පුරහල බෝම්බය (කලා කෘතිය)

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
පුරහල බෝම්බය (කලා කෘතිය)
டவுன்ஹால் குண்டு: ටවුන් හෝල් බෝම්බය
thumb|පුරහල බෝම්බය
ශිල්පියාසුජිත් රත්නායක
වර්ෂය2000
මාධ්‍යයඡායාරූප, ෆොටෝ කොපි . ඇක්‍රිලික්, ලේස්.
ව්‍යාපාරයපශ්චාත් බන්දුල පීරිස් කලාව
මාතෘකාවශ්‍රී ලංකාවේ යුද්ධය
මාන210x1050 සෙ.මී.

2000 වර්ෂයේදී කොළඹ පුරහල ඉදිරිපිට එවකට ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් දේශපාලන රැස්වීමක් පවත්වමින් සිටියදී කොටි තරුණියක විසින් සිදු කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය නිමිති කරගෙන එම අවුරුද්දේම සුජිත් රත්නායක විසින් නිර්මාණය කරන ලද කලා කෘතියකි. 2017 පෙබරවාරි 02 වෙනි දින මිරර් ආර්ට් වෙබ් ජර්නලය විසින් 'කලාව බදා ගත්තොත් ගැලවීමක් නෑ' හිසින් ප්‍රකාශිත සම්මුඛ කතාබහ තුළ තුෂාරා සෙව්වන්දි විතාරණ 'ටවුන් හොල් බොම්බය ඔබ කලා කෘතියක් කරනවා ඒ ගැන කියන්න' මැයෙන් අසන ලද ප්‍රශ්නයට ඔහු ඒ ගැන ගැන මෙසේ ප්‍රකාශ කොට ඇත.

ටවුන් හෝල් බොම්බය කලා කෘතිය තමයි මගේ වාසනාවයි අවාසනාවයි දෙක ම තීරණය කළ කෘතිය. 2000 දි තමයි මම මේක කරන්නෙ.  මේ කෘතිය සදහා පසුබිම හැදුණ හැටි කියන්නම්. එදා ඔය බෝම්බ පිපිරීම වෙන වෙලාවෙ තව කීප දෙනෙක් එක්ක පිටකෝට්ටේ විභවියෙයි මම හිටියෙ. අපිට සද්දය ඇහුණා. වැඩි වෙලාවක් නොගිහින් චන්ද්‍රකාව මරන්න කළ බොම්බයක් බව දැන ගන්න ලැබුණා. චන්ද්‍රිකාට අමාරු බව තමයි ආරංචි උනේ. ඒ වෙලාවේ මගේ හිතට චන්ද්‍රකා ගැන මොකද්දෝ වේදනාකාරී හැගීමක් ආවා. 88-89 භීෂණ කාලයෙන් පස්සෙ නව බලාපොරොත්තුවක් ගෙනාවේ චන්ද්‍රිකා නේ. ඒ කාරණය හැරුණු විට එවකට චන්ද්‍රිකා තුළ මා දැකලා නැති වෙනත් දේශපාලන ගැහැණු තුළ නොමැති මොකද්දෝ ශාංගාරය කියලා උනත් කිව්වට ඒ හැටි වරදක් නැති හැගීමක් මා තුළ තිබුණා. පුරහල අවට අපි නිතරම යන එන තැනක උන පිපුරුමක් නිසා විවිධ කතා මැද්දෙ  ඒ සිද්ධිය නිතර නිතර එදා රෑ මම තුළ හොල්මන් කරා. පහුවදා දිනමිණ පත්තරේ මරාගෙන මැරෙන බොම්බකාරියගේ වෙන් වූ හිසේ පින්තූරය දැක්කම එකපාරට ම මම ගැස්සුණා. මාත් එක්ක යාළු වෙලා ඉදලා වෙන් වෙලා හිටිය පෙම්වතියකගේ මූණ වගෙයි මට ඒ මූණ පෙනුණෙ. අපි දෙන්නාගේ ආදර සම්බන්ධය විවාහයක් දක්වා වැඩි‍ දුර යාමට නොගැලපෙන කමක් අපි දෙදෙනා ම තේරුම් අරගෙනයි අපි දෙන්නා ම සම්බන්ධය නතර කරේ. ඒ උනාට ඒ සම්බන්ධය පටන් ගන්නත් නතර කරන්නත් ද්විපාර්ශවීය සම තැනකින් කටයුතු යෙදුනා කියලා මම හිතන්නෙ නෑ. අපි දෙන්නා ම කතා කරලා තීරණයක් ගත්තා උනත් සම්බන්ධය නතර කිරීමට ගන්න තීරණයට මුල් උනේ මම යි. ඒ වගේ ම ඒ සම්බන්ධයට මුල පිරුවෙත් මම යි. ඒ සම්බන්ධය නතර උනාට මමවත් ඇයවත් ඒ වන විටත් වෙනත් කිසි ම කෙනෙක් එක්ක සම්බන්ධයක් ඇති කරගෙන තිබුණෙත් නෑ.   ඇය සමග නැවත හැගීමක් ඇති වීම මම වලක්වාගෙනයි හිටියේ. 

alt=පුරහල බෝම්බය කෘතියේ ඉතිහාසය|thumb|2000 දී පදීප් චන්ද්‍රසිරි. කෝරලේගෙදර පුෂ්පකුමාර සහ මනෝරංජන හේරත් සමග ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී පැවැත් වූ සමුහ කලා ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාව|624x624පික් thumb|2000 මාර්තු, පුරහල බෝම්බය කෘතිය මුල් වරට ප්‍රදර්ශනය කළ ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී එය අබියස හිඳින ප්‍රේක්ෂිකාවක්.|627x627පික්

චන්ද්‍රිකා හා අර කොටි තරුණිය මගේ ලෝකය ආක්‍රමණය කරන බවක් නම් මට දැනුණා. ගැහැණියක් මරන්න ගැහැණියක් පැමිණීමේ අවස්ථාවක් ඒ අවස්ථාව. චන්ද්‍රකා මූණ දුන්නා උනත් යුද්ධයක් දක්වා යාමට පසුබිම හැදුණෙ චන්ද්‍රිකාගෙ තාත්තා කළ භාෂා ප්‍රතිපත්තිය නිසා බව හැමෝ ම දන්නවා. චන්ද්‍රිකාගෙ තාත්තා පිරිමියෙක්. බෝම්බය පුපුරුවා ගත්ත කොටි තරුණියගේ ගැබට දරුවකු වෙනුවට බෝම්බයක් දුන්නේ ප්‍රභාකරන්. ඔහුත් පිරිමියෙක්. ගැහැණු දෙදෙනෙකුගේ ඉරණම පිරිමි අවශ්‍යතාවයක් සමග පැටලී තියෙන බවයි මම පසක් කර ගත්තෙ. මම ක්‍රියාත්මක උනා. මම ඒ වන විට නියලුණ කලා ආකෘතිය මේ සිද්ධියට අදාළ කලා කෘතියක් කරන්න තරම් මට ප්‍රමාණවත් උනේ නැහැ.ඒ දවස් වල මම මාතොට සගරාව කියෙව්වා. මාතොට සගරාව ඒ කාලෙ තිබුණ විවාද සම්පන්න සගරාව. සිවිල් සමාජය කුඩුපට්ටම් කරලා දමන අන්දමේ ප්‍රහාර නිතර නිතරම ඒ සගරාව මගින් කරා. ඒ සගරාව පිටු සැළසුම් කලාව පැත්තෙනුත් විශේෂ උනා. අනෙක් සගරා පත්තර එක්ක තිව්වා ම කැපිලා පෙනෙන වෙනසක් ඒ සගරාවෙ තිබුණා. එහෙකට එකක් නොගැලපෙන පින්තූර සමෝධානික හැගීමක් සමග අන්තර්ගතය සමග බද්ධ කරනවා වගේ ආකෘතියකින් ඔවුන් ඒ සගරාව තුළ පින්තූර පාවිච්චි කරා. මට මේ සගරා වල පිටු සැළසුම් ආකෘතිය මේ සදහා උත්ප්‍රේරණත් ආභාසයත් එකතු කරා. පුරහල බෝම්බය කෘතිය පනේල 4 කින් යුක්තයි. පළමු පනේලයේ ඕඩියන්ස් එක පැත්ත බලාගෙන ඉන්න ඉන්දියානු රූමත් තරුණියකගේ ඡායාරූපයක් අලවලා එහි ම  පහළ නැවත එය කෑලි වලට වෙන් කොට බෝම්බයකින් පිපිරුණා වගේ හැගීමක් දෙන චිත්‍රණමය සම්පිණ්ඩනයක් මම කරනවා. ඉනුත් යට අර රූමත් තරුණිය දෙස බලන් ඉන්නවා වගේ හැගීම දෙන පිටුපස පෙනෙන මගේ ම ඡායාරූපයක් මම අලවනවා. දෙවෙනි පනේලය හිස වෙන් වුණ කොටි තරුණියගේ විශාල පින්තූරයක් සමග චිත්‍රණමය සම්පිණ්ඩණයක් මම කරනවා. තුන් වෙනි පනේලයේ විවිධ ස්ත්‍රී චරිත වල මුහුණු ඇති කුඩා ඡායාරූප වලින් මුලුමනින් ම පුරවනවා. මේ සදහා ලංකාවේ සහ පිටරටවල ජනප්‍රිය චරිත වගේ ම කව්රුවත් දන්නෙ නැති ඇකඩමියේ බැජ් වල විවිධ සොයුරියන්ගේ ඡායාරූපත් මම ඒ වෙනුවෙන් ම ගන්නවා.බෙගම් කලීඩාසියා, ඉන්දිරා ගාන්ධි, සෝනියා ගාන්ධි,  මාර්ගට් ටැචර්, මාලිනී ෆොන්සේකා, සුමනා ගෝමස්....ඔය ජනප්‍රිය ස්ත්‍රීන් කිහිපයක්. ඉහළ අදුරින් වියැකී යන ලෙසත් පහළ ආලෝකමත්භාවයෙන් වියැකී යන ලෙසත් ස්ත්‍රී චරිත වල හැගීම මම අනන්ත අප්‍රමාණ කරවන ලෙස එම ඡායාරූප මම  එක්ස්පෝස් කරවා ගන්නවා.මේ පනේලයේ ම චන්ද්‍රිකා සහ කොටි තරුණියගේ මුහුණු දෙක පමණක් රතු වට රේඛාවකින් විශේෂ කරනවා. හතර වෙනි පනේලයේ  චන්ද්‍රිකාගෙ මූණ අලවනවා. එහි ඇයගේ අනතුරට ලක් උන දකුණු ඇහැ පමණක් විශේෂ කරනවා. ඒ ඇස මත අකුණු ගැසීම හෝ විදුලිබලය වැදීම අගවන සංකේතය සටහන් කරනවා. චන්ද්‍රිකාගෙ මූණ පහල නටන ගැහැණු රූපයක් මම සිත්තම් කරනවා.
මේක ලංකාවේ හතරපස් පොළක ප්‍රදර්ශනය කරන්න අවස්ථාව ආවා. මේක 2001 ජපානයේ ඔසාකා ත්‍රෛවාර්ෂික කලා උළෙල ශ්‍රී  ලංකාව හැටියට නියෝජනය කරපු කෘතිය. මම යුද්ධය ගැන කලා නිර්මාණ කරේ නැති තරම්. යුද්ධය ගැන කරපු කලා නිර්මාණ අතර ත් මගේ මුලු කලා දිවිය පුරාවටත් ආන්දෝලනයකටත් පැසසුමටත් වැඩි වශයෙන් ලක් උනේ මේ කෘතිය. මේ කෘතිය පළමු වෙනි වතාවට ප්‍රදර්ශනය කළේ අපි හතර දෙනෙකුගේ සමූහ ප්‍රදර්ශනයක් හැටියට ලයනල් වෙන්ඩ්ට් ගැලරියේ දි. 'මේඩ් ඉන් අයි.ඒ.එස්.' කියන ජගත් වීරසිංහ සංවිධානය කළ ප්‍රදර්ශනයට නිමිත්ත සැපයුවේ මේ කෘතිය. ඔහු ම කියලා තිබුණා පසු කලෙක හිරු පත්තරේට මේක ලංකාවෙ චිත්‍ර මූර්ති කලාවට කළ බෝම්බ ගැසීමක් බව. මේ කෘතියත් සමග නියෝජනය කරන්න  ගත්ත පිරිස මුළුමනින් ම සංවිධානය කෙරුවෙ සහ උනන්දු කෙරුවෙ ජගත් මයි.  සමහරුන්ට කලා ප්‍රදර්ශනයක් ගැන හිතා ගන්නවත් පුළුවන්කම තිබුණෙ නෑ. නිදහස් නිර්මාණ තබා කෝර්ස් වර්ක් පවා කර ගන්න බැරි අය ජගත් මේකට ගත්තා.
මේ කෘතිය නිසා සරත් සූරසේන, සරත් චන්ද්‍රජීව වගේ ආයතනයේ කීර්තිමත් චරිත ජපානයේ  ෆුකෝකා ආසියානු කෞතුකාගාරයෙන් ආපු නේවාසික වැඩසටහනක් හා ප්‍රදර්ශනයකට මාව තෝරා පත් කරනවා. ෆුකෝව්කා වල දී මාධ්‍ය හමුවකදී කළ ප්‍රසන්ටේෂන් එකේදී ඔඩියන්ස් එකේ එක් අයෙක් මම ලංකාවෙ පිකාසෝ කියලා කියනවා. මම පිකාසෝ වගේ නෙමෙයි කියලා මම දැනගෙන හිටියත් මේ කෘතිය නම් මම අදටත් බරපතල සෞන්දර්ය ප්‍රකාශනයක් බව නම්  පිළි ගන්නවා. මම  ෆුකොව්වකා වල කරපු කෘති මාලාව නම් කළේ 'තුවාල විකුනනු ලැබේ' කියලා. එයත් එහිදී පැසසුමට ලක් උනා. ඒ ප්‍රදර්ශනය බලන්න ඇවිත් ෆුකොව්කා වල පුස්තකාලයාධිපති මාව බදා ගත්තා. ඒ වැඩෙත් එක්ක හිරොෂිමා හා නගසාකි බෝම්බ සිදුවීම මතක් වූ බව ඔහු කිව්වා.
මේ සියල්ල අතර අපි එකිනෙකා වෙන් වීමට තීරණයෙන් මා අහිමි කර ගත් මගේ පැරණි පෙම්වතිය මගේ හිත තුළ යළි මැවෙන්න ගත්තා. ඇය සමග ගනු දෙනුවක බන්ධන තාපයකින් නේද මට මේ සියල්ල ලැබුණේ කියලා මට හිතෙන්න ගත්තා. ඇය මගේ නිර්මාණ දිවියට උදව් පදව් කරලා තිබුණා උනාට සම්බන්ධය නතර වීමෙන් පස්සෙ ඇයගෙන් කිසි ම උදව්වක් මට තිබ්ණෙ නැහැ. ඒ උනත් මගේ නිර්මාණ ආවේෂයට නිමිත්ත සැපයුවේ ඈ නේද ඇයත්  මෙහි කොටස්කාරියක් නේද කායලා මට හිතෙන්න ගත්තා. දවසක් රෑ මම නැවතිලා හිටපු හොටලයෙ දී මම ඇයට ලියුමක් ලිව්වා. ජපානයෙන් ලංකාවට ආ විගස අනුරාධපුරයේ ඇගේ නිවසට එන බව මම එහි ලියා යැව්වා. කාලයක් ගිහින් අවසානයේ ඇය මගේ බිරිද උනා. ඇය මවකුත් උනා. ඒ සියල්ල මැද තවදුරටත් හොල්මන් කරන අඩුවකුත් ඉදහිට මට ඇති වෙනවා. පුතා දකින විට ඉද හිට අර බෝම්බය පුපරුවා ගත්ත කොටි තරුණිය මතක් වෙනවා. ඇත්ත වශයෙන් ම පුරහල බෝම්බය 2 කෘතිය මම ඒ අනුව නිර්මාණය කරන්න ගත්තා. තව ම එය ප්‍රදර්ශනය කරේ නැහැ. අවසානයේ කියන්න තියෙන්නෙ කලාව බදා ගත්තොත් ගැලවීමක් නැහැ කියලයි. මේ ගමනෙ ඉවරයක් නැහැ.

thumb|2010 දී ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ පැවැත් වූ VISUAL RESPONSES DURING THE WAR ප්‍රදර්ශනයේදී පුරහල බෝම්බය කෘතිය නරඹන ප්‍රේක්ෂිකාවක්. පින්තූරය [https://www.vikalpa.org/?p=4021 විකල්ප] වෙබ් අඩවියෙනි.

පුරහල බෝම්බය කෘතිය ප්‍රදර්ශනය කළ ස්ථාන[සංස්කරණය]

2000 මාර්තු - ලයනල් වෙන්ඩ්ට් කලාගාරය, කොළඹ.

2000 ජූලි - බෙයාර්ෆූට් කලාගාරය, කොළඹ.

2000 අගෝස්තු, තාරකා කොටුව, මාතර.

2001 කන්ටෙම්පරරි ආර්ට් ස්පේස්, ඔසාකා, ජපානය.

2002 යාපනය පුස්තකාලය, යාපනය.

2010 අගෝස්තු, 28 - 31, ලයනල් වෙන්ඩ්ට් කලාගාරය, කොළඹ.


පුරහල බෝම්බය කෘතිය විශේෂ වන කරුණු[සංස්කරණය]

  1. පරතර තබා පනේල හතරක් හැටියට ඉදිරිපත් කරන ලද දෘෂය කලාත්මක අද්දැකීම සමස්තයක් හැටියට සළකා ‘‘පුරහල බෝම්බයට පසු‘‘ ලෙස කෘතිය නම් කිරීම.
  2. පුරහල බෝම්බයට පසු ලෙස කලාකරු විසින් නම් තැබූ කෘතිය සමාජ ව්‍යවහාරය තුළ පසු යන කොටස ඉවත් ව පුරහල බෝම්බය ලෙස ව්‍යවහාර වීම.1

උපුටා ගැනීම්[සංස්කරණය]

  • ''This is one piece of art that I look forward to and look back on in its time''. Shabna Cader, The Nation පුවත්පත
  • ''මෙතෙනදී ඔහු දෘශ්‍ය කලා කෘතියක් හදන්නේ. දේශපාලනයේ හෙජමොනිය විසින් සමස්ත ජනතාවක් අවමානුෂික කරන එක සුජිත් ඡායාරුප එකලස් කරලා හදන මොන්ටාජ් එක ඉස්සරහට අපි ඔක්කොම කැඳවනවා. මේ භාවිතය ලංකාව තුළ සටහන් කිරීමේ කර්තෘත්වය සුජිත්ට හිමිවිය යුතුයි කියා මම යෝජනා කරන්නේ මෙම කෘතිය විසින් කලාවේ බහුත්ව කියවීමක් කරන්න මඟ පාදන නිසා. එය තාක්ෂණික මෙන්ම දෘෂ්ටිවාදී පොලාපැනීමක් ලෙස ඉතිහාසයේ මාර්ක් වෙලා අවසානයි. සුජිත්ගේ කලා භාවිතය නොනවතින අරගලයක්. නොනවතින සෞන්දර්යයක්. නොනවතින වැඩබිමක්. නොනවතින ගමන් කිරීමක්.'' ප්‍රගීත් රත්නායක, චිත්‍ර කලාවේ මොන්ටාජ්කරණය, රැස පුවත්පත, 2019 මාර්තු, 06

වැඩි දුර කියවීමට සබැඳිය බලන්න.