් මුඩුක්කුවල ජිවත්වන ජනතාවට සමීප විය. මරදානේ සමාජය හා සාමයික කේන්ද්‍රය ඇරඹීමට දායකත්වය සැපයුවේය.

සලාකයට බඩු ගැනීම කළ යුතු වූ ඒ කාලයේදි එතුමා සාමාන්‍ය මිනිසුන් සමඟ පෝලිමේ සිට බඩු ගත්තේය. ඒ මගින් ජනතාවගේ දුක් ගැනවිලි, අදහස් උදහස් තේරුම් ගත්තේය. කන්‍යාරාම හා මීසම්වලට ජනතාව ගොස් ජනතාවට සමීප වී ජනතාව අතර සිටින දෙවියන් හඳුනාගැනීමට ඔවුන් පෙළඹවීය. පූජා නොවී පවත්වන දිව්‍ය පූජාවේ අරුත විමසීය. වැඩි කලක් යන්නට පෙර එතුමාව මීසම්, කන්‍යාරාම ආදියට ගෙන්වා නොගන්නා ලෙස ඉහලින් නියෝග ලැබුණි.

කියාදිමෙන් කි‍්‍රයා කිරිමට

නිල සභාවෙන් එල්ල වුණු කෙනහිලි අතරතුර එතුමාට පැරිස් විශ්ව විද්‍යාලයෙන් කථිකාචාර්ය ධූරයක් සඳහා ආරාධනයක් ලැබුණි. බොහෝ අය එය බාරගන්නා ලෙස එතුමාව දිරිමත් කළ අතර බදුලූ රදගුරු ලියෝ නානායක්කාර හිමි පමණක් මේ රට වෙත ඇති වගකිම ඉටු කිරිමට මෙහි රැුදෙන්නැයි ඉල්ලා සිටියේය.

තම කැදවීම මෙනෙහිකල මයික් පියතුමා පැරීසියට යාම වෙනුවට බණ්ඩාරවෙලට ගොස් බදුලූ පදවිය සඳහා නව ආරක පූජක පුහුණු පාසලක් ඇරඹීමට කටයුතු කළේය. ”සේවක සෙවන” නම්වූ එය රෝමයට අවශ්‍ය ආකාරයේ නොව ලංකාවට අවශ්‍ය ආකාරයේ පූජකයින් බිහි කිරිම අරමුණු කොට ගෙන ලියෝ රදගුරුතුමාගේ අදහසක් මත ඇරඹුනකි. ඒ වන විටත් ලියෝ රදගුරු තුමාටත් රෝමයෙන් විරෝධතා එල්ලවෙමින් තිබුණු නිසා එය වැඩිකල් කරගෙන යා නොහැකි බව දැනුනත් ජනතාව අතරට යාමට කළ යුතු හිස් කිරීමේ ගමනේ එක් පියවරක් ලෙස මයික් පියතුමා එය මෙහෙයවීම බාරගත්තේය. මෙම නව ආරක පූජක පුහුණුවේ අංගයක් වුයේ සති අන්තයේ ජනතාව අතර ජීවත් වීමයි. ඒ තුලින් ඌව වෙල්ලස්සේ දුප්පත් ගොවි, වතු කම්කරු ජනතාවගේ දැවෙන ප‍්‍රශ්න හදවතට දැනෙන සේ එතුමා අත්දුටුවේය. පසු කළෙක ඌව වෙල්ලස්සේ ජනතාව අතර තම කූඩාරම තනා ගැනීමට මේ අත්දැකිම් එතුමාට උපකාරි විය.

ජනතාවගේ කෙනෙක් වෙමින්

ලංකාවේ ග‍්‍රාමීය දුප්පත්කම මිනිසුන්ගේ කරුමය හෝ දේව කැමැත්ත නොව අසාධාරණ සමාජ ක‍්‍රමයේ ප‍්‍රතිඵලයක් බව එතුමා ඒ වන විට වටහාගෙන සිටියේය. නමුත් සම්ප‍්‍රදායික චින්තනය දුප්පතාට ඒ බව වටහා ගැනීමට මඟ අහුරා තිබුණේය.

දුප්පත් ජනතාවගේ මුහුණු තුලින් දෙවිඳුන් දැකිය යුතු බව ඔහු ඉගැන්වූයේය. එසේම තම සහෝදර ජනතාවගෙන් කොටසක් දහසක් ප‍්‍රශ්නවලින් හෙම්බත් වී කෙඳිරිගාන විට පිරිසක් එය නුදුටු අයුරින් සිටිද්දී ඒ දෙස බලන කිතුතුමන් එදා මෙන් අදත් ”මා මැරෙන තරම් මාගේ ආත්මය ශෝකාකූලය”. කියා කියනු ඇතැයිද, එතුමාට මද අස්වැසිල්ලක් වත් දෙනු සඳහා අප ඒ ජනතාවට සේවය නොකරන විට ”මා සමඟ එක පැයක්වත් පිබිද සිටීමට නුඹලාට බැරිදැයි” එතුමා චෝදනාත්මකව අසන බවත් ඉගැන්වූ පියතුමා තමා ඉගැන්වූ දෙය කි‍්‍රයාත්මක කිරිමට ඉටා ගත්තේය.

අවසානයේදී එතුමා ජනතාව අතර ජීවත්වීමට සියල්ලෙන් නික්ම යෑමට තිරණය කළේය. 1980 දි එතුමා බුත්තල අළුකලවිට ග‍්‍රාමයට ගොස් එහි කටුමැටි පැලක සාමාන්‍ය ගැමියෙකු සේ ජිවත් වීමට පටන් ගත්තේය.

එතැන් සිට ලියවුනේ රෙජිස්ටර් පොතේ නොලියවුනු ජන හදවත් වල ලියැවුනු ලක් ඉතිහාසයේ සැබැ කි‍්‍රස්තියානි විමුක්ති හරය වීම ජීව ගන්වන සැබෑ ධර්මදානයක කතාවකි.

වන්දිගෙවීමක් ලෙස

ඇයි ඔබ ඌව වෙල්ලස්ස තෝරාගත්තේ? දුප්පතුන් සිටින කි‍්‍රස්තියානි පළාත් ඕනැ තරම් තිබෙනවානේ? ඇතැමුන් එතුමන්ගෙන් විමසීය. එතුමෝ තම තෝරා ගැනීමේ ගැඹුරු අරුත පැහැදිලි කළේය.

”වෙල්ලස්ස කියන්නේ වෙල් ලක්ෂයක් තිබුනු පළාතක් සුදු අධිරාජ්‍ය වාදින්ට එරෙහිව දේශයේ නිදහස සඳහා කැරලි ගැසු අව්‍යාජ මිනිසුන් සිටි පළාතක්. කි‍්‍රස්තියානිකාරයින් වන බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් වෙල්ලස්සේ පිරිමි මරාදමමින් වැව් අමුණු කඩා දමමින් විශාල විනාශයක් සිදුකලා. වෙල්ලස්ස මෙතරම් දුප්පත් වීමට එය විශාල හේතුවක් වුණා. මම වෙල්ලස්ස තෝරාගත්තේ කි‍්‍රස්තියානියේ නාමයෙන් වූ ඒ විනාශයට වන්දිගෙවීමක් ලෙස ඒ ජනතාවට සේවය කිරීමටයි”

ඉතා දුප්පත් පළාත් වලට ගොස් නව කි‍්‍රස්තියානි මූලධර්මවාදී සභාවක් මිනිසුන් ආගමට හරවා ගන්නා පසුබිමක ”ස්වාමි ආවේ අපේ උන්ගේ ඔළුවට වතුර වත්කරන්න නම් ආ පැත්ත බලාගෙන යන එක හොඳයි” ! යනුවෙන් මුලදි එතුමාට පන්සලෙන් අනතුරු ඇඟවීම් ලැබුණි. නමුත් එතුමා එක්කෙනෙක් වත් කි‍්‍රස්තියානියට හැරෙව්වේ නැත. ඒ වෙනුවට අළුත් ධර්මදානයක් සිඳු කළේය.

”මම විශ්වාසයෙන් කිතුනුවෙක්. නමුත් හැදියාවෙන් බොදුනුවෙක්්” බව පැවසූ එතුමා පෝයට පන්සලට ගොස් පංචශීලය ගැන මෙනෙහි කළේය. පසුකලෙක එතුමාට පන්සලේ බණ කියන ලෙස ඇරයුම් ලැබුණු අතර එතුමා සමාජ යථාර්ථය හා පංචශිලය සම්බන්ධකර අළුත් බණක් කීවේය.

මේ ධර්මද්දීපයේ ධනවතුන් අපේ ඉඩම් අල්ලාගෙන අපේ දහඩියෙන් මහා ධනස්කන්දයක් උපයාගෙන සුර සැප විඳිනවා. අපේ දරුවෝ මන්දපෝෂණයෙන් පෙළනවා. ඒක මිනීමැරීමක්. පළමු සිල්පදය කැඞීමක්. අපේ කුඹුරු ඉඩම් ඔවුන් පවරාගෙන ඒවායේ උක් වගා කරනවා. ඒක වැදගත් විදියේ හොරකමක්. දෙවැනි සිල්පදය බිඳීමක්. ආදි ලෙස එතුමා පන්සිල් සමාජයට අර්ථ ගැන්වූයේය.

පියතුමා කුඹුරට යමින් උදැල්ලට හුරුවිය. ගමේ වෙද ආතාගෙන් ඉගෙන ගනිමින් ගමේම බෙහෙත් නිපදවීය. ඔසු උයන් ඇති කිරීම ආරම්භ කළේය. පියතුමා සමඟ පැවිදි සොයුරියන් දෙදෙනෙකු, තරුණයෙක් හා තරුණියක් සංඝයක් ලෙස ජීවත්විය. මේ සංඝය සමඟත් ජනතාව සමඟත් සුවිසල් සේවයක් එතුමා ඉටු කළේය. ගමේ තරුණියන් හෙදි සේවයට පුහුණු කර ගමේ සෞඛ්‍ය නඟා සිටවූයේ ය.

අකරු නොදත් පොඩි දරුවන්ට ඉගැන්නුවේය. ඉංගී‍්‍රසි භාෂාව ඉගැන්නුවේය. ළමුන් ගේ හැකියා ඔප්නංවා නැටුම්, ගැයුම්, රැුගුම් චිත‍්‍ර පෝස්ටර් ආදිය මඟින් ජනතාවන් යථාර්ථයට අවධි කළේය. රසායන පොහොර නිසා ජනතාව ණය කරුවන් වීමත් පස විනාශවීමත් වලක්වා ගැනීමට ගමේ ජනතාව සමඟ කොම්පෝස්ට් පොහොර නිපදවුවේය.

කැලෑ කපමින් පාරවල් හදමින් සිඳු කරන සංවර්ධනය දිළිඳු ජනයා සඳහා නොව ධනවතුන්, බලවතුන් සඳහා බව එතුමා පැහැදිලිව හඳුනාගත්තේය. බහු ජාතික සමාගම් වලට අයත් උක් බිම්වල ගොවියෝ කුලීකරුවන් වෙද්දී එතුමා බහුජාතික සමාගම්වලට එරෙහිව හඬ නැගුවේය. මේ නිසා ප‍්‍රදේශයේ ධනවතුන්ගෙන්, දේශපාලකයින්ගෙන්, බහුජාතික සමාගම් නිලධාරින්ගෙන් එතුමාට තර්ජන එල්ල විය.

යථාර්ථය දකිමින්

1987 වන විට උතුරේ සටන් දරුණු ලෙස ඇවිලෙන්නට විය. කොළඹ සිට කොටුවේ බෝම්බ පිපිරීම විශාල කම්පාවක් රට තුල ඇති කළේය. උතුරේ මෙන්ම දකුණේද, තරුණයින් ආයුධ අතට ගන්නා තත්වයක් ඇතිවෙමින් තිබිණ. ”විපතට පත්වන අය ගැන මට කණගාටුයි. අද තරුණ පරපුර හිංසාවට යොමුවී සිටින්නේ ඔවුන් එයට කැමැති නිසා නොවෙයි. පාලකයින්ට වැටහෙන එකම භාෂාව හිංසාව ලෙස ඔවුන්ට පෙනීයන නිසයි. එත් ඒක උත්තරය නෙවෙයි.” එතුමෝ පැවසුවෝ ය. ඉන්දු ලංකා ගිවිසුමට පසු දකුණේ තත්වය උත්සන්න විය. ජෙ.වි.පෙ. තරුණ නැඟීටීම හා එයට ප‍්‍රතිවිරුද්ධව රජය කි‍්‍රයාත්මක කල මර්ධනය විසින් භිෂණ යුගයක් නිර්මාණය විය. රජයේ හමුදාවන් මිනිස් දඩයමේ යෙදුණේය. ඌව වෙල්ලස්ස පුරාද දරුවන්, ස්වාමි පුරුෂයන් පැහැර ගෙනයාමෙන්, ඝාතනය කිරීමෙන් මතු වු විලාපය පැතිර ගියේය. මව්වරු පියවරු පියතුමා හමුවට ඇවිත් තම පුතු ගැන, ස්වාමි පුරුෂයා ගැන කියන්නට විය. ඒ සියල්ල අසද්දී දකිද්දී එතුමාගේ බඩ පපුව දා ගියේය. අසල්වැසි මවකට වඳ දෙමින් පුතු ගැන හමුදාව විමසන ආකරය දැක එතුමා දිව්‍ය සත්ප‍්‍රසාදය ඉදිරියේ දණින් වැටි ”ස්වාමිනී ඒ අහිංසක මවට වඳ නොදි මට ඒ වඳ වේදනාව දෙන්නැයි” කෑ ගසා යාච්ඤා කළේය.

කීපවිටක්ම හමුදා කණ්ඩායම් පියතුමා සිටි නිවස වටලා ප‍්‍රශ්න කළෝය.

”ස්වාමි ත‍්‍රස්වාදින්ව ආරක්ෂා කරනවා කියලා චෝදනා ලැබිලා තිබෙනවා” ”මට පක්ෂයක් නෑ. මම දුප්පතුන් එක්ක ජීවත් වෙනවා” ”බොරු කියන්න එපා. අපට එක නමක්වත් දෙන්න ඕනෑ” ”ඔය කියන පක්‍ෂය තහනම් කළ දා සිට එහි කව්රු ඉන්නවද කියලා දන්නේ කොහොමද?”

”එහෙමනම් ගමේ කොල්ලන්ට මෙතෙන්ට එන්න දෙන්න එපා. තමුනුත් අමාරුවේ වැටෙයි” ”මට ඒක කරන්න බෑ”

ඔවුන් එතුමාට තර්ජනය කර ගමේ තරුණයෙකුව ජීප් රියේ නංවාගෙන ගියේය. බොහෝ වාරයක් මෙවැනි දෑ සිඳුවිය. කොළඹ සිට පැමිණ රහස් පොලීසියද එතුමාව ප‍්‍රශ්න කළේය. තත්වය ඉතා දරුණු විය. මරණ තර්ජන ගලා ආවේය. මිතුරෝ ඔවුන්ට ආපසු කොළඹ එන්නැයි කීය. විදෙස් ගත වෙන්නැයි කීය. නමුත් ඔවුන් ඒ වනවිට ජනතාවගේ කොටසක් වී සිටියෝ ය.

”සමිඳුනි අපට මඟ පෙන්වුව මැනව.” ඔව්හු කළ යුත්ත හඳුනා ගැනිමට යාච්ඤා කළෝය. 1987 නොවැම්බර් 10 වෙනිදා රාති‍්‍ර 7.00 ට එතුමා සිය සහයක සොයුරියන් සමඟ දිව්‍ය පූජාව පැවැත්වීම ආරම්භ කළේය. ජනතාව සමඟ සිටිනවාද? ස්ථානය හැර යනවාද? යන්න ඒ පූජාව තුළ තිරණය කරන්නට දෙවිඳුන් යැදිය. ජනතාව සමඟ තව දුරටත් සිටීමට තීරණය කරමින් එය දෙවියන්ට ඔප්පු කරන්නට ගීතිකාව ඇරඹුණී. නමුත් පිටුපස ජනේලයෙන් පැමිණි වෙඩි උණ්ඩය එතුමාගේ හිස පසාරු කරගෙන ගියේය. පූජාවේ මිදිරස පිරි කුසලානයට ලේ වැටී එය පෙරළී ගියේ ය. එතුමාගේ මාංශ කැබලි පැඳුර මත විසිරිනී. සිය ස්වාමියා වූ කිතු තුමන් සේම එතුමා මෙරට දුප්පත් ජනතාව වෙනුවෙන් සිය රුධීරය හෙලණු ලැබීය. මාංශය කඩාදෙනු ලැබීය. ඊට පසු දින එහි පැමිණි අනුනායක පියතුමා ලේ තැවරුණු මල සිරුර අසල සිට එතුමා සමඟ පූජාවට සහභාගිවු සොයුරීයන්ගෙන් මෙසේ විමසීය. ‘‘කෝ ස්වාමි පුජාව තියෙන කොට අඳගෙන සිටි පූජා ඇඳුම. පූජා ඇඳුම නැතිවද පූජාව තිබ්බේ?” කෝ ? මෙච්චර දවස් තැබූ පූජා ගණන ලියු පොත?

ඉතා සරල අල්පේච්ජ ජීවිතයක් ගතකළ කියූ දේ කෙරු අපේ කාලයේ පූජකයාගේ මරණයට වගකිව යුත්තේ රජයේ හමුදා බව ගමේ බොහෝ දෙනාගේ මතය විය. නමුත් රජයේ පාර්ශවය එය තරුණයන් පිට දැමීමට උත්සහ කළේය. පියතුමා කළ කී දේ අනුව එතුමාගේ මරණයේ සැබෑ වග උත්තරකරුවන් හඳුනාගැනීම අපහසු නැත.

”ෆාදර් මැරුණේ දුප්පත් අපි වෙනුවෙන්. සභාවත්, නෑදෑයොත් එකතු වෙලා ෆාදර්ගේ මලකඳ කොළඹට අරන් ගියා. ඒක අපිට හරිම කණගාටුයි. ඒත් ෆාදර්ගේ හොඳ හරිය මෙහේ. ඇස් දෙකයි මොළෙයි ලේ ටිකයි. ඒවා තැන්පත් කළේ මේ බිමේ හෙට දවසේ සාරවත්ව හැඳෙන ගස් වැල් වල අල කොළ ගෙඩි කා පෝෂණය වන අපේ දරුවන් ෆාදර් පැතු දුප්පතුන්ගේ සාධාරණ ලෝකය ගොඩනගාවි”

"https://si.wikipedia.org/w/index.php?title=මයිකල්_පියතුමා&oldid=282702" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි