ප්‍රගීත් රත්නායක

විකිපීඩියා වෙතින්

ප්‍රගීත් රත්නායක දෘෂ්‍ය කලාකරුවෙකි. ඔහු 1976 දී රන්න දී ඉපදිණි. විලී රත්නායක වන ඔහුගේ පියා ප්‍රාදේශීය වානිජ කලාකරුවකු වූ අතර ඔහු කලා කටයුතු සදහා සුහුඹුල් ආභාසය ලබනුයේ සිය පියාගෙනි. ප්‍රගීත් හය දෙනෙකුගෙන් යුත් සිය පවුලේ තුන්වෙනියා ය. ඔහුගේ වැඩිමහල් සහෝදරයා වන සුජිත් රත්නායක පියාගේ කලා කටයුතු සදහා සහායකු හැටියටත් තනිව වැඩ කිරීමටත් කටයුතු කරන ලද අතර ඔහු සිය වැඩිමහල් සහෝදරයාගෙන් ද ව්‍යවහාරික වානිජ කලා වැඩ රටා පිළිබදව ආභාසය ලැබුවේ ය. ප්‍රගීත් උසස් පෙළ සදහා චිත්‍ර කලාව හදාරන ලද්දේ තංගල්ල මහා විද්‍යාලය මගිනි. ඒ අනුව ඔහු උසස් පෙළ යටතේ තංගල්ල මහා විද්‍යාලයේ චිත්‍ර ගුරුවරයකු වූ දොන් වීරසිංහගෙන් චිත්‍ර කලා අධ්‍යාපනය ලබා ඇති අතර දොන් වීරසිංහගේ මග පෙන්වීම යටතේ පසු කලෙක 2000 දී කමත මැයෙන් තංගල්ල නගර ශාලාවේ පැවැත්වූ සමූහ ප්‍රදර්ශනයකටද සහභාගි වී ඇත. ඔහුගේ මෙම කාලයේ චිත්‍ර වල ලක්ෂණය වූයේ දොන් වීරසිංහ අනුගමනය කිරීම ය. දොන් වීරසිංහ කලා ප්‍රදර්ශන තබන කලාකරුවකු නොවූ අතර පාසල් චිත්‍ර ගුරුවරයකු හැටියට ඔහු පාසල තුළ සිසුන් සමග එක්ව කරන කලා ප්‍රදර්ශන, සැරසිලි ආදී කලා කටයුතු වල නියලුණ පාසල තුළ පමණක් නොව තංගල්ල නගරය තුළ ද ප්‍රසිද්ධියට පත් වූ ප්‍රාදේශීය කලාකරුවකු විය. ඔහුගේ කලා ශෛලිය තිලක් අබේසිංහ, ස්ටැන්ලි අබේසිංහ හා මහින්ද අබේසේකර ආදීන්ගේ ආභාසයෙන් නිර්මාණය කර ගත් සැරසිලි ආකාර කලා ශෛලියක් විය. 1994 දී කොළඹ සෞන්දර්ය අධ්‍යයන ආයතනයට ඔහුගේ වැඩිමහල් සහෝදරයා වන සුජිත් රත්නායක බැදෙන අතර ඉන් අනතුරුව පරිවර්තනයට ලක් වූ සුජිත්ගේ කලාව හා කලාවේ සෞන්දර්ය මානයන්ගේ ආභාසයෙන් සිය දෘෂ්‍ය කලා දිවිය නව දිශාවකට හරවා ගනු ලැබීය. 2002 දී තංගල්ලේදී පැවැත්වූ කමත ප්‍රදර්ශනයෙන් පසු ඔහු ට්‍රාන්සිසන් මැයෙන් සමූහ ප්‍රදර්ශනයකට සම්බන්ධ වන අතර එම ප්‍රදර්ශනය පවත්වනුයේ කොළඹ ජාතික කලාභවනේ දී ය. එම ප්‍රදර්ශනයේ සියලු සාමාජිකයින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ අය වන අතර ඒ වගේම ඔවුන් දොන් වීරසිංහ හා සරත් වීරසිංහ යන අයගේ ශිෂ්‍යයින් විය. මේ ප්‍රදර්ශනය සදහා ප්‍රගීත් ඇතුලත්ව චන්ද්‍රසිරි කොඩිතුවක්කු, ඩෙප් තුෂාර, කෝකිල විජේසුන්දර, චමිල ගමගේ, රංජිත් ප්‍රේමකුමාර, නන්දන ගුණසිංහ යන අය ඇතුලත් විය. සුජිත් රත්නායක මේ ප්‍රදර්ශනයේ සමරු කලාපය සදහා ප්‍රදර්ශනය අලලා ලිපියක් සම්පාදනය කර තිබිණි. සුජිත් රත්නායකගේ කලා ශෛලියේ ඡායාව ඔහු තුළ දිගටම පෙන්නුම් කෙරෙන නමුත් ඔහු දෘෂ්‍ය කලා ක්ෂේත්‍රය තුළ ක්‍රියාකාරී කලාකරුවෙකු වේ. සුජිත් රත්නායක සහ ප්‍රගීත් රත්නායක යන සංඥා නාම දෙකේ ම වාසගම රත්නායක වී සුජිත් සහ ප්‍රගීත් යන මුල් නම් දෙක පමණක් වෙනස් උවත් ඒ නම් උච්චාරණයේදී සුළු වෙනස්කමක් ඇති පසුබිමක සුජිත් රත්නායක සහ ප්‍රගීත් රත්නායක යන දෙදෙනා සමාජය තුළ ව්‍යාකූල වන බවක්ද පෙනේ.

"https://si.wikipedia.org/w/index.php?title=ප්‍රගීත්_රත්නායක&oldid=454396" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි