Jump to content

නිට්‌ටෑවෝ

විකිපීඩියා වෙතින්

ලංකා දූපතහි අතීතයේ ජීවත්ව වඳවීගිය මානව වරිගයෙකි.[1][2][3]

නිට්ටෑවන් හෙවත් නිත්තෑවන් නමින් හැඳිවෙන්නේ අතීතයේ ශ්‍රී ලංකාවේ විසූ ගෝත්‍රික කණ්ඩායමකි. ඔවුන් මේ වනවිට සම්පූර්ණයෙන්ම මිහිතලයෙන් සමුගෙන අවසන් ය. ඔවුන් 19 වන සියවස දක්වා ලංකාවේ වාසය කර ඇති බව ජනප්‍රවාදයන්ට අනුව අපට නිගමනය කළ හැකි යි. ඔවුන් මුල් කාලයේ වැද්දන් සමග ජීවත් වී ඇතැ යි සැලැකේ. කෙසේ නමුත් මොවුන් ගේ විනාශයට වග කිව යුත්තේ ද වැද්දන් බව මූලාශ මගින් පැහැදිලි වෙයි. මෙයට හේතුව මොවුන් මිනීමස් කෑමට ගිජුකමක් දැක්වීම යි. මොවුන් ගේ ග්‍රහණයට ලක් වූයේ ඔවුන් සමග වනාන්තරයේ එකට දිවි ගෙවූ වැද්දන් ය. වැද්දකු තනිව සිටිනු දුටු විගසින් මොවුහු ඔහු මතට කඩා පැන ඔවුන්ගේ තියුණු නිය මගින් අතුරු බහන් ඇද දමා මරා මස් කෑ හ. තව ද නිට්ටෑවන් විසින් වැද්දන් දඩයම් කර වේලන්නට දමා ඇති දඩමස් ආදී ආහාර ද සොරා ගැනිණි. මේ ආකාරයට වැද්දන්ට මොවුන් ගෙන් වූ අපමණ කෙනෙහිලි කම් හමුවේ වැද්දන් හා නිට්ටෑවන් අතර වෙෙරයක් ඇතිවීම පුදුමයට කරුණක් නොවේ. මෙම නිසා වැද්දන් නිට්ටෑවන් ගල් ගුහාවකට පන්නා ගිනීලෑ බව මූලාශ්‍රවල දැක්වේ. නිත්තෑවෙල නිට්ටඹුව ආදී මේ හා බැඳුණු ග්‍රාම නාමයන් මගින් නිට්ටටෑවන් පිළිබඳ පුරාවෘත්ත වලට වාග් විද්‍යාත්මක සාක්ෂි ගෙනහැර දක්වයි. බොහෝ දෙනා නිට්ටෑවන් පිළිබඳ සංකල්පය හුදු මිත්‍යාවක් ලෙස ගෙනහැර දැක්වුව ද මෙම අදහස එකහෙළා බැහැර කල නොහැකි කරුණක් බව ඇතැම්හු තර්ක කරති.

නිරුක්තිය

[සංස්කරණය]

නිට්ටැවන්ට මෙම නම භාවිතා කිරීමට හේතුව ද නිට්ටෑවන් සතු තියුණු නියපොතු බව විස්වාස කල හැක නිය+ඈයෝ නිට්ටෑවෝ වූ බව සඳහන් වෙයි.තවත් මතයක් අනුව ඉන්දියාවේ වාසය කරන නිෂාධ නමින් හඳුන්වන ඉතා වනචාරී කෘෘර හා මේච්ඡ ගෝත්‍රිකයන් මොවුන්ට නෑකම් කියන බවයි.මානව විද්‍යාඥ හියූ නෙවිල් නිට්ටෑවන් ගේ හා නිෂාධ ගෝත්‍රිකයන්ගේ සමානකම් පෙන්වාදී ඇත.

බාහිර පෙනුම

[සංස්කරණය]

නිට්ටෑවන්ගේ ස්වරූපය මානව ස්වරූපයට වඩා අර්ධ මානව ස්වරූපයක් ගන්නා ලදබව සදහන් කෙරේ.ඇතැම් මූලාශ්‍ර අනුව මොවුන් මානව ස්වරූපයට වඩා වානර ලක්ෂණ පෙන්නුම් කරන අතීත පාෂාණ යුගයට අයත් වානර මානවයන් සිහිගන්වයි.ඇතැම් විට මානව ස්වරූපයට වඩා වානර යෙකුද එසේත් නැතිනම් වලස් පවුලට අයත් සත්ව විශේෂයක්ද යන්න පැහැදිළි නැත.කෙසේ වෙතත් පොදුවේ මේ සියල්ල සළකා බැලූ කළ නිට්ටෑවන් ගේ ශාරීරික ලක්ෂණ මෙසේ ගෙනහැර දැක්විය හැක.මොවුන් ගේ හිස මානව ස්වරූපයට වඩා අතීත අර්ධ මානවයෙකුග් ස්වරූපය ගත්හ.ශරීරය පුරා ඝණව වැඩුණු ලොම් පිහිටියහ.මොවුන් මිනිසුන් මෙන් ඍජුකාය විලාසය දැරූ අතර කොන්ද කෙලින් තබාගෙන ඍජුව ගමන් කළහ.මොවුන් අඩි 3 පමණ උසකින් යුක්තවූ අතර පිරිමි නිට්ටෑවන්ට වඩා ගැහුණු නිට්ටෑවන් උසින් අඩුවිය.

හැසිරීම

[සංස්කරණය]

නිට්‌ටෑවන් කුඩා කණ්ඩායම් වශයෙන් ගැවැසුණු අතර සෑම කණ්ඩායමක ම නායකයකු බැගින් සිට ඇත. වැඩිහිටි නිට්ටෑවෝ කුඩාවුන් උරයේ හෝ උකුලේ හෝ රඳවාගෙන ගමන් කළ හ. මොවුන් ගේ බස සිංහල, දෙමළ, හෝ වැදි බසට නොව තෙළිගු බසට සමාන විය. මොවුහු, ආයුධ භාවිතයක් හෝ දත්තෝ, තම තියුණු නිය දඩයම් සදහා එකම ආයුධය කර ගත් හ. ගල්ගුහා ගස්බෙන ආදිය මොවුන් ගේ වාසස්ථාන විය. ඇතැම් විට මොවුහු ගස් උඩ මැසි තනා කොළ අතුවලින් සෙවිලි කරගත් පැලක වුසූ හ. මීමින්නන්, හාවුන්, තලගොයින්, ඉබ්බන් ආදිය මොවුහු ප්‍රධාන වශයෙන් දඩයම් කළ හ; කිඹුලන්, ඉබ්බන් හා කකුළුවන් ද ආහාරයට ගෙන තිබෙති. මීට අමතරව මිනීමස් කෑමට නිත්තෑවන් වැඩි කැමැත්තක් දක්වා ඇත. මිනිසකු තනිව සිටිනු දුටු විගසින් සැඟැවී සිටැ එකවර මිනිසා මතට කඩාපැන තියුණු නියවලින් ඇන උදරය පලා අතුරුබහන් ඇද අමුවෙන් මැ මස් ආහාරයට ගෙන ඇත. මොවුන් මස් අමුවෙන් ආහාරයට ගෙන ඇති අතර ගින්දර නිපදවීමට පවා නොදත් හ යි පැවසේ. මොවුන් විසූ භූමි ප්‍රදේශ ලෙස ලේනම, තමන්කඩුව, පොම්පරිප්පු, තන්තිරිමලේ ආදිය දැක්විය හැකි යි.

ඇඳුම්

[සංස්කරණය]

කිසිම ඇඳුම් භාවිතයක් සිදුකර නොමැති නිට්ටෑවෝ සම්පූර්ණයෙන්ම නග්නව විසූ හ.

මානව විද්‍යාත්මක ගවේෂණ

[සංස්කරණය]

නිට්ටෑවන් පිළිබඳ ගවේෂණය කර අදහස් දැක්වූ විද්වත්තු කිහිප දෙනෙක් වෙති. බ්‍රිතාන්‍ය ජාතික ගවේෂක හියූ නෙවිල්, මානව විද්‍යාඥ මහාචාර්‍ය විලියම් චාල්ස් ඕස්මාන් හිල්ස්, කපිතාන් ඒ ටී රඹුක්වැල්ල, ආචාර්‍ය ආර්. එල්. ස්පිට්ල්, මානව විද්‍යාඥ නන්දදේව විජේසේකර ආදී වියත්තු ඒ අතර ප්‍රධාන වෙති. බ්‍රිතාන්‍ය ජාතික හියූ නෙවිල්ට අනුව නිට්ටෑවෝ ඉන්දියාවේ කොචින් ප්‍රදේශයේ වසන "නියාදි" (නිෂාධ) ලෙසින් හඳුන්වන වනචාරී ගති ඇති, ඉතා අපිරිසිදු, වානරයින් මෙන් පෙනෙන මිනිස් කොට්ටාසයට නැදෑකම් දක්වති. මානව විද්‍යාඥ විලියම් චාල්ස් ඔස්මන්-හිල්ස්ට අනුව නිට්ටෑවන් පිතෙකැන්ත්‍රොපස් ඉරෙක්ටස් මානවයා ලෙස හැඳින්වුණු, අද හෝමෝ ඉරෙක්ටස් ලෙස නම් තබා ඇති මානවයා ගෙන් පැවැතුණු ප්‍රාග්-ආදි මානව කොටසක් විය යුතු යි. මහාවාර්‍ය ඔස්මාන් හිල් පවසා ඇති ආකාරයට නිට්ටෑවන් සමූල ඝාතනය කර ඇත්තේ 1675 දී ය. කපිතාන් ඒ.ටී රඹුක්වැල්ල‍ මහතාට අනුව නිට්ටෑවන් ඔස්ට්‍රලෝපිතකස් නම් අතිශය පෞරාණික දෙපයින් ඇවිදින මානවරූපී වානර ගෝත්‍රවලින් වඳ නොවී ලංකාවේ ශේෂ වූ මානව ගෝත්‍රයකි. ඔස්ට්‍රලෝපිතකස් නම් අර්ධ මානවයා පශ්චාත් ප්ලයිටොසීන යුගයේ ජීවත් වී ඇත. මොවුන් අප්‍රිකාව හා ආසියාව පුරා ව්‍යාප්තව පැවති අතර පසුව ලංකාව හා ඉන්දියාව වෙන්වීමත් සමග ඔවුහු ලංකාද්වීපයේ කොටුවුණ හ. නිට්ටෑවන් විසූ හ යි සැලැකෙන මහ ලේනම ප්‍රදේශයක 1963 දී කළ කැණීමක දී රඹුක්වැල්ල මහතාට එහි තිබී ඇටසැකිල්ලක්, ගොළුබෙලි කටු, ඉබිකටු හමුවී ඇත. ජනප්‍රවාද අනුව නිට්ටෑවෝ ගොළුබෙල්ලන් හා ඉබ්බන් ආහාරයට ගත්තෝ ය. නන්දදේව විජේසේකරයින් පවසන්නේ නිට්ටෑවන් යනු ජාවා, සුමාත්‍රා, අන්දමන් දූපත්, පැපුවා නිව්ගිනියා ආදී ආසියාතික දූපත් රටවල්වල තවමත් වෙසෙන, පුරාතන ලංකාවේ ද ජීවත්වන්නට ඇති අප්‍රිකානූ නීග්‍රෝ මිනිසුන් ගෝත්‍රයක් බව යි. ආර්.එල් ස්පිට්ල් මහතාගේ wild ceylonˌfor of thing යන ග්‍රන්ථවල නිට්ටෑවන් පිළිබඳ විස්තර කරයි. ඔහු පවසන පරිදි නිට්ටෑවන් යනු මානව ගෝත්‍රයක් හෝ අර්ධ මානවයෙකු හෝ නොව අසියාවේ වාසයකර ඇතැ යි සැලැකෙන රාහු වළසා නමින් හඳුන්වන වලස් විශේෂයකි. මේ වලසාට දෙපයින් යාමේ හැකියාව තිබී ඇත. මිනිසුන් මෙම වලසාට රැවටී ඇතැ යි ස්පිට්ල් පවසයි.

මේ අතර මෑතක දී කළ කැණීම්වලින් ශාන්තිකර සාගර ආශ්‍රිත දූපත් වලින් හා පිලිපීනයෙන් හමුවූ අස්ථි කොටස්වලට අනුව උසින් අඩි 3 පමණ ද ශරීර ස්කන්ධයෙන් කිලෝ ග්‍රෑම් 32-40 අතර ද වූ මානව අස්ථි හමුවී ඇත. මොවුන් මීට වසර 900 කට පමණ පෙර මිහිමත ජීවත්ව ඇති බව සනාථවී ඇත. ඒ අනුව නිට්ටෑවන් පිළිබද ජනප්‍රවාද හුදු මිත්‍යාවක් ලෙස සිතා ඉවත්කර දැමිය නොහැකි බව මානව විද්‍යාඥයන්ගේ අදහස යි.

නිට්ටෑවන් වඳ කළ පුවත

[සංස්කරණය]

ඔබත් මමත් උපන් මේ හෙළබිම මානව විද්‍යා කෞතුකාගාරයකි. ඒ පාරාදීසයේ ඉඳැ, නමුත් අද අපි අතර නැති අපූරු මානව විශේෂයකි, නිත්තෑවෝ. නිට්ටඹුව, නැට්ටෑවල, වගේ ගම්වලට මේ නම් ලැබුණේ නිට්ටෑවන් නිසා බව පැරැන්නන් ගේ මතය යි. 1887 හියු නෙවිල් නමැත්තා මේ නිට්ටෑවන් ගැන විස්තරයක් කරයි. මේ නිත්තෑවන් යනු මානව පිරිනමුවේ (පරිණාමයේ) එක් පුරුකක් බව යැ ඔහු ගේ මතය. නියැන්ඩතාල් මානවයාගේ ඉතිරි වුණ ශේෂයක් බවට යි සැක කරන්නේ. මේ නිත්තෑවන් ශාක ආහාර වගේ ම මාංසමය ආහාර වලටත් දක්වා තියෙන්නේ දැඩි කැමැත්තෙකි. මොවුන් වැද්දන් විසින් වේලෙන්නට දමා තිබුණු දඩ මස් සොරාගෙන යන බවයි කියැවෙන්නේ. එ මතු නො වැ, නිත්තෑවන්ගේ මණ්ඩියට වැරදීමකින් හෝ ඇතුල්වන වැද්දකු රංචු පිටින් කඩාවදින නිට්ටෑයන් විසින් දිගු නිය වලින් පහර දී මරා දැමෙන බවයි කියැවෙන්නේ. මේ නිසා වැද්දන් නිත්තෑවන් කෙරෙහි මහත් වෛරයකින් පසුව ඇත.

ඉංග්‍රීසි අධිරාජ්‍යය යුගයේ දී ‘ෆඩ්රික් ලුවී‘ නමැත්තා විසින් නැඟෙනහිර පළාතේ සිඹලාණ්ඩුවට මන්දන්ගල ආශ්‍රිත ‘‘ලේනව ලෙන් ඇසුරේ විසූ නිත්තෑවන් වැද්දන් විසින් වැනැසීමේ පුවතක් වාර්තා කරයි. මෙහි දී ඔහු හා කතාවට වන් කයිරා හා දිස්නේ හාමි නම් වැද්දන් දෙ දෙනා විසින් නිට්ටෑවන් ලේනව ප්‍රදේශයෙන් තුරන් කළ පුවත සඳහන් කෙරෙයි.

වැහි කාලයට නිත්තෑවන් ගල් ගුහාවකට රැස්වීමේ පුරුද්දක් පැවැතියේ ල. මෙහි දී වැද්දන් විසින් ලේනව ගල්ගුහාවට කොටුකරගැනුණු නිතතෑවන් නැවත පිටතට එන්නට ඉඩක් නොමැති පරිදි දාහක ද්‍රව්‍ය වලින් අහුරා ගිනිතබා ඇත. මෙයින් ලේනව නිත්තෑවෝ වැනැසුණ හ.

නිත්තෑවන් විසින් පාවිච්චි කැරුණු සිගිනි ප්‍රාථමික ගල් ආයුධ කොළොම්තොට ජාතික කෞතුකාගාරයේ පදසුනට (ප්‍රදර්ශනයට) තබා තිබේ. අපි අපේ ජාතික වානාන්තර ටික වත් රැකගත යුත්තේ මිනිස් ඇසට නොගැටී, මෙ වැනි මානව කොට්ඨාස මේ හෙළ මානව පාරාදීසයේ තවමත් විසිය හැකි බැවිනි.

මේවාත් බලන්න

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. "ආදි මිනිසාගේ සෙල් කලාව ලිහිණියාගල ලෙන". සිළුමිණ 2009/09/15. 2019-01-28 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2019-01-28.
  2. "නිට්ටෑවෝ - ලංකාවේ ජීවත්ව සිට 17වැනි සියවසේ වඳවී ගිය අර්ධමානව ගෝත්‍රය ගැන දන්නවාද?". සම්ප්‍රවේශය 2019-01-28.
  3. "නිත්තෑවෝ කවරහු ද?". සම්ප්‍රවේශය 2019-01-28.

බාහිර සබැදි

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=නිට්‌ටෑවෝ&oldid=778850" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි